ලංකාවේ ‘පරිගණක අපරාධ සහ අසභ්‍ය චිත්‍රපට’ සම්බන්ධ සුපිරි හෙළිදරව්ව !

ලංකාවේ ‘පරිගණක අපරාධ සහ අසභ්‍ය චිත්‍රපට’ සම්බන්ධ සුපිරි හෙළිදරව්ව !
Spread the love

පසුගිය වසරේ 2020 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ තම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) කියයි.

මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් තැපෑල වංචා කිරීම් 55 මේ වාර්තා අතර දැක්වේ.

අපයෝජනය, වෛරය හා පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් වලට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන 47 කි. දුරකථන වෙත අනවසරයෙන් ඇතුළුවීම් 06 ක්, වෙබ් අඩවි සම්මුතිය උල්ලංඝනය කිරීම් 76 ක්, අනිෂ්ට මෘදුකාංග ගැටලු 09 ක්, තතුබෑම් 15 ක්, බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම් 01 ක්, සේවාදායකයා සම්මුතියකට ලක්විමේ එක් සිද්ධියක් හා වෙනත් අපරාධ සිදුවීම් 35 ක් මෙම වාර්තාවට ඇතුළත් වේ.

සර්ට් ආයතයනයේ ප්‍රකාශිකාවක පැවසුවේ පරිගණක අපරාධ සම්බන්ධ තොරතුරු තම ආයතනය විසින් විමර්ශන සදහා පොලිසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන අතර වෙබ් ජාල වලින් පෝස්ටු ඉවත් කිරීම වැනි අවශ්‍යතා සඳහා තාක්ෂණික සහය අවැසි නම් පමණක් ලබාදෙන බවයි.

අසභ්‍ය චිත්‍රපට සමීක්ෂණය

මේ අතර ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීම් හා සමීක්ෂණ සිදුකරන ක්‍රියාකාරී ආයතනයක් වන The Grassrooted Trust සංවිධානය 2016 වසරේදී කළ සමීක්ෂණකදී අසභ්‍ය චිත්‍රපට නරඹන ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනවරණය කරගෙන ඇත.

එහි අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පැවසුවේ මාර්ගගත ක්‍රමයට Bakamoono.lk යන වෙබ් අඩවිය හරහා පුද්ගලයින් 800 ක් ප්‍රතිචාර දැක්වූ එම සමීක්ෂණය ක්‍රියාත්මක කෙරුණු බවය. එහිදී ප්‍රධාන වර්ග කිරීම් 4 ක් යටතේ අසැබි වෙබ් අඩවි වෙත පිවිස මෙම චිත්‍රපට නැරඹීමට පුද්ගලයින් නැඹුරුවක් දක්වන බව හෙළිවී යැයි ඇය පැවසීය.

ශ්‍රී ලංකා (sri lankan), ගැහැණු යහළුවන් (girl friend), යොවුන් (teenege) හා homemade (නිවාස සහ පුද්ගලික ස්ථාන) එම වර්ග 04යි .

” අපිට පෙනී ගියා මෙම පෝන් සයිට්ස් වල තිබෙන චිත්‍රපට වෙනුවෙන් මුල්‍ය වටිනාකමක් ලබා දී තිබෙන බව. homemade කැටගරි එකට යන පුද්ගලයින්ගෙන් 34% ක් ප්‍රකාශ කර තිබුණා එම චිත්‍රපට වල පෙනී සිටින චරිත තමන් වීඩියෝ කරන බව දැනගෙනම ඒවාට පෙනීසිටිය බව. තවත් 29% ක් කියල තිබුණා තමන් කැමැත්තක් දක්වන්නේ රහසිගතව වීඩියෝ කළ දර්ශන සහිත චිත්‍රපට සදහා කියල. ඒ කියන්නේ මේවට මුල්‍ය වටිනාකමක් දීල තියෙනවා.” යනුවෙන් ඇය පැවසීය.

ඇය තවදුරටත් පැවසුවේ තරුණ ගැහැණු හා පිරිමි ළමයින් ප්‍රේම සම්බන්ධතා පවත්වන කාලයේදී පුද්ගලිකව කරන වීඩියෝ කිරීම් හා ඡායාරූප පසු කාලීනව මෙම “පෝන් සයිට්ස්” වලට ඇතුළත් කර ඇති බවය. එසේ සිදුවන්නේ තම පෙම්වතිය අමනාප වීම වැනි පුද්ගලික හේතු මුල්කරගෙන විය හැකි බව පවසන ඇය පෙන්වා දෙන්නේ ඊටත් එහායින් මේ දර්ශන සදහා මුදල් වටිනාකමක් ලබාදී ඇති බවකි.

“කුමන ක්‍රමයකට හෝ අන්තර්ජාලයට මුදාහැර තිබෙන දර්ශන පසුව මොඩිෆිකේෂන් විදිහට අන්තර්ජාලයේ දහස් ගණනින්, මිලියන ගණනින් පිටපත් වෙනවා. ඇතැම්විට අදාළ ගැහැණු ළමයාවත් දන්නේ නැහැ මේවා මේ සයිට්ස් වල තියෙනවා කියල. නමුත් ඒවා දැනගන්නාවිට ඔවුන් බරපතල පීඩාවකට පත්වෙනවා. එම පිඩාව එල්ල කරන්නේ පරිගණක අපරාධ කරුවන්. ඔවුන් මිලදී ගන්නා හෝ වෙනත් ක්‍රමයකට එකතු කරගන්නා දර්ශන, ඡායාරූප භාවිත කර මේ සිද්ධියට මුහුණ පා සිටින ගැහැණු ළමුන් මෙන්ම පිරිමි අයද පිඩාවට ලක්කර මුදල් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඇය පැවසුවාය.

ඇය තවදුරටත් පැවසුවේ ඇතැම් අය දැන් සිටින රැකියාවේ තරාතිරම, දරුවන් බිරිඳ හෝ සැමියා සමග සිටින පවුල් පසුබිම යන කරුණු මත මෙන්ම අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය ආදී ස්ථාන වෙත මේවා යොමුවනු ඇතැයි ඇති බියට මෙම පුද්ගලයන්ට මුදල් ලබාදීමට පෙළඹෙන බවය.

“ඇතැම් ගුරුවරුන්ගෙන් අපිට පැමිණිලි ලැබී තිබෙනවා මෙවැනි සිදුවීම් ගැන. ඇතැම්විට මිට අවරුදු පහළොවකට විස්සකට පෙර ඡායාරූප ගත් ඒවා තමයි මේ. තම ඉතා විශ්වාස ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග ආදරයෙන් බැඳුනු කළ ගත් වීඩියෝ හෝ ඡායාරූප ඔවුන්ටත් නොදැනී කරදරකාර සෙවනැල්ලක් ලෙස පසුපස එනවා.” යනුවෙන් පබා දේශප්‍රිය පැවසීය.

“තවත් කණ්ඩායමක් ඉන්නවා තමන් ළඟ කිසිම ඡායාරූප නැහැ. ඔවුන් විවිධ ක්‍රම මගින් දුරකථන අංකය හොයාගෙන ගැහැණු ළමුන්ට කතා කර කියනවා අපි ළඟ ඔබගේ නිරුවත් පින්තූර තියෙනවා ප්‍රසිද්ධ නොකරන්නනම් තව පින්තූර 5 ක් එවන්න කියල, සමහරු බයට ඔවුන්ට පින්තූර යවනවා, පසුව එම පින්තුරම ඔවුන් අවභාවිත කරනවා.”

පබා දේශප්‍රිය පවසන්නේ මෙවැනි පීඩාවකට ලක්වන අයෙකු සම්බන්ධයෙන් සමාජය ප්‍රතිචාර දක්වන ස්වරූපය ද ඉතා කණගාටු දායක බවය. ගෘහස්ථව පවතින ප්‍රචණ්ඩත්වය ගැන දන්නා ගැහැණු ළමයෙකු මෙවැනි පීඩාවක් මව්පියන්ගෙන් වසන් කරනවා පමණක් නොව අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජීවත්වීමට පවා පෙළඹෙන බව සඳහන් කළාය.

”අපි හඳුනා ගත් එක් දැරියක් අපරාධකරුවකුගේ දිනපතා ලිංගික අවශ්‍යතා වෙනුවෙන් හිංසනයට ලක්වෙලා හිටියා. ඇයට මේ ගැටලුව කියන්න කෙනෙක්, තැනක් නැහැ. විසදුමක් වෙනුවෙන් මැදිහත්වෙන්න කෙනෙක් හිටියේ නැහැ. සැබවින්ම සිදුවිය යුත්තේ රටේ මුලික අධ්‍යාපන ප්‍රතිපත්තිවලටම මෙම විෂය ඇතුළත් කිරීමයි. ඒ තුළින් ගැහැණිය නැතිනම් කාන්තාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු තුළ කුඩා කාලයේදීම ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කළ හැකියි. එවැනි ආකල්ප වර්ධනයක් සහිත පුරවැසියකු කවදාවත් තමන් ආදරයෙන් බැඳුනු පෙම්වතියගේ නිරුවත් පින්තුරයක් අපරාධ කරුවෙකු අතට පත් කරන්නේ නැහැ.”