මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී
Spread the love

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කාර්යයන් සහ සේවාවන් ඉටු කර දෙන පරිගණක මෘදුකාංග වර්චුවල් සහායකයන් (Virtual assistants) ලෙස හැඳින්වේ.

ඇපල් හි ‘සිරි’ සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ සමග තරග කිරීමට මයික්‍රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද වර්චුවල් සහායකයා ‘කෝටානා’ ය.

‘කෝටානා’ සිහි ගැන්වීමට #RIPCortana හැෂ් ටැගය ට්විටර් හි සංසරණය වනු දැකිය හැකිය.

මේ අතර, ඇපල් හි ‘සිරි’ තවදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් නිතැනින් ඇසෙන කාන්තා හඬක් නොවනු ඇත.

වර්චුවල් සහායකයින් සඳහා කාන්තා හඬක් භාවිත කිරීම, බොහෝ කලක පටන් ස්ත්‍රී පුරුෂ භාවය මත පැනනැඟෙන මතභේදවලට හේතු වී තිබේ.

Virtual voice assistant
ඇමසන් ‘ඇලෙක්සා’ (Alexa) සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ වර්චුවල් හඬ සහායකයන්ට විශාල වෙළෙඳපොලක් නිර්මාණය වී ඇත

වින්ඩෝස් (Windows) දුරකථන සඳහා වර්චුවල් සහායකයෙකු ලෙස ‘කෝටානා’ (Cortana) 2014 දී එළිදැක්වීය.

වසර තුනකට පසු මයික්‍රොසොෆ්ට් සිය ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය අතහැර දැමුවද, කෝටානා අයිෆෝන් (iPhone) සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ලබා ගත හැකි විය.

‘CSS ඉන්සයිට්’ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක බෙන් වුඩ් පැවසුවේ “පාරිභෝගිකයන් කැමති සහායකයෙක් වන ‘කෝර්ටනා’ අතහැර දැමීම මයික්‍රොසොෆ්ට් සමාගමට නොවැළැක්විය හැකි” බවය.

ඇමසන් ‘ඇලෙක්සා’ (Alexa) සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ වර්චුවල් හඬ සහායකයන්ට විශාල වෙළෙඳපොලක් නිර්මාණය වී ඇති හෙයින් වෙනත් තරගකරුවන්ට ඇති ඉඩ ඇහිරී ඇත.

“විශාල ආයෝජන සිදු කරමින් දැඩි පරිශ්‍රමයක් දරා තිබියදීත්, බලගතු ඇපල් සමාගමට පවා ‘සිරි’ ඉදිරියට ගෙනයාම දුෂ්කර වී තිබුණා”

කාන්තා හඬ

ප්‍රතිවාදී ඇපල් සමාගම ‘iOS’ නවතම අනුවාදයේ සිය සහායක සිරිට නව හඬ දෙකක් එක් කර ඇති අතර, නිතැනින් ඇසුණු කාන්තා හඬ ඉවත් කර තිබේ.

2019 දී යුනෙස්කෝ සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් යෝජනා කර ඇත්තේ, “වර්චුවල් හඬ සහායකයින් සඳහා නිතැනින්ම කාන්තා කටහඬක් භාවිතා කිරීම “බොත්තමක් ස්පර්ශ කිරීමෙන් හෝ නොපැහැදිලි හඬකින් විධානයක් ලබා දුන් සැණින් කාන්තාවන් නිහතමානීව, කීකරුව සහ ඉතා ඕනෑකමින් සතුටු කිරීමට බැඳී සිටින බවට සංඥාවක් යවන බවයි”.

ඇපල් සමාගම තම වර්චුවල් සහායකයාගේ කටහඬ පරිශීලකයාට තෝරා ගැනීම සඳහා වගකීම පැවරීමට ගත් තීරණය ගැන මෙසේ පැවසීය: “මෙය විවිධත්වය හා අන්තර්ගතය වෙනුවෙන් ඇපල් සමාගමේ අඛණ්ඩ කැපවීමේ කොටසක් මෙන්ම, අප ජීවත් වන ලෝකයේ විවිධත්වය වඩා හොඳින් පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ සේවාවන්.”

දැනටමත් සමහර රටවල් සහ භාෂාවල සිරිගෙන් නිතැනින් ඇසෙන්නේ පුරුෂ හඬකි.

Text by – bbc