හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !

හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !
Spread the love

හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් කී විජේදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

‘ අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි‘

මෙහිදී අදහස් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝ මෙසේ සදහන් කළහ.

‘‘ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා. මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේම දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වීම නිසැකවම සිදුවෙනවා. මේ වන විට කොළඹ වරාය නගරය චීනයට පවරාදීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 14ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව අපි ඉදිරිපත් කළ පෙත්සම 15 වැනි පෙත්සමයි‘‘