ඇන්ජලෝ මැතිව්ස්,රබාඩා සහ ක්‍රිස් මොරිස්ගේ සමු ගැනීමෙන් පසුව දිල්ලි කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟය වූ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව කාන්පූර්හිදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කරගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 96 ක් රැස්කළ ශ්‍රෙයාස් අයියර් දිල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.මෙය අයර් IPL තරඟාවලියක් වාර්තා කල හොඳම ඉනිම ලෙස සටහන් වූ අතර මීට පෙර ඔහුගේ හොඳම ඉනිම ලෙස වාර්තා වුයේ මුම්බායි කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබු ලකුණු 86 ය.
කරුන් නායර් (30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අයියර්, ඉන් නොනැවතී පැට් කමින්ස් (24) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදීය.
පන්දු 15 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 13 කදී වාර්තා වූ පැට් කමින්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක සාහිර් ඛාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඒරන් ෆින්ච් ලකුණු 69 ක් රැස්කළේ පන්දු 39 කිනි. ඔහුගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
දිනේෂ් කාර්තික් (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ගුජරාට් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ෆින්ච් සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ කාර්තික්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
[rns_reactions]