දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’

දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’
Spread the love

වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඉදිරි වසරක කාලයක් සඳහා අත්සන් තැබීමට නියමිත මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව අද (19 දා) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබූ අතර එහිදී මෙරට ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින් 24 දෙනෙකු සඳහා මූලික වශයෙන් කොන්ත්‍රාත් ලබා දීමට  පියවර ගෙන තිබුණි.

අදාළ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් 24 දෙනාගෙන් 18 දෙනෙකුම මේ වන විට එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාලදේශයට පිටත්ව ගොස් සිටින අතර අදාළ කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම සඳහා ලබන ජුනි මස 03 වැනිදා දක්වා කාලය ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ සංචාරය සඳහා එක්දින කණ්ඩායම පිටව ගොස් තිබෙන්නේ සංචාරක කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමෙන් පසුව බව මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“අපි මේ ගිවිසුම ක්‍රීඩකයන් අතට ලබා දීලා තියෙන්නේ. ඔවුන් මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරනවාද නැද්ද කියන එක ගැන අපිට තවම මුකුත් කියලා නෑ. ඒත් දැනට අපි බංග්ලාදේශ තරග සංචාරයට පමණක් අත්සන් තැබුණු තාවකාලිකව කොන්ත්‍රාත්තුවක් ඔවුනට ලබා දීළා තියෙනවා. ඒත් ඔවුන්ට මේ පිළිබඳව හොඳන් අධ්‍යයනය කරන්න ජුනි 03 වැනිදා වන තෙක් කල් දීලා තියෙනවා” යැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර සිටියේය.

සකස් කරන ලද නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය, ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් පත්ව සිටින ටොම් මූඩි මහතා සහ අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශන මණ්ඩලය විසින් සකසන ලද්දකි. එයට අනුව ක්‍රීඩකයින්ගේ දස්කම් 50% ක ප්‍රමාණයක්, ශාරීරික යෝග්‍යතාව 20% ක්, ක්‍රීඩකයින්ගේ ස්වාධීන සූදානම 10%, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම 10% ක් සහ අනාගත වැඩදායී බව වෙනුවෙන් 10% ක් වශයෙන් ප්‍රසාද ලකුණු ක්‍රමයක් භාවිතා කර තිබේ. ඒ සියල්ල ඇතුළත් කොන්‍රාත්තුවට අදාළ ක්‍රීඩකයින් ඒ, බී, සී. සහ ඩී යනුවෙන් කාණ්ඩ 4 ක් ඔස්සේ ශ්‍රේණිගත කර තිබෙන අතර එම එක් එක් කාණ්ඩ තවත් අනු කාණ්ඩ 3 ක් යටතේ වර්ග කිරීමට පියවර ගෙන තිබේ.

“ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී ලොව පුරා භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුවයි මෙම ක්‍රමවේදය සකස් කිරීමට පියවර ගත්තේ” යැයි ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට පත්ව සිටින ටොම් මූඩි මහතා අවධාරණය කර සිටියේය. අද පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “මගේ අත්දැකීමට අනුව රටවල් බොහොමයක් තවමත් නිවැරදිම ක්‍රියාවලිය මොකද්ද කියන එක හොයා ගන්න උත්සාහ කරනවා. ඒ රටවල ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තු සමඟ හැසිරෙන ආකාරය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් පසුව තමයි අපි මේ ක්‍රමවේදය සකස් කළේ. ඇත්තටම අපි මේ හදපු කොන්ත්‍රාත්තුව වඩාත්ම ඵලදායී මෙන්ම වඩාත් සාධාරණම ක්‍රමය යැයි අපි විශ්වාස කරනවා”යි යනුවෙනි.

යෝජිත කොන්ත්‍රාත් ක්‍රමවේදයට අනුව වඩාත් වැඩිම මුදල් උපයන ක්‍රීඩකයින් දෙදෙනා බවට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පත්ව සිටිති. ඔවුන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කිරීම, ඉහළ කාණ්ඩයට ඇතුළත්වීමට හේතු සාධක වී තිබේ.

එය ඉකුත්වසර වලට කොන්ත්‍රාත් සමඟ සංසන්දනය කිරීමේදී පැහැදිළි අඩුවීමක් පෙන්නුම් කරනු ලබන නමුත්, තරග ජයග්‍රහණයන්වලදී එම පරතරය පියවා ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයින් වෙනුවෙන් උදා කර දීමට මෙම ක්‍රමවේදයේදී අවස්ථාව සකසා දී තිබේ. උදාහරණයක් ලෙසින් පෙර පැවැති ගිවිසුමට ප්‍රාකාරව ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරි ස්ථාන 7 හි පසුවන කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමේදී ක්‍රීඩකයක්‍රට ඩොලර් 25,000 ක මුදලක් ලබා දුන් නමුත් නව ක්‍රමවේදයට අනුව ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම පරාජය කිරීමට සමත් වුවහොත් ඩොලර් එක් ලක්ෂ පනස් දහසක් (150,000), දෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායමක් පරාජය කළහොත් ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද තෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායම පරාජයට පත් කළළහොත් ඩොලර් ලක්ෂයක (100,000) මුදලක්ද වශයෙන්ද සහ සිව්වැනි, පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානය සඳහා පිළිවෙළින් ඩොලර් අසූදහසක් (80,000), හැඩ දහස (60,000), හතළිස් පන්දහස (45,000) සහ තිස් දහසක්ද (30,000) පිරිනැමෙනු ඇත. මෙය එක්දින තරග අංශය යටතේද පැහැදිළි වැඩිවීමක් දක්නට ලැබේ. එමෙන්ම තරගයකට සහභාගිවීමේදී 2019 වසරේදී ලබා දුන් මුදලට වඩා 2021 වසරේදී ලබා දෙන මුදල වැඩි කිරීමට පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙසින් 2019 වසරේදී ටෙස්ට් තරගයකට සහභාගිවීමේදී ඩොලර් 7000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂ තුන්දහස් හත්සිය පහළොවක් (1,303,715) ලබා දුන් අතර නව කොන්ත්‍රාත්තුවට අනුව එය ඩොලර් 7500 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක (1,500,000) මුදලකි.

Text by – sl cricket