ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.
ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි.
ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.
සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.
“ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා,” ඔහු පැවසීය.
ප්රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි.
[rns_reactions]

