මහත්මා දේශපාලනඥයෙකු වූ ‘බුද්ධික කුරුකුලරත්න‘ සමුගනී

මහත්මා දේශපාලනඥයෙකු වූ ‘බුද්ධික කුරුකුලරත්න‘  සමුගනී
Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට  එතුමා 77 වැනි වියේ පසු විය.

නීති වෘත්තිකයෙකු වූ හෙතෙම 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.

1943 ජුනි 19 වන දින අම්බලංගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පවුලක උපත ලැබූ බුද්ධික කුරුකුලරත්න මහතා මහ අම්බලන්ගොඩ මෙතෝදිස්ත විද්‍යාලයෙන්ද , අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයෙන්ද , බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද,ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද පාසල් අධ්‍යාපනය ලබා ඇත.

වසර 1965 දී එතුමා  සන් (ඉංග්‍රීසි දිනපතා) පුවත්පතේ කර්තෘ මණ්ඩල කාර්ය මණ්ඩලයේ 1 ශ්‍රේණියේ මාධ්‍යවේදියෙකු ලෙස ද, 1966 දී ඔබ්සරවර් පුවත්පතේ කර්තෘ මණ්ඩල කාර්ය මණ්ඩලයේ ද සේවය කර ඇත. ඉන්පසු ඔහු 1966 සිට 1970 දක්වා විරකේසරි සහ ජනතා (සිංහල දිනපතා) පුවත් පත්වල  සේවය කර තිබේ.  එහිදී ඔහු විදේශ පුවත් පිටුව භාරව කටයුතු කර ඇත.

නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කළ හෙතෙම   පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලද අත්දැකීම් පිළිබඳව සතිපතා ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් වලට ලිපි සම්පාදනය කළේය. බුද්ධික කුරුකුලරත්න මහතා විසින් ලියන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 06 කි. ඉන් 02 ක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචනා කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික කුරුකුලරත්න මහතාගේ දේහය ජුනි 10 වැනිදා  පෙරවරු 9.00  සිට පස්වරු 3.00  දක්වා බොරැල්ල  ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.  මෘත දේහය සවස 3.30 ට බොරැල්ල කනත්ත වෙත රැගෙන යාමට නියමිතයි. අවසන් කටයුතු එදින ප.ව 04.00 ට සිදු කෙරේ.