ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික

ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික
Spread the love

අද(09) මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවරමක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි.

රජය සිදු කල යුතුව තිබුණේ රසායනික පොහොර වල ප්‍රමිතිය වැඩි දියුණු කරමින් එහි අක්‍රමවත් භාවිතාවන් නිසා වන හානිය පාලනය කිරීම සඳහා නියාමන වැඩසටහනක් ක්‍රියාවට නංවමින් පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය භාවිතයට ගොවියන් පුහුණු කරමින් ක්‍රමිකව කාබනික පොහොර සඳහා යොමුවිය හැකි කෘෂි ක්ෂේත්‍ර ඒ සඳහා යොමු කරවීම බවයි. එහෙත් ඊට හාත්පසින් වෙනස් විනාශකාරී තීන්දුවකට ජනාධිපතිවරයා එළඹ තිබීම අතිශය කනගාටුවට කරුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

මේ නිසා තේ වගාව වැනි වසර 150 ක් පමණ පැරණි අපනයන ක්ෂේත්‍රයක් සම්පූර්ණයෙන් විනාශ වී යාමේ අවධානමක් ඇති බව පෙන්වා දෙන ලද ඒ මහතා තේ හෙක්ටයාරයක් සඳහා වර්තමාන වියදම වන ආසන්න වශයෙන් රුපියල් 31000 ක මිල මේ හේතුවෙන් රුපියල් 400000 කට පමණ වැඩිවන බවත් නිෂ්පාදන වියදම අසීමාන්තික ලෙස ඉහළ ගොස් තේ වල අපනයන ආදායම බිඳ වැටීම තුළින් සිලෝන් ටී සන්නාමය විනාශ වී යා හැකි බවත් ප්‍රකාශ කරන ලදී.

රජය මෙම අවිචාරවත් පොහොර තහනම ගෙන ඒමට සමගාමීව දැනටමත් කාබනික පොහොර නැව් ගෙන්වීමට ඇතැම් පිරිස් සහ සමාගම් කටයුතු කරමින් තිබීම තුළින් මේ පිටුපස විශාල ජාවාරමක් පැවතිය හැකි බවට සැකයක් මතුවන බවත් මෙකී ප්‍රායෝගික නොවන තීන්දුව නිසා එළඹෙන කන්නයේ වී, එලවලු ඇතුළු අනෙකුත් බෝග වල අස්වැන්න හරි අඩකින් අඩුවීමෙන් ශ්‍රීලංකාව ආහාර සුරක්ෂිත තාව පිළිබඳව බරපතල අර්බුදයකට ලක්විය හැකිබවත් පෙන්වා දෙන චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වසංගත තත්ත්වයක් මැද රට ඒ සා විශාල අර්බුදයකට ලක්කල නොකල යුතු බවත් පෙන්වා දෙන ලදී.