කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය
Spread the love

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති

මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති ද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී බලවේග වල කසකරුවන් යළිත් දේශපාලන අඩව්වකට සූදානම් වීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවයි.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11) සිංහල රාවය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මේ මාධ්‍ය හමුව සදහා සිංහල රාවය පක්ෂයේ මහා ලේකම් ශාලික පෙරේරා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණව සිටින ජනතාවට සහනයක් දීමට රජය අපොහොසත් වීම සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අක්මීමණ දයාරතන හිමියෝ මෙසේද සදහන් කළහ,

‘‘මීට අවුරුද්දකට දෙකකට පමණ පෙර අපි මෙවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී කතා කළ කාරණාවලට හාත්පසින්ම වෙනසක් කාරණා දැන් අපිට කතා කිරීමට සිදුවෙලා තිබෙනවා. එදා අපි රනිල් – මෛත්‍රී – මංගල හවුල රටට කරමින් සිටි විනාශය ගැන ජනතාව දැනුවත් කළා. ඔවුන්ව අවධි කළ. රාජ්‍ය බලයට, මර්දනයට අභියෝග කරමින් අපි, සිංහල ජාතික ව්‍යාපාරය ලෙස අපේ අභීත භික්ෂූන් වහන්සේලා, තරුණ පිරිස සිංහල බෞද්ධයින් දැනුවත් කළා. අවධි කළා.

එහිදී අපි පටු පුද්ගලික ලාභ බලාපොරොත්තු වුණේ නැහැ. තනතුරු – වරදාන බලාපොරොත්තු වුණේ නැහැ. ගජමිතුරන් පිනවන්න කොන්ත්‍රාත් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ එකම අපේක්ෂාව, අරමුණ වුණේ යහපාලන ආණ්ඩුව සහ ඒකට ආවඩන සුළුජන පක්ෂ රටට, සිංහල බෞද්ධයින්ට, සිංහල බෞද්ධ උරුමයට කරමින් තිබූ විනාශයට එරෙහිව ජනතාව අවධි කරවීම, ඔවුන්ව සංවිධානය කරවීම. අවසානයේ රටට, ජනතාවට, එහි සම්පත්වලට ආදරය කරන, ඒවා රැකගත හැකි නායකත්වයක් බලයට ගෙන ඒම.

මේ ව්‍යායාමය පාවඩ මතින් ගිය ගමන් වුණේ නැහැ. මර්දනය, පොලිස් කූඩුව, නිමක් නැති අවලාද හා අපවාද මතයි අපේ භික්ෂූන් වහන්සේලා, ගිහි ක්‍රියාකාරීන් ඒ ගමන ගියේ. එහි ප්‍රතිඵල තමයි අවසානයේ ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී නෙළා ගත්තේ. ඒ සතුටට තමයි එදා අපේ තරුණයෝ රටේ තාප්ප පුරා චිත්‍ර ඇන්දේ. රට පුරා පැළ හිටෙව්වේ.

ඒත් කනගාටුවට වඩා වේදනාවට, පශ්චාත්තාපයට කරුණ වන්නේ අපිට ඒ සතුටට බුක්ති විදින්න ලැබුණේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු කාලයක්. පරණ දේශපාලන ක්‍රමය යළිත් පණ ගහලා ආවා. කුමන්ත්‍රණකරුවෝ, අවස්ථාවාදියෝ, ජාති ආගම් භ්‍රෂ්ඨයෝ මුල්පුටු අල්ල ගත්තා. අවසානයේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් දෙවපු කිරි කළයට මේ කොල්ලකාර කල්ලිය ගොම තලියක් ම දැම්මා. දැන් අපි දැක්ක සිහින, අපේ තරුණයෝ දැක්ක සිහින විනාශ වෙලා ඉවරයි. ඒවාට ආයේත් පණ දෙන එක පහසු නැහැ.

අපි තාමත් කියන්නේ ජනාධිපතිවරයාට, අගමැතිවරයා සහ මේ රටට – ජාතියට ආදරය කරන දේශපාලනඥයින්ට, නිලධාරීන්ට අවස්ථාව තිබෙනවා නිවැරදි වෙන්න. තමන්ට වැරදුණ තැන විමසා බලන්න. අපි බෞද්ධයෝ විදිහට දන්නවා වැපුරුව දේම තමයි කපා ගන්න වෙන්න. හේතුව තමයි ඵලයට මූලික වෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි, අගමැති තුමනි, වැරදුණේ කොතැනද ? කොහොමද කියලා යහපත් සිහියෙන් විමසා බලන්න. අපිට තේරෙනවා මේ ආණ්ඩුවට වැරදුණේ කොහොමද ? කොතැනද ? කියලා. ඒ නිසාම තමයි අපි මේ තාමත් කෑ ගහන්නේ. වද විදින්නේ. මොකද ළමයත් එක්ක කොරහේ වතුර විසි කරන්න අපිට වුවමනාවක් නැහැ. අපි එහෙම කළොත් මොකද වෙන්නේ කියලා අපි හොදාකාරවම දන්නවා.

දේශපාලන අවස්ථාවාදීන්, ජාති භ්‍රෂ්ඨයෝ, දේශද්‍රෝහීන්, නරි ආයොත් බැල්ලම හෙළනවා. ඒ කල්ලියේ නායකයා, කසකරුවා දැන් පාර්ලිමේන්තුවට එන්න ඇගිලි ගණනිවා. අපිට පේනවා අලුත් රෙදි ඇදගෙන, කසකාරයෝ, ගිනි බෝලකාරයෝ සූදානම් කරගෙන ඇතැමුන් ආයෙත් අඩව්වක් අල්ලන්න කල්යල් බලනවා. මේක කිසිසේත්ම යහපත් දෙයක් හෝ රටට, ආගමට වැඩදායි දෙයක් නෙමෙයි. එදා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අතුගාලා දැම්ම පක්ෂ, නායකයින් ආයෙත් දේශපාලන කරළියට, දියවන්නාවට ඒම කිසිසෙත් යහපත් තත්ත්වයක් නොවෙයි. මැරණ බලවේග වලට පණ දෙන්න බැරි වුණත් මේ ආගමන හරහා භූතයින්, කුම්භාණ්ඩයින් සතුටු වෙන්න පුළුවන්. උන් යළිත් හොල්මන් කරන්න පුළුවන්.

ඒ නිසයි අපි කියන්නේ කොවිඩ් බොරදියේ මාළු බාන්න මේ අවස්ථාවාදීන්ට, දේශ ද්‍රෝහීන්ඨ. බෞද්ධ විරෝධීන්ට අබමල් රේණුවකවත් අවස්ථාවක් දෙන්න එපා. ඒ නිසා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාවට දුන්න ඒ පොරොන්දු ඉටු කරන්න. ඔවුන් හමුවේ තැබූ න්‍යාය පත්‍රය පෙරට ගන්න. වසවිස නැති ගොවිතැන විතරක් නෙමෙයි තවත් ආකර්ෂණීය, ජාතික වශයෙන් අති සංවේදී පොරොන්දු ක්‍රියාත්මක කරන්න.

මහ බැංකු හොරුන්ට වගේම පාක්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සිය ගණනක් ඝාතනය කළ, මුළු රටක් විනාශ කළ අපරාධකාරයෝ තාමත් යහතින් ජීවත් වෙනවා. රාජ්‍ය සම්පත් විනාශ කළ ද්‍රෝහීන් තාමත් යහතින් ඉන්නවා. වසවිස නැති ගොවිතැන කොන්දේසි විරහිතව ඉදිරියට ගෙනාවා වාගේ ඒ පොරොන්දුත් කොන්දේසි විරහිතව ඉටු කරන්න. එහෙම වුණොත් විතරයි අපිට ජාතික ව්‍යාපාරය විදිහට සතුටු වෙන්න පුළුවන්.එදා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ 69 ලක්ෂයට, මහ මැතිවරණයේදී 3/2ක් දුන්න ජනතාවට සතුටු වෙන්න පුළුවන්.

ඒ නිසා අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියන්නේ 69 ලක්ෂය තෘප්තිමත් කරන්න, ඔවුන් තුළ බලාපොරොත්තු දල්වන්න මහ ලොකු දෙයක් කළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ දේශපාලන අවංකම සහ ධෛර්යය පමණයි.

සතොසෙන් රටටම කන්න දෙන්න පුළුවන් යැයි කියන වෙළෙද ඇමතිවරයෙක් සිටීම ජනතාවගේ අවාසනාවක් – ශාලික පෙරේරා, මහ ලේකම් සිංහල රාවය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම්, ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය නම් ගහෙන් වැටී කොන්ද කඩාගෙන සිටින ජනතාවට ව්‍යාපාරික මාෆියාව නම් ගොනාගෙන් ද ඇනුම් කෑමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

කොවිඩ් වසංගතය හමුවේ අකර්මන්‍යව පවතින පාසල් අධ්‍යාපනය රැක ගැනීමට ආණ්ඩුවට කිසිම විධිමත් සැලසුමක් ඇති බවක් නොපෙනෙන බව කී ශාලික පෙරේරා මහතා සතොස මගින් රටකට කන්න දිය හැකි යැයි සිතන වෙළෙද ඇමැතිවරයෙක් සිටීම ජාතියේම අවාසනාවක් යැයි ද කීවේය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල අහස උසට යද්දී ගෑස් සමාගම් විසින් සිදුකරන සූරාකෑම නවතා දමනු වෙනුවට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැසීම විකාරයකට වඩා වේදනාවට කරුණක් බව ද ඔහු කීවේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ශාලික පෙරේරා මහතා, ‘මේ වෙන කොට මේ රටේ සමස්ත ජනතාව ගැටළු ගණනාවකින් පීඩා විදිනවා. එකක් කුස්සියේ ගින්න. ලිපේ ගින්දර නිවා ගන්නේ නැතිව මොනවා හරි උයා පිහාගෙන කන්නේ කොහොමද කියලා තමයි අද මේ රටේ බහුතරයක් ජනතාව හිතන්නේ.

අනික තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන දෙමාපියන්ගේ හිතේ අවිලෙන ගින්න. පහුගිය අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඇනහිටලා තිබෙනවා. මුළු අධ්‍යාපනයේම බර ටියුෂන් ගුරුවරුන්ට භාර දීලා අධ්‍යාපන අමාත්‍යාංශය අත පිසදාගෙන තිබෙනවා. අපි උපකාරක පන්ති ගුරුවරුන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. ඔවුන්ගේ සේවය සහ කැපවීම අපි කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ.

අපි චෝදනා කරන්නේ උපකාරක පන්ති වගේම, සූම් තාක්ෂණය වැනි අන්තර්ජාල පහසුකම් පදනම් කරගත් ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අසීමිත කැප කිරීමක් කරන ගුරුවරුන් සූරාකන අන්තර්ජාල, නැති නම් ඩේටා මාෆියාව ගැනයි.

අපි හොදාකාරවම දන්නවා එදා වේල කන්න කුලියක් කරන පුද්ගලයාගේ දරුවාගේ සිට ඉහළම ධනපතියා දක්වා මේ ඩේටා මිලදී ගන්නේ පසුගිය කාලේ තිබුණ මිලටමයි. ඒ කියන්නේ ඔවුන් මේ ඩේටා මිලදී ගන්නේ කිසිසේත් සැබෑ මිලකට නොවෙයි. අදාළ සමාගම් විසින් දැවැන්ත ලාභයක් මත විකුණන ඩේටා තමයි මේ මිලදී ගන්නේ. ඔවුන් මේ ඩේටාවලින් අති දැවැන්ත ආදායමක්, ලාභයක් උපනවා. ඇතැම් ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් 100%ක්ම විජාතික ඒවා. ඔවුන් මේ ලාභය තමන්ගේ රටට ගෙන යනවා.

පොල් ගෙඩිය කඩදන දුප්පතාගේ සිට රාජ්‍ය සේවකයා, සුළු නිෂ්පාදකයා දක්වා ලක්ෂ 45ක දරුවෝ, රාජ්‍ය ගුරුවරු හා ටියුෂන් ගුරුවරු දස දහස් ගණනක් මේ අන්තර්ජාල ඩේටා මාෆියාවේ පහසු ගොදුරු බවට පත්වෙලා ඉන්නවා.

අපි රජයට අවධාරණය කරන්නේ දැන් මාස 15ක් තිස්සේ මේ ඩේටා මාෆියාව ජයටම ක්‍රියාත්මක වෙනවා. අද සෑම පවුලකම වාගේ සහල් ගන්න වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් මේ ඩේටාවලට වැය කරනවා. මේක සැබවින්ම සුරාකෑමක්. මේ සූරාකෑමට ආණ්ඩුව වහාම වැට බැදිය යුතුයි. අපි සහන දෙන්න කියලා කියන්නේ නැහැ. අපි පැහැදිලිවම කියන්නේ කොමිෂමක් මගින් බැරි නම් විශේෂඥ මණ්ඩලයක් මගින් හෝ සොයා බලා මේ ඩේටා මාෆියාවට තිත තියලා මේ අසීමිත සූරාකෑම නතර කරන්න. අපේ ජාතික ධනය ට්‍රිලියන ගණනින් විදේශ සමාගම්වලට පුදකරන මේ මාෆියාවට තිත තියන්න.

අනෙක් කාරණය ලිපේ ගින්දර ගැනයි. කල දුටු කල වළ ඉහගන්න ව්‍යාපාරික මාෆියාවක් මේ මොහොත් ජනතාවගේ සමස්ත ආදායමම සූරා ගෙන කනවා. ජංගම වෙළෙදුන් මේ අවස්ථාවේ සේවයක් ලබා දෙන බව ඇත්ත. එහෙත් ඔවුන් අසීමිත සූරාකෑමට නිරත වෙනවා. ඔවුන් විකුණන ගස්ලබු කිලෝවක් රුපියල් 100යි ! එළවළු මිල 300%කින් වැඩියි. මේක පැහැදිලිවම සූරාකෑමක්.

අපි රජයෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම මේ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ වගේම විපතට පත්ව සිටින ජනතාවක් මේ ආකාරයෙන් සූරාගෙන කන්න එපා කියලා. මොකද අපි හැමෝම මේ අසීරු කාලේ ජීවත් වෙන්නේ හරිම අසීරුවෙන්. රාජ්‍ය සේවකයාගේ පවා අතිකාල දීමනා අහිමි වෙලා. ඔවුන් ගන්න පුළුවන් සියලුම ණය අරගෙන තියෙන්නේ. ඔවුන් බහුතරයක් ජීවත් වුණේ අතිකාල වලින්. නැතිනම් වෙනත් ස්වයං රැකියා ආදියෙන්. ඒ නිසා අපි හැමෝම අද ජාතියක් ලෙස, රටක් ලෙස අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මේ අසීරු අවස්ථාවේ තව කෙනෙකු සූරාගෙන කෑම කිසිසේත් යහපත් දෙයක්, බෞද්ධයින් ලෙස ආගමානුකූල දෙයක් නොවෙයි.

ඒ වගේම අපි රජයට යමක් මතක් කළ යුතුයි. ඒ තමයි ජනතාවගේ ජීවන වියදම අද අහස උසට නැගලා. වගාකරුන්ට එළවළු විකුණ ගන්න බැරිව ලතවෙන කොට පාරිභෝගිකයා ඒකට අහස උසට මිලක් ගෙවනවා. මොන තරම් පම්පෝරි ගැහුවත් සහල් මිල අඩු වෙලා නැහැ. පොල් මිල එලොව පොල් පේනවා. පසුගිය සුනාමි පළමු රැල්ලේදී ජනාධිපතිවරයා පරිස්සු ගැන බොහොම දුක් වුණ. දැන් පරිප්පු කිලෝවක් රුපියල් 250යි, සීනි කිලෝවක් 117ක්යි. අල කිලෝවක් රුපියල් 250යි ! හැම භාණ්ඩයකම මිල 35%කින් පමණ ඉහළ ගිහින් තියෙනවා. ඊට සාපේක්ෂව ජනතාවගේ ආදායම විශාල වශයෙන් පහළ ගිහින් තිබෙනවා. ඇතැමුන්ට කිසිම ආදායමක් නැහැ.

මේ තත්ත්වයට ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතුයි. රුපියල් 5000ක් බෙදාදීම මේකට පිළියමක් නෙමෙයි. ඒක හරියට අතීසාරයට අමුඩ ගහනවා වාගේ වැඩක්. මේ 5000 කඩේට අරන් ගියම හකුරු වාගේ දියවෙනවා.

මේ අවස්ථාවේ වෙළෙද ඇමතිවරයා ගැනත් යමක් කිව යුතුයි. ඔහු ගැන දවසක් කිව්වත්, පොතක් ලිව්වත් පාඩුවක් නැහැ. ඒ තරම් නල්ලමලේ වෙළෙද ඇමැතිවරයෙක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ලිදේ ඉන්න මැඩියාගේ ලොකේ ලිද වාගේ වෙළෙද ඇමැතිවරයාගේ ලෝකේ, කොකටත් තෛලය බවට සතොස පත්වෙලා තිබෙනවා. මේ හාස්‍යජනක තත්ත්වයක් වුණත් ඇස් රතුවෙන විහිළුවක්. ඇමැතිවරයාගේ හැම බඩුවක්ම අඩුවට තියෙන්නේ සතොසේ ! ඒත් සතොසට රටකට කන්න බොන්න දෙන්න පුළුවන්ද ? බැහැ. අඩුගානේ සතොසට ගමකට කන්න දෙන්න බැහැ. ඇත්ත ඒකයි. ලංකාවේ සිල්ලර වෙළෙදාමෙන් 01%ක් වත් සතොස හරහා සිදුවෙන්නේ නැහැ. ඒ නිසා බඩුමිල අහස උසට නැගීමට සතොස කිසිසේත්ම විකල්පයක් හෝ උත්තරයක් නොවෙයි. ඒක බන්දුල ගුණවර්ධන මහත්තයාගේ සහ එහි සේවකයින්ගේ රස්සාව පමණයි.

ඒ නිසා අපි වෙළෙද ඇමැතිවරයාට කියනවා කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැහුවා වාගේ වැඩ දැන්වත් නතර කරන්න. ඔබ නිසා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදු වුණ හානිය ගැන අපට අමතක නැහැ. ඔබ ආණ්ඩු අපකීර්තියට, ජනතාවගේ පිළිකුළට පත් කිරීමට උපන් හපන් සුදුසුකමක් ඇති ඇමැතිවරයෙක්.

69 ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාව මහත් විස්වාසයෙන් බිහිකළ ආණ්ඩුවක් ජනතාව අතර අපකීර්තියට පත්කරන වැඩ නොකරන්න කියලා අපි බන්දුල ගුණවර්ධන මහත්තයාට කියනවා. මොකද මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ජාතික ව්‍යාපාරය සුවිශාල වැඩ කොටසක් කළා. කිසිම වරදානයක්, වරප්‍රසාදයක් නැතිව අති විශාල පිරිසක් දැවැන්ත කැප කිරීමක් කළා. හිරේ විලංගුවේ වැටුණා. රස්සා – ආදායම් මාර්ග නැති කර ගත්තා. ඒ නිසා ලබාගත් ජයග්‍රහණය රැක ගැනීම, ඒක වැරදි පාරේ යන කොට නිසිමගට ගැනීමේ වගකීමක් වගේම වගවීමකුත් ජාතික ව්‍යාපාරය ලෙස අපට තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව පිස්සු නටන සියලුම දේශපාලනඥයින්ට කියනවා රනිල් – මංගල හවුලට ලැබුණ උරුමය ගැන යළි යළි සිහිපත් කරන්න කියලා‘