පොහොට්ටුවේ මහ ලේකම්ට බැටේ දෙන්න ‘පොහොට්ටුවේ සුළු පක්ෂ‘ අවි මුවහත් කරයි

පොහොට්ටුවේ මහ ලේකම්ට බැටේ දෙන්න ‘පොහොට්ටුවේ සුළු පක්ෂ‘ අවි මුවහත් කරයි
Spread the love

ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකීමභාර ගෙන විෂයභාර ඇමැති උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ප.ම සාගර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ පොහොට්ටුව තුළ සිටින සුළු පක්ෂවලට එල්ල වී ඇති අභියෝග ගැන සාකච්ඡා කිරීමට අද (13 පෙරවරුවේදී) පොහොට්ටුවට සහාය දෙන සුළුපක්ෂ නායකයින් ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස් වුණා.

ආණ්ඩුවට සහාය දෙන සුළු පක්ෂ නායකයින් වන අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ , උදය ගම්මන්පිල , ටිරාන් අලස් , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු සුළු පක්ෂ නායකයින් පිරිසක් සහ ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මේ රැස්වීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සුළු පක්ෂ නායකයෙක් එහිදී සාකච්ඡා වූ කරුණු ගැන මෙසේ පැහැදිලි කළා.

‘‘ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවෙයි. ඒක ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිසක් විසින් ජීවන වියදම් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ගත් තීරණයක් නිසා අපි අඛණ්ඩව ගම්මන්පිල ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළා.

ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටද අපි තීරණය කළා. ඒ ගැන අපි කැබිනට් මණ්ඩලයේදී ද ප්‍රශ්න කිරීමට තීරණය කළා. මොකද ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ජීවන වියදම් කමිටුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ගත් තීන්දුවක් බව සාගර කාරියවසම් මහතා නොදැන සිටීමට කිසිදු හේතුවක් නැහැ‘‘

‘‘ඒ වගේම තමයි සාගර කාරියවසම් මහතා ආණ්ඩුවට සහාය දෙන, පොහොට්ටුවේ සුළු පක්ෂවලට කෙනෙහිළිකම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු මීට පෙර ඇමැති විමල් වීරවංශ මහතාට ද චෝදනා කළා. මේ ගැන වාසුදේව නානායක්කාර මහතා යළිත් සිහිපත් කළා. අපි කියන්නේ මේ අවලාද මෙතැනින් අවසන් විය යුතුයි. ආණ්ඩුව බලයට පත්වෙලා තාම ඉතාම කෙටි කාලයයි ගත වුණේ. ආණ්ඩුවේ පක්ෂ අතර අර්බුද ඇති වුණාම ඒකේ වාසිය යන්නේ විපක්ෂයටයි. අපි අපිට ඡන්දය දුන්න ජනතාවට වගකියන්න ඕනෑ‘

සුළුජන පක්ෂ නායකයින් මෙවැනි කතා ප්‍රකාශ කළ ද අද සුළු පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සමග සමාජමාධ්‍යවල ජනතාව ඒ සම්බන්ධයෙන් හාස්‍ය මුසු ප්‍රතිචාර දක්වා තිබුණි. ඔවුන් පවසා සිටියේ මෙවැනි නාඩගම් වහාම නතර කළ යුතු බවයි.