T20 තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3/0 දැවැන්ත පරාජයක්

T20 තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3/0 දැවැන්ත පරාජයක්
Spread the love

විස්සයි-20 තරගාවලියේ පරාජය යම් තරමකින් අවම කර ගැනීමට තිබූ අවසන් අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නොදුන් එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම අද (26 දා) පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දැමූහ. සදම්ටන්හි පැවැති මෙම තරගයෙන්ද ලකුණු 89 ක ජයක් වාර්තා කළ සත්කාරකයෝ තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ජය ගනු ලැබුවේ 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ‘පූර්ණ සුද්දයක්’ (වයිට් වොෂ්) ‍දමමිනි.

පළමු තරග දෙකේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා හඹා යෑම තෝරා ගත්තද එංගලන්ත පන්දු යැවීම හමුවේ ලකුණු 100 සීමාව පවා ඉක්මවාලීමට නොහැකිව ලකුණු 91 දී ඉනිම නිමාවට පත්විය. ශ්‍රී ලංකා පිල දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව මෙතෙක් විස්සයි-20 තරග වලදී දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වැඩිම ලකුණු පරතරයකින් යුතුව එංගලන්තය ජයගත් සිව්වැනි අවස්ථාව වශයෙන්ද සටහන් විය.

මුල්ම පන්දුවට හතරේ පහරක් එල්ල කළද දෙවැනි පන්දුවෙන් ධනුෂ්ක ගුණතිලක දැවී යෑමත් සමඟ පෙර තරග වල පරිදිම එකා පිට එකා දැවී යෑම ඇරැඹිණ. එහිදී නායක සහ උප නායකත්වයට පත් කුසල් යුගලයද නරඹන්නන් බවට පත්වූයේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 23 ක්ව සටහන්ව තිබියදීය. එතැන් පටන් ලකුණු හඹා යෑම පසෙක තැබූ පිතිකරුවෝ කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් ඔවුන්ට වඩා එංගලන්ත පන්දු යවන්නන් ගව් ගණන්ක ඉදිරියෙන් සිටීම නිසා පළමු පන්දුවාර 10 අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 53 ක් ලෙසිණි. පිටියේ තුළ ස්ථාවර වීමට එකම ශ්‍රී ලංකා පිතිකරුවකු හෝ අසමත්වූ අතර යන්තමින් හෝ ලකුණු 20 සීමාවට ළඟා වූයේ පන්දු යවන්නකු ලෙස තරගයට එක්කාසු වුණු බිනුර ප්‍රනාන්දු (20) පමණි.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු වමත් පන්දු යවන්නන් වුණු ඩේවිඩ් විලී ලකුණු 27 කට කඩුලු 3 ක්ද සෑම් කරන් ලකුණු 14 කට කඩුලු 2 ක් වශයෙන් කඩුලු 5 ක් බෙදා ගත්හ. වසර 6කට පසු විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ ක්‍රිස් වෝක්ස් තම පන්දුවාර 4 ලකුණු 9 කදී යවා අවසන් කර ගනු ලැබුවේ කඩුල්ලක්ද දවා ගනිමිනි.

පන්දු යැවීමට අමතරව එංගලන්ත පිලේ පන්දු රකින්නන් ස්ථාන ගත කිරීම, පන්දුව කඩුල්ලට යොමු කිරීම ඉතාම ඉහළ තත්ත්වයක පැවැති අතර එහිදී සෑම් බිලංග්ස් විසින් දසුන් ශානකව දවා ගැනීම වෙනුවෙන් හතරේ සීමාව ආසන්නයේ සිට කඩුල්ලටම යොමු කිරීම කැපී පෙනිණ.

එංගලන්ත ආරම්භ පිතිකරුවන් මෙල්ල කර ගැනීමට නොහැකි වීම පරාජයේ පළමු හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය. පළමු පන්දුවාර 3 දී ලකුණු 14 ක් පමණක් ලබා දෙමින් ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මාලන්ව ග්‍රහණයකට හසු කර ගනිමින් පන්දු යැවීමට දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු සමත් වුවත් පිටියේ ස්ථාවර වීමත් සමඟ ලකුණු පුවරුව වේගයෙන් ක්‍රියාත්මක විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 ක් ක්‍රීඩා කළ වමත්-දකුණත් සුසංයෝගය පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 105 ක් දක්වා ඉහළ දැමූහ. එහිදී අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළුණු බෙයාර්ස්ටෝ පන්දු 41 කින් අර්ධ ශතකය ලබා ගන්නා ලද්දේ සිය ඉනිම හතරේ පහයර 5 කින් සහ හයේ පහරකින් අලංකාර කර ගනිමිනි. මොවුන් දෙදෙනාගේ ඉනිම හේතුවෙන් ඉනිමේ හරි අඩක් හෙයවත් පන්දුවාර 10 නිමා වන විට එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 93 ක් ලබා සිටියහ.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර කීපයේදී යළිත් සැලසුම් සහගතව පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු 200 සීමාව ඉක්මවා ලීමේ අවස්ථාව එංගලන්තයට අහිමිවූවේය. අවසන් පන්දුවාර 5 දී පන්දු යැවූ චමීර, ලකුණු 76 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වුණු ඩේවිඩ් මාලන්ගේ කඩුල්ලද සමඟ කඩුලු 4 ක් දවා ගනු ලැබුවේ තම පන්දුවාර 4 ම ලකුණු 17 කට සීමා කරමිනි. අතිරේක ලකුණු කිසිවක් ලබා නොදෙමින් පන්දු යැවූ චමීර අද දිනයේ යවන ලද පන්දු 24 න් 11 ක්ම නිලකුණු පන්දු ලෙසින් යවමින් විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීමද වාර්තා කරගත්තේය. විස්සයි-20 තරග පිටියේ ලොව අංක 1 පිතිකරුවා බවට පත්ව සිටින මාලන්ගේ පන්දු 48 කින් සමන්විත ඉනිමේදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් එල්ල කර තිබිණ.  

ඉසුරු උදාන විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ලකුණු 17 ක් උදුරා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 180 ක් රැස් කිරීමට එංගලන්ත පිලට හැකියාව ලැබිණ. එංගලන්ත පිතිකරුවන්ගේ දැඩිම ප්‍රහාරයට ලක් වුණු පන්දු යවන්නා වූයේ වනිඳු හසරංග වන අතර ඔහුගේ පන්දුවාරයකට ලකුණු 14 බැගින් ලබා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ. සුදු පන්දුවෙන් තරග කරන බොහෝ අවස්ථාවන් වලදී වනිඳුගේ පන්දු හමුවේ පිතිකරුවන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් කඩුලු ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනු ලැබුවද අද දිනයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙණින. ශ්‍රී ලංකාව සතු ප්‍රබලම තුරුම්පුව වන හසරංග දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා අද දිනයේ නායක කුසල් පන්දුවාර 3 ක් පමණක් යැවීම සඳහා උපයෝගී කර ගැනීම විශේෂත්වයක් විය. ඔහුට අමතරව ඉසුරු උදානටද සිය පන්දුවාර 4 දී ලකුණු 55 ක් රැස් කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

දෙරට අතර ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන අඟහරුවාදා (29 වැනිදා රිවර්සයිඩ්හිදී තරග වදිනු ඇත.

Text by sl cricket