බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙවර කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළා.
මෙහිදී මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කාරියවසම් මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඒ ප්‍රශ්න වෙනුවෙන් කාරියවසම් මහතා ලබා දුන් පිළිතුරු පහත දැක්වෙනවා.
ප්රශ්නය – ඇයි මේ වගේ ලොකු පිපිරීමක් කළේ?
සාගර කාරියවසම් – ” මොකකද් පිපිරීම. එහෙමය දෙයක් නැහැ, ඒක අපේ පක්ෂයේ මතය. ඒ වෙලාවේ ඒ කරපු දෙයින් ජනතාවට වුණ අමාරුව අපිට තේරුණා. ඒ අනුව අපේ පාක්ෂිකයින් වෙනුවෙන් අපි ඒ කළ යුතු ඉල්ලීම සිදුකළා.”
ප්රශ්නය – මේ ඔබතුමා මන්ත්‍රීවරයෙක් ලෙසින් සිදුකරන ඔබතුමාගේ අන්තිම මාධ්‍ය සාකච්ඡාව වෙන්න ඇති නේද ?
සාගර කාරියවසම් – ” ඇයි ඔබතුමා එහෙම ඇහුවේ කියන එක මට පැහැදිලි නෑනේ.”
ප්රශ්නය – නෑ මේ වකවානුව තුළ?
සාගර කාරියවසම් – ” මට තේරෙන්නේ නෑ ඔබතුමාගේ ප්රශ්නය.”
ප්රශ්නය – බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගේන්න මේ වගේ කැම්පේන් එකක් කළේ ඇයි ? ඉන්ධන මිල වැඩි කළා කියනවා. ඊට පස්සේ එතුමා ආවහම රු 10කින් අඩුකරන්න පුළුවන් කියනවා. මේක ගලවා ගන්න ඉන්නේ එතුමා පමණයි කියනවා. ඇයි ඒ වගේ ලොකු කැම්පේන් එකක් කළේ ?
සාගර කාරියවසම් – ” එතුමා තමයි මේ පක්ෂයේ නිර්මාතෘවරයා. අලුතින් පක්ෂයක් පිහිටුවලා වසර හතර හමාරක් තුළ ඒ පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ රජයක් බිහිකරලා සුවිශාල කාර්යභාරයක් කරපු අති දක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි සියයට හතක් පමණ වන ආර්ථික සංවර්ධන වේගයක් අපේ පසුගිය රජයට ගෙනියන්න හැකියාව ලැබුණේ බැසිල් රාජපක්ෂ මහතා නිසා. එවැනි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්න විශේෂ කැම්පේන් එකක් කරන්න ඕනේ නෑ. මෙවැනි අවස්ථාවක එතුමා වැනි පුද්ගලයෙක් ඇවිල්ලා සුවිශේෂි කාර්යභාරයක් කළොත් රටට වැදගත් කියන බලාපොරොත්තුව, විශ්වාසය අපේ පාක්ෂිකයින්ගේ ජනතාවගේ තියෙනවා. මේ තත්ත්වය මතයි ඒ දැඩි ඉල්ලීම එතුමාගෙන් සිදුකළේ.”
ප්රශ්නය – එතුමා ඉල්ලීමට අනුමැතිය දීලා නැද්ද තවම “මම එනවා“ කියලා ?
සාගර කාරියවසම් – “එතුමාට දැඩි ඉල්ලීමක් කරලා තියෙනවා. එතුමා ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා නෑ මේ වෙනකල්. හැබැයි ඒකට ගොඩක් කාරණා සිද්ධවෙන්න තියෙනවා. එතුමා එනවා නම් පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් පුරප්පාඩුවක් ඇති විය යුතුයි. ඉන්පසුව එතුමාව පත්කළ යුතුයි. එහෙම දෙයක් වෙනවා නම් එය අපි ඉතා උත්සව ශ්‍රීයෙන් රටට දැනුම් දීලා කරන දෙයක් මිසක් හැඟවිලා තිරය පිටුපස්සෙන් කරන දෙයක් නෙමෙයි කියන එක ඉතා ආඩම්බරයෙන් කියන්න කැමතියි.”
ප්රශ්නය – ඔබ වුණත් ඒකට සුදානම් ද ?
සාගර කාරියවසම් – “අපේ ජාතික ලැයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දැනුම් දුන්නා එතුමා පාර්ලිමේන්තු එනවා නම් ඒ වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කරන්න කැමතියි කියන එක.”
ප්රශ්නය – කොච්චර කල්යයි ද ඔබ ඉල්ලීමට ?
සාගර කාරියවසම් – “ඒක එතුමා තීරණය කරන්න ඕනේ. කොයි වෙලාවේ ද එතුමා එන්නේ කියන එක. මම හිතන්නේ මේ අවස්ථාවේ දී නම් එතුමාට මේ ඉල්ලීම අහක දාන්න බැරිවෙයි.”
මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීම 06 වැනි දින නොව ජූලි 08 වැනි දින සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යධුරයට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යධුරය ද දරනු ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.