ක්‍රිකට් වළපල්ලට ගියේ කොහොමද කියා ‘නාමල් ගණන් හිලව් ඇතිව කියා දෙයි‘

ක්‍රිකට් වළපල්ලට ගියේ කොහොමද කියා ‘නාමල් ගණන් හිලව් ඇතිව කියා දෙයි‘
Spread the love

2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවත් 2014 සිට 2019 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙක් ක්‍රීඩා කර ඇති බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමතිවරයා මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු හෙළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. “2014 ලෝක කුසලානය දිනාගැනීමේ සිට 2019 දක්වා මෙරට ක්‍රීඩා ඇමතිවරු හතර දෙනෙක් සහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවන් පස් දෙනෙක් කටයුතු කරලා තියෙනවා. ඔවුන්ට සහායක කාර්ය මණ්ඩලය 20ත් 30ත් අතර හිටියා. සමහර සහයක පුහුණුකරුවෝ එක තරඟයකට පුහුණුකරලා වැඩේ අතරමග දාලා යනවා. ඒ විතරක් නොවෙයි එක අවස්ථාවක දේශීය පුහුණුකරුවන්ට දිය යුතුයි කියලා පුහුණුකරුවෝ බඳවා ගත්තා සංචාරයක් අතරමග ඒ පුහුණුකරුවා ගිවිසුම අහෝසි කළා. අවසාන ප්‍රතිඵලය තමයි ඒ පුහුණුකරුවා අද වන්දි නඩුවක් දාලා තියෙනවා ඩොලර් මිලියනයක වන්දියක් ඉල්ලලා. ඒ ඩොලර් මිලියනයේ වන්දිය Negotiate කරන්න ඩොලර් ලක්ෂ 1 1/2ක මුදල් ගෙවලා තියෙනවා. කණ්ඩායම් නායකයෝ 10ක් විතර අත්හදාබලලා තියෙනවා මේ වසර 4 1/2, 5 අතරතුර. ඊට අමතරව ක්‍රීඩකයින් 105 දෙනෙක් 20/20, එක්දින සහ ටෙස්ට් තරඟවලට අත්හදාබලලා තියෙනවා. සමහර ක්‍රීඩකයෝ එක තරඟයයි. ඔහුට ඊට පස්සේ අවස්ථාවක් නෑ . ඒ විතරක් නොවෙයි 2016/17 වසරේදී ක්‍රීඩකයෝ 40ක් අත්හදාබලලා තියෙනවා”.යැයි ද පැවසුවේය.