මහා භාණ්ඩාගාරය හිස්කරන ලොකුම බහිරවයෝ මෙන්න – තිස්ස විතාරණ කරන හෙළිදරව්ව !

මහා භාණ්ඩාගාරය හිස්කරන ලොකුම බහිරවයෝ මෙන්න – තිස්ස විතාරණ කරන හෙළිදරව්ව !
Spread the love

ප්‍රතිපත්තීන් යාවත්කාලීන නොවීම හා රජයේ ආයතන ගණනාවක අවභාවිතාවන් හේතුවෙන් රජයට හා රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමි වන බව රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.

මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මේ බව සඳහන් කළේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන මෙම වාර්තාව ඉතා සවිස්තරාත්මක වාර්තාවක් බවත්, එමඟින් මෙලෙස රජයට අහිමිවන මුදල් අයකර ගැනීමට ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා කීවේය.

රටේ පවතින ඇතැම් ප්‍රතිපත්ති යාවත්කාලීන නොවීම හේතුවෙන් රටට විශාල මුදලක් අහිමි වන බවත්, අලි මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වැය වන මුදල ඊට හොඳම උදාහරණයක් බවත් ඒමහතා පෙන්වා දුන්නේය.  

“දැනට පවතින ප්‍රතිපත්තීන්ට අනුව වසරක් පාසා අලි වැට ඉදිකිරිම ඇතුළු කාර්යයන්ට අයවැය මඟින් විශාල මුදලක් වෙන් කරනු ලබනවා. මෙහිදී සිදු කරන්නේ අලි ඇතුන් එකම සීමා වූ ප්‍රදේශයකට කොටු කර ඒ වටා අලි වැට බැඳීමයි. මෙහිදී සිදුවන්නේ බොහෝ විට අලි පැටව සහ කෙනර එම ප්‍රදේශයට ගාල් කිරීමයි. අලි දැවැන්තයන් ඊට ගාල් කර තැබීමක් සිදු වන්නේ නැහැ. එතනදී කාලයක් යනකොට ඒ සීමා වූ ප්‍රදේශයේ  ආහාර මදිවන විට අලි පැටව් මෙන්ම කෙනෙර මිය යන්න පටන් ගන්නවා. ඒ අතර දැවැන්ත අලි ගම් වදිනවා” යැයිද සභාපතිවරයා පැවසීය.

එබැවින් මේ ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා වන යෝජනා වාර්තාවට ඇතුළත් කර තිබෙන බවත් විතාරණ මහතා කීය. ජනතාව ජීවත්වන ප්‍රදේශය වටා මෙන්ම ගොවි බිම් වටා පමණක් අලි වැට ඉදිකර ඉතිරි ප්‍රදේශයේ අලින්ට නිදහසේ සැරි සැරීමට පරිසරයක් සැකසිය යුතු බවත් පැවසු ඒ මහතා ආචාර්‍ය පෘතුවිරාජ් මහතා මෙම ක්‍රමවේදය අනුරාධපුරය හා ගල්ගමුව ප්‍රදේශයේ දී අත් හඳා බලා ඉතා උසස් ප්‍රතිඵල ලබා තිබෙන බවත්  සඳහන් කළේය .

මෙම ප්‍රදේශවලට ගොස් තමන් ගම්වාසීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් එම ක්‍රමවේදය අනුමත කරන අතරම මේ වන විට ස්භාවිකවම මිනිසුන් හා අලින් අතර ගැටුම් අවම වී ඇති බවත් මහාචාර්ය විතාරණ මහතා කීය. මේ හේතුවෙන් ප්‍රතිපත්තීන් සංශෝධනය සඳහා ද ඉතා සවිස්තරාත්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව විතාරණ මහතා පැවසීය.

එමෙන්ම මෙරට තිබෙන විගණන කටයුතු පවා ඉතා හොඳින් පවත්වාගෙන යන බලවත් ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර ගණනාවකින් බදු ගෙවා නොමැති බවත් මෙමඟින් අහිමිවී ඇති බදු මුදල ඉතා විශාල බවත්, මහාචාර්‍ය විතාරණ මහතා පැවසීය.

මෙයට හේතුවක් වී ඇත්තේ එම ආයතන විසින් ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට ඔවුන්ට අවස්ථාව සැළසී තිබීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එකම ආයතනයකට තුන්වරක් අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දීම සිදු නොවිය යුතු බවත්, මේ හේතුවෙන් බදු ගෙවීම වසර ගණනාවක් ප්‍රමාද වීම පමණක් නොව ඉන්පසු ඊට එරෙහිව අධිකරණය වෙත යාමට කටයුතු කිරීමත් නිසා විශාල කාලයක් බදු ගෙවීමට ගත වී තිබෙන බවත්, විතාරණ මහතා කීවේය.

එමෙන්ම අභියාචනය කිරීම සඳහා මාස 06 ක් ලබා දී තිබෙන බව පැවසූ සභාපතිවරයා එම කාළය සීමා කිරීමට මෙන්ම අභියාචනා සඳහා ලබා දෙන අවස්ථා එකකට පමණක් අඩු කිරීමටද නිර්දේශ කර තිබෙන බව සඳහන් කළේය.