අද (27) දිනට යෙදෙන හිස සහ ගෙල ආශ්රිත පිළිකා දිනය වෙනුවෙනි
ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුල පිළිකාවක් ලෙස මුඛ පිළිකාව නම් කර ඇති අතර සෑම අවුරුද්දකටම දෙදහස් පන්සීයක් පමණ රෝගීන් අලුතින් ලියාපදිංචි වන තත්වයක් ඇති බව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ පවසයි.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය හේතුවෙන් මරමුවට පත් වන පිරිසෙන් වැඩිම සංඛ්‍යාව මුඛයේ පිළිකා හේතුවෙන් මිය යන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ වැඩි දුරටත් කියා සිටියේ.
මුඛ පිළිකා හට ගැනීමට බළපාන ප්‍රධාන හේතු කිහිපයක් ඇති බව පැවසූ වෛද්‍ය හේමන්ත අමරසිංහ කියා සිටියේ පළමු හේතුව ලෙස ග්‍රාමීය සහ වතුකරයේ ජනතාව බුලත් කැමේ පුරුද්දට ඇබ්බැහි වී තිබීම පෙන්වා දිය හැකි බවයි.
බුලත් හැපීමේ දී දුම්කොළ නොමැතිව බුලත්විට සැපුවත් මුඛ පිළිකාවලට ගොදුරු වීමේ ඉඩක් පවතීදැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වෛද්‍යවරයා කියා සිටියේ දුම්කොළ ශරීරයට අහිතකර බවට කාලයක් මුළුල්ලේ මිනිසුන් අතර දැනුවත් භාවය වර්ධනය වී තිබෙන නිසා 15% ක පමණ ප්‍රතිශතයක් දුම්කොළ රහිතව බුලත් විට කෑමට පුරුදු වී සිටින නමුත් පුවක් සැපීම දුම්කොළ වැනිම පිළිකා කාරකයක් වන බවයි.
පුවක් ප්‍රධාන පිළිකා කාරකයක්
බොහෝ විට මිශ්‍රණය කළ පුවක්, පැකට්ටු වශයෙන් විකිණීමට ඇති අතර බාබුල්, මාවා හාන්ස් යන නම් වලින් මෙම මත් පුවක් නිෂ්පාදන වෙළඳපොළ තුළ ප්‍රචලිතව පවතින බවයි ඔහු පවසන්නේ.
මින් හාන්ස් නම් වර්ගයට දුම් කොළ, හුණු සහ තවත් සිරුරට අහිතකර රසකාරක එක් කර ඇති අතර එහි බුලත් අන්තර්ගත නොවේ.
මහළු වයසේ පසුවන බොහෝ රෝගීන්ට මුඛ පිළිකා වැළඳීමේ හේතුව බුලත්විට සැපීම වුවත් මේ වන විට විශාල වශයෙන් තරුණ පිරිස් මෙවැනි පුවක් පැකට් ආහාරයට ගැනීමෙන් මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත අමරසිංහ කියා සිටියේ.
ඊට අමතරව මුඛ පිළිකා වලට හේතු වන මත්පැන්, දුම්වැටි සහ බුලත්විට යන සියල්ලම භාවිතා කරන පුද්ගලයන් ඉතා අඩු වයසින් මුඛ පිළිකා වලට ගොදුරුවන බව පෙන්වා දුන් වෛද්‍යවරයා පවසන්නේ ඔවුන්ගේ ශරීරයේ පිළිකාව ඉතා සීග්‍රයෙන් පැතිරයාමේ ඉඩකඩ ඉහළ බවයි.
පූර්ව පිළිකා රෝග ලක්ෂණ
බුලත් විට ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ කම්බුලේ ඇතුළු පැත්තේ සහ බීඩි, සිගරැට් පානය කරන්නන්ගේ මුඛයෙ කෙරවත් පිළිකා ඇතිවන අතර ලංකාවේ තවමත් වැඩියෙන්ම වාර්තා වන්නේ කම්බුල ඇතුළු පැත්තේ පිළිකා බවයි වෛද්‍ය හේමන්ත අමරසිංහ පෙන්වා දෙන්නේ.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඊට අමතරව උගුරේ සහ දිව ආශ්‍රිතවත් මේ වන විට ශ්‍රී ලංකාවේ පිළිකා වාර්තා වෙමින් පවතින බවයි.
මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම රෝහල් වෙත පැමිණෙන්නේ පිළිකාවේ අවසාන අධියර දෙකේදී පමණක් බව පවසන වෛද්‍යවරයා කියා සිටියේ මෙය දැනට පවතින විශාල ප්‍රශ්නයක් වී ඇති බවයි.
“අවසාන අවස්ථා දෙකේදී තමයි ඔවුන් අප වෙත එන්නේ, මේක ප්‍රධාන ගැටළුවක්! මේ රෝගීන්ට කරන ප්‍රතිකාර බොහෝ සංකීර්ණයි, සමහර විට ශල්‍යකර්ම විතරක් මදි. රේඩියෝ තෙරපි, කීමෝ තෙරපි වැනි සියලුම අංශයේ ප්‍රතිකාර ලබා දුන්නත් අන්තිමට ජීවත් වන කාලය බොහොම අඩුයි.” වෛද්‍ය සමරසිංහ විස්තර කළේය.
මුල් අවධියේ හඳුනා ගැනීම වැදගත්
මුඛ පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගත හැක්කේ කෙසේදැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “මුඛ පිළිකාවක් එන්න කළින් සුදු හා රතු ලප එක්ක පූර්ව පිළිකා තත්ව කටේ මතු වෙනවා. උදාහරණයකට බුලත් විට කන කෙනෙක් නම් කටේ බුලත් විට තියා ගෙන ඉන්න තැන, මෙම ලප ඇති වෙනවා. පළමුව සුදු පාටට මතුවන ලපය, පසුව රතු වෙලා, තුවාලයක් වෙලා පිළිකාව බවට පරිවර්තනය වෙනවා.” වෛද්‍ය හේමන්ත සමරසිංහ රෝග ලක්ෂණ පැහැදිලි කළේය.
පූර්ව පිළිකා අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් පහසුවෙන් සුව කළ හැකි බැවින් මුල් අවධියේදීම පිළිකාව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
පුවක් වලින් ඇති වන පිළිකා තත්වය ඉතා භයානක බව පවසන ඔහු කියා සිටියේ ලෝකයේ මෙම පිළිකාවට ගොදුරු වූ ලාබාලතම රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි.
‘නිසි නීතියක් නැහැ’
වයස අවුරුදු දෙකහමාරක දරුවකු සිය නිවසේ බිම වැටී ඇති පුවක් කැබළි ආහාරයට ගැනීමෙන් මෙලෙස පිළිකාවට ගොදුරු වූ බව පවසන වෛද්‍යවරයා, ශ්‍රී ලංකාවේ පුවක් සැපීමෙන් ඇති වන පිළිකා ප්‍රමාණය දිනෙන් දින විශාල වශයෙන් ඉහළ යමින් තිබෙන බවයි කියා සිටියේ.
බුලත් විට කෑමට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට ඉන් මිදීමට සහය ලබා ගත හැකි ඒ වෙනුවෙන් වෙන්වූ සහන මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ නොමැති බව පෙන්වා දුන් වෛද්‍ය හේමන්ත සමරසිංහ කියා සිටියේ දුම් කොළ ,පුවක්, පුවක් පැකට්, බාබුල්, බීඩා, මාවා හා පන්පරා යන නම් වලින් විකුණන නිෂ්පාදන වලින් මිනිසුන් මුදවා ගැනීමට ඉදිරියේ දී උපදේශන මධ්‍යස්ථාන ඇති කළ යුතු බවයි.
විශේෂයෙන්ම බාබුල් සහ බීඩා තහනම් කෙරෙන හෝ පාලනය කෙරෙන නිසි නීතියක් ලංකාව තුළ නැති බැවින් එවැනි මත් පුවක් නිෂ්පාදනය සහ අලෙවිය සම්පුර්ණයෙන්ම තහනම් කරන්න නීති සැකසීමට සහයෝගය ලබා දෙමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත සමරසිංහ අවසන් වශයෙන් කියා සිටියේ.
Text by bbc sandesaya