අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමන අයුරු ගැන නාමල් කළ සුපිරි හෙළිදරව්ව

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමන අයුරු ගැන නාමල් කළ සුපිරි හෙළිදරව්ව
Spread the love

‘මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා‘

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් අද (14) දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින්  තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රටේ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල වැඩිවීම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,

“කොවිඩ් 19 වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට වැටී තිබෙනවා. අපි දැක්කා බටහිර අධිරාජ්‍යවාදීන් ලෙස ලෝකේ පාලනය කරපු අය අද වෙද්දි ගෑස් නොමැතිව හමුදාව යොදවාගෙන ගෑස් බෙදා හැරීම සිදු කරනවා. ලෝකේ හැම රටකම මෙම අර්බුදය තිබෙනවා. අසල්වාසී රටවලත් එසේ සිදු වී තිබෙනවා. අපිටත් එහි යම්කිසි බලපෑමක් සිදු වී තිබෙනවා. අපි මෙම වසංගතයට මුහුණ දෙන්න අවශ්‍යයි.

වංසගතය ව්‍යාප්තිය පාලනය කරමින් රට විවෘත කර රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ආ යුතුයි. අපි හැමෝම අමතක කරන කාරණය තමයි  රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙන බව. මේ රැකියා දරුවන්ට ලබා දෙන්න නම් මේ රට නැවත සක්‍රීය වෙන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයක් කරා අපි ගමන් කළ යුතුයි.

මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුලුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා”

කෘෂි කර්මාන්තය සදහා පොහොරවල හිගයක් ඇතිවී ඇති බවටත් කාබනික පොහොර යෙදීමෙන් ඇතිවෙන බලපෑම් සම්බන්ධයෙනුත් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

“ කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් අවශ්‍ය කාබනික පොහොර අදාළ ප්‍රදේශවලට යවා තිබෙනවා. මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුර, කුරුණැගල දිස්ත්‍රික්කවල මම පහුගිය දවස් දෙක ගත කලා. මේ දිස්ත්‍රික්කවලට මේ වන විට අවශ්‍ය පොහොර ප්‍රවාහනය කරමින් පවතිනවා.

මම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ජනතාවාදී ආණ්ඩුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා දැඩි තීන්දුවක් ගත්තා. ජනතාවගේ සෞඛ්‍ය සහ අනාගත පරම්පරාව ගැන හිතලා රසායනික පොහොර වලින් ඉවත් වෙන්න. මේක අභියෝගාත්මකයි. මේක අභියෝගයක් නොවෙයි කියලා කියන්න බැහැ.

මේ අභියෝගය අපි ජය ගන්නවා වගේම ගොවියාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. යම් විදියකින් අස්වැන්න අඩු වුනොතින් ඒ අඩුවෙන අස්වැන්නේ ප්‍රමාණයට ගෙවීම් කරන්නත් කෘෂිකර්ම අමාත්‍යතුමාට අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

පැහැදිලිවම අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව සමග එකට ඉන්නවා. ලෝකයේ තිබෙන ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදිත කාබනික පොහොර ලංකාවට ගෙනැවිත් දැනට පළමු අදියරේ ලබා දෙනවා. ඉන් පසු අපේ රට තුල මෙම පොහොර නිෂ්පාදනය කර රට පොහොර වලින් ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.

මේ අභියෝගාත්මක කාලයක්. අපිට වැටහෙනවා මේක අමාරුයි, බියක්, චකිතයක් තිබෙනවා. හැබැයි ඒ බිය, චකිතය අපි තුළත් තිබෙනවා. අපිත් මේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ආශ්‍රය කරන ගොවි පරම්පරා පවුල්වලින් ආපු අය.

පැහැදිලිව ම කාබනික පොහොර සම්බන්ධව තිරසාර විසදුමක් අපි ලබා දෙනවා. ආණ්ඩුවක් විදියට අපි ගොවියන් ආරක්ෂා කරන්න බැදී සිටිනවා, ඒ සදහා මැදිහත් වෙනවා. “

GSP+ වෙළද සහනය නැවත ලංකාවට ලැබෙවිද යන සැකයක් පවතින බව මාධ්‍යවේදීන් අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඒ සදහා අමාත්‍යතුමා මෙසේ පිළිතුරු ලබා දෙන ලදි.

“ අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම ඕනෑම විදේශ රටක් සමග අපේ වෙළඳපොළ විවෘත කර ගනුදෙනු කරන්නත් අපි සූදානමින් ඉන්නවා.

කොන්දේසි විරහිතව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ක්‍රියාත්මක වෙනවා. මම විස්වාශ කරනවා ඉදිරි කාලයේදී අතිගරු ජනාධිපතිතුමාගේ හා විදේශ අමාත්‍යාංශයේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක පැහැදිලිව යුරෝපයේ GSP+  වගේම ලෝකයේ  නව වෙළඳපොළ සමග ගනුදෙනු කරන්න හැකියාව ලැබෙයි.

ලබන වසරේ අය වැයෙන් ගමට වෙන් වෙන ලක්ෂ 30 ත් කොට්ඨාශ මන්ත්‍රීවරයාට වෙන් වෙන ලක්ෂ 40 ත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් වෙන මුදල්වලිනුත් 40% ක අවමය ලබා දෙන්නේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න. එය උපරිමය 100% දක්වා ගෙන යා හැකියි.

අපි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ලෝක වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන බිහි කරන්න පටන් ගන්නවා කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා.”

විපක්ෂය චෝදනා කරන්නේ මෙවර අය වැයෙන් ගමට මුදල් ලබා දෙන්නේ මැතිවරණය ඉලක්කරගෙන බව මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

“ විපක්ෂයට ප්‍රතිපත්තියක් නැති නිසා ඒ අයට ඕනේම අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්. ඔවුන්ට දේශපාලනමය වශයෙන් ප්‍රතිපත්තියක් තිබ්බා නම් අද මේ විදියේ ඉරණමක් අත් වෙන්නේ නැහැ.

අපි මැතිවරණ බලාගෙන ගම සංවර්ධනය කරපු අය නෙවෙයි එය අපි පැහැදිලිව වගකීමකින්  කියනවා. ඔබට මතක ඇති ඉතිහාසයේ පළමු වතාවට ග්‍රාමසේවා වසමට මුදල් වෙන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. ඒ ඡන්ද බලාගෙන නෙවෙයි.

එදා ගමේ මන්ත්‍රීවරයාට ප්‍රතිපාදන වෙන් කර ගම සංවර්ධනය කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි.

දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගම සංවර්ධනය කරන්න මුදල් වෙන් කළේ එතුමාගේ ආණ්ඩුව කාලේ .

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් ඒ ප්‍රතිපත්තිවලට අනුව යමින් පැහැදිලිව ගම සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. එය මැතිවරණ ඉලක්ක කරගෙනවත්, දේශපාලන අරමුණකින්වත් නොවෙයි.

මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.