මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව
Spread the love

රජය ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩපිළිවෙළට කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානය සම්පූර්ණ කැමැත්ත පළ කර සිටින බවත් එහෙත් මෙම පොහොර  ක්‍රියාන්විතය මැතිණිය  විසින් රැගෙන ආ හාල් පොල්ල මෙන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුව  කඩිනමින් නිරාකරණයය විය යුතු බව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහානායක  ආචාර්ය ශාස්ත්‍රපති  පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ 22 දින අවධාරණය කළහ.

කණ්ඩලම දෙවන දෙවන පියවර ශ්‍රී  සුමංගල ගොවි සංවිධානයේ කන්න රැස්වීම එහි සභාපතීත්වය දරන ආචාර්ය ඉනාමළුවේ  ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද (22) දින දඹුල්ල උයන් වත්ත විහාරස්ථානයේ පිහිටි ශ්‍රී ආනන්ද නාහිමි  සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එහිදී වර්තමාන පොහොර ගැටලුව පිළිබඳව රටේ ගොවි සංවිධාන මේ වනවිටත් දැඩි අරගලයක නිරත වන අවස්ථාවක තම ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට නොඑන බව නාහිමියෝ අවධාරණය කළහ.

මෙරට  ගොවියන්   සංවිධානාත්මකව මේ වනවිට අරගලයක නිරත වන බවත් තම ගොවි සංවිධානය එවැනි කිසිදු අරගලයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩසටහන්ට පූර්ණ සහ සහයෝගය ලබා දෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මැතිනියගේ කාලයේ දේශීය  කෘෂිකර්මාන්තය  ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු  සහගත තත්වය  නිසා එය ජනතාව ප්‍රතික්ෂේප කළ බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතිය ද එවැනි තත්වයකට  නිර්මාණයය වෙමින් පවතින බව උන් උන්වහන්සේ පෙන්වා දෙමින් කියා සිටියේ තම ගොවි සංවිධානයේ මතය වන්නේ එකවරම කාබනික පොහොර භාවිතයට මහ පොළොව ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවත් ක්‍රමයෙන්  මහපොළොව  රසායනික  තත්ත්වයෙන්  මුදවාගෙන කාබනික තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට රජය යා යුතු  බව ය. එසේ නොවන්නේ නම් වර්තමාන ජනාධිපති වරයාගේ  කාබනික පොහොර වැඩසටහන ද මැතිණියගේ හාල් පොල්ල මෙන් වර්තමාන ජනාධිපති වරයාගේ පොහොර පොල්ලක්  බවට පත්වනු ඇතැයි  නාහිමියෝ අවධාරණය කළහ.

මෙරට බොහෝ ජනතාව විවිධ රෝග පීඩාවන් වලට පත්ව ඇත්තේ මෙම රසායනික පොහොර සහ කෘෂි ද්‍රව්‍ය නිසාවෙන් බවත් මෙරට ගොවීන් දහඩිය  මහන්සියෙන් උපයන විශාල මුදලක් පොහොර සඳහා පිටරට සමාගම්වලට ලබා දීම හා එහි ආදීනව උන්වහන්සේ ගොවීන් හමුවේ අවධාරණය කරන්නට වූහ. එම නිසා ශ්‍රී සුමංගල ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට හෝ වැඩවර්ජනයකට නොගොස් ඉතා සෙමින් සූක්ෂම ලෙස කාබනික වගාවට යොමු වීම සිදු කළ යුතු යැයි උන්වහන්සේ ගොවීන්ට මෙන්ම ජනපති වරයාටද  අවවාද අනුශාසනා කරන්නට වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝො

“අපි ගොවි සංවිධානයක් හැටියට උද්ඝෝෂණ කළේ නැහැ, පෙළපාලි කළේ නැහැ. ප්‍රශ්නයක්  ඇති වුණොත්  අපි දන්නවා ඒක විසඳාගන්නා ක්‍රමය කාලයාගේ ඇවෑමෙන්  විසඳෙන ඒවත් තියෙනවා. හැබැයි මිනිස්සු අතරේ කතාවක් තියෙනවා පොහොර ප්‍රශ්නයක් අර මැතිනියගේ කාලේ හාල් පොල්ල වගේ කියලා. දැන් මිනිස්සු  ජනාධිපතිතුමාගේ නමේ කෑල්ලත් ඉස්සරහට දාලා පොහොර පොල්ල කියලා කියනවා “

“මෙම පොහොර සිද්ධියේදී මම කිසි විටෙක එම ප්‍රතිපත්තිය වැරදියි කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය හරි. එදා සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය ගත් තීරණයත් හරි. එතුමිය කළේ අපේ රටේ ආහාර අපේ රටේම  නිෂ්පාදනය කරගන්න, ජනතාව එය  ප්‍රතික්ෂේප කරන්න හේතු වුණේ  ක්‍රියාත්මක කිරීමේ තිබුණු ගැටළු සහගත තත්වය නිසා.”

“මම හිතන්නේ ජනාධිපතිතුමා මේ ගත්තු තීරණය වැරදි නැහැ. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණය තමයි වැරැද්ද තියෙන්නෙ. ඒක වහා නිවැරදි විය යුතුයි. එක වැරම කාබනික පොහොර දාලා මේ මහාපොළොව වෙනස් කරන්න බැහැ. ක්‍රමක් ක්‍රමයෙන් කාලයක් යනකොට තමයි මෙය ක්‍රියාත්මක විය යුත්තේ. රසායනික පොහොර විශාල වශයෙන් අපි  මහපොලොවට දාලා පොළොව මරලා තියෙන්නේ. මිය ගියපු මේ මහ පොළොව එක වැරම කාබනික පොහොර දාලා ශාකයක මූල මණ්ඩලය හදන්න බැහැ. ඒ නිසා  ඉතා පරෙස්සමෙන් මේ මහපොළොව කාබනික පොහොර වලට හුරු කිරීම රජය සිදුකල යුතුයි. එහෙම නැති වුණොත් සිද්ධවෙන්නේ එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ හාල් පොල්ල වගේ වර්තමාන ජනාධිපතිතුමාටත් පොල්ලක් නම පට බැඳෙන එක විතරයි වෙන්නේ .”

“අපේ රටේ  මුදල් කොපමණ ප්‍රමාණයක් විදේශ රටවලට ලබා දෙනවාද ? අපේ රටේ මිනිස්සුන්ට  හැදිලා තියෙන ලෙඩ රෝග  කොපණමද හැදිලා තියෙන්නේ වකුගඩු රෝගීන්  ප්‍රමාණයක් ඉන්නවා ද ? ඒ සඳහා කොපමණ ඖෂධ ප්‍රමාණයක් ලංකාවට ගෙන්වනවා ද  කොපමණ ප්‍රමාණ යක් හම්බ කරන ධනය  ඖෂධ සඳහා අපේ ගොවීන් වියදම් කරනවද ? මෙන්න මේවා අපේ ගොවීන් වටහා ගත් යුතුයි”

“ඒ නිසා අපේ ගොවි සංවිධානයේ සියලු ගොවීන් ගෙන් අපි ඉල්ලා සිටිනවා කණ්ඩලම වම් ඉවුර  ගොවි සංවිධානය කිසිම ආකාරයකින් මේ පොහොර සිද්ධියට විරෝධය දාලා පෙලපාලි යන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් කාබනික පැත්තට හැරෙමු. ඒ සඳහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමු විය යුතුයි. කඩිනමින් මේක කරන්න බැහැ. ක්‍රම ක්‍රමයෙන් මහපොළොව සුවපත් කරගෙන මේ  කාබනික පොහොර ක්‍රමය රටේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කාබනික පොහොර හදනවා කියලා ප්‍රමිතියෙන් තොර පොහොර නිෂ්පාදනයට ඉඩ දෙන්න එපා‘‘.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල