දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?
Spread the love

රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය ද මෙදින ආර්ථික  මධ්‍යස්ථානය යම් පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු බොහොමයක් ආර්ථික මධ්‍යස්ථානයට  නොලැබී  ඇති අතර පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු වර්ග ද සියයට 90කින්  පමණ පහළ වැටී ඇත.

ආර්ථික  මධ්‍යස්ථානයට වට්ටක්කා, අමුමිරිස්, බීට් රූට් සහ කැකිරි වැනි එළවළු වර්ග වැඩි වශයෙන් ලැබී තිබිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ සමස්තයක් ලෙස සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් මාස වල  දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට  ලැබෙන එළවළු  ප්‍රමාණය අඩුවන බවය. එමෙන්ම ඊට හේතුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ කන්න මාරුවීමේ කාලරාමුව බව ද වසර 10ක පමණ දත්ත පරික්ෂා කිරීමේදී වුවද මෙම තත්ත්වය පහසුවෙන් දැකබලා ගැනීමට හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මෙවර ඊට වඩා වෙනස් ආකාරයකින් වෙළෙඳපොළ හැසිරෙන බවත් සාමාන්‍යයෙන් දිනකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 30ක් 35ක් සහ ඇතැම් දිනවල එළවළු කිලෝ ලක්ෂ 50 ඉක්මවා ලැබෙන බවත් එහෙත් අද දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණේ එළවළු කිලෝ ලක්ෂයක් එකහමාරක් දෙකක් පමණ බවත් ඔහු පැවසුවේය.

එළවළු මිල දී ගැනීම සඳහා එන ව්‍යාපාරිකයින්ගේ මෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන ද අඩු වීම පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවූවක් බව ද විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

ආර්ථික  මධ්‍යස්ථානයට තම අස්වැන්න රැගෙන විත් සිටි ගොවීන් පිරිසක් කියා සිටියේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ රටේ පවතින කෘමිනාශක හා රසායනික පොහොර හිගකම නිසා ගොවීන් බහුතරයක් එළවළු අස්වැන්න නෙළීම අතහැර දමා වගාවෙන් පවා ඉවත්ව සිටින බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ සභාපති  යු. බී. ඒකනායක මහතා කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු අලෙවි කිරීමේ දිවයිනේ ප්‍රමුකම  වෙළෙඳ මධ්‍යස්ථානයක් බවත් එළවළු වගාකරන ගොවීන් සමග තම  ව්‍යාපාරික ප්‍රජාව ගහට පොත්ත මෙන් බැදී සිටින බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඒකනායක මහතා, ‘එළවළු සහ දේශීය ලොකු ලූනු වගා කිරීම් සඳහා ව්‍යාපාරිකයන් ගොවීන්ට පොහොර, කෘමිනාශක, බීජ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා කෝටි ගණනාවක් මුදල් වියදම් ලබා දෙනවා. ඒක බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයක්. හරියට සම්ප්‍රදායක් වගේ. නමුත් මෙවර එකම ගොවියකු හෝ තම ව්‍යාපාරිකයන්ගෙන් වගාවට අවශ්‍ය පොහොර, තෙල් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා  මුදලක් ලබාගෙන නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී එළවළු සහ වගාවන්වල විශාල අඩුවක් සිදුවන බවයි’

මෙහිදී ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ විදේශීය බීජ වර්ග ලංකාව පුරා ගොවීන්ට අලෙවි කොට  දේශීයව නිෂ්පාදනය කරගන ගන්නා පොහොර භාවිතය කිරීම සඳහා රජය උපදෙස් ලබාදී තිබීම නිසා ගොවීන්ට බරපතළ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවය.

‘ප්‍රශ්නය තියෙන්නේ මේ විදේශීය බීජවලට හරි හරියට රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක යෙදිය යුතුයි. ඒවායින් හරියට අස්වැන්නක් ගන්න පුළුවන් එහෙම කළොත් විතරයි. එහෙම නොකොට කාබනික පොහොරවලින් නිසි ඵලදාවක් ගන්න බැහැ’’

දිවයිනේ මහ  පොළොවට සරිලන බීජ නිෂ්පාදනය කොට ලබා දුන්නේ නම් ගොවීන් වගාවට එක්වන බව පෙන්වා දෙමින්  ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙහි ආදීනව ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට මුළු රටටම දැක බලා ගැනීමට හැකිවනු ඇති බවය.

සටහන සහ ඡායාරූප – කංචන කුමාර ආරියදාස