නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට

නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට
Spread the love

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැතිබවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු කථානායකතුමනි, ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපි රජයක් ලෙස මූලිකත්වය ගත්තේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕන හැම තීරණයක්ම අපි නිසි වෙලාවට ගත්ත කියල අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕන.

ගරු කථානායකතුමනි, මම මේ දේවල් කියන්නේ එම කටයුතු කළමනාකරණය කරන්න අග්‍රාමාත්‍ය කාර්යාලය කළ කාර්යය භාරයත් සිහිපත් කරන්න.

කොවිඩ් වසංගතය ආරම්භයේදී අපේ රජය අතවශ්‍ය සේවා කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා එම ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට අප‌‌ගේ අධීක්ෂණය යටතේ කටයුතු කළා ජනතාවගේ අතවශ්‍ය සේවා ඉටු කිරීමටත් ජනතාවගේ ගැටළු විසඳීමටත් දවසේ පැය 24 පුරාම අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කළ බව අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕන. ඒ වගේම අපි පක්ෂ නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ජනතාවගේ අතවශ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට  අපි හැම අවස්ථාවකදීම මැදිහත් වුණා. වෛද්‍යවරුන් ආරක්ෂක හමුදාවන් ඒ වෙනුවෙන් තමන්ගේ කටයුතු යුතුකම් ඉටු කළා.

ගරු කථානායකතුමනි, අපි දන්නවා කොවිඩ් වංසගතයෙන් ඇතිවූ ආර්ථික අවපාතය තදින්ම රටට බලපාල තියෙන බව. ව්‍යාපාර ‌බොහෝමයක් කඩා වැටිලා. රජය මේ අවස්ථාවේ සැලසුම් කරන්නේ කොවිඩ් වංසගතයෙන් වැටුණු ආර්ථිකය ගොඩනගන්න. ඒ අනුව තමයි මුදල් ඇමතිතුමා කෙටි කාලීන සහ දිගු කාලීන සැළසුම් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කළේ. ජනතාවගේ පැත්තෙන් සිදුවන ආර්ථීක හා සමාජයීය සංවර්ධනය රටට අවශ්‍යයයි. මේ අසීරු අවස්ථාවේදී ඒ අයට නැගිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනඟන එක තමයි අපේ බලාපොරොත්තුව.

ගරු කථානායකතුමනි, 2019 අපි බාරගත්තේ කඩා වැටුණු ආර්ථීකයක් ඒක මතක් කරන්න ඕන. ඒ ආර්ථිකය ඔසවා තබන්න අපේක්ෂාව මෙවර අය වැය යෝජනාවල තියෙනවා. සුපුරුදු පරිදි තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් කරන වාද විවාද කරනවා අපි දැක්කා. ඒ වුණත් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන ‍යම් සාධනීය අදහස්වලටත් අපි සවන් දෙනවා ඔබතුමන්ලා සාධනීය අදහස් ඉදිරිපත් කළොත් අපි එයට සවන් දෙන්න සූදානම්. අපි මේ වෙලාවේ සාමූහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.

ගරු කථානායකතුමනි, 2022 වසර සදහා නව ව්‍යාපාර ලියාපදිංචිකරන ව්‍යවසායකයන්ගෙන් කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අපි අය කරන්නේ නැහැ. අපේ රටේ තරුණ තරුණයින්ට  ආරාධනා කරනවා නව ව්‍යාපාරික අදහස්වලින් රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගන්න එකතු වෙන්න කියලා. ඒ වගේම විදේශීය විනිමය රටට ගෙන ඒමටත් දායක වෙන්න කිලා.

ගරු කථානායකතුමනි, අපි ජනතාවට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දු ඉටුකළ යුතුයි. වසර 25කට ආසන්න කාලයක් නොවිසඳුනු ගුරු විදුහල්පති වැටුප් විෂමතාව මෙවර අය-වැයෙන් විසඳන්න අපි කටයුතු කරමින් පවතිනවා.මෙවර අය වැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරලා තියෙනවා. අපි මේ හැම දේම කරන්නේ රටේ අනාගතය වෙනුවෙන්.අභියෝග හමුවේ රට ගොඩගැනීමට අප දරන වෙහෙසට ඔබ සියලු දෙනාගේම සහය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ගරු කථානායකතුමනි, අපි විපක්ෂයේ කරන යෝජනා ඒ වගේම විවේචන සාවදානව අහගෙන හිටියා.   සමහර විවේචන අසාධාරණයි. සමහර විවේචනවල සාධාරණයක් තියේනම් ඒ විවේචන අපි පිළිඅරගෙන ඒවා නිවැරදි කරන්න ඕනෑම වේලාවක අප සූදානම් බව මේ අවස්ථාවේදි මතක් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කථා කළා අපි දැන් කෙටුම් පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට ලක් කරන බව මතක් කරනවා. ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව  අපි කිසි දෙයක් කටයුතු නොකරන බව තමුන්නාසේලාට මතක් කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.