ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි

ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
Spread the love

කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද දැවැන්තම එක්දින තරග ජය ලෙසින් සනිටුහන් වුණු එම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟම තරග 2 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ සුද්ධයක් දැමීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවිය.

පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් දෙවැනි සිදුනොවීමට වගබලාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 281 ක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ පන්දුවාර 24.2 කදී රැස් කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 107 ක් පමණි. මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ ලබා තිබූ දරුණුම පරාජය වී තිබුණේ 2016 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලද ලකුණු 81 ක පරාජය විය.

ඔස්ට්‍රේලිියානු කණ්ඩායම අද ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු කලාපයේදී ඔවුන් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය. එපමණක් නොව දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් හමුවේ දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද අද දැවී ගිය ලකුණු සංඛ්‍යාව සනිටුහන් විය. මීට පෙර ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ බ්‍රිස්බේන්හි පැවැති තරගයේදී දැවී ගිය ලකුණු 74 වේ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් එක් කළ අසිත ප්‍රනාන්දු ලකුණු 33 ක් ඇතුළත ඔස්ට්‍රේලියානු ඉදිරිපෙළ කඩුලු 3 බිද දමා දුන්නේය. දැවී ගිය පිතිකරුවන් අතර මැතිව් ෂෝර්ට් (02, ජේක් ෆ්‍රේසර් (18) සහ පළපුරුදු පිතිකරු ට්‍රෙවිස් හෙඩ්(09) වූහ.

මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු පිල වෙනස්කම් 5 ක් සිදුකරමින් අවතීර්ණ වූයේ පිතිකරණ ශක්තිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණිනි. ඒ වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ජොෂ් ඉංග්ලිස් සහ ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් සිටියද ඔවුන් දෙදෙනාටම රැස් කර ගත හැකි වූයේ පිළිවෙළින් ලකුණු 22 සහ එක් ලකුණක් පමණි. මොවුන් දෙදෙනාම දුනිත් වෙල්ලාලගේ පන්දු හමුවේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියහ.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ස්ටීවන් ස්මිත් (29) පමණි. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 4 ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු, සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් බිඳ දැමූහ. ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 28 ක් ඇතුළත දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග දෙදෙනා සමත්වීම කැපී පෙනුණි.

පළමු තරගයේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දුගේ ස්ථානය සඳහා නිශාන් මදුෂ්කව ආදේශ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි මෙම තරගයේදී ලද අවස්ථාව අපතේ නොදැමීමට මදුෂ්ක වග බලා ගත්තේය. පැතුම් නිස්සංක (06) වේලාසනම දැවී ගියද කුසල් මෙන්ඩිස්ට එකතු වූ මදුෂ්ක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩ නගිනිමින් ශ්‍රී ලංකාව සැනසිලි දායක ස්ථානයකට රැගෙන ගිය. පන්දු 70 කට මුහුණ දුන් මදුෂ්ක සිය තරග 4 කින් සමන්විත එක්දින තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරගත්තේ තේරීම් කමිටුවට තමන් පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි බව පසක් කරමිනි. ඩ්වාරුෂියස්ගේ පන්දුවක් හමුවේ දකුණත් පිතිකරුවා දැවී යන විට හතර වතාවක් හතරේ සීමාවෙන් පිටටද එක් වතාවක් ඊට ඉහළින්ද පන්දුව යවා තිබුණේය.

ශ්‍රී ලංකා ඉනිම එතුනේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම හරහාය. ඇඩම් සම්පාට එරෙහිව පිට පිට පන්දු දෙකකදී එල්ල කරන ලද හතරේ පහර 2 ත් සමගින් මදුෂ්කට පෙර අර්ධ ශතකය රැස් කළ මෙන්ඩිස්, දැවී යන විට ලකුණ 101 ක් ලබා සිටියේය. පන්දු 115 කට මුහුණ දුන් දකුණත්  පිතිකරුවා හතරේ පහර 11 කින් සිය ඉනිම වර්ණවත් කර ගැනීමටද අමතක නොකළේය. අද දිනයේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු එක්දින ලකුණු 1000 සීමාව පසු කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වීමද කැපී පෙනුුණි. දැවී යෑමට මත්තෙන් නායක චරිත් අසලංක සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක් එක් කළේ පන්දු 104 ක් වැය කරමිිනි.

පළමු තරගයේදී ශතකයක් ලබමින් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ නායක අසලංක අද දිනයේදීද  ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට දිගට හරහර පහර දෙමින් පන්දු 66 කදී ලකුණු 78 ක් රැස් කළේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. මෙන්ඩිස්ගේ පිටත්ව යෑමෙන් පසු ජනිත් ලියනගේට එකතු වූ අසලංක පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක් රැස් කළේ පන්දු 35 ක් පමණක් වැය කරමිනි. නායකයාට අගනා සහායක් ලබා දුන් ජනිත් හයේ හර 2 ක් සහහතරේ පහර 3 ක් සමගින් පන්දු 21 කදී නොදැවී ලකුණු 32 ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 4 ට ලකුණු 281 යි – (කුසල් මෙන්ඩිස් 101, පැතුම් නිස්සංක 06, නිශාන් මදුශ්ක 51, කමිදු මෙන්ඩිස් 04, චරිත් අසලංක 78*, ජනිත් ලියනගේ 32*, බෙන් ඩ්වරුෂිස් 47/1, ආරොන් හාඩි 60/1, සෝන් ඇබොට් 41/1, ඇඩම් සම්පා 47/1)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 24.2 කදී සියලු දෙනා දැවී ලකුණු 107 යි – (මැතිව් ෂෝර්ට් 02, ට්‍රෙවිස් හෙඩ් 18, ජේක් ෆ්‍රේසර් 09, ස්ටීවන් ස්මිත් 29, ජොෂ් ඉංග්ලිස් 22, ආරොන් හාඩි 00 ග්ලෙන් මැක්ස්වෙල් 01, සෝන් අබොට් 02, බෙන් ඩ්වරුෂිස් 09, ඇඩම් සම්පා 08, ටන්වීර් සංඝා 05*, දුනිත් වෙල්ලාලගේ 35/4, අසිත ප්‍රනාන්දු 23/3, වනිඳු හසරංග 23/3)

Post Comment