සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක්!

Spread the love

සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වී තිබෙනවා. ඒ අනුව සුනඛයන් අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් නියම කරන දඩ මුදලට අමතරව වසර දෙකක සිර දඩුවමකට යටත් කළ හැකි පරිදි සුනඛ පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලැබී ඇත.

1901 අංක 25 දරණ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥා පනතට අනුව පවතින නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා අයාලේ යන සුනඛයන්ගෙන් ජනතාවට වන විවිධ දුෂ්කරතා මග හැරීමට අදාළව මෙම කැබිනට් පත්‍රිකාව ගෙනවිත් තිබෙනවා.

ඒ අනුව සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජල භීතිකා ආඥාපනත සංශෝධනය කර නව පනතක් හරහා රුපියල් 25,000ක දඩ මුදල් හා වසර දෙකක සිරදඩුවමකට නීති ගෙන ඒමට යෝජනා වී ඇත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.