ගෝඨාභයගෙන් වහෙන් ඔරෝ කථාවක්!

Spread the love

දේශපාලනයට පිවිසීමට අකමැති වුව ද රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාවක් බැහැර නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නනේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය ප්‍රවෘත්ති වාර්තාකරුවන් සමග ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකදී ගොඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තමන් දේශපාලනඥයෙකු නොවන බවයි.

තමා දේශපාලන නොදන්නා අතර දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නොමැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි අවධාරණය කළේය.

ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ද යන්න පිළිබදව මෙහිදි මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාඊය රාජක්ෂ මහතා එහිදි උදාහරණයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලනයට පැමිණීමට ගත් තීරණය පිළිබඳ සිහිපත් කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

මේ අතර මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදීම, ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන්වලට හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සිටි බවට හිටපු හමුදාපති, අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අදහස විමසා තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේ එම ප්‍රකාශය පදනම් විරහිත දේශපාලන අරමුණකින් සිදුකර ඇති ප්‍රකාශයක් බවයි.

එවන් හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සිටියේ නම් ඒ පිළිබද වගකීම හමුදාපතිවරයා භාරගත යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

හමුදා බුද්ධි අංශ හමුදාපතිවරයා යටතේ නොතිබු බවට සිදුකරන ප්‍රකාශ විහිළුවක් බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.