පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන් පවසන පරිදි, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් එම කාලය ඇතුළත රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහකි. ($44,344,912).
ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)
උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් ආරක්ෂක මණ්ඩලයට පසුගිය සැප්තැම්බර් 05 වෙනි දින භාර දුන් වාර්තාවක් සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරිණ.
ඒ අනුව ශ්‍රී ලංකාව, බාබඩෝස්, චීනය, කොස්ටා රිකා, ප්‍රංශය, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය සහ පාකිස්තානය එම සම්බාධක උල්ලංඝනය කරමින් යකඩ සහ වානේ ආනයනය කර තිබේ.
වාර්තාව පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව එසේ වානේ සහ යකඩ ආනයනය කර තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලය.
ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.
ඒ අතර චීනය පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාවෙන් තඹ කිලෝ 556,884 ක් ආනයනය කර තිබේ.
[rns_reactions]

