Author: Editor

  • බංග්ලාදේශ අර්බුදයෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට වාසියක් වෙයිද ?

    බංග්ලාදේශ අර්බුදයෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට වාසියක් වෙයිද ?

    ගෝලීය ඇඟලුම් වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන බංග්ලාදේශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින හෙයින්, කෙටි කාලීනව සමහර ඇඟලුම් ඇණවුම් වලින් ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම්  යොහාන් ලෝරන්ස් මහතා පවසයි.

    බංග්ලාදේශයේ අර්බුදය නිසා ගැනුම්කරුවන් තම සැපයුම් දාම පවත්වා ගැනීමට සහ තීරණාත්මක කාලසීමාවන් සපුරාලීමට විකල්ප මූලාශ්‍ර සෙවීමට පොළඹවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාව සතු කාර්යක්ෂම හා නවීන නිෂ්පාදන හැකියාවන් තුළ මෙම ඇණවුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තාවකාලිකව පිරවීම සඳහා රටට අමතර ධාරිතාවක් ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    “ශ්‍රී ලංකාවට අනුවර්තනය වීමට ඇති හැකියාව සහ අපගේ පවතින ධාරිතාව අනුව, බංග්ලාදේශයේ තත්වය ස්ථාවර වන තුරු සමහර විදේශීය ගැනුම්කරුවන් ශ්‍රී ලංකාව දෙසට හැරෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙය අප මුහුණ දුන් අර්බුදයේදී අප අත්දුටු දෙයට සමාන තත්ත්වයක් බවයි මගේ අදහස. ඒත් බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට වඩා සැලකිය යුතු ලෙස විශාලයි. ඒක අති දැවැන්ත කර්මාන්තයක්. ඒ නිසා ඔවුන්ගෙන් ඉවත් වන සම්පූර්ණ ඇණවුම් පරිමාව අපට සම්පූර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකියි. නමුත් නිෂ්පාදනය ශ්‍රී ලංකාවට මාරු කිරීමේ පිරිවැය, ගුණාත්මකභාවය සහ තිරසාර ප්‍රතිලාභ ගැන ගැනුම්කරුවන් සෑහීමකට පත්වේ නම්, අපට ඒවායින් සමහරක් මධ්‍ය කාලීන සිට දිගු කාලීනව රඳවා ගත හැකියි” ලෝරන්ස් වැඩි දුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “අපගේ අවධානය මෙම අන්තර් කාලසීමාව තුළ පවතින සහ නව ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ විශ්වසනීය සේවාවක් ලබා දීම කෙරෙහි යොමුව තිබෙනවා. අඩුපාඩු අවම කර ගැනීමට සහ සැපයුම් දාමයේ ස්ථායීතාවයට සහාය වීමට අපි සූදානම්. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ මෙවැනි අභියෝගවලට මුහුණ දුන් අපට, එහි ඇති සංකීර්ණතා සහ දුෂ්කරතා ගැන මනාව වැටහීමක් තිබෙනවා. එසේම අපි ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිගන්නා අතර මෙම කැලඹිලි සහිත කාලයට ඉක්මන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා”

  • වාස් ගුණවර්ධන එල්ලුම් ගහට – සම්පූර්ණ වාර්තා මෙන්න !

    වාස් ගුණවර්ධන එල්ලුම් ගහට – සම්පූර්ණ වාර්තා මෙන්න !

    බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (අගෝස්තු 8 වැනිදා) තහවුරු කරනු ලැබීය.

    එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පූලි විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පෙත්සම්කරුවන් හා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බව ය.

    අභියාචනා නිෂ්ප්‍රභයි

    මෙහිදී මහාධිකරණය විසින් විත්තිකරුවන්ට ලබා දුන් තීන්දුවට මැදිහත්වීමට සාධාරණ පදනමක් නොමැති හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

    2013 වසරේ මැයි මස 22 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

    මෙසේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සමීපව කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරච්චන්ද්‍ර , ප්‍රියන්ත සංජීව සහ කැලුම් රංග යන අය ඇතුළත් වෙති.

    බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගත් බව කියන මොහොමඩ් ෂියාම් නමැත්තාගේ මෘත ශරීරය දොම්පේ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

    ඉන් අනතුරුව වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩු විභාගය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති අතර 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් කරමින් මරණය දණ්ඩනය නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.

    තමන්ට එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා වාස් ගුණ වර්ධන ඇතුළු විත්තිකරුවෝ ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළහ.

    වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරනු ලැබීය

    පුරා වසර හතකට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන ලදී

    වාස් ගුණවර්ධනට තවත් සිර දඬුවමක්

    2019 වසරේ මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කෙරුණු, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් බරපතළ වැඩ සහිත වසර 4 සිර දඬුවමක් අද (අගෝස්තු 8 වැනිදා ) නියම කරනු ලැබීය. ඊට අමතරව වාස් ගුණවර්ධන රුපියල් 20000 ක දඩයක් ද නියම කෙරුණි.

    ඊට අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් හතරකට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16 ක් බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර සිටියේය. ඊට අමතරව එම විත්තිකරුවන්ට තුන්දනාට රුපියල් 82000 බැගින් දඩ මුදල් නියම කෙරුණි.

    එසේම මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 8 ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 4 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කර සිටියේය. ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40000 ක දඩයක්ද නියම කෙරුණි.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.

    තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන් බහුතරයක් සාම නිලධාරීන් බවත් මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ වගකීම බවත් සඳහන් කර සිටියා.

    එවැනි වගකීමක් දරා සිටින පිරිසක් මේ ආකාරයෙන් පුද්ගලයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස් නිලධාරින් ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව හැඟවෙන ආකාරයේ පණිවිඩයක් ලබාදිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අතුරින් බහුතරය සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින පොලිස් නිලධාරීන් බවට අධිකරණය හමුවේ කරුණු පැහැදිලි වී ඇති බව සඳහන් කළේය.

    එසේ තිබියදී ඔවුන් විසින් සිදු කර තිබෙන වරදවල්වල ස්වභාවය බරපතල බවත් මෙම සිද්ධියට මුහුණ දුන් පැමිල්ලිකාර තරුණයා දින 20 ක් පමණ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    උපුටා  ගැනීම – බී.බී.සී සන්දේශය

  • භාරකාර රජයට නායකත්වය දීමට මොහොමඩ් යුනුස් බංගලාදේශයට පැමිණෙයි

    භාරකාර රජයට නායකත්වය දීමට මොහොමඩ් යුනුස් බංගලාදේශයට පැමිණෙයි

    බංගලාදේශය අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මව්බිමට පැමිණි නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් “කළ යුතු වැඩ ගොඩක්” ඇති බව ප්‍රකාශ කළේය.

    අද (08) දින  ප්‍රංශයේ සිට ඩකා අගනුවරට පැමිණීමෙන් පසු 84 හැවිරිදි යුනුස් බීබීසීයට පැවසුවේ “ජනතාව උද්යෝගිමත්” බව ය. ඔහු එරට අන්තර්වාර නායකයා ලෙස පසුවට දිවුරුම් දෙනු ඇත. වසර 15ක් බංගලාදේශය අයෝමය හස්තයකින් පාලනය කළ නායිකාවක වන ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් දින කිහිපයකට පසු ඔහු යළි මව් බිමට පැමිණියේය.

    පුද්ගලයින් සිය ගනනක් මරණයට පත් කළ – සති ගනනාවක් පුරා ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා වලින් පසුව ඇය ධුරයෙන් ඉල්ලා අස් වූවාය. ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය විරෝධතා නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය විය.

    තමන් මිලිටරි නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිළි නොගන්නා බව ශිෂ්‍යයන් අවධාරණය කළ අතර මහාචාර්ය යුනුස් අන්තර්වාර ආණ්ඩුවට නායකත්වය දීමට ඔවුහූ කැමති වූහ. දුප්පතාගේ බැංකුකරුවා ලෙස හඳුන්වන මහාචාර්ය යුනුස් වසර ගණනාවක අත්තනෝමතික පාලනයකින් පසු බංගලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එනු ඇති බවට දැන් අපේක්ෂාව වී තිබේ.

    බංගලාදේශය යළි ගොඩනැංවීමේදී “විනය” අවශ්‍ය බව අවධාරණය කළේය.

    “වෙහෙස මහන්සි වී එය ඉටු කරන්න,” ඔහු ගුවන් තොටුපළ ඔස්සේ ගමන් ගන්නා අතරතුර සිනාමුසු මුහුණින් යුතුව පවසා සිටියේ “නව අවස්ථා පැමිණ තිබෙනවා.” යනුවෙනි.

    මූලාශ්‍රය – බී.බී.සී සන්දේශය

  • විදේශීය වෛද්‍ය විද්‍යාල 1000ක් පිළිගැනීමට නව නීති සම්මතයි

    විදේශීය වෛද්‍ය විද්‍යාල 1000ක් පිළිගැනීමට නව නීති සම්මතයි

    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද (අගෝ. 08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. අද පෙරවරු  10.30 සිට මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවති අතර එහිදී උක්ත පනත් කෙටුම්පත් සම්මත කිරීමේ වැදගත්කම පිළිබඳ මන්ත්‍රීවරයන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

    විවාදය අවසානයේ එළැඹි කාරක සභා අවස්ථාවන්හිදී පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

    වෛද්‍ය ආඥා පනතේ වගන්ති සංශෝධනය කිරීම අරමුණ කර ගත් මෙම වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි 02 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    පනත් කෙටුම්පත ගැන සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හිමිකරගෙන සිටින විදේශීය වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවට පිළිගැනීමට මෙමගින් හැකිවන බවයි.

    ‘ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම වෛද්‍ය විද්‍යාල 1000 අපි හඳුනා ගන්නවා. විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 300ක් පමණ සිටිනවා. ඔවුන් සුදුසුකම් ලබා ඇති වෛද්‍ය විද්‍යාල අපේ රට හඳුනා නොගැනීම නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් සුදුසුකම් ලබා ඇති විශ්ව විද්‍යාල මෙම පනත අනුව ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලබන බැවින් මෙම නව පනත් කෙටුම්පත මඟින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හැකි වෙනවා. ශල්‍යවෛද්‍යවරුන්, ළමා රෝග විශේෂඥයින් සහ මනෝ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් සෙවීමට ද මෙමගින් අපට අවස්ථාව හිමිවෙනවා” සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    විදේශ රටවලට සංක්‍රමණය වූ ඇතැම් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වී ඇති බැවින් යළි දිවයිනට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    නව නීති සම්පාදනය මෙම වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට උපකාරී වනු ඇති බව ද ඔහු පැවසීය.

  • අත්‍යාවශ්‍ය ඖෂධ 52ක් තවමත් හිඟයි – සෞඛ්‍ය ඇමැති

    අත්‍යාවශ්‍ය ඖෂධ 52ක් තවමත් හිඟයි – සෞඛ්‍ය ඇමැති

    අත්‍යාවශ්‍ය ඖෂධ 52ක් පමණ තවමත් රට තුළ හිඟව පවතින අතර ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    හිඟයක් පවතින අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ආදේශක පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා දැනටමත් නියෝග ලබා දී ඇති බවත්, ඉක්මනින් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පසුගිය වසරේ අත්‍යාවශ්‍ය ඖෂධ 250ක හිඟයක් පැවති බවත් එය මේ වන විට 52 දක්වා අඩු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

  • සමගි ජන සන්ධානයට අත්සන් තබයි – හවුල්කාර පක්ෂ මෙන්න !

    සමගි ජන සන්ධානයට අත්සන් තබයි – හවුල්කාර පක්ෂ මෙන්න !

    සමගි ජන සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අද (08) ගිවිසුමකට අත්සන් තැබීය.

    සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) දයාසිරි පාර්ශවය, මනෝ ගනේෂන්ගේ TPA, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රහය (SLMC), නිදහස් ජනතා සභාව, අර්ජුන රණතුංගගේ පුරවැසි හඬ ඇතුළු සන්ධාන එළඹෙන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා ‘සමගි ජන සන්ධානය’ පිහිටුවීමට ගිවිසුමකට අත්සන් තැබීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ ACMC ගිවිසුමට අත්සන් තබා නැති බව ද වාර්තා වේ.

  • ස්වාධීන අපේක්ෂකයින් සඳහා මැතිවරණ සලකුණු ලැයිස්තුවෙන් ඌරු, බල්ලා ඉවතට ?

    ස්වාධීන අපේක්ෂකයින් සඳහා මැතිවරණ සලකුණු ලැයිස්තුවෙන් ඌරු, බල්ලා ඉවතට ?

    මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකයින් සඳහා ලබා දිය යුතු සංකේත ලැයිස්තුව සංශෝධනය කර ඇති බව මැතිවරණ කොමිෂමේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ඒ අනුව නව සංශෝධන මගින් බල්ලා, ඌරා වැනි සංකේත සහ පුද්ගලික අපහසුතාවයට හා ආගමික සංවේදීතාවන්ට බාධාවක් විය හැකි සංකේත ද ඉවත් කර ඇති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    “මේවා අපේක්ෂකයින් අපහසුතාවයට පත් කළ හැකි සංකේත. එසේම එමගින් සමහර ප්‍රජාවන්ගේ හා ආගමික මැතිමතුන්ගේ සිත් රිදවිය හැකියි” ඔහු පැවසීය.

    රාජ්‍ය ලාංඡනය සහ ආගමික, සංස්කෘතික වැදගත්කම දැක්වෙන සංකේත ලැයිස්තුවට ඇතුළත් නොවන බව ද ඔහු සඳහන් කළේය.

    සංශෝධිත නව සංකේත ලැයිස්තුව මේ වන විට ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමට යවා ඇති බව ද ඔහු හෙළි කළේය.

    කොමිෂන් සභාව විසින් තීරණය කර ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර ඇති ලැයිස්තුවේ ඇති සංකේත ස්වාධීන අපේක්ෂකයින්ට ඔවුන්ගේ මනාපයන් මත පවරනු ලැබේ.

    ලියාපදිංචි දේශපාලන පක්ෂවල සංකේත ඔවුන්ගේ අපේක්ෂකයින් විසින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කරනු ඇතැයි විශ්වාස කෙරේ.

    ස්වාධීන අපේක්ෂකයින්ට මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම ලකුණක් තෝරා ගැනීමට නිදහස තිබේ. එකම ලකුණ අපේක්ෂකයින් එකකට වඩා ඉල්ලන්නේ නම්, එය කුසපත් ඇදීමක් මගින් පවරනු ලැබේ.

     

  • තීරණාත්මක කැබිනට් අමාත්‍යාංශයක් ජනපති අතට ගනී

    තීරණාත්මක කැබිනට් අමාත්‍යාංශයක් ජනපති අතට ගනී

    ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන අමාත්‍ය ධුර ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර එය නිකුත් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය.

  • ජනාධිපතිවරණය ගැන ජනපති හෙළි කළ රහස

    ජනාධිපතිවරණය ගැන ජනපති හෙළි කළ රහස

    තමාගේ අවධානය යොමුවී තිබෙන්නේ රට ඉදිරියට ගෙන යාම සඳහා බැවින් තමන්ට තරගයක් නොමැති බව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    “මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කර තිබෙනවා,” ඔහු අවධාරණය කළේය.

    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (07) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණයහිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල කිසිදු මිණුම් දණ්ඩක් වෙනස් කළ නොහැකියි, එසේ කළහොත් ශ්‍රී ලංකාවට අරමුදල් අහිමි විය හැකියි. එබැවින් සියලුම අපේක්ෂකයින් ඡන්දදායකයින්ට සත්‍යවාදී විය යුතුයි’’ ජනාධිපතිවරයා පැවසුවේය.

    තමන් තේරී පත් වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවයි.

  • රංජන් මඩුගල්ලේ ඉතිහාස ගතවෙයි

    රංජන් මඩුගල්ලේ ඉතිහාස ගතවෙයි

    එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව  පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය.

    ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය මඩුගල්ලේ මහතාගේ 400 වැනි එක්දින තරගය බවට පත්වුණු බැවින් එම තිළිණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා විසින් මඩුගල්ලේ මහතාට ප්‍රධානය කරනු ලැබීය.

    ඉන්දියාවට සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07 දා) පැවැත්වෙන එක්දින තරගයට පෙර පැවැති චාම් උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා,  එම සමරු තිළිණය ලබා දුන්නේය. එම අවස්ථාවට දෙපිළේ නායකයින් වන රෝහිත් ෂර්මා සහ චරිත් අසලංක මෙන්ම එම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලබන ඔස්ට්‍රේලියානු ජාතික පෝල් රයිෆල්, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ බටහිර ඉන්දීය කොදෙව් හි ජොයෙල් විල්සන් යන විනිසුරුවරුන්ද සහභාගිවූහ.

    1993 වසරේ පළමුවෙන්ම තරග තීරකවරයකු ලෙස කටයුතු කළ මඩුගල්ලේ මහතා මේ වන විට ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද  පළමු වැන්නා බවට වූ වාර්තාවද තමන් සතු කරගෙන සිටින්නේය. දශක 3 කට අධික කාලයක් තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළ ඇති රංජන් මහතා අන්තර්ජජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ කමිටුවේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරන්නේය.

    තරග තීරකවරයකු වීමට පෙර මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 21 කටද එක්දින තරග 63 කට ක්‍රීඩා කර තිබේ. ඔහු 1988 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2 කදී නායකත්වය හොබවා තිබේ.

  • කාල කළමනාකරණය – ස්වර්ණමය රීති 08ක්

    කාල කළමනාකරණය – ස්වර්ණමය රීති 08ක්

    කාල කළමනාකරණය සඳහා මෙම රීති සමඟ ජීවිතයේ සමබරතාවය ඇති කර ගන්න

    කාල කළමනාකරණය / time management සඳහා 8+8+8 රීතිය සමඟ ඔබේ පැය 24 ප්‍රගුණ කර ජීවන සමතුලිතතාවය ලබා ගන්න. ඵලදායිතාව සහ යහපැවැත්ම උපරිම කිරීම සඳහා වැඩ, විවේකය සහ පුද්ගලික ක්‍රියාකාරකම් සඳහා ඵලදායී ලෙස කාලය වෙන් කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.

    අද වේගවත් ලෝකයේ, රැකියාව, පෞද්ගලික ජීවිතය සහ ස්වයං රැකවරණය යන ඉල්ලීම් සමබර කර ගැනීම ඉතාමත් වැදගත් ය. කෙසේ වෙතත්, 8+8+8 රීතිය / 8+8+8 rule සමඟ ඔබේ පැය 24 ප්‍රගුණ කිරීම ඔබට ඵලදායී සහ තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීමට උපකාරී වේ. මෙම සරල, නමුත් ඵලදායී කාල කළමනාකරණ උපාය මාර්ගය ඔබේ දවස සමාන කොටස් තුනකට බෙදා ඇත. ඒ වැඩ සඳහා පැය 8, පුද්ගලික ක්‍රියාකාරකම් සඳහා පැය 8 සහ විවේකය සඳහා පැය 8 වශයෙනි. මෙම රීතිය ඔබේ දෛනික චර්යාව වෙනස් කර ඔබේ ජීවිතයට සමගිය ගෙන එන්නේ කෙසේද යන්න අපි දැන් දැන ගනිමු.

    1. පැය 8 වැඩ / 8 Hours of Work

    • මෙම පළමු කොටස ඔබේ වෘත්තීය ජීවිතය සඳහා කැප කර ඇත. ඔබට සම්ප්‍රදායික 9 සිට 5 දක්වා රැකියාවක් තිබුණත්, ව්‍යාපාරයක් පවත්වාගෙන ගියත්, හෝ නිවසක් කළමනාකරණය කළත්, මෙම පැය 8 අවධානය යොමු කළ, ඵලදායී වැඩ සඳහා වේ. මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපදෙස් කිහිපයක් මෙන්න.
    • කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය දෙන්න: වඩාත්ම තීරණාත්මක කාර්යයන් ලැයිස්තුගත කිරීමෙන් ඔබේ දවස ආරම්භ කරන්න. නිරීක්ෂණය කිරීමට කළ යුතු දේ ලැයිස්තු හෝ ඩිජිටල් සැලසුම්කරුවන් වැනි මෙවලම් භාවිතා කරන්න.
    • අවධානය වෙනතකට යොමු කිරීම ඉවත් කරන්න: එය සමාජ මාධ්‍ය, අනවශ්‍ය රැස්වීම් හෝ ඝෝෂාකාරී පරිසරයක් වේවා, අවධානය වෙනතකට යොමු කිරීම හඳුනාගෙන එය අවම කරන්න.
    • විවේක ගන්න: නැවත ආරෝපණය කිරීමට කෙටි විරාමයන් ඇතුළත් කරන්න. Pomodoro Technique වැනි තාක්ෂණික ක්‍රම මඟින් ඵලදායිතාව ඉහළ නංවා දැවීම වැළැක්විය හැකිය.
    1. පැය 8ක පුද්ගලික ක්‍රියාකාරකම් / 8 Hours of Personal Activities

    • දෙවන කොටස ඔබේ ජීවිතය පොහොසත් කරන පුද්ගලික ක්‍රියාකාරකම් සඳහා වේ. මෙම කාලය පවුල, විනෝදාංශ, ව්‍යායාම, ඉගෙනීම සහ විවේකය සඳහා වේ. එය ගණන් කරන ආකාරය මෙන්න:
    • ආදරණීයයන් සමඟ ගුණාත්මක කාලය: පවුලේ අය සහ මිතුරන් සමඟ අර්ථවත් කාලයක් ගත කරන්න. ඔබේ සබඳතා ශක්තිමත් කරන ක්‍රියාකාරකම්වල නිරත වන්න.
    • විනෝදාංශ හඹා යන්න: ඔබට ප්‍රීතිය සහ තෘප්තිය ගෙන දෙන විනෝදාංශ හෝ රුචිකත්වයන් සඳහා කාලය කැප කරන්න. එය කියවීම, පින්තාරු කිරීම හෝ ක්‍රීඩාවක් වේවා, එය ඔබ ප්‍රිය කරන දෙයක් බවට වග බලා ගන්න.
    • ව්‍යායාම සහ සෞඛ්‍ය: ශාරීරික ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරන්න. නිතිපතා ව්‍යායාම කිරීම මානසික හා ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කරයි, සමස්ත යහපැවැත්ම වැඩි කරයි.
    • අඛණ්ඩ ඉගෙනීම: නව කුසලතා ඉගෙන ගැනීමෙන් හෝ පවතින කුසලතා වැඩි දියුණු කිරීමෙන් පුද්ගලික වර්ධනය සඳහා ආයෝජනය කරන්න. මාර්ගගත පාඨමාලා, වැඩමුළු සහ පොත්පත් විශාල සම්පත් වේ.

    1. පැය 8 ක විවේකයක් / 8 Hours of Rest

    • විවේකය සහ පුනර්ජීවනය සඳහා අවසාන කොටස ඉතා වැදගත් වේ. හොඳ සෞඛ්‍යයක් සහ උපරිම කාර්ය සාධනයක් පවත්වා ගැනීම සඳහා ගුණාත්මක නින්ද අත්‍යවශ්‍ය වේ. ඔබට අවශ්‍ය විවේකය ලබා ගැනීම සහතික කරන ආකාරය මෙන්න:
    • දින චර්යාවක් ස්ථාපිත කරන්න: ස්ථාවර නින්ද කාලසටහනකට ඇලී සිටින්න, නින්දට ගොස් සෑම දිනකම එකම වේලාවක අවදි වන්න.
    • විවේකී පරිසරයක් නිර්මාණය කරන්න: ඔබේ නිදන කාමරය නිදා ගැනීමට හිතකර කරන්න. එය සිසිල්, අඳුරු සහ නිශ්ශබ්දව තබා, සුවපහසු මෙට්ට සහ කොට්ට සඳහා ආයෝජනය කරන්න.
    • වින්ඩ් ඩවුන්: ඔබට විවේක ගැනීමට උපකාර වන නින්දට යන දින චර්යාවක් වර්ධනය කරන්න. කියවීම, භාවනා කිරීම හෝ උණුසුම් ස්නානය කිරීම වැනි ක්‍රියාකාරකම් ඔබේ ශරීරයට නිදා ගැනීමට කාලය බව සංඥා කළ හැකිය.
    • ඩිජිටල් තිර කාලය සීමා කරන්න: නින්දට අවම වශයෙන් පැයකට පෙර ඩිජිටල් තිරයෙන් වළකින්න. දුරකථන, ටැබ්ලට් සහ පරිගණක මගින් නිකුත් කරන නිල් ආලෝකය ඔබේ නින්ද චක්‍රයට බාධා කළ හැකිය.

    8+8+8 රීතියේ ප්‍රතිලාභ / Benefits of 8+8+8 Rule

    • වැඩිදියුණු කළ ඵලදායිතාව: අවධානය යොමු කරන ලද ව්‍යුහගත වැඩ කරන වේලාවන් ඉහළ ඵලදායිතාවක් සහ වඩා හොඳ ප්‍රතිඵලයකට මඟ පාදයි.
    • සමබර ජීවන රටාව: පුද්ගලික ක්‍රියාකාරකම් සහ ස්වයං රැකවරණය සඳහා කාලය වෙන් කිරීම ගැටුම් හා ආතතිය වළක්වා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න වැඩ-ජීවිත සමතුලිතතාවයක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
    • වැඩිදියුණු කළ යහපැවැත්ම: ප්‍රමාණවත් විවේකයක් ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරයි, ඔබව වඩාත් ජවසම්පන්න සහ ඔරොත්තු දෙන බවට පත් කරයි.

    8+8+8 රීතිය සමඟ ඔබේ පැය 24 ප්‍රගුණ කිරීම ජීවිතයේ සමබරතාවය ළඟා කර ගැනීමට සරල නමුත් බලවත් ක්‍රමයකි. වැඩ, පුද්ගලික ක්‍රියාකාරකම් සහ විවේකය සඳහා ඔබේ දවස සමාන කොටස් වලට බෙදීමෙන්, ඔබට ඵලදායිතාව ඉහළ නැංවීමට, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට සහ වඩාත් තෘප්තිමත් ජීවිතයක් භුක්ති විඳිය හැකිය. අදම මෙම රීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඔබගේ දින වඩාත් සමබර සහ ප්‍රතිලාභදායක වන ආකාරය නරඹන්න.

    Indiantvnews.com ඇසුරින් සකස් කළේ – මධූ වික්‍රමසිංහ

  • රත්‍රං මිල වාර්තා ගත ලෙස ඉහළට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    රත්‍රං මිල වාර්තා ගත ලෙස ඉහළට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කියයි. 2024 දෙවන කාර්තුවේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 2450.00 ඉක්ම වූ ඉතිහාසගත ඉහළ මට්ටම් ළා වී ඇති අතර එක්සත් ජනපද ඩොලරයේ වේගවත් පහත වැටීම මේ සහා හේතුව වී තිබේ.

    ෆෙඩරල් සංචිතයේ අනුගත මූල්‍ය ප්‍රතිපත්තිය, ජාතික ණය ඉහළ යාම සහ උද්ධමනය පිළිබඳ උත්සුකතාවයන් මගින් ඉන්ධන සපයන ලද ඩොලරයේ පහත වැටීම ආයෝජකයින් රත්‍රන් වැනි සුරක්ෂිත වත්කම් වල රැකවරණය ලබා ගැනීමට පොළඹවා ඇත.

    උද්ධමනය, මූල්‍ය අස්ථාවරත්වය සහ භූ දේශපාලනික අවිනිශ්චිතතාවයට එරෙහිව ආරක්ෂාවක් ලෙස සහ ඩොලරයේ පහත වැටීමේ මූලික ප්‍රතිලාභියා ලෙස රත්‍රං මතු වී තිබේ. ඩොලරයේ අගය දිගින් දිගටම ඛාදනය වන විට රත්‍රං වෙත ආකර්ශනය වර්ධනය වන අතර, මිල පෙර නොවූ විරූ මට්ටම් කරා ගෙන යයි.

    Bloomberg හි මාසික සංඛ්‍යාලේඛනවලට අනුව, එක්සත් ජනපද ඩොලරය ප්‍රකාශිත පහත වැටීමකට ලක්ව ඇති අතර, පසුගිය වසර පුරාවට එහි වටිනාකමින් ආසන්න වශයෙන් 8-10%ක් සැබෑ සහ නාමික යන දෙඅංශයෙන්ම පහත වැටී ඇත. මෙම සහනදායී මූල්‍ය ප්‍රතිපත්තිය ඩොලරයේ ශක්තිය තවදුරටත් ඛාදනය කර ඇති අතර, ආයෝජකයින් ආරක්ෂිත වත්කම් සොයමින් සිටින විට රත්‍රන් සඳහා වන ආයෝජන ඉහළ යාමට පොළඹවයි.

    අපේක්ෂිත පොලී අනුපාත අඩු කිරීම් සහ භූ දේශපාලනික ආතතීන් උත්සන්න කිරීමට අමතරව, 2023 දී රන් මිල ඉහළ යාම පිටුපස සැලකිය යුතු බලවේගයක් ලෙස මහ බැංකු මතු වී ඇත. එය 2024 දී පවතිනු ඇතැයි අපේක්ෂා කරන ප්‍රවණතාවකි. ලෝක රන් කවුන්සිලයට (World Gold Council) අනුව 2023 දී චීනයේ නායකත්වයෙන්, මහ බැංකු රත්‍රන් ටොන් 1,037ක් මිලදී ගෙන ඇත.

    2024 වසරේ පළමු කාර්තුවේදී මෙම ප්‍රවණතාවයේ ශක්තිමත් අඛණ්ඩ පැවැත්මක් දැක ඇති අතර, ශුද්ධ මිලදී ගැනීම් ටොන් 290ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2022 දී මිලදී ගැනීම් ආරම්භයේ සිට සිව්වන ශක්තිමත්ම කාර්තුව සනිටුහන් කරයි. සැලකිය යුතු ලෙස, මෙම අගය JP Morgan Research හි වාර්ෂික ඇස්තමේන්තුව මගින් ඇඟවුම් කර ඇති කාර්තුමය වේගය ඉක්මවා යයි. (2024 සඳහා ටොන් 850 කි. හෝ 36%ක වර්ධනයක්)

    තවද, එක්සත් ජනපදයේ වර්ධනය වන ජාතික ණය ආර්ථිකයට සහ ඩොලරයේ වටිනාකමට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි. පීටර් ජී. පීටර්සන් පදනමට (Peter G. Peterson Foundation) අනුව ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවමින් ණය අඛණ්ඩව ඉහළ යන විට, ආයෝජකයින් වඩ වඩාත් සුපරීක්ෂාකාරීව වැඩෙමින් සිටිති. ඩොලරය කෙරෙහි විශ්වාසය හීන වීම ආයෝජකයින් තම වත්කම් කපා හැරීමට පොළඹවනු ඇත.

    ගෝලීය ආර්ථික මන්දගාමිත්වය මුදල් සඳහා ඉල්ලුම අඩු කර ඇති හෙයින්, COVID-19 වසංගතය ඩොලරයේ අගය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ. තවද, වසංගතය ඩොලරයේ ආධිපත්‍යය ඛාදනය කරමින් ඩිජිටල් මුදල් සහ විකල්ප වත්කම් දෙසට මාරුවීම වේගවත් කර ඇත.

    ඩොලරය එහි අගය දිනෙන් දින අඩුවෙමින් දුර්වල වන විට, උද්ධමනය පිළිබඳ උත්සුකයන් වර්ධනය වේ. දුර්වල ඩොලරයක් ආනයන වියදම් සහ භාණ්ඩ මිල ඉහළ යාම, මුදල් සැපයුම වැඩි කිරීම සහ මිලදී ගැනීමේ ශක්තිය අඩු කිරීමට හේතු විය හැකිය. කෙසේ වෙතත්, එය එක්සත් ජනපද අපනයනවල තරඟකාරිත්වය වැඩිදියුණු කළ හැකි අතර, ආර්ථික වර්ධනයට ශක්තියක් විය හැකිය.

    විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරින් සකස් කළේ – මධූ වික්‍රමසිංහ

  • දයාසිරි පාර්ශ්වය සහ SJB අතර අවබෝධතා ගිවිසුමක්

    දයාසිරි පාර්ශ්වය සහ SJB අතර අවබෝධතා ගිවිසුමක්

    සමගි ජන බලවේගය (SJB) සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමකට අද (07) දින අත්සන් තැබිණි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී දයාසිරි පාර්ශ්වය සහය දක්වන්නේ SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ය.

    මෙම අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක වෙනුවෙන් SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ දයාසිරි ජයසේකර අත්සන් කර ඇත.

     

  • BTS රැප් ගායක සුගාට මහා ඇබැද්දියක්

    BTS රැප් ගායක සුගාට මහා ඇබැද්දියක්

    BTS රැප් ගායක සුගා හමුදා සේවය අතරතුර බීමත්ව රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටී

    BTS හි රැප් ගායක සුගා (Suga) බීමතින් රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් BTS දකුණු කොරියානු හමුදාවෙන් සමාව ඉල්ලා නිල ප්‍රකාශයක් නිකුත් කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කියයි. සුගා මාර්තු මාසයේ සිට දකුණු කොරියානු හමුදා සේවයේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරයි.

    සුගාගේ රියදුරු බලපත්‍රය අවලංගු කර ඔහුට දඩ ද නියම කර ඇති බව ද දකුණු කොරියානු මාධ්‍ය අනාවරණය කළේය

    “හෙලෝ, මේ BigHit Music. බීටීඑස් හි සාමාජික සුගා බීමත්ව විදුලි ස්කූටරයකින් නිවසට පැදවීමේ කාරණය සම්බන්ධයෙන් අපි සමාව අයදිමු. අගෝස්තු 6 වැනිදා රාත්‍රියේ සුගා මත්පැන් පානය කර නිවසට විදුලි ස්කූටරයකින් යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. ඔහු ස්කූටරය නැවැත්වීමට පෙර මීටර් 500ක් පමණ ධාවනය කර බිම ඇද වැටී ඇත. ඒ අසල සිටි පොලිස් නිලධාරියකු මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කරන යන්ත්‍රයක් මගින් සුගාව පරීක්‍ෂා කර එහි ප්‍රතිඵල අනුව සුගාගේ බලපත්‍රය අවලංගු කර දඩයක් ද නියම කර ඇත. සිද්ධිය හරහා ජීවිත හානි කිසිවක් සිදුවී නැති අතර කිසිදු දේපළකට හානි සිදුවී ද නැත. පොලිසියෙන් ඔහුව ගෙදර ගෙන ගියා. අපගේ කලාකරුවාගේ නොගැලපෙන ක්‍රියාවන් හරහා බොහෝ මිනිසුන් කලකිරීමට පත් කිරීම ගැන අපි සමාව අයදිමු. රාජ්‍ය සේවයේ නිළධාරියෙකු ලෙස සමාජය තුළ කැළඹීමට ලක්වන අයුරින් කටයුතු කළ ඔහු තම සේවා ස්ථානයෙන් නිසි දඬුවම් ලැබීමට සැලසුම් කරයි. ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීමට අපි වඩාත් කල්පනාකාරී වෙමු. ස්තූතියි,” BigHit Music සිය නිවේදනයේ සඳහන් කළේය.

    සුගා පසුගිය මාර්තු මාසයේ සිට කොරියාවේ හමුදා සේවයේ විකල්ප ආකාරයක් වන සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරයි. ලබන වසරේ ජුනි මාසයේදී ඔහු සේවයෙන් ඉවත් වනු ඇත.

     

  • පොහොට්ටුවේ  ජනාධිපති අපේක්ෂකයා  නාමල්  – නිල ප්‍රකාශය මෙන්න !

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් – නිල ප්‍රකාශය මෙන්න !

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.  බත්තරමුල්ල නෙළුම මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය ගැන අලුත්ම තීන්දුව

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය ගැන අලුත්ම තීන්දුව

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2% සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිම වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට මෙම සහනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සහන් කළේය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි සිය ගිණුමේ රුපියල් මිලියනය දක්වා මුදල් තැන්පතු පවතින, මාසිකව සිය පොලී මුදල ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මෙම ප්‍රතිලාභය හිමි වන බවයි.

    මීට පෙර රජය ලබා දුන් විවිධ පොලී සහනවලට අදාළව රුපියල් බිලියන 88ක පමණ මුදලක් තව දුරටත් රජය විසින් බැංකු වෙත ගෙවීමට ඇති තත්ත්වයක් තුළ පවා ජනාධිපතිවරයා මෙම පියවර ගනු ලැබුවේ පොලී මුදලෙන් මාසිකව ජීවිත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීමට සානුකම්පිත ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.