Author: Editor

  • ජනාධිපති යුනෙස්කෝ සහාය ගන්න යන්නේ කුමක් නවීකරණය කරන්න ද ?

    ජනාධිපති යුනෙස්කෝ සහාය ගන්න යන්නේ කුමක් නවීකරණය කරන්න ද ?

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

    පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන් වෙත කරන ලද ආරාධනය අනුව මෙලෙස විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ජනාධිපතිවරයා එම සිසුන් වෙත ලබා දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් ද ඉතා කෙටි කලක් තුළ විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සිසු දරුවන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

    එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්ව සිටී අතර ඔවුන්ට සහතික පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩනඟන අනාගත නායකයන් බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බවයි. එහිදී ලබා ගන්නා අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මකවීම සතුටට කරුණක් බවද පැවසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කර දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ව්‍යවස්ථා සභා ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය පිළිබඳවද දැනුවත් කළේය.

  • ඥානසාර හිමි ඇප මත නිදහස්

    ඥානසාර හිමි ඇප මත නිදහස්

    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් 50,000කය මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත  නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය.

    මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 28 වැනිදා ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

    කොළඹ මහාධිකරණය මීට පෙර ඥානසාර  හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අධිකරණය හමුවේ කිසිදු සුවිශේෂී තත්ත්වයක් අනාවරණය වී නොමැති බව පවසමින්ය.

  • ළමුන් අසල දුම්පානය කරන්න එපා – වෙන දේ මෙන්න !

    ළමුන් අසල දුම්පානය කරන්න එපා – වෙන දේ මෙන්න !

    ළමා රෝගීන් අතර  හුස්ම හිරවීමේ අපහසුතා (wheezing cases) ඇතිවීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, දරුවන් අසල සිටින විට දුම්පානයෙන් වළකින ලෙස රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

    විශේෂඥ වෛද්‍ය දීපාල් පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග සිහිගන්වන වෛරස් ආසාදන හේතුවෙන් මෙම වැඩිවීම සිදුවන බව විශ්වාස කරන බවයි.

    “දරුවන්ගේ හුස්ම හිරවීම වැනි රෝග ඇතිවීමේ වැඩි වීමක් අපි නිරීක්ෂණය කර තිබෙනවා. එය බොහෝ විට දුම්පානය මගින් උත්සන්න වෙනවා. හුස්ම ගැනීමේදී උච්ච විස්ල් ශබ්දයක් ලෙසින් හුස්ම හිරවීම ප්‍රකාශ වන අතර එය හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි වාතය සංකෝචනය වීම පෙන්නුම් කරනවා” ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

    දරුවන්ගේ ස්වසන සෞඛ්‍යයට උදාසීන දුම්පානයේ අහිතකර බලපෑම් සිදුවන බව ඔහු අවධාරණය කළේය.

    “උදාසීන දුම් පානයට නිරාවරණය වීමෙන් හුස්ම හිරවීමේ රෝග ලක්ෂණ නරක අතට හැරෙනවා පමණක් නොව, පුනරාවර්තන ශ්වසන ගැටලු ඇතිවීමේ සම්භාවිතාවද වර්ධනය වෙනවා” ඔහු පැහැදිලි කළේය.

    දරුවන්ට ශ්වසන අපහසුතා අවම කර ගැනීම සඳහා දුමෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

    දුම්පානය පිළිබඳ උපදේශනයට අමතරව, වෛද්‍ය පෙරේරා හුස්ම ගැනීමේ අපහසුතා කළමනාකරණය කිරීමේදී inhalers භාවිතා කිරීම පිළිබඳව දෙමාපියන්ට සහතික විය.

    “සෞඛ්‍ය සේවා සපයන්නන් විසින් නියම කරන ලද inhalers හුස්ම හිරවීම සමනය කිරීමට සහ ශ්වසන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ආරක්ෂිත සහ ඵලදායී වේ” ඔහු තහවුරු කළේය.

    ඉක්මන් වෛද්‍ය ඇගයීමක් අවශ්‍ය වන නිදන්ගත කැස්ස සහ නොනවත්වා හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

    ඩේලි මිරර් ඇසුරිණි. පරිවර්තන – මධූ වික්‍රමසිංහ

  • රංගේ බණ්ඩාරගේ ‘අමුතු කතාව‘ දේශපාලන කරළිය කළඹයි

    රංගේ බණ්ඩාරගේ ‘අමුතු කතාව‘ දේශපාලන කරළිය කළඹයි

    ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ.

    රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද සහභාගී විය.

    මැ.කො. හමුවෙන්  අනතුරුව මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය තරග කරන අතර ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවය.

  • මගේ ආණ්ඩුව අසමසම ආණ්ඩුවක් – එය එසේ වන්නේ ඇයි ? ජනපති රහස හෙළිකරයි

    මගේ ආණ්ඩුව අසමසම ආණ්ඩුවක් – එය එසේ වන්නේ ඇයි ? ජනපති රහස හෙළිකරයි

    • බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු.
    • ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති.

    බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ (17) පැවති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනට එක්වෙමිනි .

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

    මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීම අද සංකේතවත්ව සිදු විය.

    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස 31 නිවැසියන්ට මෙම “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

    අද ඔබේ එක ප්‍රශ්නයක් විසඳී තිබෙනවා. තමන්ගේ නිවසේ සින්නකර අයිතිය ඔබට ලැබී තිබෙනවා. නිවසක අයිතිය නැති වීම ජනතාවට විශාල ගැටළුවක් බව අප දන්නවා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් ලෙස එහි ජනතාවගේ ගැටළු පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා.

    අපි ආණ්ඩුව භාරගත්තේ ඉතා අසීරු කාලයක. පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙම ජනතාව විශාල පීඩාවකට පත් වුණා. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ඔබ විශ්වාස කළා. එම විශ්වාසය නිසාම එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. අප කෙරෙහි විශ්වාසය තබමින් ඉවසීමෙන් කටයුතු කළ ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

    අද රට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මෙම ආණ්ඩුව එක පක්ෂයකින් ගොඩනැඟුවක් නොවෙයි. ඇතැම් අය වගකීම් පැහැර හරින විට ඉතා හදිසියේ එක් එක් පක්ෂවලින් පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව නිර්මාණය කළා. මීට පෙර මේ රටේ මෙවැනි ආණ්ඩුවක් තිබුණේ නැහැ.

    රටක් වශයෙන් අප අද ගොඩනැඟෙමින් සිටින අවස්ථාවේ එහි ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතුයි. මෙම මහල් නිවාසවල පූර්ණ අයිතිය ඔබට ලබාදීමට කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි. අපි දැන් රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් තවත් ඉදිරියට යා යුතුයි. ජනතාවට හොද ජීවන තත්ත්වයක් ඇති කර දිය යුතුයි.

    මේ ආණ්ඩුව ඉටුකර තිබෙන්නේ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉටු නොකළ වැඩකටයුත්තක්. අපි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අයිතිය ලබා දී තිබෙනවා. අපි මේ රටේ අයිතිය පුළුල් කර තිබෙනවා. අනෙකුත් ආණ්ඩු අයිතිය දෙස බැලුවේ කොටස් වෙළෙඳපොළේ පමණයි. ඔවුන් බැලුවේ කී දෙනෙක් කොටස් ගන්නවද, කොටස් වටිනාකම වැඩි වෙනවද, අඩු වෙනවද කියලයි. නමුත් අපි බැලුවේ සාමාන්‍ය ජනතාව දෙසයි.

    මේ රටේ ගොවි ජනතාව පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. එසේ නොමැති වූවානම් අපට මෙම ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළයුතුයි. අප මෙතෙක් කාලයක් එම ජනතාවට ඉඩම් අයිතිය දුන්නේ නැහැ. මෙතෙක් සිදු වුණේ බලපත්‍ර ලබාදීම පමණයි. දැන් අප ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ කාලය අවසන් වන විට ලක්ෂ 20කට වඩා ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට සහ තට්ටු නිවාසවල ජීවත්වන ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කරනවා. එවිට මේ රටේ ඉඩම් සහ නිවාස අයිතිය තිබෙන ජනතාවගේ ප්‍රමාණය වැඩි වෙනවා. අප සිදු කර තිබෙන එම විප්ලවය කිසිදු ආණ්ඩුවකට කිරීමට නොහැකි වූවක් බව කිවයුතුයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ මේ රටේ ජනතාවට සහනයක් ලබාදීමටයි.

    ඒ වගේම වතු ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳ අදාළ මන්ත්‍රිවරුන් කැඳවා මම සාකච්ඡා කළා. අලුත් නීතියක් සකස් කර සියලුදෙනා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ක්‍රියාත්ම කරන ලෙස මම එහිදී උපදෙස් දුන්නා.

    ගමත්,නගරයත් වැවිලි ප්‍රදේශ යන තුනේම සියලු ජනතාවගේ නිවාස හා ඉඩම් අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරනවා. එය මේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහන වන බවද කිවයුතුයි. රට තුළ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප එතනින් ආරම්භ කරමු.

    මේ මහල් නිවාස ඉදිකිරීම සඳහා හිටපු නායකයන් තුන් දෙනෙක් විශාල කැප කිරීම් කළා. ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා බම්බලපිටියේ පළමු මහල් නිවාස සංකීර්ණය ඉදි කළා. ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ විශාල මහල් නිවාස ව්‍යාපෘති ඇතිකළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහල් නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ තිදෙනාට ඒ සම්බන්ධව ස්තූතිවන්ත විය යුතුයි. අද මේ ඔබට ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් වෙනවා. එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියා මම ඉල්ලා සිටිනවා.

    අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා. තව අවුරුදු 10 කින් කොළඹ දියුණු වෙනවා. බස්නාහිර පළාත ලක්ෂ 50ක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී රජයේ ඉඩම්වල තිබෙන පැරණි ගොඩනැගිලි ඉවත් කරනවා. ඒ වගේම මේ පළාතේ නව වරායක් ඉදිකළ හැකියි. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඇතුළු කණ්ඩායම දැනටමත් එම වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ අලුතින් පාසල කිහිපයක් ඉදිකිරීමට අප තීරණය කළා. අප එම වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

  • රාජ්‍ය පරිපාලන ප්‍රධානීන් රාජ්‍ය සේවකයින් ගැන ‘සුපිරි හෙළිදරව්වක‘

    රාජ්‍ය පරිපාලන ප්‍රධානීන් රාජ්‍ය සේවකයින් ගැන ‘සුපිරි හෙළිදරව්වක‘

    • ඒ වෙනුවෙන් ජනපතිගේ උපදෙස් ඉවහල් වුණා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත.
    • රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීමට කටයුතු කළා – අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්.
    • සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රජයේ නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා ලබා දීමට කටයුතු කරනවා – අතිරේක ‍ලේකම් (අභ්‍යන්තර පාලන).
    • ගම්පහ නිල පියස ව්‍යාපෘතියේ සියළුම නිවාස ඒකක නිවාසලාභීන් වෙත වෙන් කර අවසන් – අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු).
    • මැයි මාසයේ සිට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කර තිබෙනවා – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙසේද පැවසීය.

    පසුගිය වසර දෙකක කාලය ඉතා දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කාලයක් ලෙස හැඳින්විය හැකියි. අප මුහුණ දුන් කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බූදය හමුවේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වුණා. ඒ වගේම ඇතැමුන් රැකියා කප්පාදු කිරීමට සිදු වනු ඇතැයි උපකල්පනය කර තිබුණා. රාජ්‍ය සේවය අවුල් වෙයි, කඩා වැටෙයි කියා සිතුවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා‍ ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් සිදු කළ මනා කළමණාකාරීත්වය හේතුවෙන් රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා. සැබැවින්ම එය විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. ඒ සඳහා රාජ්‍ය‍ සේවයේ මෙන්ම මෙරට සියලු පුරවැසියන්ගේ ද පූර්ණ සහාය හිමි වූ බවද කෘතඥපූර්වකව සිහිපත් කරනවා.

    මේ දවස්වල මැතිවරණය ගැන බොහෝ ස්ථානවල කතා කරනවා. මැතිවරණ පැවැත්විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට අප අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටු කළ බව කිව යුතුයි.

    අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා
    කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 – 2022 කාලය තුළ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කරනු ලැබුවා. ඒ වගේම 2022 වසරේදීම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අත් හිටවනු ලැබුවා. එම තත්ත්වය රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩල සමාලෝචනය සඳහා අවස්ථාව සලසා දෙන දෙනු ලැබුවා.

    ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත සේවා 6කට, ඒකාබද්ධ සේවාවලට, ග්‍රාම නිලධාරි සේවය ඇතුළු සේවා ගණනාවකට බඳවා ගැනීම් සිදු කිරීමට තීරණය කළා. එම බඳවා ගැනීම්වලට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතනවලින් විධිමත් අනුමැතීන් සහ එකඟතා ලබා ගෙන පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මත පමණක් පදනම්ව එම කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව කාර්ය මණ්ඩල සමාලෝචනයක් තුළ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීම සඳහා අප අමාත්‍යාංශය කටයුතු කළා. ඒ වගේම විභාග පැවැත්විමේ ප්‍රමාදය මඟ හරවා ගැනීමට කාර්යක්ෂමතා කඩඉම් විභාග ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය යටතේ පැවැත්වීමටද කටයුතු කළා. තවද වසරකට දෙවතාවක් සිදු කරනු ලබන විශේෂ ශ්‍රේණියේ උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය මෙම ජූලි 01 වන දා සිට කඩිනම් කර තිබෙන බවද සඳහන් කළ යුතුයි.

    අතිරේක ‍ලේකම් (අභ්‍යන්තර පාලන) මහේෂ් ගම්මන්පිල මහතා,

    රජයේ ආයතන සතු නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා උපරිම ඵලදායි අයුරින් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් සකස් කිරීමට 2024 අයවැය මගින් යෝජනා කර තිබෙනවා. ඒ අනුව රජයේ නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා අතරින් ඌන උපයෝජිත තත්ත්වයේ අවම නඩත්තුවකින් පවතින ඒවා සහනදායි පදනමක් මත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ලබා දෙන අතරම රජයට ආදායමක් ලැබෙන අයුරින් උනන්දුවක් දක්වන පාර්ශව වෙත ද ඒවා වෙන් කිරීමට අවස්ථාවක් ලබා දීම අපේක්ෂා කරනවා. දැනට රජයට අයත්ව පවතින නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා 720කට වැඩි ප්‍රමාණයක් මඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා ආසන්න වශයෙන් කාමර 3750ක් සැපයිය හැකි බව හඳුනාගෙන ඇති අතර ඒ සඳහා 2024 අයවැය මඟින් රුපියල් මිලියන 600ක් වෙන් කර තිබෙනවා.

    ඒ වගේම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංචාරක බංගලා හා නි‍වාඩු නිකේතන මාර්ගගතව වෙන් කිරීම හා ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පහසුකම් සළසා තිබෙනවා.

    අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) ඩබ්ලිව්.එම්.ඒ.පී.බී. වන්නිනායක මහතා,

    රජයේ නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැපයීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ නිවාස ඒකක 32කින් සමන්විත ගම්පහ නිල පියස ව්‍යාපෘතිය 2023 වර්ෂයේ නිම කිරීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තෝරාගැනීම් සිදුකර මේ වනවිට සියළුම නිවාස ඒකක නිවාසලාභීන් වෙත වෙන් කිරීම අවසන් කර තිබෙනවා.

    තවද මේවන විට මඩකලපුව නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩැනගිල්ලේ කටයුතු 92%ක් පමණ අවසන් කර ඇති අතර මහියංගනය, හාලිඇල, හෝමාගම, ලුණුගම්වෙහෙර සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල ඉදිකිරීම් ප්‍රගතියද 100% පමණ වන බව කිව යුතුයි.

    එසේම මුන්දලම සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල කටයුතු රුපියල් මිලියන 369ක පිරිවැයක් දරා අවසන් කර පසුගිය මාර්තු සහ ජූනි මාසවල දී විවෘත කරනු ලැබුවා.

    2023 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිලි ද ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද ඉදි කර අවසන් කර තිබෙනවා.

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා,

    මෙම වසරේ ජනවාරි 02 වනදා සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනයන්ට අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

    ඒ වගේම මුහුදු ආරක්ෂක සේවයේ හෝ නාවික යාත්‍රාවල සේවය කරනු ලබන රජයේ විශ්‍රාමිකයින් සඳහා මෙරටින් පිටවීමට ප්‍රථම සිට ජීවිත සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය හැකි අතර එසේ නොමැති නම් ගොඩ බසින රටක පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයට හෝ වෙළඳ නාවික ලේකම් කාර්යාලය හරහා හෝ සහතික කර ලබා ගත් ජීවිත සහතික ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දී තිබෙනවා.
    එසේම විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් අයකර ගැනීම කළමනාකරණය කිරීම සඳහා නව තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුන්වා දීම වගේම විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ප්‍රමාදයකින් තොරව ගෙවීමට මේ වන විට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

    තවද විශ්‍රාමිකයින්ට දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා දුම්රිය ස්ථාන වෙත නොගොස් දුම්රිය ආසන වෙන් කරවා ගත හැකි පරිදි මාර්ගගත පහසුකම් සලසා දී තිබෙනවා.

  • ජල ගාස්තුවේද සංශෝධනයක් ? ජල සම්පාදන ඇමති හෙළිකළේ කුමක් ද ?

    ජල ගාස්තුවේද සංශෝධනයක් ? ජල සම්පාදන ඇමති හෙළිකළේ කුමක් ද ?

    නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

    එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

  • ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව

    එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට යෝජනා කර තිබේ.

    කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) නම් කිරීමට යෝජනා කර තිබේ.

    තවද, ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු මට්ටමේ පොලිස් නිලධාරියෙකු නම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමට ද යෝජනා කර ඇත.

    මෙම ආරක්ෂක විධිවිධාන බාධාවකින් තොරව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ කමිටුව සහ නම් කරන ලද පොලිස් නිලධාරියා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සමීපව කටයුතු කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් ය.

  • ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය

    ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය

    2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ උනන්දුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය.

    මැතිවරණය පැවැත්වීමේ දින වකවානු

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ හැකි දින වකවානු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය.

    “මේ ඡන්ද විමසීම කොයි ආකාරයෙන්ද පවත්වාගෙන යන්නේ කියන එක සහ විශේෂයෙන් ඡන්ද විමසීමේ දිනය, නාමයෝජනා ලබා ගන්නා දිනය සහ ඡන්ද විමසීමේ ප්‍රකාශනය නිකුත් කරනු ලබන දිනය ගැන නොයෙකුත් කතා පැතිරෙනවා.”

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන්.”

    “ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදාත් ඔක්තෝම්බර් මාසයේ 16 වෙනිදා අතර දිනයක.”

    “මේ කාරණයේ පළමු දේ තමයි ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කිරීම. ඒ ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කිරීමේ දිනයේ සිට දින 16ත් දින 21ක් අතර දිනයක ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සිදු කරන්න ඕන.”

    “නාමයෝජනා භාර ගත් දිනයේ සිට සති 04 ත් සති 06ක් අතර කාලයක වන දිනයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විය යුතුයි. මේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ යුතුව තිබෙන්නේ.” ඔහු පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ හැකි දින වකවානු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් කළේය.
    ඡායාරූප ශීර්ෂ වැකිය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ හැකි දින වකවානු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් කළේය

    හැමෝම කතා වෙන ජුලි 17 ගැන ප්‍රකාශයක්

    මේ අතර බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වන හෙට (ජුලි 17 වෙනිදා) දිනය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    “එතකොට හෙට දිනය ඇවිල්ලා තියෙන්නේ ඡන්ද විමසීම පැවැත්විය යුතු මුල් දිනය, ඒ කියන්නේ සැප්තැම්බර් 17 වෙනිදා සහ එදා ඉදන් උපරිම දින 63ක් ගත්තම.”

    “ඡන්දය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට නාම යෝජනා භාර ගැනෙන උපරිම දින ගණනත් සහ ඡන්දය පැවැත්වෙන දිනය දක්වා වූ උපරිම දින ගණනත් එක්ක තමයි මේ සැප්තැම්බර් 17 කියන දිනය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසයි මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙන දිනය කියලා ඒක ප්‍රකාශයට පත්වෙලා තියෙන්නේ.”

    “නමුත් සැප්තැම්බර් 17 වෙනිදා නෙමෙයි ඊට පසු දිනයක තමයි අපට ඡන්දය විමසීම තියන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන් ඔහු පැවසීය.

    ‘රාහු කාලය නැති සුදුසු දිනයක් බලන්න ඕන’

    මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ දින ප්‍රකාශයට පත් කිරීමේදී ඊට අදාලව විශේෂ කරුණු රැසක් ගැන අවධානය යොමු කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

    “ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීමේදී අප සලකා බලන්න ඕන එක් කරුණක් ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරන දිනයේ සිට ඡන්දය පැවැත්වෙන දිනය දක්වා තියෙන කාල සීමාව කොපමණද කියලා.”

    “විශේෂයෙන් නාම යෝජනා භාර දීමෙන් පසුව ඡන්ද විමසීමේ දිනය දක්වා ඒ අපේක්ෂකයින්ට ප්‍රචාරණ කටයුතු කරගෙන යෑම සඳහා කාල සීමාවක් අවශ්‍යයි. ඒ සඳහා අපට හැකි උපරිම කාල සීමාවක් ලබා දෙනවා.”

    “ඡන්ද විමසීම සම්බන්ධයෙන් රාජකාරි රාශියක් තිබෙනවා නිලධාරීන්ට. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඇතුළු රාජකාරි සම්බන්ධයෙන්. ඒ ගැනත් අපි දින වකවානු බලන්න ඕන.”

    “ඊළගට ඡන්ද විමසීම සඳහා යොදා ගන්නා දිනය විශේෂයෙන්ම සියලුම ඡන්ද දායකයින්ට පහසු දිනයක් වෙන්න ඕන. පෞද්ගලික අංශයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා ඔවුන්ටත් පහසු දිනයක් වෙන්න ඕන.”

    “ශ්‍රී ලංකාව වගේ රටක නාමයෝජනා දිනය ගැන බලද්දී සිරිත් විරිත් ගැනත් බලන්න ඕන. නාම යෝජනා දෙන දිනයේදී නැකත් බලනවා. ඒ නිසා නාම යෝජනා භාර ගන්නේ අදාළ දිනයේ පැය දෙකක් පමණයි. උදේ 9 සිට 11 දක්වා. විරෝධතා දක්වන්න මිනිත්තු 30ක් ලබා දෙනවා.”

    “මේ නිසා එම පැය දෙක ඇතුලත සියලුම දෙනාට නාම යෝජනා භාර දිය හැකි විදිහට රාහු කාලය වාගේ දේවල් බලලා සුදුසු දිනයක් තමයි යොදා ගන්නේ. ඒ සියලු දේවල් සලකා බලලා මේ මස අවසානයේදී ඡන්දයට අදාළ නිවේදනය නිකුත් කරනවා.” සභාපතිවරයා පැවසුවේය.

    ඡන්දහිමි නාම ලේඛනය ගැන දැනුම් දීමක්

    මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛණය බවත්, එය මේ වන විට සහතික කොට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවද සභාපතිවරයා පැවසුවේය.

    “මේ ඡන්ද හිමි නාම ලේඛනය කොටස් දෙකකින් සකස් කරලා තියෙන්නේ. 2024 සකස් කරපු ප්‍රධාන නාම ලේඛනය වගේම අවුරුදු 18 සම්පුර්ණ වෙන අලුත් ඡන්ද දායකයින්ට අවස්ථාව සැලසීම සඳහා පරිපුරක ජන්ද හිමි නාම ලේඛනයක් සකස් කරනවා.”

    “පෙබරවාරි 01 වැනිදාට ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය සකස් කරන්න තොරතුරු ලබා ගත්තට පස්සේ ඒ තොරතුරු වලින් ඡන්ද නාම ලේඛනය සකස් කරනවා.”

    “නමුත් ඊට පස්සේ අවුරුදු 18 සම්පුර්ණ වෙන ඡන්ද දායකයින්ට අවස්ථාව ලබා දෙනවා සෑම වසරකම අවස්ථා 3-4ක් තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත් කර ගන්න.”

    “2024 ප්‍රධාන ඡන්ද හිමි නාම ලේඛනයට අමතරව පෙබරවාරි 01 වෙනිදා සිට මැයි 31 දක්වා කාලයේදී අවුරුදු 18 සම්පුර්ණ වූ අයට මේ ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයට ඇතුල් වෙන්න.”

    “ඒ අනුව මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දාහක් දල වශයෙන් සිටිනවා. ඒ අතර පරිපුරක ඡන්ද හිමි නාම ලේඛනයේ අඩංගු 76,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

    ‘මුලික වැඩ කටයුතු ආරම්භ කළා’

    ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මුලික වැඩකටයුතු මැතිවරණ මහ ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල මගින් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

    ” ඡන්දය සඳහා වන නිලධාරින් පිළිබඳව සහ ඡන්දයට යොදා ගන්නා රජයේ වාහන ගැන සංගණනයක් මේ දිනවල සිදුකරගෙන යනවා.”

    “ඊලඟට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීම සඳහා සුදුසු ස්ථාන සෙවීමේ කටයුතු අදාළ දිස්ත්‍රික්කවල සිටින ග්‍රාම නිලධාරිවරුන් හරහා සිදුකර ගෙන යනවා.”

    “ඡන්ද පෙට්ටි සහ අනෙක් අවශ්‍යතා පිළිබඳ ඇස්තමේන්තු සකස් කිරීම සිදුකරනවා.”

    “ඒ වගේම ප්‍රධාන කාර්යාලය මට්ටමින් ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සේවා සපයන සහ ආයතන සමග සාකච්ජා පවත්වමින් සිටිනවා.”

    “මේ වන විට පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාල අධිපතිනිය, තැපැල්පතිවරයා යන අය සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමග සාකච්ජා කරන්න.”

    “එමෙන්ම මැතිවරණයට අදාළ සහය වන ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් ප්‍රවාහන, විදුලිබල සහ ජල සම්පාදනය ඇතුළු අනෙක් කණ්ඩායම් සමග සාකච්ජා කරන්න නියමිතයි.” සභාපතිවරයා කියා සිටියේය.

    ‘මැතිවරණ වියදම් නියාමනය ක්‍රියාත්මකයි’

    මෙවර ඡන්ද විමසීමේදී 2023 වසරේ දී අනුමත කරන ලද මැතිවරණ වියදම් නියාමනය මෙවර ජනාධිපතිවරණයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඊට අදාළ අංශ සමග දීර්ඝ ලෙස සාකච්ජා කරමින් සිටින බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

    “ශ්‍රී ලංකා පොලිසිය, ආදායම් බදු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂන් සභාව වගේ ආයතන සමග සාකච්ජා කරමින් යනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්.”

    “ඒ වගේම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීම සිදුකරනු ලබනවා.”

    2023 වසරේ අයවැය දී ජනාධිපතිවරණය සඳහා බිලියන 10ක් ඉල්ලා සිටිය බවත් එම මුදල් වලින් දැනට අවශ්‍ය වියදම් සිදුකරමින් පවතින අතර මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා ගැටලුවක් පැන නැගී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

    මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පිළිබඳව දැන්වීම නිකුත් කිරීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වූ නියාමන සහ උපමාවන් අපේක්ෂකයින්ට සහ මාධ්‍ය වෙත නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

    සම්පූර්ණ උපුටා ගැනීම – බී.බී.සී සන්දේශය

  • 2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා  කළ බවත්සේ වා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී  කඩඉම් මට්ටමට වඩා  ඉහළ අගයක පැවතුණ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් විය.

    එම නිවේනයේ මෙසේ ද සදහන්ව විය.

    ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ වර්ධනය දායක විය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමීව තොග මිලදී ගැනුම් ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, බොහොමයක් නිෂ්පාදන කර්මාන්ත තවමත් සේවක පුරප්පාඩු පිරවීමේ දී ඉතා  සැලකිලිමත්ව කටයුතු කරන බැවින්, සේවා  නියුක්තිය ජුනි මාසය තුළ දී පහළ මට්ටමක පැවතුණි. තවද, මූලික වශයෙන් ප්‍රධාන වරායන්හි පවතින තදබදය හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය.

  • විදුලි මිල සංශෝධනයේ වාසි සහ සහන ගැන විදුලිබල ඇමැති කළ  හෙළිදරව්ව

    විදුලි මිල සංශෝධනයේ වාසි සහ සහන ගැන විදුලිබල ඇමැති කළ හෙළිදරව්ව

    • නව විදුලි මිල සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවටයි.
    • වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර.

    විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

    විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද පැවසීය,

    සෑම වසරකම ජනවාරි, අප්‍රේල් ,ජූලි, ඔක්තෝබර් යන මාසවල විදුලි ගාස්තුව සංශෝධනය කළ යුතු බවට රජය තීරණයක් ගෙන තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ කළ මිල සංශෝධනයෙන් පසුව මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලීම මත අප්‍රේල් මාසයේ විදුලි මිල සංශෝධනයක් සිදු නොකර එය ජුලි මාසයේ සිදු කිරීමට එකඟතාවක් ඇති කර ගත්තා. ඒ අනුව මෙම නව විදුලි ගාස්තු සංශෝධනය ජූලි මස 16 වෙනිදා සිට ක්‍රියාත්මක වනවා. මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

    2022 වසරේදී සිදුවුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පොලී අනුපාතය 36%ක් දක්වා ඉහළ ගියා. රුසියානු – යුක්රේන යුද තත්ත්වය නිසා ගල් අඟුරු, දැවි තෙල් ආදියෙහි මිල ඉහළ යාමක් සිදුවුණා. අමෙරිකානු ඩොලරයට ගෙවීමට සිදුවූ රුපියල් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. ඒ අනුව වසර 09කට පසුව විදුලි මිල සංශෝධනය කරන්න සිදුවුණා. ඒ අනුව 2014 වසරට පසුව විදුලිමිල සංශෝධනයක් සිදු වුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදී යි.

    නමුත් මෙවර 22.5% කින් විදුලි මිල පහත දැමීමට හැකියාව ලැබුණු ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ආර්ථික තත්ත්වය යහපත් අතට පත් කර ගැනීම විශේෂයි. ඒ වගේම පසුගිය වසර දෙක දෙස බැලූ විට වැසි තත්ත්වයේ වැඩි වීමක්ද දක්නට ලැබෙනවා. එම නිසා ජල විදුලිබල උත්පාදනය වැඩි වී තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය ද වැඩිවී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී උමා ඔය ජල විදුලි බලාගාරයේ විදුලියද ජාතික ජනන පද්ධතියට එක් කෙරුණා. පසුගිය මාස 18ක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය සිය මෙහෙයුම් වියදම් අඩු කරගැනීමට ද කටයුතු කර තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු සේවකයෙකු බඳවා ගෙන නැහැ. එහි සිටි 26,000 ක සේවක මණ්ඩලය වෙනුවට මේ වන විට සිටින්නේ 22,000ක සේවක සංඛ්‍යාවක් පමණයි.

    මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම සහනය ලැබී තිබෙන්නේ ඒකක 90 කට වඩා අඩුවෙන් විදුලිය පාරිභෝජනය කරන ජනතාවටයි. ගෘහස්ථ කාණ්ඩය නියෝජනය කරන 79%ක කොටසට මේ අනුව විශාල සහනයක් ලැබී තිබෙනවා.

    විදුලි බිල ඉහලටම යන අවස්ථාවේදි විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදිත වියදම රුපියල් 48ක් පමණ වුණා. එය අද වන විට රුපියල් තිස් පහක මට්ටමකට පැමිණ තිබෙනවා. හෝටල් සහ කර්මාන්ත වෙනුවෙන් 25%-26%ක පමණ විදුලි මිල සහනයක් ලබාදී තිබෙනවා. ආගමික ස්ථාන සඳහා 30%ක සමස්ත කාණ්ඩය වෙනුවෙන් අඩු කිරීමක් සිදු කර තිබෙනවා.

    ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු පහත හෙළිමට හැකියාවක් තිබෙන්නේ ජනන ගාස්තු අඩු කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා අඩු වියදම් බලාගාර සීඝ්‍රයෙන් ඇති කළ යුතුයි. මෙම නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු තුනෙන් පසුව මීටත් වඩා විදුලි ගාස්තු අඩු කිරීමට අපේක්ෂා කරනවා.

    විදුලි ඒකක 180ට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පිරිස සිටින්නේ 189,000ක් පමණයි. ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ගෙවන්න සිදුවෙන්නේ රුපියල් 290ක් පමණයි. ඒකක 1- 60 අතර විදුලි පරිභෝජනයක් සිදුකරනවා නම් රුපියල් 790ක පමණ මුදලක් ගෙවිමට සිදු වෙනවා.

    ඒ වගේම කර්මාන්ත ශාලා, කුඩා ව්‍යාපාර සඳහා මෙම විදුලි මිල සංශෝධනයේදී අවම වශයෙන් 20%ක මිල අඩුවීමක් සිදුව තිබෙනවා. විදුලි මිල ඉහළ දමන අවස්ථාවේදී එදින රාත්‍රියේම වැඩිකරනු ලබන භාණ්ඩ හා සේවා ගාස්තු විදුලි මිල පහත දැමීමත් සමඟ අඩු කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්ට නැහැ. පසුගිය කාලයේ ඉන්ධන මිල, භූමිතෙල් මිල අඩුවුණා. ඒ අවස්ථාවන්වලදීත් භාණ්ඩ හා සේවා ගාස්තු අඩු වීමක් අප දුටුවේ නැහැ. එම නිසා මෙවර විදුලි මිලෙහි විශාල අඩුවීමක් සිදුව ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. අඩුම වශයෙන් 20% මිල අඩු කිරීමක් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

    විදුලි මිල වැඩිවීමේදී එය කලාපයේ අනෙකුත් රටවල විදුලි ගාස්තු සමඟ සංසන්දනය කරමින් මාධ්‍ය වාර්තා ඉදිරිපත් වනු දක්නට ලැබුණා. ඒ නිසා මෙවර මිල අඩු කිරීම පිළිබඳවද කලාපීය විදුලි මිල ගණන් සමඟ සංසන්දනය කිරීමක් මෙන්ම අඛණ්ඩ විදුලිය ලබාදීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කරන ලෙස මාධ්‍යවලින් මා ඉල්ලා සිටිනවා. මේ විදුලි මිල සංශෝධනය සිදු කළේ මැතිවරණ කාලයක් නිසා බව ඇතැම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් පවසනවා. නමුත් අප මේ ප්‍රතිපත්ති සකස් කළේ 2022වසරේදීයි. ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කළ නිසා මේ සංශෝධනය කරගත හැකි වුණා. අප ජනප්‍රිය තීන්දු ගත්තේ නැහැ. නමුත් නිවැරැදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ නිසා එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා. එබැවින් විදුලි මිල වැඩි වීමේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලබාදුන් ආකාරයේ ප්‍රසිද්ධියක්ම විදුලි මිල අඩු කරන විටත් ලබාදීමට කාරුණික වන ලෙස මා ඉල්ලා සිටිනවා .

    ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් හා මෙහෙයුම් වියදම් අඩු ජනන සැලැස්මක් ඉදිරියේදී හඳුන්වාදීමට අප කටයුතු කරනවා. 2022 වසරට පෙර විදුලිබල ක්ෂේත්‍රය ලබා තිබුණේ අලාබ පමණයි. නමුත් 2023 හා 2024 වසරවල මෙහෙයුම් ලාභ වාර්තා කිරීමට අප සමත්ව තිබෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම නිසා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් නැවතී තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මහ භාණ්ඩාගාරයෙන් මුදල් විදුලිබල මණ්ඩලයට ලබාගෙන නැහැ. මේ සමඟ විදුලිබල මණ්ඩලය ලාභ ලබන තැනකට පැමිණිය යුතු වුණා. ඒ අනුව නිසි මූල්‍ය විනයක් සහිතව අප කටයුතු කළ නිසා මෙහෙයුම් ලාභයක් ලැබීමට හැකි වුණා. විදුලිබල මණ්ඩලය අනෙක් ආයතනවලට ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා අවසන් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

    තවද පුනර් ජනනීය බලශක්ති සැපයුම ප්‍රචලිත කර ගැනීම වෙනුවෙන් සූර්ය පැනල සවිකරන පුද්ගලයින් දිරිමත් කිරිමට ආණ්ඩුව කටයුතු කළා. වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් ජාතික පද්ධතියට වසරකට මෙගාවොට් 150ක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. ඒ යටතේ මේ වන විට වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් වසරකට මෙගාවොට් 149ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

  • රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

    “විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත් ලබාදීමට ද නිමිතය.

    රජයේ සියලු පාසල් හා පිරිවෙන් විද්‍යායතන, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අනුමත පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම භික්ෂුන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලාටද මෙම තරගය සඳහා සහභාගි විය හැකි අතර, සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම අයදුම්කරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

    ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන මෙම තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජුලි 31 වැනිදා වන අතර, තරග කොන්දේසි සහ ඉල්ලුම් පත්‍රය, නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ වැඩි විස්තර අදාළ පනත් කෙටුම්පත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ https://www.dgi.gov.lk/contact-us/public-finance-management-bill වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකිය.

  • ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

    ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

    ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ.

    පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව තරගාවලිය ආරම්භය සිදුවීමට යෙදී තිබුණේ ජූනි මස 26 වැනිදා වුවත් නව කාලසටහනට අනුව පළමු විස්සයි-20 තරගය ජූලි 27 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. දෙවැනි තරගය ජූලි 28 ත් තෙවැනි තරගය ජූලි 30 ත් පැවැත්වෙනු ඇත.

    ජූලි මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය කණ්ඩායම එම විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව තරග වදිනු ලබන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියද මූලික කාලසටහනට වඩා දිනයක් පසුපසට ගොස් තිබේ.

    ඒ අනුව පළමු එක්දින තරගය අගෝස්තු 02 වැනිදා ද දෙවැනි තරගය අගෝස්තු 04 වැනිදාත් තෙවැනි තරගය අගෝස්තු 07 වැනිදාත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    දිනය තරගය වේලාව ක්‍රීඩාංගණය
    ජූලි 27 පළමු විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලේකැලේ
    ජූලි 28 දෙවැනි විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලෙකැලේ
    ජූලි 30 තෙවැනි විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලෙකැලේ
    අගෝස්තු 02 පළමු එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
    අගෝස්තු 04 දෙවැනි එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
    අගෝස්තු 07 තෙවැනි එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
  • පිළිකා මර්ධනයට LPL අත හිත

    පිළිකා මර්ධනයට LPL අත හිත

    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද? 

     දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා (14) හඳුන්වා දුන් රෝස දිනය (PINK DAY ) සමාජ සේවා ව්‍යාපෘතිය පිළිකාවන් වැළඳී රෝගාතුර වී සිටින පිපෙන කැකුළු වන් පුංචි දරුවන්, මව්වරුන්ගේ සහ සොහොයුරියන්ගේ මුවට වේදනා මැද බලාපොරොත්තු සහගත සිනහවක් ඇති කරවන්නක් විය.  

    මේ ව්‍යාපෘතියට මුල් අඩිය තබන ලද්දේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම විසිනි. කලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙසින් කටයුතු කරන ලද හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහානාම මහතාගේ අනුශාසකත්වය යටතේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන දඹුල්ල සික්සර්ස් මෙම මහඟු කර්තව්‍යයට පළමුව දායකත්වය ලබා දුන් අතර ඔවුන් පසුපස යමින් සෙසු කණ්ඩායම්ද මෙම මහඟු කාර්යය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් සහයෝගය දැක්වීම සැබැවින්ම අගය කළ යුතු කරුණක් වන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් පැවැති සෑම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදීම ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ මෙහෙවරක් සඳහා ද දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි. ඉකුත් වර මහරගම අපේක්ෂා රෝහලෙහි කටයුතු පවත්වාගෙන යෑම සඳහා සහයෝගය දුන්නා සේම මෙම වසරේ අපේක්ෂාව වී ඇත්තේ සමාජයේ අවශ්‍යතා ඇති පියයුරු පිළිකා කාන්තාවන් පිළිබඳව සමාජය දැනුවත් කර රෝගීනට සහනයක් ලබාදීමට අත්වැළක් ලබාදීමට සූදානම් වී සිටියි.

    මේ පිළිබඳව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ද සදහන් කර සිටියේ ගිය වසරේ පරිදිම මෙම වසරේදීද මෙම සමාජ සත්කාරක කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තරගාවලියේදී එල්ල වනු ලබන සෑම හයේ පහරකටම, හතරේ පහරකටම මෙන්ම කඩුල්ලක් දැවී යෑමකට අදාළව මුදල් මෙම අරමුදල සඳහා බැර කිරීමට කටයුතු කරනු ලබන බවයි.

    අද දින මෙම සමාජ සත්කාරක වැඩසටහන වර්ණවත් වූයේ දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් අතර තරගය සම්පූර්ණයෙන්ම රෝස පැහැ ගැන්වෙමිනි. මෙහිදී දඹුලු සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් රෝස පැහැති ඇඳුමින් සැරසී පිටියට අවතීර්ණ වද්දී ගෝල් මාවල්ස් කණ්ඩායමද ඔවුනගේ සාම්ප්‍රදායික කොළ පැහැති ඇඳුමට අමතරව රෝස වර්ණය එකතු කරමින් වූ ටීෂර්ටයකින් සැරසී තරගයට අවතීර්ණ වීම කාගෙත් අවධානය දිනා ගනු ලැබූ කටයුත්තක් බවට පත්විය.

    ඊට අමතරව රාත්‍රියේ පැවැති ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම රෝස බෝ එකක් පැලඳීමෙන් ද කළම්බු සික්සර්ස් රෝස ඇඳුමෙන් සැරසීගෙන ද මීට සහය දැක්වුහ. කැන්ඩි ෆැල්කන්ස්ට මෙදින (14) තරගයක් නොමැති වුවත් ඔවුන් ඊට සහය දැක්වුයේ රෝස පැහැති ඇඳුමින් සැරසී ඊට එක්වෙමිනි. නරඹන්නන් රැසක් ද රෝස පැහැති ඇඳුමෙන් සැරසී මේ අවස්ථාවට එක්ව සිටියේ රෝගීන් දිරිගැන්වීමේ අපේක්ෂාවෙනි. 

    මෙම තරගය ආරම්භයට පෙර පිළිකා රෝගයෙන් පෙළෙන ඉන්දිරා පිළිකා සුව අරේණ් සෙවණ ලබන දරුවන් ක්‍රීඩාංගණයට පිවිසිමේ, මෙම කර්තව්‍යයට පළමුවෙන්ම දායකත්වය දැක්වීමට ඉදිරිපත් වුණු දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටීමටයි. අනතුරුව ඔවුන් සියලු දෙනා ඔවුනටම වෙන්වුණු විශේෂ කුටියක සිට තරගය නැරඹීම, බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ලැබූ සිදුවීමක් විය. ඊට ප්‍රථම සමූහ ඡායාරූපයට මුහුණ දීමෙන් පසු ඔවුන් වෙත විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පියවර ගනු ලැබීය. කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් එය ඉන්දිරා පිළිකා භාරයේ වෛද්‍යවරිය ලෙසින් කටයුතු කරන වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පිළිගන්වමිනි.

    ඉහතින් සඳහන් කළ ආකාරයට “රෝස දින“ ව්‍යාපෘතියට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දායකත්වය ලබාදෙනුයේ හයේ පහරකට රුපියල් දස දහසක් ද හතරේ පහරකට රුපියල් හාරදහසක් ද දවාලන කඩුල්ලකට රුපියල් හයදහසක් ද ලෙසිනි. තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙන ජුලි 21 වැනිදා තරගය නිමාවට පත් වනතෙක්ම මෙය ක්‍රියාත්මකය. බලාපොරොත්තු සහිතව පහර දීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලයන්  එල්.පී.එල්. හි පිළිකා නිවාරණය වෙනුවෙන් ගනු ලබන වෑයමට මහඟු දායකත්වයක් ගෙනෙනු නියතය.

  • 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    • ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති.
    • උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ‍ අරමුණින් උතුරු පළාත තුළත් පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කළා – පොල් සංවර්ධන අධිකාරියේ සභාපති.
    • රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහනක් මොණරාගල, අම්පාර හා බදුල්ලෙන් ආරම්භ කළා – රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි – කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • වැඩි විදේශ විනිමයක් ඉලක්ක කර කෘෂි අපනයන නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා ගැනීම සඳහා රටපුරා සංවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන).

    ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය.

    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (15 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පසුගිය කාල‍පරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබා ගැනීම ජයග්‍රහණයක් බවත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය.

    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ කෘෂි අපනයන ආදායමේ අඩු වීමක් දක්නට ලැබුණා. ඒ අනුව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට හැකිව තිබෙනවා. මේ කාලය තුළ පැවතුණේ කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණික තත්ත්වයන් නොවන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එවන් අභියෝග හමුවේ මේ අත්කර ගත් ප්‍රගතිය සැබැවින්ම ජයග්‍රහණයක් බවත් පැවසිය යුතුයි.

    උදාහරණයක් වශයෙන් 2023 වසරේ අප්‍රේල් මාසය වන විට තේ වලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 407.6ක අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 450.5ක් දක්වා වැඩි වී තිබෙනවා.

    ඒ වගේම 2023 වසරේ අප්‍රේල් මාසය වන විට පොල් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 212ක ආදායමක් ලැබුවා. එය 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 263 දක්වා වර්ධනය වී තිබෙනවා. 2023 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 299ක් වූ රබර් අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 335 ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම එම කාල සීමාව තුළ කුරුඳු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 53.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 56.1 දක්වාත්, ගම්මිරිස් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 13.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 14.0 දක්වාත් වැඩි වී තිබෙනවා.

    කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය නිරන්තරයෙන් ඉහළ පහළ යන ක්ෂේත්‍රයක්. පසුගිය සමයේ තේ නිෂ්පාදනය අඩු වූ නිසා පොහොර අවශ්‍යතාව ඉහළ ගියා. ඒ අනුව පොහොර සැපයීමේ විශේෂ වැඩසටහනක් අප විසින් දියත් කරනු ලැබුවා.

    ඒ අනුව සෑම කිලෝ ග්‍රෑම් 50ක පොහොර බෑගයක් සඳහා රුපියල් 2000ක සහනාධාරයක් යටතේ පොහොර ලබා දීමට කටයුතු කළා. මේ වන විට තේ පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් වගාකරුවන් වෙත ලබාදී ඇති අතර ඉතිරි මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණය ඉහත පාර්ශවකරුවන්ට අමතරව තේ කර්මාන්තශාලා හිමියන් සම්බන්ධ කරගනිමින් කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

    ඒ වගේම සමස්ථ තේ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා තේ වගාවේ පාළු සිටුවීම, නැවත වගාව සහ සෘජු වගාව හා සම්බන්ධ සහනාධාර ව්‍යාපෘතිය 2022 වසරේ සිට මේ දක්වා හෙක්ටයාර් 745ක ක්‍රියාත්මකයි. ඒ යටතේ රුපියල් මිලියන 140ක මුදලක් වගාකරුවන් 324 දෙනෙකු වෙත ලබාදී තිබෙනවා. 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 60ක මුදලක් වෙන්කරමින් තේ පැල 800,000ක් සිටුවීම සදහා නව ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් සෘජු තේ වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 750ක් යොදාගැනීමට නියමිතයි.

    මේ වනවිට පොල්කටු හා පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන ද පොල් මද ආශ්‍රිත නිෂ්පාදන තරමටම රටට විදේශ ආදායමක් ලබා දීමට හැකිවී තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 817 ක වාර්තාගත ආදායමක් පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් ලැබී තිබෙනවා. 2023 වර්ෂයේ සුදු මැස්සා රෝගය නිසා පොල් නිෂ්පාදනයේ පහළ වැටීමක් සිදු වුවත් සුදුසු නියාමන හා පාලන ක්‍රියාමාර්ග උපයෝගී කරගෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආදායමක් රටට ගෙන දීමට අප සමත් වී තිබෙනවා. 2024 අප්‍රේල් මස වන විට ඇමරිකානු ඩොලර් මිලියන 263.06 ක් ආදායමක් ලබා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24 % ක වර්ධනයක් බව කිව යුතුයි.

    2022 හා 2023 වසර දෙකෙහි වගා කර ඇති, නව රබර් වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර 921 ක් වන අතර, නැවත රබර් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 2743 ක් වනවා. 2024 වසරේ රබර් හෙක්ටයාර 1135 ක් වගා කිරීමට දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර තිබෙනවා. ඉන් හෙක්ටයාර 605ක් නව වගාව ලෙසත් හෙක්ටයාර 415ක් නැවත වගාව ලෙසත් සිදු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 149 ක ප්‍රතිපාදන වගාව සඳහා අවශ්‍ය පැල ලබා දීමට වෙන්කොට තිබෙනවා. පෙර පැවති රබර් වගා සහනාධාර ක්‍රමය 2023 වසරේ සිට ක්‍රියාත්මක නොවන අතර, දෙපාර්තමේන්තුව විසින් වගාකරුවන්ට අවශ්‍ය පැල සහනාධාර ලෙස 2023 වසරේ සිට නොමිලේ ලබාදීම සිදුකරනු ලබනවා.

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා,

    ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු ඛනිජ තෙල් ණය තේ අපනයනය හරහා පියවීම පසුගිය අගෝස්තු 05 වෙනිදා ආරම්භ කළා.

    එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් ඉරානය වෙත ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක මුදල තේ අපනයනය තුළින් පියවීමට අපේක්ෂිතයි. මේ වන විට එම ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා නිම කර තිබෙනවා. 2024 වසරේ පළමු මාස 04 තුළ නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 4.1ක ප්‍රමාණයක් ඉරානය වෙත අපනයනය කරන ලද අතර එය පසුගිය 2023 වසරේ පළමු මාස 04 තුළ ඉරානය වෙත අපනයනය කරන ලද නිමි තේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක වැඩිවීමක් බව කිව යුතුයි.

    පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා,

    පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදන වල නිෂ්පාදන පිරිවැය අඩු කර ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය, ප්‍රමාණාත්මකතාවය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම්, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම, මහා පරීමාණ කර්මාන්තශාලාවල පිරිවැය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා මුල්‍යය සහාය ලබා ගැනීම වැනි සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ “ කප්රුක ජය ඉසුර” නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබනවා. එමඟින් 6% සහන පොලියක් යටතේ එක් කර්මාන්තකරුවෙකු වෙත රු. ලක්ෂ 35 ක උපරිම ණය මුදලක් ලබාදෙන අතර එම ණය මුදල රුපියල් ලක්ෂ 100 ක උපරිමයක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය දෙවසර සලකා බැලීමේදී 2022 වර්ෂය තුළ රුපියල් මිලියන 53.4 ක පමණ මුදලක් සහ 2023 වර්ෂය තුළ රුපියල් මිලියන 35.7 ක පමණ මුදලක් මේ හරහා ලබා දී තිබෙනවා.

    ඒ වගේම 2024 වර්ෂය සඳහා.පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන් 752 ප්‍රමාණයක් නිෂ්පාදන 1012 ක් සඳහා ලියාපදිංචි කරගෙන ඇති අතර 636 ප්‍රමාණයක් පොල් ආශ්‍රිත අපනයනකරුවන් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

    තවද පොල් හා තැඹිලි නිෂ්පාදනයට ඉහළ බලපෑමක් ඇති කළ සුදු මැස්සා වසංගතය මැඩපැවැත්වීම සඳහා දියත්කරන ලද සුදු මැස්සා මර්දන වැඩසටහන 2022 වර්ෂයේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වෙනවා. රෝග හා පළිබෝධ හානිය මගින් පොල් අස්වැන්නට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් මේ වනවිට ගස් 1,051,323 ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර දැනුවත් කිරීම් වැඩසටහන් 3,046ක් පවත්වා තිබෙනවා. එසේම වගාකරුවන් අතර දියර ඉසින යන්ත්‍ර 700 ක ප්‍රමාණයක්ද බෙදා දී තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සඳහා දැනට රුපියල් මිලියන 85.50 ක් වැය කර තිබෙනවා.

    ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රදේශවලින් බැහැරව උතුරු පළාත තුළද පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට කටයුතු කළා.

    පාරිභෝජන සහ අපනයන පොල් අවශ්‍යතාවයන් සපයා ගැනීමත් උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් එහි අරමුණු වුණා. මේ වන විට පොල් පැල 489,077ක් මෙම ව්‍යාපෘතියට යොදවා තිබෙනවා.

    ඊට අමතරව කිතුල් හා තල් නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙන ප්‍රවර්ධනය කරමින් ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ගොඩනැගීම ද සිදු කෙරෙනවා.

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. සී මුහන්දිරම් මහතා,

    2024 වසර තුළ සාම්ප්‍රදායික ලෙස රබර් වගා කර නොතිබූ ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහන ලෙස, මොනරාගල, අම්පාර හා බදුල්ල යන ප්‍රදේශවල හෙක්ටයාර 115ක රබර් නව වගාව ‍ ස්ථාපනය කිරීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 18 ක්. මෙම රබර් නව වගා මඟින් දේශීය රබර් නිෂ්පාදනය 86,825 Kg කින් වැඩි කිරීමට අපේක්ෂිතයි.

    ඒ වගේම එම ප්‍රදේශ සඳහා සුදුසු ක්ලෝන හඳුනාගැනීම සඳහා රබර් පර්යේෂණායතනය විසින් ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 19.25ක් ඇස්තමේන්තුගත කර තිබෙන අතර මේ වන විට රුපියල් මිලියන 17.74ක මුදලක් වැය කර තිබෙනවා.

    මෙමඟින් පවතින ක්ලෝන 14ක් පරීක්ෂාකර අවසන් අතර, ඉදිරියේදී තවත් ක්ලෝන 22ක් පරීක්ෂා කිරීමට නියමිතයි. අවසානයේදී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් පමණ නිර්දේශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    2025 ජනවාරි 01 දින සිට යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී, එම නිෂ්පාදන ‘වන විනාශයට’ දායක නොවු නිෂ්පාදන ලෙස තහවුරු කිරීම සිදුකළ යුතු අතර එසේ තහවුරු කළ නොහැකි නිෂ්පාදන අපනයනය සඳහා අනුමැතිය ලැබෙන්නේ නැහැ.ඒ අනුව අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන EUDR සඳහා අනුගත බවට, සහතික වීමේ වගකීම පැවරී තිබෙනවා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකාවේ රබර් අපනයන ආදායමෙන් 1/3 කට වඩා වැඩි දායකත්වයක් දරනු ලබන්නේ යුරෝපානු වෙළඳපොළ වන බැවින්, එම රෙගුලාසිය සඳහා අනුගත වීම ඉතා වැදගත් වෙනවා.

    කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. ජේ. කේ ලින්දර මහතා,

    කුරුඳු වගාව සංවර්ධනය කිරීම සඳහා පසුගියදා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. එය සිදු කළේ 2023 වසරේ අයවැයි යෝජනාවක් ලෙසයි.

    ඒ යටතේ ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය මූලික අරමුණ කොටගෙන ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුමට ආසන්නයේ මූලස්ථානය පිහිටුවා කටයුතු ආරම්භ කර තිබෙනවා. කුරුඳු අපනයනකරුවන් , කුරුඳු වගා කරුවන්, කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පාර්ශවකරුවන් මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත ප්‍රතිලාභීන් වනවා.

    මෙම Cinnamon Gate ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත මුදල රු.224,909,704.31 වන අතර 2024.05.31 දින වන විට ඉන් රු. 21,857,211.80 ක මුදලක් වියදම්කර තිබෙනවා.

    කුරුඳු නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණ වගා ක්‍රම භාවිතා කරමින් අක්කරයකට ලැබෙන කුරුඳු අස්වැන්න වැඩිදියුණු කිරීම, කුරුඳු කර්මාන්තයේ පසු අස්වනු තාක්ෂණය වැඩිදියුණු කිරීම, අගය වැඩිකල නිෂ්පාදන සහිත කර්මාන්ත ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඉලක්ක කරගෙන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ මැයි මස සිට ලංකා සත්‍ය කුරුඳු නඟා සිටුවීම සඳහා වන බහුදිශා ප්‍රවේශය නම් ව්‍යපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 35ක් වනවා. මෙමඟින් කුරුඳු වගාව බහුලව සිදු කරන ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල කුරුඳු වගාව සඳහා විභවයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කරගනිමින් කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සෘජු ප්‍රතිලාභීන් 1050ක් පමණ සහ වක්‍ර ප්‍රතිලාභීන් 101,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිදුකල චීන සංචාරයේදී ශ්‍රී ලංකාවේ සත්‍ය කුරුඳු චීනයට අපනයනය කර දේශීය කුරුඳු කර්මාන්තය උදෙසා නව වෙළදපොළක් විවෘත කර දීම හා එමඟින් කුරුඳු සඳහා ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීම අරමුණු කරගෙන අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ අනුව චීනයට සත්‍ය කුරුඳු අපනයනය සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එහිදී තෝරාගනු ලබන කුරුඳු අපනයනකරුවන් සහ කුරුඳු ගොවීන් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඇස්තමේන්තුගත මුදල රුපියල් 1,000,000.00 ක් පමණ වනවා.

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්. කේ. ඩබ්ලිව් රන්කෙත්කුඹුර මහතා,

    අපනයන කෘෂි බෝග නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඔ, උතුරු මැද හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලබනවා.

    මේ යටතේ අපනයන කෘෂි බෝගවන කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, සාදික්කා, කරාඹු, කරඳමුංගු , වැනිලා, කහ, ඉඟුරු, පුවක්, බුලත්, ගොරකා, පැඟිරි හා සේර යන බෝග වර්ග 15 ක වගා සංවර්ධනය සිදු කරන ලද අතර, මේ වන විට කුරුඳු බෝගය හැර ඉතිරි බෝග 14 කට අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

    නව වගා වැඩසටහන, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන, ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන, පුවක් වගා වැඩසටහන, බෝග අගය දාම සංවර්ධන වැඩසටහන, කහ සහ ඉඟුරු වගා වැඩසටහන මෙන්ම මාර්ගගත පුහුණු වැඩසටහන් මඟින් අපනයන කෘෂි බෝග වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ද අප කටයුතු කරනවා. 2024 වසරේ මේ දක්වා ගොවි පුහුණු වැඩසටහන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අප විසින් පවත්වා තිබෙනවා.

  • සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

    • රට ඉදිරියට ගෙන යන  ආර්ථික රාමුව බිඳ දැමීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා – ජනපති නීතිඥවරුන් සමඟ පැවති  හමුවේ දී පවසයි.
    • සිවිල් යුද්ධය ජය ගත් මහින්ද ජනාධිපතිට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජයගත් ජනපති රනිල්ට ද ලබා දිය යුතුයි  – අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා.
    • ජනපතිගේ නායකත්වය ඉදිරියටත් රටට අවශ්‍යයි – නීතිඥවරුන් පවසති.

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට එම සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නීතිඥවරු සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

    දේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ පසුගිය සති කිහිපය තුළ මෙන්ම ඊට පෙර සිදු වූ වැඩවර්ජන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ඒවා බවද පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය,

    පසුගිය වසර දෙක තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. එහිදී රට ගැන සිතා වැඩකරන කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා. ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිදු පක්ෂයකට අයත් නැති අයත් මෙම ස්ථානයේ සිටිනවා. 2022 මැයි 09 වනදා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළයුතු නැහැ. රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා. ඇතැම් අය එම උද්ඝෝෂනවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. අවසානයේ සිදු වුණේ සාම්ප්‍රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි.

    2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා  කිරිමට මට අවස්ථාව ලැබුණා. රට තුළ ඉදිරියේ දී ආර්ථික ගැටළුවක් ඇති විය හැකි බවත්, ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමාට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්‍රකාශ කළා.

    මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා. එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා.

    ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණේ ද්‍රවිඩ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා පමණයි.  එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වුණේ මා පමණයි. විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගී වුනේ නැහැ. එය වැරිදි ක්‍රියාවක් බව කිවයුතුයි.

    එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ.  විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

    ඉන් පසුව මැයි 09 දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස් වුණා. එම අවස්ථාවේදී පොහොට්ටුවට ආණ්ඩු බලය පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් පැවතුණේ නැහැ. අප එය පිළිගත යුතුයි. ඇමතිවරුන් ඉල්ලා අස් වුණා. අප බ්‍රිතාන්‍ය ක්‍රමය ගැන කතා කරන නිසා විකල්ප අගමැතිවරයාට එය භාර ගැනීමට තිබුණා.

    බොහෝ අය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස් වුණොත් සම්ප්‍රදාය අනුව විපක්ෂනායකතුමාට එම පළමු අවස්ථාව ලබාදිය යුතුයි කියලා. මම කිව්වා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ, අපි ඕන කෙනෙකුට උදව් කරන්නම් කියලා. නමුත් මැයි 10 වනදා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔහු පැමිණියේ  නැහැ. අගමැති ධූරය භාර ගන්නේ නැහැ කියලා ඔවුන් තීරණය කර තිබුණා. ඔහු තමන්ගේ යුතුකම ඉටු කළේ නැහැ. කෙටි දේශපාලනයෙන් යන්න උත්සාහ කිරීම නිසා ඉදිරියට එන්න බැරි වුණා.

    ඇතැමුන් අය වැය විවාදයේදී  රට ගොඩගන්නේ කොහොමද කියලා අදහස් ඉදිරිපත් කළා. නමුත් වගකීම භාරගන්න අකමැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊට උත්සාහයක්වත් දැරුවේ නැහැ. නමුත් අප මේ වගකීම භාරගත්තා. ඒ වන විට රටේ බංකොළාත්භාවය ප්‍රකාශ කර තිබුණා. එයින් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබුණා.  ජනාධිපති කවුද කියන එක මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ මට රට බේර ගැනීමට අවශ්‍ය වුණා.

    අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 1971 කැරැල්ල තිබු අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂනායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය ලබා දුන්නා. එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා. නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ. 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ රත්වත්තේ ඇමතිතුමා පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය ලබා දෙන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා. දෙදෙනාම එකඟතාව පළ කළා. මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.

    ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඩඩ්ලි සේනානායක මැතිතුමා එකට කටයුතු කළා. අනෙකුත් වෙලාවට ගැටුම් තිබෙනවා, නමුත් එය ප්‍රශ්නයක් නොවෙයි.   කොච්චර ගැටුනත් ඡන්ද ප්‍රතිඵල අනුව බලය ජයග්‍රාහකයාට ලබා දී ඉවත්ව යන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණයි.

    අධිකරණ නිදහස ගැන කොච්චර කතා කළත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පමණයි. ඉන්දිරා ගාන්ධි මැතිණිය යටතේ ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඇති වූ ප්‍රශ්න අප දන්නවා.

    මේ වැඩකටයුතු කරන අතරතුර ජූලි 09දා සිදුවීමට මුහුණදීමට අපට සිදු වුණා. ජුලි 09වනදා හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා ගියා. එම අවස්ථාවේ අගමැතිවරයා ලෙස මටත් ඉල්ලා අස්වෙන්න කියලා කිව්වා.

    මම කාටද අස්වීමේ ලිපිය භාර දෙන්නේ. මහ මුහුදුට ගිහින් ජනාධිපතිවරයා සොයන්නද, මම කිව්වා මට ඉවත්වීමට නම් බහුතරයක් ඇති කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. විපක්ෂ නායකයා අපිට කියනවා නැහැ අපට කවුරු හරි ගන්න ඔබ ඉවත් වෙන්න කියලා.

    එහිදී මම කිව්වේ  ඉන්න කෙනා පළමුව ඉදිරිපත් කරන්න කියලයි. ඊට පස්සේ ඔවුන් කියනවා කථානායකතුමාට භාර ගන්න කියලා. කථානායක තුමා කිව්වා මට පාර්ලිමේන්තුව පාලනය කරන්න පුළුවන්, ඒත් ආර්ථිකය පාලනය කිරීමේ වගකීම මට ගන්න බැහැ කියලා. මේ විදියට රටේ දේශපාලන ක්‍රමය කැඩී ගියා.

    අවසානයේ පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ කළා. එම අවස්ථාවේ පක්ෂ නායකයන් සියලුදෙනා පාර්ලිමේන්තුව ඇතුලේ සිටියා. හමුදාපතිවරයා ඒ බව දැනුම් දුන් විට ඔවුන් පැවසුවේ අගමැතිවරයා ඉවත්විය යුතුයි කියලා. එම අවස්ථාවේ හමුදාපතිවරයාට පණිවිඩයක් ලැබුණා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පැත්තට එනවා කියලයි. ඉන් පසුව මිනිත්තු 05න් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා.  පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා හමුදාපතිවරයාට දැනුම් දෙන්න මට සිදු වුණා. මම ඒ පිළිබඳ කථානායකවරයාටත් දැනුම් දුන්නා.

    ඔවුන් අවශ්‍ය අවස්ථාවේ වගකීම් භාර නොගෙන  සටන් පාඨ ඉදිරිපත් කරමින් සිටියා. සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඉන් පසුව මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණා. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට සෑම පක්ෂයකින්ම මට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකින්ම මට විරුද්ධවත් ඡන්දය ලබා දුන්නා. පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගියා. සජබෙ කණ්ඩායමක් මට ඡන්දය දුන්නා. අපි ආණ්ඩුවක් හැඳුවා. හිටපු ඇමතිවරු සමඟ මම වැඩ ආරම්භ කළා. මම ඒ කිසිවෙක් මාරු කිරීමට ගියේ නැහැ. ඇතැම් අය අයින් වුණා. ඒක වෙනම කාරණයක්. නමුත් මම කිසි කෙනෙක් මාරු කරන්න ගියේ නැහැ.

    දේශපාලන පක්ෂ ගණනාවකට අයත් පිරිස එකතු වී රට වෙනුවෙන් වැඩ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ සහාය ලබා දුන්නා. ඒ වගේම පිටිනුත් සහයෝගය ලැබුණා.  එදා ඉදලා අරුම පුදුම ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ඉදිරියට පැමිණියා. අද අප පක්ෂ බේදයෙන් තොරව එකට වැඩ කර මෙම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ වන විට අපි බංකොලොත් භාවයෙන් ඉවත් වුණා විතරයි. දැන් ණය ගෙවීමට හැකි හැකි රටක් ලෙස අපව ලෝකය පිළිගෙන තිබෙනවා.

    අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කමිටුව, චීන එක්සීම් බැංකුව හා පුද්ගලික බැදුම්කරුවන් සමඟ එකඟ වූ ගිවිසුම් ඒ අයුරින් ක්‍රියාත්මක කරනවා. අපිට විවිධ පෙරොන්දු දෙන්න බැහැ. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් නැහැ. අප එය වටහා ගෙන තිබෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යනවා නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ඉලක්ක කරගත් නවීන ආර්ථික රටවාවකට ගමන් කළ යුතුයි.  ඩොලර් බිලියන 85ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2048 වන විට ඩොලර් බිලියන 350ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. හරියට වැඩ කළොත් අපට එම ඉලක්කයට යන්න පුළුවන්. සිංගප්පූරුව, වියට්නාමය,  වැනි රටවල් එක් ස්ථාවරයක සිට කටයුතු කිරීම නිසා අද දියුණු වී තිබෙනවා. දේශපාලනය කරන විට මූලික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

    පාර්ලිමේන්තුව තුළ විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථික රාමුව නොකඩා ඉදිරියට ගෙන යා යුතුයි. අද බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ මෙම රාමුව බිඳ දැමීමටයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් කළ පසු පසුගිය සතියේ සහ ඊට පෙර වැඩ වර්ජන කීයකට මුහුණ දුන්නද, එහෙම වෙන්නේ මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් වල ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසායි. වැඩ වර්ජන කරන්න අවශ්‍ය නැහැ. තමන් එක් පක්ෂයකට කැමති නැත්නම් වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න. ඔවුන් උත්සාහ කළේ මෙම ආර්ථික රාමුව බිඳ දැමීමටයි. නමුත් ජනතාව ඊට විරුද්ධ වුණා. දැන් අපට තිබෙන්නේ රට  ලබාගත් ජයග්‍රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද, නැත්නම් පැරණි ක්‍රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි.
    අද මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමණීම විශාල ශක්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු. ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු.

    රටට ස්ථාවර ආර්ථික  ක්‍රමයක් අවශ්‍යයි. ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී සියලුදෙනා සිතුවේ අන්තවාදී දක්ෂිණාංශය ජයග්‍රහණය කරනු ඇති බවයි. නමුත් එහි මැද අවස්ථාවේදී දක්ෂිණාංශයක්, වමත් තිරණය කළා අපි තරගයකට යන්නේ නැතිව ඒ ආසනවල තුන්වැනියා ඉවත් කරමු කියලා. මගේ පක්ෂය නම් තුන්වැනියා මගේ පක්ෂයෙන් අයින් කරනවා, ඔබේ පක්ෂයෙන් ඔබ අයින් කළ යුතුයි කියලා. දැන් මේක අනෙක් පැත්තට පෙරළී තිබෙනවා. ඒ අනුව එකට වැඩ කර ඉදිරියට යාමට අවස්ථාවන් තිබෙනවා. අප මේ රට තුළ ඇතිකළ යුත්තේ එම තත්ත්වයයි.

    අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ, රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා. අද ඔබේ පැමිණීම පිළිබඳවද අප ස්තූතිවන්ත වෙනවා