Boot පන්නයේ ව්‍යාපෘතියක් නිසා බටහිර ජැටියේ මුළු ආදායම අදානිට

Boot පන්නයේ ව්‍යාපෘතියක් නිසා බටහිර ජැටියේ මුළු ආදායම අදානිට
Spread the love

කොළඹ වරායේ බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට බදුදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ආණ්ඩුව පවසන පරිදි බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට මුළුමනින්ම බදු දෙන්නේ නැත. එය අදානි සමාගම, ශ‍්‍රී ලංකා රජය සහ ජෝන් කීල්ස් සමාගම එකතුව සංවර්ධනය කෙරෙන්නකි.

බැලූ බැල්මටම මෙහි කිසිදු දෝෂයක් නොපෙනේ. සැබැවින්ම එය සත්‍යයක්ද යන්න මෙහිදී පහදාගත යුතුය. කිසියම් විදේශීය ආයෝජකයකු මේ රටේ ආයෝජනයක්, ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා දේශීය නියෝජිතයකු සිටීම අනිවාර්යය. වරාය බටහිර දියකඩනය සංවර්ධනය කිරීමේදීද මෙකී කොන්දේසිය අත්‍යවශ්‍ය වූවකි. අප දන්නා සාමාන්‍ය තත්ත්වය නම් මෙහිදී දේශීය නියෝජිතයා සිදුකරන ආයෝජනයක් නැතිය. අනෙක් අතින් ශ‍්‍රී ලංකා රජය මේ සංවර්ධන කාර්ය සඳහා ආයෝජනයක් නොකරයි. එබැවින් මෙම සමස්ත සංවර්ධන කාර්යය සඳහාම මූල්‍ය දායකත්වය සපයනුයේ ඉන්දියාවේ අදානි සමාගම බව අප සිහියට ගත යුතුය. එසේ නම් සංවර්ධනය කිරීමෙන් පසුව සමස්ත ආදායමද අදානි සමාගම අතට පත්වෙයි. මන්දයත් ඔවුන් මෙකී සංවර්ධන කාර්ය සඳහා ලබා ගන්නා ණය මුදල් ආපසු ගෙවීම සඳහාද මෙකී ආදායමම යොදා ගන්නා බැවිනි.

මෙම ව්‍යාපෘතිය ‘Boot’ Build own operate and Transfer’ පන්නයේ ව්‍යාපෘතියකි. එනම් බදුකරුවන් විසින් ගොඩ නගා ක‍්‍රියාත්මක කර පසුව රජයට පැවරීමේ ක‍්‍රමයට ක‍්‍රියාත්මක වන්නකි. මේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ද ඉන්දියාව අදානි සමාගමට පැවරෙන්නේ වසර 35කටය. ඉන්පසුව ශ‍්‍රී ලංකා රජයට පැවරෙයි. ප‍්‍රශ්නය මතුවන්නේ ඉන්දියාවේ අදානි සමාගමට වරායේ බටහිර දියකඩනය සංවර්ධනය කිරීම සඳහා Boot ක‍්‍රමයට පැවරීම ගැන නොවේ. වරායේ නැගෙනහිර පර්යන්තය දෙන්නට පොරොන්දු වී එය දීමට නොහැකි වූ නිසා වන හිලව්වට බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම උක්ත සමාගමට පැවරුවාද යන්න ගැනය.

මේ සඳහා ලංසු කැඳවූ අවස්ථාවේදී ජපානයට ද ඇරයුම් කර තිබුණද ජපානය ඒ සඳහා ඉදිරිපත් වී නැත. එවිට ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එකට එක ලංසුකරුවෙක් පමණක් බව පෙනී යයි. ඒ තුළ තනි ලංසුකරුවාට සිය අභිමතය පරිදි තරගකාරීත්වයකින් තොරවම ලංසුව ඉදිරිපත් කිරීමේ ඉඩ ඇතිවේ. ආණ්ඩුව මේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කර තිබුණද ඒවායේ මිල ගණන් දක්වා නොතිබීමද, ව්‍යාපෘතිය සම්බන්ධ අනෙකුත් කොන්දේසි මොනවාද යන්න හෙළිදරව් කර නැත. එබැවින් මෙම ව්‍යාපෘතිය වෙතින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නම් ඒ වසර 35කින් පසුව බව නම් පැහැදිලිය.

නිමල් අබේසිංහ විසින් රාවය පුවත්පතට සම්පාදිත පුවතකි