Category: සුපිරි News

  • දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් නොකිරීම ගැන හර්ෂ ද සිල්වා රජයෙන් ප්‍රශ්න කරයි

    දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් නොකිරීම ගැන හර්ෂ ද සිල්වා රජයෙන් ප්‍රශ්න කරයි

    යහපාලන ආණ්ඩුව විසින් 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කළ දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කරන ලෙසත් එම මෙය පක්ෂයක ව්‍යාපෘතියක් නොව රටේම ගොවිදුක නිවන සංකල්පයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.

    මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කරන්නේ දඹලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එහි ගබඩා කටයුතු ආරම්භ කිරීමට වත්මන් රජයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාලයක් තිබුණ බවයි.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    සංචරණ සීමා අස්සේ දඹුල්ලේ ගොවියන්ගේ අස්වැන්න විකුණ ගන්න මේ ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කර නැතැයි ඊයේ මා පෙන්වා දුන්විට එයට උදහස් වූ පොහොට්ටු පාක්ෂිකයින් මට චෝදනා කර තිබුණේ ගොවියන් වෙනුවෙන් අපි හැදූ වැඩපිළිවෙළ කුමක්ද කියායි.

    මා මේ සටහන තබන්නේ මෙරට කෘෂි කර්මාන්තයේ නව්‍ය හැරවුමක් ඇතිකිරීම වෙනුවෙන් අපි ආරම්භ කළ වැඩසටහන යළිත් මතක් කර දෙන්නයි.

    ගොවියා අස්වැන්න නෙළු පසු මිලක් තිබුණත් නැතත් අලෙවිකළ යුතුයි. අලෙවි කරගන්න බැරිවුණොත් විසිකරන්න වෙනවා. මේකට විසඳුම තමයි ගොවියන්ගේ අස්වැන්න ගබඩා කරන්න පුලුවන් කෘෂි ගබඩා ආරම්භ කිරීම.

    මේ විප්ලවීය වෙනසට ආරම්භයක් දෙන්න තමයි මා එදා ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර තුනහ මාරක ඉඩමේ විවිධ බාධක මැද ඉදිකිරීම ආරම්භ කළේ. අපගේ රජය පරාජයට පත්වීම නිසා එහි වැඩ අවසන් කරගන්න බැරිවුණා.

    මේවාට දේශපාලන පක්ෂ පාට භේදයක් නෑ. කවුරු කළත් රටට යහපතක් වෙනවා. නමුත්, කණගාටුව තමයි වත්මන් රජය තවමත් මෙම ව්‍යාපෘතියේ වැඩ ඉවර කර නෑ. මෙහි පළකර තිබෙන ඡායාරූප වලින් ඒ බව පේනවා. ඡායාරූප වලින් පෙනෙන ප්‍රමාණයට විතරයි තවමත් වැඩ අවසන් කරල තියෙන්නේ. මෙහි වැඩ ඉවර කරන්න ඕන තරම් කාලය මේ ආණ්ඩුවට තිබුණා.

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ 2019 අප්‍රේල් මාසයේ. දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ අවුරුදු දෙකෙන් වැඩිම කාලයක් හිටියේ වත්මන් ආණ්ඩුව. අද මේ ව්‍යාපෘතිය නිමකර තිබුණා නම් දඹුල්ලේ ගොවියන්ගේ අස්වැන්න විසිකරන්න වෙන්නෙ නෑ. මෙහි එළවලු සහ පලතුරු මෙට්‍රික් ටොන් 5000 ක් ගබඩා කරන්න පුලුවන් විදිහට තමයි මෙය සැලසුම් කර තිබෙන්නේ. අපි මේ කෘෂි ගබඩා සංකීර්ණය  වගේම කෘෂි කාර්මික ප්‍රදේශවල මෙවැනි කෘෂි ගබඩා සංකීර්ණ  ජාලයක් ගොඩනැගීමට සැලසුම්  කර තිබුණා.

    මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මෙහි වැඩ හැකි ඉක්මනින් අවසන් කරන ලෙසයි. මෙහි වැඩ අවසන් කර ගොවියන් වෙනුවෙන් විවෘත කිරීමට මාගේ උපරිම සහයෝගය ලබාදෙන බව මා පසුගිය කාලයේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට දැනුම් දුන්නා. ඉදිරියටත් මේ වෙනුවෙන් මාගේ උපරිම සහයෝගය අවශ්‍ය නම් මා ලබාදෙනවා.

    මෙය පක්ෂ දේශපාලනයෙන් තොරව බැලිය යුතු දෙයක් වන අතර කවුරු හිටියත් මෙවැනි ගැටලු නොවිසඳා අපේ රටේ කෘෂි කර්මාන්තය  දියුණු කළ නොහැකියි. ගොවියන් වෙනුවෙන් අපි මොනවද කළේ කියල අහන පොහොට්ටු ප්‍රේමීන්ටත් මෙයින් පිළිතුරක් ලැබෙනු ඇතැයි මා සිතනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, සමගි ජනබලවේගය,  

  • කොවිඩ් ආසාදිත මරණ 29ක් සහ ආසාදිතයින් 2269ක්

    කොවිඩ් ආසාදිත මරණ 29ක් සහ ආසාදිතයින් 2269ක්

    ඊයේ (14) දින කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 29 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගි බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    මේ අතර ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් ගැන ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අද දින නව ආසාදිතයින් 2269 දෙනකු වාර්තා වූ බවයි.

    ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 131, 880ක් බවට පත්ව තිබෙනවා.

    මේ අතර අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැස්බෑව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරිය සදහන් කළේ කැස්බෑව මහජන සෞඛ්‍ය බල ප්‍ර දේශයේ අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලී ආසාදිත ප්‍රතිශතය 30%කට ආසන්න අගයක් ගන්නා බවයි.

    සමාජමාධ්‍ය විසින් ‘ලොකුගේ පොකුර‘ ලෙස නම්කර ඇති පිළියන්දල – කැස්බෑව කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය අතිෂයින් තීව්‍රර බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වාර්තා කියන්නේ.

    covid-death-may-14

  • කොවිඩ් පාලනයට ගත යුතු ‘නිවැරදිම පියවර මෙන්න’ රජයට නව යෝජනාවලියක් දෙමින් GMOA කියයි

    කොවිඩ් පාලනයට ගත යුතු ‘නිවැරදිම පියවර මෙන්න’ රජයට නව යෝජනාවලියක් දෙමින් GMOA කියයි

    තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.

    මෙම යෝජනා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත යොමු කළ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

    ආසාදිතන් බහුල ප්‍රදේශවල වෛද්‍ය ඒකක පිහිටුවා එම ඒකකවල වෛද්‍ය කණ්ඩායමක් සේවයෙහි යොදවා ක්ෂණික ඇමැතුම් හරහා (on-call) අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද තම සංගමය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති බව ලේකම්වරයා පවසනවා.

    අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මේ බව පැවසුවා.

    එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා, ‘‘ ශ්‍රී ලංකාවේ මේ දක්වා ඇති වූ සියලු ම වසංගත රෝග පාලනය කර ඇත්තේ පෝලියෝ, ක්ෂය රෝග, ඩෙංගු වැනි වසංගත සඳහා මර්දන ඒකක පිහිටුවා, තාක්ෂණික දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අවශ්‍ය පියවර ගැනීමෙන් පමණයි‘‘

    ‘‘මේ වන විට රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික උපදෙස් මත නිසි කළමනාකාරිත්වයක් ඇති වැඩසටහනක් ක්‍රියාත්මක නොකළහොත් සමස්ත සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම නොවැළැක්විය හැකියි. කොවිඩ් ආසාදිතයන් සඳහා රෝහල් සංඛ්‍යාව වැඩි කර ඇඳන් සංඛ්‍යාව ඉහළ දැමුවත් ඒ හා සමානව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැඩි වීමක් නොවන තත්ත්වයක් තුළ මේ ක්‍රියාමාර්ගවල කිසිම ඵලදායීභාවයක් ඇත්තේ නැහැ‘‘

    ‘‘කොරෝනා ආසාදනය වන නිදන්ගත රෝග වැලඳී නොමැති, අවට හොඳ පරිසරයක් ඇති, හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් අඩු වයස් ගත පුද්ගලයන් නිවෙස්වල රඳවා සෙසු ආසාදිතයන් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි. නිවෙස්වල රඳවා සිටින ආසාදිතයන් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණයට යටත් කළ යුතුයි. ආසාදිතන් බහුල ප්‍රදේශවල වෛද්‍ය ඒකක පිහිටුවා එම ඒකකවල වෛද්‍ය කණ්ඩායමක් සේවයෙහි යොදවා ක්ෂණික ඇමැතුම් හරහා (on-call) අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද අපි යෝජනා කර තිබෙනවා‘‘ යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසුවා.

  • බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ සිදුවන දිස්ත්‍රික්ක   තුනක් නම් කරයි

    බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ සිදුවන දිස්ත්‍රික්ක තුනක් නම් කරයි

    කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ආසාදිතයන් බහුල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ තෝරා ගනිමින් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “අපි දැනට එන්නත්කරණය සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පමණයි. බස්නාහිර පළාතේ ලක්ෂ 11 ක ජනතාවක් අපි සම්පූර්ණ එන්නත්කරණයට භාජනය කර තිබෙනවා. කොවිඩ් රෝගය වැළැක්වීමට මුළු රටේම එන්නත්කරණය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ මිලියන 13 ක පමණ ජනතාවකට. මෙහිදී අවුරුදු 60 ට වැඩි මේ රටේ ජනගහනය වන මිලියන 2.3 කටත්, අවුරුදු 40-50 අතර ජනගහනය වන මිලියන 5.3 කටත්, අවුරුදු 30-40 ත් අතර මිලියන 3.3 ක් ජනගහනය ඉන්නවා. අවුරුදු 30 ඉහළ අයටයි එන්නත්කරණය සිදු කරනු ලබන්නේ.”

    “බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් වුණාම නුවර, කුරුණෑගල, රත්නපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්ක වල එන්නත්කරණය පටන් ගැනීමටත්, ඊට සමගාමීව අනෙක් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

  • ගර්භණී මවුවරුන්ට ‘ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්’ විශේෂ ඉල්ලීමක්

    ගර්භණී මවුවරුන්ට ‘ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්’ විශේෂ ඉල්ලීමක්

    කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවත් එනිසා සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි.

    අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සරත් ලැනරොල් මහතා, ” වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය තුළ ගර්භණී කාන්තාවන් දැඩි අවදානමකට ලක්ව සිටිනවා. මේ වන විට ගර්භණී කාන්තාවන් කිහිප දෙනකු කොවිඩ් අසාදනය නිසා හටගත් රෝගී තත්ත්වයන් නිසා ජීවිතක්ෂයට පත්ව සිටිනවා. ඒ වගේම 200කට අධික පිරිසක් කොවිඩ් ආසාදනය නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ තත්ත්වය තුළ ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්.”

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කාසල් වීදිය කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේ සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වන බවත් සංචරණ සීමා පැවතියත් මව්වරුන්ට සහ දරුවන්ට ඒ සායනික දිනයේදී පැමිණීමේ හැකියාව තිබෙන බවයි.

  • ‘ලොකුගේ පොකුර තව ලොකු වෙනවා’ – කැස්බෑව සෞඛ්‍ය අංශ කියයි

    ‘ලොකුගේ පොකුර තව ලොකු වෙනවා’ – කැස්බෑව සෞඛ්‍ය අංශ කියයි

    කැස්බෑව ප්‍රදේශයේ සිදුකරන PCR පරික්ෂණ වලින් 30%ක ප්‍රමාණයක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගන්නා බවත් ලොක්ඩවුන් කළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.

    පිළියන්දල ඇතුළු කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ කොවිඩ් අවදානම ගැන අද (14) මාධ්‍ය දැනුවත් කරමින් විජේසුන්දර මහත්මිය මේ බව පැවසුවාය.

    මේ සම්බන්ධයෙන් විජේසුන්දර මහත්මිය මෙසේද පැවසුවාය. ‘‘පීසීආර් පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කරන කොට කැස්බෑව පත්ව ඇති අවදානම මනාව පැහැදිලි වෙනවා. අහඹු ලෙස කළ පී.සී.ආර් පරීක්ෂණවලින් 30%ක් පමණ ධනාත්මක වෙනවා කියන්නේ අසීරු තත්ත්වයක්. මොකද කොරෝනා වසංගතය ආරම්භයේ සිට පසුගිය අප්‍රේල් මාසය දක්වා කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වුණේ කොරෝනා මරණ හතරක් පමණයි. ඒත් මේ වන විට කැස්බෑව ප්‍රදේශයෙන් දිනකට සාමාන්‍යයෙන් කොරෝනා මරණ දෙකක් වත් වාර්තා වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ලොක්ඩවුන් කෙළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙසයි‘‘

    පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශය මෙවැනි අවදානමක් තත්ත්වයකට පත් වූයේ ගාමිණි ලොකුගේ ඇමැතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමග එක්ව පසුගිය දා ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ගය නිසා බවට පිළියන්දල සහ කැස්බෑව ජනතාව චෝදනා කරති.

    ‘මේ අත්තනෝමතික පියවර නිසා අද අපි ප්‍රජාවක් ලෙස දුක්විදිනවා. මේ මරණවලට ලොකුගේ ඇමතිවරයා සහ ඔහුට අනුබල දුන් ව්‍යාපාරික ප්‍රජාව වගකිව යුතුයි‘මේ සම්බන්ධයෙන් අප හා අදහස් දක්වමින් පිළියන්දල කාන්තාවක් පැවසුවා.

  • සංචරණ සීමා ගැන විරෝධය පළ කරමින් යුධ හමුදාපතිට බරටම දුරකථන ඇමතුම්

    සංචරණ සීමා ගැන විරෝධය පළ කරමින් යුධ හමුදාපතිට බරටම දුරකථන ඇමතුම්

    එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් රජයට ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව සති අන්ත දින කිහිපයක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියනවා.

    නව සංචරණ සීමා පැනවීම සහ එහි ප්‍රවණතා ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේ එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන විශාල පිරිසක් රට වසා දැමීමට පියවර ගැනීම ගැන දුරකථනයෙන් තමා අමතා දැඩි විරෝධය පළ කළ බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ යුධ හමුදාපතිවරයා ‘එදිනෙදා ජීවනෝපාය කරගෙන අසීරුවෙන් ජීවත් වන ජනතාව ඒ ආකාරයෙන් සිතීම ගැන අප පුදුම වන්නේ නැහැ. ඔවුන්ට මේ සීමා කිරීම් අසීරු බව ඇත්ත. ඒත් රජය විසින් පනවනු ලැබූ සංචරණ සීමා නීතිවලට ජනතාව ඉතා හොඳින් අවනතව කටයුතු කරන තත්වයක් පෙනෙන්නට තිබෙනවා. මම ඒ සම්බන්ධයෙන් පොදුවේ සියලු ජනතාවට ස්තුතිය පුද කරනවා. මෙහිදී මා කියන්නේ අප සියලු දෙනා එක්ව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කොරෝනා වසංගතය පාලනය කිරීම කිසිසේත්ම අසීරු නැහැ‘‘

  • ජූනි මුල් සතිය වන විට කොවිඩ්වලට මොකද වෙන්නේ !   PHI සභාපති කරන හෙළිදරව්ව

    ජූනි මුල් සතිය වන විට කොවිඩ්වලට මොකද වෙන්නේ ! PHI සභාපති කරන හෙළිදරව්ව

    ලබන මස මුල් සතිය වන විට කොවිඩ්-19 ආසාදිතයන්ගේ තරමක අඩුවක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

    කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා මේ බව පැවසුවා. මෙහිදී ඔහු අවධාරණය කළේ කොවීඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත්ම කරුණක් වන බවයි.

    සංචරණ නීති පනවා තිබියදී අතුරු මාර්ග භාවිතා කරමින් ජනතාව එක්රැස් වන බවට තොරතුරු වාර්තා වන බව ද කී ඔහු එවැනි අත්තනෝමතික ක්‍රියා මගින් තමන් පමණක් නොව තම සමීපතමයින් පවා අනතුරට ලක්වන බව එවැනි පුද්ගලයින් වටහාගත යුතු බව ද පැවසුවා.

  • ‘ආණ්ඩුව එළවළු – පලතුරු ගොවීන්ට ලණුවක් දීලා’ දඹුල්ලේ එළවළු – පලතුරු ගන්න කවුරුත් නෑ

    ‘ආණ්ඩුව එළවළු – පලතුරු ගොවීන්ට ලණුවක් දීලා’ දඹුල්ලේ එළවළු – පලතුරු ගන්න කවුරුත් නෑ

    ආණ්ඩුව ගොවීන්ට එළවළු පලතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.   

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරිය, ‘‘කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා.  ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා.  නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකුට දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙනවා.

    මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ.  ‘ඇඳිරි නීතිය‘ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා.  දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ලබාගෙන ඉන්නවා.  ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි. 

    රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්.  රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදී ගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි.   මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශවී යාම වලක්වා ගත යුතුයි‘‘

  • ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් !

    ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් !

    ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇගයීමක් කරයි. එම සංගමයෙ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    ගෝලීයව සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇති අතර වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රචලිත Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායමකගේ නවතම සයිබර් ක්‍රියාකාරීත්වයක් 2021/04/30 දින අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

    ගෝලීයව සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් ලෙස මීට දින කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයෙහි විශාලතම ඉන්ධන නල මාර්ගය වෙත එල්ලවූ Ransomware සයිබර් ප්‍රහාරය දැක්විය හැකි අතර මේ හේතුවෙන් මේ වනවිට ඇමරිකාව පුරා ඉන්ධන බෙදාහැරිම දැඩි අර්බුධයකට ලක්ව තිබේ. 

    මෙවැනි සයිබර් ප්‍රහාර ඉදිරි කාල පරාසය තුල ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වාදෙන අතර විශේෂයෙන්ම මෙම සයිබර් ප්‍රහාර මේ දිනවල ශ්‍රී ලාංකික මහජනතාවට බහුලවම අත්‍යවශ්‍ය වන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි, ජනමාධ්‍ය වෙබ් අඩවි වැනි තීරණාත්මක යටිතල පහසුකම් (Critical Infrastructure) වෙත එල්ලවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අගවමු.

  • එළවළු – පළතුරු සැපයුම් ජාල බිඳවැටීම නැවතත්

    එළවළු – පළතුරු සැපයුම් ජාල බිඳවැටීම නැවතත්

    කොළඹ මැනිං වෙළෙදපොල වෙත උඩරට එළවළු තොග වශයෙන් ලැබී ඇති නමුත් සුළු වෙළෙදුන්හට බලපත් නිකුත් කිරීමේ ගැටළු හේතුවෙන් එළවළු තොග අලෙවි කර ගත නොහැකි තත්වයක් මතුව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    වැලිමඩ, බණ්ඩාරවෙල, ඌවපරණගම, නුවරඑළිය, හාළිඇළ ප්‍රදේශවලින් අද මැනිං වෙළෙදපොලට ලොරි රථ 46 ක් පැමිණ ඇත.  එසේ නමුත්, සුළු වෙළෙදුන්ට අලෙවි කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකමින් තොග වෙළෙදාම පහත වැටී ඇත.

    කෙරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී ආහාර සැපයුම් ජාල බිඳ වැටුණු අතර, අද දින ද මැනිං වෙළෙදපොළේ සුළු වෙළෙදුන් නොමැතිවීම නිසා එළවළු මිල පහත වැටි තිබෙනවා.  උඩරට ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ලැබිය යුතු අවම මිල හෝ නොලැබීම එහි ප්‍රතිඑලය වනු ඇත.

    රජය ආහාර සැපයුම් ජාල බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා විධිමත් පියවර ගත යුතු බවත් එසේ නොවන්නේ නම් නාගරික ජනතාවට ආහාර සැපයීමේ ගැටළුවක් ද, ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්වයක් ද මතුවනු ඇත.   

    ගිය වසරේ අප්‍රේල් මාසයේ ද මෙලෙසම රට වසා දැමීමත් සමඟම ගොවියාට එළවළු විකුණා ගත නොහැකි වූ අතර, පාරිභෝගිකයාට එළවළු හා පළතුරු නොලැබීම නිසා දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.  එළවළු තොග වගාබිම්වල, දඹුල්ල ඇතුළු තොග මධ්‍යස්ථානවල විනාශවන තත්වයක් මතුවිය. 

    කොළඹ මැනිං වෙ‍ෙළඳපොලට ලැබී ඇති එළවළු හා පළතුරු තොග අලෙවි කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරණ බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  • ‘අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ‘අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    තමන්ට අසාත්මික (ඇලර්ජි ) තත්වයක් ඇත්නම් කොරෝන එන්නත ලබා ගත හැකිද යන්න අද බොහෝ දෙනා හට ප්‍රශ්නයක්ව පවතී. මෙම ප්‍රශ්නය නිසා කොරෝනා එන්නත ලබා නොගැනීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි.

    මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවුවක් විය හැක. එය සුළු අසාත්මික(ඇලර්ජි) තත්වයක් නම් ඔබට කොරෝනා එන්නත ලබා ගත හැක. මෙහිදී සුළු අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.

    • කිසිදු ඖෂධයකින් තොරව නැතිවී ගිය සමෙහි සුළු පලු නැගීමක් හෝ කැසීමක්
    • ඇස් කැසීමක් හෝ රතුවීමක්
    • කට කැසීමක්, බඩ රිදුමක් හෝ පාචනයක්
    • නාසයෙන් දියර ගැලීමක් හෝ කිවිසුම් යාමක්
    • සුළු වියලි කැස්සක්
    • උණක් හෝ ඇඟ රිදුමක්

    මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය මෙවැන්නක් නම් ඔබට කිසිදු සැකයකින් තොරව එන්නත ලබාගත හැක. ඔබේ පවුලේ අයෙකුට යම් අසාත්මිකතාවයක් ඇතිවීම එන්නත ලබාගැනීමට කිසිදු බාධාවක් නොවේ.

    එනමුත් ඔබට මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවූ අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය බරපතල නම්, ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. මෙහිදී බරපතල අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.

    1. රුධිර පීඩනය අඩුවී අනෆිලකසිස් නම් රෝග තත්වය ඇතිවීම
    2. හුස්ම ගැනීමේ අපහසුතාවය
    3. මුළු ශරීරයම ඉදිමීම
    4. උගුර, මුඛය ඉදිමී ආහාර සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම
    5. සිහි මුර්චා වීමක්

    මෙවන් රෝග ලක්ෂණයක් මින් පෙර ඔබට ඇතිවී නම් ඔබට එන්නත ලබා දියයුතුද , නැද්ද යන්න ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් පසු, එන්නත්කරන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. ඇතැම් විට ඔහු ඔබ වැඩිදුර විමසීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනු ඇත.

    අසාත්මිකතාවයන් පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
    MBBS, DCH, MD (Sri Lanka),
    MRCP, MRCPCH(U.K),
    P.G Dip in Asthma & Allergy (CMC-Vellore),
    MBA-Health Care (Manipal)

  • Covid-19 කොවිඩ් ආසාදිත මරණ 24ක් සහ නව ආසාදිතයින් 2246ක්

    Covid-19 කොවිඩ් ආසාදිත මරණ 24ක් සහ නව ආසාදිතයින් 2246ක්

    අද (13) දින කොවිඩ්-19 ආසාදිතයින් 2249 මරණ 24ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනක සදහන් වේ. මරණකරුවන් පිළිබද සම්පූර්ණ නිවේදනය පහත දක්වේ.

    COVID-DEATH-MAY-13

  • එන්නත්කරණය ගැන ‘රාජ්‍ය ඇමතිනි සුදර්ශනී හා යුද්ධ හමුදාපති’ කළ සුපිරි හෙළිදරව්

    එන්නත්කරණය ගැන ‘රාජ්‍ය ඇමතිනි සුදර්ශනී හා යුද්ධ හමුදාපති’ කළ සුපිරි හෙළිදරව්

    වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන අතර  එන්නත නොලැබේවි යැයි බියක් ඇතිකර නොගත යුතු බව යුද්ධ හමුදාපතිවරයා කියනවා.

    අද (13) එන්නත්කරණය ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව පවසා සිටියා.

    රාජ්‍ය අමාත්‍යවරි කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මාත්‍රා 600,000ක පමණ හිඟයක් ඇති නමුත්  එම අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාදීමට රටවල් කිහිපයක් එකඟතාව පළකර ඇති බවයි.

    නව තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරිය මෙසේ ද කීවාය. “හැමෝම තමන්ගේ ජීවිතේට අදරෙයිනේ. ඉතින් කොහොමහරි බලන්නේ පොරකාලා හරි එන්නත ලබාගන්න. නමුත් දැනට අපි සතුව ඇති එන්නත් ප්‍රමාණය සීමිතයි. දැනට සයිනොෆාම් එන්නත දෙන්නේ අවුරුදු 30-60 අතර අය‍ට. අපි අද තීරණය කළා 60ට වැඩි කිසිදු සංකූලතාවයක් නැති වැඩිහිටියන්ටත් සයිනොෆාම් එන්නත ලබාදෙන්න. එහි දෙවැනි මාත්‍රාව සති හතරෙන් ලබාදිය යුතුයි. ඒ සදහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් තොග ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතයි‘‘

    මේ අතර එන්නත්කරණය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ එන්නත නොලැබේවි යැයි බිය නොවිය යුතු බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘‘කොවිඩ් එන්නත නොලැබේවි යැයි කිසිවකු බිය විය නැහැ. එන්නත්කරණය සදහා අවශ්‍ය කෙරෙන එන්නත් තොග විදේශයෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යනවා. ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත්  සොයා ගැනීමට ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව  රටවල් කිහිපයක් සමග  සාකච්ඡා කරගෙන යනවා. එම එන්නත බොහෝ දුරට වෙනත් රටකින් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා.

    මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් රුසියාවෙන් ලබාගැනීමට  රජය කටයුතු කරගෙන යනවා. ඉන් මාත්‍රා ලක්ෂ නමයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. මේ එන්නත ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක රින 20ක් වැනි ඉතාම පහළ උෂ්ණත්වයක. එය පැය දෙකකට වඩා එළිමහනේ තබා ගන්න නොහැකියි. මෙම එන්නතෙන් 15,000ක් මේ වන විට අපට ලැබී තිබෙනවා. ඒවා එන්නත් කර අවශ්‍ය වාර්තා අපි රුසියාවට ලබා දුන්නා.

    එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුනි මස අග  හෝ ජුලි මස මුල මෙරටට ලැබෙනු ඇතැයි අපි විශ්වාසය කරනවා. ෆයිසර් එන්නතේ ඇති විශේෂත්වය තමයි එය ලබා දිය යුත්තේ එක මාත්‍රාවයි. ඒ අනුව එන්නත්කරණ ප්‍රමාණ සැලකිල්ලට ගෙන එය ගෙන්වා ගැනීමට පියවර ගන්නවා‘‘

  • ‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය’ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

    ‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය’ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

    කොවිඩ්-19 වසංගත රැල්ල සහ සංචරණ සීමා පිළිබද ජනතාව දැඩි අවධානයක් යොමු කර සිටියදී සිදු වූ ‘කොස්ගොඩ තාරක‘ සහ ‘ඌරුජුවා‘ නම් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ ඝාතන දෙක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩිව හෙළාදැක තිබෙනවා.

    ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් පොලිසියේ අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම පිළිබදව නිකුත් කරන නිවේදනය‘ යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (13) දින මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

    මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ, ‘මෑතදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු වන මෙලාන් මබුලා නොහොත් ‘ඌරු ජුවා‘‘ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක‘ ආසන්න දින දෙකක් තුළදී ඝාතන කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩි ලෙස හෙළාදකී. මෙම මරණවලට අධිකරණමය නොවන ඝාතනවල සියලු ලක්ෂණ ඇති අතර සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු‘‘ යනුවෙනි.

    පුද්ගලයන්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයින්ට එරෙහි චෝදනාවල ස්වභාවය නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලීසියට මෙන්ම රජයට ද අත්හළ නොහැකි වගකීමක් පැවරී ඇති බවද නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

    අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථා ගණනාවකදී අපොහොසත් වී ඇති බවත් එම සිදුවීම පිළිබඳව බැරූරුම් ලෙස අවධානය යොමු කර එවැනි සිදුවීම් වළක්වාගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත්  ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම තත්වය පිළිබඳව පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනද එම ඝාතනයට පෙර දැනුවත් කර තිබූ බව ද නීතිඥ සංගමයේ නිවේදනයෙන් වැඩි දුරටත් සදහන් කර තිබේ.

  • ගම්මන්පිලගේ ප්‍රකාශයට සුදර්ශනීගෙන් ප්‍රතිචාර – කොවිඩ් එන්නත් කොක්ටේල් කරන්න බෑ

    ගම්මන්පිලගේ ප්‍රකාශයට සුදර්ශනීගෙන් ප්‍රතිචාර – කොවිඩ් එන්නත් කොක්ටේල් කරන්න බෑ

    එන්නත් මිශ්‍රකර භාවිතා කිරීම ගැටලුවක් නොවන බව“ ට ‘පසුගිය 11 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශ සාවද්‍ය මෙන්ම සැලකිය යුතු ලෙස අනතුරුදායක බව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙන්ම ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් විසින් ද සනාථ කර තිබෙනවා.

    අද (13) පළ වූ බී.බී.සී වාර්තාවක සදහන් වුණේ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් පසු වැඩිහිටියන්ට මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ (mild and moderate side-effects) වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙන බවයි.

    මේ අතර රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ද ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් කර තිබෙනවා. ඇය අවධාරණාත්මකව කියා සිටියේ ‘‘කොවිඩ් එන්නත් මාත්‍රා විවිධ වර්ගයේ එන්නත්වලින් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බවත්, එන්නත් සම්බන්ධ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව විසින් ද ප්‍රකාශ කර ඇත්තේ මුල් මාත්‍රාව ලබාගත් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව ද ලබා ගන්නා ලෙස බවත් රාජ්‍ය ඇමතිවරිය සදහන් කළා.

    සීෂෙල් පුවත වාර්තා කළ ආකාරයත් සාවද්‍යයි

    මේ අතර සීෂෙල් රාජ්‍ය සේ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් 3/1ක කොවිඩ් ආසාදනය වීම පිළිබද පුවතට ලංකාවේ ජනමාධ්‍ය ලබා දෙන ‘විකෘති / සාවද්‍ය ප්‍රචාරය ගැන ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. ඔවුන් කියන්නේ එන්නත්කරණය දීපව්‍යාප්තව සිදුවන මේ අවස්ථාවේ මෙවැනි නොමග යවනසුළු ප්‍රවෘත්ති, විශේෂයෙන්ම ශීර්ෂපාඨ පළ කිරීම වගකිව යුතු මාධ්‍යවලට තරම් නොවන බවයි.

    ‘මේ පුවත විශාල වශයෙන් කියවන හා හුවමාරු වන බවක් අපට පෙනී ගියා. ප්‍රකට ජාතික වෙබ්අඩවියක මේ ප්‍රවෘත්තියට ලබා දී තිබූ ශීර්ෂපාඨය වුණේ ‘එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා“ යන්නයි. එය අති විශාල පිරිසක් කියවා තිබුණා. ඒත් මෙහි අන්තර්ගතයේ සදහන් වන්නේ, ‘සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි‘ කියලයි

    ඒ කියන්නේ 3/1ක් කිසිසේත්ම ‘වැඩි දෙනෙක් “ වෙන්න බැහැනේ. මෙයින් අදහස් වෙන්නේ ‘බහුතරයක් / විශාල පිරිසක්‘ කියන සාමාන්‍ය අදහසයි. මිනිස්සු ප්‍රවෘත්තියක් කියවන්නේ ශීර්ෂපාඨය දිහා බලලා. ඉතිං ආකර්ෂණීය ශීර්ෂපාඨයක් ඇති ප්‍රවෘත්තියක් කවුරුත් කියවනවා. මේ වාගේ ප්‍රවෘත්ති හරහා පැහැදිලිව එන්නත්කරණ වැඩසටහනට බාධා හා අවහිරතා ඇති වෙනවා. ඒ ගැන දෙගිඩියාවක් ඇති අයට මේ ප්‍රවෘත්ති අනුබලයක් වෙනවා. අපි කියන්නේ කොවිඩ් වාර්තාකරණයේදී සංවේදී වීමට වඩා වගකීම, වගවීම කියන පැත්ත ගැන බලන්න කියලයි“ මේ ගැන අප සමග අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් අවධාරණය කළා.