Category: සුපිරි News

  • වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි

    වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි

    කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතහි දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුව දී වැඩි ඡන්ද 89 කින් සම්මත වුණා. මෙහිදී පක්ෂව ඡන්ද 148 ක් ද විපක්ෂව ඡන්ද 59 ක් ද  හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම කෙටුම්පත සම්බන්ධ සංශෝධන ද පනත් කෙටුම්පතට අන්තර්ගත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

  • කොවිඩ්-19 ආසාදිත මරණවල ඉහළ සංඛ්‍යාව වාර්තාවෙයි

    කොවිඩ්-19 ආසාදිත මරණවල ඉහළ සංඛ්‍යාව වාර්තාවෙයි

    2021 මැයි මස 06 සිට මැයි 19 වැනිදා දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1051ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මරණකරුවන්ගේ සියලු විස්තර පහත දැක්වෙනවා.

    covid-death-may-19

  • අද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3591ක් !

    අද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3591ක් !

    කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින ප.ව 21.00 ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනක සදහන් වුණේ අද දින කොවිඩ් ආසාදිතයින් 3591 දෙනකු වාර්තා වූ බවයි.

  • ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !

    ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !

    කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය.

    ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන ආරම්භ කළේය.

    ඒ අනුව එම ලේ හිඟය කඩිනමින් පියවා ගැනීම අරමුණු කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්විමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගනිමින් සිටියි.

    ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත  දැනුම් දුන්නා.

    ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය  කර්මයට ඔබට දායක විය හැකියි.

     ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස  ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙසට.

    රට තුළ සංචරණ සීමා පවතින හෙයින් වෙනදා මෙන් ග්‍රාමීය මට්ටමෙන් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි නිසා ලේ වල හිඟයක් අපේ රටේ ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

    කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින්  මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද  ලේ පරිත්‍යාගය සඳහා එක්ව තමන්ට හැකි අයුරින් යුතුකම් ඉටු කරන ලෙසට සියලුදෙනාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා  ප්‍රකාශ කර සිටියේය.

    මේ අනුව සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික රුධිර මධ්‍යස්ථානය ,ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනු ඇත.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.

    ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන

    ප්‍රධාන මධ්‍යස්ථානය –     කොළඹ – ජාතික යොවුන් සේනාංක මූලස්ථානය

    නො.20, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

    ටෙලි. 0710 377 377 / 0112 688 885

    මධ්‍යම පළාත
    ස්ථානයදුරකථන අංකය
    ගම්පොල081-2078177
    නාඋල066-2246204
    නුවරඑළිය052-3536332
    හඟුරන්කෙත081-2365849
    සෙංකඩගල081-2389134
    යටිනුවර081-2410026
    වලපනේ052-2050010
    ඌව පළාත
    ස්ථානයදුරකථන අංකය
    බණෟඩාරවෙල057-2222214
    මහියංගනය055-2257118
    තණමල්විල047-3220529
    මොණරාගල055-2055741
    වැල්ලවාය070-5923971
    සියඹලාණ්ඩුව071-3662328
    නැගෙනහිර පළාත
    ස්ථානයදුරකථන අංකය
    කන්තලේ026-2244088
    කච්චවේලි026-2228709
    ගෝමරන්කඩවල026-4549428
    අම්පාර063-2224810
    සේරුවාවිල026-4549439
    ත්‍රිකුණාමලය026-4549432
    දෙහිඅත්තකණ්ඩිය027-2056723
    වාලච්චෙව්න071-2518825
    බස්නාහිර පළාත
    ස්ථානයදුරකථන අංකය
    කටුනායක011-2260020
    අත්තනගල්ල033-2282232
    දිවුලපිටිය033-2272875
    බුලත්සිංහල034-2282322
    යක්කල033-2233534
    උතුරු මැද පළාත
    ස්ථානයදුරකථන අංකය
    කැකිරාව025-2263297
    කලාවැව025-2269946
    අනුරාධපුරය025-3852809
    මැදිරිගිරිය071-8289004
    ගලෙන්බිඳුනුවැව071-8289004
    සබරගමුව පළාත
    ස්ථානයදුරකථන අංකය
    කෑගල්ල035-2223260
    නිවිතිගල045-2279970
    ගලිගමුව035-2282993
    ඇඹිලිපිටිය047-2262399
    බලන්ගොඩ071-6300364
    දෙහිඕවිට071-8396013
    දකුණු පළාත
    ස්ථානයදුරකථන අංකය
    සුරියවැව047-2288169
    ගාල්ල091-2233182
    අකුරැස්ස041-3131216
    වීරකැටිය047-2257143
    දික්වැල්ල041-2255055
    නෙළුව091-3098911
    අක්මීමන091-3121736
    ලුණුගම්වෙහෙර070-4340716
    වීරවිල070-4340714
    වයඹ පළාත
    ස්ථානයදුරකථන අංකය
    කුලියාපිටිය037-3879228
    වාරියපොළ037-2268375
    මාවතගම037-2298668
    පඩුවස්නුවර037-2291803
    දොඩම්ගස්ලන්ද037-2252655
    නාත්තණ්ඩිය032-2050815
    වෙන්නප්පුව031-2277199
    අලව්ව071-8457013
    උතුරු පළාත
    ස්ථානයදුරකථන අංකය
    මන්නරාම023-2251917
    වව්නියාව024-2054558

  • ‘කොවිඩ් එන්නත’ ගැබිණි මවුවරුන්ට සුදුසුයි – කිරිදෙන මවුවරුන්ටත් ප්‍රශ්නයක් නෑ

    ‘කොවිඩ් එන්නත’ ගැබිණි මවුවරුන්ට සුදුසුයි – කිරිදෙන මවුවරුන්ටත් ප්‍රශ්නයක් නෑ

    ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කළ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (19) සංවිධානය කළ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවාය.

    “ගර්භණී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ගැන පසුගිය කාලයේ බොහෝ දෙනෙක් කතා කළා. ඒ අනුව ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු ද යන්න සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණික මණ්ඩලයක් පත් කළා. ඔවුන් සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ගර්භණී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර මොන මොන එන්නත් ද ගර්භණී මව්වරුන්ට බයක් නොමැතිව දෙන්න පුළුවන් හා මොන කණ්ඩායමට ද දෙන්න පුළුවන් කියන එක තීරණය කරනවා. මේ අවස්ථාවේ දී එන්නත් බහුලව නෑ. ඒ නිසා එන්නත් ලැබීම එක්ක බලලා, වඩාත්ම සුදුසු එන්නත මොකද්ද කියන එක බලලා එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතයි. මෙය ආරම්භ කරන්නේ එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කරපු ප්‍රදේශවලින්. රෝග අවදානම වැඩිම ප්‍රදේශ ටික සලකා බලලා.“

    මෙහිදී තවත් අවදානම් කාණ්ඩයක් ලෙස සැලකෙන කිරිදෙන මවුවරු ගැන අදහස් පළකළ සිල්වා මහත්මිය කියා සිටියේ, ‘‘ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් එන්නත් ලබාගත හැකියි. ඉන් අනතුරුව මව්කිරි දීම සිදුකළ හැකියි. මව්කිරි ලබා දීම කොයි අවස්ථාවක දී හෝ නතර කිරීම සුදුසු නැහැ. කොවිඩ් රෝගය වැළඳුන මවක් දරු ප්‍රසූතියක් සිදුකරන්නේ නම් ඒ සෑම මවක් ම මව්කිරි ලබාදිය යුතුයි. එය දරු උපත සිදු වූ අවස්ථාවේ සිට කළ හැකියි. නිතර අත්සේදීමෙන් හා මුව ආවරණ භාවිත කිරීමෙන් එම කටයුත්ත සිදුකළ හැකියි‘‘ යැයි ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

  • ප්‍රතිශක්තිකරණය ගැන වැරදි සහ කොවිඩ් ආසාදනය අතර සම්බන්ධය ගැන සුපිරි හෙළිදරව්වක්

    ප්‍රතිශක්තිකරණය ගැන වැරදි සහ කොවිඩ් ආසාදනය අතර සම්බන්ධය ගැන සුපිරි හෙළිදරව්වක්

    කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වීම බරපතළ තත්ත්වයක් බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

    ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය‘ නම් මාධ්‍ය හමුව පැවැත් විණි.

    මෙම විශේෂ මාධ්‍ය හමුවේදී විශේෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවයි.

    ‘කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් තිබෙනවා. මෙය බරපතළ තත්ත්වයක්. මොකද ව්‍යාජ, වැරදි මත නිසා මේ වසංගතය ව්‍යාප්තවීමට ලොකු උත්තේජනයක් ලැබෙනවා. කිරිදෙන හා ගර්භණී මවුවරු ගැනත් අපේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම එවැනිම අවදානමක් වයස්ගත ජනතාවට ද තිබෙන බව අපි අමතක නොකළ යුතුයි‘‘

    “විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් ඩී ගන්න විටමින් සී ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැලඳෙන ප්‍රමාණය හා මියයන ප්‍රමාණය ඉහළ බව අපි වගේම ජාත්‍යන්තර වශයෙන් ද නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා මෙවැනි පුරුදු ඇති අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි‘‘

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ කාර්යාල තුළ එකට එක්ව ආහාර ගැනීම තුළින් කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් තිබෙන බවයි.

    ‘‘අපි දන්නේ නැහැ කාටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ කියලා. මොකද විශාල පිරිසක් කිසිම ආකාරයක රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් ඔවුන් රෝග වාහකයින් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙය අපි දැඩිව අවදානයට ගත යුතු තත්ත්වයක්. ඒ නිසා හැකිතාක් දුරස්ථභාවය සහ මුව ආවරණ පැළදීම කරන්න. නිසි සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්න. මිත්‍ය විශ්වාසවලට යොමු වෙන්න එපා‘‘

  • දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි !

    දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි !

    කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ඔහු පවසන්නේ අද සවස වන විට ආසාදිතයින් 3051 දෙනෙක් වාර්තා වූ බවයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

  • සංචරණ සීමා පනවන දිනවල ‘ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට’කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

    සංචරණ සීමා පනවන දිනවල ‘ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට’කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

    ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

    දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථා වසා දැමීමට පියවර ගත්ත ද ගොවිජනතාවට සහ පාරිභෝගික ජනතාවට කිසිම අපහසුතාවක් ඇති නොවන ආකාරයට එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ පසුගිය සංචරණ සීමා කාලයේ මුහුණ දුන් අත්දැකීම්ද පදනම් කරගෙන නව වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි.

    අද (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

    මෙම මාධ්‍ය හමුව අමතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය,

     ‘‘පවතින කොවිඩ් වසංගතය සමග අපේ ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙදපොළට ගෙන ඒම සහ ඒවා පාරිභෝගිකයින් වෙත වඩාත් කාර්යක්ෂමව ගෙන යාම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පසුගිය සති අන්තයේ  පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් විවිධ නීති පැනවූ විට ගොවීන් තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අරගෙන ඇවිත් අපිට විවිධ චෝදනා එල්ල කළා.

    නමුත් අපි පැහැදිලිව අපේ ආර්ථික මධ්‍යස්ථාන දැනුවත්කර තිබුණා මේ වකවානුව තුළ අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා කියලා. නමුත් ඒ පණිවුඩය ගොවීන්ට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකට ගොවීන් තම නිෂ්පාදන ගෙනත් ලා තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගන්න නොහැකිව විශාල චෝදනා එල්ල කළා.

    ඒ නිසා රජය එළඹෙන සිකුරාදා සිට එක් දිනයක් හැර දින හතක් මුළු රටටම දැඩි සංචරණ නීති පනවලා තිබෙනවා. ඒ නිසා මේ කාලය තුළ ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට ගේන්න නොහැකි වෙනවා. ඒ නිසා අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපි කලින් ගොවීන්ට දැනුම් දීමක් කළොත් ගොවීන්ට පුළුවන් තමන්ගේ අස්වැන්න ඒ දවස් වල නෙළන්නේ නැතිව ඉන්න.

    මේ තත්ත්වය තුළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කරමින් ගොවීන් සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා ඒ නිසා එම වසා දමන දිනවල තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන එන්න එපා කියලා. මොකද ඔබ අපේ අවවාදය පිළිනොගෙන කෘෂිකාර්මික නිෂ්පාදන රැගෙන ආවොත් ඔබට ඒවා විකුණා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ දින කිහිපය තුළ තමන්ගේ නිෂ්පාදන නෙළන්නේ නැතිව ඉන්න. එසේ කළා කියලා ඔබට ප්‍රශ්නයක් නැහැ.

    ඒ නිසා අපි අපේ ගොවිජනතාවට ඉතාම පැහැදිලිව කියනවා දීප ව්‍යාප්තව දැඩි සංචරණ සීමා පනවන දිනවල අපි අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්නේ අපි ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්නේ දින දෙකයි හෝ තුනයි. මේ නිසා කිසිම පාඩුවක් ගොවියට සිදුවන්නේ නැහැ.

    ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දෙන මේ මාර්ගෝපදේශ අනුව තමන්ගේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා‘‘ යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

    ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

    රටපුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය සහ ගොවීන් කටයුතු කළ ආකාරය ගැන මෙහිදී පැහැදිලි කිරීමක් කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා,

    ‘‘ කෘෂිකර්ම අමාත්‍යතුමා පැහැදිලි කළ ආකාරයට අපට පසුගිය සංචරණ සීමා පැනවූ අවස්ථාවේ ක්‍රියාකළ අත්දැකීම් සමග කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රටේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා තබන හා විවෘතව තබන වේලාවන් පිළිබද කාලසටහනක් සකස් කර තිබෙනවා. මේ සදහා මූලික අරමුණ වුණේ ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස කටයුතු කිරීමයි.

    පෑලියගොඩ මැනිං වෙළෙදපොළ ඇතුළු පොදුවේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන සදහා මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වුණත් ඒ ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ස්වාධීනව තීරණ ගන්න හැකියාව තිබෙනවා.

    ඒ අනුව මැයි 21 සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අගගරුවාදා පෙරවරු 04.00 දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට අපි තීරණය කළා. ඒ වගේම මැයි 25 වැනි අගහරුවාදා පෙරවරු 04.00 සිට එදින රාත්‍රි 11.00 දක්වා ආර්ථික මධ්‍යස්ථාන විවෘත තබනවා. නැවත මැයි 25 වැනි අගහරුවාදා රාත්‍රි 11 සිට මැයි 28 වන සිකුරාදා පෙරවරු 4.00 දක්වා නැවත ආර්ථික මධ්‍යස්ථාන වසා තබනවා. මේ ගැන ගොවීන්, ගොවි සංවිධාන වගේම ව්‍යාපාරික ප්‍රජාවත් අවධානය යොමු කළ යුතුයි.

    ඒ වගේම අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු විසින් මැයි මස 24 වැනි සදුදා දිනයේත්, මැයි මස 28 වැනි සිකුරාදාත් භාණ්ඩ රැගෙන ඒමට සහ රැගෙන යාමට ලොරි රථවලට අවසර පත්‍ර ලබාදීම සිදුවෙනවා.

    ආර්ථික මධයස්ථාන කළමනාකරුවන් විසින් වෙළෙද සංගම් හරහා ගොවිජනතාව දැනුවත් කර තමන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු ප්‍රමාණය ගැන ඔවුන් දැනුවත් කරන ලෙස අපි දැනටමත් උපදෙස් දීලා තිබෙනවා.

    විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් විසින් බස්නාහිර පළාතෙන් පිට තිබෙන ආර්ථික මධ්‍යස්ථානව කළමනාකරුවන් සමග සම්බන්ධ වෙලා තමන්ට අවශ්‍ය තොග පිළිබද නිසි යාන්ත්‍රණයක් ගොඩනැගීමට අපි අදාළ උපදෙස් ලබාදී තිබෙනවා. මේ යාන්ත්‍රණය මගින් ගොවිජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද අපහසුතාවට පත් නොවන ලෙස ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කරනවා.

    රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ජනතාව විසින් එළවළු – පලතුරු මිලදී ගන්නා ආකාරය ගැනත් අපි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මීට පෙර සිදුකළ ආකාරයටම ක්‍රියාත්මක වන ලෙස අපි උපදෙස් දීලා තිබෙනවා. මේ අනුව කිසිම පාර්ශ්වයක් අපහසුතාවට හෝ දුෂ්කරතාවට පත් නොවී එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි අපි දැඩිව අපේක්ෂා කරනවා‘‘

    මෙහිදී මාධ්‍ය වේදීන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න

    රාජ්‍ය ඇමතිතුමා මේ වන විට වසා දමා ඇති වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ගැන තත්ත්වය කුමක්ද ?

    මැයි 25 වැනිදාට වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ගැනීමට අපට පුළුවන් වෙයි.

    පොලිසියෙන් විවිධ බාධා එල්ල වන බවක් අපි පසුගිය දිනවල දැක්කා. ඒ ගැන කුමක් හෝ තීන්දුවක් ගෙන තිබෙනවාද ?

    ඔව්, අපි මේ ගැන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ඒ වගේම පොලිස්පතිතුමා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා පොලිස් අධිකාරීවරුන්ට නිසි දැනුම්දීමක් හා පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. අපි දැක්වා පසුගිය දා එළවළු රැගෙන ගොස් එන ලොරි ආපසු එනවිට පොලිසිය සමග ගැටලුවට මැදි වෙනවා. ඒ නිසා මෙවර එළවළු රැගෙන යන විට වගේම ඒවා භාරදී ආපසු එනවිටත් කිසිම අපහසුතාවක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස අපි දන්වා තිබෙනවා. මේ සදහා අවශ්‍ය අවසර පත්‍ර විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ ලබා දෙන ලෙස අපි ප්‍රා දේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ඇතිවන ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් වැඩපිළිවෙළක් සහ දුරකථන අංකයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේවා මගින් අදාළ ඕනෑම දුෂ්කරතාවකට හෝ ගැටලුවකට විසදුම් ලබාගත හැකියි.

    ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් සම්බන්ධ ගැටලු තිබෙනවා නේද ?

    නැහැ, අපිට මේ දක්වා එවැනි ගැටලුවක් නැහැ. ආර්ථික මධ්‍යස්ථානවල භාරයන් හරහා අධික මිල ගණන් වලට නොයන ලෙස අපි යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා.

  • ලංකාවේ කොවිඩ් මරණ 1000 පනී

    ලංකාවේ කොවිඩ් මරණ 1000 පනී

    කොවිඩ් – 19 ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තා වී තිබේ. එම ගණන 34කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1015කි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 2518කි. ඉන් 2,478ක් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන බවත් තවත් 40ක් විදේශගතව සිට පැමිණි අයෙන් වාර්තා වූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ප්_රවෘත්ති-නිවේදනය-482

  • කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්

    කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්

    Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි.

    විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතු බවයි.

    වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා මේ බව පැවසුවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඔහු මෙසේ ද සදහන් කළේය. ‘‘කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අදහසයි. එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුකර ගත හැකියි. විශේෂඥ වෛද්‍ය නිරීක්‍ෂණය යටතේ ගර්භනී කාන්තාවන්ට එන්නත ලබාදීම සුදුසු බවට බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් ද නිර්දේශ කර තිබෙනවා. ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙස ද බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂතුමියට දැනුම් දී තිබෙනවා‘‘

  • ඉදිරි දින 100 තුළ ආසාදිතයින් මිලියනක් !

    ඉදිරි දින 100 තුළ ආසාදිතයින් මිලියනක් !

    “අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”

    මෙසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා.

    හේමන්ත හේරත් මහතාගේ මේ ප්‍රකාශය බරපතළ දෙයක් බවයි වෛද්‍ය විශේෂඥයින් කියන්නේ. ඒත් මේ ප්‍රකාශය ගැන සාමාන්‍ය ජනතාව අතර පවා සැකයක් නැහැ. ඔවුන් ද මේ මතය පිළිගන්නවා.

    මේ අතර කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ පවත්වන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද (18) ජාතික පුවත්පතක් සමග පවත්වා ඇති සාකච්ඡාවකදී ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් කර තිබුණා.

    රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වා සිටියත් ඔවුන් ආසාදිතයෝ විය හැකියි කියල ද ඔබ පවසන්නේ?

    ඔව්. මේක තමා භයානකම තත්ත්වය. ලෝකයේ සෙසු රටවල් සමග බලන විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය තමයි සිටින්නේ. ඔවුන් රෝග ලක්ෂණ පෙන්නන්නෙ නෑ නමුත් රෝගය පතුරුවා හරිනවා. මේ රැල්ල එන්න පෙර පැවැති කොවිඩ් තත්ත්වය ගත්තත් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ. නමුත් අපි ආසාදිතයෝ හඳුනාගෙන සමාජයෙන් වෙන් කළා රෝග ලක්ෂණ නොපෙන්වුවත්. එහෙ ම කළේ ඔවුන්ගෙන් රෝගය පැතිරෙන නිසා. දැනුත් ඕනෑ තරම් ආසාදිතයෝ ඉන්නවා රෝග ලක්ෂණ කිසිවක්ම පෙන්වන්නේ නැති.

    මේ වෙලාවේ මාත් එක්ක කතා කරන ඔබත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා මට සිතෙනවා. නමුත් මේ මොහොතේ ඔයාට කොවිඩ් තිබෙන්න බැරි ද? පුළුවන්නේ. නමුත් ඔබ ඒක දන්නෙ නෑ. ඔබ නිරෝගී වගේ සිටියට ඔබේ ඇඟේ වෛරසය තිබෙනවා නම් ඔබව අද හමුවුණු අනෙක් අයට ඔබෙන් ඕක බෝ වෙන්න පුළුවන්. මම මේ කිව්වෙ එක උදාහරණයක්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රටේ තිබෙන්නෙ. රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන්ගෙන් රෝගය පැතිරීම තමයි මේ වෛරසයේ තිබෙන භයානක තත්ත්වය. මොක ද කෙනෙක් රෝග ලක්ෂණ විද්‍යමාන කරනවා නම් අපි වුණත් ටිකක් පැත්තකට වෙනවානෙ. නමුත් එහෙම පෙන්වන්නේ නැත්නම් අපි වුණත් වැඩි ගාණක් ගන්නෙ නෑ.

    පොදු ස්ථානවලදී, රාජකාරී ස්ථානවලදී සිදු කරන ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රියාවලියෙන්වත් මෙවැනි පුද්ගලයන් හසුවන්නෙ නැද්ද?

    දැන් ඔය සුපර් මාකට් යද්දි හෝ වෙනත් පොදු ස්ථානවලට යද්දි ශරීරයේ උණ බලනවානේ. එතැනදි අහුවෙන්නෙ උණ තිබෙනවා නම් පමණයිනෙ. නමුත් ශරීරයේ උණක් නැති අයව ඇතුළට ගන්නවානෙ. කාටද කියන්න පුළුවන් උණ නෑ කියලා එයා ආසාදිතයෙක් නෙවෙයි කියලා. ඔවුන්ගේ ඇඟේ වෛරසය තිබෙන්නට පුළුවන් නමුත් රෝග ලක්ෂණ නැහැ. එහෙ ම රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නැති අය තමයි නිදහසේ එවැනි පොදු ස්ථානවලට වැඩි වශයෙන් එන්නෙ.

    මොකද ඔවුන් සිතනවා රෝග ලක්ෂණ කිසිත් නැති නිසා රෝගයත් නෑ කියලා. නමුත් ඔවුන් දන්නෙ නෑ තමන් ආසාදිතයි කියලා. ඒක තමා භයානකම. මොක ද ඔය උණ බලන ඒවට අරවට මේවට ඇඟේ වෛරසය තිබෙනවා කියලා අහුවෙන්නෙ නෑ. ටෙස්ට් එකක් කළොත් විතරමයි වෛරසය ඇඟේ තිබෙන බව අසුවෙන්නෙ. රෝග ලක්ෂණ කිසිවක් නැති නමුත්, රෝගය ආසාදිත පිරිස් තමයි වැඩිපුර ම එළියේ ගැවසෙන්නේ. ඔවුන් තමා මේ රෝගය පතුරුවන්නෙ. ඒක වුවමනාවෙන් කරන්නෙ නැහැ. මොකද රෝග ලක්ෂණත් නෑනෙ. ඉතින් ඔවුන් දන්නෙත් නෑ ලෙඩේ තියෙනවා කියලා. ඒ නිසා තමයි වැඩිපුර ම ප්‍රවේශම් වෙන්න ඕනෑ.

    ඒ කියන්නෙ අපි නිරන්තරයෙන් අනෙකා ආසාදිතයෙක් විය හැකියි කියන මතයේ සිට කටයුතු කළ යුතුයි?

    මම කියන්නෙ නැහැ හැමෝ ම ආසාදිතයෝ කියලා සැක කරන්න කියලා. නමුත් තමාත් දන්නෙ නැත්නම් තමා ආසාදිතයි කියලා සහ තමා ඇසුරු කරන සෞඛ්‍යසම්පන්නයි කියලා හිතන අයත් ආසාදිතයෝ විය හැකියි කියලා ප්‍රවේශමෙන් වැඩ කරන එක කොහොමත් හොඳයි. සමාජ දූරස්ථතාව පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් විෂබීජහරණය කිරීම වගේ දේවල් අපි නිරන්තරයෙන් කළ යුතුයි.

    මම තව උදාහරණයක් කියන්නම්, ඔබ ඇසුරු කරන මිතුරා ඉතාම නිරෝගීව ඉන්න කෙනෙක් කියලා ඔබට පේනවා. කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. ඒ නිසා ඔබ බය නැතිව එයාගෙ සමීපයට ගිහින් මාස්ක් එකත් ගලවලා කතා කරනවා. නමුත් එයා ආසාදිතයෙක් නම් ඔබටත් රෝගය වැළඳෙනවා. මොකද තරුණ අය බොහෝ විට මෙහෙ ම හැසිරෙනවා. අවසානයේ මිතුරත් ආසාදිතයි ඔබත් ආසාදිතයි. ඒ බව දන්නෙ නැතිව නිවසට ගිහිල්ලත් නිදහසේ ගනුදෙනු කරනවා. එතැනදි ඔබට ඔබේ මිතුරාට රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔබේ ගෙදර ඉන්න ඔබේ අම්මා, තාත්තා, සීයා, ආච්චී, ඔබ තරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්. මොකද ඔවුන්ට රෝගය වැළඳිලා රෝග ලක්ෂණ පෙන්වලා අමාරු වෙන්න පුළුවන් ඔවුන්ගේ වයසත් සමග. ඒ නිසා තමයි ඇතුළත පරිශ්‍රවල සිටිද්දි නිතර ම මාස්ක් එක භාවිත කරන්න කියන්නෙ.

  • කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ

    කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ

    කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    අද (18) මාධ්‍ය සාකච්ඡාවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. එන්නත ලබාගැනීමට නොහැකි වෙනත් කිසියම් කාරණයක් නොමැති නම් සාමාන්‍ය කෙනෙකු ලෙස ඕනෑම කිරිදෙන මවකට පුළුවන් වෙනවා එන්නත ලබාගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙමෙයි. මේ මව්කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි. ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.”

    මෙහිදී අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් සෞඛ්‍යාරක්‍ෂිතව දරුවන්ට මවුකිරිදීමේ වරදක් නොවන බවත් මවුකිරි දෙන මවුවරුන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්ය.

  • පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා

    පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා

    කොවිඩ් 19 පාලනයකිරීමට ඉක්මනින් මලිදීගැනීමට අවශ්‍ය මුදල් සහනයක් ලෙස ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බැවින් ඉක්මනින්ම මෙරට පී.සී.ආර්. පරීකෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ( 18 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    එසේම වැඩිවන රෝගීන් තත්ත්වය හමුවේ දැනට පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩිකිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මේ වන විටත් එම පරීක්ෂණාගාර පැය 24ම කාර්යයේ යෙදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

    විශේෂයෙන් නැගෙනහිර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අවම මට්ටමක පවත්න බවත් මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ අතර ඊට පිළිතුරුදෙමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.

  • කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට

    කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට

    කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද (18) අනුමැතිය ලබා දුන්නේය.

    නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීවේය.

    මෙයට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

    මේ අවස්ථාවට ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරළ ,මිලාන් ජයතිලක, කරුණාදාස කොඩිතුවක්කු,ප්‍රේමනාත් සී.දොලවත්ත යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද  කෝකිලා ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියද , රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද එක් වූහ.

  • කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කෙටුම්පතේ  3(6),  30(3),  55(2) සහ 58(1),  3(5), 3(7), 6(1) (ආ), 30(3) , 71(1) සහ 74 (අර්ථ නිරූපණය “නියාමන අධිකාරිය“) යන වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

    එමෙන්ම පනත කෙටුම්පතේ 30 (1), 33(1), 40(2), 71(2) (ඕ), 60(ඈ), 60(ඊ), 37, 12(1) සහ 14(1) (උ) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයිකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.

    කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව වේ.

    මේ අතර පනත් කෙටුම්පතේ වගන්ති 9ක් සඳහා පාර්ලිමේනතුවේ විශේෂ බහුතරයිකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ඒ අනුව පනත් කෙටුම්පතේ 3(4), 6(1) ද, 68(1) (ඊ) ,68(3)  (අ), 52(5), 71(2) (ජ), 52(3), 53(ආ) සහ 53(2) (ආ) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින්  සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුය.

    කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව යයි.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබු අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බැලුවේය.

    ඒ අනුව අදාළ තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

    අප්‍රේල් 19, 20, 21, 22, සහ 23 වන දින වල එම විනිසුරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරතිබූ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සලකා බැලීය.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙම දිගු ඔස්සේ ඔබට පරිශීලනය කළ හැකිය.https://www.scribd.com/embeds/508293531/content

  • කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 74කින් වගන්ති 26ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රධාන වගන්ති 08ක් යටතේ සාරාංශ කරමින් දක්වා තිබෙනවා.

    එම වගන්ති අටෙන් පහක් සම්මත කර ගැනීමට ප්‍රාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ඉතිරි වගන්ති තුන සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයට අමතරව ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගතයුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

    මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

    මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ඉදිරියේ විභාග වුණා.