Category: සුපිරි News

  • “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    මෙරට ඉතිහාසය තුල රටේ උගත්, නූගත් ජනතාවට ජාතිය, ආගම, දේශප්‍රේමය සහ අන්ධ මිත්‍යාවිශ්වාස තුලින් ගොනාට අන්දවා පවුල් බලය තහවුරු කරගත් සහ ඒ බලය පවත්වාගෙන යෑමට එම ක්‍රමවේදයම නිරන්තරයෙන් යොදාගන්නා යම් පවුලක් වෙත්නම් ඒ රාජපක්ෂ පවුල් පාලනය බව අපගේ විශ්වාසයයි. කෝවිඩ්-19 වැනි අධි අවදානම් වෛරසයකට ලෝකයම විද්‍යාත්මකම තහවුරු කළ ඖෂධයක් සොයන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කට්ටඩි වැඩ කරන මේසන් බාස් අයවලෙකුගේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති, තහවුරු කිරීමක් නොමැති ඊනියා පැණියක් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම මෙතෙක් ලොව පිළිගත් රාජ්‍යයක මෙන්ම ලක් ඉතිහාසයටවත් සිදු නොවූ තරමේ ඛේදවාචකයෙකි. කෝවිඩ් 19 දෙවන රැල්ලෙන් අසාර්ථක වූ ආණ්ඩුව ඊට නිසි සැලැස්මක් වෙනුවට ඉන් බේරී ජනමනස සකසන්න විවිධ උපක්‍රම භාවිතා කළ තර ධම්මික පැණියේ, පැණි නාටකය ආණ්ඩුවේම තවත් අසාර්ථක තිර පිටපතක් බවට දැන් ඔප්පු වෙමින් පවතී.

    මෙය කෙතරම් අභ්‍යාග්‍යසම්පන්න, සෝචනීය තත්වයක්ද යත් මෙරට සියලු ගෞරවනීය ආගමික නායකයින් සහ උගත් බුද්ධිමතුන් ඇතුළු රටක අභිවෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් වැඩ කරන පිරිස්වලට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩින්, මේසන් බාස්ලා ඉදිරියේ කර බා ඔවුන්ට ආශිර්වාද කරමින් නිහඬව බලා සිටීමටත්, එහෙයියන් වීමටත් සිදුව තිබීමයි.

    මෙවැනි විකාර රූපී අයවලුන්ගේ මිත්‍යාවිශ්වාස පිළිගැනීම, ඒවා පසුපස යෑම සහ ප්‍රවර්ධනය කිරීම රාජපක්ෂලා සහ ඔවුන් වන්දනා කරන වහල්ලුන්ට අලුත් දෙයක් සහ දැනෙන යමක් නොවූවද, මේ වන විට වත්මන් ගෝඨාණ්ඩුව මේ කෙලෙසමින් සිටින්නේ පෞඩ්‍ර, දියුණු තාක්ෂණික ඉතිහාසයක් පැවති රටක අභිමානය සහ අනාගතයයි.

    මේ පහත දැක්වෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ නිකුත් කරන “ධම්මික පැණිය” හිමිකරු සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ඇතුළු අටමස්ථානය භාර අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අමතන ආකාරයයි.

    රටක උගතුන්, වියතුන් වෙනුවට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩි, මේසන් බාස්ලාට සියල්ලන්ට ඉහලින් වැජබෙමින් රිසි සේ රඟන්න රාජ්‍ය අනුග්‍රහය දෙන ආණ්ඩුවක් පිළිබඳව රටක පුරවැසියන් ලෙස සිතා බැලීම ඔබට භාරයි.

    ඡායාරූප සහ දර්ශන උපුටා ගැනීමේ ස්තුතිය: Sirasa News 1st

  • කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් සුවිශේෂ හෙළිදරව්වක් !

    කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් සුවිශේෂ හෙළිදරව්වක් !

    දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (16 ) දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය.

    දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් මෙම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබදව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමු විය. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

    පරීක්ෂණ වාර්තා පිළබඳව හෙළි වූ කරුණු අනුව මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව  PCR පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවද මෙහිදී හෙළි විය.

    රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය,හෙද,පර්යේෂණාගාර ඇතුළු කාර්ය මණ්ඩල සහ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ දැඩි අවධානයට ලක් වූ අතර ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල, ප්‍රවාහ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් දෙන ලදී.

    මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්,‍ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.

  • උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

    උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

    ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.

    ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරේ. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට පිළිවන. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000  සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000කි. ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගිනි.

    පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය. ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ.

    ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 කි.     2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනේ.

    රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරේ.

    ත්‍රීරෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට පිළිවන. මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකිය.

    කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කොට 2020දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී තිබේ.

    වසංගත සමයේ මාස 02ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන, සංචාරක, ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළහ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහයක් ලැබිණ. ඒ නිසාම 2020 වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි විය. නාගරික ජන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරිණ. එසේ දායක වූ ජනතාවට පිරිනැමෙන දිරි ගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කරනු ලැබීය.

  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඇත්ත තත්ත්වය ගැන මානව හිමිකම් කොමිෂමේ හෙළිදරව්ව !

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඇත්ත තත්ත්වය ගැන මානව හිමිකම් කොමිෂමේ හෙළිදරව්ව !

    පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබද කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යනයක  සඳහන් වේ.

    පිටු 863කින් යුත් එම වාර්තාව පසුගිය දා නිකුත් වුණා.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ.

    එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

    එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.

    2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.

    මේ ගැන විශේෂාංග ලිපියක් පසුව පළ වේ.

  • ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කෙරේ

    ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කෙරේ

    අද (15) දින සවස කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පහත මාලයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කළ බව උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරීන් පවසති.

    ගිනි නිවන රථ 9ක් මේ සදහා යොදා ගත් බවයි ඔවුන් සදහන් කළේ..

    අභ්‍යන්තර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හදිසියේම ඇති වී ඇති අතර එය දැන ගත් වහාම  කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ ගින්න නිවීම සදහා පැමිණි තිබෙනවා.

    ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුව නොමැති අතර මේ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

  • ‘කෑගල්ලේ පැණිය’ අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා

    ‘කෑගල්ලේ පැණිය’ අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා

    මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇති ”කෑගල්ල පැණියේ‘ පළමු සහ දෙවැනි පරීක්ෂණ සිදුකළ බව කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ.

    කෑගල්ල පැණියේ පළමු සහ දෙවැනි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේද මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් පිරිසකි.

    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව පසුගිය 13 සහ 14 යන දිනවලදී හඳුනා ගත් අතර ඔවුන් එම රෝහලේ කායික හා රුධිර කාන්දු පෙරණ ඒකකය ආශ්‍රිතව රාජකාරි කළ අය බව සඳහන් වේ.

    කෙසේ වෙතත්, එම රෝහලට අනුබද්ධ වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා වේ. 

    කෙසේ වෙතත්, මෙම රෝහලේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි පැරණි යොවුන් සේනාංක ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව එම රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

  • කොරෝනා පැණිවලට එරෙහිව කොවිඩ් ඇමැතිනි පොල්ල අතට ගනී

    කොරෝනා පැණිවලට එරෙහිව කොවිඩ් ඇමැතිනි පොල්ල අතට ගනී

    කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒ්වා විය යුතු බවත් එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

    අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ලෝකයේ ඉදිරිපත්ව ඇති එන්නත් මෙරට කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විශේෂඥ මතය විමසා බැලීමට ලංකාවේ ඉහළම පෙලේ වෛරස් සහ ක්ෂුද්‍රජීවී පිළිබද විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (14) හමුවූ අවස්ථාවේදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් ලබාදෙන ඔිනෑම ඖෂධයක් හෝ එන්නතක් මිනිස් ශරීරයට අහිතකර නොවන බවට තහවුරු වීම අත්‍යාවශ්‍ය වන බවත් එමගින් ඇතිවන සංකූලතා, අතුරු ආබාධ පිළිබදවද නිවැරදි තක්සේරුවක් තිබිය යුතු බවයි. රෝග පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සැමවිටම නිවැරදි විය යුතු බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරිය, කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් තවම පවතින්නේ සායනික පරීක්ෂණ මට්ටමේ වන බැවින් ඒ පිළිබදව විශේෂඥ මතය මෙහිදී විමසන ලදි.

    කොවිඩ් 19 සදහා ලෝකයේ මේවන විට ඉදිරිපත්ව ඇති ඔක්ස්ෆර්ඩ්, ෆයිසර්, ස්පුට්නික් සහ සිනොවැක් යන එන්නත් වර්ග 04 සම්බන්ධයෙන් මූළීක අවධානයක් යොමුවූ අතර වෙන් වෙන් වශයෙන් එම එන්නත්වල වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිශතය, එය ගබඩා කර තැබීමේ උෂ්ණත්වය, ඒ සදහා වන වියදම ආදී කරුණු පිළිබදව සාකච්ඡාවිය. එම එන්නත් පිළිබදව සංසන්දනාත්මකව විමසා බැලීමක්ද සිදුකල අතර තවදුරටත් මේ පිළිබදව අධ්‍යයනය කර විශේෂඥ අදහස් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරිය විසින් දන්වන ලදි. මෙම සාකච්ඡාව සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, මහාචාර්ය නීලිකා මලවිගේ, වසංගත රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එක්වූහ

  • නීතිපති දප්පුල ලිවේරාගෙන් පොලිස්පතිට චෝදනා පත්‍රයක්

    නීතිපති දප්පුල ලිවේරාගෙන් පොලිස්පතිට චෝදනා පත්‍රයක්

    බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් විසින් පොලිස්පතිවරයාට ලබාදුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේය.

    අද (14) දින නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළ අතර එහි දී නීතිපතිවරයා කියා සිටියේ තමා විසින් ලබා දුන් එම උපදෙස් ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට ඉඩතිබූ බවයි.

    තමා විසින් පළමුවරට මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී බව ද නීතිපතිවරයා මෙහිදී කීවේය.

    මෙහිදී මාධ්‍ය හමුවේ වැඩි දුරටත කරුණු දක්වමින් නීතිපතිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා විසින් තමන් විසින් ලබා දුන් මාර්ගෝපදේශ සහ උපදෙස් කිසිවක් ක්‍රියාවට නොනැගීමට හේතු කුමක්ද යන්න තමාට අපැහැදිලි බවයි.

    “මම මේ වසංගත සමයේ  අවස්ථා දෙකකදී බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කරන්න කියලා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. මම අප්‍රේල් මාසයේදී ඉල්ලා සිටියා බන්ධනාගාර තුළ ඉතා තදින්ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසට. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ. ඊට හේතුව මට අපැහැදිලියි‘

    මෙහිදී නීතිපතිවරයා කියා සිටියේ බන්ධනාගාර තුළ සිටින වැඩි පිරිස අඩු කිරීමට අමාත්‍යවරයා විසින් තමාගෙන් උපදෙස් ඉල්ලා සිටි බවයි.

    ‘අමාත්‍යවරයා විසින් මගෙන් ඉල්ලීමක් කළා පොලිසියට උපදෙස් ලබාදෙන්න කියලා බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කිරීමට. මම ඒ අනුව සවිස්තරාත්මකව අදාළ උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් නොවැම්බර් මස අග වන විට ක්‍රියාවට නංවනු ලැබුවා. මගේ උපදෙස් අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළා නම් මහර බන්ධනාගාරයේ ගැටුම ඇතිවෙන්නේ නැහැ‘ යැයි ද නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

  • උත්සව සමයේ නිරෝධාන නීති කඩන්නන් ගැන පොලිසිය තදින්

    උත්සව සමයේ නිරෝධාන නීති කඩන්නන් ගැන පොලිසිය තදින්

    තවත් සති දෙකකින් උදාවන උත්සවය සමය වෙනත් කාලවල මෙන් සැමරීමට ස්වභාවධර්මය අපට ඉඩදී නැති බවත් මේ තත්ත්වය තුළ එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට පමණක් සීමා කරන ලෙසයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද සදහන් කළා.

    “තවත් සති දෙකකින් උත්සව සමය උදා වෙනවා.  මෙවර උත්සව සමය වෙනත් කාලවල මෙන් සැමරීමට සොබාදහම අපිට ඉඩදී නෑ. ඒ නිසා මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට විතරක් සීමා කරන්න. විශේෂයෙන් මේ දිනවල පොලිසිය සිවිල් ඇඳුමෙන් පොදු ප්‍රවාහන සේවාවල නිරීක්ෂණයට යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජනතාව නිරෝධායන නීතිවලට අනුව කටයුතු කරන්නේදැයි එම නිලධාරීන් සොයාබලනු ඇති. එසේ නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

  • ගෝල් ග්ලැඩියේටර් අවසන් සටනට

    ගෝල් ග්ලැඩියේටර් අවසන් සටනට

    අවසන් කණ්ඩායම් 4 තරග වටයට අන්තිම මොහොතේදී සුදුසුකම් ලැබුවද අංක 1 කණ්ඩායම බවට නම් දරා සිටි කලම්බු කිංග්ස් කණ්ඩායමට තියුණු තරගයකින් දෙමින් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (13 දා) සමත්විය.

    අත්‍යවශ්‍යම මොහොතේදී ක්‍රීඩකයින් ආබාධයකට ලක්වීමත්, එකක් දෙකක් නොව උඩ පන්දු 6 ක්ම පන්දු රකින්නන් අතින් ගිලිහී යෑමත් කලම්බු කිංග්ස් කණ්ඩායමේ පරාජයට හේතූ වූහ. ඒ සියළුම වාසි සමඟ ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිතිකරුවෝ පන්දුවක් ඉතිරිව තිබියදී අවසන් මහ තරග වරම් දිනා ගන්නා ලද්දේ තවත් කඩුලු 2 ක් අත තබාගෙනය.

    විටින් විට ජයග්‍රහණය දෙපිළ වෙතම බෙදී ගිය මෙම තරගයේ අංක 10 පිතිකරුවා ලෙසින් පිවිසි ලක්ෂාන් සඳකැන් මුහුණ දුන් පළමු පන්දුව හතරේ සීමාවට යෑමට සලස්වමින් ගෝල් ග්ලැඩියේටර් ජය තහවුරු කරද්දී  අනෙක් ලක්ෂාන් වුණු ධනංජය ලක්ෂාන් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් නොදැවී ලකුණු 31 ක් ලබා සිටියේය.

    ඉසුරු උදාන විසින් ක්‍රියාත්මක කරන ලද ඉනිමේ අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 15 ක් ලබා ගැනීමේ අභියෝගය ආධුනික ධනංජය ලක්ෂාන්ගේ කර මතට වැටෙද්දී මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලබා දුන් උඩ පන්දුව කයිස් අහමඩ් විසින් අතහැර දැම්මේය. ලද අවස්ථාවෙන් පයින් ගැසීමේදී අත්වන ප්‍රතිඵලය මෙය යැනි මොනවට පෙන්නුම් කළ වමත් ආධුනික පිතිකරුවා එම පන්දුවේදී ලකුණු 2 ක්ද,  ඊළඟ පන්දු වලදී ලකුණු 2 ක් සහ තෙවැනි පන්දුවට දැවැන්ත හයේ පහරකින් සංග්‍රහ කරමින් ඊළඟ පන්දුවේදී සඳකැන්ට පන්දුවට පහර දීමට අවස්ථාව උදාකර දුන්නේය.

    කොයි මොහොතේ හෝ වර්ෂාව ඇද වැටේවි යන බලාපරොත්තුවෙන් ලකුණු රැස් කළ ගෝල් ග්ලැඩියේටර් පිල අවශ්‍ය වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දීම කැපී පෙනුණි. එහිදී නායක භානුක රාජපක්ෂ පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු 33 ක්ද කඩුලු රැකි අසාම් ඛාන් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 21 ක්ද ලබා ආරම්භයේදී අවශ්‍ය වේගය මුසු කළය. මැද පෙළින් පැමිණි ෂෙහාන් ජයසූරිය කණ්ඩායමේ බර ගෙන පන්දුවට පහර දෙමින් ලකුණු 22 ක් රැස් කළ නමුත් දුවද්දී දැවී යෑමකට හසුවීම නිසා තරගය අවසන් කරන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවිය.

    මෙම තරගයේදී ලකුණු රැස් කිරීම මෙන්ම කලම්බු කිංග්ස් පිල මුහුණ දුන් අනෙක් ගැටළුව බවට පත්වූයේ පන්දු යැවීමට ප්‍රමාණවත් පන්දු යවන්නන් නොමැතිවීමය. අද තරගය නියෝජනය කළ නායක මැතිව්ස්, ඇන්ඩ්‍රෙ රසල් මෙන්ම ඉසුරු උදානද ආබාධයන් වලට ලක්වූහ. ආබාධයකට ලක් වුවද පන්දු යවන්නන්ගේ හිඟ භාවය හේතුවෙන් ආබාධිත තත්ත්වය මතම අවසන් පන්දු වාරය යැවීමට ඉසුරු උදානට සිදුවූ හෙයින් ඔවුන් සතු වූ සියළු සැලසුම් වතුරේ ගියහ. අතිරේක ක්‍රීඩකයකු පන්දු රැකීමට කැඳවමින් නායකයා ක්‍රීඩාංගණයෙන් ඉවතට ගියද තම ආබාධය පසෙකලා ඔහුට සිදුවූයේ තාවකාලිකව තරගය මෙහෙයවන ලද චන්දිමාල්ට උපදෙස් ලබා දීමටය.

    කාසියේ වාසිය දිනා පන්දුයැවිමට ගැල්ඩියේටර් නායකයා ගත් තීරණය හොඳ තීරණයක් බව වැටහීමට ගතවූයේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන්වීමට ගත වුණු කාලය පමණි. පෙර තරගවලට සාපේක්ෂව අද තරගය පැවැති තණතීරුවේදී වේග පන්දු යවන්නන්ට ලබා දුන් සහයෝගයද සමගින් මනා පාලනයකින් යුතුව පන්දු යැවූ නුවන් තුෂාර ප්‍රමුඛ ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 32 ක් පමණක් ලබා දී ආරම්භක පිතිකරුවන් යුගලය දවා ගනිමින් වැඩි පීඩනයක් යොමු කළහ. එහිදී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලත් ධනංජය ලක්ෂාන් විසින් චන්දිමාල් දවා ගැනීම වෙනුවෙන් පිට ඉන්නට පිටතින් පතිත කළ පන්දුව පා ඉන්න සොයා වූ දෝලනය අදහාගත නොහැකි විය.

    කෙසේ වෙතත් කලම්බු කිංග්ස් සමස්ථ ඉනිමේ කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැගීමට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට පන්දු යවන්නන් සමත් වද්දී පන්දු රකින්නන්ද අදහාගත නොහැකි මට්ටමේ උඩ පන්දු කීපයක් රැක ගනිමින් තම යුතු කම ඉටු කළහ.

    පිතිකරුවන් අතරින් අද දිනයේ ලකුණු අතරට පැමිණීමට වාසනාව උදාවූයේ එංගලන්ත ජාතික ඩැනියෙල් බෙල්ට පමණි. ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් අද තරගයට ක්‍රීඩා නොකළ ඔහුගේ වගකීම ළහිරු උදාරට පැවැරී තිබුණි. අංක 3 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි බෙල් පන්දු 53 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමඟ පන්දු 53 කදී ලකුණු 70 ක් රැස් කිරීම හැරුණු කොට සෙසු එකම පිතිකරුවකු වත් ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ. බෙල් විසින් අද දිනයේදී වාර්තා කරනලද අර්ධ ශතකය මෙම තරගාවලියේ තරග 6 කදී ලද පළමුවැන්න වේ.

    කෙසේ වෙතත් අංක 9 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉසුරු උදාන පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 19 ක් ලබා කලම්බු කිංග්ස් ලකුණු සංඛ්‍යාව 150 සීමාවට රැගෙන ආවේය. පෙර තරගයේදී විවේක ගැන්වුණු ඇන්ඩ්‍රෙ රසල්ට අද දිනයේ ලබාගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වුණු ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ රසල් දැවී යන විටත් ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ලද දවා ගැනීමට සමත්ව සිටියේය.

    කලම්බු කිංග්ස් මැද පෙළ ශක්තිමත් කරන අශාන් ප්‍රියන්ජන්ගේ කඩුල්ලද ඩැහැගත් සඳකැන් සිය පන්දුවාර 4 ලකුණු 32 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කරගත්තේය. ප්‍රියන්න් දවා ගැනීම වෙනුවෙන් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිට භානුක රාජපක්ෂ රැක ගන්නා ලද උඩ පන්දුව විශිෂ්ඨ ගණයේ විය. සඳකැන්ට අමතරව ධනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර ලකුණු 27 බැගින් ලබා දී කඩුලු 2 ක් දවා ගනිද්දී නිහඬ සේවයක් කළ මොහොමඩ් අමීර් තම පන්දුවාර 4 දී ලකුණු 26 ක් පමණක් ලබා දීමට වග බලාගත්තේය.

  • එවරස්ට් කන්ද උස ගිහින්!

    එවරස්ට් කන්ද උස ගිහින්!

    චීනය සහ නේපාලය ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයට අනුව, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීටරයකින් පමණ වැඩි වී තිබේ.

    දෙරටේ ම එකඟතාවය මත නිකුත් කර ඇති මිනුම් ගණනයට අනුව එවරස්ට් කන්දේ වැඩි වී ඇති උස මීටර 0.86ක් බව එම නිවේදනයේ දැක්වේ.

    කඳු මුදුනේ පවතින හිම ආවරණය කන්දේ නිල උසට එකතු කරන්නේද නැද්ද යන්න පිළිබඳව මේවනතෙක් දෙරට අතර එකඟතාවයක් නොතිබුණි. අලුතින් ම නිකුත් කළ නිල නිවේදනයට අනුව එවරස්ට් කන්දේ උස මීටර 8,848.86 (අඩි 29,032)කි.

    චීනය මීට පෙර කරන ලද මිනුම් අනුව එවරස්ට් කන්දේ උස මීටර 8,844.43ක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණි. එය, නේපාලය එවකට නිල වශයෙන් පිළිගෙන තිබූ මිනුම්වල ප්‍රතිඵලයට වඩා මීටර 4කින් අඩුය.

    චීනය සහ නේපාලය වෙන් කෙරෙන දේශ සීමාව මත එවරස්ට් කන්ද පිහිටා ඇත. කඳු තරණය කරන්නෝ දෙපසින් ම කන්දට ප්‍රවේශ වෙති.

    නේපාලයේ විදේශ අමාත්‍යාංශයේ සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ දෙරටේම බලධාරීන්ගේ සම්බන්ධීකරණය ඇතිව නව උස පිළිබඳව එකඟතාවයකට පැමිණි බවය.

    පෘථිවියේ ඉහළම ස්ථානය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම සඳහා එකඟ වී ඇත්තේ චීන ජනාධිපති ශී ජින්පින්ග් නිල සංචාරයක් සඳහා නේපාලයේ කත්මන්ඩු නුවරට පසුගිය වසරේ පැමිණි අවස්ථාවේදී ය.

    උස වෙනස් වුණේ ඇයි?

    චීන මිනින්දෝරු කණ්ඩායමක් පසුගිය මැයි මාසයේ දී කඳු මුදුනට ළඟා වුයේ ඔවුන්ගේ කාර්යභාරය නිම කිරීමට ය
    ඡායාරූප ශීර්ෂ වැකිය,චීන මිනින්දෝරු කණ්ඩායම පසුගිය මැයි මාසයේ දී කඳු මුදුනට ළඟා වුයේ ඔවුන්ගේ කාර්යභාරය නිම කිරීමට ය

    එවරස්ට් කන්දේ උස ගණනය කිරීමේ දී එහි පාෂාණ මතුපිට කන්දේ මුදුන ලෙස සළකා මැනීම් සිදු කළ යුතු බව චීන බලධාරීහු පැවසූහ. නේපාල බලධාරීන්ගේ තර්කය වූයේ එහි මතුපිට ඇති හිම තට්ටුව ද කන්දේ උසට එක් විය යුතු බවය.

    චීන මිනින්දෝරුවන් එවරස්ට් කන්දේ උස තීරණය කළේ 2005දී ඔවුන් විසින් සිදු කරනු ලැබූ මිනුම් කටයුතුවලින් අනතුරුවය.

    තමන් නීර්ණය කළ උස පිළිගන්නා ලෙසට චීනයෙන් නේපාලයට පීඩනයක් එල්ල වීම හේතුවෙන් එවරස්ට් කන්ද යළි මැන බැලීමට නේපාලය තීරණයක් ගත් බව නේපාල බලධාරීන් 2001දී බීබීසීයට පවසා තිබුණි.

    එවරස්ට් කන්දේ උස මීටර 8,848ක් බව නේපාලය නිල වශයෙන් එතෙක් පිළිගෙන තිබුණේ 1954දී ඉන්දියාව විසින් සිදුකරනු ලැබූ මිනුම්වල ප්‍රතිඵලය පදනම් කර ගනිමිනි.

    අවසානයේ තමන් විසින්ම එවරස්ට් මැනීමට නේපාලය තීරණය කරනු ලැබීය.

    ඒ සඳහා කන්ද තරණය කිරීමට පෙර වසර දෙකක් තිස්සේ නේපාල මිනින්දෝරුවන් සිව් දෙනෙක් පුහුණුවක නිරත වූහ.

    “මීට පෙර කවදාවත් අපි මේ කන්ද මැනලා තිබුණේ නැහැ.” නේපාලයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක දමොදාර් ධකාල් බීබීසීයට පැවසීය.

    “දැන් අපිට ඉන්නවා එවරස්ට් මුදුණට වුනත් යන්න පුළුවන් තරුණ ශිල්පීය කණ්ඩායමක්. අපිටම ඒක කරගන්න පුළුවන් වුණා.” ඔහු පැවසීය.

    නේපාලයේ මිනින්දෝරු කණ්ඩායම පසුගිය වසරේ කඳු මුදුනට ගොස් සිය කාර්යය නිම කළේය
    ඡායාරූප ශීර්ෂ වැකිය,නේපාලයේ මිනින්දෝරු කණ්ඩායම පසුගිය වසරේ කඳු මුදුනට ගොස් සිය කාර්යය නිම කළේය

    මිනුම් උපකරණ සවි කිරීම සඳහා පසුගිය වසරේ කඳු මුදුණට පැමිණ සිටියදී, එහි පැවති අධික ශීතල නිසා පාදයේ හටගත් තුවාලයක් හේතුවෙන් මිනින්දෝරු කණ්ඩායමේ නායක ඛිම්ලාල් ගෞතම් ට සිය පාදයේ ඇඟිල්ලක් ද අහිමි විය.

    “කඳු තරණය කරන්නන්ගේ අවසාන ඉලක්කය තමයි මේ කඳු මුදුණට ළඟා වීම. ඒත් අපිට නම් ඒක ආරම්භය පමණයි.” තම කාර්යය ඉටුකර ආපසු පැමිණි පසු ගෞතම් බීබීසීයට පැවසීය.

    මීට පෙර එවරස්ට් මත සිදුකර තිබූ මැනීම් කටයුතුවලට වඩා වෙනස්ව යමින් අප ඒ සඳහා සුදුසු වෙලාව වශයෙන් තෝරා ගත්තේ හිමිදිරි පාන්දර 3.00. ඊට හේතුව, දවල් කාලයේ හිරු එලිය නිසා මිනුම්වලට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම.”

    කන්දේ උස ගැන අන් අය ප්‍රශ්න කරන්නේ ඇයි?

    2015දී ඇති වූ මහා භූ කම්පනය හේතුවෙන් එවරස්ට් කන්දේ උසට බලපෑමක් සිදු වන්නට ඇති බවට ඇතැම් භූ විද්‍යාඥයන් මත ප්‍රකාශ කර තිබුණි.

    මැග්නිටියුඩ් දර්ශකයේ 7.8ක් ලෙස සඳහන් වූ එම භූමි කම්පාව හේතුවෙන් දිවි අහිමි වූ නේපාල වැසියන්ගේ ගණන 9,000කට ආසන්නය. එම භූ චලනයත් සමඟම එවරස්ට් කන්දේ හිම තට්ටුවක් නාය යාමට ලක්වූ අතර කඳු තරණය කරන්නන් කඳවුරු බැඳ සිටින ඉහළ ස්ථානයක කොටසක් ද එම හිමෙන් යට විය. ඊට ගොදුරු වී කඳු නගින්නන් 18 දෙනෙකුවත් මරණයට පත් වූ බව වාර්තා විය’

    මෙම භූමි කම්පාව හේතුවෙන් එවරස්ට් කඳු මුදුණේ ඇති හිම තට්ටුව තුනී වන්නට ඇති බව ඇතැම් භූ විද්‍යාඥයෝ පැවසුහ.

    හිමාල කඳු වැටියේ අනෙකුත් කඳු මුදුන් කීපයක උස, ඉහත කී භූමි කම්පාවෙන් පසුව අඩු වී ඇති බව විද්‍යාඥයෝ සොයා ගත්හ.

    එමෙන්ම, කාලයත් සමඟ සිදුවන, එවරස්ට් කඳුවැටිය පිහිටා ඇති අභ්‍යන්තර භූ තලයේ වෙනස්වීම් හේතුවෙන් එහි උස වැඩි විය හැකි බවට ද ඇතැමෙක් තර්ක කළහ. නමුත් විශාල භූ චලනයකින් එම වර්ධනය ආපසු හැරවිය හැකි බව විශේෂඥයෝ පවසති.

    “2015දී ඇති වුණු භූමි කම්පාවත් එක හේතුවක් වුනා මේ කන්ද යළිත් මනින්නට.” නේපාලයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක දමොදාර් ධකාල් පැවසීය.

    එවරස්ට් කන්දේ උස මැන්නේ කොහොමද?

    Getty Images

    කඳු මුදුනක උස මනිණු ලබන්නේ මුහුදු මට්ටම පාදක කොට ගෙනය. එම නිසා කන්දේ පතුල සොයනවාට වඩා මුහුදු මට්ටමේ සිට කඳු මුඋනට ඇති උස සෙවීම පහසුය.

    මෙවර එවරස්ට් කන්ද මැනීම සඳහා චීනය සහ නේපාලය ඒකාබද්ධව කටයුතු කළේය. ඒ සඳහා චීන මිනින්දෝරු කණ්ඩායමක් චීනය දෙසිනුත් නේපාල මිනින්දෝරු කණ්ඩායමක් නේපාලය දෙසිනුත් ක්‍රියාත්මක විය.

    නේපාලය මෙහිදී මුහුදු මට්ටම ලෙස යොදා ගත්තේ බෙන්ගාල බොක්ක ය. නමුත් ඔවුනට බෙංගාල බොක්කට යායුතු නොවීය.

    ඒ වන විට, ඉන්දීය මිනින්දෝරුවන් විසින් ඉන්දීය-නේපාල් දේශ සීමාව ආසන්නයේ පිහිටි, එවරස්ට් කන්දට සමීප ස්ථානයකට ඇති උස බෙන්ගාල බොක්කේ සිට මනිනු ලැබ තිබුණි. එම නිසා එතැන් පටන් කඳු මුදුනට ඇති උස ගණනය කිරීමට නේපාල මිනින්දොරුවන්ට හැකි විය.

    ත්‍රිකෝණමිතික ගණිත ශාස්ත්‍රය

    ඉහත කී ස්ථානයේ සිට දෘෂ්ඨි රේඛා සටහන් මගින් එවරස්ට් කන්දේ පහළ සිට ඉහළට යන පරිදි ස්ථාන පෙළක් සලකුණු කර ගනු ලැබේ. එම ස්ථාන පෙළ වෙන වෙනම මැන ගැනීමෙන් පසු මුළු අගය ගණනය කරගත හැකිය.

    චීන රාජ්‍ය මාධ්‍යයක් වන ‘චයිනා ඩේලි’ පුවත්පත පවසන පරිදි චීන මිනින්දෝරුවන් සිය මුහුදු මට්ටම ලෙස යොදා ගෙන ඇත්තේ චීනයේ නැගෙනහිරින් පිහිටි කහ මුහුද ය.

    චීන සහ නේපාල මිනින්දෝරු කණ්ඩායම් දෙකම මෙම කාර්ය සඳහා යොදාගෙන ඇත්තේ ත්‍රිකෝණමිතික ගණිත ශාස්ත්‍රය යි.

    ත්‍රිකෝණයක පාද රේඛාවේ දිග සහ ඇල රේඛාවේ දිග දැන ගැනීමෙන් අනතුරුව එම ත්‍රිකෝණයේ සෘජු රේඛාවේ උස ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි සූත්‍ර ත්‍රිකෝණමිතික ගණිත විද්‍යාව සතුය.

    නමුත් ඒ සඳහා භුමිය මත සිට බොහෝ දුෂ්කර දේ කළ යුතුව පවතී. ඒ සඳහා යම් පිරිසක් කඳු මුදුන මත ද සිටිය යුතුය.

    Getty Images
    ඡායාරූප ශීර්ෂ වැකිය,චීනය මීට පෙර එවරස්ට් කන්ද දෙවරක් මැන තිබේ

    නේපාලයේ මිනින්දෝරු කණ්ඩායම පසුගිය වසරේ කඳු මුදුනට ගොස් සිය කාර්යය නිම කළේය. අනතුරුව, චීන මිනින්දෝරු කණ්ඩායමක් පසුගිය මැයි මාසයේ දී කඳු මුදුනට ළඟා වුයේ ඔවුන්ගේ කාර්යභාරය නිම කිරීමට ය. කොරෝනා වසංගතය පැමිණීමට ප්‍රථම එවරස්ට් කන්ද තරණය කළ අවසාන කණ්ඩායම වූයේ ඔවුන් ය.

    කොරෝනා වසංගතය හේතුවෙන් නේපාලය සියලු ගවේෂණ ව්‍යාපෘති තහනම් කල අතර චීනය විදෙස් සංචාරකයන්ට තහනමක් පැනවීය.

    “කඳු මුදුනට දිලිසෙන පහන් කණුවක්”

    අවසන් අගය ඉතා නිවැරදිව ලබා ගැනීම සඳහා කන්දේ පහළ සිට ඉහළට යන පරිදි ස්ථාන 12ක් සලකුණු කර ගනිමින් ත්‍රිකෝණමිතික ගණනයන් සිදු කළ බව නේපාල මිනින්දෝරුවෝ පැවසුහ. චීන මිනින්දෝරුවන් ද එවරස්ට් කන්දේ උස මැනීම සඳහා එම ගණිත ක්‍රමයම භාවිතා කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.

    “කඳු මුදුනට ගිහින් දිලිසෙන පහන් කණුවක් සවි කරනවා. කන්ද වටේ ස්ථාන හයක සිටින කණ්ඩායම් එම පහන් කණුවට ඇති දුර ගණනය කරනවා. ඒ කියන්නේ අඩු තරමින් ත්‍රිකෝණ හයක්වත් ගණනය කරලා තමයි කන්දේ උස තීරණය කරන්නේ.” චීනයේ මිනින්දෝරු සහ සිතියම් විද්‍යාපීඨයේ පර්යේෂක ජියාන් ටාඕ චීන රාජ්‍ය මාධ්‍යයක් වන ‘චයිනා ඩේලි’ පුවත්පතට පවසා තිබුණි.

    නේපාල සහ චීන මිනින්දෝරු කණ්ඩායම් දෙකම තමන් සිටින ස්ථානයේ උස දැන ගැනීම සඳහා GNSS තාක්ෂනය ද (Global Navigation Satellite Systems) භාවිතා කර තිබුණි.

    චීනය මීට පෙර එවරස්ට් කන්ද දෙවරක් මැන තිබේ. ඒ 1975 දී සහ 2005දීය.

    2005දී එම කාර්ය සිදු කළ චීන මිනින්දෝරුවන් විසින් GPS තාක්ෂනය සහිත උපකරණයක් (චීනයේ සාදන ලද), එවරස්ට් කඳු මුදුනේ සවි කළ බව හිමාලය පිලිබඳ දත්ත වාර්තා සඳහන් කරයි.

    එමගින් එවරස්ට් මුදුනේ පවතින කාලගුණය, සුළගේ වේගය පවා මැන ගත හැකි බවත් එය ග්ලැසියරවල වෙනස්වීම් දැනගැනීම සඳහාත් උපකාරී වන බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    නේපාල මිනින්දෝරුවෝ ද GPS තාක්ෂනය භාවිත කළහ.

    “අපි ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද භාවිත කරමින් සපයා ගත් එම දත්ත යොදා ගත්තා එවරස්ට් කන්දේ උස නිර්ණය කිරීම සඳහා.” දමොදාර් ධකාල් බීබීසීයට පැවසීය.

  • කොවිඩ්-19 මෘතදේහ භූමිදානය ගැන අගමැති මහින්ද සිය ස්ථාවරය කියයි

    කොවිඩ්-19 මෘතදේහ භූමිදානය ගැන අගමැති මහින්ද සිය ස්ථාවරය කියයි

    කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද 2020.12.10 දින පැවැත්විණි.

    කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    දැනට මෙම වයිරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

    සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

    ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි,පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

  • 2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මකයි

    2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මකයි

    2021 අයවැය යෝජන අද (10) දින සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය අද (10) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ.

    මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඊට ඇතුළත් ය.

    ඒ අනුව අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය.

    නිවාස හා දේපළ ණය සහන:

    රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට ලබාගෙන ඇති හා ලබාගැනීමට නියමිත නිවාස හා දේපල ණය සඳහා රජයේ සේවකයින්ගෙන් අය කරනු ලබන පොළී ප්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7%  දක්වාත් අඩු කෙරේ.

    ඒ අනුව, දළ වශයෙන් රු. මිලියන 2 ක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මාසකට උපරිම වශයෙන් රු. 2500/- ක වාසියක් හිමි වේ. ඒ අනුව, වාර්ෂික ඉතිරිය රු. 30,000 කි. අයවැය මඟින් සෘජු වැටුප් වැඩිවීමක් ලබානොදුන්න ද මෙමඟින් රාජ්‍ය සේවකයෙකුට උපරිම වශයෙන් මාසයකට රු. 2,500 ක වැටුප් වැඩිවීමක් ලැබී ඇත.

    සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන:

    රජයේ සේවකයින්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සුර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සියයට 4 ක් වැනි අඩු පොලී අනුපාතයක් යටතේ 2020.01.01 දින සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද තම ව්‍යාපාරික ස්ථානයන්හි වහලය මත සූර්යබල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැක. එමඟින්, රජයේ සේවකයෙකු, රු. 750,000/- ක ණය මුදලක් අවුරුදු 10 කින් ගෙවි යන පරිදි ලබා ගෙන, 2021 අයවැය මඟින් යෝජනා කර ඇති පරිදි තම නිවසේ 5KW ක සුර්යබල උත්පාදන කට්ටලයක් සවිකළහොත් එම ණය මුදලේ මාසික වාරිකය පියවීමෙන් පසු පළමු අවුරුදු 7 තුළ මසකට රු. 3,000/- ක පමණ අමතර ආදායමක් ලබා ගත හැකිවේ. මෙම ණය යෝජනා ක්‍රමය තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා ක්‍රියාත්මක කෙරේ.

    පිරිවෙන් වල ඉගෙනුම ලබන භික්ෂු හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබාදීම:

    ග්‍රාමීය සිසු ප්‍රජාව අධ්‍යාපන කටයුතු වෙත යොමුවීම දිරිමත් කිරීමේ අරමුණින් දුෂ්කර, අති දුෂ්කර හා හුදෙකලා පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පාවහන් තිළිණපත් ලබාදීමේ කර්තව්‍යය තව දුරටත් පුළුල් කරමින් අති දුෂ්කර, දුෂ්කර හා හුදෙකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබා දීමට කටයුතු කෙරේ.

    කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය:

    2020 පෙබරවාරි මස අගභාගයේ සිට සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය – 19 (COVID – 19) නිසා ගෝලීය හා දේශීය ආර්ථික පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වීම හේතුවෙන් ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බිඳ වැටුණු අතර එම ව්‍යාපාර නැවත නගාසිටුවීම සඳහා රජය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලදී. ඒ අනුව, අයවැය මඟින් යෝජනා කල පරිදි බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය ලබාදීමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් එනම් රු. මිලියන 18,600 ක් පමණ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු වෙත ලබා දී ඇත. තෝරාගත් ප්‍රධාන පෙලේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා මෙම ණය ලබා දීමට සැලසුම් කර ඇත.

    කොවිඩ් – 19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීමට පියවර:

    රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් ලබාදෙන ප්‍රතිලාභ කිසිදු අතිරේක අයකිරීමකින් තොරව තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවකයකු කොවිඩ් – 19 වසංගතයට මුහුණ දී ජීවිතය අහිමිවුවහොත් එම මරණ සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදලින් රු. 700,000 ක උපරිම රක්ෂණ ආවරණයක්  ලබාදීමටත් අසනීපව බෙහෙත් ගැනීම සඳහා කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක නතරවීමට සිදුවුවහොත් ඒ සඳහා ද දිනකට රු. 3000/- ක් බැගින් දින 10 ක් සඳහා උපරිම රක්ෂණ වන්දි හිමිවනු ඇත.

    තරුණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම් :

    දේශීය නිෂ්පාදන කෙරෙහි යොමු වූ ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකිරීම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව, තරුණ තරුණියන්ට ව්‍යාපාරයක නිරත වීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය මෙම අයවැය මඟින් හඳුන්වා දෙන ලදී. එමඟින් වෘත්තීය පුහුණුව අවසන් කර නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකයින්ට මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 4% ක සහන පොලී අනුපාතයක් යටතේ රු. 500,000 ක් දක්වා ණය ලබා දේ. බැංකු විසින් ව්‍යාපාර ආරම්භකිරීම සඳහා ණය ලබාදීමේදී ඉල්ලා සිටින ඇප සුරැකුම් තැබීමකින් තොරව ව්‍යවසායකයා විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපාර යෝජනාවේ (Business Proposal) ශක්‍යතාවය මත පදනම්ව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දෙන බැවින් ව්‍යවසායකත්ව හැකියාව ඇති තරුණ තරුණයන්ට මෙය මහඟු අවස්ථාවකි. මෙම ණය යෝජනා ක්‍රමය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක්‍රියාත්මක වේ.

    දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරී ගොවීන් දිරිගැන්වීම:

    දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහල නැංවීම හා දියර කිරි පරිභෝජනය වැඩිකිරීම තුළින් කිරිපිටි ආනයනය සඳහා වසරකට වැය කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් දිරිගැන්වීම සඳහා “කිරි ශක්ති” ණය යෝජනා ක්‍රමය මෙවර අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එමඟින් උපරිම රු. ලක්ෂ 10 ක් දක්වා සහනදායී ණය කොන්දේසි යටතේ කිරි ගොවීන්ට ගවයින් මිලදී ගැනීමට, අභිජනනය, ගවගාල් ඉදිකිරීම්, උපකරණ මිලදී ගැනීම් ආදී කටයුතු සඳහා ලබා ගතහැක.මෙම ණය යෝජනා ක්‍රමය ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක්‍රියාත්මක වේ.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :

    මෑත කාලීනව, ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් රැකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යාමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වල ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම වලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොළී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

  • ලංකාවේ අලි – මිනිස් ගැටුම ගැන අලුත්ම හෙළිදරව්ව

    ලංකාවේ අලි – මිනිස් ගැටුම ගැන අලුත්ම හෙළිදරව්ව

    අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඊයේ ( 09) පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය. එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පදනම් කරගනිමින් පැවැත්වූ  රජයේ ගිණුම් කාරක සභාවේදී අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා කමිටුවට අලිමිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය පැහැදිළි කරමින්  මේ බව අනාවරණය කළේය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බවද ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය. එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.

    එබැවින් මේවන විට ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති ‍ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසදීම සදහා වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාල ආයතන  එක්ව මීටවඩා කාර්යක්ෂම වැඩපිළිවෙලක් සමග  කටයුතු කිරීමේ අවශ්‍යතාව  කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු කෝප් කමිටු සාමාජිකයෝ  මෙහිදී අවධාරණය කළහ.එසේම  වසර 60ක කාලයක් තුළ මෙම අලි මිනිස් ගැටුම විසදීමට උත්සහ කළද එය වැඩිවීමක් මිස සැලකිය යුතු ප්‍රගතියක් නොලබා ඇති බැවින් නව ප්‍රවේශයක් ඔස්සේ ‍මීට විසදුම් සෙවිය යුතු බවද කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය

    එබැවින් අලි මිනිස් ගැටුව අවම කිරීමේ මූලික පියවරක් ලෙස  අවශ්‍ය ගැටලු නිරාකරණය කිරීමට අදාල සියලු ආයතන සමග ජාතික සම්බන්ධීකරණ කමිටුවක් ඉතා කඩිනමින් පිහිටුවන ලෙස කෝප් කමිටුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළේය.

    අලි මිනිස් ගැටුම පාලනය සදහා සාර්ථකම ක්‍රමවේදයක් ලෙස හදුනාගෙන තිබූ අලිවැට 2016 වසර වන විට කි.මී.4211ක් ඉදිකර තිබුණද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් කෙටි කලක් තුළ අක්‍රීය වීම බලවත් ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.විදුලි වැට නඩත්තුව සදහා වසරකට රු. මිලියන 86ක මුදලක් වැය කළද දිනපතා මෙම කාර්ය ඉටුවන්නේද යන්න පිළිබද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.තවද ජනතාවගේද සහයෝගය ලබා ගනිමින් මෙම කටයුත්ත සිදුකළ යුතු බවත් කමිටුව පෙන්ව‍ා දුන්නේය..

    තවද අලිවැට ඉදිකිරීමේදී එය තම භූමියේ මායිමක් යැයි සිතා ඇතැම් ප්‍රදේශවල ජනතාව දක්වන විරෝධය හේතුවෙන් බොහෝ ඉදිකිරීම් අතරමග නතර කරන්නට සිදුවීම පිළිබද ද මෙහිදී සාකච්ඡා විය.කමිටුව පෙන්වා දුන්නේ වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ජනතාවට සත්‍ය පහදා දීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

    තවද සිවිල් ආරක්ෂක බලකාය විසින් අලිවැට නඩත්තු කිරීමේ කටයුතු සිදු කළද ඒ සදහා කිසිදු ගිවිසුමක් නැති වීම විශාල අඩුපාඩුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.කිසිදු ගිවිසුමකින් තොරව 2020 වසර සදහාද මිලියන 150 ක මුදලක් සිවිල් ආරක්ෂක බලකායට ලබා දී ඇති බවත් කඩිනමින් මේ සදහා පියවර ගතයුතු බවත් කමිටුව අවධාරණය කරන ලදී. එසේම මේ පිළිබදව සති 3ක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටු සභාපතිවරයා දැන්වීය.

    අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල පිහිටුවන ලද ගජමිතුරෝ නම් ග්‍රාමීය කමිටු මේවන විට අක්‍රීය වීම පිළිබද මෙ‍හිදි කමිටුවේ අවධානය යොමුවිය.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනතාව සමග වඩාත් සුහදශීලීව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

    අලින්ට තුවාල සිදුකර මරා දැමීම සම්බන්ධ වරදකරුවන්ට විරුද්ධව චෝදනා ගොනුකොට දඩුවම් ලබා දීම ඉතා මන්දගාමීව සිදුවීම පිළිබද මෙහිදී සාකච්ඡා විය.අලි විශාල ප්‍රමාණයක් මිනිසුන් අතින් ඝාතනය වුවද අලි මරණ කිහිපයක් සදහා පමණක් චෝදනා ගොනු කිරීම ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.එබැවින් ‍ඒ සදහා සක්‍රීයව මැදිහත්වන ලෙස කමිටුව වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

     මහාචාරය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,   යන මහත්වරුද තිස්ස අත්නනායක, ගුණපාල රත්නසේකර , වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිහු ද සහභාගි වූහ.

  • Covid පරීක්ෂණ වාර්තා ක්ෂණිකව දැනගැනීමට “ සුපරික්ෂා” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය එළි දක්වයි

    Covid පරීක්ෂණ වාර්තා ක්ෂණිකව දැනගැනීමට “ සුපරික්ෂා” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය එළි දක්වයි

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.

    අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් “සුපරික්ෂා” මෘදුකාංගය දියත් කරන ලද අතර, අද දින සිට මෙම නවීන මෘදුකාංගය තුළින් පරීක්ෂණ තොරතුරු කඩිනමින් රැස් කිරීමටත්, පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිවනු ඇත.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය සමන් රත්නායක මහතා පෙන්වා දෙන පරිදි මෙතෙක් කල් සිදු කරන ලද්දේ, කොවිඩ් පරීක්ෂණයට (PCR) ලක් කරන පුද්ගලයින්ගේ තොරතුරු එම ස්ථානයේ දී කඩදාසි පත්‍රිකාවල ලේඛණගත කර රසායනාගාරය වෙත යොමු කිරීමයි. රසායනාගාරයේ දී එම ලේඛණ අනුව අදාල සාම්පල අයිතිකරුවන් හදුනා ගෙන සාම්පල වාර්තා නැවත ලේඛණගත කොට ෆැක්ස් හා විද්‍යුත් තෑපෑල ඔස්සේ අදාල ආයතනවලට වාර්තා යොමු කෙරිණි. මෙම ක්‍රියාවලියේදී නියමිත පරිදි නම් සටහන් නොවීම, නම් වල අඩුපාඩු පැවැතීම වැනි ගැටළු හේතුවෙන් එම කාර්යයන් සදහා විශාල කාලයක් ගතවූ අතර සාම්පල ලබාදුන් පිරිසට තමන් කොවිඩ් ආසාදිතයෙක් ද, නැති ද යන්න දැන ගැනීමට විශාල වේලාවක් ගත විය. එයට විසදුමක් ලෙස මෙම නව “සුපරික්ෂා”  මෘදුකාංගය හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

    මෙම ක්‍රමවේදය මගින් සාම්පල ලබාගැනීමේදී අදාල පුද්ගලයාගේ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කරනු ලබයි. ඒ අනුව රසායනාගාරය වෙත ක්ෂණිකව එම තොරතුරු ලබාගත හැක. රසායනාගාරයේ දී සිදු කළ යුතුව ඇත්තේ සාම්පල අනුව ආසාදිත හා ආසාදිත නොවන ලෙස කාණ්ඩ වෙන් කිරීම පමණි. ආසාදිතයින් වේ නම් ඒ පිළිබද ක්ෂණිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වනු ලබන අතර, තමා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව සාම්පල ලබාදුන් පුද්ගලයාට ද කෙටි පණිවිඩයක් මගින් ඔහුගේ දුරකථනයට ලබාදෙනු ලබයි. ඒ අනුව ඉතාම ක්ෂණිකව තොරතුරු රැස් කිරීම මෙන්ම සාම්පල වාර්තාව ක්ෂණිකව දැනුම්දීමටත්, ඊට අදාලව පියවර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමටත් මෙමගින් හැකි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ හා පුහුණු) වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    මෙම මෘදුකාංගය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශයක්ද ඇත.

  • බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

    බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

    සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි.

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

    විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල  ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටිති. රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.