Category: සුපිරි News

  • සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය සඳහා රුපියල් බිලියන 178ක්

    සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය සඳහා රුපියල් බිලියන 178ක්

    2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත.

    සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත (වැඩි විස්තර සඳහා වගු අංක 1 බලන්න).

    ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය. දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී.  මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂිකව සියයට 4ක පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි. ණය සඳහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමි විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන්  විය.

    පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.  ඒ අනුව, නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී  පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දෙන ලදී.

  • ඉදිරි ඇයවැයේ අධ්‍යාපන සංවර්ධනය සිදුවන අයුරු ඇමැති ජී.එල්. හෙළිකරයි

    ඉදිරි ඇයවැයේ අධ්‍යාපන සංවර්ධනය සිදුවන අයුරු ඇමැති ජී.එල්. හෙළිකරයි

    අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී  දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්,  එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට පවත්නා තත්ත්වය සොයාබැලීමේ වැඩපිළිවෙළෙහි පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

    අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මතුව ඇති ගැටළු පිළිබඳ සොයාබැලීමේ දී ඇතැම් ගැටළු සඳහා ඉතා පහසුවෙන් කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවත්, ඇතැම් ගැටළු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගත යුතුව පවත්නා බවත්, ඇතැම් තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සැලකිය යුතු කාලයක් ගතවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් තුළ ගුරු හිඟය, ගුරු මාරු ක්‍රියාවලිය තුළ පවතින ගැටළු, භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු බොහෝ ගැටළුවලට අදාළව ඉදිරි අයවැයේ දී යෝජනා ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

    සංවර්ධන ක්‍රියාවලිය තුළ අපට ඇති ප්‍රධාන සම්පත මානව සම්පත බවත්, මානව සම්පත නිවැරදිව සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අතිමහත් කාර්යභාරයක් පැවරෙන බවත්, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් සැලසුම්සහගත වැඩපිළිවෙළක් සකස්කිරීම වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති රාජ්‍ය අමාත්‍යාංශයන්හි ද මනා සම්බන්ධීකරණයක් සහිතව ඉදිරියේ දී කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය.

    පොළොන්නරුව මනම්පිටියේ නව විශ්වවිද්‍යාලය ඉදිකිරිමට යෝජිත ස්ථානය ගල්ලෑල්ල ප්‍රදේශයේ යෝජිත නව ජාතික පාසල ඉදිකෙරෙන ස්ථානය සහ කීර්තිමත් ඉතිහාසයක් සතු මින්නේරිය ජාතික පාසලේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිස මෙහි දී එක්වූහ.

    මේ අවස්ථාවට, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා,  ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

  • රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි  ප්‍රදානය ඇරඹේ

    රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

    සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි. 

    පත්වීම් ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටී. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.

    රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබූවකි. එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

    අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විසමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරේ.

    වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි මස 20 වැනිදා ඇරඹිණ. භාෂා 03ම පළ කළ පුවත්පත් දැන්වීම් මගින් සුදුස්සන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබීය. සියලු අයැදුම්පත් තම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී වෙත යොමු කරන ලෙස දැනුම් දෙන ලදී. එසේ ලැබුණු අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරික්ෂණයකට භාජන කොට අභ්‍යාසලාභීහූ තෝරාගනු ලැබූහ. තෝරාගත් කිසිවෙකු හෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයෝ වෙති.

    හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL01  ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලැබේ. බඳවාගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගි කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වන ජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවනු ඇත.

  • කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු වසා දමයි..

    කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු වසා දමයි..

    කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.

    ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබේ.

    එම වාට්ටුවල සිටි සියලු රෝගීන් ඒ තුළම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු කර ඇත.

    -ලංකා සී නිවුස්-

  • 20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

    20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සිටියදීය.

  • අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..

    අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..

    වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

    එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

    එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    උපුටා ගැනීම: ලංකා සී නිවුස්

  • PCR පරීක්ෂණ ගැන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගෙන් ‘සුපිරි හෙළිදරව්වක්’

    PCR පරීක්ෂණ ගැන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගෙන් ‘සුපිරි හෙළිදරව්වක්’

    රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය

    ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 පරීක්ෂණ සඳහා පවතින PCR ධාරිතාව අනවශ්‍යය කළමනාකරණ ගැටළු කිහිපයක් හේතුවෙන් අර්බුධයට ලක් වෙමින් තිබේ. එසේම එම අර්බුධයන්ට වගකියයුතු පාර්ශවයන් විසින්ම අදාල අවුල් සහගත වාතාවරණය දඩමීමා කර ගනිමින් පෞද්ගලික අංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිභාහිර අධ්‍යයන හා පර්යේෂණ රසායනාගාර වෙතටත් නිදර්ශක යොමු කරමින් කොවිඩ් වසංගතය පෞද්ගලික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගනිමින් සිටී.

    PCR පරීක්ෂණයක් සිදු කිරීම යනු විශාල මුදලක් වැය වන කාර්යයක් වන අතර කොවිඩ් පරීක්ෂාව සඳහා මහජනතාව වෙත පනවා ඇති තහංචි හේතුවෙන් එම පරීක්ෂාව සිදු කිරීම සඳහා අනවශ්‍ය අධිකාරී බලයක් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට සහ අදාල ඉහල පෙලේ වෘත්තිකයන්ට හිමිව තිබේ. මෙම තත්වය හේතුවක් කර ගනිමින් PCR පරීක්ෂාවක් ඕනෑම මුදලකට අලෙවි කල හැකි කේවල් නොවන සේවාවක් බවට පත්ව ඇති බැවින් එමඟින් අනවශ්‍ය ලෙස මහජනතාව සූරාකෑමකට ලක් වීම වලක්වා ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි. එසේම ඒ සඳහා රජය සහ විවිධ ආධාරක කණ්ඩායම් විශාල මහන්සියක් හා ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කරමින් තිබියදී කිසියම් නිළදාරීයෙකු හෝ වෘත්තිකයෙකුගේ හෝ කණ්ඩායමක ලාභය උදෙසා මහජනතාව සූරාකෑමකට ලක්වෙන ක්‍රමවේද ක්‍රියාත්මක වන්නේ නම් එය බරපතල ගැටළුවකි.

    අණුකජීවී රසායනාගාර 12 ක් පමණ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ

    අති විශාල වෑයමක් දරමින් PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අධි සංවේදී තාක්ෂණික උපකරණ සහිත නිවැරදි වෘත්තිකයන් අතින් කළමනාකරනය වන අණුකජීවී රසායනාගාර 14ක් පමණ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කෝවිඩ්19PCR පරීක්ෂණ සඳහාම පමණක් ක්‍රියාත්මක වන අතර දිනකට PCR පරීක්ෂණ 5500ක පමණ ප්‍රමාණයක් එමඟින් ආවරණය කර ගත හැකිය. තවද ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය යටතේ දිවයින පුරා විසිරී ඇති රෝහල් 36ක පමණ ස්ථාපිතව ඇති PCR යන්ත්‍ර මඟින් අවශ්‍ය ඕනෑම මොහොතක PCR පරීක්ෂණ 4000-4500ක පමණ ප්‍රමාණයක් සිදු කර ගැනීමේ හැකියාව පවතී. ඒ අනූව දැනට ලබා දී ඇති සාම්ප්‍රදායික තාක්ෂණය යටතේදී පවා 10,000ක පමණ පරීක්ෂණ ප්‍රමාණයක් දිනක් තුලදී සිදු කර ගැනීමට, අවශ්‍යනම් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ඇත.

    එසේම, ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අණූක ජීවී රසායනාගාර 2ක් ඉදි කිරීමට අනුමැතිය ලබා දී තිබියදීත් ඒ පිළිබඳව කිසිඳු කටයුත්තක් මෙතෙක් සිදුවී නොමැත. අදාල බලධාරීන් ඊට වගකියන්නේද වගවන්නේද නොමැති අතර අවම තරමින් ඒ විමසීමක්වත් සිදුවී නොමැත.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල අණුක ජීවී රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ තීන්දුව ලබා ගැනීමට පමණක් තෙමසකය අධික කාලයක් ගතවිය. අද වන විටත් එහි ඇත්තේ ආධාර වශයෙන් විවිධ ආයතන වලට ලැබුනු කුඩා PCR යන්ත්‍ර දෙකක් පමණි. එම එක් යන්ත්‍රයකින් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරවා ගැනීමට පැය 6ක්/ 8ක් ගත වුවද දිනකට පරීක්ෂණ 700 ක පමණ ධාරිතාවක් ආවරණය කිරීමට තරම් එහි කාර්යය මණ්ඩලය කැපවී ඇත.

    පැයක් ඇතුලත පරීක්ෂණ සිදු කරන පූර්ණ ස්වයංක්‍රීය එක් යන්ත්‍රයක් හෝ එහි ස්ථාපිත කර අවම කාලයකදී පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ හැකියාව ලබා දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීම් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම් එකී රසායනාගාරයේ පමණක් PCR ධාරිථාව 4000ක පමණ උපරිමයකට ගෙන යා හැකිය. කෙසේ නමුත් එම රසායනාගාරයට ලබා දීමට එකඟව තිබූ අනෙකුත් PCR යන්ත්‍ර ඉතා විශාල මුදලක් වැය කොට සැකසූ මුල්ලේරියාව රසායනාගාරයේ අඩු පාඩු වසා ගැනීමට යොදවා ගැනීම මඟින් බණ්ඩාරනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුල PCR ධාරිතාවය වැඩි දියුණු කිරීමේ උවමනාවක් බොහෝ සෞඛ්‍ය බලධාරීන්ට නොතිබූ බව ඉතා පැහැදිලිය.

    තත්වය එසේ තිබියදීම ධාරිතාවේ කිසිඳු ප්‍රශ්ණයක් නොමැතිව ගුවන් තොටුපල වෙත පැමිණෙන ආගමනිකයන්ගේ දුප්පත් සහ පොහොසත් ලෙස වැලන දෙකක් නිර්මාණය කර පොහොසත් චැනලය පෞද්ගලික අංශය වෙත යොමු කරන ලද්දේ කාගේ වුවමනාවටද යන්න අප තවමත් ප්‍රශ්ණ කරමින් සිටිමු. පොහොසත් චැනලයෙන් මුදල් ගැනීමටත් වඩා අප මෙහිදී ප්‍රශ්ණ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පහසුවෙන් ඉපයිය හැකි අදායමක් පෞද්ගලික රසායනාගාර ගිණුම් වල බැර කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේම නිළධාරී තීරණය කිරීම කෙතරම් යුක්ති සහගතද යන්න පිළිබඳවය.

    මීට අමතරව මිලියන 250කට අධික මුදලක් වැය කරමින් අද වන විටත් කිසියම් රහසිගත මොඩලයකින් පරිපාලනය කරන්නට උත්සහ කරමින් සිටින මුල්ලේරියාව අණුක ජීවී රසායනාගාරය වැය කරන ලද මුදලට සාධාරණ PCR ධාරිතාවක් ලබා නොදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි සැලකිල්ලක් නොදැක්වීම ජුගුප්සාජනකය.

    නමුත් අප රටේ මහජනතාව වෙනුවෙන් ඒ පිළිබඳව විමසිලිමත් වන්නේ ලෝක ආධාර යටතේ හෝ වැය කරන ලද එම මුදලෙහි වටිනාකම ලෙස අදාල PCR ධාරිතාවය කෝවිඩ් වසංගතයෙන් බේරීම සඳහා වෙර දරමින් සිටින රටේ මහජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම සූදානම් කර තැබිය යුතු බැවිනි.

    පෞද්ගලික අංශයට වැඩි බර තැබෙන තීන්දු ගැනීම

    කෙසේ නමුත් PCR පරික්ෂණ ධාරිතාව පිළිබඳව තීරණ ගැනීමේ සාකච්ඡා කිසිවකට හෝ එම පරික්ෂණ සිදු කරමින් සිටින වෘත්තිකයන් හෝ ඔවුන්ගේ වෘත්තීයවේදී විද්වත් ආයතන නොකැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් ගත හැකි සෑම උත්සහයක්ම ගනිමින් සිටින අතර ඒ වෙනුවට ඔවුන්ගේ නිරන්තර සාකච්ඡාවන් සිදු වන්නේ අදාල ව්‍යාපාරිකයන් හා පොද්ගලික ආයතන සමඟය. ඒ අනූව පෞද්ගලික අංශයට වැඩි බර තැබෙන තීන්දු ගැනීම හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර ධාරිතාව පිළිබඳව අනවබෝධයක් ඇති වීම ස්වාභාවික වුවද ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගේ හෝ ජනාධිපතිවරයාගේ අවධානය මෙතෙක් යොමු නොවීම අපට ස්වාභාවික තත්වයක් ලෙස සැලකිය නොහැක.

    දැනට මෙම සියළු බැරෑරුම් තත්වයන් යටතේ වුවද 10,000ක පමණ PCR ධාරිතාවක් කළමනාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිය. පැය 12ක පමණ කාලයකදී රසායනාගාරයට පැමිණෙන නිදර්ශකයක් සඳහා විධිමත් වාර්තාවක් නිකුත් කළ හැකිය. ඊට අවශ්‍යවන්නේ ලැබෙන නිදර්ශක ප්‍රමාණය අදාල රසායනාගාර වලට බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමය.

    පරීක්ෂණ වාර්තා වල නිරවද්‍යතාවය පිළිබඳව බරපතල ගැටළු ඇති කර ගැනීම

    නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය හෝ වෙනත් එක් ආයතනයක් තුල සියළු වර්ගවල PCRනිදර්ශක ගොඩ ගැසෙන්නට ඉඩ හැර ඇති වන ව්‍යාකූල තත්වය තුල වාර්තා ප්‍රමාද වීමට විකල්පයක් ලෙස නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත වගකීම පවරා පරීක්ෂණ වාර්තා වල නිරවද්‍යතාවය පිළිබඳව බරපතල ගැටළු ඇති කර ගැනීම කෝවිඩ් මර්ධන වැඩසටහනම අනවශ්‍ය අර්බුධයකට පත් කිරීමකි. PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණ රසායනාගාර වෙත අනවශ්‍ය වගකීමක් පැවරීම හේතුවෙන් වැරදි වාර්තා නිකුත් වීම සම්බන්ධව අපැහැදිලි ඉතිහාසයක් පැවතියදී පවා රජයේ රසායනාගාර ධාරිතාව පිළිබඳව කිසිඳු ගැටළුවක් නොතිබුනු අවස්ථාවලදී පවා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික අරමුණු සමඟ කෝවිඩ් PCR මර්ධන වැඩසටහන අතිපිහිත කරවීම හේතුවෙන් නැවත මේ මොහොතේ නිර්මාණය වී අර්බුධයද සෞඛ්‍ය බලධාරීන්ගේ සැලකිල්ලට ලක් විය යුතුය.

    මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාලව නිකුත් කර තිබූ සමහර වාර්තා පිළිබඳව මතුවූ වූ සැක සහිත අවස්ථා විමර්ශණය කිරීමේදී පෞද්ගලික රසායනාගාර මඟින්ද මාස කිහිපයක් තිස්සේ වාර්තා නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත. නමුත් ඒ සඳහා බලය සැපයීමේ තීරණය කවුරුන් විසින් කිනම් අවස්ථාවේ ගනු ලැබූවක්ද යන්න මෙතෙක් අපැහැදිලිය. මෙම තත්වය වඩාත් තීව්‍ර කරමින් පෞද්ගලික අංශයට වරදින වාර්තා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නැවත නොමිලේ පරීක්ෂා කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය කටයුතු කරමින් සිටින අතර එම තීරණයටද අයිතිකරුවෙකු හෝ ඒ සඳහා ලිඛිත නියෝගයක්ද මෙතෙක් හමුවී නොමැත.

    ලොව පුරා භාවිතා වන විද්‍යාත්මක විකල්පයක් පිළිබඳව ඇස් වසා සිටීම

    සියල්ල මෙසේ සිදු වෙමින් තිබියදී අදාල ආයතන වල සේවයේ යෙදවීමට සූදානමින් සිටින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන් පත්කිරීමට මුදල් අමාත්‍යාංශ අනුමැතිය මෙතෙක් ලැබී නොමැත. එය සුවිශේෂි කරුණක් ලෙස නොසැලකීම පිළිබඳව ගැටළුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති බවක් පෙනෙන්නටද නැත. මුල්ලේරියාව අණුක ජීවී රසායනාගාරයේ සහ අනෙකුත් අණුක් ජීවී රසායනාගාර 24 පැය පුරා ක්‍රියාත්මක කිරීමේදී සේවයේ යොදවන ලද නිළධාරීන්ට සාමාන්‍ය අතිකාල ගෙවීම සඳහා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය තවදුරටත් ප්‍රමාද වෙමින් පවතී.

    මේ සියළු කරුණු PCR ධාරිතාව රැක ගැනීම සඳහා අදාල වන අතර කෝවිඩ් වසංගතයේදී ඒවා තවදුරටත් ගැටළු ලෙසම නොපැවතිය යුතුය. මොනම තත්වයක් යටතේ වුවද, කෙතරම් PCR ධාරිතාවක් පැවතියද කොවිඩ් වලට අභියෝග කිරීමට කරම් අප බොළඳ විය යුතු නැත. එබැවින් අනවශ්‍ය ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම හා අනවශ්‍ය ලෙස PCR සඳහා පිරිවැයක් දැරීම අප පාලනය කල යුතුය. ඒ වෙනුවෙන් ලොව පුරා භාවිතා වන විද්‍යාත්මක විකල්පයක් පිළිබඳව ඇස් වසා සිටීමේ සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන්ටද  අප හසු විය යුතු නැත.

    පෞද්ගලික අංශය හෝ වේවා අධ්‍යයන රසායනාගාර හෝ වේවා ක්ෂණික පරික්ෂණ හෝ වේවා අවශ්‍ය නොවන බවට බැහැර කල නොහැක. නමුත් ඒවා සියල්ල රටේ මහජනතාවගේ උවමනාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සූදානම් කර තැබිය යුතු අතර විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික ලාභය උදෙසා ඒවා අනිසි අයුරින් යොදවා ගැනීම පිළිබඳව පමණක් අතිශයින් සැළකිලිමත් විය යුතුය’.

    StationCurrent capacityDuration/hrMaximum capacity
    1Kandy NH16012300
    2Karapitiya TH25024300
    3MRI50012750
    4Nuwaraeliya DGH
    5Badulla DGH601296
    6Apeksha – Maharagama
    7IDH – Angoda50024750
    8Batticaloa TH18818282
    9Jaffna TH20012 to 18200
    10BIA – Katunayake50012750
    11Colombo East – Mulleriyawa1000241250
    12AnuradhapuraTH16024300
    13Rathnapura DGH18816300
    14CNTH – Ragama18812200
    15POCT PCR Systems (36)0Apr-164500
    Total38949978

    රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය

  • කොරෝනා පොකුරු රටේ තැන තැන.. සමාජ පැතිරීමේ රතු නිවේදනය ආසන්නයේ – GMOA

    කොරෝනා පොකුරු රටේ තැන තැන.. සමාජ පැතිරීමේ රතු නිවේදනය ආසන්නයේ – GMOA

    අද වන විට රටේ තැනින් තැන කොරෝනා ආසාදිතයන් සමූහ පොකුරු වශයෙන් හමු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    මෙම ඇතැම් රෝගීගේ වෛරසය ආරම්භක ස්ථානය සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇතැයි සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

    මේ හේතුවෙන් කොරෝනා රෝගය සමාජගත වූ බවට නිවේදන නිකුත් කිරීමට සිදුවන අන්තිම අවදානම් අදියරට රට ශ්‍රී ලංකාව පත්ව සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේ ය.

    කෙසේ නමුත් රෝගීන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වී තිබීම බෙහෙවින් වාසි සහගත තත්ත්වයක් වී ඇති බවද ඔහු පවසයි.

    කොරෝනා ආසාදිතයන්ගේ ආරම්භක තැන සොයනවාට වඩා දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් ගැන අවශ්‍ය කටයුතු කිරීමට සාකච්ඡා පවත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

    එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක් බවයි.

    එනිසා පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය කුඩාම ඒකකයට සංචරණ සීමා පැනවීම් බවද ඔහු පැවසීය.

    ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අවදානම හඳුනාගෙන අවශ්‍ය කොටස් සදහා සංචරන සීමා පැනවීම වඩා සුදුසු බවද ඔහු පැවසුවේය.

    එමගින් සමස්ත රටට සිදුවන බලපෑම අවම කර ගත හැකි නමුත් දැනට සිදුවන සං ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණයෙන් සතුටු විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

    අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළ හොත් රටම වසා දමන අවදානමක් ඇති වනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

  • සියලුම ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය

    සියලුම ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් අද (17) දින කොළඹ සිට පිටත්ව යන සියලුම ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

    ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) විසින් අද නිකුත් කළ නියෝගයට අනුව, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සියලුම මගීන් COVID-19 PCR පරීක්ෂණ වාර්තාවක් සිදු කර තිබීම අනිවාර්ය කර තිබේ.

    ඒ අනුව සිය පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත එම පරීක්ෂණයට මුහුණ දී සිටිය යුතු බව  අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට දැනුම් දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ. මෙම නිවේදනය 2020 ඔක්තෝබර් මස18 දින සිට ක්‍රියාත්මක වේ.

    වැඩිවිස්තර ගුවන් මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිත ඇමතීමෙන් හෝ +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලබාගත හැක. එසේත් නොමැතිනම් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසෙන්න .

    ඔබේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍ය අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි. අපි ඉක්මනින්ම ඔබ සමඟ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙමු.

  • Covid-19: නව ප්‍රතිකාරයක් ගැන සමාජමාධ්‍යවල ‘සුපිරි බොරුවක්’

    Covid-19: නව ප්‍රතිකාරයක් ගැන සමාජමාධ්‍යවල ‘සුපිරි බොරුවක්’

    COVID-19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීම සදහා උණුසුම් ජලය, ලුණු වතුර සහ විනාකිරි පානය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන  දැක්වෙන පොස්ටු කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සහ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරු වන අකාරයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය.

    විශේෂයෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම් වල සිටින ප්‍රසිද්ධ චරිත පවා මෙම අසත්‍ය පුවත කිසිදු සොයාබැලීමකින් තොරව තම සමාජ මාධ්‍ය අනුගාමිකයන් වෙතට හුවමාරු කොට තිබේ. මෙවැනි මුලාශ්‍ර නොමැති පුවත් හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අවධාරණය කරමු. 

    මෙවැනි අසත්‍ය පුවත් හුවමාරු වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ගත කරන්නන් හට 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තියට අනුව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරනා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දෙමු.

  • ශ්‍රී ලංකාවේ පළමු වරට රෝහල්ගත කොවිඩ් රෝගීන් ගණන 2000 ඉක්මවයි

    ශ්‍රී ලංකාවේ පළමු වරට රෝහල්ගත කොවිඩ් රෝගීන් ගණන 2000 ඉක්මවයි

    මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබේ. මෙරට තුළ රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය.

    වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී.

    මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3395 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    කෙසේවෙතත් තවත් ආසාදිතයින් 2067 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

  • ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි

    ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි

    හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියේය.

    එසේම මේ යන ආකාරයට තවත් වසර කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාව ස්ථිර වශයෙන්ම චීන කොලණියක් බවට පත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඊට එරෙහිව ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බවත් ඒ සදහා වන ඇමෙරිකානු දූත කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.

    විසිවෙනි සංශෝධනය වනු ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමට එෙරහිව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ කුමන්ත්‍රනය බවද ඔහු පෙන්වා දෙයි.

    ජනතාව විශ්වාසය තබා ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට රට බාර දී ඇත්තේ රට රැක ගැනීමට නමුත් ඔවුන් රට පාවාදෙනවා නම් ජනතාව අසරණයි කියා බලා නොසිටිනු ඇති බවත් ජනතාවට තම බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

    -ලංකා සී නිවුස්-

  • කොරෝනාට අභියෝග කරමින් ලෝකයේ ලොකුම එළවළු එළිබසී

    කොරෝනාට අභියෝග කරමින් ලෝකයේ ලොකුම එළවළු එළිබසී

    කොවිඩ් වසංගතය සමග ලෝකය පුරා අගළු දැමීම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම බොහෝ රටවල මේ කාලයේ ‘ගෙවතු වගාව‘ අතිෂය ජනප්‍රිය කටයුත්තක් වී තිබෙනවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. පසුගිය කොවිඩ් අගුළු දැමූ සමයේ ලංකාවේ ගෙවතු වගාව අතිෂය ජනප්‍රිය වුණා. දැන් යළිත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත එය යළිත් ක්‍රියාත්මක වෙනවා.

    අපි මේ ලිපිය පළ කරන්නේ ලංකාවේ ගෙවතු වගාකරුවන් අතර උත්තේජනයක් ඇති කරන්න. මොකද ලෝකය පුරාම ලැබෙන පොදු අත්දැකීම වන්නේ ‘ගෙවතු වගාව විනෝදාත්මක අත්දැකීමක්‘ බවයි.

    ලංකාවේ අපිත් ගෙවතු වගාව ‘හුදු ලාභය‘ ගැන නොසිතන දෙයක් ලෙස සැලකුවහොත් වත්මන් ආර්ථික හා සෞඛ්‍ය ගැටලු රැසක් විසදී යන බව මේ අනුව පැහැදිලියි.

    Covid-19 වසංගතය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යෙය් වගාකරුවන්ට මේ වසරේදී ඔවුන්ගේ යෝධ එළවළු ප්‍රදර්ශනය කිරීමට ඇත්තේ ඉතා අල්ප අවස්ථාවකි

    කොරෝනා වසංගතය නිසා මේ වසරේ මහා බ්‍රිතාන්‍යෙය් සාම්ප්‍රදායිකව පැවැත්වෙන බොහෝ උද්‍යාන විද්‍යාත්මක සංදර්ශන අවලංගු කර ඇති අතර, සුපිරි එළවළු වගා කරන්නන්ට ඔවුන්ගේ නිෂ්පාදන පෙන්වීමට ඇති අවස්ථාව ඉතා අල්පය.

    කොරෝනා වසංගතය බොහෝ දෙනෙකුට ඒවා පෙන්වීම නැවැත්විය හැකි වුවද, ඒවා වර්ධනය වීම නතර කළේ නැත.

    ශාක පෝෂක සමාගමක් වන කැනා, (Canna, a plant nutrient company) යෝධ එළවළු ශූරතාවලිය සංචාරය සඳහා රැගෙන ගියේ මැල්වර්න් සරත් ප්‍රදර්ශනය අවලංගු කිරීමෙන් පසුව වන අතර ජාතික එළවළු සංගමය (National Vegetable Society (NVS) සිය තරඟ කිහිපයක් අන්තර්ජාලය හරහා ගෙන ගියේය.

    වගාකරුවන්ට ඔවුන්ගේ ප්‍රදර්ශනය ඡායාරූප ගත කිරීමෙන් සහ විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කිරීමෙන් ඇතුළු විය හැකිය. ලෝක වාර්තා පහක් තබා ඇති නොටිංහැම්ෂයර් හි ජෝ ආතර්ටන් (Joe Atherton) වැනි එළවළු වගාකරුවන්ට තම 2020 අස්වැන්න විනිසුරුවන්ට ඉදිරිපත් කිරීමට මෙය ඉඩ දුන්නේය.

    ජෝ ආතර්ටන් සිය යෝධ එළවළු සමඟ
    යෝධ එළවළු වගා කිරීම වෙනඅවෙන් ජෝ ආතර්ටන් දැනටමත් ලෝක වාර්තා පහක් තබා ඇත

    මෑන්ස්ෆීල්ඩ් වුඩ්හවුස් හි 65 හැවිරිදි ආතර්ටන් මහතා පසුගිය සති අන්තයේ ‘මෑන්ස්ෆීල්ඩ් හි ද ග්‍රෝ ෂෝ: ඔන් ටුවර් (The Grow Show: On Tour in Mansfield) වෙත සිය යෝධ එළවළු කිහිපයක් රැගෙන ගියේය.

    ඔහු විශ්වාස කරන්නේ ඔහු සිය හයවන ලෝක වාර්තාව පිහිටුවා ඇති බවයි. මෙවර දිගම සල්සිෆයි  (the longest salsify) සඳහා එය හිමිවන බව ඔහු විශ්වාස කරයි.

    Parsnip එකකට සමාන පෙනුමක් ඇති එය (The root vegetable) අගුලු දැමීමේදී මීටර් 5.5 (අඩි 18) දක්වා වර්ධනය විය. මීටර 8.5 (අඩි 27) ක වේගයෙන් වර්ධනය වෙමින් ඔහු තම දිගම බීට්රූට් වාර්තාව ද පරාජය කළේය.

    ජෝ ආතර්ටන්
    ජෝ ආතර්ටන් දිගම බීට්රූට් සඳහා තමාගේම වාර්තාවක් පරාජය කළේය

    වසංගතය හේතුවෙන් තමා මේ වසරේ සහභාගී වන එකම තරඟය මෙය බව ආතර්ටන් මහතා පැවසීය.

    කැනාහි හොලි බෝලස් මෙසේ පැවසීය: “සුපුරුදු සංදර්ශන සියල්ල අවලංගු කර තිබියදීත් [වගාකරුවන්ට] ඔවුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අවස්ථාව ලබා දීමට අපට අවශ්‍ය වුණා”

    පළමු වරට යෝධ එළවළු වගා කරන්නන් කිහිප දෙනෙකුගේ උනන්දුවක් ද මෙවර ඇත.

    එවැනි නවකයකු වන – ඩර්බිෂයර් හි වින්ගර්වර්ත්හි ඩොමිනික් ඩ්‍රිස්කොල් මහතා අගුලු දැමීමේදී වෙන් කළ කාලය තුළ කිලෝ ග්‍රෑම් 22ක් බර ගෝවා ගෙඩියක් වගා කළේය.

    “මම සාමාන්‍යයෙන් යෝධ එළවළු කරන්නේ නැහැ,” ඔහු පැවසීය. 

    “මම එළවළු ප්‍රදර්ශනය කරන්නේ ඒවා විශාල ලෙස පෙනෙනවාට වඩා ලස්සන නිසයි. මම එහි බීජ ලබා ගත්තා”

    ඩොමිනික් ඩ්‍රිස්කොල් සිය යෝධ ගෝවා සමඟ
    ඩොමිනික් ඩ්‍රිස්කොල්ගේ යෝධ ගෝවා ගෙඩියේ බර කිලෝග්‍රෑම් 22 කි

    “එය එක්තරා ආකාරයක උද්දීපනයක්, වර්ධනය වීමේ සතුට හරිම අපූරුයි. ඒ නිසා අස්වැන්න නෙළීම ඇත්තෙන්ම කනගාටුදායකයි,” ඔහු පැවසීය.

    “මා සතුටට පත් වන කරුණ වන්නේ ඒවා වැඩීමට සැලැස්වීම සහ ඒවා වර්ධනය වීම දැකීමයි.”

    යෝධ කෝර්නිෂ් උරුමක්කාර ගෝවා
    ඩ්‍රිස්කොල් මහතා පවසන පරිදි බොහෝ යෝධ එළවළු මෙන් නොව ගෝවා “අපූරු” රස බැලීමකි

    39 හැවිරිදි ඩ්‍රිස්කොල් මහතා තම කෝර්නිෂ් උරුමක්කාර ගෝවා පෙන්වීමට අවස්ථාවක් නොමැති විට ඔහුට කළ හැකි එකම දේ කළේය. ඒවා ආහාරයට ගත්තේය.

    බොහෝ යෝධ එළවළු මෙන් නොව එය රසවත් බව ඔහු පැවසීය.

    “අපි ඊයේ රෑ එයින් ටිකක් ආහාරයට ගත්තා. ඒක හරිම අපූරුයි – ඇත්තටම නැවුම් හා හැපෙනසුළුයි,” ඔහු පැවසීය.

    කෙවින් ෆෝර්ටි
    කෙවින් ෆෝටේ පවසන්නේ අගුලු දැමීමේ සිට වර්ධනය වීමේ උනන්දුව ඉහළ ගොස් ඇති බවයි

    සවුත් වේල්ස්හි කෙවින් ෆෝර්ටි, ඔන්ලයින් හරහා යෝධ නිර්මාංශ ෆේස්බුක් කණ්ඩායමක්  (giant veg Facebook group) පවත්වාගෙන යන්නෙකි.

    ලොව පුරා සිටින වගාකරුවන්ට සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී ඇති බව පැවසීය.

    “අපි අන්තර්ජාලය හරහා විනෝදජනක තරඟ කිහිපයක් පවත්වා තිබෙනවා. වත්මන් තරුණ පරම්පරාව අතර දැන් යෝධ එළවළු ආහාරයට ගැනීම කෙරෙහි විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

    වගාකරුවන් වැඩිහිටි නිවාස හා ආහාර බැංකු (food banks) රැකබලා ගැනීම සඳහා එළවළු පරිත්‍යාග කර ඇති බව ඔහු පැවසීය.

    “එය විනෝදජනක විනෝදාංශයක් වන අතර එය මිනිසුන්ට පිටතට යාමට සහ අගුලු දැමීමේදී ධනාත්මකව සිටීමට උපකාරී වේ.” ඔහු වැඩි දුරටත් පැවසුවා.

    බී.බී.සී. වාර්තාවකි. – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කොරෝනා හැදුනට මැරෙන්නේ බොහෝම සුළු පිරිසක්

    කොරෝනා හැදුනට මැරෙන්නේ බොහෝම සුළු පිරිසක්

    කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    නමුත් මෙම වෛරසයට වැඩිහිටියවන් ගොදුරු වුවහොත් ඔවුන් මරණයට පත්වීමේ ඉඩකඩ ඉහළ වැඩි බව ද ඇය සඳහන් කරන්නීය.

    ඒ නිසා වැඩිහිටියන් මෙම රෝගයට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

    අද පෙරවරුවේ හිරු රූපවාහිනී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

    කොරෝනා රෝගීන් සඳහා දැනට රෝහල්වල ධාරිතාවන් ‍ප‍්‍රමාණවත් බවත් අවශ්‍ය වන්නේ නම් ඒ ඉඩකඩ පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.

    උපුටා ගැනීම: ලංකා සී නිවුස්

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් නෑ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් නෑ

    රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දින (16) පැවසීය.

    එමෙන් ම කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය පවත්නා පොලිස් බල ප්‍රදේශ තුළ විභාග මධ්‍යස්ථානවල රාජකාරී කටයුතුවල නිරතව සිටින ගුරුවරුන්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රවාහන අපහසුතා සම්බන්ද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, රජය භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

  • මිනුවන්ගොඩ කොරෝනා රැල්ල ගැන සුපිරි හෙළිදරව්වක්

    මිනුවන්ගොඩ කොරෝනා රැල්ල ගැන සුපිරි හෙළිදරව්වක්

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් -19 දෙවන රැල්ල පිළිබදව සමාජයේ සංවාදයට ලක්ව තිබෙන කරුණු 08ක් පිළිබද ජනපතිවරයාගේ අවධානය යොමු කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් ලිපියක් යවා ඇත.

    අමරසේකර මහතා විසින් ජනපතිවරයාට යොමුකරන ලද ලිපියේ සදහන් වන්නේ සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී ක‍්‍රියාවක හෝ රජයට එරෙහිව කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක නිරත වී ඇත්නම් ඔවුන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික සංවිධාන ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

    එම සම්පුර්ණ ලිපිය මෙසේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
    ජනාධිපති කාර් යාලය,
    කොළඹ 01.

    අතිගරු ජනාධිපතිතුමනි,

    කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව

    කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම සමගම සමාජයේ විවිධ පාර් ශව වලින් වෙනත් විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල කෙරෙමින් තිබෙන බව රහසක් නොවේ. ජාතික සංවිධාන ලෙස එදිනෙදා මහජන සබඳතාවලදී ඊට අදාළව විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට අපට සිදු වී ඇත. එම තත්වය වසංගත පාලනයට අදාළව මහජන සහාය ලබා ගැනීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීම යන සාධකවලට එරෙහිව අගතිගාමී ලෙස බලපාන බව අපට පෙනී යයි. ඊට අමතරව එම තත්ත්වය කොවිඞ් පළමු රැල්ල අතිසාර්ථකව මැඩලීම මගින් ඔබතුමා ප‍්‍රමුඛ රජය විසින් දිනාගත් මහජන ප‍්‍රසාදය සහ ගෞරවයට අදාළව ද නිෂේධාත්මක බලපෑම් ඇති කරන බව පැහැදිලි කරුණකි.

    එම නිසා සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී ක‍්‍රියාවක හෝ රජයට එරෙහිව කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක නිරත වී ඇත්නම් ඔවුන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අප ජාතික සංවිධාන වශයෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් සහ ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

    1. මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ආයතනයට අයත් කර්මාන්ත ශාලාවට එම සමාගමට අයත් ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි කර් මාන්ත ශාලාවේ සිට සේවකයන් අවස්ථා කිහිපයක දී ගුවන් මගින් රැගෙන විත් නිරෝධායන උපදෙස්වලට පටහැනිව වැඩමුළු සහ අභ්‍යන්තර විගණනයක් සිදු කිරීම. එසේ අවස්ථා කිහිපයක දී ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට සේවකයන් පැමිණි බව හමුදාපතිවරයා විසින් පුවත්පත්වලට ප‍්‍රකාශකොට ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද ඊට අදාළව ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යවලට නිකුත්කොට ඇත.

    2. දැනට ඉතා බරපතළ ලෙස කතාබහට ලක්වෙමින් ඇති සැප්තැම්බර් 22 දින මත්තල ගුවන්තොටුපළින් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දියානුවන් හෝ ඉන්දියාවේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් නිසි ලෙස නිරෝධායනය නොවූ බවට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඊට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් නිල වශයෙන් පුවත්පත්වලට ප‍්‍රකාශයක් සිදුකොට තිබිණි. එම ගුවන් මගීන් පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව තොරතුරු ලබාදීම අදාළ ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා මහජන සැකය තවදුරටත් වර්ධනය වේ.

    3. එසේ විදේශ වලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන පිරිස් ආරක්ෂක හමුදා විසින් නිරෝධායනයට ලක් කරන බව සඳහන් වුව ද ප‍්‍රායෝගිකව එම කටයුත්ත සිදු කරනු ලබන්නේ පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් බවට සහ ඔවුන් විසින් එසේ පිරිස් හෝටල් වෙත රැගෙන යාමේ දී හමුදාව ඔවුන් කැටුව නොගිය බවට ද වාර් තා පළ වේ. එසේ නිරෝධායනයට ලක් වූ බව කියන පිරිස් සහ හෝටල් හෝ නිවාස පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එවැනි තත්ත්වයක් තුළ ඊට පෙර රට තුළට පැමිණි පිරිස් සම්බන්ධයෙන් ද ඒ ආකාරයට ක‍්‍රියාකොට ඇති බවට සාධාරණ සැකයක් මතු වේ.

    4. ඒ ආකාරයට දක්නට ලැබෙන යම් වගකිවයුතු පිරිස්වල වගකීම් විරහිතභාවය හෝ නොසැලකිලිමත්භාවය පිළිබඳ මහජන සැකය දුරු කිරීම ඉතා වැදගත් වන්නේ, අදාළ සමාගමට ඉන්දියානු සහ ඇමරිකානු ආයතන සමඟ තිබෙන බැඳීම් නිසා සමස්ත සිදුවීම් මාලාව ශ‍්‍රී ලංකාවට එරෙහි බාහිර කුමන්ත‍්‍රණයක් ලෙස අර් ථ දැක්වීමේ තත්වයක් තිබෙන බැවිනි.

    5. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර් මාන්ත ශාලාව තුළ ශ්වසන රෝග තත්වයක් ලෙස දක්නට ලැබෙන කොවිඞ් වසංගතයේ දෙවන රැල්ල මතුවන්නේ සැප්තැම්බර් මස 24 වැනි දිනය ආශ‍්‍රිත දිනයක බව අනාවරණය වී ඇත. එම තත්වය ඇති වූ පසුව අදාළ සමාගමේ කළමනාකාරීත්වය සහ එහි සෞඛ්‍ය නිලධාරීන් ඊට ප‍්‍රතිචාර දක්වා ඇති ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි බව පුවත්පත් වාර් තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. යම් පිරිස් සඳහන් කරන ආකාරයට එම තත්වය ව්‍යාපාරික ඇණවුම් නිසි වේලාවට නිම කිරීම සඳහා වූ පෙළඹවීම නිසා හෝ තවත් පිරිස් සඳහන් කරන ආකාරයට ධන තන්හාව හෝ මිනිස් ජීවිත පිළිබ`ද නොසැලකිල්ල නිසා ඇති වූවක් ලෙස විග‍්‍රහ කිරීම අර්ධ සත්‍යයක් විය හැක. ඒ මගින් කළමනාකාරීත්වයේ වගකීම් විරහිතභාවය සහ නොසැලකිලිමත්භාවය ප‍්‍රදර්ශනය කෙරෙනවාට අමතරව ඉහත සඳහන් කළ කුමන්ත‍්‍රණ න්‍යාය ද තහවුරු වේ. එහි දී සැකයට ප‍්‍රධාන වශයෙන්ම හේතුවන්නේ රෝග ලක්ෂණ පෙන්වූ 30කට අධික පිරිසක් ඔවුන්ගේ ගම්බිම්වලට යැවීම ය. එහි දී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් තොරව පොදු ප‍්‍රවාහන සේවා මගින් ඔවුන් දුර බැහැර ප‍්‍රදේශවලට යැවීම මඟින් වසංගත පාලනයට අදාළ මූලික මූලධර් ම පවා උල්ලංඝනය වේ. මෙම තත්වය නිසා අද වන විට ආශ්‍රිතයන් හඹා යාම සඳහා ආරක්ෂක හමදා වලට ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදීමට සිදු වී ඇත.

    6. එසේ වුවත් බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හඳුනාගත් පසුව සෞඛ්‍ය අංශ ක‍්‍රියාකොට ඇති ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි අතර එම තත්වය සාමාන්‍ය මහජනයා පවා පුදුමයට පත් කළ බව රහසක් නොවේ. දෙවනි රැල්ලේ පළමු රෝගියාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා බැලීමේ වසංගත රෝග විද්‍යා ක‍්‍රමවේද පිළිබඳ මහජනයාට අවබෝධයක් නැතත් පළමු රෝගියා හමු වූ පසුව ඔහුගේ හෝ ඇයගේ ආශ‍්‍රිතයන් පිළිබඳව ගතයුතු පියවර පිළිබඳව මහජනයාට යම් අවබෝධයක් ඇත. එසේම පළමු රැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව දෙවැනි රැල්ලක් වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම වඩා අනතුරුදායක ආයතන සහ තත්වයන්ට අදාළව පැහැදිලි නිර් දේශ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇතැයි මහජනයා විශ්වාස කරති. එහෙත් එසේ සිදුවූවා ද යන්න සහ සිදුවූවා නම් එම නිර් දේශ අදාළ ආයතනය විසින් නොසලකා හරිනු ලැබුවේ කුමක් නිසා ද යන්න දැන ගැනීමේ අයිතියක් මහජනයාට ඇත.

    7. ඒ සියල්ලටම වඩා බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හඳුනාගත් වහාම ඊට පෙර ආයතනයේ දක්නට ලැබුණු ශ්වසන රෝග තත්වයන් සැලකිල්ලට ගෙන කර් මාන්ත ශාලවේ සමස්ත සේවක පිරිස් නිරෝධායනයට ලක් කිරීම වෙනුවට PCR පරීක්ෂණවලට ලක් කළ සේවකයන් නිරෝධායනය සඳහා නිවෙස්වලට යැවීම බරපතළ වරදක් බව සාමාන්‍ය මහජනයාට පවා තේරුම්ගත හැක. එම සැකකටයුතු රෝගීන් නිවෙස්වලට ගමන් කරනු ලැබුවේ ත‍්‍රීරෝද රථවල සමූහ වශයෙන් සහ පොදු ප‍්‍රවාහන සේවාවලින් බවට සාක්ෂි ඇත. එසේ පළමු වටයේ දී නිවෙස්වලට යැවූ PCR පරීක්ෂණවලට ලක් කෙරුණු 100ක පමණ සේවකයන්ගෙන් 69 දෙනෙකු රෝගීන් බව තහවුරු විය. ඔවුන් බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ නොතිබූ බැවින් ඔවුන් නිවෙස් ආශ‍්‍රිත සෙසු මහජනයා සමඟ ගැවසීම නිසා බොහෝ පිරිසකට රෝගය බෝ කිරීමේ අවදානමක් ඇති අතර එම පළමු පෙළ ආශ‍්‍රිතයන් සහ ඔවුන්ගේ දෙවන පෙළ ආශ‍්‍රිතයන් සියලූදෙනා කඩිනමින් හඳුනාගැනීම පහසු නැත. ඒ නිසා සමාජය තුළ සැඟවුණු රෝගීන් සිටින බව සහ රෝගය සමාජයට සම්ප්‍රේෂණය වී ඇති බවට මහජනයා විසින් දක්වන අදහස් තාක්ෂණික තර් ක මගින් බැහැර කළ හැකිද යන ප්‍රශ්නය මතුවේ.

    8. එම තත්වය එසේ තිබිය දී දෙවන වතාවට PCR පරීක්ෂණවලට ලක්කරනු ලැබූ 1280ක් ද නිවෙස්වලට යැවීමට තීන්දු ගනු ලැබුවේ කවුරුන් විසින් ද යන ප‍්‍රශ්නය මතු වේ. ඒ අයගෙන් 50%කට වැඩි පිරිසක් රෝගීන් බව තහවුරු වූ නමුත් ඔවුන් සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශවලට බලවත් පරිශ‍්‍රමයක් දැරීමට සිදු වූ අතර යම් පිරිසක් සොයාගත නොහැකිව සමාජයේ සිටින බව වාර් තා වේ. ඒ සියලූදෙනාගේ ආශ‍්‍රිතයන් සහ ඔවුන්ගේ දෙවන පෙළ ආශ‍්‍රිතයන් සියල්ල පිළිබඳ සැලකීමේ දී මේ වන විට සමාජයේ ද්විතීක පොකුරු රාශියක් ඇති වී තිබෙන බව පිළිගැනීමට සිදු වේ. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට රෝගය, සමාජයට සම්ප්‍රේෂණය වී ඇති බව හෙවත් වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද යන සැකයද මතුවේ.

    මෙම සියලූ කරුණු සැලකිල්ලට ගැනීමේ දී වසංගත තත්වය සමාජයට පැතිරෙමින් තිබෙන බව පිළිගෙන ඊට අනුව කටයුතු කළ යුතු බව සහ සමස්ත සිදුවීම් මාලාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම මගින් මහජන විශ්වාසය තහවුරු කළ යුතු බව අපගේ විශ්වාසයයි. අප ජාතික සංවිධාන ලෙස මෙම කරුණු ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අපගේ සමාජ වගකීමක් ලෙස මෙන්ම ඔබතුමා එම කරුණු පිළිබඳව අවධානය යොමු කොට නිසි පියවර ගනු ඇතැයි යන විශ්වාසයෙනි.

    මෙයට,
    විශ්වාසී,

    ගුණදාස අමරසේකර,
    කැදවුම්කරු,
    ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.