Category: සුපිරි News

  • මැනිං වෙළඳපොළ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්

    මැනිං වෙළඳපොළ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්

    පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එය තවත් සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. මේ තත්ත්වය මත දැනට එළවළු හා පලතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද, 

    මැනිං තොග වෙළදපොළින් තොග සිල්ලර වෙළඳාම සඳහා එළවළු හා පලතුරු මිල දී ගත් වෙළඳ මහතුන් එම මිල දී ගැනීම් සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසද දන්වනු ලැබේ. 

    තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පලතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ. 

    මීට අමතරව  අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පලතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ.  

  • Covid-19: පීඩාවට පත් ගම්පහ 423,179 කට රු.මිලියන 3974.44 ක අධාර

    Covid-19: පීඩාවට පත් ගම්පහ 423,179 කට රු.මිලියන 3974.44 ක අධාර

    කෝවිඩ් 19 හෙවත්  කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,23,179 කට  රුපියල් මිලියන 3974.44 ක අධාර ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  මෙම වසංගතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වූ පිරිස් වලට රුපියල් 5000ක ආධාරයක්  ලබා දීමේ වැඩ සටහනට අමතරව මෙම ආධාර ලබා ඇති බවයි.

    අවදානම් කළාපයක් ලෙස හදුනා ගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන් 87030කට විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් මිලියන 2421.37 ගෙවා තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල දත්ත වලට අනුව වැඩිහිටි, ආබාධිත , ජ්‍යෙෂ්ඨ පුරවැසි  වකුගඩු ආධාර ලෙස පුද්ගලයන් 54329කට රුපියල් මිලියන 271.64 ක මුදලක් ලබා දී ඇත.

    ගැබිනි මව්වරුන් 21831 ක් සදහා පෝෂණ ආධාර ලබා දීමට වැය කල මුදල රුපියල් මිලියන 43.66 කි. මීට අමතරව පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින පවුල් 265,531 ක් හදුනාගෙන ඇති අතර ඒ සදහා රුපියල් 5000 දීමනාව ලෙස රුපියල් මිලියන 1327.65ක් ගෙවීමට නියමිතය.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම හේතුවෙන් රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් සිය ජීවනෝපාය කරගත නොහැකිව සිටින පවුල් වලට මෙම රුපියල් 5000ක ආධාරය ලබා දීමට ඒ සදහා පත් කල ජනාධිපති කාර්යය සාධන බලකාය තීරණය කළේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඉල්ලීම අනුවය. 

    මෙම වැඩපිළිවෙල වඩාත් විනිවිදභාවයෙන්  ක්‍රියාත්මක කිරීම සදහා ග්‍රාමීය මට්ටමේ කමිටුවක් නම් කෙරුණු අතර එම කමිටුව හරහා අදාල  පවුල් හදුනා ගැනින. වැඩ සටහන තවදුරටත්  විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සදහා නව උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් කර ඇති බවත් මෙම අධාරය ලැබිය යුතු සියලු දෙනාටම ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

  • මාස 03 දින 10යි: රු. කෝටි 2100ක මත්ද්‍රව්‍ය ‘නාවික හමුදාවට කොටු වෙලා’

    මාස 03 දින 10යි: රු. කෝටි 2100ක මත්ද්‍රව්‍ය ‘නාවික හමුදාවට කොටු වෙලා’

    කුඩු අහුවෙන තරමට ලංකාව කොලොම්බියාවක් වෙයිද ?‘ පසුගිය දාක බොහෝ දෙනෙක් කතා වුණා. ඊට හේතුව වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ‘සමුදුර නෞකාව‘ යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව (අප්‍රේල් 15) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමයි.

    DCIM\100MEDIA\DJI_0269.JPG

    මේ සමග තවත් වැදගත් කතාවක් හෙළි වුණා. ඒ ඉතිහාසයේ වාර්තාගත වැඩිම මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මෙම වර්ෂයේදී සිදු කිරීමට නාවික හමුදාව සමත් වීමයි.

    නාවික හමුදාවේ වාර්තා පවසන ආකාරයට 2020 වසරේ ගතවූ මාස 03 දින 10 ක කාලය තුළ හෙරොයින් කි.ග්‍රෑ 718 කුත් ‘අයිස්‘ කි.ග්‍රෑ 797 කුත් ‘කැටමින්‘ නැමැති නව මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 581 කුත් ගංජා කි.ග්‍රෑ 2475 කුත් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ථ වීථි වටිනාකම රුපියල් බිලියන 21ට ආසන්න වෙතැයි ගණන් බලා තිබෙනවා.

    පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවෙහි සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු, ඒ හරහා ලබා ගත් අත්දැකීම් සහ දේශිය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේදී තවත් මත් ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන බවත් එයින් යම් මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාවරණය වෙලා තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව 2020 මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව දින 14 ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කළා.

    ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අදාල මුහුදු ප්‍රදේශයේ ආවේක්‍ෂණ කටයුතු වල නිරත වෙමින් සිටියදී මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNODC) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප කිහිපයක් තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සමුදුර නෞකාව සමකය දෙසට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

    එහිදී 2020 අප්‍රේල් මස 10 වන දින රාජ්‍ය ධජයක් ප්‍රදර්ශනය කර නොමැති (Flag Stateless) සැක සහිත විදේශීය යාත්‍රාවක් සොයා ගෙන තිබෙනවා. පසුව එම යාත්‍රාව පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ රුපියල් කෝටි 327කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 281 ක් සහ අයිස් (Crystal Methamphetamine) නැමති මත්ද්‍රව්‍ය කිලෝ 48 ක තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

    ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු මෙන්ම චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ හා දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබෙනවා.

    විශේෂයෙන් දේශීය ධීවර ප්‍රජාව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසු නොවී තම කර්මාන්තය සිදු කළ යුතු බව නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කළා.

    තොරතුරු හා ඡායාරූප – නාවික හමුදා වෙබ් අඩවිය.

  • මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීම කඩිනම් පියවර

    මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීම කඩිනම් පියවර

    මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් ස්ථාන 16 ක පිහිටි විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල තුළ පිහිටුවා ඇති තම ඒකක හරහා සියලුම සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලබාදීමට එම කාර්යාංශය විසින් ගන්නා ලද තීරණයට අනුව, මැද පෙරදිග සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ සුභසාධන ක්‍රියාමාර්ග මෙම සතියේ දී අතිරේක වැඩිදියුණුවක් ලබා ඇති බව, මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වාර්තා කර තිබේ.

    මෙය දැනටමත් විදේශ අමාත්‍යංශය විසින් වෙන් කර ඇති අරමුදල් සහ ලොව පුරා නගර 67 ක පිහිටි ශ්‍රී ලංකා සංගම් සහ ආගමික ආයතන සමඟ සහයෝගයෙන් යුතුව මෙම දූත මණ්ඩල විසින් සපයනු ලබන සේවාවන්වලට අමතරව වේ.

    වර්තමාන COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ, එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීමේ ප්‍රයත්න ඉහළ නැංවීම පිණිස අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙය COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් මෙහි පැමිණීම සඳහා දැනට වසා දමා ඇති හෙයින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකි සංක්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාරී වීම සඳහා වේ.

    අපේ‍්‍රල් 15 වැනි බදාදා දින විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙම කලාපය අධීක්‍ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ පැවති වීඩියෝ සම්මන්ත්‍රණයක දී මෙම පියවරයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී. වර්තමාන අර්බුදය සම්බන්ධ පොදු කරුණු සහ අනෙකුත් පැතිකඩ පිළිබඳව ද මෙම රැස්වීමේ දී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවට බහරේන්, කුවේට්, ජෝර්දානය, ලෙබනනය, ඕමානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒකකවල ප්‍රධානීන් සහභාගී විය. මීට පෙර, පසුගිය සිකුරාදා (අපේ‍්‍රල් 10) විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විදේශ සබඳතා අමාත්‍යාංශයේ සහ නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ අදාළ ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හමුවූ අතර, විශේෂයෙන් වර්තමාන කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් මතුවන ප්‍රතිවිපාක පිළිබඳ සන්දර්භය තුළ මෙම සංක්‍රමණික සේවකයන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව එහි දී සාකච්ඡා කරන ලදී. අනතුරුව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාජික මණ්ඩලයේ රැස්වීමක දී මෙම යෝජිත වෙනස්කම් විධිමත් පරිදි අනුමත කරන ලදී.

    ඉහළ යමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි සිදුවීම්වල ප‍්‍රතිවිපාකයන්ට විසඳුම් සෙවීම සඳහා මෙහි දී විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, මෙම සමහර ශ්‍රමික කොටස්වලට ඔවුන්ගේ මූලික ජීවන තත්වයන් පවත්වා ගැනීමටත්, හැකි විටෙක දී ඔවුන්ගේ නිවෙස්වල සිටින පවුල්වලට සහාය වීමටත්, හදිසි ආධාර අවශ්‍ය වී තිබේ. දැනටමත් පොදු සමාවක් ප්‍රකාශයට පත් කොට, ශ්‍රමිකයන්ට ඉවත්ව යාමට අවසර දී ඇති රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලනික වශයෙන් නියැලීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ලියාපදිංචි නොවූ සේවකයින්ගේ තත්වය නීතිගත කිරීමේ දී හැකි විසඳුම් ලබා ගැනීමට සහ කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කිරීම, රැකියා අහිමිවීම සහ නෛතික තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති විවිධ ආරවුල් සඳහා සාමකාමී විසඳුම් සෙවීමට, පළාත් පාලන ආයතන හා අදාළ කම්කරු අමාත්‍යාංශ සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් දුන්නේය.

    COVID-19 වසංගතය ආසාදනය වී ඇතැයි සැකකරනු ලැබීම හෝ එසේ ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය ආධාර ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයන්, අදාළ වෛද්‍ය පහසුකම් සපයන දේශීය රෝහල් වෙත යොමු කිරීමට ක්ෂණික පියවර ගනිමින් සිටින බව ද, ඉන්පසු තානාපති කාර්යාල නිලධාරීන් විසින් ඒ පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බව ද මෙම දූත මණ්ඩල අමාත්‍යාංශයට වාර්තා කළේය.

    සමහර රටවල දී අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන්ට ආහාර සලාක බෙදා හැරීමේ දී හා වෛද්‍ය උපදෙස් ලබා දීමේ දී සහය වීම සහ මෙම ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමැති ස්වේච්ඡා ප්‍රජා සේවකයන් හරහා ශ්‍රී ලාංකිකයන් වෙත උපදේශනය ලබා දීම මඟින්, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ රතු ක්‍රෙසන්ට් සමිතිය වැනි බහුපාර්ශ්වික සංවිධානවලින් ලබා දුන් සහයෝගය පිළිබඳව ද මෙම වීඩියෝ සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කරන ලදී. මෙම සහයෝගය අගය කරමින්, අඛණ්ඩ ආධාරවල අවශ්‍යතාවය පෙන්වා දෙන අතර, සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අමතර සහය ලබා දෙන ලෙස ජිනීවාහි පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සහ ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ (IFRC) මූලස්ථානවලින් ඉල්ලා සිටිමින්, ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය  දූත මණ්ඩලය හා සහ ශ්‍රී ලංකාවේ පිහිටි එම නියෝජිතායතනවල ප්‍රධානීන් හරහා, මෙම අමාත්‍යාංශය විසින් කරුණු ඉදිරිපත් කර ඇත.

    සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සඳහා මෙම දූත මණ්ඩල විසින් පිහිටුවා ඇති දත්ත පාදක මඟින්, ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳ/ඒ හා සම්බන්ධ දත්ත සම්පාදනය කිරීම සඳහා පහසුකම් සලසා ඇති අතර, එය දැනට අමාත්‍යාංශය සමඟ බෙදාගෙන ඇත. ඊට අමතරව, විදේශ අමාත්‍යංශය විසින් දියත් කරන ලද සහ එතෙර සිටින ප්‍රජාවන් අතර පුළුල් ලෙස සංසරණය වන ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය, විශේෂයෙන් මෙවන් අර්බුදකාරී කාලයක දී අමාත්‍යාංශය හා දූත මණ්ඩල සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම හා සම්බන්ධ වීම සඳහා කදිම වේදිකාවක් ලෙස වර්තමානයේ දී පවතියි. අප්‍රේල් 15 වැනි දින වන විට මෙම ද්වාරයෙහි ලියාපදිංචි වී ඇති 59,419 දෙනාගෙන් 21,575 දෙනෙක් මැද පෙරදිග කලාපයේ පදිංචි අයවලුන් වෙති.

    මෙම අදාළ ස්ථානවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ දෛනික අවශ්‍යතා හා විමසීම් සඳහා ක්‍රියාත්මක වීම පිණිස, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන ඇමතුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යෙදෙන ලෙසත්, විදේශ අමාත්‍යාංශය සියලු දූත මණ්ඩලවලට උපදෙස් දී තිබේ.

  • ශ්‍රී ලංකා මහ බැංකුව ‘බැංකු අනුපාතිකය’ පහළ දමයි

    ශ්‍රී ලංකා මහ බැංකුව ‘බැංකු අනුපාතිකය’ පහළ දමයි

    අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනයේ සදහන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) දිනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා වූ පදනම් අංක 500කින් අඩු කර ඇති බවයි.

    හදිසි අවස්ථාවක දී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීන්දු කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇති බව ද අදාළ නිවේදනයේ සදහන් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූලව ස්වයංක්‍රීයව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කර තිබේ.

    බැංකු අනුපාතියකය යනු කුමක්දැයි අප කළ විමසීමකදී ජ්‍යේෂ්ඨ බැංකුකරුවෙකු සදහන් කළේ වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගැනීම සදහා මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ සඳහා පැනවෙන පොලී අනුපාතිකය ‘බැංකු අනුපාතිකය‘ ලෙසින් හැඳින්වෙන බවයි.

  • පාසල් වෑන්වලට අප්‍රේල් මාසයට කිසිම ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන් තහනම්

    පාසල් වෑන්වලට අප්‍රේල් මාසයට කිසිම ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන් තහනම්

    පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා.

    අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සදහන් කළා.

    රජයේ තීරණය නොසළකමින් නීති විරෝධී ලෙස විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම් වාර්තා වී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා එවැනි පැමිණිළි ඇත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් දැනුම් දුන්නා.

  • ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ එළි දකී

    ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ එළි දකී

    කොරෝනා වෛරස වසංගතය නිසා  අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • Palm oilවලට රු.100ක අලුත් බද්දක්

    Palm oilවලට රු.100ක අලුත් බද්දක්

    රජය විසින් Palm oilආනයනික බද්ද කිලෝවකට රුපියල් 200 සිට රුපියල් 300 දක්වා රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි Palm oil ආනයනකරුවෝ සදහන් කරති. නව බදු ඉහළ නැංවීම සමග රුපියල් 380ක්ව පැවති Palm oil කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවයි Palm oil ආනයනකරුවෝ සදහන් කරන්නේ.

  • COVID-19 හේතුවෙන් එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන්ට සදහා  රු. 5000 දීමනාව ගෙවීම 20 දා සිට

    COVID-19 හේතුවෙන් එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන්ට සදහා රු. 5000 දීමනාව ගෙවීම 20 දා සිට

    කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින අනෙකුත් ප්‍රතිලාභීන් තේරිීමේ ක්‍රියාවලින් 2020.04.17 සහ 18 දෙදින ආරම්භ කර 2020.04.19 දින හෝ ඊට පෙර ග්‍රාමිය කමිටු නිර්දේශ සහිතව ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු පිළිබදවත්. මෙම ගෙවීම් 2020.04.20 වන දා සිට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් හා නිර්දේශ අනුගමනය කරමින් ගෙවීම්  ආරම්භ  කිරීමට අදාලව දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    මෙම වැඩපිලිවෙල යටතේ මධ්‍යම රජය හා පළාත් සභාවලින් නිර්දේශ කර එවා ඇති පෙරපාසල් ගුරුවරුන්, පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්, රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්යන්ත්‍ර පේෂකර්මාන්ත කරුවන්, උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේ වතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යන රැකියා කාණ්ඩවල පවුල් ඒකක වලට මෙම දීමනා ගෙවීම සිදුකරනු ඇත.

    මීට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ,කාර්මාන්ත ක්ෂේත්‍රයේ, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන, ග්‍රාමීයව අලෙවිකරණයේ යෙදෙන, රැකියාවල නියලුන පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

  • ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

    ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

    ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි.

    රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්  අමාත්‍යාංශ ලේකම්වරු සමග (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

    රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නිතිය ලිහිල් කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් කෙරිණ.

    ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

    කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින්  ලබාදීමට ක්‍රියාකරන ලෙස ද ජනාධිපතිතුමා ලේකම්වරුන්ට දැනුම් දුන්නේය. අළුත් ආර්ථික රටාවක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සැකසීමේ වගකීම අමාත්‍යාංශ වෙත පැවරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන ඇතුළු නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර ගැනේ. සෙසු රටවල් මුහුණදි ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව ද අවධාරණය කෙරිණි.

     අපනයන කෘෂි බෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වගාකළ හැකි බිම් ඵලදායී ලෙස ඊට දායක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය ගමට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    අළුත් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එමෙන්ම  අත්දැකීම් සහිත ව්‍යාපාරිකයන්ට ද අවස්ථාව සලසා දිය යුතුය. සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • අදත් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 05ක් හමුවෙයි – මුළු ගණන 238ක්

    අදත් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 05ක් හමුවෙයි – මුළු ගණන 238ක්

    අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනකු හමු වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් අද දින ප.ව 22.04ට යාවත්කාලීන කළ වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව168 දෙනකු බවත් දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 144 දෙනකු බවත්ය. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 63 දෙනකු වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් 07ක ස්ථාවර මට්ටමේ පවතී.

  • Covid-19 දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ දමන හැටි

    Covid-19 දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ දමන හැටි

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන අපනයන ආර්ථිකයක් වන ඇඟලුම් කර්මාන්තය කොරෝනාවෛරසයත් (Covid 19) සමඟ බලවත් අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සමුළුවේ මහා ලේකම් ටියුලි කුරේ පවසයි.

    බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ මහලේකම්වරයා, ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම යන දෙපාර්ශවයෙන්ම මතුවෙමින් පවතින ප්‍රශ්නවලට මුහුණදීමට එම ක්ෂේත්‍රයේ නිරතවෙන්නන්ට සිදුව ඇතැයි සඳහන් කළේය.

    “දැනට පවතින වාතාවරණය තුළ ප්‍රශ්නය මාසතුනක පමණ කාලයකට බලපානවා. බලාපොරොත්තු වූ ආදායම රුපියල් බිලියන1.5ක්. එය නැතිවෙනවා. ඊටත් වඩා ප්‍රශ්නවලට ප්‍රශ්නය බරපතල වීමේ ඉඩකඩක් තියෙනවා” යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සමුළුවේ මහ ලේකම්වරයා පෙර අනතුරු ඇඟවීමක් කරයි.

    ”දැනට පෙනෙන හැටියට රට තුළ බලපැවැත්වීමට අවශ්‍ය ඇඳිරි නීතිය හේතුවෙන් වැඩ පටන්ගන්න බැරි තත්ත්වයක් පවතින්නේ. ලෝක තත්ත්වය අනුව ඇණවුම් අවලංගු කරන්න සිද්ධ වෙනවා”

    එසේම ලෝකයේ පවතින ආර්ථික වාතාවරණය අනුව දැනට ලැබී ඇති ඇණවුම් අවලංගු කිරීමට සිදුවිය හැකි බවත් ඔහු පවසයි.

    ඇඟලුම් නිෂ්පාදනය, මෝස්‌තරකරණය සහ අපනයනය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වේ.

    පසුගිය කාලය තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලබන ආදායමට අතිරේකව ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයනු ලබන ප්‍රමුඛතම ආර්ථිකය වුණේ ඇඟලුම් කර්මාන්ත ය. එමගින් නව දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත රැකියා නිර්මාණය කිරීමක් ද සිදුවිය.

    එම තීරණාත්මක අපනයන ආර්ථිකය රටට අහිමිවීමත් සමඟ මතුව ඇති ඊළඟ අභියෝගය වන්නේ එම ක්‍ෂේත්‍රයේ රැකියාවන්හි නිරතවෙමින් සිටි, විශේෂයෙන්ම ග්‍රාමීය පළාත්වලින් කර්මාන්තයට හවුල් වූ ඇඟලුම් සේවිකාවන් සහ වෙනත් ශ්‍රමිකයන් මුහුණ දී ඇති ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවයට අදාළ ගැටලුවය.

    ශ්‍රී ලංකාව තුළ දහසකට ආසන්න ඇඟලුම් කම්හල් නිෂ්පාදන කාර්යයේ නිරතවෙමින් ඇති බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

    ඊට අතිරේකව ශ්‍රී ලාංකික ඇඟලුම් ව්‍යාපාරිකයෝ මාලදිවයින, සිංගප්පූරුව සහ බංග්ලාදේශය වැනි රටවලද ව්‍යාපාරික කටයුතුවල නිරත වෙති.

    ඇඟලුම් ව්‍යාපාරික ලෝකයම අනතුරක

    Labourers work in a garment factory during a government-imposed lockdown as a preventative measure against the spread of the COVID-19 coronavirus.

    ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් කිහිපයක ජනගහනයෙන් සැලකිය යුතු අනුපාතයක් සම්බන්ධ නිෂ්පාදන ක්‍ෂේත්‍රයක් වන ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවලටත් කොරෝනා වෛරස් උවදුරත් සමඟ එල්ල වී පවතින්නේ නරක කාලයකි.

    ”අපේ ඇඟලුම් සේවක – සේවිකාවන් කොරෝනා වෛරසයෙන් බේරුනත් , ඔවුන් බඩගින්නෙන් මරණයට පත්විය හැකි අනතුරක් පවතිනවා”

    ඉන්දියාවේ ‘Ambattur Fashion’ ඇඟලුම් ව්‍යාපාරයේ හිමිකරු වන විජේ මහ්තානි එම අනතුර ඇඟවීම කරන්නේ කර්මාන්තය කඩා වැටී පවතින තත්ත්වය සංකේතවත් කරමිනි.

    එම ඇඟලුම් ව්‍යාපාරයේ රැකියා කරන ශ්‍රමිකයන් 18,000 කි.ඉන්දියාව ,බංග්ලාදේශය සහ ජෝර්දානය යන රටවල් තුනේ ඔවුන්ගේ ඇඟලුම් නිමැවුම්හල් ක්‍රියාත්මක වේ.

    එම කම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් දැනටමත් වසා දමනු ලැබ ඇති අතර,මේ මොහොතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි කම්හල පමණක් අර්ධ මට්ටමින් ක්‍රියාත්මක වේ.

    ව්‍යාපාරික ප්‍රජාව පවසන පරිදි සේවක වැටුප් ගෙවීම අසීරු අඩියකට පත්ව තිබෙන්නේ ඔවුන්ගේ රටවල පවතින කොරෝනා වෛරසය නිසාම නොවේ. ප්‍රධාන ගැටලුවවී තිබෙන්නේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි ප්‍රධාන ගැනුම්කරුවන් විසින් සාධාරණ නොවන කොන්දේසි පනවනු ලැබීමය. එම කොන්දේසි මූල්‍ය ගනුදෙනුවලට අදාළ වේ.

    කොරෝනාවෛරසයට සම්බන්ධ ප්‍රධාන කරුණු දෙකක් ඇඟලුම් ක්‍ෂේත්‍රයට තදින් බලපෑම් එල්ල කරයි.

    එම ප්‍රශ්න ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි මාසයේ දී චීනයෙන් මිළදී ගනු ලබන රෙදි තොග නොලැබීමත් සමඟය. චීනය රෙදිපිළි ආපනයනය කරන ප්‍රධාන රටයි. 2018 දී සිදුකරන ලද විගණනය අනුව, එය මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 118 තරමේ වෙළෙඳ ගනුදෙනුවකි.

    වැඩි ශ්‍රමිකයන් කාන්තාවන්

    Employees produce protective face masks at TNG (Thai Nguyen Garment) factory, 1.5 hours drive north of Hanoi, on February 6, 2020 in Thai Nguyen City, Vietnam.

    පෙබරවාරියෙන් අනතුරුව මෑත සතිවල චීනයේ රෙදිපිළි නිපදවන සමාගම් යළි විවෘත කරන ලද නමුත් වෙනත් පැත්තකින් ප්‍රශ්නය මතු විය. චීනයේ නිෂ්පාදනය ආරම්භ වීමත් සමඟ ඇඟලුම් අංශයෙහි නිෂ්පාදකයන් අතර අලුත් බලාපොරොත්තුවක් දල්වන ලද නමුත් කොරෝනාවෛරසයට ගොදුරු වූ ලෝකය පුරා රටවල් ‘ලොක්ඩවුන්’ වීමත් සමන් අතරමැදි ව්‍යාපාරිකයන්ට යළිත් ඔවුන්ගේ කම්හල්වල දොරටු වසා දැමීමට සිදුවිය.

    චීනය ‘ලෝක කර්මාන්ත ශාලාව” ලෙස පිළිගැනීමට ලක්වෙනවා විය හැකිය. එහෙත් රෙදිපිළි කර්මාන්තය අතින් ගත්විට බංග්ලාදේශය-ඉන්දුනීසියාව-කාම්බෝජය- වියට්නාමය සහ මැලේසියාව යන වේගයෙන් වර්ධනය වෙමින් පවතින රටවල් විසින් භූමිකාවක් ඉටු කරනු ලබයි.

    එහි අදහස ඇඟලුම් නිමැවුම් කර්මාන්තය අතින්, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත බොහෝ ආසියානු රටවල් විශාල සැපයුම් මගින් එම කර්මාන්තයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන බවය.

    බංග්ලාදේශය සහ වියට්නාමය ලෝකයේ රෙදිපිළි අපනයනය කරන ප්‍රධාන රටවල් හතර අතරට එක්ව සිටින බව ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි. වෙළෙඳපොළ සහභාගිත්වය අතින් බංග්ලාදේශය 6.7% ක නිෂ්පාදනයක් එක්කරනු ලබයි. ඊළඟ ස්ථානය හිමිවන්නේ 5.7% ක අපනයන ලෝක වෙළෙඳපොළට එක්කරනු ලබන වියට්නාමයට ය.

    බංග්ලාදේශයේ ඇඟලුම් අංශයේ වෘත්තිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතළිහකට වැඩි වේ. පසුගිය වසරේ ඔවුන්ගේ අපනයන ආර්ථිකයෙහි 90%කට අධික සැපයුම් ධාරිතාවක් වාර්තා කරන ලද්දේ ඇඟලුම් නිෂ්පාදන අංශයෙනි.

    ඩෙලවෙයා සරසවියේ මෝස්‌තර සහ ඇඟලුම් පිළිබඳ අධ්‍යනාංශයේ, ෂෙන් ලු (Sheng Lu )පවසන පරිදි, කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේත් 60%ට අධික අපනයන භාණ්ඩ වන්නේ ඇඟලුම් නිෂ්පාදනයන්ය.

    මෙම කර්මාන්තයේ නිරතවූවන්ගෙන් විශේෂ වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන්නේ කාන්තාවන් විසිනි.

    Major clothes retailer H&M has committed to paying in full for existing orders from clothing manufacturers.

    සහකාර මහාචාර්ය ෂෙන් ලු පවසන ආකාරයට – කොරෝනා වෛරසය කාම්බෝජය, වියට්නාමය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල ඇඟලුම් අංශයේ රැකියා 4% පටන් 9% තෙක් වන අනුපාතයකින් කප්පාදු කිරීමට හේතු වී ඇත.

    ශ්‍රී ලංකාවේ ද බොහෝ ඇඟලුම් කම්හල් වසා දමන ලද අතර, කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් වශයෙන් රටේ බොහෝ පළාත්වල ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ ශ්‍රමික කාන්තාවන් ඔවුන්ගේ ගම්බිම් කරා පිටත්කර හරිනු ලැබිණි.

    මෙම දුෂ්කර මොහොතේ සිය රටේ ආර්ථිකයේ තීරණාත්මක අංශය වන ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට බංග්ලාදේශ් ආණ්ඩුව ඉදිරිපත්ව සිටී.

    බංග්ලාදේශ් ආණ්ඩුවේ අනුග්‍රාහක දිරිගැන්වීමේ පැකේජයට සහන වැටුපක්, ශ්‍රමිකයන්ගේ කෙටිකාලීන ණය දිගුකාලීන ණය බවට පරිවර්තනය කරනු ලැබීම සහ සාධාරණ පොලියක් අය කරනු ලැබීම යන කරුණු ඇතුළත් වේ.

    ‘ස්පැරෝ ඇපරල් බංග්ලාදේශ්’ ඇඟලුම් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂෝන් ඉස්ලාම් අදහස් දක්වමින් ”මුහුණ දී ඇති කුණාටුවට එය ප්‍රමාණවත් නොවන නමුත් එමගින් එක්තරා සහනයක් ලැබෙන” බව සඳහන් කළේය.

    ශ්‍රමිකයන්ට සහන වැටුප් සැලැස්මක් යෝජනා කරන කාම්බෝජ ආණ්ඩුව, ඇඟලුම් කර්මාන්තකරුවන්ට බදු විරාමයක් (tax holidays) ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

    සූරාගත් ශ්‍රමයට දැන් ගෙවන්න

    කොරෝනා වෛරසයේ ප්‍රතිවිපාකයක් වශයෙන් ශ්‍රම හිඟය,අමුද්‍රව්‍ය සඳහා ඇති මිල ඉහළයාම සහ නිෂ්පාදන ධාරිතාව ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු රාශියකට ඉදිරිකාලයෙහි මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි සහකාර මහාචාර්ය ලූ පුරෝකථනය කරයි.

    එල්ල වෙමින් පැවති දැඩි විවේචන සහ බලපෑම හමුවේ, ‘H&M’ සහ ‘Zara’ මෝස්‌තර ව්‍යාපාරයට අයත් ‘Inditex’ සමාගම ඔවුන් විසින් ඇණවුම් කරනු ලැබ තිබූ නිෂ්පාදන වෙනුවෙන් ඇඟලුම් කම්හල්වලට කලින් ගිවිසගත් ගෙවීම කිරීමට එකඟව සිටිති.

    ”කිසිදු සමාජමය සුරක්ෂිතභාවයක් සහතික කරනු ලැබීමකින් තොරව,වෙළෙඳ සමාගම් අවුරුදු ගණනාවක් දුප්පත් රටවල ශ්‍රමිකයන්ගෙන් අඩු මිලට වැඩ ගනිමින් විශාල ලාභ ලැබුවා. එම මෝස්‌තර ව්‍යාපාරය මගින් විශාල වෙළෙඳ අධිරාජ්‍ය ගොඩ නැගුණා” කම්කරු අයිතිය වෙනුවෙන් පෙනී සිටින ‘Labour Behind the Label’ සංවිධානයේ ඩොමිනික් මුලර් පෙන්වා දෙයි.

    ”අවුරුදු ගණනාවක් සිදුකරන ලද ශ්‍රම සූරාකෑම වෙනුවෙන් එම කම්කරුවන්ගේ පැවැත්ම සඳහා දැන් ආපසු ගෙවීමක් සිදුකළ යුතුයි”

    කම්හල් හිමියකු වන අමිත් මහ්තානි එම ප්‍රකාශය සමඟ එකඟ වේ.

    එසේ නොකළොත් කර්මාන්තය සහමුලින්ම බිඳ වැටෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය.

    Text by BBC Sandesaya

  • කොරෝනා වෛරසයට මුහුණ දෙමින් දකුණු කොරියාවේ මැතිවරණයක්

    කොරෝනා වෛරසයට මුහුණ දෙමින් දකුණු කොරියාවේ මැතිවරණයක්

    කොරෝනාවෛරස් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාවේ මහ මැතිවරණයක් පැවැත් වේ. ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණිය යුත්තේ මුඛ ආවරණ පැළඳගෙනය. මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය.

    ඡන්දය භාවිතා කිරීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලෙනු ඇත. විෂබීජහරණය කෙරෙන දියරය භාවිතා කොට දෑත් පිරිසිදු කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳිය යුතුය.

    ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා අතට පත් වන්නේ ඉන් අනතුරුවය. තම මනාපය පරිදි ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද කුටියට යාමට ඉන් පසුව ඔවුනට අවසර ලැබේ.

    ඒ, මහ මැතිවරණයට අදාලව දකුණු කොරියාව ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත්වලින් කිහිපයක් පමණි.

    දකුණු කොරියාවේ ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කෙරෙන ආසන 300 ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වේ. ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ ප්‍රමාණය 35 කි.

    නමුත් රටේ පාලනය සඳහා තරඟය පවතින්නේ වත්මන් පාලනය ගෙනයන මින්ජෝ (ප්‍රජාතන්ත්‍රවාදී) පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන එක්සත් අනාගත (කොන්සර්වේටිව්) පක්ෂය අතරය.

    Voters in South Korea
    මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය

    මෙම මහ මැතිවරණ සමය තුළ අන් සියලු දේ පරයා සාකච්ඡාවට භාජනය වුයේ වත්මන් රජය විසින් කොරෝනාවෛරස වසංගතය පාලනය කරනු ලබමින් සිටින ආකාරය පිළිබඳවය.

    රටේ ආර්ථිකය පිළිබඳව තිබූ බිය සහ ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවන්ට එරෙහිව එල්ල වී තිබු දුෂණ චෝදනා එමගින් වැසී ගොස් තිබේ.

    2022 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව සහ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය පිළිබඳව සිදු කෙරෙන යම් තක්සේරුවක් ලෙස මෙම මහ මැතිවරණය සැලකේ.

    මෙවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම අවුල් ජාලයක් බවට පත්විය හැකි යැයි ඇතැම් විවේචකයන් බිය පළ කර තිබුණි.

    නමුත් ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට ජනතාව තමන්ට සලකුණු කර ඇති ස්ථානවල ඉතා සංසුන්ව ඉවසීමෙන් පෙළ ගැසී සිටිනු දක්නට හැකි විය.

    “මම හිතුවේ ඡන්දය කල් දැමිය යුතුව තිබුනා කියල, මිනිස්සු ඡන්දේ දාන්න එන එකක් නැහැ කියල. ඒ වුනාට මමත් ආව. තවත් ගොඩක් දෙනෙක් ඇවිල්ල. ප්‍රශ්නයක් නැහැ.” ඡන්දය භාවිතා කිරීමට පැමිණ සිටි තරුණියක් පැවසුවාය.

    Voters queuing in South Korea
    මේක අපේ ඡන්ද අයිතිය” ඡන්ද පෝලිමේ සිටි අයෙක් පැවසීය

    ආසාදනයක් පිළිබඳව පවතින බිය විසින් ජනතාවට බලපෑමක් සිදු කරනු ලැබ නැති බවක් පෙනෙන්නට තිබේ.

    මිලියන 11කට අධික පිරිසක් කල් තියා සිය ඡන්දය භාවිතා කර තිබේ. එය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 26%ක ප්‍රතිශතයකි.

    ඇතැමුන් තැපැල් මගින් සිය ඡන්දය භාවිතා කර තිබුණි. නමුත් වැඩි පිරිසක් ඒ සඳහා පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා විවෘත කර තිබුණු ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් තිබුණි.

    මෙවර කල්තියා භාවිතා කර තිබු ඡන්ද ප්‍රමාණය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකි. එමෙන්ම වයස අවුරුදු 18ක් වූ පිරිසට ඡන්ද බලය ලැබුණු ප්‍රථම අවස්ථාවද මෙයයි.

    එම වයසේ පසුවන ඡන්දදායකයන් කිහිප දෙනෙකුම සෝල් නුවර ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට සිටිනු දක්නට ලැබුණි. සිය පළමු ඡන්දය භාවිතා කිරීමට ඔවුහු දැඩි උනන්දුවකින් පසුවුහ. ඒ සඳහා කොරෝනාවෛරස් වසංගතය ඔවුනට බාධාවක් වී නොතිබිණි.

    “මේක අපේ ඡන්ද අයිතිය” ඡන්ද පෝලිමේ සිටි අයෙක් පැවසීය.

    “ඡන්දය දැමීම අප කළ යුතු ම දෙයක්.” සිය පළමු ඡන්දය භාවිතා කිරීම සඳහා පෝලිමේ සිටි යෞවනියක් පැවසුවාය. තමන් පැළඳ සිටින ප්ලාස්ටික් අත්වැස්ම එතරම් සුවපහසු නොවුවත් ඉන් තමන්ට ආරක්‍ෂිත බවක් දැනෙන්නේ යැයි ඇය ප්‍රකාශ කළාය.

    දකුණු කොරියාව ඉතිහාසයේ කවර දා හෝ මැතිවරණයක් කල් දමා නොමැත. 1952 දී කොරියානු යුද්ධය පවතිද්දී පවා ජනාධිපතිවරණය පැවැත්විණි.

    බලධාරීන්ට පැවතියේ වෛරස් ආසාදනයක් ඇතිවීමේ අවදානම වලක්වා ගන්නේ කෙසේද යන අභියෝගය පමණි.

    ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 කට වඩා ඉහළ අගයක පවතින අයෙකු වීනම් ඔහු අන් අයගෙන් වෙන්කොට විශේෂිත ඡන්ද කුටියකට රැගෙන යාමට බලධාරීහු තීරණය කළහ.

    නව කොරෝනාවෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට තම ඡන්දය තැපැල් මගින් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

    එමෙන්ම සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ඡන්දදායකයන් සඳහා නිවාස බහුල පෙදෙස්වල විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කර තිබුණි.

    මුහුණු ආවරණයක් පැළඳ, රෝහල් වස්ත්‍රයකින් සැරසී සිටි එක්තරා කාන්තාවක් සිය ඡන්ද පත්‍රිකාව නිලධාරීන්ට භාර දී යන ආකාරය දක්නට ලැබුණි. එම නිලධාරීන් සිටියේ සම්පූර්ණයෙන් සිරුර ආවරණය වන සේ ආරක්‍ෂිත ඇඟලුම් ලාගෙනය.

    මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ වෛරසය පැතිරයාම වලක්වා ගැනීම සඳහාය.

    “මුලින් මම හිතුවේ මෙවර මට ඡන්දේ දාන්න බැරිවෙයි කියල. මටත් ඒ සඳහා අවස්වථාක් තියෙනවා කියල පස්සේ දැන ගත්ත. ඒ අවස්වථාව සලසා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.” ඉහත කී කාන්තාව රොයිටර් පුවත් සේවයට පැවසුවාය.

    Election workers with full PPE
    කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයන්ට ද ඡන්දය භාවිතා කළ හැක

    ඡන්ද මධ්‍යස්ථාන තැනීමට සහ මැතිවරණය මනාව පවත්වාගෙන යාම සඳහා එරට හමුදා භටයන් 550,000 ක් යොදාගෙන තිබේ.

    හමුදාව යොදවා ඡන්ද මධ්‍යස්ථාන 14,000 ක් විෂබීජහරණයට ලක් කර ඇත.

    මෙම කාර්යයන් සපුරා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වුවද, කෙටි කාලයක් පමා කොට හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනතාව සතුටු වන බවක් පෙනෙන්නට තිබේ.

    පෙබරවාරි සහ මාර්තු මාසය තුළ මහාපරිමාණයෙන් පුද්ගල පරීක්ෂාවන් දියත් කරමින් කොරෝනාවෛරසය පැතිරීම පාලනය කර ගැනීමට දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන්ට හැකි විය.

    කොරෝනාවෛරස් ආසාදිතයන් දකුණු කොරියාවෙන් වාර්තා වූ ඉහළම අගය පෙන්නුම් කළේ පෙබරවාරි මාසයේ දීය. එය දිනකට 900ක් පමණ විය.

    මේ වනවිට දිනකට වාර්තා වන නව රෝගීන්ගේ ගණන 50කට වඩා අඩු අගයක පවතී. 7,000කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇත.

    එමගින් ජනාධිපතිවරයාගේ පක්ෂයට නව ජවයක් ලැබුණි. ඔහුගේ විරුද්ධවාදීහු රටේ සෞඛ්‍ය සේවකයන්ට ගෞරවය පුද කරති.

    මෙවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් දෙවැනි වතාවට කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ විය හැකි බවට ද බියක් පවතී.

    නමුත් වසංගත තත්ත්වයක් හමුවේ කළ හැක්කේ කුමක්දැයි ඔප්පු කිරීමට දකුණු කොරියාව දැනට අධිෂ්ඨානශීලීව සිටී.

    මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සි සන්දේශය වෙතින් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැති ප්‍රසන්න

    විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැති ප්‍රසන්න

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල  සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සදහා රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

    මේ වන විට ලෝකය පුරා විවිධ රටටවල සිටින ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරති. විදේශ කටයුතු  අමාත්‍යංශය මේ සදහා දැනටමත් මැදිහත්ව තිබේ. මෙලෙස විදේශ රටවල සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, විවිධ වෘත්තිකයන් පිළිබද තොරතුරු එම රටවල තිබෙන තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජෙනරල් කාර්යාල හරහා දැනටමත් ලබා ගෙන ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

    මෙම සියළු තොරතුරු ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ. රජය ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දුන් වහාම විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට සුදානමින් සිටින බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග කටුනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා රටට ගුවන් මගින් ඇතුළු වීම අත්හිටුවීමට පියවර ගැනින. එම තීරණය ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි නිවැරැදිම මොහොතේදීය.

    කෙසේවෙතත් ගුවන් තොටුපොලින් මගීන් පිටව යාම හා ලංකාව හරහා වෙනත් ගමනාන්ත කරා යන ගුවන් මගීන්ට හුවමාරු පහසුකම් සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වේ. ගුවන් මගීන් රටට ඇතුළුවීම අත්හිටුවන අවස්ථාවේ දිවයිනට පැමිණෙමින් සිටි ගුවන් මගීන් 33 දෙනෙකු විවිධ ගුවන්තොටුපොලවල සිරවී සිටින අතර කැබිනට් මණ්ඩලය පසුගියදා ඔවුන්ව මුලින්ම දිවයිනට ගෙන්වා ගැනීමට අනුමැතිය පල කලේය.

    ඒ අනුව ඩුබායි, මැලේසියා, එංගලන්තය, වැනි රටවල ගුවන් තොටුපොලවල සිරවී සිටි මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. මෙලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය මධ්‍යස්ථානයකට යොමු කිරීමටද කටයුතු යොදා ඇති බව ඇමතිවරයා කියා සිටියි.

    රටත් ජනතාවත් මෙම වසංගතයෙන් මුදවා ගැනීම සදහා රජය සුවිශාල කැපකිරීමක් කරනු ලබයි. ඇදිරි නීතිය පනවා තිබියදී ජනතාවගේ සුභසාධන අවශ්‍යතා සපුරාලීම සදහා රජය මැදිහත් වෙමින් සිටියි. ලොව කිසිදු රටක ආණ්ඩුවක් කටයුතු නොකරන ආකාරයෙන් මෙම වසංගතයෙන් මෙරට ජනතාව මුදා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලොවම පිළිගන්නා සත්‍යයකි.

     රාජපක්ෂ සුසංයෝගය මෙලෙස රටත් ජනතාවත් රැක ගන්නට කටයුතු කරත්දී එක්සත් ජාතික පක්ෂය සිය නිවුන් සහෝදරයා වන ජවිපේ සමග එක්ව බොරදියේ මාළු බෑමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා චොදනා කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය හා රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහයක ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දින වල මාධ්‍ය ඔස්සේ දරණ උත්සාහායද එහි එක් පියවරකි. පසුගිය 13 වෙනිදා එංගලන්තයේ ගුවන් තොටුපොලක සිරවී සිටි ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය හරහා ජනතාව රජයට හා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එරෙහිව වෛරයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.

    ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ රට රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම පසෙක තබා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින බවට ජනතාව අතර මතයක් ඇති කිරීමටයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට ජාතික ගුවන් සේවය ලෙස හැම විටම කටයුතු කරන්නේ සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් කටයුතු ද කරන ආකාරයට ජාත්‍යන්තර ප්‍රමිතීනට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්ද අකුරමට පිළිපදිමිනි. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව ජවිපෙ චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් වැනි අයද පසුගිය දිනවල රජයට චොදනා කර තිබුනේ කටුනායක ගුවන්තොටුපොල නිසි මොහොතේ වසා නොදැමුනු බවටයි. එහෙත් ඇමතිවරයා අවධාරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ උපදෙස් අනුව නිවරදිම මොහොතේ කටුනායක ගුවන් තොටුපොලට ගුවන් ගමන් පැමිණීම තාවකාලිකව අත්හිටවූ බවයි.

    ගුවන්තොටුපොලේ කටයුතු තවමත් සිදුකෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සෞඛ්‍ය අංශ වල අධික්ෂණය යටතේය. මේ නිසා එක්සත් ජාතික පක්ෂය නිසි මොහොතේ ගුවන්තොටුපොල වසා දැමුවේ නැතැයි නගන චෝදනාවද ජනතාව රැවටීමේ ඔවුන්ගේ තවත් එක් උත්සාහයක් පමණි.

    එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ හැසිරෙන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් නොසලකන ආරක්ෂක අංශ මග හරින කොරෝනා වැලදුනු රෝගියෙකු ලෙසය.  මේ මොහොතේ රජය හැම විටම කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය අංශ උපදෙස් අනුව බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න  රණතුංග මහතා බොරදියේ මාළු බෑමට උත්සහා දරණ වගකීම් විරහිතව හැසිරෙන එජාප ජවිපේ නිවුන් සොහොයුරන්ගේ ගොන් පාට් වලට මෙරට ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැතැයිද අවධාරණය කරයි.

  • COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස් වෙයි

    COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස් වෙයි

    “COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි.

    ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය. (අදාළ නාම ලේඛනය අමුණා ඇත)

    අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතී. එය පිහිටුවීමෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීම සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කමිටුවේ සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොරෝනා මර්දනය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පර්යේෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සඳහා මූල්‍ය අවශ්‍යතා සැලසීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අත්‍යාවශ්‍යය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මෙන්ම ළමයින්, කාන්තාවන් අඩු ආදායම්ලාභීන් වැඩිහිටියන් ආබාධිතයන් හා අවදානමට ලක් විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපයීම අරමුදලේ අරමුණු අතර වේ.  WHO, UNICEF, UNDP,WB,ADB සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමග අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය ද අරමුදලෙන් අපේක්ෂා කෙරේ.

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 655කට ආසන්න වී තිබේ. රක්නා ආරක්ෂක ලංකා ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 03 ක් සහ “අපි වෙනුවෙන් අපි” අරමුදලෙහි දකුණු කොරියානු ශාඛාව පිරිනැමු රුපියල් ලක්ෂ 04ක මුදල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

    NDB බැංකුව රුපියල් මිලියන 07ක්, ලංකා හෝස්පිටල් කෝපරේෂන් හය මිලියන 6.7ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10ක්, කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනය සහ ඩී.ජේ.ඒ. සමරසිංහ මහතා රුපියල් මිලියන 05 බැගින් ද, නාගරික සංවර්ධන අධිකාරිය මිලියන් 2.5ක්,  ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ සමන් ඉන්ඩස්ට්‍රිස් ඇන්ඩ් සප්ලයරස් පෞද්ගලික සමාගම රුපියල් මිලියනය බැගින් ද,  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මිලියන 02 ක් ද අරමුදලට ප්‍රදානය කර තිබේ.

    BASF ලංකා පෞද්ගලික සමාගම ලක්ෂ 05ක්, නුගේගොඩ ඩබ්. මංජුල බොතේජු මහතා රුපියල් ලක්ෂයකින් සහ රන්ජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 02 ක් සහ ශ්‍රී ලංකා පොලිස් යුද ආබාධිත රණවිරු සංගමය රුපියල් 60,000ක් ද අරමුදලට පරිත්‍යාග කර ඇත.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක.

  • පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති  විමසුමට

    පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති විමසුමට

    දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස  ජනාධිපතිතුමා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන්නේය.

    පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ.

    දෛනිකව වේතන ලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ද ප්‍රධාන අරමුණකි.

    ඒ ඒ පළාත්වල කොරෝනා වෛරසය ආසාධිතයන්, ඔවුන් ළගින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ. දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් විය.

    නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ කළ යුතු වෙනස්කම් ද ජනාධිපතිතුමාගේ විමසුමට ලක් විය.

    ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව පළාත් සෞඛ්‍ය බලධාරිහූ සඳහන් කළහ.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය සමාලෝචනයට ද මෙය අවස්ථාවක් කරගත බව ජනාධිපතිතුමා සදහන් කළේය.

    ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.