Category: සුපිරි News

  • රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම වීඩියේ තාක්ෂණයෙන්

    රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම වීඩියේ තාක්ෂණයෙන්

    නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක් …

    කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ.

    වාණිජ මහා අධිකරණ, මහා අධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල අද (19) සිට 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර චක්‍රෙල්ඛය නිකුත් කර ඇත.

    හදිසි සහ අත්‍යාවශ්‍යය යැයි විනිසුරු විසින් තීරණය කරනු ලබන නඩු හැර කිසිඳු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙස දැනුම් දී තිබේ.

    යොදාගත් සියලු නඩු වෙනත් දිනවල කැඳවන අතර ඇප ලබාගැනීම් සඳහා වන ඇප ඉල්ලීම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කෙරේ.  නීතිඥවරයෙක් ඉතා හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් නඩුවක් කැඳවීමට ඉල්ලීමක් සිදු කරන්නේ  නම් පෙ.ව. 10.00 ට පෙර මෝසමකින් කරන ඉල්ලීම් පමණක් සලකා බැලෙන බව ද කොමිසම දැනුම් දෙයි.

    එසේම රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණය වෙත නොකැඳවා විඩීයෝ තාක්ෂණයෙන් සිදුකරන ලෙස ද උපදෙස් දෙයි.

    පොලිස් ඇප දීම් සම්බන්ධයෙන් ඇති ප්‍රතිපාදන හැකිතාක් ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරු අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලීසිය සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතුය.

    ජනතාව ඒකරාශීවීම් හැකිතාක් අඩු කරමින් කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම ඉලක්ක කරගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.

  • Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන්

    Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන්

    රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය, යුද්ධ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැක් වූ අදහස්වල සාරාංශය.

    ජනතාව හැසිරෙන්නේ කිසිම වගකීමක් නැති ආකාරයෙන් – සෞඛ්‍ය ඇමැතිනිය

    මෙරට ජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

    වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

    ‘කොරෝනා වෛරසය නිසා ඇතිවී තිබෙන අර්බුදය විසදිමේ හැකියාවක් රජයට තිබෙනවා. නමුත් රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් යම් වගකිමක් ඇති නිසා විමසිලිමත්ව ක්‍රියා කිරිමට වගබලා ගත යුතුයි. ජනතාවගේ නිසි සහායක් නැති තැන මේ අර්බුදය ජය ගැනීම අසීරුයි.

    මම නියෝජනය කරන රත්නපුර ප්‍රදේශයේද මේ වන විට රෝගින් 3 දෙනෙකු පමණ හදුනා තිබුණත් එම ප්‍රදේශවලද ජනතාව කඩ සාප්පු වීවෘත කර ගනිමින් අනවශ්‍ය රාජකාරිවල නිරිත වෙමින් මාර්ගවල සැරිසරණවා. මේ වැඩ නිසා තමයි මේවැනි ව්‍යසනයකට රට ගොදුරු වුණේ. මේ නිසා රජය විසින් පනවන නීති වලට යටත්ව කටයුතු කිරිමට වගබලා ගත යුතුයි’

    මේ දිනවල අනවශ්‍ය පුද්ගල එක්රැස්වීම්, ගමන් බිමන්, සංචාර හැකි තරම් සීමා කරන ලෙස තව දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, රෙදිපිළි අලෙවිසැල් වැනි ස්ථානයන් හි ජනතාව තවමත් එක් රැස්වී සිටිනු තමා දුටු බවත් පැවසූ අමාත්‍යවරිය එවැනි අලෙවි සැල් වසා දමන ලෙසත් ඉල්ලීමක් කළාය.

    රටක් ලෙස එක්ව ගෙන යන මෙම වැඩපිළිවෙළට ජනතාව මේ අවස්ථාවේදී සහයෝගය ලබා දිය යුතු බවද අමාත්‍යවරිය පැවසූවාය.

    ගුවන් යානා 16 කින් ආ 1500 ක් නිවෙස්වල සිට නිරෝධායනයට – යුද්ධ හමුදාපති

    පුද්ගලයින් 1500 දෙනකු ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතුවල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඇති බවත් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    එම උපදෙස් කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලීසිය සහ යුද හමුදාව ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    මෙම වයිරස් තත්ත්වය හේතු කරගනිමින් ලංකාවේ දැන රැදී සිටින විදෙස් ජාතිකයින් සඳහා හිරිහැර නොකරන ලෙසද රජය විසින් ඔවුන්ට කිසිදු තහනමක් පනවා නැතැයිද ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

    අක්ෂි හා දන්ත සේවා හදිසි සේවාවක් බවට පත් කරනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

    වර්ධනය වෙමින් පවතින කෙරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි වෛද්‍ය සේවාවන් හා දන්ත සේවාවන් තවදුරටත් හදිසි සේවාවක් ලෙස පවත්වා ගෙන යාමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා.

    එම සේවාවන් රෝගියා හා සෘජුව කටයුතු කළ යුතු සේවාවන් බැවින් එම සේවාවන් හදිසි සේවාවක් බවට පත් කිරීමට තිරණය කළ බවයි ජාසිංහ මහතා පැවසුවේ.

    මෙරට සිටින විදේශිකයන්ට කරදර කරන්න එපා – නියෝජ්‍ය පොලිස්පති

    ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරිහැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

    විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන බවත්
    එබැවින් අව මානසික තත්ත්වයෙන් මිදී සැකකටයුතු විදේශිකයින් ගැන පමණක් ආරක්ෂක දැනුවත් කරන ලෙසත් එසේ නොවන අවස්ථාවල කිසිවිටෙකත් විදෙස් ජාතිකයින්ට හිරිහැර කිරීමෙන් හෝ ඔවුන් අපහසුතාවයට පත් කිරීමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියා.

    ඔවුන්ට නරක ලෙස සැලකිමේ ප්‍රතිවිපාකයන්ට අනාගතයේ මුහුණ දීමට සිදු වෙන බවත් පැවසු අජිත් රෝහණ මහතා සියලු විදේශිකයින්ට කරදරයක් වන ලෙස නොහැසිරෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

  • සියලු රාජ්‍ය සේවකයන්ට 23වනදා වැටුප් ගෙවන්න යයි

    සියලු රාජ්‍ය සේවකයන්ට 23වනදා වැටුප් ගෙවන්න යයි

    සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ. 

    ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සිදුකරනු ලැබේ. කොවිඞ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය භාරය මැනවින් ඉටු කිරීම සඳහා මේ වන විටත් රජයේ සේවකයින් කැපවී සිටින බව තමන් හොදින්ම දන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. 

    තම සෞඛ්‍ය සම්බන්ධයෙන් හෝ නොසිතා රටත්, ජාතියත් වෙනුවෙන් කැපවී සිටින සෞඛ්‍ය අංශය ඇතුළු රජයේ සේවකයින් අගය කරන අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කරන බවද සඳහන් කරමින් සියලුම රජයේ සේවකයින්ට එළැඹෙන 23 වැනිදා වැටුප් ගෙවීමට අදාල පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

  • 20-27 දක්වා ගෙදර සිට රාජකාරී කරන හැටි රජය කියා දෙයි – සම්පූර්ණ විස්තරය මෙන්න

    20-27 දක්වා ගෙදර සිට රාජකාරී කරන හැටි රජය කියා දෙයි – සම්පූර්ණ විස්තරය මෙන්න

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබේ.‍ එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමයි.

    සියලු කරුණු සැලකිල්ලට ගෙන මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

    මේ කාල සීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකේ. 2020-03-21 සහ 22 දින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩු ලෙස සලකනු ලැබේ.

    මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක් රැස්වීම වැළැක්වීම සදහා ගනු ලබන පියවරක් වශයෙන් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ගෘහස්ත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මාර්තු 20 – 27 දක්වා සිය කාර්යාලයීය රාජකාරී ඉටු කිරීම අපේක්ෂා කෙරේ.  ඉදිරියේ දී තෝරාගත් යම් රාජ්‍ය සේවා දුරස්ථ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට මෙම අත්දැකීම් පාදක කර ගැනේ.

    ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය, පළාත් පාලන, ප්‍රවාහන, බැංකු, ආහාර, ජලය, විදුලිය ආදී සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදාහැරීම, වී මිලදී ගැනීම ඇතුළත්ව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව සිදු කිරීමට බලධාරීන් පියවර ගත යුතුය.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු ද අඛණ්ඩව පවත්වාගත යුතුය. දුරස්ථ ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී ආදළ ආයතන ප්‍රධානීන් හැකිතාක්දුරට තම කාර්ය මණ්ඩලය කාර්යාලය වෙත කැඳවා ගැනීම හැකිතාක්දුරට සිමා කළ යුතුය. ඒ සඳහා විද්‍යුත් තැපෑල (e-mail) කෙටි පණිවිඩ         ( SMS) දුරකථන ආදි තාක්ෂණික ක්‍රම සහ ලිපි ගොනු ගෙන්වා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග භාවිත කළ හැකිය.

    මහජනතාව කාර්යාල වෙත රැස්වීම වැළැක්වීමටත්, මහජන සේවා නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින් ගැටලු විසඳීමටත් තාක්ෂණ ක්‍රම භාවිත කළයුතුය. මේ සඳහා පෞද්ගලික දුරකථන භාවිත කිරීමේ දී අමතර වැය බරක් ඇත්නම් ඒ සඳහා රජය අවශ්‍ය සහන සපයනු ඇත.

    මෙවැනි අවස්ථාවලදී රජයේ සියලුම නිලධාරීන් අඛණ්ඩව මහජන සේවා පවත්වා ගැනීමට නිසි ක්‍රමෝපාය අනුගමනය කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි. 

    කෙරෝනා වෛරසය වසංගතයක් ලෙස ව්‍යාප්තවීම වැළැක්වීම මුඛ්‍ය අරමුණ වේ. එබැවින් විවිධ ආයතන මගින් සපයනු ලබන සේවා එකින් එකට වෙනස් බැවින් සිය කාර්ය මණ්ඩල දැනුවත් කර කාර්ය මණ්ඩල සීමා කිරිම සඳහා තම ආයතනවල ලිඛිත ක්‍රමවේදයක් සකසා ගැනීම ද ආයතන ප්‍රධානීන්ගේ වගකීම වේ.

    පෞද්ගලික අංශය ද ඉහත ක්‍රම අනුව සිය ව්‍යාපාර කළ යුතු බවට සියලු වාණිජ මණ්ඩලවලට උපදෙස් දී ඇත.

  • මහ මැතිවරණය සති දෙකකින් කල් යනවා – මැකො

    මහ මැතිවරණය සති දෙකකින් කල් යනවා – මැකො

    සැලසුම් කර තිබූ ආකාරයට අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මහ මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවා.

    වත්මන් තත්ත්වය අනුව අපේ‍්‍රල් 25 වැනි දින සිට දින 14ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් ​සඳහන් කළේය.

    “නව කොරෝනාවෛරසයේ බලපෑමක් 100%ක් ශ්‍රී ලංකාවට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද” කලින් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

    ”COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි.” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    “කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත” යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

  • තෙල්මිල අඩුවීමේ ඍජු වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම් නෑ

    තෙල්මිල අඩුවීමේ ඍජු වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම් නෑ

    කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව තිබුණත් වර්තමානයේ පවතින තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ර​ජය තීරණය කර තිබේන අතර එසේ ඉතිර වන මුදල් යොදාගනිමින් පස් ආකාරයේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ. ඒ පහත සදහන් වැඩපිළිවෙළයි

    01 මාර්ග තදබදය අවම කිරීම හා පොදු මහජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්‍රවාහනය පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළඳපොළ තුළතෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම.

    02 ඛනිජතෙල් ආනයනයේදී රජයට ලාභ සීමාවක් ලබා ගත හැකි ආකාරයන ආනයන බද්දක් පැනවීම.

    03 ජාත්‍යන්තර වෙළඳපොළෙහි තෙල් මිල අඩුවීමෙන් ලැබෙන ඉතුරුම් යොදා ගනිමින් ඛනිජ තෙල් ස්ථායිකරණ අරමුදලක් පිහිටුවිම හා මාස 6ක කාලසීමාවක් තුළ රුපියල් බිලියන 200ක මුදලක් එම අරමුදල යටතේ රැස්කිරීම.

    04  ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවිය යුතු ණය මුදල් අඩු කිරිමට හැකි වන පරිදි එකී අරමුදලින් රුපියල් බිලියන 50ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදිම හා එමගින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් නිරවුල් කිරීම.

    05 ඛනිජතෙල් මිල අඩුවිමේ වාසිය සැලකිල්ලට ගෙන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඝන තෙල් ලීටරයකට මිල රුපියල් 70 බැගින් ලංකා විදුලිබල මණ්ඩලයට සැපයීම හා එමගින් තාප විදුලිබල ජනනයට වැය වන වියදම රුපියල් බිලියන 30කට වඩා අඩුකර ගෙන බැංකු ණය හා පෙලී නිරවුල් කිරීම.

  • 20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස  නම් කෙරේ

    20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ

    මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

  • Covid 19 උණුසුම් ලෝක පුවත් Update: හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම්

    Covid 19 උණුසුම් ලෝක පුවත් Update: හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම්

    ඉතාලියේ කොරෝනා වසංගතය පාලනයෙන් තොර වෙයි

    ඇමෙරිකානු ජනපතිගෙන් තරුණ ප්‍රජාවට ඉල්ලීමක්

    මරණ සංඛ්‍යාව ඉහළ යාම සමග මහා බ්‍රිතාන්‍යයේ පාසල් වසා දමයි

    චීනයෙන් එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වී නෑ

    ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 218,000ක් සහ මරණ 9000ක්

    දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා

    හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම්

    අද (19) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට (20)සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබෙනවා.

    නව තීරණය සම්බන්ධයෙන් නිවේදනයන් නිකුත් කරමින් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ “අපි දැන් තවත් තීරණ ගත යුතුයි. තවදුරටත් ඔස්ට්‍රේලියාවේ පවුල්වල සාමාජිකයන් නොවන අයට රටට ඇතුළුවීම අප තහනම්” ෙ

    “නවසීලන්ත ජාතිකයන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම අංක එකයි. මේ වන විට ලෝකය තුළ මේ වෛරසය ව්‍යාප්ත වෙන බව පේනවා. ඒ නිසා අපි ශක්තිමත් දේශසීමා සම්බන්ධ තීරණ ගත යුතුයි” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළාය.

    කොරෝනා පාලනයට සියලු රටවල් හුදෙකලා විය යුතුයි – WHO

    රටවල් 170කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය පාලනය කිරීමට ලොව සියලුම රටවල් හුදෙකලා විය යුතු බවත්, අඛණ්ඩ පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, ප්‍රතිකාර කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්රෙයිසස් ඊයේ ප්‍රකාශ කළේය.

    ඉතාලියේ කොරෝනා වසංගතය පාලනයෙන් තොර වෙයි

    ඊයේ දිනයේ (18) පැය 24 ක් තුළ ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 4,207කින් වැඩි වී, මුළු රෝගීන් සංඛ්‍යාව 35,713 ක් ලෙස සටහන් වූ බවත් මරණ සංඛ්‍යාව පැය 24ක් තුළ 475කින් වැඩිවී මුළු මරණ සංඛ්‍යාව 2,978 දක්වා ඉහළ ගිය බවත් ඉතාලියේ සිවිල් ආරක්ෂණ ඒජන්සිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවල සදහන් වෙයි.

    මේ අනුව ජාත්‍යන්තර වශයෙන් කොරෝන වෛරස් රෝගයේ වැඩිම ව්‍යාප්තිය සහ මරණ අනුපාතය ඉතාලිය තුළින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ඇමෙරිකානු ජනපතිගෙන් තරුණ ප්‍රජාවට ඉල්ලීමක්

    ඇමෙරිකාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීමට නම් තරුණ ප්‍රජාව සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරන උපදෙස්වලට, අවවාදවලට අවනත වීම අත්‍යවශ්‍ය බවත්,  එය සාර්ථක වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධීපතිවරයා,

    “පසුගිය කාලය පුරාවට අප පැවසූ දෙයට ඔවුන් සවන් දෙනු ඇතැයි කියා මා බලාපොරාත්තු වෙනවා. ඔවුන් තැනින් තැන කල්ලි ගැසෙනවා දකින්න අපට අවශ්‍ය නෑ. ඔවුන් වෙරළ තීරයන් ඇතුළුව සහ අවන්හල්වල තවදුරටත් රැඳී සිටින ආකාරය අපට පෙනෙනවා. ඔවුන්ට එය වැටහෙන්නේ නැහැ. ඔවුන්ට මේ තත්ත්වය පරාජය කරන්න නොහැකි බවක් පෙන්වන්නේ. නමුත් තරුණ වියේදී ඔබට පරාජය කළ නොහැකි දෙයක් නැහැ. මෙතනදි ඔබ සිතා බැලිය යුත්තේ ඔබ මේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත නපුරක් රැගෙන යා හැකි බවයි. තරුණයන්ට මෙය වැටහෙන්නේ නැහැ. එබැවින් ඔවුන් උපදෙස්වලට අවනත වීම අපට අවශ්‍යයි. එය සාර්ථක වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.” යැයි පවසා සිටියේය.

    මරණ සංඛ්‍යාව ඉහළ යාම සමග මහා බ්‍රිතාන්‍යයේ පාසල් වසා දමයි

    එංගලන්තයේ සියලුම පාසල් සිකුරාදා සිට නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට එරට රජය තීරණය කළා. ඒ අනුව ප්‍රධාන සේවකයින්ගේ හා අවදානමට ලක්විය හැකි දරුවන් රැකබලා ගැනීමේ ස්ථාන  හැර පාසල් වසා දමන ලෙසයි අගමැති බොරිස් ජොන්සන් උපදෙස් දී ඇත්තේ.

    මහා බ්‍රිතාන්‍ය තුළ තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා 1,950 සිට බදාදා 2,626 දක්වා ඉහළ අතර මරණ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර කොරෝනා සඳහා එක්සත් රාජධානියේ පරීක්ෂණ 56,221 ක් සිදු කර ඇති අතර ඉන් 53,595 ක් සෘණාත්මක බව තහවුරු ඇති බව සදහන්. රජය පවසන්නේ එංගලන්තයේ දිනකට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව දෙගුණයකට වඩා එනම් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.

    චීනයෙන් එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වී නෑ

    චීනය තුළ ඊයේ (18දා)  කොරෝනා වෛරසය ආසාදනය වූ එකදු රෝගියෙකුවත් වාර්තා නොවුණු බව චීන මාධ්‍ය වාර්තා කරනවා. නව කොරෝනා වෛරසයේ පැතිරීමේ කේන්ද්‍රය ලෙස සැලකූ වූහාන් නගරයෙන්ද ඊයේ දිනයේ එකදු ආසාදිතයෙකුවත් වාර්තා නොවීම විශේෂත්වයක් බවයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    චීනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 81,235 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 3,250ක් වාර්තා වූ අතර ( එම මරණ අතරට හොංකොං හි මරණ 4ක් සහ තායිවානයේ මරණයක්ද ඇතුළත්ය) මේ දක්වා එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

    චීනය තුළින් ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවුණත් විදේශයන්ගේ සිට චීනය වෙත වෛරසය සමග ඇතුළු වූවන් 34 දෙනෙකු පමණක් හඳුනාගෙන තිබෙනවා.

    චීනය තම භුමිය තුළ කොරෝනා සම්පූර්ණයෙන් පාලනය කර ඇතත් චීනය වෙත විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වෛරසයට ගොදුරුව පැමිණීම නිසා යළිත් වෛරසය හිස එසවීම වැළැක්වීමට චීනය වෙත පැමිණෙන සියලු දෙනා දැඩි නිරෝධායනයකට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බව චීන රජය නිවේදනය කර තිබේ.

    ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 218,000ක් සහ මරණ 9000ක්

    චීනය තම රට තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පාලනය කළ ද චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව කොරෝන වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලොව පුරා 218,000ක් ඉක්මවා ගොස් ඇති බවත් මරණ සංඛ්‍යා 9000කට ආසන්න බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කියන්නේ.

    ඉතාලිය තුළ කොරෝනා ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන අතර දකුණු කොරියාවේ වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 8,565ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට තුළ මර්ණ 152ක් වාර්තා වුණා.

    දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා

    කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මියප්‍රකාශ කළාය.
     
    කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්නැයි ද ඇය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
     
    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ සටනේදී සෑම පුරවැසියකුටම වගකීමක් හා කාර්යභාරයක් පැවැරී ඇතැයි සඳහන් කළ ඇය සෑම පුරවැසියකුගෙන්ම තමන්ට හිමි කොටස ඉටු කරන්නැයි ද ඉල්ලා සිටියාය.

    ‘‘තත්ත්වය ඉතාම දරුණුයි. අපි මෙය බරපතළ ලෙස ගත යුතුයි. ජර්මනිය එක්සත් විය යුතුයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි කවදාවත් මේ වගේ අභියෝගයකට මුහුණ දීලා නැහැ. අපි සාමූහිකව වැඩ කරන්න ඕනෑ. අපේ සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ අපි කොච්චර එකමුතු ද කියන කරුණ මත. මෙයින් සාර්ථකත්වය ලබන්න පුළුවන් යැයි මා දැඩි සේ විශ්වාස කරනවා. සෑම පුරවැසියකුම තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කරනවා නම් එය අපට කරන්න පුළුවන්’’ යැයි ජර්මාන් චාන්ලර්වරිය කීවාය.

    ජර්මානු රාජ්‍ය නායිකාව රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීම විශේෂ තත්ත්වයක් සේ ජාත්‍යන්තර මාධ්‍ය සලකයි. වසර 15ක් මුළුල්ලේ ජර්මනිය පාලනය කරන ඇන්ජලා මර්කර් මීට දශකයට මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී හෝ 2015 සරණාගත අර්බුදය හෝ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ අවස්ථාවේදී හෝ මෙලෙස රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතුවේ නැති අතර ඇය සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් ලබාදීමට පමණක් ජාතිය ඇමතීම සිදුකළාය. ඒ හැර වෙනත් කිසිදු අවස්ථාවකදී එලෙස ජාතිය ඇමතීමකට ඇය සම්බන්ධ නොවූවාය.C

  • ශ්‍රීලාංකික සංචාරකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන්න – ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලයි

    ශ්‍රීලාංකික සංචාරකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන්න – ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලයි

    දැනට තම රටවල සංචාර සඳහා පැමිණ,  COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ.

    දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට එක් මසක දීර්ඝ කිරීමක්, සියලු වර්ගවල වීසා බලපත්‍ර සඳහා ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය අඟහරුවාදා (මාර්තු 17) නිවේදනය කළ බව ඔහු සඳහන් කළේය. මෙවැනි අන්‍යෝන්‍ය විධිවිධාන පොදු  භාවිතයක් බව ප්‍රකාශ කළ ඔහු, මෙම සුවිශේෂී අවස්ථාවේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට මෙම පහසුකම් සැලසීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළේය.

    විදේශ ලේකම් ආර්යසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ‍, COVID-19 වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන කරුණු විස්තර කිරීමේ සැසි මාලාවේ කොටසක් ලෙස අද (මාර්තු 18) දින බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් ඇමතූ අවස්ථාවේ දීය.

    තම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට උදව් උපකාර කිරීම සඳහා අදාළ රජයන් විසින් ලබා දෙන සහයෝගය විදේශ ලේකම්වරයා අගය කළ අතර, ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වර්තමාන තත්ත්වය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තොරතුරු පැමිණ සිටි තානාපතිවරුන් සමඟ බෙදා හදා ගත්තේය. වර්තමානයේ පවතින ගැටලු හඳුනා ගනිමින්, දැනට සියලුම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකක ලෙස කටයුතු කරන අතර, වර්තමාන අභියෝග මධ්‍යයේ කොන්සියුලර් හා වෙනත් සේවාවන් සීමිත ප්‍රමාණයක් පමණක් පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

    තම පුරවැසියන්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින පහසුකම් සහ නිසි සන්නිවේදන මාර්ග පිළිබඳව කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩලවලට ඇති ගැටලු සම්බන්ධයෙන්, එහි පැමිණ සිටි දේශීය පාර්ශ්වකරුවන් විසින් ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන ලදී. ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන අය සඳහා ගුවන්තොටුපල වසා දමා තිබියදීත්, මෙහි සිටින විදේශිකයන් අපහසුවකින් තොරව පිටත්කර හැරීම පිළිබඳව ද රැස්වීමේ දී එකඟතාවකට පැමිණෙන ලදී.

    තම රටවැසියන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ඇතුළුව, මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව මෙම තානාපතිවරු අගය කළ අතර, තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ඒ හා සමාන පහසුකම් සලසා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඔවුන්ගේ රජයන් වෙත දැනුම් දෙන බවට සහතික වූහ.

  • කඩදායි මත පැය 24ක් – ප්ලාස්ටික් මත පැය 72ක් කොරෝනා වෛරසය ජීවත් වෙනවා

    කඩදායි මත පැය 24ක් – ප්ලාස්ටික් මත පැය 72ක් කොරෝනා වෛරසය ජීවත් වෙනවා

    කොරෝන වෛරසයට තඹ මත පැය 4 ක්, කාඩ්බෝර්ඩ් සහ කඩදාසි මත පැය 24ක්, ප්ලාස්ටික්, මළ නොබැඳෙන වානේ මත දින 03ක් දිනවක් ජීවත් විය හැකි බව සොයා ගෙන තිබෙනවා.

    COVID-19 වෛරසය සම්බන්ධයෙන් කළ නව අධ්‍යයනකට අනුව එයට පැය කිහිපයක් වාතයේ සහ දිනක් හෝ කිහිපයක් පෘෂ්ඨයන් මත ජීවත් විය හැකි බව සොයා ගෙන තිබෙනවා.

    නිව් එංගලන්ත වෛද්‍ය සඟරාවේ (NEJM) අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද  පර්යේෂණයකින් කියැවුණේ SARS-CoV-2  තඹ මත පැය හතරක් සහ ප්ලාස්ටික් හා මල නොබැඳෙන වානේ මත දින දෙකක් හෝ තුනක් සහ කාඩ්බෝඩ් මත පැය 24 ක් දක්වා හඳුනාගත හැකි බවයි.

    පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යාම අනුකරණය කිරීම සඳහා නෙබුලයිසර් භාවිතා කරමින්, එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ලොස් ඇන්ජලීස් සහ ප්‍රින්ස්ටන් හි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි විද්‍යාඥයින් සොයා ගත්තේ වෛරසය දූවිලි බවට පත්ව ඇති බවයි. එම දූවිලි වාතය තුළ එය පැය තුනකට ආසන්න කාලයක් හඳුනාගත හැකිය.

    මෙම අධ්‍යයනය සම-සමාලෝචනය කිරීමට පෙර පසුගිය සතියේ වෛද්‍ය පූර්ව මුද්‍රිත වෙබ් අඩවියක පළ කරන ලද අතර එය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

    වෛරසය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ ශ්වසන ජල බිඳිති (ඛේටය) මගින් වන අතර මෙම ස්වරූපයෙන් පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යාමෙන් තත්පර කිහිපයක් තුළ එහි ව්‍යාප්තිය සිදුවේ. මෙහි භයානක තත්ත්වය ද එයයි.

    නියුබයිසර් යන්ත්‍රයක් මිනිස් කැස්සක් හෝ කිවිසුමක් නිවැරදිව අනුකරණය කළේ දැයි විචාරකයෝ ප්‍රශ්න කළහ. දුර්ලභ අවස්ථාවන්හිදී වුවද එය දූවිලි බවට පත්විය හැකි බවට වෙනත් සාක්ෂි තිබේ.

    කිවිසුම් යන විට අත්ල වෙනුවෙනුට වැලමිට භාවිත කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කරයි.

    SARS සංසන්දනය 

    නව කොරෝනා වයිරසයට SARS (හෝ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය severe acute respiratory syndrome ) ඇතිවීමට හේතු වූ එහි පූර්වගාමියාට ශරීරයෙන් පිටත ශක්‍යතා මට්ටමක් ඇති බව විද්‍යාඥ යින් සොයා ගත්හ. 

    මෙයින් අදහස් කරන්නේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් අතර වැඩි වශයෙන් සම්ප්‍රේෂණය වීම වැනි වෙනත් සාධක විය හැක්කේ වර්තමාන වසංගතය 2002-2003 SARS පුපුරා යෑමට වඩා විශාල බවයි.

    පසුගිය සතියේ පළ කරන ලද සහ සම-සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින චීන පුවත්පතක, නව කොරොන වයිරසයේ වායුගෝලීය ස්වරූපයක් වුහාන්හි රෝහලක රෝගීන්ගේ නාන කාමරවල මළ සමග තිබී ඇති අතර, වෛරසය මුලින්ම අනාවරණය වූයේ පසුගිය වසරේ අගභාගයේදී ය.

    2003 දී හොංකොං මහල් නිවාස සංකීර්ණයක සිය ගණනක් මිනිසුන්ට ආසාදනය වීමට SARS හි වායුසමීකරණ ආකෘතියක් හේතු විය.

    NEJM අධ්‍යයනය පිටුපස සිටින කණ්ඩායම SARS වෛරසය පිළිබඳව සමාන පරීක්ෂණ සිදු කළ අතර වෛරස් දෙක සමාන ලෙස හැසිරෙන බව සොයා ගන්නා ලදී.

    කොරෝනා වයිරස් වසංගතය 200,000 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී 8,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූයේ ඇයිද යන්න පැහැදිලි කිරීමට ඔවුන්ගේ සමාන ශක්‍යතාව අසමත් වන අතර SARS වසංගතය 8,000 ක් පමණ ආසාදනය වී 800 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

    මෙම සොයාගැනීම් මගින් සමාජ දුරස්ථභාවය, මුහුණට අත නොතැබීම, කැස්ස හෝ කිවිසුම් යන විට ඔබේ මුඛය සහ නාසය ආවරණය කිරීම සහ විෂබීජ නාශක ඉසින හෝ පිසදැමීම් භාවිතා කරමින් වස්තූන් නිතරම විෂබීජහරණය කිරීම පිළිබඳව මහජන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ මග පෙන්වීම සනාථ කරයි.

    අල්ජසීරා වාර්තාවක් අසුරිණි – සකස් කළේ තුෂාධවි

  • කොරෝනාවලින් ආරක්ෂාව වන්න මේ උපදෙස් පිළිපදින්න – පෝෂණ වෛද්‍ය සංගමය

    කොරෝනාවලින් ආරක්ෂාව වන්න මේ උපදෙස් පිළිපදින්න – පෝෂණ වෛද්‍ය සංගමය

    කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් පැහැදිලි කර තිබේ.

    • දිනකට ජලය ලීටර් දෙකක් පානය කිරිම.
    • ප්‍රධාන ආහාර වේල් තුන නියමිත පරිදි ලබා ගැනිම.
    • විටමින් සී බහුල දෑ ආහාරයට ගැනීම (පේර, නෙල්ලි, ජම්බෝල, කැරට් කොල, මුරුංගා කොළ, ගස්ලබු, දොඩම්)
    • සින්ක් බහුල දෑ  ආහාරයට ගැනිම. (කූනිස්සන්, බිත්තර)
    • ස්නැක් වර්ග, පැණිරස බීම හා බදින ලද ආහාර වර්ග ආහාරයට නොගැනීම.
    • ඇල්කොහෝල් හා දුම්වැට් භාවිතයෙන් වැළකීම.
    • අහාර ගැනීමට හෝ ආහාර සැකසීමට පෙර තත්ත්පර විස්සක් අත සේදීම.
    • හැකි තරම් නිවසෙ පිසිල ලද අහාර භාවිතයට ගැනීම.
    • පැය 6-8 ක පමණ ප්‍රමාණවත නින්දක් ලබාගැනීම.
  • නාමයෝජනා Hot News: ඩිල්ෂාන්ට, අර්ජුන කමලනාත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ

    නාමයෝජනා Hot News: ඩිල්ෂාන්ට, අර්ජුන කමලනාත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ

    ගැටුම අවසන් දයාසිරි – දුමින්ද – වීරකුමාර – ලසන්ත නාම යෝජනා අත්සන් කරති

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නාමයෝජනා අත්සන් කිරීම සම්බන්ධයෙන් පැවැති අර්බුදය අවසන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක හා එම පක්‍ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) නාම යෝජනා පත්‍රයට අත්සන් කළා.

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී කොළඹ, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවලින් අවම අවස්ථාවන් ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම දින කිහිපයක් පමා කළා.

    ඩිල්ෂාන්ට, අර්ජුන කමලනාත්ට සහ මුතුහෙට්ටිගමට නාම යෝජනා නෑ

    ශ්‍රී පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තර කරන බව මාධ්‍ය හමු තබමින් කියා සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන්ට නාය යෝජනා ලැබී නොමැති බව වාර්තා වෙනවා. ඔහු මීට කලකට පෙර, ජනපතිවරණ සමයේදී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පිට තමා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

    මේ අතර පසුගිය කාලයේ තම දේශපාලන ආගමනය ගැන මාධ්‍ය හමුවේ පුරසාරම් දෙඩූ නළු අර්ජුන් කමලනාත්ට ද නාම යෝජනා හිමි වුණේ නැහැ. ඔහු මීට පෙර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ  ආරාධනයෙන් ගාල්ලෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන බව සඳහන් කර තිබුණා.

    තිලකරත්න ඩිල්ෂාන් සහ අර්ජුන කමලනාත් මීට මාස කිහිපයකට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

    මෙ අතර පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට ද මෙවර ඔහු නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලැබී නැහැ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා වන මුතුහෙට්ටිගම මහමැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂ ක්‍රියාකාරින් හමුවෙමින්  මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

  • චීනයෙන් ඩොලර් මිලියන 500ක්

    චීනයෙන් ඩොලර් මිලියන 500ක්

    ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව අද (18) ගිවිසුමකට එළඹී තිබේ. ගිවිසුමට අත්සන් තැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැන් වෙයි යන මහත්වරුන් විසිනි. එම මුදලින් රටේ නිල විදේශ විනිමය සංචිත ද ශක්තිමත් වනු ඇති බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ්‍ය පවසයි.

  • අද දින කොරෝනා පුවත් සියල්ල මෙන්න

    අද දින කොරෝනා පුවත් සියල්ල මෙන්න

    කොරෝනා අසාදිත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇති පිරිස 50 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා. මේ සම්බන්ධයෙන් සැකපිට රෝහල්ගත වී ඇති පිරිස 212ක් බවයි අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ.

    ඇදිරි නීතියට ගරු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්

    පුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු පිරිස් වෙත නිරෝධායන නීතිය යටතේ දැඩි දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අද (18) පැවති කොරෝනා මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ තම වාහන ආදිය මඟින් ඇඳරි නිතිය කාල සිමාව තුළදි ගමන් බිමන් ගියහොත් එම වාහන නිරෝධායන නීතිය යටතේ පොලිස් භාරයට ගන්නා බවයි.

    රජය විසින් ලබා දුන් නිවාඩු අවභාවිත කරමින් විනෝද සවාරි යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා සෑම පොලිස් බල ප්‍රදේශයකම මාර්ග බාධක දෙක බැගින් යෙදවීමට ද පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

    ගුවන් තොටුපළේ විශේෂ කවුළුවක් ස්ථාපනයට පියවර

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ සිට ගුවන්තොටුපළේ විශේෂ කවුළුවක් තුළින් ගුවන්තොටුපළේ පිටව යන පුද්ගලයින් විශේෂ උණ පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කලේය.

    අද (18) කෙරෝනා මර්දනය වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ජාවකට  එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.

    ඒ  අනුව යම් රෝගි තත්ත්වයක් පැවතුණහොත් එම පුද්ගලයාට රටෙන් පිටව යාමට ඉඩ ලබා නොදෙන බවත් මෙය දියුණු රටවල ඉතා සක්‍රියව ක්‍රියාත්මක කරන බවත් විශේෂයෙන් චිනය වැනි රටවල මෙය ක්‍රියාත්මක කරන බවත් එම නිසා මෙය ලංකාවේත් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත්ය.

    රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන වසා දමන ලෙස ඉල්ලීමක්

    රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන තාවකාලික වසා දමන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අදාළ පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය. ජාසිංහ මහතා කියා සිටියේ වසංගත තත්ත්වයට පත්ව ඇති කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ගන්නා පියවරක් ලෙස මෙම ඉල්ලීම කරන බවයි.

    දඹදිව වන්දනාකරුවන් ගෙන්වා ගත් වහාම නිරෝධනයට – යුද්ධ හමුදාපති

    දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබෙන බවත් මෙලෙස පැමිණෙන පිරිස අනිවාර්යයෙන් නිරෝධායනයට යොමු කිරීමට සිදුවන බව අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

    රු. 6000ක උපරිම මිලකට පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර

    දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කළ යුතු බවයි රජය පවසන්නේ.

    රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයට

    පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම මහතා අද (18) පෙරවරුවේ සිට සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.

    පොලිස් දින – පොලිස් සහන දින සතියක් නවත්වයි

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත විමේ අවදානමක් පැවතිම හේතුවෙන් පොලිස් මුලස්ථානයේදි පවත්වනු ලබන මහජන සහන දිනය හා පොලිස් නිලධාරින් වෙනුවෙන් පවත්වන සහන දිනය සති දෙකක කාලයක් සඳහා නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

  • නිවාඩු දුන්නේ විනෝද වෙන්න නෙමේ – සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා

    නිවාඩු දුන්නේ විනෝද වෙන්න නෙමේ – සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ දේශිය පුරවැසියන්වට වඩා කොරෝනා වසංගතය පැතිරි ඇති රටවලින් සිට පැමිණි පිරිස  අතර බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    අද (18) පැවති කෙරෝනා මර්දන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයි මේ බව ප්‍රකාශ කළාය.

    විශේෂයෙන් ඊයේ දිනයේ වාර්තා වු රෝගින් දෙස බැලිමේදි ඉතාලිය, කටාර්, එංගලන්තය හා ඉන්දියාව වැනි රටවලින් පැමිණි පිරිස් මෙම රෝගයට බදුන් වි ඇති බව දක්නට ඇති බවත් මේ තත්ත්වය තුළ රජයක් ලෙස හැකි ඉක්මණින් මේ තත්ත්වය පාලනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

    මෙහිදී නිවාඩු ලැබුණු දිනවල ජනතාව හැසිරෙන ආකාරය පිළිබදව සිය කණස්සල්ල පළ කළ අමාත්‍යවරිය රජය නිවාඩු ලබා දුන්නේ චාරිකා සහ විනෝද ගමන් යෑමට නොවන බවත් චාරිකා සහ විනෝද ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් සදහන් කළාය.

  • ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස්

    ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස්

    රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. 

    ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇත.

    දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.