Category: සුපිරි News

  • අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට: කේ. සුජීවාට තුවාල

    අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට: කේ. සුජීවාට තුවාල

    අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තා මිය ගොස් ගායන ශිල්පී කේ.සුජීවා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

    තුවාල ලැබූවන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ. කේ.සුජීව ඇතුළු පිරිසක් ටැටූ මැදිරියක් විවෘත කිරීමට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි. කේ. සුජීවා සහ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

  • වෘත්තීය සමිතිවලට මුදල් රාජ්‍ය ඇමැති කළ ආරාධනය

    වෘත්තීය සමිතිවලට මුදල් රාජ්‍ය ඇමැති කළ ආරාධනය

    මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තෘප්තිමත් ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම වැදගත් බවයි.

    මීට වසර දෙකකට පමණ පෙර 13,72, 000ක් වූ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම පවා ගැටලුවක්ව පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා 2024 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරිමට කටයුතු කළ බව සඳහන් කළේය.

    හැකියාවක් පවතී නම් එය තවත් වැඩි කළ යුතු බව තම අදහස බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ එක් එක්, විවිධ කොටස් වලට සීමා වූ ප්‍රශ්න රාශියක් ඇති බව පිලිගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

    මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේදී සිදුවන්නේ තවත් වියදම් කිරීමක් බැවින් එමඟින් ඇතිවන්නේ භාණ්ඩාගාරයට වැය බරක් ඇති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ගත් දැඩිව බැඳුනු තීන්දු ක්‍රියාත්මක කිරීමට දැඩිව රජය බැඳී සිටින බවද සඳහන් කළේය.

    ඒ අනුව එක් එක් කණ්ඩායම් වල ප්‍රශ්න වලට පැලැස්තර විසඳුම් සෙවීමේදී තවත් ප්‍රශ්න රාශියක් උද්ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මෙම සියළු ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර 2025 අයවැය මගින් එම විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද මෙහිදී පැවසීය.

    රට වැටී තිබුණු තත්ත්වයේ සිට නැගිටිමින් සිටින මොහොතක, තම තමන්ගේ වගකීම, රට තිබෙන තත්ත්වය, ගමන් කරන ධනාත්මක තත්ත්වය සියලු දෙනා තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බවද එහිදී ඔහු පැවසීය.

     

  • විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි

    විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි

    ග්‍රාම නිලධාරීන් සහ මිනින්දෝරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා (ජූලි 8 සඳුදා සහ ජූලි 9 අඟහරුවාදා) ලෙඩනිවාඩු දමා සේවයට වාර්තා නොකරමින් දෙදින වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.

    මේ අතර ජුලි 9 අඟහරුවාදා ‘ලෙඩ නිවාඩු දමා’ සේවයට වාර්තා නොකරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයට එක්වනු ඇති  බව වාර්තා වේ.

    සේවා ශ්‍රේණිය නොතකා රුපියල් 25,000ක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.

    ජීවන වියදම සහ බදු බර වැඩිවීම නිසා ඇති වූ ආර්ථික පීඩනය හේතුවෙන් එම දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කර ඇති නමුත් දැනට රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් එම දීමනාව සීමාකර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

  • ‘ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම‘ ගැන විශේෂ නිවේදනයක්

    ‘ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම‘ ගැන විශේෂ නිවේදනයක්

    අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිතය.

    එක් එක් දිස්ත්‍රික්ක සඳහා අ.පො.ස (උ/පෙළ) හදාරන සිසුන් වෙනුවෙන් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය කලාප මට්ටමින් දැනටමත් ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් කර ඇත.

    අ.පො.ස. (උ/පෙළ) සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

    මෙම සිසුන් සඳහා හිඟ වාරික මුදල්ද සමගින්‍ රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊලඟ මස සිට අ.පො.ස. (උ/පෙළ) ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ලැබේ.

    පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක වන අතර තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 12,000/- මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමට කටයුතු කරන අතර, ඊලඟ මස සිට මසකට රු 3000/- බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලැබේ.

    ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුව Follow/Like කර තබාගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

  • මත්ද්‍රව්‍ය ජාවාරමුන් ගැන ජනපති කළ  ‘සුපිරි හෙළිදරව්ව‘

    මත්ද්‍රව්‍ය ජාවාරමුන් ගැන ජනපති කළ ‘සුපිරි හෙළිදරව්ව‘

    • ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදි ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා.
    • ලබන වසරේ අයවැයෙන් ද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා.
    • ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ඇතැමුන් පැවසුවද මා එසේ කළේ නැහැ – රාජ්‍ය සේවක වැටුප් නියමිත වේලාවට ලබා දුන්නා.
    • ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍යයි.
    • මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් දැඩී නීති ගෙන එනවා.
    • මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී එක්ව කටයුතු කිරීමට කලාපීය නායකයන් තීරණය කර තිබෙනවා – ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක් වෙමින් ජනපති පවසයි.

    රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්, ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුවද තමා එලෙස නොකළ බවත්, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බව ද අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “නීති ගරුක රටක්’ යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුන් ද ඉදිරිපත්වීම පුදුමයට කරුණක් බවයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අද ත්‍රස්තවාදයට වඩා විශාල තර්ජනයක් රටට එල්ල වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවත්, අනාගත පරපුර මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වුවහොත් රට ගොඩනැඟීමට රජය ගන්නා සියලු උත්සාහයන් නිශ්ඵල වන බවත් කියා සිටියේය.

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් වෙනුවෙන් හැදුනුම්පත් ලබාදීම සහ තෝරාගත් සාමාජිකයන් වෙනුවෙන් සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

  • ණය කපා හැරීමෙන් පොදු ජනතාවට ලැබෙන සහනය කීයක් ද ?

    ණය කපා හැරීමෙන් පොදු ජනතාවට ලැබෙන සහනය කීයක් ද ?

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය 05 වැනිදා පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.

    මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.

    රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමි වන බවද පෙන්වා දුන්නේය.

    තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    මම ආණ්ඩුව හැදුවේ ඉතා අසීරු කාලයකදීයි. ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. නමුත් මම ආණ්ඩුව භාරගත්තා. සෑම පක්ෂයකම කොටස් එක් කර ගනිමින් ආණ්ඩුව ගොඩනැගුවා. දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා.

    මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත් හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූතියි කළ යුතුයි. තමන්ගේ නිවස ගිනි බත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද අප රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන තිබෙනවා. අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.

    ඒ වගේම අප පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබී තිබෙනවා.

    ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ. අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.

    මා ආණ්ඩුව භාර ගැනීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට ඉන්දියාව ලිහිල් කොන්දේසි ණය මත ඩොලර් බිලියන තුන හමාරක් ලබා දුන්නා. ඒ වගේම බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. ආර්ථික අසීරුතා හමුවේ වුවද අප බංග්ලදේශය ලබා දුන් ඩොලර් මිලියන 200 ආපසු ගෙවා තිබෙනවා.

    ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. වැට් බදු වැඩි කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් එය කිරීමට සිදු වුණා. ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා. ගොවි මහත්වරුන්ට කිව්වා නැවත කොළඹට එන්න කියලා. කොළඹට එන්න බැහැ ඉන්ධන නැතිව.

    අපි ජනතාවට අවශ්‍ය ඉන්ධන , පොහොර ලබා දුන්නා. ඒ අවස්ථාවේ දී පවා ගොවි ජනතාවට කිව්වේ වගා කරන්නේ නැතිව කොළඹට එන්න කියලා.

    ආර්ථිකය කඩා වැටෙද්දි එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. දියුණුවන විට එහි වාසිය කොටසකට පමණක් හිමි වෙනවා. අප උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනුයි. පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම් කොටසේ සින්නක්කර අයිතිය අද එම ජනතාවට හිමි වෙනවා. මෙය ආණ්ඩුව තැබූ වාර්තාවක් බව කිවයුතුයි.

    ඒ වගේම දැන් අපට ආධාර ලැබෙන නිසා අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. අනෙක් මාර්ග පද්ධතියත් මේ සමඟ එක් වෙනවා. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.

  • සොරණාතොට ලොරි අනතුරින් හතරක් මරුට

    සොරණාතොට ලොරි අනතුරින් හතරක් මරුට

    බදුල්ල, සොරණතොට ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ස මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

  • ඇල්පිටියේ PHI ඝාතනය කළේ ඇයි ?  අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    ඇල්පිටියේ PHI ඝාතනය කළේ ඇයි ? අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය අනන්‍යතාව වැරදීමකින් සිදු වූවක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    පසුගිය පෙබරවාරි මාසයේ ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනයට ලක්වූ අතර මෙම ඝාතනය ගැන විශාල සමාජ අවධානයක් ද යොමුවිය.

    හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් ළඟ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී තමන් පාතාලයේ වෙඩික්කරුවෙකු බවත් කොන්ත්‍රාත්තුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සිදුකළ බවත් පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඩුබායි හි සැඟවී සිටින පාතාල නායකයෙකු ලෙස සැලකෙන ‘සමන් කොල්ලා‘ නැමැත්තා විසින්  දීපාල් රොෂාන් කුමාර පදිංවිව සිටින ප්‍රදේශයේම පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

    උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට වෙඩික්කරු විසින් නිල ඇඳුමෙන් සැරසී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඡායාරූපය ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඩුබායි වෙත පලාගොස් සැඟව සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා විසින් වෙඩි තැබීමට සැලසුම් කර ඇත.

    සමන් කොල්ලාට අයත් බව කියන හෙරොයින් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පොලිස් නිලධාරියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.

    සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත ඕවිට ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ එම්.එම් වර්ගයේ පිස්තෝලයක්, මැගසිනයක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට භාවිත කළ බවට සැක කෙරෙන ජීව උණ්ඩ දහයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. .

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු තුවක්කුකරුට නවාතැන් සැපයූ බව කියන අඹුසැමි යුවළක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

  • ජපානයෙන් අලුත් ‘යෙන් ණය‘ ලැබෙයිද ?

    ජපානයෙන් අලුත් ‘යෙන් ණය‘ ලැබෙයිද ?

    ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ සහ ජපානය, අත්හිටුවා ඇති ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම මත ශ්‍රී ලංකාව සඳහා ඕනෑම නව යෙන් ණයක් ගැන සලකා බැලීමට ජපානය සූදානම් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

    නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අත්හිටුවා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. ලිපි ලේඛන කටයුතු සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසු මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය උනන්දු වන බව අදාළ මූලාශ්‍රය හෙළි කළේය.

    ආර්ථික අර්බුද මධ්‍යයේ ජපානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම ඇතුළු ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Japan International Cooperation Agency – JICA) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 12ක් නවතා දමා ඇත.

    කෙසේ වෙතත්, ඇනහිට ඇති ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශ්වාසයක් ඇති වන තුරු ජපානය ශ්‍රී ලංකාව තුළ නව යෙන් ණය ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපානය සූදානම් නැති බව ද වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) පිළිබඳව විමසූ විට මූලාශ්‍රය පැවසුවේ, “එය නව ව්‍යාපෘතියක් ලෙස සලකා බැලීමට සූදානමින් සිටිනවා. පැරණි ව්‍යාපෘතිය අවලංගු කර තිබෙනවා. එය නැවත ආරම්භ කළ නොහැකියි. LRT ව්‍යාපෘතියක් සලකා බැලුවහොත් එය නව ව්‍යාපෘතියක් විය හැකිය‘

    2020 දී ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක දුම්රිය ව්‍යාපෘතියෙන් ඉවත් විය.

    මේ අතර ජපාන ආධාර ඇතිව LRT ව්‍යාපෘතිය දියත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළ කළේය.

    මාර්තු අග භාණ්ඩාගාර දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩොලර් බිලියන 37ක විදේශ ණයවලින් සියයට 28.5ක් ද්විපාර්ශ්වික ණය හිමියන් සතුය. චීනය විශාලතම තනි ද්විපාර්ශ්වික ණය දෙන්නා වන අතර එය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.66ක් වන අතර ජපානය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.35ක් සමඟ දෙවැනි වේ.

    මූලාශ්‍රය – ඩේලි මිරර්

  • ඔත්තුකරුවන් දස ලක්ෂපතියන් කරනවා – පොලිස්පති

    ඔත්තුකරුවන් දස ලක්ෂපතියන් කරනවා – පොලිස්පති

    සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහ ජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

    පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අද (04 දින) “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පැවති විශේෂ මෙහෙයුම් වැඩසටහනට සහභාගී වෙමිනී.

    මෙහිදී මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පොලිස්පතිවරයා කියා සිටියේ, පොලිස් කොට්ඨාස මට්ටමින් රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවත්, කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලෙසත්ය.

    සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත් පොලිස්පතිවරයා කීවේය.

     

  • හිරුණිකාගේ ‘ඇප සිහිනය’ බොඳ වුණේ ඇයි ?

    හිරුණිකාගේ ‘ඇප සිහිනය’ බොඳ වුණේ ඇයි ?

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බවත් ඒ අනුව එම ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණ හමුවේ දැනුම් දුන්නේය.

    එය අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයගේ ඇප ඉල්ලීම සලකා බැලීම එළැඹෙන 11 වැනිදා දක්වා යළි කල් දමනු ලැබීය.

    මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්දට වසර තුනක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් නියම කරන ලද අතර ඇය එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ.

  • ජනපතිවරණය කල්දැමීම:  ජනපතිගේ නිල ස්ථාවරය මෙන්න

    ජනපතිවරණය කල්දැමීම: ජනපතිගේ නිල ස්ථාවරය මෙන්න

    2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (04) දින නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

    අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

    පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

    තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි.CKM

  • කොළඹ රාජකීය විද්‍යලයට මානව හිමිකම් කොමිෂම කළ දේ

    කොළඹ රාජකීය විද්‍යලයට මානව හිමිකම් කොමිෂම කළ දේ

    2023/2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කොළඹ 7 රාජකීය විද්‍යාලයට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

    27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබා ඇති බැවින් පැමිණිලිකාර ශිෂ්‍යයෙකු වන එම්.ජී.ජයවර්ධන ශිෂ්‍ය නායකයෙකු ලෙස රාජකීය විද්‍යාලයට පත් කළ යුතු බව HRCSL සිය නිර්දේශවල අවධාරණය කරයි.

    ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන් අයථා ලෙස සැලකූ බවට පැමිණිලිකාර එම්.පත්බේරිය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විමර්ශනය කරන ලෙස ද කොමිසම නිර්දේශ කර ඇත.

    තවද, අදාළ නිර්ණායක සපුරාලන්නේ නැති ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් නිබන්ධන කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලෙස HRCSL යෝජනා කර ඇත.

    ශිෂ්‍ය නායකයින් දෙදෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශනයට රාජකීය විද්‍යාලය විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයක ප්‍රතිඵලයක් ද කොමිසම අපේක්ෂාවෙන් පසුවේ.

    රාජකීය විද්‍යාලය අදාළ පත්වීම් ඵලදායි හා විනිවිදභාවයකින් සිදු නොකළ බවත්, එමගින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවත් HRCSL අවධාරණය කරයි. එබැවින් මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශිෂ්‍ය නායකයින් පත් කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙස රාජකීය විද්‍යාලයෙන් ඉල්ලා සිටියි.

    2023/2024 ශිෂ්‍ය නායකයින් පත්කිරීමේ ක්‍රියාවලියේදී අයිතිවාසිකම් කඩවීම් සිදු වූ බවට චෝදනා කරමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් ගොනු කරන ලද පැමිණිලි හතකට අනුව මෙම ක්‍රියාව සිදු කෙරේ.

  • ගුරු වර්ජන ස්මබන්ධයෙන් ජනපති විපක්ෂයෙන් කළ ඉල්ලීම

    ගුරු වර්ජන ස්මබන්ධයෙන් ජනපති විපක්ෂයෙන් කළ ඉල්ලීම

    ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි.

    දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

    එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට එක් විය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.

    අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.

    ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.

    රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.

    ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.

    අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.

    පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා,

    බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.

    අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.

    දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.

    ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.

    උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.

    ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.

    ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා. අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.

  • රු. 20,000ක වැටුප් වැඩි කිරීමක් ඕනෑ – රාජ්‍ය සේවයේ පොඩ්ඩෝ වර්ජනයට සූදානම්

    රු. 20,000ක වැටුප් වැඩි කිරීමක් ඕනෑ – රාජ්‍ය සේවයේ පොඩ්ඩෝ වර්ජනයට සූදානම්

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කරයි.

    පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බව ද මුණසිංහ මහතා සඳහන් කළේය.

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවට ද ඔහු චෝදනා කළේය.

    ‘මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුව ද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් ජූලි 08 සහ 09 යන දින දෙක තුළ දී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

  • පාසල් වෑන් රථවල ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීන්දුව

    පාසල් වෑන් රථවල ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීන්දුව

    පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය.

    පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

    ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද එම සංගමය කීවේය.