Category: සුපිරි News

  • රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග

    රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග

    කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත. 

    එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.

    කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත

  • කොවිඩ් මරණ 66ක් සහ නව ආසාදිතයින් 2329ක්

    කොවිඩ් මරණ 66ක් සහ නව ආසාදිතයින් 2329ක්

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (28) සිදුව ඇති එම කොවිඩ් මරණ 66න් 41 දෙනකු පිරිමින් වන අතර 25 දෙනෙකු කාන්තාවන් වේ.

    මියගිය පුද්ගලයින්ගෙන් 46 දෙනකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර 17 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්: එන්නත මාත්‍රා දෙකම අරන් !

    විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්: එන්නත මාත්‍රා දෙකම අරන් !

    තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියයි.

    ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ජයරුවන් බණ්ඩාර මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව ද පැවසීය.

    ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ තමා ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිශක්තිකරණ එන්නතත සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නත  ලබාගත් බවයි.

    තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.

    මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් සදහන් කර ඇත්තේ අද (29) දින කොවිඩ් ආසාදිතයින් 2329 දෙනකු හදුනා ගත් බවයි.

    මේ අතර අද (29) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව ඊයේ (28) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මරණ 66ක් සිදුව ඇත.

  • ‘කොවිඩ් එන්නත් කාඩ්පත‘ නැති නම් අන්තර් පළාත් බස්වල ගමන් බෑ

    ‘කොවිඩ් එන්නත් කාඩ්පත‘ නැති නම් අන්තර් පළාත් බස්වල ගමන් බෑ

    අගෝස්තු 1 වනදා සිට අන්තර් පළාත් ගමන් සඳහා COVID එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

    ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

    එන්නත ලබා දුන් බවට සාක්ෂි ලෙස හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එවැනි ලියවිල්ලක් අන්තර් පළාත් ගමන් සඳහා අවසර පත්‍රයක් ලෙස සලකනු ලැබේ.

    බස්නාහිර පළාතේ සියලුම බස්රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට අගෝස්තු 15 වන විට එන්නත් ලබා දෙන බවට රජය සහතික විය යුතු බව විජරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    බස්නාහිර පළාතෙන් පිටත ක්‍රියාත්මක වන බස් රථ සේවකයින්ට එන්නත් ලබා ගැනීම සදහා අගෝස්තු අවසානය දක්වා සහන කාලයක් ලබා දෙන බව විජරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

  • ලංකාවේ ළමා අපයෝජනවල ‘තවත් බිහිසුණු පැත්තක්‘ හෙළිවෙයි !

    ලංකාවේ ළමා අපයෝජනවල ‘තවත් බිහිසුණු පැත්තක්‘ හෙළිවෙයි !

    පසුගිය ජූනි මස 17 දා සිට ජූලි 28 දක්වා සිදුකළ නිරීක්ෂණයකදී දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන (child ponography) අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17,629ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන පරිගණක, ජංගම දුරකතන සහ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කර අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

    “ළමා හා කාන්තා කාර්යංශය සහ පොලිසිය එක්ව මේවා කරන පුද්ගලයන් සහ කණ්ඩායම් ගැන පුළුල් පරික්ෂණයක් කරනවා. මෙවා කරන පුද්ගලයන් සොයා බැලීමට පොලිස් විශේෂ කාන්ඩායමක් පත්කර තිබෙනවා. ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට නිකුත් කළ පුද්ගලයන්ට විරුද්ධව අපි තදින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

  • රටපුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

    රටපුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

    2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත.

    දිවයිනේ අනෙක්  දිස්ත්‍රික්කවලට  සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්  ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි  ප්‍රවණතාවයක් දැකිය හැක. 2021 වසරේ දී මේ දක්වා (2021. 07. 29 දින දක්වා) ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වූ අතර, ජූනි මාසයේ දී රෝගීන් 2,997 ක් ද, ජුලි මාසයේ මේ දක්වා රෝගීන් 3,029 ක් ද  හඳුනා ගෙන ඇත.

    දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් අතරින් 70 % ක් පමණ බස්නාහිර පළාතින් වාර්තාවීම ද විශේෂත්වයකි. දැනට දිවයින තුල ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් වැසි සහිත කාලගුණය නිසා ඉදිරියටත් මෙලෙස ඩෙංගු රෝගයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද‍්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදු කල මෙරට සංසරණය වන ඩෙංගු වෛරස් ප්‍රභේද හඳුනා ගැනීමේ නියැදි පර්යේෂණයක දී, 

    මේ වනවිට ඩෙංගු වෛරස් කාණ්ඩ (Dengue serotype) 4 ම දිවයින තුළ සංසරණය වන බවට හඳුනා ගෙන ඇත. මෙයින් වෛරස් කාණ්ඩ 2 හා 3 දිවයින තුල වැඩි වශයෙන් සංසරණය වන අතර වසර කිහිපයකට පසුව ඩෙංගු වෛරස් කාණ්ඩ 1 නැවතත් මෙරට තුල සංසරණය වන බව ද එම පර්යේෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත. 

    මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන්ගේ ඉහල යාමක් අපේක්ෂා කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

    රට තුල කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, නැවත ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ  ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යයේ නිසි පැවැත්මට දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩකඩ ඇති බැවින් පහත සදහන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වීම අනිවාර්ය බව ද ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

    1. ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම.

    • නිවස තුල ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි ජලය රැස්කරන භාජන, ශීතකරණ තැටි හා විසිතුරු මල්බදුන් පිරිසිදු කිරීම.
    • නිවස අවට පරිසරයේ ඇති ඉවතලන භාජන, හිස් ටින්, යෝගට් කෝප්ප, පොල්කටු, ප්ලාස්ටික් හා පොලිතින් ඇසුරුම් ජලය රැස් නොවන සේ ගබඩා කිරීම හෝ නිසි කසල කළමනාකරණ ක්‍රමවේදයන්ට අනුකුලව බැහැර කිරීම.
    • වැහිපීලි සහ කොන්ක්‍රීට් වහල සතියකට දෙවරක් වත් ජලය එක්රැස් නොවන සේ පිරිසිදු කිරීම.

    2. ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම.

    •  ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදෑසන සහ සවස් කාලයේ දී , ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ආලේප කරන්න. අනුමත මදුරු විකර්ශකවල නාම ලේඛනයක් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ www.dengue.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක .
    • විශේෂයෙන් කුඩා දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී ශරීරය ආවරණය වන සේ ඇඳුම් භාවිතා කිරීම මගින් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා විය හැක.              

      3. ඩෙංගු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම හා ඩෙංගු රෝගය සැක කරන අවස්ථාවන්හි දී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

    • තද උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මස්පිඩු හා හන්දිපත් වේදනාව, ඔක්කාරය හා වමනය ඇති     අවස්ථාවලදී නොපමාව වෙද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම.
    • කොවිඩ්, ඩෙංගු වැනි වෛරස් රෝගවල මුලික අවස්ථාවන් වලදී, රෝග ලක්ෂණ බොහෝදුරට සමාන බැවින් ඉහත රෝග ලක්ෂණ ඇති අවස්ථාවන්හිදී කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත්ය. 

    දිවයින පුරා ඇති රෝහල් කොවිඩ්-19 රෝග අවදානම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට, උණ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහලකට පැමිණි පසු රෝහලට ඇතුළත් කර ගැනීමේ හා වර්ගීකරණයේ (Triage) ආරක්‍ෂිත ක්‍රමවේද හඳුන්වා  දී ඇත. එම නිසා ඩෙංගු යයි සැක කරන අවස්ථාවක දී රෝහල් කරා පැමිණීමට ජනතාව කිසි සේත් බිය විය යුතු නොවේ.         

    ජාතික ඩෙංගු මර්දන ඒකකය,  රට පුරා  විසිරි ඇති සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්යාල හා එක්ව, අඛණ්ඩව  ඩෙංගු රෝග  මර්දන හා පාලන කටයුතුවල නිරත වෙමින් ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදු කරනු ලබයි. 

    ඩෙංගු  රෝග පාලනය හා මර්දනය සදහා පොදු මහජනතාවගේ සක්‍රිය දායකත්වය හා මැදිහත්වීම, රට තුල තවත් වසංගත රෝගයක් පැතිරී යන අවස්ථාවක දී අතිශයින් වැදගත් බවත් සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂිත රෝග පාලන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේදී මහත් පිටිවහලක් වනු ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

  • ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ

    ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ

    ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන හිඟයක් මතු විය හැකි බව බහිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

    ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය ලීටර් 35 කි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි.  ඒ අනුව අපේ රටේ නිෂ්පාදනය වන්නේ මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 30% ක් පමණී.  

    2020 කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රජය ඩොලර් මිලියන 333 ක් වැය කළේය. ආහාර වර්ග ඇතුළු ආනයනයන් රැසක් තහනම් කර ඇති නමුත් අද දක්වාම රජය නිල වශයෙන් කිරි ගෙන්වීම තහනම් නැත. නමුත් රටේ ප්‍රධාන කිරි පිටි ආනයන සමාගම්වලට ණයවර ලිපි විවෘත කිරීමේ අර්බුදයකට මුහුණ දී ඇත.

    පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 250 ක් සපයා ගත නොහැකි නිසා කෘෂි කර්මාන්තයම අර්බුදයකට ලක්වී ඇත. ණයවර ලිපි විවෘත කිරිම සඳහා බැංකුවල ඩොලර් නොමැතිවීම හේතුවෙන් කිරි ආනයනය සීමා කිරීමට සිදුවේ.  ඩොලර් අර්බුදයෙන් හේතුවෙන් කිරි පිටි ආනයන 70% කින් පහත වැටීමට ඉඩ ඇත. කළු සල්ලි ඩොලර් හෝ නැති නම්, කිරි පිටි පෝලිමක්, හිඟයක් වැලැක්විය නොහැකිය.    

    කිරි පිටි නැතිවීම පෝෂණ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ ප්‍රශ්නයක් පමණක් නොව ජනතාවගේ දිගු කාලීන ඇබ්බැහිකමක් සන්තර්පනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. 

  • මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

    මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

    ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් රටට-ලෝකයට  ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.    

    භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන 198.2 ක ‘මුදල් අච්චු ගසා‘ ඇත. ශ්‍රී ලංකාව සෙමින් නමුත් ස්තීරවම දැවැන්ත මුල්‍ය අර්බුදයක් ගරා ගමන් කරමින් සිටින නමුත් රජය මෙන්ම විපක්ෂය ද ‘රටේ මුල්‍ය අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවත් හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

  • ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව 728,460ක් ලබන සෙනසුරාදා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සදහන් කළ චන්න ජයසුමන මහතා මෙම එන්නත් තොගයෙන් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින් 490,000 කට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන බව ද පැවසීය.

  • කෝටි 2000ක මැණික් පොකුර චීනයට

    කෝටි 2000ක මැණික් පොකුර චීනයට

    පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

    මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

    ‘‘ මේ වන විට මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. එය වෙන්දේසියේ විකිණීමට ප්‍රථම එහි වටිනාකම තක්සේරු කරගත යුතුයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. රටේ විදේශ විනිමය ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක්. මෙම මැණික අලෙවියෙන් 10%ක් රජයට හිමිවෙනවා‘‘

    රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ළිදක් කපමින් සිටියදී හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වන අතර එය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකෙනවා.

  • ‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

    ‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොවිඩ් -19 හි ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව වැඩි නමුත් එය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදවලට වඩා මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි.

    “ ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකියි. රෝහල් ගත වීමේ වැඩි අවදානමක් ඇති බවට රටවල් දෙකක දත්ත අපට පෙන්වා දෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය ඉහළ මාරාන්තික අනුපාතයකට පරිවර්තනය වන බව අප දැක නැහැ, ”ඇය ට්විටර් වෙබ් අඩවියේ පළ කළ කෙටි වීඩියෝ පටයක සඳහන් කර තිබෙනවා.

    විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පැවසුවේ මෙම ප්‍රභේදයේ හඳුනාගෙන ඇති සමහර විකෘති වෛරසය සෛලයට වඩාත් පහසුවෙන් ඇලී සිටීමට ඉඩ දී ඇති බවත් එම නිසා එය මිනිසුන්ට පහසුවෙන් ආසාදනය කළ හැකි බවත්ය.

    කෙසේ වෙතත්, මේ දිනවල වෛරසය අඛණ්ඩව වෙනස් වන බවත්, එම නිසා එය වඩාත් දරුණු වන වෙනස්කම් සිදුවිය හැකි බවටත් ඇය අනතුරු ඇඟවූවාය. 

    “අපි කනස්සල්ලට පත්වන්නේ වෙනස්කම් ගැනයි‘ ඇය පැවසුවාය.

    “එය සංසරණය වන තරමට එය වෙනස් වේ. ඩෙල්ටා ප්‍රභේදය අප ගැන කතා කිරීම ඔබට ඇසෙන අවසාන ප්‍රභේදය නොවේ. අපව ආරක්ෂාකාරීව තබා ගැනීමට අපට මෙවලම් තිබේ, ”ඇය පැවසුවාය.

  • විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ.

    ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ  ශ්‍රමිකයන්ට  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යන රටවල් රැසක්ම  පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්  සමග  පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කෙරිණ.

    අද  දින එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර අද සිට දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.විදේශ රැකියා සඳහා රැකියා  බලපත්‍ර  ලැබූ  සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත  ලබා ගත හැක. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ

    www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

    අද මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණයට කම්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ  සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා  යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක මහතා ද ජූඩ් ප්‍රනාන්දු මහතාද   එක්වූහ .මෙම එන්නත් ලබාදීමේ කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සිදු කෙරෙන අතර ඒ අනුව විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

  • පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට

    පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති අතර, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා කැඳවා තිබේ.   

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු පළමු සතිය තුළදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, රජයේ ගිණුම් කාරක සභාව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව කෝපා කමිටුව විසින් අගෝස්තු 03 වැනිදා විමර්ශනයට ලක් කරනු ඇත.

    එයට අමතරව අගෝස්තු 03 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන්ද රැස්වනු ඇත.

    ලබන අගෝස්තු 04 වැනිදා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇති අතර, එදිනම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද කටයුතු සූදානම් කොට ඇති බව මහ ලේකම් දසනායක මහතා තවදුරටත් සඳහන් කළේය.

    අගෝස්තු 05 වැනිදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වන අතර අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද එදින රැස්වේ. එයට අමතරව එදිනම ධීවර කටයතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වනු ඇත. එදිනම කාර්මික සංවර්ධන මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර සමූපකාර සංවර්ධන දේපාර්තමේන්තුව කෝපා කමිටුව වෙත කැඳවා තිබේ.

    අගෝස්තු 06 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව කැඳවා ඇති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

  • Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

    Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

    ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක් දියත් කළේය. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලාංකිකයින් එක්රොක් කිරීම සඳහා ‘නිල ඔල්වසරන් ගීතය’ දියත් කරමින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

    ‘නිල ඔල්වරසන් ගීතය’ දියත් කිරීමේ අවස්ථාව සඳහා ඔලිම්පික් රිදී පදක්ම් ජයග්‍රාහිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය, ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆාසිල් හුසේන් මහතා සහ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. ICL Brands හි සමූහ අධ්‍යක්ෂිකා, ශාන්ති බජිරාදන්, එම සමාගමේ විධායක නිලධාරී රාකේෂ් කොස්ලා, කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් කනෝජියා යන මහත්ම මහත්මීන්ද විශේෂ අමුත්තන් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූහ. සහ නිල ඔල්වරසන් ගීතය දියත් කිරීම සමාජ මාධ්‍ය ජාලා හරහා සජීවීව විකාශය කරමින් සන්නිවේදන ව්‍යාපෘතිය ආරම්භ වූ අතර එය ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවත්වෙන කාලසීමාව පුරාවට ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත.

    මෙම අවස්ථාවට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊවා හි කාර්යභාරය අගය කරමින් මෙසේ පැවසුවාය “ICL Brands වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට ඉදිරිපත් වනු දැකීම මට විශාල සතුටක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ, රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ ක්‍රීඩිකාවක් වශයෙන් මෙහි වටිනාකම මා හොඳින් දන්නවා”

    (චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, සුසන්තිකා ජයසිංහ, දුශාන් වාස්, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී, නිලූ ජයතිලක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික ෆසීල් හුසේන් මහත්ම මහත්මීන් නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී.)

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසීය “සන්නාමයක් වශයෙන් ඊවා ක්‍රියාත්මක වන්නේ ‘විශ්වාසයෙන් පෙරමුණට’ යන තේමාව සමඟයි. එනිසා උත්සාහය, ධෛර්යය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කැපවීම වැනි වටිනාකම් ඊවා සන්නාමය නිතරම ප්‍රවර්ධනය කරන ගුණාංගයන්. අපි හිතන විදියට අද ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම, සාමාජිකාවක්ම මේ ගුණාංගවලට හොඳම උදාරහණයි. ඔවුන් තමන්ගේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමට වෙනුවෙන් අතිමහත් කැප කිරීමක් කරමින්, දැවැන්ත චිත්ත ධෛර්යයක් ඇතිව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් හට අපේ ගෞරවය ලැබිය යුතුයි. එනිසා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගන්වන අතරම සන්නාමයක් වශයෙන් අපි විශ්වාස කරන වටිනාකම් රැසක් ප්‍රවර්ධනය කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා”

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆසීල් හුසේන් මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ ‘නිල දිරිගැන්වීමේ සහකරු’ වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මම ඊවා වෙත ස්තූතිවන්ත වෙනවා. ටෝකියෝවට ගොස් සිටින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා ලෝකය ඉදිරියේ හිසින් දරා සිටින්නේ අපේ රටේ ගෞරවයයි. එනිසා ඔවුන් වෙත අපේ ආදරය, ගෞරවය සහ දිරිගැන්වීම නොඅඩුව ලැබිය යුතුයි. ශ්‍රී ලාංකිකයින් වශයෙන් එය අපේ යුතුකමක්. එනිසා මා සිය`ඵ සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ දිරිගැන්වීමේ වැඩසටහන හා සම්බන්ධ වී, අපේ ඔලිම්පික් කණ්ඩායමට සවියක් වීමට කටයුතු කරන ලෙසයි”

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය මෙසේ පැවසුවාය “මෙවර ටෝකියෝ හි පැවත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අතකින් සුවිශේෂයි. ඒ කණ්ඩායමේ සාමාජිකයින් 9 දෙනාගෙන් 5 ක්ම ක්‍රීඩිකාවන් වන නිසා. මෙය සිය`ඵ ශ්‍රී ලාංකික කාන්තාවන් ආඩම්බර විය යුතු කාරණයක් බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සන්නාමයක් වන ඊවා ඔලිම්පික් කණ්ඩායමේ නිල දිරිගැන්වීමේ සහකරු බවට පත්වීමත් ඒ ආකාරයෙන් සුවිශේෂී සිදුවීමක්. ඊවා විසින් මේ වෙනුවෙන් දරන වෑයම වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වන අතරම විශේෂයෙන්ම කාන්තාවන් ඇතුඵ සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට මේ දිරිගැන්වීමේ වෑයමට දායක වන ලෙස ආරාධනා කරනවා”

    නිල ඔල්වරසන් ගීතය ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන අතර එහි පිටපත් දෙකක් හඳුන්වා දී ඇත. ‘ඇය වෙනුවෙන් ඊවා’ තේමාව සහිත ඔල්වරසන් ගීතය ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ කාන්තා සාමාජිකාවන් වෙනුවෙන්ම නිර්මාණය වූවකි. ‘ඔබ වෙනුවෙන් අපි’ තේමාව සමඟ එන ගීතය සමස්ත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය වූ ගීතයයි. මෙම ඔල්වරසන් ගීතය කේන්ද්‍ර කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා ආදරණීය ශ්‍රී ලාංකිකයන් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත. ප්‍රචාරණ මාධ්‍ය ගණනාවක් ඔස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර සමාජ මාධ්‍ය තුළ #wecan සහ #defybarriers භාවිතා කරමින් දිරිගන්වන්නන් හට මේ වෑයමට දායක විය හැකිය.

  • සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනියි

    සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනියි

    රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා.

    ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් මීට පෙර මූලික විරෝධතාවක් මතුකළද එම විවෘක විරෝධතාවය මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කළා.

    ඉන්පසුව එම තීරණයට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත්කළ බවත් එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

    එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බව නීතිඥ අජිත් පතිරණ සඳහන් කළා.

    මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගනිමින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇතැයි සඳහන් කළා.

  • ගුරු – විදුහල්පති ඉල්ලීම් ගැන අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බව අගමැති කියයි

    ගුරු – විදුහල්පති ඉල්ලීම් ගැන අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බව අගමැති කියයි

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවති සකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සුදානම් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වෘත්තිය සංගම්වෙත අද දින දැනුම් දුන්නේය.

    වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවතිය ද මෙතෙක් සාධාරණ විසදුමක් නොලැබුණු බවත්, රටේ පවතින ආර්ථීක අර්බුධය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩිකිරීමක් සිදු කළ නොහැකි වුවද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහි දී ඉල්ලා සිටියහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී මෙසේ සඳහන් කළේය.

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා. වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්ත්වයත් සමඟ රටේ ආර්ථීකය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා. අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඔබේ ගැටලු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම කැබිනට් මණ්ඩලයේ දී ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අපි සූදානම්. කෙසේ වෙතත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම පිළිබද තීරණයකට එළැඹිය යුතුයැයි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

    සමාජ මාධ්‍ය තුළ විවිධ පත්‍රිකා සංසරණය වන බව පෙන්වා දුන් වෘත්තීය සමිති නියෝජිතයෝ වැටුප් විෂමතාව සම්බන්ධව සුබෝධනී වාර්තාවට වෘත්තීය සමිති එකගතාව පළ කරන බවත් එහි අන්තර්ගතය කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්දැයි තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළහ.

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, කැබිනට් මන්ඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාවද පාදක කරගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බව ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

    ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීමේ අරමුණ අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප් තල කෙරෙහි බල නොපාන පරිදි ගුරු විදුහල්පති වැටුප් විෂමතාව අවම කිරීම බවත් මේ වන විටත් ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇතිබවත්, ඒ පිළිබඳව මාස කිහිපයක් අධ්‍යයනය කර සකස් කළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    පසුගිය ආණ්ඩු පහක කාලයක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම පිළිබඳව මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ස්තුතිය පළ කළහ.