Category: සුපිරි News

  • උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි කල් යයි

    උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි කල් යයි

    2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

    ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

    මීට පෙර, අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

    අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද තවත් ගැටළුවක් පැන නැගී ඇත. සෞන්දර්ය විෂයන් හැදෑරූ සිසුන් සඳහා ප්‍රායෝගික විභාගය පැවැත්වීම පිළිබඳ ගැටළුවක් පවතී. එබැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙමින් පවතී.

    “සෞන්දර්යය විෂයයන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය නොහැකි නම්, පාසල පදනම් කරගෙන ලකුණු ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල නිකුත් කළ හැකිද යන ප්‍රශ්නයට අප මුහුණ දී සිටිමු‘‘ යැයි අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

    සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික විභාගය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත.

  • මිල කළ නොහැකි මැණික් 3ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රැගෙන ගිහින්! (වීඩියෝ)

    මිල කළ නොහැකි මැණික් 3ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රැගෙන ගිහින්! (වීඩියෝ)

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබේ.

    කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුුවීමට පසුගිය දා තීරණය විය.

    ඒ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙනි.

    එම අධිකාරිය මේ වන විට නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ ස්ථාපිත කෙරෙමින් පවතී.

    එතෙක් එම අධිකාරිය සතුව තිබු ලොව වටිනාම මිල කළ නොහැකි බව පැවසෙන මැණික් 3ක් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අද විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගියේය.

    උපුටා ගැනිම: අද දෙරණ

  • ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  හඳුන්වාදෙයි

    ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය හඳුන්වාදෙයි

    තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.

    හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ  Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි.

    මෙම නව smart මුව ආවරණයේ ඇති සුවිශේෂිතා මෙසේය.

    • BreathTech – S 3  යනු ස්වාභාවිකව දිරාපත්වන සෙලියුලෝස් මත පදනම් වූ අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද Smart සංවේදකයක් සහිත මුව ආවරණයකි.
    • නව තාක්ෂණය මුසු දේශීය නිෂ්පාදනයක් වන මෙහි ඇති proprietary graphene sensor සංවේදකය හරහා හුස්ම ගැනීනම් වේගය, එය ශරීරය සමඟ සම්බන්ධවී ඇති ආකාරය සහ CO2 එක්රැස්ව ඇති ප්‍රමාණය ගණනය කරන අතර, අවදානම් තත්වයකට ළඟා වේ නම් ඒ සම්බන්ධයෙන් ජංගම දුරකතනයට ඇතුළු කළ හැකි App එකක් වෙත දැනුම් දීම සිදු කරනු ලබයි.
    • ශ්වසන සංවේදක තාක්ෂණය ඇතුළත් කර තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවන ලද Breathtech – S³ ලොව ප්‍රථම Smart මුව ආවරණය මෙයයි.
    • BreathTech – S³ පැළඳ සිටින පුද්ගලයාගේ ශ්වසන වේගය නිරීක්ෂණය කරන අතර එම පුද්ගලයාගේ මුහුණට නිසි ආකාරයෙන් සවිව අවම කාන්දුවක් ඇතිවන බවට fit assessment තාක්ෂණය හරහා තත්කාලීනව නිරීක්ෂණය කරයි.
    •  BreathTech – S 3 හි සංවේදක අමුද්‍රව්‍ය (සංවේදක මූලද්‍රව්‍ය) ප්‍රශ්වාස වාතයේ ඇති සංඝටක සමඟ ප්‍රතික්‍රියා කිරීම තුළින් එහි විද්‍යුත් සන්නායක ගුණය වෙනස් කරයි.
    • එම වෙනස්වීම් සංවේදකයේ සන්නිවේදන මොඩියුලයේ ඇති විද්‍යුත් පරිපරිපථය මඟින් හදුනාගන්නා අතර එය Bluetooth හරහා ජංගම දුරකතනයේ ඇති විශේෂිත යෙදුම (App) වෙත ලබා දේ.
    • ඉන් අනතුරුව ඒ තොරතුරු එම යෙදුම  (App) සතුව ඇති අති නවීන තාක්ෂණයේ තොරතුරු සකස් කිරීමේ  machine learning algorithms හරහා තේරුම්ගෙන පරිශීලකයාට ලබාදීමට කටයුතු කරයි.
    •  BreathTech – S 3 හි පෙරන ස්ථරය සංතෘප්තවීම නිසා මුව ආවරණය ලිහිල්වීම ගැන දැනුවත් කිරීමේ හැකියාව පවතී.
    • එමෙන්ම මුව ආවරණය තුළ ඇති සංවේදකය තුළින් ඒ තුළ CO2 එක්රැස්වීම නිරීක්ෂණය කරන අතර, පළඳින පුද්ගලයාට අළුත් හුස්ම ගත යුතු අවස්ථාව දැනුම් දීමට ද එයට හැකියාව පවතී.
    • BreathTech – S 3 හි විලාසිතානුකූල නිමැවුම සහ සුමට සැකැස්ම හේතුවෙන් එය විලාසිතානුකූල සහ සුවපහසු උසස් තාක්ෂණයෙන් යුතු මුව ආවරණයක් වන අතර එමගින් පළඳින පුද්ගලයාගේ ආරක්ෂාව තහවුරුවීම සිදුවේ.
    • මේ සඳහා අතිනවීන සහ අනන්‍ය සංවේදකය නිර්මාණය කිරීමට SLINTEC ආයතනයේ විද්‍යාඥයන් විසින් වසර ගණනාවක පර්යේෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ මිනිරන් භාවිතා කර නිපදවන ලද මුද්‍රණය කළ හැකි Graphene යොදා සිදුකරන ඉතාමත් සංවේදී සහ අඩු පිරිවැයක් සහිත සංවේදක නිෂ්පාදන තාක්ෂණයක් භාවිතා කරනු ලබයි.
    • 100% සෙලියුලෝස් සහ දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙය පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදනයක් වන අතර එහි යෙදුම (App) තුළ මෙම මුව ආවරණය නිසි පරිදි වගකීම්සහගතව බැහැර කිරීමට අදාළ උපදදෙස් ද ඇතුළත් වේ.
    • පරිසර හිතකාමී කර්මාන්තශාලා තුළ නිපදවන මෙම පරිසර හිතකාමී Smart මුව ආවරණයේ ඇසුරුම් ස්වාභාවිකව දිරාපත්වන ලෙස සකස් කර තිබීමෙන්  මුව ආවරණ  හේතුවෙන් පරිසරයට එක්රැස් වන කසල ප්‍රමාණය අවම කළ හැකියි. 
    • මේ තුළ ඉහළ කාර්යාක්ෂමතාවකින් යුත් පෙරහන් ස්ථරයක් අඩංගුවන අතර, වැඩි ආරක්ෂාව සඳහා බැක්ටීරියා විනාශ කරන තරල අඩංගු ස්ථරයක් ද  ඇතුළත් වේ.
    • BreathTech-S³, තත්කාලීන fit assessment හරහා කුඩා අංශු සහ බිඳිති වලට නිරාවරණය වීම අවම කරන අතරම කාන්දු වීම වැළැක්වීම හරහා වැඩි ආරක්ෂාවක් ලබාදෙයි.
    • මෙම අති නවීන Smart මුඛාවරණය 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට  සහභාගී වන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදීමට SLINTEC,, Hirdaramani සමූහය සහ CirQ Technologies ආයතන කටයුතු කර තිබේ.
  • පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි

    පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි

    සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර  අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ අතර, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ පැලියේටිව් කෙයාර් භාරයේ ප්‍රධානී වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා එම සංවිධානය වෙනුවෙන් ගිවිසුම් ලේඛණයට අත්සන් තැබීය.

    මෙරට ජනතාව අතරින් සෑම පැයකටම 04 දෙනෙකු පිළිකා රෝගීන් බවට පත්වනු ඇතැයි හදුනාගෙන ඇති අතර, දිනකට බෝනොවන රෝග වලින් මියයන පිරිස අතරින් දෙදෙනෙකු පිළිකා රෝගී තත්ත්වය නිසා මියයන බව  ද සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත.

    එම තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට සහ රෝගීන් කලින් හදුනාගෙන ප්‍රතිකාර කටයුතු සදහා යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

    එම වැඩපිළිවෙලට අනුව රට තුල පිළිකා වැළැක්වීම, පාලනය, ප්‍රතිකාර සේවා සහ රෝගීන් කල්තියා හදුනා ගැනීමේ සේවාවන් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතු විධිමත් කළ යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දෙන ලදි. ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක ම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.  

  • භාණ්ඩාගාරයෙන් ‘අමතර ප්‍රතිපාදන නොදෙන බව‘ බැසිල් ඇමැතිවරුන්ට කියයි

    භාණ්ඩාගාරයෙන් ‘අමතර ප්‍රතිපාදන නොදෙන බව‘ බැසිල් ඇමැතිවරුන්ට කියයි

    මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

    ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ  පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම කළ මුදල් අමාත්‍යවරයා සහල් මිල රුපියල් 20කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද සඳහන් කළා.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ කාලයේදී රාජ්‍ය අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් ද නැති බවයි.

    ‘‘අපි පසුගිය කාලයේ රජයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ නිසා මේ වන විට සේවය කරමින් සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කර යන්න කියලා තමයි මට ඉල්ලීම් කරන්න වෙන්නේ‘‘

    මෙහිදී රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය ගැන විශේෂයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව ද පැවසුවා.

    ‘මේක ඒ හැටි අර්බුදයක් නොවෙයි. යුද්ධය කාලේ විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 1.2යි‘ මුදල් අමාත්‍යවරයා පැවසුවා.

    ‘මහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යනවා. මේ නිසා ඩොලර් වෙනුවෙන් කළුකඩයක් නිර්මාණය වී තිබෙනවා. කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියත් එය මේ වන විට 220 දක්වා පහළ වැටී තිබෙනවා‘ යැයි ද සදහන් කළා.

  • කොළඹ කොවිඩ් ආසාදිතයින්ගෙන් 30%කටම ඩෙල්ටා –  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    කොළඹ කොවිඩ් ආසාදිතයින්ගෙන් 30%කටම ඩෙල්ටා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 20% 30% අතර ප්‍රතිශතයක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන්  විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

    කොළඹ සාම්පල 10ක ඩෙල්ටා  ආසාදනය වූ දෙදෙනකු හෝ හෝ තිදෙනකු සිටිනවා නම් එය 30%ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවයි හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

    මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද ඊයේ බරපතළ ලෙස අනතුරු අගවමින් කියා සිටියේ ඩෙල්ටා ආසාදිතයින් වර්ධනය වීමේ හමුවේ රට යළි අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.

  • වැඩිහිටියන් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින් ප්‍රජාවට අවස්ථාව‘

    වැඩිහිටියන් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින් ප්‍රජාවට අවස්ථාව‘

    මෙතෙක් එන්නත නොගත් දෙමාපිය, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

    මෙතෙක් එන්නත් නොකළ දෙමාපියන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට මෙරට යෞවන සමාජ ව්‍යාපාරය ප්‍රමුඛ තරුණ සංවිධාන නියෝජනය කරන තරුණ තරුණියන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡාකොට එම සෞඛ්‍ය නිලධාරින් වැඩිහිටියන් හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින නිවස්වලට ගොස් එන්නත්කරණය සාර්ථකව අවසන් කිරීමට රජයට  සහය වන්නැයි ද අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

    මෙතෙක් එන්නත් නොකළ දෙමාපිය, වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (18) දින මේ බව සඳහන් කළේය.

    එහි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    එන්නත්කරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද සියලුම එන්නත් අපේ රටට ගෙන එන්න අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා. සියලුම එන්නත් කිරීමේ වැඩසටහන් මේ වනවිට දීප ව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

    ඒ අතර අපි දන්නවා තවමත් එන්නත්කරණය කරගන්න බැරිවුණ දෙමව්පියො ඉන්නවා නම් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්නත්කරණය කරන මධ්‍යස්ථානවලට ඇවිල්ලා එන්නත ලබාගන්න.

    ඒ වගේම නිවෙස්වල වැඩිහිටියො ඉන්නවා නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයො ඉන්නවා නම් එන්නත්කරණය සඳහා මෙතෙක් පැමිණීමට නොහැකි වුණ අයට අපි ආරාධනා කරනවා මේ රටේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයට, තරුණ සංවිධානය මේ අයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙලා මේ වැඩිහිටියන්ට, දෙමාපියන්ව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්න.

    අතිගරු ජනාධිපතිතුමාගෙත් ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡාකොට ඒ සෞඛ්‍ය නිලධාරින් අවශ්‍ය තැන්වල නිවස්වලට හෝ රැගෙන ගොස් එන්නත්කරණ සාර්ථකව අවසන් කරන්න අපට දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.

    ඒ අනුව මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නෙ ඔබ ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙන්න. ඔබේ ප්‍රදේශයේ වැඩිහිටියන්, දෙමාපියන් සැමගේ ජීවිත ආරක්ෂා කරන්න. මේ එන්නත්කරණය තවත් සාර්ථක කරගන්න ඒ අයව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්නත්, මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැකි අයවලුන්ගේ නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යතුමා පැවසීය.

  • ‘ලංවිම රාජපක්ෂලාගේ අප්පගේ බූදලයක් නෙමෙයි‘ – ලංකා විදුලි සේවක සංගමය

    ‘ලංවිම රාජපක්ෂලාගේ අප්පගේ බූදලයක් නෙමෙයි‘ – ලංකා විදුලි සේවක සංගමය

    විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත් ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.

    ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව පැවසූවේ අද (18) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එම මාධ්‍ය හමුව සඳහා ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපතිවරුන් වන අර්ජුන රණජීව, සුරෙස් අත්තනායක, උප ලේකම් එම්. උගාස්, භාණ්ඩාගාරික එ.එම් පත්මසිරි, සංවිධායක ලේකම් මනෝජ් ප්‍රියංකර යන අයද සහභාගී වී සිටියහ.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා, “විදුලි බල මණ්ඩලය බැසිල්ලාගේ, මහින්දලාගේ, ගෝටලාගේ අප්පගේ බූදලේ” නොවන බව සඳහන් කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ලබන 20වන අඟහරුවාදා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. එමෙන්ම සෑම ගමකම පන්සල් මූලික කර ගෙන පාරිභෝගික කමිටු පිහිටුවන බවත් ඒ හරහා ඇමරිකාවට විදුලි බල මණ්ඩලය විකිණීමේ ආණ්ඩුවේ කූඨ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කරන බව ද ඔහු සදහන් කළේය.

  • ඩෙල්ටා ව්‍යාප්තිය ගැන PHI සංගමය ‘රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට’ අනතුරු අඟවයි !

    ඩෙල්ටා ව්‍යාප්තිය ගැන PHI සංගමය ‘රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට’ අනතුරු අඟවයි !

    කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඉදිරියේදී පත්විය හැකි බවත් ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් රට ඉතා අවාසනාවන්ත තැනකට තල්ලු වීම නොවැළැක්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් රෝහණ මහතා කියා සිටියේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ බොහෝ රටවල් ද ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් යළි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා මෙසේද පැවසුවේය.

    “ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අද අප ඉන්න මේ තත්ත්වය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නෙමෙයි. එය ඉතාම භයානක අවධානම් තත්ත්වයක්. ලෝකයේ අපට වඩා කොවිඩ් එන්නත්කරණය සිදුකළ බොහෝ රටවල් මේ වන විට අඩපණ වෙලා තියෙනවා. එම රටවල් මේ වන විට දරුණුම කොවිඩ් -19 වසංගත තත්ත්වයන්ට මුහුණදෙමින් ඉන්නවා. ඒ වගේම ඊශ්‍රායලය, දකුණු කොරියාව ආදි බොහෝ රටවල් නැවත වරක් අගුළු දමමින් ඉන්නවා. ජනතාවගේ සංචරණය සීමා කරමින් ඉන්නවා.

    ‘‘නමුත් දිගින් දිගටම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයින් හමුවෙද්දි රජය හා ප්‍රතිපත්ති තීරකයෝ තියෙන සංචරණ සීමා ලිහිල් කරමින් ඉන්නවා. පාලකයෝ වගේම මහජනතාවත් සියල්ල අමතක කරමින් කටයුතු කරමින් සිටින බව අපිට පෙනී යනවා.

    ‘මේ නොසැලකිලිමත් තත්ත්වයේ ආදීනව‘ඉදිරි දින කිහිපයේ දී දකින්න ලැබෙයි. කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙයි. වසංගතයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්වුවහොත් ලංකාවට මීට කලින් මුහුණ දුන්න වසංගත තත්ත්වයට වඩා අවදානම් තත්ත්වයක මුහුණ දෙන්න සිදුවෙයි.

    ‘‘අනිවාර්යයෙන් ම මේ තත්ත්වය බැරෑරුම් ලෙස රජය හා ජනතාව වටහාගත යුතුයි. ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් ඉතා අවාසනාවන්ත තැනකට තල්ලුවෙයි. ඒක නතර කරන්න හැකියාවක් නැහැ‘‘ උපුල් රෝහණ මහතා වැඩි දුරටත් කීවේය.

  • ආණ්ඩුවට ඡන්දේ දුන් පිරිසට තුන්වේලම කන්න නෑ – මුදල් ඇමැති බැසිල්

    ආණ්ඩුවට ඡන්දේ දුන් පිරිසට තුන්වේලම කන්න නෑ – මුදල් ඇමැති බැසිල්

    තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස වත්මන් රජයට ඡන්දෙ දුන් බවත් කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නේ සිටින බව කී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තම මූලික ඉලක්කය සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය බවත් සදහන් කළේය.

    අද (18) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් බිලියන හතරක විදේශ සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි බව ද කීවේය.

    ‘‘ යුද්ධය පැවැති අවස්ථාවේදී ද රට සතුව පැවැතියේ ඩොලර් කෝටි 120 ක් පමණයි. අද ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීමට බොරු ප්‍රචාර ද සැලකිය යුතු ලෙස බලපා තිබෙනවා‘‘ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.

  • නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

    නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

    ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පත්වීම් ලිපිය පසුගිය ජූලි 16 වැනිදා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබෙනවා..

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ පසුගිය 25 වැනිදා නිදහස් වුණා.

    එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි දුමින්ද සිල්වා මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වුණා. භාරත ලක්ෂ්මන් ඝාතනයට පෙර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළා.

  • කොවිඩ් ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්තගේ‘ සුපිරි සොයා ගැනීම රටට හෙළි කරන්න

    කොවිඩ් ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්තගේ‘ සුපිරි සොයා ගැනීම රටට හෙළි කරන්න

    කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබියදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයිගේ ඩෙල්ටා ප්‍රභේදය ඇති බව හොයා ගනු ලැබූ පරීක්ෂාව කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව‍ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රවි කුමුදේශ් මහතා කියන්නේ වසංගත විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනි විදිහට, නිරෝධායන නීතීයට පාවිච්චි කරලා මර්ධනය ගේන්න ආණ්ඩුවට ලණු දීපු සමහර දේශපාලකයින්, වැරැද්ද නිවැරදි කිරීම වෙනුවට රටට විහිළු සපයමින් සිටීම ඛේදජනක බවයි.

    ජෝසප් ස්ටාර්ලිං ඇතුලු කණ්ඩායමේ සියළු PCR පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ අණුකජීවී රසායනාගාරය මගින් සිදු කරන ලද අතර, ඒ සියළු  පරීක්ෂණ මගින් කිසිවෙක් හෝ ආසාධිත නොවන බව තහවුරු කර දින හතරකට පසුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අර අදින්නේ කුමකට යන්න පැහැදිළි නැත. නමුත් මෙම විහිළු සැපයීම දිගින් දිගට සිදුවීම මඟින්  වසංගත පාලනය අයාලේ යෑම නොවැලැක්විය හැකි බැවින්,  කිසිදු ආසාධනයක් නොමැති පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල හිර කර තබමින් සිදුකරන ලද වරද ආණ්ඩුව වහා නිවැරදි කල යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • ලංකාවේ විවාහ වීම් 750,000ක් සිදුනොවීමෙන් ‘දරු උපත් 250,000ක් අහිමි වෙලා‘

    ලංකාවේ විවාහ වීම් 750,000ක් සිදුනොවීමෙන් ‘දරු උපත් 250,000ක් අහිමි වෙලා‘

    COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව වේගයෙන් පහළ යමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

    ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් 350,000 ක් පමණ සිදුවන නමුත් පසුගිය වසර දෙක තුළ කිසිදු විවාහයක් සිදු නොවූ හෙයින්, දරු උපත් සංඛ්‍යාව ද 100,000 දක්වා විශාල ලෙස පහත බැස ඇති බව අමාත්‍යවරයා හෙළිකළා.

    COVID වසංගතය, ගර්භනී කාන්තාවන් තුළ COVID ආසාදන සහ ඔවුන්ගේ මරණ මෙසේ දරු ප්‍රසූතිය අඩුවීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් විවාහ උත්සව පැවැත්වීම අඩුවීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

    “COVID-19 වසංගතය සහ රජය විසින් පනවා ඇති සීමාවන් හේතුවෙන් පසුගිය දෙවසර තුළ විවාහ උත්සව 750,000 ක් සිදුවී නැහැ. රටේ ජනගහන වර්ධනය සලකා බැලීමේදී මෙය අනාගතයට ප්‍රශ්නයක් වේවි” රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    “කොරෝනා වසංගතයෙන් පුද්ගලයින් 3,600 ක් පමණ මියගොස් තිබෙන අතර නූපන් දරුවන් 350,000 කට පමණ එම අවස්ථාව අහිමි වී තිබෙනවා‘

    මෙම ගැටලුවේ ප්‍රතිවිපාක 2025 සහ 2026 යන වසර වලදී රට මුහුණ දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  • ක්‍රියාකාරකම් 10කට අදාළ ‘සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි‘

    ක්‍රියාකාරකම් 10කට අදාළ ‘සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි‘

    දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංචරණ සීමා තව දුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආගමි ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ක්‍රීඩා තරග ඇතුළු ක්‍රියාකාරකම් 10ක් යටතේ සංචරණ සීමා ලිහිල් කිරීම් ගැන එම නිවේදනයේ සදහන්. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

  • 15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප

    15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප

    ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද (16) සැකකරුවන් සිව් දෙනකුව හඳුනා ගත්තාය.

    දැරිය විසින් හඳුනාගත් සැකරුවන් වූයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි.

    මාලදිවයන් හිටපු මුදල් ඇමැතිවරයාට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ හෙයින් මහෙස්ත්‍රාත්වරිය ඔහුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අතර අනෙක් සැකකරුවන් තිදෙනාගේ විමර්ශන අවසන් නොමැති හෙයින් ඔවුන්ව ජුලි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

    මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.

  • නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්

    නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්

    රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කළේය. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු පෙන්වා දුන්හ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබේ.  එම නිසා අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනු ලැබීය. පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.