Category: සුපිරි Sports

  • අපේ කාලෙට වඩා දැන් ක්‍රිකට් ගොඩක් වෙනස් – මුත්තයියා මුරලිදරන්

    අපේ කාලෙට වඩා දැන් ක්‍රිකට් ගොඩක් වෙනස් – මුත්තයියා මුරලිදරන්

    තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන්, වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකදී ඉහත අදහස් පළ කර සිටියේය.

    “ඇත්තටම ගත්තොත් අපි ගහපු ක්‍රිකට් එක, දැන් තියෙන එකට වඩා ගොඩක් වෙනස්. එහි හිතන විදිය සහ කල්පනා කරන විදිය වෙනස්. ඒ වුණාට ක්‍රිකට් එකේ ආකල්පවල කිසිම වෙනසක් වෙලා නෑ” යැයි පවසා සිටින මුරලිදරන් මහතා, “මම හිතන්නේ දක්ෂතාවල කිසිම අවුලක් වෙලා නෑ. හොඳට බැට් කරන්න පුලුවන් කට්ටිය ඉන්නවා. හොඳට දඟ පන්දු යවන්න පුලුවන් අය ඉන්නවා. කවදාවත් නැති විදියට තුන් ඉරියව් ක්‍රීඩකයින් ඉන්නවා. කොටින්ම කියනවා නම් විකල්ප ගණනාවක් තියෙනවා” යි මුරලි සඳහන් කර සිටියේය.

    ජාතික පුහුණු සංචිතයට ඇතුළත් කොට තිබෙන ක්‍රීඩකයින් 36 දෙනාගෙන් ළහිරු තිරිමාන්න හැරුණු විට සෙසු සියළුම ක්‍රීඩකයින් මෙම වටිනා අවස්ථාවට සහභාගිවී සිටියහ. ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් ආයතන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාද සහභාගිවී සිටියහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මුරලිදරන් මහතා, “මෙතැනදී අවශ්‍ය වන්නේ ඔයාලා දක්ෂතා අතරට පැමිණීමයි. පිතිකරුවෙක් එයාගේ කැරියර් එක ඉවර වෙන කොට ශතක 30 ක් හෝ 40 ක් ගහලා තියෙන්න ඕන. අන්න එහෙමයි අපි ප්ලෑන් කළේ. එහෙම නැතුව නිකං නමට ගහලා වැඩක් නෑ. ඔයාලා එකලොස් දෙනා එහෙම ඉඳලා කරනකොට අඩුම ගාණේ 60% ක් විතර තරග දිනන්න පුලුවන් වෙනවා. මම කියන්නේ නෑ 100% ක් දිනන්න කියලා. එහෙම කරන්නත් බෑ. මොකද අනිත් අයත් පුහුණුවීම් කරනවා. වගේම දක්ෂයි. නමුත් ඔයාලා උපරිම බලන්න ඕන එතනට ගියහම දක්ෂතා දක්වන්න අවස්ථාව ගන්න. ඔයාලා ඒ අවස්ථාව ගන්නේ නෑ” යි සඳහන් කර සිටියේය.

    ක්‍රිකට් ක්‍රීඩාවේදී මනස යහපත් ලෙස තබා ගැනීම ඉතා වැදගත් බව මෙම වැඩසටහනේදී පෙන්වා දුන් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන මුරලිදරන් මහතා, මනස හරියාකාරව තබා නොගෙන මොන දේ කළද ඉන්න ඵලක් නොවන බව පවසයි.

    “මේ හැම දේටම වැදගත් වෙන්නේ මනස. මනස හරියට තියාගන්න බැරි නම් මං හිතන් නෑ අපි කොච්චර දක්ෂ පුහුණුකරුවන් ගෙනාවත් වැඩක් නෑ. පුහුණුකරුවෝ නොවෙයි ක්‍රිකට් ගහන්නේ. ඔයාලයි. ඔයාලා තමයි 90% ක්ම පිළිතුරු දෙන්න ඕන. නැතුව එළියේ ඉන්න කට්ටියට, ක්‍රිකට් බෝඩ් එක මාරු කරා කියලා ඕකට පිළිතුරු දෙන්න බෑ. අපි කොච්චර කමිටි දැම්මත් අපිට ඇවිල්ලා මෙතන ක්‍රීඩා කරන්න බෑ. ඔයාලා තමයි ආකල්පමය වෙනසක් සමඟ ක්‍රීඩා කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අලුත් ක්‍රීඩකයින් ටිකක් කණ්ඩායමට ගෙනල්ලා ක්‍රීඩා කරවන එක. එතකොට ඒ ටික හරි අලුතින් හැදෙයිනේ. ඒක නිසා මම කියන්නේ මොන දේ වුණත් ඔයාලා හෙල්ලෙන්නේ නැතුව තමන්ගේ යුතුකම හරියට කරන්න. එහෙම වුණොත් යළිත් අපි හිටපු පරණ තත්ත්වයටම ආයිත් එන්න පුලුවන්” යි මුරලිදරන් මහතා සඳහන් කර සිටියේය.

  • ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 4ක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්

    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 4ක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්

    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් බව වාර්තා වේ.

    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අද (12 ) පැවැති අතර එම පරීක්‍ෂණයෙන් අසමත් ක්‍රීඩකයින් වන්නේ ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන සිවු දෙනායි.

    මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කියා සිටියේ මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බවයි.

    ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් ද කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් ද කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න ද මෙම පරීක්ෂණයට සහභාගී නොවූහ.

    බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් සිටියහ.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ‘COPE කමිටු රැස්වීම’ අතරමඟ අත් හිටුවයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ‘COPE කමිටු රැස්වීම’ අතරමඟ අත් හිටුවයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, එම ආයතනය විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කාරක සභා සාමාජිකයෝ තීරණය කළහ.

    සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැති රැස්වීමට  අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,  ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  මූල්‍ය පරිපාලනය අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරික්ෂණය වී ඇතැයි කාරක සභාවේ සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතා මෙහිදී කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් හෙතෙම අවධාරණය කළේය.

    2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක නොනිමි වැඩ වලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් , වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් යනාදී සම්බන්ධිත ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  කාරක සභා සාමාජිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළහ. කාරක සභා රැස්වීමේදී හෝ එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  අපොහොසත් විය.

    2020 වසර වන විට එලෙස විගණනයට ඉදිරිපත් නොකර තිබූ නොනිමි වැඩ වලට අදාළ ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 511 ක් දක්වා ඉහළ යාම සම්බන්ධවද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය.

    2018 වසරේදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදල මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති ෂම්මි සිල්වා මහතා කාරක සභාවට දැන්වීය.

    මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මසක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස සභාපති මහාචාර්‍ය චරිත හේරත් මහතා  තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

    එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්,එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.

    චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බව පෙන්වා දුන් කාරක සභාව ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට  නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසීය.

    හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය වසර 03 ක් වුවද නියමිත කාලයට පෙර ඔහු ඉවත් කිරීමට සිදු වූයේ බලාපොරොත්තු වූ වෙනස ඔහුගෙන් සිදු නොවීම හේතුවෙන් බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාවට දැනුම් දුන්නේය.

    චන්දික හතුරුසිංහ මහතා පවරා ඇති නඩුවට අදාළ නඩු ගාස්තු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට රුපියල් මිලියන 20 ක් වියදම් කර ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා වසර කිහිපයකම සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. වහාම එම වාර්තා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කරන කරන ලෙස කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

    මෙම කාරක සභා රැස්වීම පැය එක හමාරකට පමණ සීමා වූ අතර, තවත් මසකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත කැඳවීමටද තීරණය කෙරිණී.

    මෙම කාරක සභා රැස්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

  • නව ක්‍රීඩා පනත 2023 දී

    නව ක්‍රීඩා පනත 2023 දී

    නව ක්‍රීඩා පනත 2023 වසරේ දී එළිදක්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (10) පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක් වෙමිනි. 

    අධිකරණ අමාත්‍යංශය නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මේ පනත සකස් කිරීමට පත් කර ඇත.  විශේෂයෙන්ම එයට ඇතුළත් විය යුතු නිර්ණායක සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන්, ක්‍රීඩා සංගම්වලින් හා ජනමාධ්‍යවේදීන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමට ද නියමිත බව ද ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. 

    ක්‍රීඩා ප්‍රතිපත්තිය සහ  පනත එකක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා, රජය විසින් හදුන්වා දෙනු ලබන නව පනත ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි අනාගත අවස්ථාවන් සැලකිල්ලට ලක්කරමින් වෙන්ස් කළ හැකි එකක්විය යුතු බවද සදහන් කළේය.

    විශේෂයෙන්ම මෙම පනත සදහා යම් ක්‍රීඩා සමාජයක ව්‍යවස්ථාවට ඇතුලත්විය යුතු කරුනු පිළිබඳ සැලකිල්ලක් දක්වමින් නිර්මාණය කරනු ලැඛේ.  දැනට පවතින ක්‍රීඩා පනත මෙලෙස සංශෝධනය වෙමින් නව පනතක් හදුන්වා දීම සිදුවන්නේ වසර 50කට පසුව බැවින් නව පනත වසර දෙකක් වැනි කාලයක් ගනිමින් ඇතුලත් කළ යුතු සියලු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.  

  • නාමල්ගෙන් ‘අරවින්දට’ ලොකු පුටුවක්

    නාමල්ගෙන් ‘අරවින්දට’ ලොකු පුටුවක්

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

    දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා  වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත.

    අරවින්ද ද සිල්වා මහතාට අමතරව හිටපු තරග තීරකවරයකු වන රොෂාන් මහානාම, ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එම කමිටුවේ සාමාජිකයෝ ලෙසින් කටයුතු කරති.  

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු ගැන සුපිරි හෙළිදරව්වක්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු ගැන සුපිරි හෙළිදරව්වක්

    දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවද්දී මේ අය ගහන ක්‍රිකට් අපට බලන්න පුළුවන්

    මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ.

    ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අවශ්‍ය සියලු පහසුකම් පරිපාලනය ලබාදී තිබියදී මොනවද මේ ගහපු ක්‍රිකට්’ කියා තමන් තුළ විශාල ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි.

    අද (04) දින ‘දිනමිණ’ සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපේ ක්‍රීඩකයන්ට තිබූ කඩිකුලප්පුව කුමක් දැයි තමන් නොදන්නා බවයි. ඉදිරියේදී දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවද්දී මේ අය ගහන ක්‍රිකට් අපට බලන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවැසීය.

    ‘මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ. ක්‍රීඩකයෝ වුණාම දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට ක්‍රීඩා කරන්න. මේ පරාජය පුහුණුකරුවන්ගේවත්, පරිපාලනයේවත් වරදක්වත් නොවෙයි. පිට්ටනිය මැදට යන අයගේ තමයි වගකීම’ වික්‍රමරත්න මහතා පැවැසීය.

    ‘මිකී ආතර් ලෝකයේ හොඳම දක්ෂතා ඇති පුහුණුකරුවෙක්. ග්‍රාන්ට් ෆ්ලවර් හොඳම පිතිකරු පුහුණුකරුවෙක්. පිතිකරුවන් ලකුණු ගැහුවුවේ නැති වුණාම ග්‍රාන්ට් ෆ්ලවර් ෆේල් ද? එහෙම එකක් නෑ. පිට්ටනිය මැදට ගියාම ඒ අය දැන ගන්න ඕනේ සෙල්ලම් කරන්නේ කොහොමද කියලා.

    මේ රටේ අපි එදා ඉඳලා ක්‍රිකට් දැක්කනේ. හෂාන් තිලකරත්නලා බෝලේ ඇඟේ වද්දගෙන. විකට් එකේ ඉඳගෙන ලකුණු සීයකුත් ගහලා කණ්ඩායමත් බේරගෙන එනවා. අද එහෙම අය කෝ. මා හිතනවා අපට වැරදුණේ කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ වගකීම හරි හැටි හඳුනා නොගැනීමයි.

    දකුණු අප්‍රිකා තරගාවලිය පැත්තකින් දාමු. ඒකේ වේග පන්දු යවන්නන්ට උචිත තණතිලි. නමුත් ගාල්ලේ තරග දෙක. මෙහේ දඟ කැවෙන විකට්ටුවක කොහොමද ගහන්නේ කියලා තේරුම් ගත්තේ නෑ. අපි තමයි දඟ කැවෙන විකට් එකක ලෝකයේ හොඳින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම. අද ඒ වුණාට අනිත් පැත්තට ගියා. මේක පරිපාලනයේ නොහැකියාව නොවෙයි. ඒ අය ක්‍රීඩකයන් ලෙස වගකීම නොගෙන ක්‍රීඩා කිරීම’

    ‘කණ්ඩායමේ කවුරු හරි ඇවිල්ලා මේ කෝච් හොඳ නෑ. ලෝකේ හොඳම කෙනා මෙයා. ආන්න එයාව අපට ගෙනත් දෙන්න කිවුවොත් දෙන්න සූදානම්. අපට මේ පහසුකම නෑ ඒක දෙන්න කිව්වොත් ඒකත් දෙනවා. මට කියන්න කවුරු හරි ඇඟිල්ල දික් කරලා මේ පහසුකම අප ක්‍රිකට් කණ්ඩායමට දීලා නෑ කියලා. සෑම දෙයක්ම දීලා තියනවා. හැබැයි අපේ පැත්තෙන් එක වරදක් වුණා උපායශීලී නොවීම. උදාහරණයක් විදිහට කොදෙව් රටට යන්න තියෙනවානම් එයට මාස දෙකකට කලින් නැඟී එන කණ්ඩායමක් යවන්න අවශ්‍යයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් එක්ක. පුහුණුකරුවන් දෙන්නෙක් විතර යවන්න ඕනේ. එතකොට අපට දැන ගන්න පුළුවන් තණතිලි හැසිරෙන ආකාරය කල් ඇතිවම. ඒක වාසියක් කරගත හැකියි’

    ‘ක්‍රිකට් වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා සුබවාදීව බලන්න ඕනේ. ඒ සාකච්ඡාවට එක්වූ මහේලගේ හොඳ අදහස් තිබුණා. එතැනදී සාකච්ඡා වුණ දෙයක් තමයි පළමු පෙළ තරගාවලිය ටියර් බී එකට නැති කර අලුත් ව්‍යුහයක් සැකසීම. මේ දැන් තිබෙන ක්‍රමය කලින් කළ ක්‍රීඩා සමාජ ඇති වුණාම හැදුණ ක්‍රමයක්. මේවා ඡන්ද බලාගෙන කල වැඩ නොවෙයි. එදා අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, කුරුණෑගල, මහනුවර, මාතර ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළා. නමුත් අද ඔවුන්ට දක්ෂතා පෙන්වන්න බැරිවෙලා පහළට වැටුණා. ඒ වගේ ක්‍රමවේදයක් අපේ කාලේ ඉඳලාම තිබුණා. ටියර් ‘බී‘ එකට තැනක් දුන්නේ අපේ ක්‍රීඩකයන්ට පිටරට ගිහින් සල්ලි හොයන ක්‍රමවේදයක් හදන්නයි. මොකද මෙහේ පළමු පෙළ තරග 5ක් ගැහුවුවාම එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට ගහන්න පුළුවන්. කෙටි කාලයකදී අපේ ක්‍රීඩකයකුට මිලියනයක් වගේ මුදලක් උපයාගන්න හැකියි’

    ‘අලුත් පළාත් තරගාවලියකට යෝජනාවක් ආවා. ඒක අපේ කැලැන්ඩරයට දාන්න කටයුතු කරනවා. ඇමැතිතුමා කිවුවා දිරිගැන්වීමේ දීමනා සහිත ක්‍රමයක් යෝජනා කරන්න කියලා. නිකම්ම සල්ලි දෙනවාට වඩා ඒ ක්‍රමය හොඳයි. බේස්රේට් එකක් දීලා දිරිගැන්වීමේ ක්‍රමයක් ඇති කිරීම හොඳයි. තවත් යෝජනාවක් ආවා ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතා අනුව අයි. සී. සී ශ්‍රේණිගත කිරීම් ඉහළට යද්දී ඔවුන්ට වෙනම ගෙවීමක් කරන්න. මේ සියලු යෝජනා ක්‍රිකට් දියුණුවට හොඳයි. ඇමැතිතුමාටත් අපටත් ඕනෑ ක්‍රිකට් දියුණු කරන්නයි. දෙපැත්තම එකතුවෙලා ශක්තිමත් ක්‍රමවේද හදනවා’ වික්‍රමරත්න මහතා පැවැසීය.

    ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තම කණ්ඩායම යළිත් නියත වශයෙන්ම ජයගන්නා බව ද ඒ මහතා අවධාරණය කළේය.

    ‘ගතවූ කාලයේ කොරෝනා අර්බුද මැද අප විශාල වැඩ කොටසක් කළා. පාසල් ක්‍රීඩාව දියුණු කරන්න විතරක් මිලියන 500ක් දුන්නා. ඒ වගේ වියදමක් ඉතිහාසයේදී වෙලා නෑ. පාසල් ක්‍රිකට් සංගමය උනන්දුවෙන් වැඩ කරනවා. පාසල් ක්‍රිකට් හොඳ මට්ටමකට ගෙන ආ යුතුයි. ක්‍රීඩා සමාජවලට සල්ලි දෙන්නේ නෑ. නමුත් ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කරනවා. දැන් බලන්න අම්බලන්ගොඩ ධර්මාශෝක – දේවානන්ද හොඳම පාසල් දෙකක් ති‍ෙයනවා. කරන්දෙණිය සෙන්ට්‍රල් එක ති‍ෙයනවා. ඒකට ක්‍රීඩාපිටියක් නෑ. හොඳ ග්‍රවුන්ඩ් එකක් අපි හදනවා. ඒක අල්ලසක් දීමක් ද? දියුණුව දකින්න බැරි උදවිය එක එක දේ කියාවි. හොරු කියයි. දූෂිතයෝ කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හැම වියදමක්ම රජයේ විගණනයට යටත්. මොනවා කිවුවත් අපි අපේ ගමන යනවා. ඒක ජනතාවාදී ගමනක් බව අපේ ඡන්දදායකයෝ පිළිගන්නවා. ඒකයි අපි හැමදාම දිනන්නේ. ගිය නිලවරණයට වඩා අපට දැන් ඡන්ද වැඩියි’ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවැසීය.

    ප්‍රින්ස් ගුණසේකර

  • ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොරෝනා ආසාදනය වෙලා

    ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොරෝනා ආසාදනය වෙලා

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් අද (03) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගිවීම සදහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 36 කුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී තිබෙන බවට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

    කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචිතය ඉකුත් ජනවාරි 28 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කළඅතර ඊයේ (02 වැනිදා) සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවල වාර්තාවන්වලට අනුව මොවුන් දෙපළට වෛරසය ආසාධනය වී තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති වලට අනුව ඔවුන් දෙපළ දැනුවත් කර තිබේ.

    ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් කාණ්ඩ 3 ක් යටතේ සිය පුහුණුවීම් වල නිරත විය. ඊට අමතරව ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන්(Net Bawler) සියල්ලම ඇතුළත් වන පරිදි එම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

    වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. තත්ත්වය එවන් තලයක පත්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සෞඛ්‍ය රෙගුලාසිවලට මුල් තැන දෙමින් දිගටම සිදුකරගෙන යනු ඇත.

  • කලුවළාකුළු අතර ‘රිදී රේඛා දකිමින්’ ශ්‍රී ලංකාව දෙවැනි තරගයට සැරසෙයි

    කලුවළාකුළු අතර ‘රිදී රේඛා දකිමින්’ ශ්‍රී ලංකාව දෙවැනි තරගයට සැරසෙයි

    සත්කාරකත්වයේ වාසිය හිමි වුවද එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීම නිසා පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙසටම එල්ල වී තිබේ. එහෙත් දෙවැනි ඉනිමේදී යළිත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට පිතිකරුවන් සමත්වීම මත කණ්ඩායම තුළ ගොඩනැගී තිබෙන විශ්වාසය, එංගලන්තයට එරෙහිව හෙට (22 දා) ගාල්ලේදී ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකාවට ධනාත්මක ආකල්පයක් එක් කරන්නෙකි.

    හෙට තරගය ශ්‍රී ලංකාවට මෙන්ම සත්කාරක එංගලන්තයටද විශේෂත්වයක් එක් කරන්නකි. ඒ ටෙස්ට් තරග සංචාරයක් යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ම එකම ක්‍රීඩාංගණයකදී පවත්වනු ලබන පළමු අවස්ථාව බවට හෙට තරගය පත්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට හෙටින් ඇරඹෙන තරගයේ ජය කරුණු කීපයක් හේතු කොට ගෙන ඉතා වැදගත් වනු ඇත.

    මූලික වශයෙන්ම එංගලන්තයට එරෙහිව වන ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ගෞරවාන්විත අවසන් කර ගැනීම එහි ප්‍රධානම කරුණ වන අතර, අවසන් වරට මුහුණ දුන් තරග මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පවත්වාගෙන එනු ලබන ජයග්‍රාහී රැල්ල නිමා කිරීම සෙසු අරමුණු අතර ප්‍රධාන වේ.

    හෙට තරගය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහ අද (20-21) දෙදින ගාල්ල ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත විය. නිත්‍ය නායක දිමුත් කරුණාරත්නගේ දායකත්වය දෙවැනි තරගයටද අහිමිවීම මත පළමු තරගය මෙහෙයවන ලද දිනේෂ් චන්දිමාල් හෙට තරගයේදීද නායකයා ලෙසින් කටයුතු කරනු ඇත.

    ශ්‍රී ලංකාව

    හෙට තරගය සඳහා නම් කරන ලද සංචිතයට කුසල් මෙන්ඩිස් ඇතුළත් නොවීම හේතුවෙන් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමේ වගකීම ඕෂධ ප්‍රනාන්දුට පැවැරී තිබේ. ඕෂද මීට පෙර දිමුත් කරුණාරත්න සමඟ ආරම්භක පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරමින් එම ස්ථානය තහවුරු කරගෙන සිටි නමුත්, ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීම සඳහා මිකී ආතර්ගේ වැඩි කැමැත්ත කුසල් පෙරේරාට හිමිවීම මත ඔහු අංක 3 ස්ථානය සඳහා ආදේශ වනු ඇත. අංක 3 ස්ථානයෙන් ක්‍රීඩා කළද ඕෂදට එම ස්ථානය ආගන්තුක නොවේ.

    මංගල ටෙස්ට් වරම් දිනා ගත් 2019 වසරේ පැවැති දකුණු අප්‍රිකානු තරග සංචාරයේදී ඕෂද ක්‍රීඩා කරන ලද්දේ නොම්බර 3 ස්ථානයේදී වන අතර එහිදී පෝර්ට් එලිසබත්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම වෙනුවෙන් නොදැවී ලකුණු 75 ක් ලබා ගැනීමට ඕෂද සමත්විය. මංගල අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු එම ඉනිමෙන් පසු  පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේ සිට ඔහු ආරම්භක පිතිකරු ස්ථානය සඳහා උසස්වීම් ලද අතර එම ක්‍රීඩා කරන ලද ඉනිම 7 දී 40, 4, 102, 21, 4*, 33 සහ 47 වශයෙනා ලබා ගෙන තිබේ.

    ඕෂදට අමතරව හෙට තරගයේදී කණ්ඩායමේ සිටින පළපුරුදුම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ද ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පූර්ව තරග සැලසුම වන්නේ ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනෙකු සමඟින් අවතීර්ණ වීම වන අතර එහිදී බොහෝ විට පළමු තරගයට ක්‍රීඩා කරන ලද අසිත ප්‍රනාන්දු ද ලක්මාල් සමඟින් අනෙක් අන්තයෙන් පන්දු යැවීමට අවස්ථාව විවර කර ගනිද්දී දසුන් ශානකට බොහෝ විට සිය ස්ථානය අහිමිවීමේ ඉඩ කඩක් පවතිනු ඇත.

    මේ අතර පළමු තරගයේදී ටෙස්ට් පන්දු යවන්නකු ලෙසින් නිසි රිද්මය සොයා ගැනීමට නොහැකිව එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අපොහොසත් වුණු වනිඳු හසරංගටද සිය ස්ථානය අහිමිවීමේ වැඩි ඉඩ කඩක් පවතින අතරම, බොහෝ විට එම ස්ථානය නවකයකු ලෙසින් සංචිතයේ පසුවන රමේෂ් මෙන්ඩිස්ට හිමිවනු ඇත. තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති රමේෂ් හෙට දිනයේදී ටෙස්ට් වරම් දිනාගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම අවස්ථාව හිමි 154 වැනියා වනු ඇත.

    පිට දඟ පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන රමේෂ්ට පිතිකරණයේ යෙදීමටද හැකියාව පැවැතීම කණ්ඩායම සමබර කිරීමට වඩාත් ඉවහල් වනු ඇත. පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් රමේෂ්ව හැඳින්වුවද අවසන් වුණු දේශීය අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ලකුණු 300 ක් ලබා ගනිමින් කැපී පෙනීමට රමේෂ් සමත්විය. නිමාවුණු එල්.පී.එල්. තරගාවලියේදීද හේ කැපී පෙනෙන දස්කම් දක්වමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්විය.

    දිනේෂ් චන්දිමාල්

    “අපි හැමෝම දන්නවා ගාල්ල තණතීරුව කියන්නේ දඟ පන්දු යවන්න්නට හොඳ තණතිල්ලක්. හුඟක් වෙලාවට අපි සංචිතය දිහා බැලුවහම පිතිකරුවන් හය දෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් එක්ක යන්න බලන්නේ. තුන් ඉරියව් ක්‍රීඩකයා නොම්මර 7 ස්ථනායේ ක්‍රීඩා කරන්ත් සහ ඉතිරි 4 දෙනා පන්දු යවන්නන් ලෙසත් තමයි අපි සංයුතිය සකසන්න බලාපොරොත්තු වෙන්නේ”.

    “එංගලන්තය ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කරනවා. විශේෂයෙන්ම ගිය තරගයත්, ගිය වසරේ අපිත් එක්ක ක්‍රීඩා කරපු තරගාලියේදීත් ඔවුන් හොඳ සැලසුමකින් යුතුව ඇවිල්ලා තිබුණේ. ඒ ගැන අපි හැමෝම දන්නවා. ඒ වගේම තමයි අපේ කණ්ඩායම ගත්තහම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අඩුයි. විශේෂයෙන්ම පන්දු යැවීමේ බලඇණිය. කණ්ඩායමක් විදියට මම හැමවෙලේම කියන්නේ පුලුවන් තරම් තමන්ගේ හැකියාව ප්‍රයෝජනය ගන්න කියලා. ක්‍රීඩා කරන 11 දෙනාටම තමන්ගේ දක්ෂතා අතරට එන්න පුලුවන් නම් මේ දවස් 5 අවසානයේදී හොඳ ප්‍රතිඵලයක් අපේ පැත්තට ලබා ගැනීමේ හැකියාව තියෙනවා”යි තාවකාලිකව නායකත්වයට පත්ව සිටින දිනේෂ් චන්දිමාල් සඳහන් කර සිටියි.

    ශ්‍රී ලංකා සංචිතය – කුසල් ජනිත්, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්,  අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්.

    එංගලන්තය

    ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම ඒ අයුරින් පවතිද්දී හෙට තරගය සඳහා සංචාරකයින් පිවිසෙන්නේ පැහැදිළිවම වඩා විශ්වාසවන්ත හැඟීමකිනි. ගැටළුවක් පවතින්නේ නම් ඒ ආරම්භක පිතිකරුවන් තවමත් ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම පමණි. පළමු තරගයේදී එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය 9,4,8 සහ 2 වශයෙන් ලකුණු රැස් කළහ.

    පුදුමය දනවන කරුණ වන්නේ හෙට ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත එංගලන්ත පිලේ ක්‍රීඩකයින් 11 දෙනා අතර ස්ටුවර්ට් බ්‍රෝඩ් නොමැතිවීමයි. පළමු ටෙස්ට් තරගයේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු බ්‍රෝඩ් මෙම තරගයේදී විවේක ගැන්වීමට එම තේරීම් වලදී තීරණය කර තිබෙන අතර ඒ වෙනුවට සංචිතයේ පසුවන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා කරනු ඇත. එයින් කියැවෙන්නේ සංචිතයේ පසුවන ක්‍රිස් වෝක්ස් සහ ඔලී ස්ටෝන්ට හෙට තරගයේදීත් අවස්ථාව අහිමිවන බවයි.

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටත් පැවැත්වෙන මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද තරග 4 ම පරාජයට පත්ව තිබීම කැපී පෙනෙන අතර එම පරාජිත ගමන හෙට තරගයේදී නිමා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වග බලා ගත යුතු වනු ඇත. වඩා සැලසුම් සහගතව මෙහි පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම හෙට තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව තුළ තරග කිරීමේදී පවත්වාගෙන යනු ලබන පිට පිටම ජයග්‍රහණ සංඛ්‍යාව 6 බවට පරිවර්තනය කර ගැනීම සඳහා හෙට දිනයේ සිට සිය උපරිමය යොදවනු ඇත.

    නිමා වුණු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ දවාගත් කඩුලු 20 අතුරින් 14 ක්ම බෙදී ගියේ එංගලන්ත පිලේ දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළ ඩොම් බෙස් සහ ජැක් ලීච් අතරය. ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද කඩුලු 7 ජයග්‍රහණය පිටුපස සිටි යෝධ හෙවණැලි දෙක බවට පත් වුණු බෙස් සහ ලීච් පිළිවෙළින් පළමු ඉනිමේ සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 බැගින් බිඳ හෙළූහ.

    ජෝ රූට්

    තමන් සතු දඟ පන්දු තුරුම්බු යුගල පිළිබඳව අදහස් දක්වා සිටි එංගලන්ත නායක රූට්, “අත්දැකීම් අතින් ගත්තහම ඔවුන් දෙන්නා ක්‍රීඩා කරලා තියෙන්නේ ඉතා සීමිත තරග සංඛ්‍යාවක්. මම හිතන්නේ ඔවුන් ඒ තරගත් එක්ක ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගෙන තියෙන බවයි. පුහුණුවීම් සිදුකරමින් ඉදිරියට යද්දී තරග වලදී එසේම දක්ෂතා දක්වාවි කියලා මම බලාපොරොත්තු වෙනවා” යි සඳහන් කළේය.

    “ඔවුන් ගොඩක් පන්දු යවන තරමට ඔවුන් පිටිය තුළ තිබෙන පීඩනය අවස්ථාවන් සොයා ගෙන සාර්ථක වන්නට අවස්ථාව තියෙනවා. සත්‍යතාවය වන්නේ තරගයක් අවසානයේදී ඔවුන් දෙදෙනා සතුව කඩුලු රාශියක් පැවැතීඹ නිසා පිටතට එන්නේ සතුටින්. එය ඔවුන්ගේ දක්ෂතා වේගවත් කර ගැනීමට විශාල විශ්වාසයක් ලබා දෙනු ඇත” යනුවෙන් තම දඟ පන්දු යවන්නන් දෙදෙනා පිළිබඳව අදහස් දැක්වීය.

    එංගලන්ත කණ්ඩායම – ජෝ රූට් (නායක), ජොස් බට්ලර්, ඩොම් සිබ්ලේ,  සැක් ක්‍රෝලි, ඔලී ස්ටෝන්, ජේම්ස් ඇන්ඩර්සන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ෆෝක්ස්, මාක් වුඩ්, ඩොම් බෙස්, ඩෑන් ලෝරන්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජැක් ලීච්. අතිරේක – ජේම්ස් බ්‍රෙසී, මේසන් ක්‍රේන්, සකීබ් මහමූද්, ක්‍රෙග් ඕවරටන්, මැට් පාර්කින්සන්, ඔලී රොබින්සන්, අමාර් විර්දි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • ගාල්ලේ පරාජයට හේතු ගැන ඇන්ජලෝ මැතිව්ස් කළ හෙළිදරව්ව

    ගාල්ලේ පරාජයට හේතු ගැන ඇන්ජලෝ මැතිව්ස් කළ හෙළිදරව්ව

    ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ලකුණු රැස් කිරීම සඳහා පිතිකරුවන්ට කිසිදු ලිහිළක් ලබා නොදුන් බව සඳහන් කර සිටියි.

    ටෙස්ට් තරගයකට වඩාත් උචිත වන ආකාරයෙන් නියමිත රේඛාවේ සහ ස්ථානය පතිත කරමින් එංගලන්ත පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යවන අවස්ථාවකදී ලකුණු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කිරීම, අසාර්ථකත්වයට හේතු වූ බව හිටපු ටෙස්ට් නායකයා සඳහන් කර සිටියේය.

    “ඔවුන් කිසි විටෙකත් අපිට ලිහිලක් ලබා දුන්නේ නෑ. තණතීරුව හොඳින් දඟ කැවෙමින් තිබෙන අවස්ථාවේත් ඔවුන් උත්සාහ කළේ කඩුලු දවා ගන්න. ඇත්තටම ඔවුන් හරිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සිද්ධ කළා. ඔවුන් එක රේඛාවක් දිගේ පන්දු යැව්වා වගේම  පතිත කිරීමත්  ඉතා හොඳින් සිදු කළා. ඇත්ත වශයෙන් අපි හොඳ පන්දු වලට පහර එල්ල කිරීමට ගිය නිසා තමයි අපිට ලකුණු ලබා ගැනීමට නොහැකි වුණේ”යි මැතිව්ස් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 135 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වද්දී ඉන් ලකුණු 27 ක් මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දිනේෂ් චන්දිමාල්ට වඩා පළමු ඉනිමේදී ලකුණක් පිටුපසින් සිටි මැතිව්ස් දෙවැනි ඉනිමේදී වඩා ඉවසිලිවන්ත වෙමින් ලකුණු 71 ක් රැස් කරමින් ඉනිමක පරාජයක් ලැබීමේ අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් මුදවා ගත්තා පමණක් නොව ප්‍රතිවාදීන්ට ලකුණු 74 ක ඉලක්කයක් ලබා දීමට තරම් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය ලබා දුන්නේය.

    එම අදහස් දැක්වීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දු යැවීම පිළිබඳවද අදහස් දක්වා සිටි මැතිව්ස්, දෙපසටම දෝලනය කරමින් පන්දු යැවීමට ඔහු සමත්වීම විටෙක තමාට එංගලන්තයට ගොස් තරග කරන බවක් හැඟී ගිය බව සඳහන් කර සිටියේය.

    “බ්‍රෝඩ් කියන්නේ මොන වගේ පන්දු යවන්නෙක්ද කියන එක අපි කවුරුත් දන්නවා. ඔහු ටෙස්ට් කඩුලු 500 කට වඩා ලබා ගෙන තියෙන ලෝකයේ හොඳම වේග පන්දු යවන්නෙක්. වේග පන්දු යවන්නන්ට කිසිදු සහායක් ලබා නොදෙන මතු පිටකදී වුවත් ඔහුට පන්දුව හොඳට දෝලනය කරන්න පුලුවන්. එක අවස්ථාවක ඔහුගේ දෙපසටම චලනය වන අයුරින් පන්දු යැවීමට සමත්වීම නිසා මට දැනුනේ මම එංගලන්තයට ගොස් තරග කරනවා වගේ හැඟීමක්. මේ වගේ තණතීරුවක ක්‍රීඩා කරද්දී එහෙම දෙයක් කරනවා කියන්නේ වේග පන්දු යවන්නකුට ඉතා අමාරු කටයුත්තක්” යැයි මැතිව්ස් සඳහන් කරයි.

    පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට බ්‍රෝඩ් සමත්වූයේ ලකුණු 20 ක් පමණක් ලබා දෙමිනි. දෙවැනි ඉනිමේදී යවන ලද පන්දුවාර 17 න් 11 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් යැවීමට බ්‍රෝඩ් සමත්විය. ඒ අතරතුරදී බ්‍රෝඩ් විසින් පන්දු 37 ක් යොමු කර තිබුණත් ඔහුට එරෙහිව මැතිව්ස් එල්ල කිරීමට සමත්ව තිබුණේ එක පහරක් පමණි.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි – ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත – ප‍්‍රධාන සංස්කාරක

  • ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කළ තාලේ අන්තිමයි – පුහුණුකරු මිකී ආතර්

    ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කළ තාලේ අන්තිමයි – පුහුණුකරු මිකී ආතර්

    එංගලන්ත පිලට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කළ ආකාරය කිසි විටෙකින්වත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කණස්සල්ල පළ කර සිටියි.

    තරග 2 කින සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජය කොට කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම (18 දා) සමත්වූවේය. එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම අත්කර ගන්නා ලද පස්වැනි සහ ගාල්ලේදී පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් මෙම තරග ජයග්‍රහණය සටහන් විය.

    “පළමු ඉනිමේදී පන්දුවට පහර දුන් හැටි ඉතාම දුර්වලයි. එය කිසි විටෙකත් පිළිගත හැකි පිතිකරණ දක්ෂතාවයක් නොවෙයි යැයි” තරගයෙන් අනතුරුව ආතර් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුවා, “මම කවදාවත් නිදහසට කරුණු හොයන කෙනෙක් නොවෙයි. නමුත් අපි පළමු ඉනිමේදී ක්‍රීඩා කළේ වොන්ඩරස් සහ සෙන්චූරියන්හි ක්‍රීඩා කළ විදියටමයි. කොටින්ම අපි අපේ තත්ත්වයන් තුළ ක්‍රීඩා කරන්න ඕන විදියට නොවෙයි ක්‍රීඩා කළේ” යැයි සඳහන් කර සිටියේය.

    කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 46.1 කදී ලකුණු 135 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් ලකුණු 286 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 359 ක් ලබා ගනිමින් එංගලන්තයට යළිත් ලකුණු 74 ක ඉලක්කයක් ලබා දීමට සමත්විය.

    “පළමු දිනයේදී ක්‍රීඩා කළාට වඩා හොඳින් දෙවැනි ඉනිමේදී ක්‍රීඩා කළ යුතු විදිය ගැන අපි කතා කළා. ඇත්තටම පිතිකරුවන් ප්‍රතිචාර දැක්වූ විදිය ඉතාම හොඳයි. ඒත් එතැනදී අපි පරක්කු වැඩියි. අපිට පළමු ඉනිමේදී අඩුම තරමේ ලකුණු 220 ක් වත් ලබා ගන්න පුලුවන් වුණා නම් මීට වඩා දුරට තරගයේ රැඳී සිටීමට අවස්ථාව තිබුණා. අපිට තරගය අහිමි වුණේ එතැනින්. ඒක ඇත්තටම අපේ බලාපොරොත්තු සුන් කරවන්නක් වුණා. නමුත් එය අපි දෙවැනි ඉනිමේදී හරි ගස්ස ගත්තා” යැයි ආතර් සඳහන් කර සිටියි.

    “ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන පිතිකරුවන් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම පළමු ඉනිමේදී. මේ තණතීරුවල හොඳ ආරම්භයක් ගන්නවා කියන්නේ අසීරු දෙයක්. නමුත් ඔබ හොඳින් තරගයට අවතීර්ණ වුණොත්, හරියට ජෝ රූට් පළමු ඉනිමේදී එංගලන්ත පිලේ විශාල වෙනසක් කරා වගේ.

    “මම හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ඉතාම විශිෂ්ඨ ඉනිමක් කියලා. ඔහු ඔහුව තරගයට අනුගත කරන ආකාරය, වේගය පවත්වා ගැනීම, පන්දුවට පහර දීමේ සැලසුම ගැන අපේ තරුණ පිතිකරුවන් නැරඹිය යුතුයි. විශේෂයෙන්ම දඟ කැවෙන තණතීරුවකදි කොහොමද ගණුදෙණු කරන්නේ කියලා. එයින් ඔවුන් ඉගෙන ගත යුතුයි. ඒ වගේම අපිට ශතක අවශ්‍යයි. ළහිරු (තිරිමාන්න) මේ තරගයේදී අපි වෙනුවෙන් එකක් ගත්තා. කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් 60 ක් ගත්තා. අපිට අවශ්‍ය ඒ අය ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට” යැයි දෙවැනි ඉනිමේදී ලකුණු අතරට පත් ක්‍රීඩකයින් පිළිබඳව ආතර් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වීය.

    එංගලන්ත කණ්ඩායමට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීම සඳහා ළහිරු තිරිමාන්න රැස් කරන ලද ලකුණු 111 වැඩි වටිනාකමක් එක් කළේය. ඊට අමතරව කුසල් පෙරේරා ලකුණු 62 ක් සහ පන්දු 219 කට මුහුණ දී ලකුණු 71 ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවාන්විත තරග පරාජයක් සඳහා දායකත්වය ලබා දුන්හ.

    “තිරිමාන්න ගැන නොයෙකත් දේවල් මම අහලා තියෙනවා. නමුත්  ඔහු සමඟ වැඩ කරන්න පටන් ගත්තු දවසේ ඉඳන් මම දැක්කේ ඔහු අසාමාන්‍ය තරමට වෙහෙස මහන්සි වී කටයුතු කරන ක්‍රීඩකයෙක් විදියට. ඔහු හොඳ තාක්ෂණයකින් යුක්ත පිතිකරුවෙක්. මම දන්නේ නැහැ ඔහුගේ යට ගියාව. මට කතා කරන්න පුලුවන් මම දැක්ක දේ විතරයි. අපි ඔහුව අතිරේක පිතිකරුවකු විදියට දකුණු අප්‍රිකාවට රැගෙන ගියා. ඔහු වේග පන්දුවලට ඉතාම හොඳින් මුහුණ දුන්නා. මම හිතන්නේ වොන්ඩරස් තරගයේදී ඔහු ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා” යැයි තිරිමාන්න පිළිබඳව ආතර් සඳහන් කළේය.

    පුහුණුරුකරු එසේ පැවැසුවද වොන්ඩරස් තරගයට ක්‍රීඩා කළ තිරිමාන්න පළමු ඉනිමේදී ලකුණු 17 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 31 කට දැවී ගියේය. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී ශතකය ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ළහිරු තිරිමාන්න ද සඳහන් කර සිටියේ වොන්ඩරස් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු පන්දුවට පහර දීම පිළිබඳව තමන් තුළ හොඳ විශ්වාසයක් ගොඩනැංවුණු බවයි.

    මේ අතර දිගින් දිගටම පිතිකරුවකු ලෙස සාර්ථකත්වයකට පැමිණීමට අපොහොසත්ව සිටින කුසල් මෙන්ඩිස් පිළිබඳවද අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරුවා, “මම නැවතත් කියනවා. කුසල් කියන්නේ අපූරු ක්‍රීඩකයෙක්. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරාවි. ඔහුට මේ වන විට ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා. දේශීය තණතීරුවලට ක්‍රීඩා කරද්දී ඔහු දක්ෂතා අතර ඒවි කියලයි අපි හිතුවේ. කොහොම වුණත් ඔහු ගැන ඉදිරි දින දෙක තුන තුළදී සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. ජාත්‍යන්තර තලයේ පිතිකරුවෙක් ලකුණු අතරට එන්න බැරි වුණාම පීඩනයකට ලක් වෙනවා. එයින් පිටතට එන ආකාරය තමයි ලකුණු අතරට එන යතුර වෙන්නේ” යි යනුවෙනි.

    ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19 දා) විවේක දිනයකි. කෙසේ වෙතත් ලබන 22 වැනි සිකුරාදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා පිලට පුහුණුවීම් සඳහා හෙට සහ අනිද්දා යන දෙදින ඉතිරිව තිබේ.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි – ශීර්ෂපාඨය වෙනස්කර ඇත – ප‍්‍රධාන සංස්කාරක

  • එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්

    එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්

    ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් අද (18) එංගලන්ත කණ්ඩායම කඩුළු 07ක ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන තිබෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරුවන් දැක්වූ දැඩි අසාර්ථකත්වය හේතුවෙන් පළමු ඉනිම ලකුණු 135කට සීමා වුණා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සහ පන්දු රකින්නන්ගේ දුර්වලතා මෙහිදී කැපී පෙනුණා.

    සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලද සාර්ථක්වය සහ වසර 08කට පසු ළහිරු තිරිමාන්න වාර්තා කළ ශතකය -111 හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරී ලකුණු 359ක් රැස් කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි වුණා.

    ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ලබා දුන් ලකුණු 74ක පහසු ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම අද (18) දින පෙරවරුවේදී කඩුළු 03කට ජයග‍්‍රාහී ලක්කය පසුකළා.

  • තරගයේ වාසිය ශ‍්‍රී ලංකාවෙන් ගිලිහී ගිහින් නෑ – ළහිරු තිරිමන්න

    තරගයේ වාසිය ශ‍්‍රී ලංකාවෙන් ගිලිහී ගිහින් නෑ – ළහිරු තිරිමන්න

    පළමු ඉනිම ලකුණු 135 කට සීමා විය. දෙවැනි ඉනිම ආරම්භයේදීම ඉනිමක පරාජයෙන් ගැලවීමටම ලකුණු 286 ක දැවැන්ත ඉලක්කයකි. ඒ සමඟම තරගය නිමා වීමට දින 3 කට අඩුව තිබුණේ තෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පිල ක්‍රීඩා කරන පන්දුවාර 24 පමණි. මේ සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවාසියටය.

    එහෙත් ධෛර්යවන්තව පිති හැසිර වූ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිම පන්දුවාර 136.5 කට වඩා ක්‍රීඩා කළේය. එහි ප්‍රථිඵලයක් ලෙසින් ඉනිමක ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටි එංගලන්තකණ්ඩායමට සිව්වැනි ඉනිමේදීත් පන්දුවට පහර දීමට සිද්ධ වී තිබේ. කණගාටුවට කරුණ වන්නේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලබාගත යුතු ඉලක්කය ලකුණු 74 ක් වීමයි.

    අභියෝගාත්මක දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා පිල සැලසුමක් ඇතුව පන්දුවට පහර දුන්නේය. ප්‍රථමයෙන්ම සාර්ථක කරගත යුතුව තිබූ ඉනිමකින් පරාජයෙන් බේරීමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ක් පමණක් දැවී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. එහි වැඩි ගෞරවයක් ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න වෙත හිමිවිය යුතුය.

    ඉදිරි පෙළ වටා එතුණු තිරිමාන්නගේ ලකුණු 111 ඉනිම නිසා ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් හෙවත් ලකුණු 359 ක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවිය. ඒ වෙනුවෙන් කුසල් පෙරේරා ලබාගත් ලකුණු 62 ක සහ ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 71 ක ඉනිම අමතක කළ නොහැක. කෙසේ වෙතත් ජයග්‍රාහී ඉලක්කය හඹා යන එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 14 ක් ඇතුළතදී දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. කොටින්ම කිවහොත් එංගලන්ත පිතිකරුවෝ සිව්වැනි දින සවස් යාමයේ පන්දුවට පහර දුන්නේ දැඩි අසීරුතාවයකිනි.

    එහෙත් තරගය පිළිබඳව අදහස් දක්වන ශතක ලාභී තිරිමාන්න පවසන්නේ තරගය බොහෝ දුරට තම කණ්ඩායමෙන් ගිලිහී ගොස් ඇතත් පස්වැනි දින උදෑසනදීම කඩුල්ලක් දෙකක් දවා ගැනීමට හැකි වුවහොත් ප්‍රතිඵලය මුළුමනින්ම වෙනස්වීමේ හැකියාව පවතිනු ඇති බවයි.

    “පළමු ඉනිමේදී අපි පන්දුවට පහර දුන්න විදියත් එක්ක තරගය මේ වෙනකොට තියෙන්නේ අපේ පැත්තට නොවෙයි. පළමු ඉනිමේදී අපි දැවී ගිය බැලුවහම තණතීරුවේ වැරැද්දක් නිසා නොවෙයි, අපි එල්ල කරපු වැරදි පහරවල් නිසයි. ඒ අනුව අපි හිතා ගත්තේ දෙවැනි ඉනිමේදී වගකීමක් අරගෙන ක්‍රීඩා කරන්න. මේ තණතීරුවේ පන්දුවට පහර දෙනවා කියන එකත් ලේසි නෑ. අපේ සැලසුම වුණේ අඩුම තරමේ ලකුණු 150 ක විතර ඉලක්කයක් ඔවුන්ට ලබා දෙන්න. ඒ ළඟටම අපිට එන්න පුලුවන් වුණා. ඒක නිසා හෙට දවස ආරම්භයේදී කඩුල්ලක් දෙකක් දවා ගන්න පුලුවන් වුණොත් කියන්න බෑ” යි තරගය පිළිබඳව තිරිමාන්න අදහස් දක්වා සිටියේය.

    අසීරුතා මධ්‍යයේ පන්දුවට තිරිමාන්න සහ කුසල් ජනිත් පළමු කඩුල්ල සඳහා රැස් කරන ලද ලකුණු 101 සඳහා පන්දු 226 ක්, මෙන්ඩිස් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 54 සඳහා පන්ද 135 ක්ද වැය කළහ. එතැනින් නොනැවතුණු තිරිමාන්න ඇන්ජලෝ මැතිව්ස් සමඟ පන්දු 116 කදී ලකුණු 52 ක් රැස් කරමින් ධෛර්යවන්ත ලෙස පිති හැසිරවූහ.

    “ඇත්තම කියනවා නම් සිව්වැනි දිනයේ පන්දුවට පහර දෙන එක හරි අමාරුයි. එහෙම තමයි සිව්වැනි දිනයේදී සාමාන්‍ය ගාල්ල තණතීරුව. එතැනදි මමයි ඇන්ජලෝයි (මැතිව්ස්) බැලුවේ කොහොම හරි ලකුණු අතරට එන්න. අපි ගොඩක් වෙලාවට මාරුවෙන් මාරුවට අවශ්‍ය වේගය රඳවා ගත්තා. ඒ අතර එයාලා දුර්වල පන්දුත් අපිට ලබා දුන්නා. ඒවගෙන් තමයි මම ගොඩක් ලකුණු ලබා ගත්තේ”යි ක්‍රීඩා කළ ඉනිම ගැන තිරිමාන්න අදහස් දැක්වීය.

    වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටි හැඩ කාර වමත් පිතිකරුවා, “ඇත්තටම සතුටු දනවන අවස්ථාවක්. මොකද කියනවා නම් මට මීට කළින් ක්‍රීඩා කළ ටෙස්ට් තරග වලදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වුණු නිසා. නමුත් වොන්ඩරස්හි ක්‍රීඩා කර තරගයෙන් පස්සේ මම දැනගෙන  හිටියා මම හොඳ පන්දුවට පහර දුන්නා කියලා. එතැනදි මට අවශ්‍ය වුණේ එය දීර්ඝ ඉනිමකට පරිවර්තනය කරගන්න. මම හිතනවා ඒක අද දිනේදී මම කළා කියලා” යනුවෙනි.

    එම විශිෂ්ඨ ඉනිම ක්‍රීඩා කිරීමේදී අනුගනමය කළ උපාය මාර්ග පිළිබඳව තිරිමාන්න දැක්වූවේ මෙවැනි අදහසකි. “සැලසුම තිබුණේ දඟ පන්දු යවන්නන්ට ටිකක් හයියෙන් ගහන්න. මොකද තණතීරුව එන්න එන්නම මන්දගාමී වුණු විතරක් නොවෙයි ඉපිලෙන්නත් පටන් ගත්ත නිස. ඒ වගේමයි මේ විකට් එකේ වැදගත් වෙන්නේ හයියෙන් පන්දු යවන එක. සැලසුම් කරපු විදියට කඩුල 3 ක් දවා ගන්න අපිට පුලුවන් වුණා” යි පවසන තිරිමාන්න, “හැබැයි එයාලා තවම ලකුණු 40 ක් වත් ගහලා නෑ, එක කඩුල්ලක් දෙකක් දවා ගන්න පුලුවන් වුණොත් උදේම… මම හිතන්නේ එයාලගේ බැටිං ගොඩක් අඩුයි. ඊළඟට පන්දුවට පහර දෙන්න එන්න ඉන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයින්. අපි මීට කළින් ඉන්දියාව සමඟ තරගයකදී එයාලව එකසිය 110 ක් වගේ ප්‍රමාණයකට දවාගෙන තියෙනවා. ඒක නිසා කියන්න බෑ”යි ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතතාවය පිළිබඳව ඉඟි කරමින් අදහස් දක්වා සිටියේය.

    Text by Sri lanka cricket

  • වසර 08කට පසු ළහිරුගෙන් ශතකයක් – ශ‍්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරෙයි

    වසර 08කට පසු ළහිරුගෙන් ශතකයක් – ශ‍්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරෙයි

    වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) සමත්විය.

    ලකුණු 286 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළද සිව්වැනි දිනයේදී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව ලකුණු 74 ක ඉලක්කයක් ලබා දුන්නේය.

    එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටින එංගලන්ත පිල සිව්වැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටින්නේ තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී තවත් ලකුණු 36 ක් පමණක් ලබාගත යුතු වන පසුබිමකය.

    ලකුණු 74 ක් වුවද සටනක් දීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පළමු පන්දුවාරය යැවූ ලසිත් ඇඹුල්දෙණිය ඩොම් සිබ්ලේගේ කඩුල්ල දවා ගනිමින් පීඩනය තර කළේය. එතැනින් නොනැවතුණු ලසිත් නැවතත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ සැක් ක්‍රෝලිගේ කඩුල්ලද ද්විත්ව ශතක ලාභියා වූ ජෝ රූට්ව නිරෝෂන් දික්වැල්ල විසින් දුවද්දී දවා ගැනීමට සමත්වීමත් සමඟ කිසි විටෙකත් අපේක්ෂා නොකළ අර්බුදයකට එංගලන්ත පිල මුහුණ දුන්නේය. එම පිතිකරුවන් තිදෙනා දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව යන්තමින් ලකුණු 14 ක් ලෙසින් සටහන්ව පැවැතිණ.

    කෙසේ වෙතත් ජොනී බෙයාර්සටෝට එක්වූ ඩෑන් ලෝරන්ස් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් මන්දාලෝකය මත ක්‍රීඩාව නිමා කරන පිළිවෙළින් ලකුණු 11 ක් සහ 7 බැගින් ලබා සිටියහ.

    තිරිමාන්න විසින් රැස් කරන ලද මෙම ශතකය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දෙවැන්න ලෙසින් සටහන් විය. බංග්ලාදේශයට එරෙහිව 2013 වසරේ ගාල්ලේදී  ලබාගන්නා ලද ශතකයෙන් (නොදැවී ලකුණු 155 ක්) පසු තිරිමාන්න ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව වශයෙන් අද ලබා ගත් ලකුණු 111 ක ඉනිම සටහන් විය.  ඒ අනුව තිරිමාන්න ශතකයක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ඉනිම 54 කින් පසුව වීම කැපී පෙනෙයි.

    පෙර දිනයේ සැඳෑ පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය දිනයේ දැවී ගිය ප්‍රථම පිතිකරුවා බවට පත්වද්දී තිරිමාන්නට එකතු වී ඇන්ජලෝ මැතිව්ස් ගෞරවාන්වත තරගාවසානයක් දක්වා තරගය රැගෙන ගිය අනෙක් නියමුවා බවට පත්විය. එම සම්බන්ධතාවයේදී මැතිව්ස් දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරද්දී ලද දුර්වල පන්දු දුටු විගස පහර එල්ල කළ තිරිමාන්න ශතකය කරා ඇදී ගියේය.

    ඉනිමේ අවසන් බර කරට ගත් ඇන්ජලෝ මැතිව්ස් ඉතා ඉවසිලිවන්තව ක්‍රීඩා කරමින් ලකුණු 71 ක් ලබා ගත්තේ පන්දු 219 කට මුහුණ දෙමින්. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මැතිව්ස් දැවී යන විට තම ඉනිමට හතරේ පහර 4ක් පමණක් ඇතුළත් කරගත්තේය.

    නව පන්දුව ලබා ගැනීම සඳහා වූ අවකාශ විවර වීමත් සමග එංගලන්ත නායකයා දෙවැනි නව පන්දුව ලබා ගැනීමට තීරණය කළ අතර එහිදී ඔවුන්ට අවශ්‍යව තිබූ ක්ෂනික ප්‍රගතිය අත්කර දීමට සෑම් කරන් සමත්විය. පිට ඉන්නේ පතිත කොට ශරීරය වෙතට දෝලනය වන සේ යොමු කරන පන්දුව තිරිමාන්නගේ පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුලු රකින ජොස් බට්ලර්ගේ දෑත් සොයා ගියේය. ඒ සමඟ පැය 5 කට ආසන්න කාලයක් තිස්සේ පිටියේ රඟ දැක්වූ තිරිමාන්නගේ ඉනිමත් සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් ලකුණු 52 දී බිඳ වැටිණ.

    පිටියට පිවිසි අවස්ථාවේ සිටම නායක චන්දිමාල් පහරවල් කරා යෑමට වැඩි උනන්දුවක් දැක්වූ අතර පිත්තේ දාරයේ වැදුණු පන්දුව අවස්ථා දෙකකදී හතරේ සීමාව කරා ඇදී ගියේය. කෙසේ වෙතත් මැතිව්ස් සමඟ දිවා විවේකය වන තෙක් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට චන්දිමාල් සමත්වූයේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 242 ක් ලෙස ඉහළ දමමිනි.

    පළමු ඉනිමේදී ලකුණු 30 ට කඩුලු 5 ක් දවා ගත් ඩොම් බෙස්, චන්දිමාල්ව ලකුණු 29 කදී දවා ගනිමින් තරගයේ වාසිය එංගලන්ත පිලට ලබා දීමට සමත් වද්දී මැතිව්ස්ට එක්වූ දික්වැල්ල නැවතත් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේය. මංගල ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට සිහින දකිමින් සිටින දික්වැල්ලට අද දිනයේදී එම  සිහිනය සැබෑ කර ගැනීමට ඕනෑ තරම් කාල වේලා තිබූ නමුත් කඩුල්ලෙන් පිටතට ගිය පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමෙන් කඩුල්ල අහිමි කරගත්තේය.

    මුලු ලකුණු සංඛ්‍යාව 291 ක්ව පවතිද්දී දික්වැල්ලගේ කඩුල්ල දවා ගත් ලීච් ලකුණු 13 ක් ඇතුළත දසුන් ශානක සහ වනිඳු හසරංගගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාව අසීරුවට ඇද දැමීහ. කෙසේ වෙතත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් මැතිව්ස්ට එක්වූ ඩිල්රුවන් ලකුණු 38 ක් එක් කරමින් ලකුණු එංගලන්ත කණ්ඩායමට සිව්වැනි ඉනිමේදී ලබාගත යුතු ඉලක්කය දීර්ඝ කිරීමට දායක විය.

    හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

  • ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සටනට පිවිසෙයි

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සටනට පිවිසෙයි

    ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට (16 දා) තරගය නිමා කරන විට කඩුලු 2 කට ලකුණු 156 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

    අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කර දමන විට ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා පිලට තවත් කඩුලු 8 ක් ඇතුළතදී ලකුණු 130 ක් ලබා ගත යුතුව තිබේ. තරගය නිමා කරන විට ළහිරු තිරිමාන්න ලකුණු 76 ක් සහ සැඳෑ පිතිකරුගේ වගකීම ගෙන පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාද කඩුල්ලේ රැඳී සිටිති.

    ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිම 50 කට වැඩියෙන් ක්‍රීඩා කර සිටින පිතිකරුවන් අතර අවම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරුවා බවට පත්ව සිටින ළහිරු තිරිමාන්න රැස් කරන ලද එම ලකුණු සංඛ්‍යාව 2013 වසරෙන් පසු හෙවත් වසර 7 කට පසු ඔහු ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම බවට පත්විය. මීට පෙර ඔහු මෙම ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු රැස් කරගැනීමට සමත්ව ඇත්තේ 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 93 ක ඉනිම වේ.

    නායක ජෝ රූට්ගේ සිව්වැනි ද්විත්ව ශතකය හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (15 දා) පළමු ඉනිමේදී ලකුණු 286 කින් පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. දිවා භෝජනයට මිනිත්තු කීපයකට පෙර ඩිල්රුවන් පෙරේරා විසින් අවසන් කඩුල්ල ලෙසින් රූට්ගේ කඩුල්ල දවා ගන්නා විට එංගලන්ත පිල පළමු ඉනිම සඳහා ලකුණු 421 ක් රැස් කර තිබිණ.

    ඉනිමක පරාජයෙන් බේරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 287 කට වැඩියෙන් ලබා ගත යුතු වන අතර ඒ සියළු වගකීම පිතිකරුවන්ගේ කර මත පැටවී තිබේ. එංගලන්ත පිලට අභියෝගයක් ලබා දීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් එම ලකුණු සංඛ්‍යාව පසු කර යා යුතු වන අතර  ඒ සඳහා අද දිනයේ ඉතිරිව තිබෙන පන්දුවාර 74 ට අමතරව තවත් පූර්ණ දින 2 ක් තරගයේ ඉතිරිව තිබේ. කෙසේ වෙතත් මාක් වුඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද කට් පහර බැක්වර්ඩ් පොයින්ට් කළාපයේ පන්දු රැකී ඩොම් සිබ්ලි බිම නොදමන්නට තිරිමාන්නගේ ඉනිම ලකුණු 51 කදී හමාර වනු ඇත.

    තිරිමාන්න සහ කුසල් පෙරේරා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පවත්වන ලද ලකුණු 101 සම්බන්ධතාවය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඉනිම 6 දී පන්දුවාර 10 කට වඩා ක්‍රීඩා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් කුසල් සෑම් කරන්ගේ පන්දුවකට කට් පහරක් සඳහා පෙළැඹුණු නමුත් පහර එල්ල කිරීමේදී යටි අත පිත්තෙන් ගිලිහිණි. මෙම තත්ත්වය මත පහරේ පාලනය මුළුමනින්ම ගිලිහී ගිය බැවින් එහි ප්‍රතිඵලය වූයේ උඩ පන්දුවක් ලෙසින් ඩීප් කවර් කළාපයේ පන්දු රැකි ජැක් ලීත් රැක ගැනීමය. ඒ වන විටත් හයේ පහරක් සහ හතරේ පහර 5 කින් ඉනිම වර්ණවත් කරගෙන සිටි කුසල් ලකුණු 62 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

    එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව සැලකිය යුතුම මට්ටමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් පහර එල්ල කළද නිවැරදි ඉලක්කයට පන්දු යැවූ ස්ටුවර්ට් බ්‍රෝඩ් යවන ලද පන්දුවාර 8 න් 6 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් යැවීසම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලේ එකම පිතිකරුවකු හෝ දවා ගැනීමට ඔහු සමත් නොවුණත් ඔහුට එරෙහිව ලබාගෙන තිබුණේ ලකුණු 04 ක් පමණි. අවසන් ඉනිම 4 දී ලකුණු ලබා ගැනීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් අද දිනයේදී පිටිය තුළ කිසියම් විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට සමත්වූවේය. ජැක් ලීච්ගේ තියුණු ලෙස දඟ කැවී ආ පන්දුව අත් ආවරණ වල වැදී උඩ පන්දුවක් බවට පත්වීම නිසා මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 15 කදී නිමා විය.

    නායකත්වයට පත්වීමෙන් පසු රැස් කරන ලද දෙවැනි ද්විත්ව ශතකය ලෙසින් සටහන් වුණු රූට් ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී යන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421 ක් සටහන්ව තිබිණි.  පන්දු 321 කින් සමන්විත වුණු රූට්ගේ ලකුණු 228 ක ඉනිම සඳහා ඔහු එක් හයේ පහරක් සහ තවත් හතරේ පහර 18 ක් එල්ල කර තිබුණි.

    රූට් විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත පිතිකරුවකු ආසියානු තණතීරුවලදී රැස් කර ගන්නා ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මෙහි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිටපු එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් (නොදැවී 263) සතුව පවතියි.

    නායකත්වයට පත්වීමෙන් පසු රැස් කරන ලද දෙවැනි ද්විත්ව ශතකය බවටද පත්වුණු මෙම ඉනිමේදී ටෙස්ට් ලකුණු 8000 සීමාවද ඉක්මවා යෑමට රූට් සමත්විය. එංගලන්තය වෙනුවෙන් එම දස්කම දක්වන ලද හත්වැනි ක්‍රීඩකයා බවට පත් වුණු රූට්, අඩුම ඉනිම සංඛ්‍යාවකදී එවැනි දස්කමක් දක්වන ලද දෙවැනි පිතිකරුවා බවට පත්විය. ක්‍රීඩා කරන ලද 178 වැනි ඉනිමේදී රූට් එම දස්කම දක්වද්දී ඊට ඉනිම 2 ක් අඩුවෙන් ලකුණු 8000 සීමාව ඉක්මවා යෑමට කෙවින් පීටර්සන් සමත්ව තිබේ.

    තෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට එරෙහිව එංගලන්ත පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කළ හෙයින් 105 වැනි පන්දුවාරය යැවීමේ වගකීම අසිත ප්‍රනාන්දුට පැවැරිණි. එංගලන්ත ඉනිමේ ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 100 න් පන්දුවාර 9 ක් පමණක් යවා තිබූ අසිත, පිට පන්දු දෙකකදී ජොස් බට්ලර් සහ සෑම් කරන්ගේ කඩුලු දවා ගනිමින් ක්ෂණික සාර්ථකත්වයක් අත්කර දුන්නේය. ඊළඟ පන්දුවට මුහුණ දීම සඳහා පැමිණි ඩොම් බෙස් තම කඩුල්ල ආරක්ෂා කරගත් බැවින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව අසිතට අහිමි විය.

    බට්ලර් හැරුණු කොට එංගලන්ත අවසන් පිතිකරුවන් පස් දෙනාම රැස් කරගැනීමට සමත්වූයේ ලකුණු 17 ක් පමණි. පෙර දිනයේ ලකුණු 7 ක් රැස් කරගෙන සිටි බට්ලර් තවත් ලකුණු 27 කින් අද දායකත්වය ලබා දෙද්දී ඉතිරි ලකුණු 60 ම රූට්ගේ පිත්තෙන් වාර්තා විය. ඉනිමේ අවසන් කඩුලු 3 හිමිකරුවා බවට පත් වුණු ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 109 කදී කඩුලු 4 ක් දවා ගත්තේය. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් කඩුලු 2 ක් සටහන්විය. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • ශ්‍රී ලංකාව සටනක් දීමට අසමත් වෙයි –  ජෝ රූට්ගෙන් ලකුණු 168ක සුපිරි ඉනිමක්

    ශ්‍රී ලංකාව සටනක් දීමට අසමත් වෙයි – ජෝ රූට්ගෙන් ලකුණු 168ක සුපිරි ඉනිමක්

    පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) අයහපත් ආලෝක තත්ත්වය මත නියමිත වේලාවට පෙර තරගය නිමා කරන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී ලකුණු 185 කින් ඉදිරියට පැමිණීමට ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ සමත්වී සිටියහ.

    ලබා දුන් උඩ පන්දු කිහිපයක් පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම, සිය වාසියට හරවා ගත් එංගලන්ත පිතිකරුවෝ තේ පානයට පෙර තරගය නතර කර දමනා විට කඩුලු 4 ක් දැවී ලකුණු 320 ක් ලබාගැනීමට සමත්වූහ.

    ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව පසු කිරීම සඳහා ලකුණු 08 ක් අවශ්‍යව තිබියදී දිනය ඇරැඹූ එංගලන්ත කණ්ඩායම දිනය තුළදී රිසිසේ පන්දුවට පහර දෙමින් ලකුණු 193 ක් රැස් කර ගැනීමට සමත්වද්දී කඩුලු 2 ක් පමණක් බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දැවී ගිය කඩුලු 2, ලසිත් ඇඹුල්දෙණිය සහ ඩිල්රුවන් පෙරේරා අතර බෙදී ගියහ.

    ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව තියුණු ලෙස දඟ කැවීමට සමත් වුවද සන්සුන් ලෙස පිත්ත හැසිරවූ රූට් සිය 18 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට සමත්වූවේය. ශතකය ලබා ගැනීමත් සමඟ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ රූට්, ටෙස්ට් තරගයකදී පන්දුවට පහර දිය යුතු ආකාරය අමතක කර දමා සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට පාඩමක් වන අයුරින් පන්දුවට පහර දුන්නේය. අවශ්‍ය අවස්ථාවේදී ඉදිරි පාදයෙන්ද නැතිනම් පසු පස පාදයෙන් ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩකයින් නොමැති හිඩැස් අතරින් පන්දුව ස්ථාන ගත කිරීම රූට්ගේ ඉහළ තලයක පැවැතිණ.

    පන්දු 254 කට මුහුණ දෙමින් රූට් රැස් කරන ඇතු ලකුණු 168, එංගලන්ත පිතිකරුවකු විසින් ශ්‍රී ලංකාවේදී ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද වාර්තා පොත් අතරට එකතු වනු ඇත. කෙවින් පීටර්සන් 2012 වසරේදී රැස් කරන ලද ලකුණු 151 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

    අද දිනයේදී දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ජොනී බෙයාර්ස්ටෝය. පෙර දිනයේදී ලකුණු 47 ක් ලබාගෙන සිටි බෙයාර්ස්ටෝ අද දිනයේදී ලකුණක් ලබා ගැනීමට පෙරම තම තෙවැනි කඩුල්ල වශයෙන් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය ආරම්භය සාර්ථක කර ගත්තේය. දිනයේ කැපී පෙනෙම සම්බන්ධතාවය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

    මංගල ඉනිමට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඩැන් ලෝරන්ස්, සිය නායකයාගේ ඔවදන් ලබා ගනිමින් මංගල ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට තරම් වාසනාවන්ත විය. කිසිදු අපහසුතාවයකින් තොරව තම නායකයා පන්දුවට පහර දෙන අයුරු දැක බලා ගනිමින් පන්දුවට පහර දුන් ලෝරන්ස්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 43 කුත් පන්දුවකදී ලකුණු 173 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. එම සම්බන්ධතාවයේදී වැඩි ආධිපත්‍යයක් ලෝරන්ස්ගේ පහරවල් වල පැවැතියේ යැයි කිවහොත් නිවැරදිය.

    මුහුණ දුන් පළමු පන්දුවටම ලකුණක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරගය දිවිය ඇරැඹූ ලෝරන්ස්, දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු ලසිත් ඇඹුල්දෙණියට එවන ලද පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් ලකුණු 6 ක් ලබා ගැනීමට සමත්විය. මෙය මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවකු විසින් එල්ල කරන ලද එකම හයේ පහර ලෙසින් සටහන් විය.

    23 හැවිරිදි ලෝරන්ස් ඩිල්රුවන් පෙරේරාගේ ගොදුරක් ලෙසින් දැවී යන විටත් පන්දු 150 කට මුහුණ දෙමින් ලකුණු 73 ක් වාර්තා කරගෙන සිටියේය. පන්දු යවන්නන්ගෙන් ලද බුරුලද ප්‍රයෝජනයට ගත් දකුණත් නවක පිතිකරුවා වෙත ඉහළ නැගී ආ පන්දුව, ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකී කුසල් මෙන්ඩිස් විසින් රැක ගන්නා විට තම ඉනිම තවත් හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය. ලෝරන්ස් ලකුණු 60 ලබා සිටියදී ගලීහි පන්දු රැකි කුසල් මෙන්ඩිස් අතින්ද ලකුණු 70 ක් ලබා සිටියදී ලබා දුන් ස්ටම්ප් කිරීමේ අවස්ථාවත ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගියහ. තේ පානයට තරගය නිමා කිරීමට පෙර රූට් විසින් එල්ල කරන ලද පහරක් ෂෝට් ලෙග් හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ ඇඟේ වැදුණු අතර එහිදී ඔහු වේදනාවෙන් සිටි අයුරු දක්නට ලැබිණ. කෙසේ වෙතත් ඔහුගේ සුව දුක් විමසීමට එංගලන්ත නායකයා එම අවස්ථාවේ අමතක නොකිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ජීව ගුණය පෙන්නුම් කරන්නක් බවට පත්විය.

    මේ වන විට ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වන්නේ වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වන අතර ඔහු පන්දුවාර 38 ක් යවමින් ලකුණු 131 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. ඔහුගේ පන්දු යැවීමේදී බොහෝ අවස්ථාවල පිතිකරුවන්ට අභියෝගයක් වන අයුරින් පන්දු යැව්වද අනෙක් පන්දු යවන්නන්ගෙන් ඔහුට ලැබිය යුතු දායකත්වය අද දිනයේදී නොලැබිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පන්දුවාරයකට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දී සිටින පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංග වන අතර ඔහුගේ පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 4.20 ක අගයක් ලබා ගැනීමට පිතිකරුවෝ සමත්ව සිටිති. එහෙත් ඔහුට එකම කඩුල්ලක් හෝ නොදී සිටීමට එංගලන්ත පිතිකරුවෝ වග බලාගෙන තිබිණ.

    පෙර දින රාත්‍රියේ සිට අළුයම කාලය දක්වා ගාල්ල ප්‍රදේශය වෙත ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මිනිත්තු 70 ක ප්‍රමාදයකින් තරගය ආරම්භ වුවද දිනය තුළ පන්දුවාර 88 ක් යැවීමට විනිසුරුවන් සැලසුම් කළහ. කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය නතර කර දැමීමත් සමඟ වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය. ප.ව. 5.20 ට පමණ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු ප්‍රධාන විනිසුරු දෙපළ වුණු කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ අද දිනට තරගය අත හැර දැමීමට තීරණය කළහ. ඒ අනුව අද දිනයේදී තරගයට අහිමි වුණු පන්දුවාර සංඛ්‍යාව 35 කි.

    Text by – Sri Lanka Cricket

  • ශ්‍රී ලංකාව ලකුණු 135ට දැවී යයි

    ශ්‍රී ලංකාව ලකුණු 135ට දැවී යයි

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වීම විශේෂත්වයක් විය.

    පළමු දිනය ඇතුළතදී එංගලන්ත පන්දු යවන්නෝ කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වද්දී දිනය අවසන් වන විට පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සංචාරක කණ්ඩායමේ කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වී සිටියහ.

    පළමු දිනය තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 127 ක් ලබා ගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 135 ක ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එංගලන්ත පිලට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 5 ක් පමණි.

    ලසිත් ඇඹුල්දෙණිය විසින් එංගලන් ආරම්භක පිතිකරුවන් වුණු සැක් ක්‍රෝලි සහ ඩොම් සිබ්ලිගේ කඩුලු ලකුණු 17 ක් තුළ දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුදු අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට් සහ වසරකට පසුව කණ්ඩායමට එක්ව සිටින ජොනී බෙයාර්ස්ටෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත පිල අවධානමෙන් මුදවා ගත්හ.

    එම සම්බන්ධතාවය අතරතුරදී නායක ජෝ රූට් ලකුණු 66 ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත්වූවේය. පන්දු 115 කදී වාර්තා වුණු රූට්ගේ ලකුණු 66 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 5 ක් එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ජොනී බෙයාස්ටෝ පන්දු 91 කදී ලකුණු 91 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනත් පන්දුවට පහර දීමට අවස්ථාව වෙන් කරගත්තේය.

    එංගලන්ත පිලේ පිට දඟ පන්දු යවන ඩොම් බෙස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අද දැවී ගිය ලකුණු 135 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් පළමු ඉනිමේදී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අලුත් කරවීය. මෙය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් තරග අතුරින් පළමු ඉනිමේ දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වේ.

    ළහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස්ව 7 වැනි පන්දුවාරයේදීම දවාගැනීමට වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත්වීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයම අසාර්ථක විය. මෙම තරගයට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම 3 දීම ලකුණු ලබා ගැනීමට නොහැකිව සිටින කුසල් මෙන්ඩිස් අද දිනයේදීත් ලකුණු නොලබා දැවී යෑම කැපී පෙනුණි. පිට ඉන්නට මඳක් ඈතින් එළියට දෝලනය වී ආ පන්දුව මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රැකි ජොස් බට්ලර්ගේ දෑත් අතර සැඟ වෙද්දී මෙන්ඩිස් පිට පිටම සිව්වැනි වතාවටත් ලකුණු නොලබා දැවී ගියේය.

    අද දිනයේදී තම ටෙස්ට් තරග දිවියේ දෙවැනි වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණු ඩොම් බෙස්ගේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා දැවී ගියේ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 25 ක් බවට පත් කරමිනි. කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරත වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ තරගයේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන දිනේෂ් චන්දිමාල් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව 65 ක් දක්වා ඉහළ දැමූහ.

    සියල්ල කණපිට පෙරළුණේ දිවා ආහාරයෙන් පසුවය. ජේම්ස් ඇන්ඩර්සන්වද බංකුවේ තබමින් මෙම තරගයට ක්‍රීඩා  කිරීමට වරම් ලද ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ තෙවැනි කඩුල්ල ලෙසින් මැතිව්ස් දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට මුල් විය. පිට ඉන්නට එළියෙන් ඇදී ගිය පන්දුවකට එලවා පහර එල්ල කිරීමට ගොස් මැතිව්ස් දැවී යෑමත් සමඟ සිව්වැනි කඩුල්ලේ සබඳතාවය පමණක් නොව ඊට පන්දු 2 කට පසු එතෙක් වෙලා තමන් සමඟ ලකුණු 56 ක සබඳතාවයක් පැවැත්වීමට දායක වුණු දිනේෂ් චන්දිමාල්ද දැවී ගියේය.

    දිගින් දිගටම කඩුලු බිඳ වැටුණු නමුත් කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවීම පසෙක තබා මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් පහරවල් කරා යෑමට නොපසුබට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉනිම තේ පානයට පෙරම අවසන් විය. පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට කෙතරම් නොඉවසිලිමත් වූවේද කිවහොත් ඉතා හොඳින් පන්දු යවමින් සිටි ජැක් ලීච්ගේ පන්දුවක වනිඳු හසරංග රිවර් ස්වීප් පහර පවා එල්ල කිරීමට පෙළැඹීම පුදුමය දනවන්නක් විය. ඒ පහරින්ම වනිඳු හසරංග දැවී යෑමද කැපී පෙනුණි.

    දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් අද ඇරැඹි තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අතර කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබුණි.

    Text by – Sri Lanka cricket