Category: සුපිරි Sports

  • සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන් – දිමුත් කරුණාරත්න

    සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන් – දිමුත් කරුණාරත්න

    ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට ඉතිරිව ඇත්තේ පැය 48 කටත් අඩු කාලයකි.

    දෙපිළේම ක්‍රීඩකයින් මූලික වශයෙන් ක්‍රීඩකයින් 13 දෙනා බැගින් නම් කොට අවසන් සංයුතිය සැකසීමට සූදානම් වන මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව සතු සුභදායීම කරුණ බවට පත්ව තිබෙන්නේ මීට මාස 18 කට පෙර පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමෙහිම පරාජයට පත් කිරීමට සමත්වීමය. එම තරගාවලිය නියෝජනය කරනු ලැබූ දෙපිළේ ක්‍රීඩකයින් වැඩි හරියක් මෙම තරගාවලියේදීද දෙපිළම නියෝජනය කිරීම, ලද පරාජයේ වාඩුව ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමත් දිනා සිටින කිරුළ රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමත් සිය උපරිම ශක්තීන් භාවිතා කරනු ඇත.

    මෙතැනදී පැන නැගෙන ගැටළුව වන්නේ ඉකුත් තරගාවලියේදී තිබූ වාසිය මෙම තරගාවලියේදීත් එලෙසින්ම ශ්‍රී ලංකා පිලට ලැබේද…? යන්නය. සැබැවින්ම එය එසේ නොවන්නේ ඉකුත් වතාවේ තරග පැවැති ක්‍රීඩාංගණවල තත්ත්වයන්ට හාත් පසින්ම වෙනස් හෙවත් වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන ක්‍රීඩාංගණ දෙකක මෙවර තරග 2 පැවැත්වීමයි. දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාස ගත වුණු එම තරගාවලියේ තරග 2 දඟ පන්දු යවන්නන්ට උචිත ලෙසින් හැසිරෙන පෝර්ට් එලිසබෙත් සහ ඩර්බන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වුණත් මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන්නේ ලොව වඩාත්ම වේගවත් තණතීරු 2 ක් ලෙසින් නම් දරා සිටින සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් සහ වොන්ඩරස් යන ක්‍රීඩාංගණවලදීය.

    මෙකී ක්‍රීඩාංගණ වල තරග කිරීමට සිදුවීමේදී ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමක් යම් කිසි තිගැස්මකට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. මෙම තණතීරුවල පවතින ඇදහිය නොහැකි වේගය සහ ඒ හා සමානවම පන්දුව ඉපිලීමකින්ද යුක්ත වීම එයට හේතුවන කරුණු වෙති. කෙසේ වෙතත් මේ සියල්ලටම පූර්ව සූදානමක් ලෙසින් වෙනත් තරගාවලිවලදී අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට යමින් ක්‍රීඩකයින් 22 දෙදෙනෙක් තරගාවලියට පිටත් කර යැවීම සඳහා සූදානම් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් පැහැදිළි දැක්මක් සහිතව කටයුතු කරනු ලබන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගත් ඒ තීරණය නිසා සත්කාරකයින් ලබා දෙන ඕනෑම අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ සිය කණ්ඩායම් සංයුතිය සකසා ගැනීමට  පහසුම අවස්ථාවක් නායකයාට සහ පුහුණුකරුට හිමිව තිබේ.

    ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියට පෙර ආබාධයකට මුහුණ දීම මත සංචිතය 21 දක්වා අඩු කෙරුණද ඕනෑම තත්ත්වයක් හමුවේ කණ්ඩායම තෝරා ගැනීමට ඕනෑ තරම් කණ්ඩායම තුළ සම්පත් වේ. එහි වේග පන්දු යවන්නන්ම 7 දෙනෙකි. ඉන් ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු පැයට කිලෝ මීටර 145 කට අධික වේගයෙන් පන්දු යැවීමට හැකි පන්දු යවන්නෝය. කණ්ඩායමේ වඩාත් පළ පුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් මෙන්ම අවසන් වතාවේදී දකුණු අප්‍රිකානු පිල සුණු විසුණු කළ දැමූ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභීන් දෙපළ වුණු වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ දකුණතින් වේග පන්දු යවන කසුන් රජිතගේ සහායද මෙවරත් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

    සැබැවින්ම වේග පන්දු යැවීමේ ශක්තිය පිළිබඳව ඉකුත් තරගාවලිය හා සංසන්දනාත්මකව බැලීමේදී වඩා වැඩි ශක්තියක් මෙවර ශ්‍රී ලංකා පිලට ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටින්නේ සත්කාරකයින් සතු දේශීය වාසීන්ට මුහුණ දීම සඳහා විකල්පයන් තම කණ්ඩායම සතු නොවන බව ප්‍රතිවාදීන්ට හැඟී ගියහොත් ඔවුන් එය වාසියකට හරවා ගන්නා නමුත් වත්මන් කණ්ඩායම සතු ශක්තිය දෙස බැලීමේදී  එහි වාසිය දෙපිළමට සියයට 50 බැගින් බෙදී යන බව සඳහන් කර සිටියි.

    “අපි සෙල්ලම් කරන සෙන්චූරියන් සහ වොන්ඩරස් විකට් ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන්ට තමයි දායකත්වය ලබා දෙන්නේ. මට මතකයි අපිට ගිය පාර මේ තරම් ඔප්ෂන්ස් (විකල්ප) තිබ්බේ නෑ. අපිට ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර හිටියේ නෑ. නමුත් අපිට මේ පාර ඒ දෙන්නගේම ශක්තිය තියෙනවා. මේ වගේ රටකට ඇවිල්ලා ක්‍රීඩා කරනවා කියන්නේ වේග පන්දු යවන්නන්ගේ වැඩි දායකත්වයක් තියෙන්න ඕන. අපේ පන්දු යවන්නන්ගේ වේගය සහ ඉපිලීම නෑ කියලා ප්‍රතිවාදීන් දැන ගත්තොත් එයාලා ඒ වාසියම අපිට එරෙහිව පාවිච්චි කරනවා. නමුත් මේ පාර ඒක වෙනස්. අපි ගාවත් හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා. ඒක නිසා මම දකින්නේ මේ තරගාවලියේ එයාලගේ වේග පන්දු යවන්නන් සහ අපේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා 50 ට 50 වගේ සමානව තියෙන්නේ” යැයි දිමුත් තමන් සතු වේග පන්දු ශක්තිය පිළිබඳව විග්‍රහ කර සිටියි.

    එකම ශක්තීන් දෙකක් දෙපාර්ශ්වයම භාවිතා කිරීමේදී මෙහි වැඩි වගකීමක් පිතිකරුවන් අතට පත්වනු ඇති බව සිය විශ්වාසය බව පවසන ශ්‍රී ලංකා නායකයා සමස්ත තරගාවලිය නියෝනය කරනු ලබන පිතිකරුවන් අතරින් හොඳට කිරීමට සමත්වන කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවද සඳහන් කර සිටියේය.

    “මේක ගොඩක් වෙලාවට පිතිකරුවන්ගේ තරගාවලියක් වෙයි කියලා මං හිතනවා. කොයි කණ්ඩායමේ පිතිකරුවන්ද හොඳට ලකුණු අතරට එන්නේ, මං හිතනවා ඒ කණ්ඩායමට තමයි මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තියෙන්නේ” යි දිමුත් පවසයි.

    වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරගයක් තබා කිසිම තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලබා සිටින ශ්‍රී ලංකා නායකයාට තරගය ආරම්භයට කණස්සල්ලට හේතු වී තිබෙන එකම ගැටළුව වන්නේ කණ්ඩායම සතු පළපුරුදම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් සුලු පාදයේ ආබාධයකට ලක්ව සිටීමයි. “ලක්මාල්ට පොඩි ඉන්ජරි එකක් ඇවිල්ලා. එයා පළවැනි තරගය ගහනවද නැද්ද කියන එක තාම විශ්වාස නෑ. ඒ ඇරෙන්න අනිත් අය හොඳ ෆිට් එකේ ඉන්නවා. කොහොමත් අපි හෙට වෙනකොට අන්තිම 11 නම් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට ළහිරු කුමාරත් එක්ක සුරංග ෆිට් නම් ඔහු ක්‍රීඩා කරනවා. නැත්නම් ඒ අවස්ථාව ගොඩක් වෙලාවට විශ්ව ප්‍රනාන්දුට ලැබෙයි” යැයි දිමුත් පවසයි.

    ලොව අංක 1 වේග පන්දු යවන්නා ලෙසින් සැලකෙන කාගිසෝ රබඩා දකුණු අප්‍රිකානු පිල සතු වුවද අවසන් වරට දෙපිළ මුණ ගැසුණු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ විශ්ව ප්‍රනාන්දුය. තරග 2 ටම ක්‍රීඩා කළ විශ්ව කඩුලු 12 ක් බිඳ හෙළනු ලබන්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.91 ක් ලෙස රඳවා තබා ගනිමිනි. ඔහුට දෙවැනි වූ කසුන් රජිත තර 2 කදී කඩුලු 9 ක් බිඳ හෙළා එහි දෙවැනි ස්ථානයේ පසු වූ අතර තරග 2 කදී කඩුලු 8 ක් බිඳ හෙළීමට සමත්වූ රබඩාට හිමිවූයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනය.

    අවසන් වරට මෙම වසරේ පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මේ වන තෙක් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත. වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝමයක් එල්.පී.එල්. වරම් ලැබුවද විස්සයි-20 තරග අංශයට කිසිදු නැඹුරුවක් නොමැති ශ්‍රී ලංකා නායකයාට තරගකාරීත්වයෙන් අසීමිත වූ එම තරගාවලියද ආලින්දයේ සිට නැරඹීමට සිදුවිය.

    “පෞද්ගලිකව ගත්තොත් සිම්බාබ්වේ එක්ක තිබුණු ටෙස්ට් තරගාවලියෙන් පස්සේ මම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරලා නෑ. ඒ වගේම දේශීය තරගාවලිය තරග පැවැති කාල සීමාවෙදිත් මම ආබාධයකට ගොදුරු වුණු නිසා මට ඒකට ක්‍රීඩා කරන්නත් බැරි වුණා. ඒ නිසා මේ තරගාවලියෙදි මමත් ටිකක් කලබලයට පත් වෙලා ඉන්නේ. පොඩි බයකුත් තියෙනවා. මං හිතන්නේ හැමෝටම ඒක ඇති. මොකද ලේසි නෑ අවුරුද්දකට විතර පස්සේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්වලින් කෙළින්ම ටෙස්ට් මැච් එකකට ක්‍රීඩා කරන්න. ලොකු අභියෝගයක්. අපි ගොඩක් පුහුණුවීම් කරනවා. මහන්සි වෙනවා. මෙහේ ආවම මේ තත්ත්වයන්ට හුරු වීම අමාරුයි. නමුත් අපි වෙනදට වඩා ගොඩක් උත්සාහයක් කරනවා ඉක්මනින්ම මේ තත්ත්වයන්ට හුරු වෙන්න. අපි ඔක්කොගෙම සැලසුම වෙලා තියෙන්නේ හොඳ තරගයකට ක්‍රීඩා කරන්න”යි දිමුත් තමා ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව වැඩිදුරටත් සිය අදහස් ගෙන හැර දැක්වීය.

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර එහි පළමු වැන්න සැප්තැම්බර් 26 වැනිදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් හිදීද දෙවැන්න ලබන ජනවාරි 03 දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේදීත් ආරම්භ වනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි !

    දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි !

    පෙර වසරේ පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීම කෙරෙහි තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් ඕනෑ කමකින් පසුවන බව පවසන දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්, එදා සිදුවූ වරද නිවැරදි කර ගැනීමට තරග 2 කින් සමන්විත මෙම  තරගාවලිය හොඳ අවස්ථාවක් බව සඳහන් කර සිටියි.

    දකුණු අප්‍රිකානු පිල අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එම තරගාවලිය 2-0 ක් ලෙස සිය මව්බිමේදීම දකුණු අප්‍රිකානු පිල පරාජයට පත්විය. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම දක්ෂතාවය දැක්වීමට සමත්වීමත් සමඟ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී ටෙස්ට් තරගාවලියක් ජය ගනු ලැබූ පළමු අවස්ථාව වශයෙන් එම තරගාවලිය ඉතිහාස ගත විය.

    “ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණු තරගාවලියේදී කණ්ඩායමේ හිටපු සාමාජිකයින් අතරින් මමත්, ෆෆ් ඩුප්ලෙසිත් කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නවා ඒ පරාජයේ මතකය තවමත් අපේ හිතේ රැඳිලා තියෙන නිසා එය අපිට මේ වතාවේ නිවැරදි කරගන්න අවශ්‍යයි” යැයි පරාජයේ වාඩුව ගැනීමේ බලාපොරොත්තුවේ අටියෙන් දකුණු අප්‍රිකානු නායකයා අදහස් දැක්වීය.

    මාස 18 ක කාලයකින් පසු දෙරට මුණ ගැසෙන මෙම තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී ආරම්භ වනු ඇත. “අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කරන ආකාරයට වඩා දක්ෂ, ආක්‍රමණශීලී විය යුතුයි. අපිට තරගාවලියේ ඉදිරියට යා හැක්කේ එතකොටයි. මේ වෙලාවේ අපි අවස්ථානුකූලව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”යි ඩි කොක් පවසයි.

    “අපි බලාපොරොත්තු වෙනවා හොඳින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න. නමුත් මෙවර අපිට ප්‍රතිවාදීන්ට කළින් අපි ආක්‍රමණශීලී වෙන්න බලාපොරොත්තු වෙනවා. කළින් පැවැති තරගාවලදී අපිට කළින් ආකමණශීලී වුණේ ප්‍රතිවාදීන්. අන්න ඒකයි ඔවුන් අපට වඩා හොඳ වුණේ”යි ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් පැවැති මාධ්‍ය හමුවකදී දකුණු අප්‍රිකානු නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර ආරම්භයේ එංගලන්ත පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී විය. එතැන් පටන් පැවැති සියළුම තරගාවලි අවලංගු වීම නිසා ශ්‍රී ලංකාවට මෙන්ම ඔවුන්ටද තරග වැදීමේ අවස්ථාව අහිමිවිය.

    “අපි ඔක්කොම ටෙස්ට් තරග පිටියට පිවිසීමට ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. මේ වසරේදී අපි විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා හිටිය නිසා ආකෘතියෙන් වෙනස්ව ටෙස්ට් පිටියට පිවිසීමට ලැබීම සතුටක්. අපේ ක්‍රීඩකයින් තරග නැතුව බඩගින්නේ හිටියේ. අපි ඉරිදා හොඳ පුහුණු සැසියක් පැවැත්වුවා. එතැනදි අපේ අය ගොඩක් දේවල් ලබා ගත්තා”යි දකුණු අප්‍රිකානු නායකයා සඳහන් කර සිටියේය.

  • දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ සුභදායී වෙයි

    දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ සුභදායී වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රථිඵල සුභ දායක තත්ත්වයක පවතින බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

    මෙම තරගාවලියට ප්‍රථම එංගලන්තය සමඟ පැවැති තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම මත එම තරගාවලිය අතර මඟ නවතා දමා නැවතත් එංගලන්ත පිල සිය රට බලා ගියේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ජෛව සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් කැමැත්ත පළ කර සිටීම නිසා මේ වන විට ක්‍රීඩකයින් සියල්ල එම ජෛව පරිසරය තුළ සිට සිය නීරෝධායන කාල සීමාව ගත කරමින් සිටිනු ඇත. ඒ අනුව ජෛව සුරක්ෂිත පරිසරයට පිවිසීමෙන් පසු සත්කාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙනුවෙන් සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල සුභදායක වී තිබේ.

    ‘බෙට්වේ’ කුසලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන 26 වැනිදා සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් පිටියේදීද දෙවැන්න ජනවාරි 02 වැනිදා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේදීද ආරම්භ වනු ඇත.

    මේ අතර දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරුවකු සහ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ලබන කුවින්ටන් ඩි කොක් වෙත ලබා දීමට එම තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩි කොක් ටෙස්ට් තරගයකදී දකුණු අප්‍රිකානු පිල මෙහෙයවනු ලබන පළමු තරගය බවට පත් වන්නේ මෙම මස 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වේ. ඩි කොක් මීට පෙර දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම වෙනුවෙන් අවස්ථා 8 කදී නායකයා ලෙසින් කටයුතු කර තිබේ.

    ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා ඉදිරි පෙළ පිතිකරුවකු වන රේනාඩ් වැන් ටොන්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක ලූතෝ සිපම්ලාට පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා කැඳවීම් ලැබ සිටිති. ඔවුන් දෙපළට අමතරව ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව සුදු පන්දු භාවිතයෙන් පැවැති තරගාවලිය සඳහා ඇතුළත් නොවුණු ඩ්වේන් ප්‍රිටෝරියන්ද දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ.

    දකුණු අප්‍රිකානු කණ්ඩායම – ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බවුමා, ඒඩියන් මාක්‍රම්, ෆෆ් ඩු ප්ලෙසිස්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, ඩීන් එල්ගාර්, කේෂව් මහරාජ්, ලුංගි න්ගිඩි, රාසී වැන්ඩර් ඩුසේන්, සරෙල් අර්වී, ඇන්රික් නෝර්ට්ජ්, ග්ලෙන්ටන් ස්ටූර්මන්, වියාන් මුල්ඩර්, කීගන් පීටර්සන්, කයිල් වෙරේයින්, මිගෙල් ප්‍රෙටෝරියස්, ඩ්වයින් ප්‍රෙටෝරියස්, ලුතෝ සිපම්ලා, රිනාඩ් වැන් ටොන්ඩර්.

  • සුපරි පාපන්දු තරුව ‘මැරඩෝනාගේ සුපිරි බූදලයට’ සුපිරි යුද්ධයක් ?

    සුපරි පාපන්දු තරුව ‘මැරඩෝනාගේ සුපිරි බූදලයට’ සුපිරි යුද්ධයක් ?

    මැරඩෝනාගේ ධනස්කන්ධය වතුපිටි දේපොළවලට පමණක් සීමා වී නැත. ඔහුගේ ඡායාරූපයක පවා මුදල් ගලා එන බුද්ධිමය දේපල අයිතියක් සහිතය. උපන් රටින් එපිට පවතින ආයෝජන සහ තැන්පතු ද අමතක කළ නොහේ.

    මැරඩෝනාගේ නික්ම යාමත් සමඟ ඔහුගේ උරුමය පසිඳලීම සංකීර්ණ වී තිබේ. එමගින් ඔහුගේ සංකීර්ණ වූ පෞද්ගලික දිවිය විදහාපායි.

    ඔහු මිය යන විට 60 හැවිරිදි විය. පසුගිය දා සැල වූ ඒ මරණය පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළේය. දැන් ඔහුගේ වත්කම් සහ උරුමය පිළිබඳව බොහෝ රාවයන් පැතිරෙමින් පවතී.

    පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත.

    නමුත් අන්තිම කැමති පත්‍රයක් පිළිබඳව තවමත් හෝඩුවාවක් නොමැත. එබැවින් නීති විශාරදයන් සහ මාධ්‍යවේදීන් පවසන්නේ උරුමය පසිඳලීම පහසු කටයුත්තක් නොවනු ඇති බවය.මෙය පවුල් ආරවුල්වලින් පිරි, DNA පරීක්ෂණවලින් සමන්විත, පීතෘත්වය පිළිබඳ අවස්ථාවාදී හිමිකම් කියාපෑම් සහිත දීර්ඝ කාලීන උසාවි සටනක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. මැරඩෝනා ගේ බූදලයේ සැබෑ වටිනාකම ගණනය කිරීම ද නීතිඥයන්ට ඉතා වෙහෙසකර කටයුත්තක් වනු ඇත.

    “මගේ අනාවැකිය නම් මේ ක්‍රියාදාමය අවුල්සහගත එකක් වන බවයි. ඒක විසඳන්න සෑහෙන කාලයක් යාවි.” ආර්ජන්ටිනාවේ නීතිඥයෙකු වන එලියාස් කියර් ජෝෆේ බීබීසීයට පැවසීය.

    මැරඩෝනාගේ දරුවන් කවුද?

    පීතෘත්වය හෙළිදරව් කිරීම මේ පාපන්දු තරුව ගෙවූ විචිත්‍රවත් ජීවිතය පුරා පැවති සාමාන්‍ය තේමාවකි.

    තම පියාට දාව උපදින දරුවන්ගෙන් පමණක් සමන්විත පාපන්දු කණ්ඩායමක් ඇති කළ හැකිවනු ඇතැයි මැරඩෝනාගේ දියණියක වරෙක ප්‍රකාශ කර තිබුණේ විහිළුවක් කිරීමේ අටියෙනි.

    මැරඩෝනා විසි වසරක යුග දිවියකින් පසුව ක්ලෝඩියාගෙන් දික්කසාද වූයේ 2003 දීය. මේ දෙපළට ජනීනා (31) සහ ඩල්මා (33) නමින් දියණියන් දෙදෙනෙක් සිටිති. මේ දෙදෙනා හැර, තවත් දරුවන් තමන්ට දාව සිටින බවට පවතින රාවයන් වසර කීපයක් තිස්සේ මැරඩෝනා ප්‍රතික්ෂේප කළේය.

    ක්ලෝඩියා (වමේ) සහ දියණියන් දෙදෙනා සමඟ
    ක්ලෝඩියා (වමේ) සහ දියණියන් දෙදෙනා සමඟ

    අවසානයේ, තමන්ට දාව තවත් දරුවන් හය දෙනෙකු සිටින බව මේ ලෝක කුසලාන ලාභියා පිළිගත්තේය.

    දියාගෝ ජුනියර් (34) සහ ජානා (24) ද තම දරුවන් බව 2010 වසර මැද භාගය වන විට මැරඩෝනා පිළිගත්තේ තම පෙම්වතියන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියට යාමෙන් අනතුරුවය. 2013 දී උපන් දියාගෝ ෆනැන්ඩෝ (7) ගේ පියා කවුරුන්ද යන වගට නම් එවැනි මතභේදයක් නොපැවතුණි. ඒ මැරඩෝනාගේ දෙවැනි පුත්‍රයා ය.

    මේ අතරතුර, 2019 දී නිකුත්වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයකි. කියුබාවේ උපන් දරුවන් තිදෙනෙකු තමන්ගේ යැයි පිළිගැනීමට මැරඩෝනා එකඟ වූ බව ඔහුගේ නීතිඥයා නිවේදනය කළේය.

    කොකේන් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවී සිටීම නිසා ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වසර 2000දී මැරඩෝනා කියුබාවට ගියේය. වසර කීපයක් එහි ගත කළේය.

    එම නිවේදනය මගින් අප යාවත්කාලීන විය.

    Getty Images
    ජනීනා සහ ඩල්මා

    නමුත්, අවම වශයෙන් තවත් දෙදෙනෙකුවත් සිටිය හැකිය. තමන් මැරඩෝනාගේ පුත්‍රයෙකු බව ආර්ජන්ටිනාවේ සන්තියාගෝ ලාරා (19) පවසයි. එමෙන්ම, ආර්ජන්ටිනා යුවතියක වන මගලී ජිල් (23) ද විශ්වාස කරන්නේ මේ සුපිරි තරුව තම පියා බවය.

    මැරඩෝනාගේ බූදලයෙන් කොටසක් තමන්ටත් අයිති බව සනාථ කිරීම සඳහා අධිකරණයට යන බව මේ දෙදෙනා ම පවසති.

    දියාගෝ ජුනියර් සමඟ
    දියාගෝ ජුනියර් සමඟ

    ලෝක පූජිත මේ ක්‍රීඩකයාගේ දේහය ගොඩ ගෙන DNA පරීක්ෂාවට අවශ්‍ය නියැදි ලබා ගන්නා ලෙසට සන්තියාගෝ ලාරා ගේ නීතිඥයා දැනටමත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

    මැරඩෝනා තම පියා බවට ඔප්පු කිරීමට මොවුන් දෙදෙනාට හැකියාවක් ලැබුණත් ඔහුගේ බූදලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුනට හිමිවේදැයි තවමත් පැහැදිලි නැත.

    දියණිය ජානා (දකුණේ) සමඟ
    දියණිය ජානා (දකුණේ) සමඟ

    මැරඩෝනාගේ වත්කම කොපමණ ද?

    මැරඩෝනාගේ වත්කම නිශ්චිතව සඳහන් කෙරෙන විස්තරාත්මක වාර්තාවක් නොමැත. නමුත් ක්‍රම දෙකකින් ගණනය කළ කාල්පනික වාර්තා ඇතැම් මාධ්‍ය ආයතන පළ කර තිබුණි.

    පළමු වාර්තාවෙන් ගණනය කර තිබුණේ ඔහුගේ මිල අධික නවීන පන්නයේ මෝටර් රථ පටන් රන් ආභරණ දක්වා වූ වස්තු සම්භාරයේ වටිනාකමයි.

    ආර්ජන්ටිනා මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණු වාර්තා ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 75ත් මිලියන 100ත් අතර වූ වත්කමකි.

    කිසිදු මූලාශ්‍රයක් නොමැති මෙම ඇස්තමේන්තුව සපයා තිබුණේ, මැරඩෝනාට සමීපව සිටි ආර්ජන්ටිනා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ජුලියෝ චියාපෙට්ටා විසින් ලියන ලද ලිපියක ය.

    දෙවන ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණේ මැරඩෝනා මියයන විට ඔහුගේ වටිනාකමෙන් සිය බැරකම් (liabilities) අඩුකර දැක්වීමෙනි.

    මැරඩෝනා මියයන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් 500,000 බව Celebrity Net Worth වෙබ් අඩවියේ සඳහන් විය. මෙය ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වටිනාකම ඇස්තමේන්තු කරන වෙබ් අඩවියකි.

    මෙම ඇස්තමේන්තු ගණනය කිරීම සඳහා මූල්‍ය විශ්ලේෂණ, වෙළෙඳපොළ සමීක්ෂණ සහ අභ්‍යන්තර ආරංචි මාර්ග යොදා ගන්නා බව මෙම වෙබ් අඩවිය පවසයි.

    Getty Images
    බෙලාරුස් රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් සිටින විට තෑගි ලැබුණු හන්ටර් වර්ගයේ ජීප් රථය

    පහත සඳහන් වන්නේ මැරඩෝනාගේ වත්කම් ලෙස මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී ඇති වාර්තාවල දැක්වෙන කිහිපයකි.

    • අවම වශයෙන් ආර්ජන්ටිනාවේ නිවාස පහක්. (නමුත් මෙම නිවාස ඇමරිකාවේ බෙවර්ලි හිල්ස් හි පවතින වර්ගයේ මන්දිර නොවන බව නීතිඥ කියර් ජෝෆේ පවසයි.)
    • ඩොලර් 360,000ක් වටිනා රෝල්ස් රොයිස් රථයක් සහ ඩොලර් 175,000ක් වටිනා BMW i8 රථයක්.
    • බෙලාරුස් රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් සිටින විට තෑගි ලැබුණු හන්ටර් වර්ගයේ මිල අධික ජීප් රථයක්.
    • ඩොලර් 360,000ක් වටිනා දියමන්ති මුද්දක්.
    • අන්තර්ජාල පාපන්දු ක්‍රීඩාවක මැරඩෝනාගේ රුවට සමාන චරිතයක් යෙදවීම සඳහා අවසර ලබා දී තිබෙන කොන්ත්‍රාත්තුවක්.

    පාපන්දු ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවකු වශයෙන් මැරඩෝනාට ලැබුණු වැටුප් සහ දීමනාවල මුළු වටිනාකම “ඩොලර් කෝටි ගණනක්” වන බව Celebrity Net Worth වෙබ් අඩවිය පවසයි.

    ඉන් වැඩිම මුදලක් ඔහු උපයා ඇත්තේ ඉතාලියේ නාපොලි පාපන්දු කණ්ඩායම සමඟ අත්සන් කළ කොන්ත්‍රාත්තුවෙනි.

    එහිදී ඔහුට ඩොලර් මිලියන 3ක වැටුපක් සහ තවත් මිලියන 8ක හෝ 10ක දීමනා ලැබුණු බව 1990 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

    Getty Images
    නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය

    මැරඩෝනා ගොඩ නැගුවේ ඉතාලියයි. බිඳ දැමුවේ ද ඉතාලියයි. ඉතාලිය මැරඩෝනාට එක් අතකින් දුන් දේ අනෙක් අතින් ආපසු ලබා ගැනීමට උත්සාහ කළේය. ඉතාලිය ඔහු ණයකාරයෙකු කළේය.

    මැරඩෝනා බදු ගෙවීම් පැහැර හැර ඇති බවට ඉතාලි රජයෙන් නිවේදනයක් නිකුත් විය. ගෙවීමට ඇති මුළු මුදල ඩොලර් මිලියන 48.6ක් බව නිවේදනය කළේ නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය දක්වා ආපස්සට ගණනය කිරීමෙනි.

    අද වනතුරුත්, එම ණය කන්දරාවෙන් අති විශාල ප්‍රමාණයක් පවතින්නේ නොගෙවූ ණය ලෙසිනි.

    මැරඩෝනා එම ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ජීවත්ව සිටියේ නම් දිගටම එය නොගෙවා සිටීමට ඔහු තීරණය කරනු ඇතැයි සිතිය හැකිය.

    එය කෙසේ වී නමුදු, තවමත් එම මුදල කවදා හෝ ගෙවිය යුතු ප්‍රධාන ණය බරක් ලෙස පවතී.

    Getty Images

    මැරඩෝනා මිය යන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් ලක්ෂ පහක් වැනි අඩු මුදලකට තක්සේරු කිරීමට Celebrity Net Worth වෙබ් අඩවියට සිදු වී ඇත්තේ මේ සා විශාල ණය මුදලක් පැවතීම නිසා බව පෙනෙන්නට තිබේ.

    "ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්"
    “ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්”

    ලුවිස් වෙන්ටුරා, ආර්ජන්ටිනාවේ මාධ්‍යවේදියෙකි. ඔහු මැරඩෝනාගේ සමීප මිතුරෙකු විය. එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඔහු කියා සිටියේ මැරඩෝනාගේ වියදම් කිරීමේ පුරුද්ද, කොහොමටත් සිය බැංකු පොතේ ශේෂයට හිතකර නොවූ බවය.

    ඔහු එම ප්‍රකාශය කළේ මැරඩෝනා “මිය ගියේ දුප්පතෙකු ලෙසින්දැ”යි ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.

    “අනිවාර්යෙන්ම දුප්පත්. ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්. කවුරු හරි ඔහුගෙන් සල්ලි ඉල්ලුව නම්, ඔහු ඒක දුන්න.” ලුවිස් පැවසීය.

    බුදලය කෙසේ බෙදා ගනීවි ද?

    සිය හිටපු සහකාරියන් සහ තම දරුවන් සමඟ මැරඩෝනා ප්‍රසිද්ධියේ මතභේද ඇති කර ගත්තේය. ඔවුනොවුන්ගේ දුක්ගැනවිලි හෝ මැසිවිලි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුනොවුන් ම පළ කළේය. රූපවාහිනී තිරය මතට විත් ප්‍රසිද්ධියේ කතා කළේය.

    එවැනි අඩදබර ඇතිවන්නට මැරඩෝනාගේ වත්කම මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද හේතු විය.

    මැරඩෝනාගේ දියණියක වන ජනීනා
    මැරඩෝනාගේ දියණියක වන ජනීනා

    උදාහරණයක් ලෙස දක්වතොත්, 2019 නොවැම්බර් මාසයේ දී මැරඩෝනාගේ දියණියක වන ජනීනා තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය සැලකිල්ල ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ මැරඩෝනා තමන්ගේ බූදලය පිළිබඳව ව්‍යංගාර්ථයෙන් යමක් කියා තිබුණි.

    “මම ඔබ හැමදෙනාටම කියන්නේ, මම කිසිවක් ඉතිරි කර නොයන බවයි. මම එය දන් දෙනවා.” යූටියුබ් මත වීඩියෝවක් පළ කරමින් මැරඩෝනා කියා සිටියේය.

    කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ නීතියට අනුව, අන්තිම කැමති පත්‍රයක් මගින් දන් දිය හැක්කේ තම වස්තුවෙන් තුනෙන් එක් පංගුවක් පමණි. ඉතිරියේ අයිතිය හිමිවන්නේ දරුවන්ට හෝ බිරිඳටය.

    දියාගෝ මැරඩෝනා අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති බවක් තවමත් පෙනෙන්නට නැත. මිය යන විට බිරිඳක් ද නොවීය. එම නිසා ඔහුගේ මුළු වස්තු සම්භාරයම දරුවන් අතර සමානව බෙදී යනු ඇත.

    මැරඩෝනාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි පවුලේ සාමාජිකයන්
    මැරඩෝනාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි පවුලේ සාමාජිකයන්

    “අන්තිම කැමති පත්‍රයක් ලියන සංස්කෘතියක් ආර්ජන්ටිනාවේ නැහැ. බොහෝ අය එහෙම ලියන්නේ නැහැ.” නීතිඥ ජෝෆේ පැවසීය.

    මැරඩෝනාගේ අන්තිම කැමති පත්‍රයක් හෝ බූදලය පිළිබඳව පවතින ප්‍රශ්න පිළිබඳව විමසීම සඳහා බීබීසීය මැරඩෝනාගේ නීතිඥවරයා වන මතියාස් මොර්ලා සම්බන්ධ කර ගත් නමුත් මෙම ලිපිය පළවන මොහොත වන තුරු ඔහුගෙන් පිළිතුරක් නොලැබුණි.

    අන්තිම කැමැත්තක් නොමැති කල්හි බොහෝ විට සියල්ල විසඳෙන්නේ නීති පොතට අනුවය.

    මැරඩෝනාගේ තුන්වැනි දියණිය වන ජානා තම උරුමය ඉල්ලා අධිකරණයට ගොස් ඇති බව ආර්ජන්ටිනාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

    කාට කුමක් හිමි වේද යන්න අධිකරණ විනිසුරුවරයෙකු විසින් තීරණය කරනු ඇත.

    නමුත් මේ සඳහා මාස ගණනක් ගත වනු ඇති බව, බූදල් නඩු පිළිබඳ විශේෂ දැනුමක් ඇති නීතිඥ සෙබස්තියන් ලිමේරෙස් බීබීසීයට පැවසීය.

    ඒ අතරතුර, “මේ උරුමක්කාරයන් සියලු දෙනා සමගියෙන් ඉඳීවි ද කියල අපට අනාවැකි කියන්න බැහැ.” ලිමේරෙස් ප්‍රකාශ කළේය.

    මැරඩෝනා

    text copied by bbc sandesaya

  • ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට

    ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම හෙට (18 දා) උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත. මෙම සංචාරයට සහභාගිවන කණ්ඩායමම ලබන ජනවාරි මසදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහාද ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

    දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය ඉලක්ක කර ගනිමින් එල්. පී. එල්. තරගාවලියේ ආරම්භයට පෙර මෙම සංචිතය පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී දින 10 ක පුහුණු සැසියකට සහභාගි වුණු අතර ඒ අතරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක්  හෙට පිටත්වන කණ්ඩායමෙන් ඉවත්වී සිටියි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට මුහුණ දීමට සිදුවීම නිසා මැතිව්ස්ට මෙම ටෙස්ට් තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. කෙසේ වෙතත්එං එළැඹෙන ජනවාරි මස එංගලන්ගතය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරය සඳහා මැතිව්ස් ඇතුළත්ව සිටියි.

    ඒ අනුව හෙට පිටත්ව යන 21 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනූ වනිඳු හසරංගවද එක් කර තිබීම කැපී පෙනෙයි. ඔහුට අමතරව වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ ඩිල්රුවන් පෙරේරා දඟ පන්දු යවන්න්න ලෙසින් කණ්ඩායමට එක්ව සිටියි.

    2019 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංතාරය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කරන ලද තරගාවලිය තම මංගල තරග සංචාරය කරගත් ලසිත් ඇඹුල්දෙණිය කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 23.83 ක් රඳවා තබා ගනිමින් කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත්වීම එම තරගාවලියේ කැපී පෙනිණ. වේග පන්දු යවන්නන්ට උචිතව හැසිරෙන දකුණු අප්‍රිකානු තණතීරුවලදී දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගාවලියේදී අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතර ස්ථානයක් ඇඹුල්දෙණිය වෙනුවෙන් වෙන්වනු ඇත.

    ටෙස්ට් තරග සංචාරයක් සඳහා වන සංචිතය උපරිමය ක්‍රීඩකයින් 16 දෙනෙකු වුවත් කොව්ඩි 19 තත්ත්වය හේතුවෙන් වූ නීරෝධායන පිළිවෙත් හේතුවෙන් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙකු රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. යම් ලෙසකින් තරගාවලිය ඇතුළත ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වුවහොත් නීරෝධායන සම්පූර්ණ කළ ක්‍රීඩකයින්ගෙන් කෙනෙක් ඒ සඳහා ආදේශ කිරීමේ අරමුණ ඇතිව මෙම තරගාවලියට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්ව සිටිති.

    නම් කරන ලද කණ්ඩායමට වේග පන්දුයවන්නන් 7 දෙනෙකු ඇතුළත් වන අතර 2019 තරගාවලියට ඇතුළත්වසිටින පිතිකරුවන් සියල්ලම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු සහ හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් පැමිණ සිටින ඩිල්ෂාන් මදුශංක වේග පන්දු යවන්නෝ වෙති.

    ඇඹුල්දෙණිය මෙන්ම 2019 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දුද මෙම කණ්ඩායමට ඇතුළත් වුවත් එල්.පී.එල්. තරගාවලිය අතරතුර මුහුණ දුන් වළලු කරට ආබාධය තවමත් සුව අතට පත් නොවීම නිසා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. ඕෂධට අමතරව නායක දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක කණ්ඩායමට ඇතුළත්ව සිටින ප්‍රධානම පිතිකරුවෝ වෙති. දේශීය තරගවලදී දස්කම් දැක්වීමට සමත් මිනෝද් භානුක සහ සංතුෂ් ගුණතිලකද පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටිති.

    ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සංතුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක

  • LPL T20 Final: තරගාවලියේ වීරයා – වනිඳු හසරංග – අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

    LPL T20 Final: තරගාවලියේ වීරයා – වනිඳු හසරංග – අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

    තම තමන්ට හිමි වගකීම් වටහා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැති “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම (16 දා) සමත්වූහ.  

    මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් ලද ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ අභිනව ශූරයින් ලෙසින් කිරුළු පැළඳූහ.

    ස්ටැලියන්ස් පිල ලබා දුන් ලකුණු 189 ක ඉලක්කය හඹා ගිය ග්ලැඩියේටර් පිලේ ආරම්භයම නොසිතූ කඩා වැටීමකට ලක්වීම මෙතරම් පරතයකින් තරග පරාජය වීමට ඉවහල් විය. ආරම්භක පන්දුවාරයේ සිට ග්‍රහණය වැඩි කරමින් පන්දු යැවූ ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් දෙපළ පවර් ප්ලේ අවස්ථාවට හිමි පළමු පන්දුවාර 6 අවසන් වන විට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේ ලකුණු 30 ක් පමණක් ලබාදෙමිනි.

    තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් පන්දුවට පහර දීමට පැමිණි ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යෑමකට හසු වීම ග්ලැඩියේටර් පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ලකුණක් ලබා සිටි ගුණතිලක පහසු ලකුණක් කරා කඩුලු අතර දිව යෑමේදී පන්දු යැවූ සුරංග ලක්මාල්ගේ ශරීරයේ ගැටුණු අතර එහි වාසිය ලබා ගත් පන්දු රැකි තිසර පන්දුව රැගෙන දිව ගොස් කඩුල්ල බිඳ දැම්මේය. ගැටීමේදී දිව යන අන්තය පවා මාරු වුණු ධනුෂ්කගේ තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කෙරුණු අතර එයිදී කඩුල්ල බිඳ දමන විට ඔහුගේ පිත්ත සීමාවට අඟල් කීපයක් පසුපසින් විය.

    පළමු පන්දුවාරයේදීම හස්රතුල්ලා සසායිව දවා ගනිමින් ග්ලැඩියේටර් ආරම්භය අපහසු කිරීමට ධනංජය ද සිල්වා සමත් වුවත් භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 55 ක් රැස් කළහ. එහෙත් ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරිගේ පන්දු හමුවේ භානුක ලකුණු 40 කටත් ෂෙහාන් ලකුණු 15 කටත් දැවී ගිය. පන්දු 17 කින් සමන්විත වුණු ග්ලැඩියේටර් නායකයාගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

    පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කරමින් මැද පෙළින් පන්දුවට පහර දීමට ආ අසාම් ඛාන් පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 36 ක් රැස් කළද චරිත් අසලංකගේ සහායෙන් ඩුවේන් ඔලිවියර් ඔහුගේ කඩුල්ල දවාගත්තේය. ස්ටැලියන්ස් පිල වෙනුවෙන් ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරි කඩුලු 2 බැගින් බිඳ හෙළුවද එම ඉනිමේ පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ එකම පන්දු යවන්නා වූ වනිඳු හසරංග ලකුණු 18 ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේය.  

    අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නායක තිසර පෙරේරා වේගවත් ලකුණු 39 ක ඉනිම ප්‍රධාන කොට අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර් පිල හමුවේ ලකුණු 189 ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

    ස්ටැලියන්ස් ඉනිමේ අවසන් පන්දු 24 න් 14 කට මුහුණ දුන් තිසර සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගනිමින් ලකුණු වේගය වැඩි කළේය. තිසරගේ ඉනිම ප්‍රධාන කොට එම පන්දු 24 දී ලකුණු 48 ක් ග්ලැඩියේටර් පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.

    කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක් රැස් කළහ. එහිදී අවිෂ්ක පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 27 ක්ද චාල්ස් පන්දු 15 කදී  ලකුණු 26 ක්ද ලබා ගත්හ.

    ලෝන් ඕන් කළාපයේ පන්දු රැකි ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි උඩ පන්දු රැක ගැනීම මත චාල්ස්ගේ ඉනිම අවසන් වූ නමුත්, පළමු පන්දුවාරය යැවූ මොහොමඩ් අමීර්ට ලකුණු 11 ක් සහ දෙවැනි පන්දුවාරය යැවූ නුවන් තුෂාරගේ පන්දුවාරයට ලකුණු 14 ක් වශයෙන් ප්‍රහාරක ආරම්භයක් ලබාගැනීමට අවිෂ්ක සහ චාල්ස් යුගල සමත්වීම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 අවස්ථාවේදී ලකුණු 51 ක් රැස් කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිලට හැකියාව ලැබිණ.

    මෙම තරගාවලියේ හොඳම සොයා ගැනීම බවට පත්ව සිටින ධනංජය ලක්ෂාන් අද තරගයේදී කඩුලු 3 ක් බිඳ හෙළීම කැපී පෙනුණි. එම දක්ෂතාවයත් සමඟ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන දක්වා ඉහළට පැමිණීමට ධනංජය ලක්ෂාන් සමත්වී සිටියි. ලෙග් කටර් පන්දුවක් හමුවේ ජොන්සන් චාල්ස් දවා ගත් ධනංජය ඒ ආකාරයේම පන්දු 2 ක් යවමින් ෂොයෙබ් මලික් සහ ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගැනීම කැපී පෙනිණ.

    ලකුණු 26 ක් ලකුණු පුවරුවට එකතු වන අතර වාරයේ ඉදිරි පෙල පිතිකරුවන් තිදෙනා දවා ගනිමින් තරගයේ කිසියම් පාලනයක් ගෝල් ග්ලැඩියේටර් පිල ලබා ගැනීමට සමත් වුවත්,  සිව්වැනි කඩුල්ලට එක් වූ මලික් සහ ධනංජය ද සිල්වා පන්දු 44 කදී ලකුණු 69 ක් එක් කළහ. ලකුණු 188 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවුවද ස්ටැලියන්ස් පිලවෙනුවෙන් එකම හෝ අර්ධ ශතකයක් වාර්තා නොවීම  කැපී පෙනුණ. වැඩිම ලකුණු ලාභියා වුණු ෂොයෙබ් මලික් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමසඟින් ලකුණු 46 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ධනංජය ද සිල්වා පන්දු 20 කදී ලුණු 33 ක් රැස් කළ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

    නැගී එන ක්‍රීඩකයා සම්මානය – ධනංජය ලක්ෂාන්

    අවසන් තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

    තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • LPL T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

    LPL T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

    My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (16) පැවති අවසන් තරඟයෙන්  තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

    කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20  දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස් කළ අතර ඔහු පන්දු 35කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 3ක් සහ 6 පහර එකක්  ඇතුළත් විය.  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළේය.

    ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි. 

  • එල්.පී.එල්. කිරුළ ග්ලැඩියේටර් ටද…? ස්ටැලියන්ස් ටද…?

    එල්.පී.එල්. කිරුළ ග්ලැඩියේටර් ටද…? ස්ටැලියන්ස් ටද…?

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන  My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමත් හෙට (16 දා) ප.ව. 7 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත.

    අභිනව ශූරතාව එකිනෙකාගෙන් උදුරා ගැනීමේ අදිටනින් හෙට මුණ ගැසෙන කණ්ඩායම් දෙක එකිනෙකට වෙනස් මාවත් දිගේ පැමිණ අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වේ.  එහිදී ස්ටැලියන්ස් පිල තරගාවලි ගමන් මඟ පිට පිට ජයග්‍රහණ 4 කින් ආරම්භ කරමින් අවසන් සටනට පැමිණියද ගෝල් ග්ලැඩියේටර් පිල පළමු තරග 5 ම පරාජයට පත්ව සුවිශේෂී වූ අවසන් මහ තරගයට සුදුසුකම් ලදහ.

    ලීග් තරග වටයේ අවසන් වරට සහභාගිවුණු තරග 2 න් ජැෆ්නා ස්ටැලියන්ස් පිල පරාජයට පත් වුණද එම තරග වලදී ඔවුන් සතු අතිරේක ක්‍රීඩක ශක්තිය මැන බැලීම කණ්ඩායම තුළ වෙනස්කම් සිදුකරමින් අවතීර්ණ වීමද මේ මොහොතේ අමතක කළ නොහැක. අවසන් මහ තරගයට පෙර ලීග් තරග වටයේ දෙපිළ මුණ ගැසුණු අවස්ථා 2 දීම ජය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත් වුවත් අවසන් තරග වලදී ඊට හාත්පසින්ම වෙනස් ගමන් මඟක පැමිණි ගෝල් පිල අවසන් වරට සහභාගි වුණු තරග 2 ම ජය ගනිමින් අවසන් පූර්ව තරගයට යම් ජයග්‍රාහී ජීවයක් එන්නත් කර ගැනීමට සමත් විය.

    කණ්ඩායම් ශක්තිය දෙස බැලීමේදී දෙපිළේම පිතිකරන ශක්තියට වඩා පන්දු යැවීමේ ශක්තිය කැපී පෙනෙන බැවින් අවසන් මහ තරගයේදී දෙපිළේම පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

    අද දිනයේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිල කිසිදු පෙර පුහුණුවීමක් සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටි නමුත් ගෝල් ග්ලැඩියේටර් පිල සිය සුපුරුදු පුහුණුවීම් සඳහා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සහභාගි වූයේ ආලෝක ධාරා මධ්‍යයේය.

    ගෝල් ග්ලැඩියේටර්

    ජැෆ්නා ස්ටැලියන් පිලට වනිඳු සතුවනවා වගේම ගෝල් ග්ලැඩියේටර් පිලට සිටින වටිනාම පන්දු යවන්නා වන්නේ වමත් දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන්ය. වනිඳු මෙන් සඳකැන්ගේ දක්ෂතා කැපී නොපෙනුණු නමුත් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර ඔහු තෙවැනි ස්ථානයේ පසුවෙයි. තරග 7 කට ක්‍රීඩා කර ඇති සඳකැන් කඩුලු 11 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.00 ක් රඳවා ගනිමිනි. සඳකැන්ට අමතරව නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් අමීර් එම ලැයිස්තුවේ පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවීම ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිය පිළිබඳ පැහැදිළි තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත. මෙහිදී අමීර් සමඟ අනෙක් අන්තයෙන් පන්දු යවන නුවන් තුෂාරද අවසන් තරග කීපයේදී කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීය.

    පිතිකරණ ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ධනුෂ්ක ගුණතිලක තරගාවලිය තුළ පිත්තෙන් සිය ආධිපත්‍ය පතුරුවාලමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. පළමු තරග කීපයේදී සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට ඒමට අසමත්වද්දී ධනුෂ්ක හුදෙකලා වී සිටි නමුත් තරගාවලියේ අවසන් භාගය වනවිට නායක භානුක රාජපක්ෂ, අසාම් ඛාන්, ෂෙහාන් ජයසූරිය සහ ධනංජය ලක්ෂාන් පිතිකරුවන් ලෙස උපරිමයට පැමිණ සිටීම ගෝල් ග්ලැඩියේටර් පිලට සැනසිල්ලකි. මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ව සිටින ගුණතිලක තරග 9 කදී ලකුණු 475 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 67.85 ක් රඳවා ගනිමිනි. අර්ධ ශත 4 ක් රැස් කර ගැනීමට සමත්ව සිටි ගුණතිලකගේ ප්‍රහාරාත්මක වේගය 145.25 ක් ලෙස සටහන් වේ.

    කෙසේ වෙතත් අද තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලේ එක් වෙනස්කමක් බොහෝ විට සිදුවීමට ඉඩ තිබෙන අතර අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ චානක රුවන්සිරිගේ ස්ථානය සඳහා මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් ඉතා වැදගත් වන බැවින් එම වාසිය හෙට තරගයේදී මිලින්දට බොහෝ දුරට හිමිවනු ඇත.

    භානුක රාජපක්ෂ

    “ඇත්තටම මම කියන්න ඕන මේ තරගාවලියේ වැඩියෙන්ම අලුත් ක්‍රීඩකයින් ඉන්නේ අපේ කණ්ඩායමේ. ගොඩක් කට්ටිය අවුරුදු 5 ක් 6 ක් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින්. ඒක නිසා ගොඩක් එකමුතුයි. අපේ එකමුතු කම හොඳ හින්දා තමයි තරග 5 ක් එක දිගට පැරදිලා වුණත් ඔලුව උස්ස ගන්න හම්බ වුණේ. ඒ වගේම නුවන් තුෂාර කණ්ඩායමට ආවට පස්සේ පන්දු යැවීමේ අංශයේ ලොකු වර්ධනයක් ඇති වුණා. ඒ වගේම ධනංජය ලක්ෂාන්, මොහොමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකැන් මැදින් ඇවිල්ලා විකට් අරන් දුන්න නිසා අපි දැන් හොඳ සමබර තාවරයෙන් ඉන්නවා. ඇත්තටම නායකයෙක් විදියට මට හෙට තරගයේදී” යි හෙට තරගයේදී තමන් ප්‍රධානම ශක්තිය පිළිබඳව අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පැවැසීය.

    අපේක්ෂිත කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, අසාන් අලී, අසාම් ඛාන්, භානුක රාජපක්ෂ (නායක), සහන් ආරච්චිගේ, ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, ධනංජය ලක්ෂාන්, මොහොමඩ් අමීර්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර

    ජැෆ්නා ස්ටැලියන්ස්

    තවමත් 23 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග ඔවුන් සතු ප්‍රධානම ශක්තිය වේ. දඹුල්ල වයිකින්ස් ට එරෙහිව කඩුලු 3 ක් දවා ගනිමින් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට මාර්ගය පහසු කළ වනිඳු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන්නේය. ඔහු මෙතෙක් තරග 9 කදී කඩුලු 16 ක් දවා ගෙන සිටින අතර පන්දුවාරයකදී ලබා දෙන ලකුණු සංඛ්‍යාවද 6 කට වඩා (5.27)  අඩුවෙන් රඳවා ගැනීමට සමත්ව සිටීම ඔහු සතු සුවිශේෂී දක්ෂාතවයක් ලෙස හැඳන්විය හැකි. ඔහුට අමතරව සුරංග ලක්මාල් සහ උස්මාන් ශින්වාරි ද වේග පන්දු යවන්නන් අතරින් කණ්ඩායමට වැඩි දායකත්වයක් දක්වනු ලබන අතර ඩුවෑනේ ඔලිවියර්ගේ සේවය පහසුවෙන් අමතක කළ නොහැක.

    පිතිකරණ අංශයෙන් අවිෂ්ක ප්‍රනාන්දු කැපී පෙනෙන අතර අවසන් පූර්ව තරගයේදී ජොන්සන් චාල්ස් ද ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ඉක්මනින් බිඳ දැමීම ගෝල් ග්ලැඩියේඩර් ට වඩාත් යෝග්‍ය වනු ඇත. මෙතෙක් තරගාවලියේ ලකුණු 248 ක් ලබා ගැනීමට අවිෂ්ක සමත්වසිටින්නේ ඉනිම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.33 ක් සහ 137.1 ක ප්‍රහාරාත්මක වේගයක්ද සමඟිනි. තරගාවලියේ මෙතෙක් වැඩිම හයේ පහර සඛ්‍යාවක් එල්ල කර සිටින පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවන්නේද අවිෂ්ක වන අතර ඔහු ඉනිම 7 කදී හයේ පහර 18 ක් සහ හතරේ පහර 16 ක් එල්ල කිරීමට සමත්ව සිටියි.

    මූලික තරග වලදී නායක තිසර පෙරේරා ලකුණු අතරට පැමිණීමට සමත්වීම ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණයන් පහසු කරවූ නමුත් අවසන් තරග කීපයේදී ඔහු කිසියම් පසුබෑමකට මුහුණ දුන්නේය. තරගාවලියට වැඩිම පෙර සූදානමක් සහිතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිලට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් තිසර දක්ෂතා අතරට පැමිණීම වඩාත් යෝග්‍ය වනු ඇත.

    තිසර පෙරේරා

    “අපි කොයි වෙලාවකවත් කිසිම කණ්ඩායමක් අව තක්සේරු කරන්නේ නෑ, මම කළින්ත කිව්වා මේ ගැන. එදා දවසේ මිස්ටේක්ස් අඩුවෙන් කරන කට්ටිය තමයි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මොකද ටී-20 කියන්නේ ගොඩක් වෙලාවට ‘වන්මෑන් ෂෝ’ කියලා කියන්නත් පුලුවන්. ඒ වගේම තමයි බෝලර් කෙනෙක්ටත් ඒ දේ කරන්න පුලුවන්. ඒ නිසා එකම බලාපොරොත්තුව වෙන්න ඕන පුලුවන් තරම් කඩුලු අතැතිව ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම තමයි. සෙමි ෆයිනල් එක දිනුවට පස්සේ කණ්ඩායමක් විදියට හොඳ මානසිකත්වයක සිටිනවා” යි තරගය පිළිබඳව අදහස් දක්වමින් නායක තිසර පෙරේරා පැවැසීය.

    අපේක්ෂිත කණ්ඩායම – ජොන්සන් චාල්ස්, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ෂොයෙබ් මලික්, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, උස්මාන් ශින්වාරි, ඩුවේන් ඔලිවියර්

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

    ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

    දඹුල්ල වයිකින්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37 ක පහසු ජයක් වාර්තා කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට අද (14 දා) සමත්වූහ.

    තරගාවලිය ආරම්භයේ සිටම ඉතාමත් සැලසුම් සහගතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නෝ යළිත් සාර්ථක වෙමින් දඹුල්ල වයිකින්ස් පිතිකරුවෙන් අමාරුවේ දැමූහ. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිකින්ස් පිල පන්දුවාර 19 කුත් පන්දුවකදී සීමා කළ ජැෆ්නා පන්දු යවන්නෝ අභිනව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග වරම උදාකර ගත්හ.

    දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට උපුල් තරංග පමණක් සමත්වූ නමුදු එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා පන්දු 39 කට මුහුණ දී තිබුණි. ආරම්භයේදී හොඳින් පහර දුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 18 කදී ලකුණු 29 ක් ලබා සිටියදී අසලංකගේ පන්දුවකට දැවී යෑම මත වයිකින්ස් ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

    නායක දසුන් ශානක දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට උස්මාන් ශින්වාරි සමත්වීම වයිකින්ස් ඉනිමට දරාගත නොහැකි පාඩුවක් විය. දසුන් ශානක දවා ගැනීම වෙනුවෙන් ශින්වාරි විසින් පන්දුව කඩුල්ලටම යොමු කිරීම කැපී පෙනිණ. එම දැවී යෑමෙන් පසු නැවතත් ශින්වාරි විසින් අන්වර් අලීවද දවා ගන්නා ලද්දේ එවැනිම ආකරයේ සුපිරි පන්දු යොමු කිරීමකිනි.

    11 වැනි පන්දුවාරයේදී ශානක දැවී ගිය අතර ඊට පන්දු 4 කට පසු මැද පෙළින් වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවකු වන සමිඋල්ලා ශින්වාරිව දවා ගත් වනිඳු හසරංග තරගයේ පූර්ණ වාසිය ජැෆ්නා ස්ටැලියන්ස් වෙත හරවා දුන්නේය. තම පන්දුවාර 4 තුළදී උපුල් තරංගගේ සහ මාලින්ද පුෂ්පකුමාරව දවා ගත් වනිඳු තම පන්දුවාර 4 දී ලකුණු 15 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත්තේය.

    වනිඳු අද දිනයේදී එක් නිලකුණු පන්දුවාරයක් යැවීමටද සමත් වූ අතර එය මෙවර තරගාවලියේ ඔහු යවන ලද දෙවැනි නිලකුණු පන්දුවාරය විය. ඔහුට අමතරව ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ මොහොමඩ් අමීර් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අසේල ගුණරත්න ද තරගාවලියේ එක් නිලකුණු පන්දුවාර බැගින් යැවීමට සමත්වූහ.

    දඹුල්ල වයිකින්ස් පිලේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජොන්සන් සමත්විය.

    මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අන්වර් අලීට එරෙහිව හයේ පහරකින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් ජොන්සන් චාල්ස්ගේ පන්දු 56 කින් සමන්විත ලකුණු 76 ක ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කරගත්තේය. ඔහුගේ එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

    ජොන්සන් චාල්ස් සමඟ ඉනිම ඇරැඹි අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී වේගවත් ලකුණු 68 ක් රැස් කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ. ඇන්ජලෝ පෙරේරාගේ සහාය ඇතිව අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල අන්වර් අලී විසින් දවා ගන්නා විට මනරම් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 26 කදී  ලකුණු 39 ක් ලබා සිටියේය.

    ඉනිමේ සාර්ථකම සම්බන්ධතාවය ගිලිහී ගියද මිනෝද් භානුක වෙනුවට කණ්ඩායමට එක්ව සිටින චරිත් අසලංක චාල්ස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී වේගවත් ලකුණු 43 ක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.

    13 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 111 කට කඩුලු 2 ක් ලෙසින් ප්‍රබල ස්ථානයක පසු වුවද අසලංකගේ දැවී යෑමත් සමඟ යළිත් තරගය ආක්‍රමණය කිරීමට දඹුල්ල වයිකින්ස් පන්දුයවන්නෝ සමත් වූහ. ලකුණු 4 ක් ඇතුළත තිසර පෙරේරා සහ ෂොයෙබ් මලික් දෙදෙනාව දවා ගැනීම මත මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ජැෆ්නා ස්ටැලියන්ස් පිලට අහිමිවිය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි
  • ශ්‍රී ලංකාවට එන එංගලන්ත පිලෙන් ස්ටෝක්ස් සහ ආචර් විවේක ගන්වයි

    ශ්‍රී ලංකාවට එන එංගලන්ත පිලෙන් ස්ටෝක්ස් සහ ආචර් විවේක ගන්වයි

    ටෙස්ට් තරග සංචාරයක් සඳහා ලබන ජනවාරි මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ටෙස්ට් කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු එළැඹෙන මාස 12 ක කාලය තුළ එංගලන්ත කණ්ඩායම කාර්ය බහුල කාල සටහනකට මුහුණ දීමට නියමිතව තිබීම ඉහත තත්ත්වයට හේතු වී තිබේ. මෙම ජනවාරි මාසයේදී තම බිරිඳ සිය පළමු දරුවා ප්‍රසූත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බැවින් රොරී බර්න්ස් ද ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් ඉවත්ව සිටියි.

    බර්න්ස් වෙනුවට සරේ කණ්ඩායම නියෝජනය කරනු ලබන ඔලී පෝප් සංචිතයට එක්ව සිටින නමුත් ඔහු අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට එක්ව සිටියි. ඉකුත් අගෝස්තු මසදී පාකිස්තානයට එරෙහි පැවැති තරගාවලියේදී උර හිසේ ආබාධයකට මුහුණ දුන් පෝප් පූර්ණ සුවය ලබා නැතත් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියට සූදානම්වීමේ අරමුණින් කණ්ඩායමට එක් කර තිබේ. 

    ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමට එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ඩෑන් ලෝරන්ස් නම් කර තිබෙන අතර ඔහු බොහෝ විට ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ටෙස්ට් වරම් දිනා ගනු ඇත. ඔහුට අමතරව ජොනී බෙයාස්ටෝ ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබේ. බෙයාර්ස්ටෝ අවසන් වරට එංගලන්ත පිල නියෝජනය කර ඇත්තේ මීට මාස 12 කට පෙර පැවැති දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලියේදි වුවත් ශ්‍රී ලංකාව තුළ පිතිකරුවකු වශයෙන් දක්ෂතා දැක්වීමට සමත්වීම නම් කරන ලද කණ්ඩායමේ ස්ථානයක් ඔහු වෙනුවෙන් වෙන්වීමට හේතු වී තිබේ. සංචිතයට එක්කොට ඇත් තුන්වැන්නා වන්නේ බෙන් ෆෝක්ස් වන අතර 2018-19 තරග වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් ඉනිමේදීම ශතකයක් වාර්තා කිරීමට සමත්විය. එපමණක් නොව එම තරගාවලියේ වීරයා සම්මානයෙන්ද ෆෝක්ස් පිදුම් ලැබුවේය.

    එංගලන්ත කණ්ඩායම අවසන් වර ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූ අතර එහිදී එංගලන්ත දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා වැඩියෙන් කැපී පෙනුණි. ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා ඇත් එඩ් ස්මිත් ප්‍රමුඛ එරට තේරීම් කමිටුව කලකට පසු මොයින් අලී, ජැක් ලීච් සහ වත්මන් කණ්ඩායමේ පළමු තේරීම වන ඩොම් බෙස් ඇතුළත් කර තිබේ.

    එංගලන්ත කණ්ඩායම – ජෝ රූට් (නායක), ජොස් බට්ලර්, ඩොම් සිබ්ලේ, මොයින් අලී, සැක් ක්‍රෝලි, ඔලී ස්ටෝන්, ජේම්ස් ඇන්ඩර්සන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ෆෝක්ස්, මාක් වුඩ්, ඩොම් බෙස්, ඩෑන් ලෝරන්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජැක් ලීච්

    අතිරේක – ජේම්ස් බ්‍රෙසී, මේසන් ක්‍රේන්, සකීබ් මහමූද්, ක්‍රෙග් ඕවරටන්, මැට් පාර්කින්සන්, ඔලී රොබින්සන්, අමාර් විර්දි. 

  • ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ස්ථීරයි

    ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ස්ථීරයි

    මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යොදා ගත් පරිදි ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන එකඟත්වය පළ තිබේ.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දැනටමත් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර තරගාවලිය තරග 2 කින් සමන්විත වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මතා සමඟ පැවැත්වුණු සාකච්ඡාවකින් අනතුරුව අනාගත තරග සැලසුමට අනුව කටයුතු කිරීමට තීරණය කරමින් මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් සිදුකරනු ලබන තක්සේරුවකින් අනතුරුව මෙම තරගාවලිය ඉදිරියට රැගෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යොදා ගත් පරිදි දකුණු අප්‍රිකාව බලාපිටත්ව යන අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, සෞඛ්‍ය විශේෂඥයකු සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත. සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව තවදුරටත් තක්සේරුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එම පිරිස දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත.

  • සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2020 – සම්මානලාභීන් මෙන්න !

    සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2020 – සම්මානලාභීන් මෙන්න !

    සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2020
    පාලිතට ප්‍රේමසරට හා සුසන්තිකාට රන් සම්මාන
    වසරේ සාහිත්‍යවේදියා අශෝක ගුණතිලක
    වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතියට භාතිය අර්ථනායකට සම්මාන
    වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය ආචාර්ය සමන්තා නානායක්කාරගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව

    ”ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල’ මේ ඊයේ 11දා කොළඹ – 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති අතර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා ලෙස අශෝක ගුණතිලක මහතාත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය ලෙස ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මියගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව කෘතියත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය සඳහා භාතිය අර්ථනායක මහතාගේ ද මයින්ඩ් කෘතියත් සම්මානයෙන් පිදුම් ලැබූහ.

    මෙවන් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් මෙරට පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර 2019 වසරට අදාළව සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් වෙත පිරිනැමීම ද විශේෂත්වයක් විය.

    සිංහල ක්‍රිකට් විස්තර විචාරකයින් ලෙස කටයුතු කරමින්  ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මොවුන් දෙදෙනාට මෙම රන් සම්මාන පිරිනමනු ලැබීය”

    ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ මළල ක්‍රීඩිකාවක වන සුසන්තිකා ජයසිංහ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර  2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමීය.

    තවද සුසන්තිකාගේ එම ඔලිම්පික් ජයග්‍රහණයට විසි වසරක් සමරමින් මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීම ද විශේෂත්වයකි. මෙරට  ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ  යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමූ මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී 2019 වසරට අදාළව,

    වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යය සම්මානය –  ThePapare.com
    (කුසලතා සහතික – Batsman.lk, Ceylonathletics.com  )
    වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනී මාධ්‍යය – Newsfirst
    (කුසලතා සහතික – ජාතික රූපවාහිනිය, හිරු)
    වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය – ලක්හඬ
    (කුසලතා සහතික – වෙළඳ සේවය, නෙත් )
    වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත – අරුණ
    (කුසලතා සහතික – අද, මව්බිම)
    වසරේ ක්‍රීඩා සාහිත්‍ය සතිඅන්ත පුවත්පත – රාවය
    (කුසලතා සහතික – දිවයින, ලංකාදීප)

    ලෙසින් ද සම්මානට පාත්‍ර විය. වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතියට හිමි කුසලතා සහතිකය දිනා ගත්තේ මංජුල ලන්දේකුඹුර රචනා කළ අට්ටාලය කෘතියයි. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියාට හිමි කුසලතා සහතිකයෙන් සරත් ජයසිංහ සහ ලලිත් ගුණවර්ධන පිදුම් ලැබීය. සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සභාව අමතමින් පැවසුවේ,

    “ගමේ පිට්ටනිවල ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ සිට ජාත්‍යන්තර තලය දක්වා යන ක්‍රීඩකයින් දක්වා අපි සැලැස්මක් හදලා තියෙනවා. හැබැයි ඒ සැලැස්ම හදන කොට පහුගිය ඉතිහාසයේ අපට අමතක වුණු තැනක් තියෙනවා, ඒ තමයි ක්‍රීඩා සාහිත්‍යය විෂය. අපේ රටේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයා ගැන තිබෙන පොත්පත් ප්‍රමාණය හිඟ වීම අපට තියෙන අඩුපාඩුවක්. කුඩා කාලයේ දී ආඩම්බරයෙන් සාහිත්‍ය ගැන ඉගෙන ගත්තත් නූතනත්වයට එන කොට සාහිත්‍ය අමතක කිරීමෙන් මේ වන විට විශාල අභියෝගයන්ට අප මුහුණ දීලා තිබෙනවා.

    අපි විශ්වාස කරන දෙයක් තමයි ක්‍රීඩකයා සහ ක්‍රීඩාව ගැන තව තවත් ලියැවෙන්න ඕන. ක්‍රීඩකයෝ ගැන ලියැවෙනවා නම්, ඔවුන්ගේ ජයග්‍රහණයේ තිබෙන රහස ගැන ලියැවෙනවා නම් බොහෝ දේවල් අනාගත පරපුර වෙනුවෙන් අපට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා කැපවන කැපවුණු සාහිත්‍යවේදීන් මාධ්‍යවේදීන් ඇගයීම ඉතාමත් කාලෝචිතයි.

    ඒ වගේම විය යුතු කාරණයක් ලෙස අපි දකිනවා. මොකද වර්තමානයේ ක්‍රීඩාවේ සිදුවන දේවල් අනාගතයේ දුවා දරුවන්ට කියවන්නට ඉතිරි කරන්නේ ඔබ සියලු දෙනායි. අවසන් වශයෙන් සම්මාන උළෙලේ ඇගයීමට පත් සියලු දෙනාට මම සුබ පතනවා, ආශීර්වාද කරනවා….“

    යනුවෙනි. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ විසින් පනවා තිබුණු මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කර තිබුණු මෙම සම්මාන උළෙල ලබන වසරේදී සම්මාන උළෙලකට පමණක් සීමා නොවී ක්‍රීඩා සාහිත්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් සමඟ පැවැත්වීමට අපේක්ෂා කරනවා යැයි ද නාමල් රාජපක්ෂ මහතා සිය කතාව අවසන් කරමින් පවසා සිටියේය.  සම්මාන උළෙලේ සන්නාම අනුග්‍රාහක ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපති රොහාන්දු ප්‍රනාන්දු මහතා,

    “ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීම රටේ අවශ්‍යතාවක්ග මම හිතනවා අපේ රටේ ක්‍රීඩාව දියණු කිරීමට අපට තියෙන මුදල් ප්‍රමාණවත්. ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් බිලියන 1.5ක ප්‍රතිපාදන දීලා තියෙනවා. ඒ මුදල් හරි විදියට හරි තැනට ආයෝජනය කළහොත් ලංකාවේ ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය අඩිතාලම තව අවුරුද්දක් යන විට සකසා ගන්න පුළුවන් වේවි. එය අපට කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ගමනේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම හැම විටම ක්‍රීඩාවට සවියක් වීමට පෙනී සිටිනවා….’’ යනුවෙන් පැවසීය. 

    ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයකු වන ඩන්කන් වයිට් මහතාගේ පිළිරුව අබියස සිට එතුමාගේ නමින් පිහිටි ශ්‍රවණාගාරයක දී සහ ජාතික ක්‍රීඩා නායකයකු මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත්වූ පළමු අවස්ථාව සටහන් කරමින් පත්වූ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සබුද්ධි සම්මාන ප්‍රදානය පැවැත්වීම ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් බව සම්මාන උළෙල අවසන් කිරීම නිවේදනය කරමින් සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ මහතා පැවසීය.

    “අද ආරාධිත අමුත්තන් ලෙස මෙතැනට පැමිණ සිටින බොහෝ දෙනෙක් එදා ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන් ගැන ලියපු කතා කරපු පෙන්වපු මාධ්‍යවේදීන් පිරිසක් තමයි අද මේ ඇගයීමට ලක් කළේ. පාසලේ අවුරුදු 11න් පහළ සිටම ක්‍රීඩාවට එන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව රටට හඳුන්වා දෙමින් ජාත්‍යන්තරය දක්වා ඔසවා තබන්නට මාධ්‍යවේදීන් සිදු කරනා මෙහෙවර තවමත් හරි හැටි ඇගයීමකට ලක්වී නැති බව අපගේ විශ්වාසයයි. කෙසේ වෙතත් ලැබුණේ සම්මානය ද, සහතිකය ද කියන කරුණට වඩා ඉදිරි වසරේ සම්මානයක් වෙනුවෙන් විශිෂ්ට කෘතියක්, ගුවන් විදුලි රූපවාහිනී වැඩසටහනක්, වෙබ් අඩවියක නිර්මාණයක් කරන්නේ කෙසේ ද යන සිතුවිල්ල සිතේ දරාගෙන අද මෙම ස්ථානයෙන් පිටවනු ඇතැයි මම විශ්වාස කරනවා….” යනුවෙන් ද ඔහු පැවසීය.

    සම්මාන උළෙල සඳහා 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, ලෝක කැරම් ශූර නිශාන්ත ප්‍රනාන්දු , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක , ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු , චාන්ස් ස්පෝර්ට්ස් කළමනාකරණ අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ , පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර, සබුද්ධි සාහිත්‍ය කවයේ සභාපති තමීර මංජු යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

  • LPL: අසේලගේ දක්ෂතා නිසා ‘ටස්කර්ස්’ බලාපොරොත්තු ඉහළ යයි

    LPL: අසේලගේ දක්ෂතා නිසා ‘ටස්කර්ස්’ බලාපොරොත්තු ඉහළ යයි

    අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (09 දා) හැකියාව ලැබිණ. මෙය තරග 7 කදී කැන්ඩි ටස්කර්ස් පිල ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ කඩුලු 4 ක් පමණක් ලබා දී අදාළ ඉලක්කය සපුරා ගන්නා ලද්දේ තවත් පන්දු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද අසේල ගුණරත්නගේ පිත්තෙන් එල්ල වුණු ජයග්‍රාහී හයේ පහරත් සමඟ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයත් අසේලගේ අර්ධ ශතකයත් සම්පූර්ණ විය.

    අවසන් කණ්ඩායම් 4 ට පිවිසීම සඳහා සුභවාදී බලාපොරොත්තු රඳවා ගැනීමට ජයග්‍රහණය ඉතා වැදගත් වුණු මෙම තරගයේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඉර්ෆාන් පතන් සමඟ එක්ව පන්දු 35 කදී නොබිඳුණු ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අසේල තරගයේ ජය තහවුරු කරන විට පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද සමඟ ලකුණු 52 ක් ලබා සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඉර්ෆාන් පතන් හතරේ පහර 4 ක් සමඟින් පන්දු 19 කදී ලකුණු 25 ක් රැස් කළේය.

    ටස්කර්ස් ජයග්‍රහණයට පන්දු 12 කදී ලකුණු 17 ක් අවශ්‍යව තිබියදී අසේල එල්ල කරන ලද පහරක් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග ගෙන පන්දු යවන්නාගේ කඩුල්ලට එල්ල කළේය. එල්ල කරන ලද පන්දුව ලකුණක් කරා පැති මාරු කරගනිමින් සිටි අසේලගේ පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ඇදී ගිය නමුත් එය පන්දු රකින්නන්ට සිදුකළ බාධාවක් යැයි කියමින් ස්ටැලියන්ස් පිල ඉල්ලීමක් කර සිටියේය. තෙවැනි විනිසුරුගේ අවධානය දක්වා ඇදී ගිය එම සිදුවීමේදී දැවී යෑමක් නොවන  බවට සංඥා කිරීම නිසා ලකුණු 5 ක් පන්දුවට පහර දුන් කණ්ඩායමට හිමිවිය.

    අවසන් වරට සහභාගිවුණු ක්‍රීඩකයින් 11 දෙනාගේකිසිදු වෙනසක් සිදු නොකරමින් අද තරගයට අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද පවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු 3 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත්වීම ඔවුනට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. ඉනිමේ ආරම්භයත් මැද පෙළින් ශක්තිමත් සම්බන්ධතා පැවැත්වීමට පිතිකරුවන් අපොහොසත්වීම නිසා ජැෆ්නා ස්ටැලියන්ස් පිලට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

    එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක්ද, ඩේල් ස්ටේන්, අසේල ගුණරත්න සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළමින් කැන්ඩි ටස්කර්ස් පිතිකරුවන් පීඩනයට ලක් කළහ. මෙතෙක් පැවැති තරග වලදී එකම කණ්ඩායමක වේග පන්දු යවන්නන් තිදෙනකු කඩුලු 2 බැගින් දවා ගන්නා ලද පළමු අවස්ථාව වශයෙන්ද අද තරගය සනිටුහන් විය.

    ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂොයෙබ් මලික් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ ලකුණු 59 ක් රැස් කළේය. අංක 5 පිතිකරු ලෙසින් පැමිණි මිනෝද් භානුක සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ මලික් පන්දු 53 කදී ලකුණු 59 ක සම්බන්ධතාවයක් එක් කළහ.

    පන්දු 78 කදී ලකුණු 100 කඩ ඉම පසු කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සියල්ල කණ පිට හැරුණේ අසේල ගුණරත්න විසින් ක්‍රියාත්මක කරන ලද 14 වැනි පන්දුවාරයේ සිටය. එම පන්දුවාරයේදී  පන්දු 4 ක් ඇතුළත මිනෝද් භානුක (21) සහ නායක තිසර පෙරේරාගේ කඩුලු දවා ගැනීමට අසේල සමත්වද්දී ඩේල් ස්ටේන් විසින් යවන ලද ඊළඟ පන්දුවාරයේදී වනිඳු හසරංගගේ කඩුල්ල දවාගත්තේය. මේ කඩුලු 3 දැවී යන විට ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 5 ක් පමණක් වීම ජැෆ්නා ස්ටැලියන්ස් පිලට දැරිය නොහැකි පාඩුවක් විය. 

    කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම මත මිනෝද් භානුද ඩිල්රුවන් පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීම මත තිසර පෙරේරාද පිටියෙන් ඉවත්වූහ. පිට පිට තෙවැනි වරටත් යළිත් වරක් පිතිකරුවකු ලෙස අසාර්ථක වුණු නායක තිසර පෙරේරාට රැස් කරගත හැකි වූයේ ලකුණක් පමණි. නීරෝධායන කාල සීමාව අවසන් කරමින් පළමු වරට අද දිනයේදී ක්‍රීඩා කළ වේග පන්දු යවන ඩේල් ස්ටේන් තම දෙවැනි කඩුල්ල ලෙසින් වනිඳු හසරංගගේ (02) කඩුල්ල දවා ගත්තේය. ඊට ප්‍රථම ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගනිමින් කැන්ඩි ටස්කර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • ඇන්ඩ්‍රෙ රසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

    ඇන්ඩ්‍රෙ රසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

    පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (28 දා) රාත්‍රියේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ලකුණු 34 ක  දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. අදාළ තරග ජය කලම්බු කිංග්ස් පිලේ දෙවැනි ජයග්‍රහණයද ගෝල් ග්ලැඩියේටර්හි දෙවැනි පරාජය ලෙසින්ද සටහන් විය.

    පස්වරුවේ ඇද හැළුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් පන්දුවාර 5 කට සීමා වෙමින් රාත්‍රී. 10.56 ට ඇරැඹි මෙම තරගයේදී රසල්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 97 ක අසීරු ඉලක්කයක් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට හිමිවිය. එය හඹා යෑමේදී ගෝල් ග්ලැඩියේටර් පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් පමණි.

    එහිදී ගෝල්ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ඉසුරු උදාන යවන ලද පළවැනි පන්දුවාරයේදී හස්රතුල්ලා සසායි ලබාගත් ලකුණ හැරුණු කොට ඉතිරි ලකුණු 18ම ධනුෂ්ක ගුණතිලකගේ පිත්තෙන් වාර්තා විය. ගුණතිලක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 15 කදී ලකුණු 30 ක් ලබා ගත් අතර නායක ශහිඩ් අෆ්රිඩි පන්දු 6 කදී ලකුණු 12 ක් ලබාගත්තේය.

    කලම්බු කිංග්ස් වෙනුවෙන් ඉනිම ඇරැඹි ඇන්ඩ්‍රෙ රසල් ග්ලැඩියේටර් පිල සතු ප්‍රබලම විදෙස් පන්දු යවන්නා වන මොහොමඩ් අමීර් යැවූ පළමු පන්දුවාරයේදී ලකුණු 26 ක් ලබා ගන්නා ලද්දේ ලබා දුන් වයිඩ් පන්දු 2 කද අතිරේක ලෙස එකතු කර ගනිමිනි.

    0-වයිඩ්-6-4-6-වයිඩ්-4-4 ලෙසින් දැඩි ප්‍රහාරයකට ආමර් ඇද දැමූ රසල් කලම්බු කිංග්ස් ඉනිම නිමා වන විට පන්දු 19 කදී නොදැවී ලකුණු 65 ක් ලබා සිටියේය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද රසල් පිදුම් ලැබීය.

    එක් ඉනිමක් පන්දු 30 කින් සීමා වුණු මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිතිකරුවන් විසින් ලබාගත් ලකුණු 96 න් 76 ක්ම (6 පහර 6 යි, හතරේ පහර 10 යි) හයේ සහ හතරේ පහර 10 වලින් ලබාගත් ඒවා විය. කලම්බු කිංග්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ප්‍රහාරයට ලක් නොවුණු එකම පන්දු යවන්නා බවට පත්වූයේ මොහොමඩ් ශිරාස් වන අතර ඔහු තම පන්දුවාරය ලකුණු 11 කට යවා අවසන් කිරීමට සමත්විය.

    පැය 3 කට ආසන්න කාලයක් වර්ෂාවෙන් බාධා ඇති වුවද ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ උපරිම කැපවීමේ ප්‍රථිඵලයක් ලෙසින් පන්දුවාර 5 කට හෝ සීමාවෙමින් තරගය පැවැත්වූවා හැරෙන්නට වර්ෂාවේ බාධා කිරීම එතරම්ම දරුණු විය. එසේ ඇරැඹි තරගයේදී කලකට අමතක නොවන ප්‍රහාරයකට ලක් වුණු මොහොමඩ් ආමර් විසින් ක්‍රියාත්මක කරනලද පන්දු 12 තුළදී පමණක් ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 46 ක් ලබාගෙන සිටියහ. ඉන් ලකුණු 30 ක්ම රසල්ගේ පිත්තෙන් වාර්තා විණ.

    විස්සයි-20 තරග පිටිය නියෝජනය කළ යුවරාජ් සිං (පන්දු 12 කදී), ක්‍රිස් ගේල් (පන්දු 12 කදී), හස්රාතුල්ලා සසායි (පන්දු 12 කදී) සහ මාකස් ට්‍රෙස්ක්‍රොතික් (පන්දු 13 කදී) වේගවත් අර්ධ ශතක ලබමින් රසල්ගේ ඉදිරියෙන් සිටිති. එමෙන්ම මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිල රැස් කරන ලද ලකුණු 96 පන්දුවාර 5 කට සීමා වෙමින් පැවැති තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින්ද සටහන් විය.

    හෙට (30 වැනිදා ) සියළුම කණ්ඩායම්වලට විවේක දිනයකි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • යාපනය සහ ගාල්ල මුහුණට මුහුණ හැප්පෙන දිනය උදාවෙයි

    යාපනය සහ ගාල්ල මුහුණට මුහුණ හැප්පෙන දිනය උදාවෙයි

    සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ වී ගිය පළමු තරගයේ උණුසුමත් සමඟම ආකර්ශණීය තරගාවලියක පෙර නිමිති පහළ කරමින් ආරම්භ වුණු “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත්, ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය මෙම 27 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 7.30 ට ආරම්භ වේ.

    ලොව අංක එකේ පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලීන් අතරට නොවැම්බර් 26 වැනිදා එක් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියළුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. ලකුණු පාරාදීසයක් බඳු හම්බන්තොට තණතීරුවේදී දෙපිළම සිය උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව තරගය පිළිබඳව අදහස් දැක්වූ දෙපිළේම නායකයෝ පැවැසූහ.

    ජැෆ්නා ස්ටැලියන්ස්

    වරෙං මචං (වාඩා මචාං) යන දමිල අර්ථය රැගෙන මෙවර තරගාවලියට අවතීර්ණ වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හුදෙක්ම යාපනයේ වෙසෙන දමිල ජාතිකයින්ගේ සහයෝගය අපේක්ෂාවෙන් හෙට තරගයේ සිට තරගාවලියට අවතීර්ණ වේ. ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා පිළිබඳව මහත් බලාපොරොත්තු තබා සිටින ජැෆ්නා ස්ටැලියන්ස් පිලට තරග දිනවන්නන් ලෙසින් ජාතික කණ්ඩායමට එක්ව සිටින වනිඳු හසරංග ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත වේ.

    ඒ අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අංශ 3 ම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා සහ ජාතික කණ්ඩායමේ වේග පන්දු බල ඇණියේ කොඳු නාරටිය බවට පත්ව සිටින සුරංග ලක්මාල් පසුවෙති.

    දේශීය ශක්තීයන් වලට අමතරව සංචිතය සතු විදෙස් ක්‍රීඩකයින් ගෙන බැලුවද ජාත්‍යන්තරයේ හොඳින් තෙන්පරාදු වූ ක්‍රීඩකයින් 6 දෙනෙකු ජැෆ්නා ස්ටැලියන්ස් පිල සතු වේ. පාකිස්තානයේ ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරිද, දකුණු අප්‍රිකානු යුගලයක් වන කයිල් ඇබට් සහ ඩුවාන් ඔලිවර් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් ජොන්සන් චාර්ල්ස්ද ඒ අතර වේ.

    ජැෆ්නා ස්ටැලියන්ස් සතු දැවැන්තම ශක්තීන් දෙකකි. හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවන්ට අවශ්‍ය විටෙක පන්දු යැවීමේ හැකියාව මෙන්ම හොඳින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයින්ට අවශ්‍ය විටෙක පන්දුවට පහර දීමේ හැකියාවකින් යුක්ත තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වීමයි. එමෙන්ම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා කැඳවීමේදී තිදෙනක් ඉදිරි පෙළ වගකීමක් ගෙන පන්දුවට පහරදිය හැකි පිතිකරුවන් ලෙසින්ද අනෙක් තිදෙනා නම් දැරූ පන්දු යවන්නන් වශයෙන් තෝරා ගැනීම ඔවුන් සතු අනෙක් ශක්තිය වේ.

    තිසර පෙරේරා

    “ඇත්තටම කණ්ඩායමක් වශයෙන් ලොකු සූදානමකින් සිටිනවා. මොකද අපි මේ තරගාවලියට සූදානම් වෙන්න පටන් ගත්තේ මේ මාසෙ 12 වැනිදා ඉඳන්. එදා ඉඳන්ම අපි හොඳ සැලසුමකින් ඉන්නවා. ඒ අනුව මම හිතනවා මේ තරගාවලිය අපේ සියළුම ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් කියලා ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. මම හිතනවා පැවැති පුහුණු සැසි වලදී ඔවුන් හෙට තරගයට සඳහා අවශ්‍ය උපරිම දේ ගන්න ඇති කියලා”.

    “ඇත්තටම අනිත්කණ්ඩායම් එක්ක බලද්දී නායකයා විදියට කිසිම කරදරයක් නැතුව කණ්ඩායම තෝරගන්න හැකියාව තියෙනවා. මොකද අපේ සියළුම පිතිකරුවන්ට පන්දු යවන්නත්, හොඳම පන්දු යවන්නන්ට බැට් කරන්නත් පුලුවන් නිසා. ඒක නිසා අපිට කණ්ඩායම් සංයුතිය ගැන කතා කරද්දීත් කණ්ඩායමක් තෝරද්දීත් ඉතාමත් ලේසි වෙනවා.

    ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතය

    දේශීය – තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, විජයකාන්ත්  වියස්කාන්ත්, නුවනිඳු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තේවේන්ද්‍රයන් දිනෝෂන්, ප්‍රභාත් ජයසූරිය,

    විදේශීය – ෂොයෙබ් මලික් (පාකිස්තානය), ජොන්සන් චාර්ල්ස් (බ.ඉ.කොදෙව්), උස්මාන් ශින්වාරි (පාකිස්තානය), කයිල් ඇබොට් (දකුණු අප්‍රිකාව), ටොම් මුවර්ස් (එංගලන්තය), ඩන්කන් ඔලිවර් (දකුණු අප්‍රිකාව)

    ගෝල් ග්ලැඩියේටර්

    මෙම තරගයට ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහභාගිවනු ලබන්නේ කණ්ඩායමේ නායකත්වය භාර ගැනීම සදහා මූලිකව නම් කරන ලද ක්‍රීඩකයින් දෙදෙනාම රහිතවය. වෘත්තීය මට්ටමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් නොමැති බව පවසමින් ලසිත් මාලිංග සමස්ථ තරගාවලියෙන් ඉවත් වුවූ අතර ඉන් පසු නායකත්වයට පත් ශහිඩ් අෆ්රිඩිටද ගුවන් යානය මඟ හැරීම හේතුවෙන්  පමා වී පැමිණියේය. එම තත්ත්වය මත කණ්ඩායමේ නායකයාගේ වගකීම තාවකාලිකව උප නායකයා ලෙසින් නම් කරන ලද භානුක රාජපක්ෂව නම් කරනු ලැබුවද අද තරගයට අෆ්රිඩි ක්‍රීඩා කළ හැකිද යන්න පිළිබඳව කළමනාකාරීත්වය දැඩි උනන්දුවකින් පසුවේ.

    භානුක රාජපක්ෂ 

    “හම්බන්තොට ආවට පස්සේ අපි පුහුණුවීම් සැසි 4 කට විතර සහභාගි වුණා. ඇත්තටම අපිට හොඳ සමබර කණ්ඩායමක් සිටිනවා. හොඳ ආරම්භයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අැත්තටම අපිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුවක් තියෙනවා. නමුත් අපේ කණ්ඩායම සමබරයි. ජ්‍යෙෂ්ඨ වගේම පොඩි කට්ටියත් විදෙස් අරගෙන බැලුවත් හොඳ සංකලනයක් තියෙනවා”

    “අපේ ප්‍රතිවාදී ජැෆ්නා කණ්ඩායම ගත්තහම අපි ඔවුන් ගැන හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. අපි එයාලා සතු දේශීය මෙන්ම විදේශීය ශක්තීන් ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව අපි ඔවුන්ට එරෙහිව වන සැලසුමක් සකස් කරලා තියෙනවා. අපේ කණ්ඩායම ගොඩක් එකමුතුව ඉන්න කණ්ඩායමක්. ඒ තියෙන සුභදායක් දේවල් ඉස්සරහට දාලා අපි තරග ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා”.

    ගෝල් ග්ලැඩියේටර් සංචිතය

    දේශීය – භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න.

    විදේශීය – ශහිඩ් අෆ්රිඩි (පාකිස්තානය), අශාන් අලී (පාකිස්තානය), චැඩ්වික් වෝල්ටන් (බ.ඉ.කොදෙව්), අසාම් ඛාන් (පාකිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), හස්රාතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), වකාස් මක්සූඩ් (පාකිස්තානය), අබ්දූල් නසීර් (පාකිස්තානය)

    විනිසුරුවන්

    පිටියේ විනිසුරුවන් – ලින්ඩන් හැනිබල්, දීපාල් ගුණවර්ධන

    තෙවැනි විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

    සිව්වැනි විනිසුරු – කීර්ති බණ්ඩාර

    තරග තීරක – වෙන්ඩල් ලැබ්‍රෝයි

  • කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්

    කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්

    අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා ලෙසින් තම නම ඉතිහාස කරගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහමනුල්ලා ගුර්බාස්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කලම්බු කිංග්ස් පිල හමුවේ ලකුණු 220 ක අභියෝගාත්මක ඉලක්කයක් තැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ.

    ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විචිත්‍රවත් සමාරම්භ උළෙලකින් පසු ඇරැඹි එල්.පී.එල්. පළමු තරගයේ  පළමු හතරේ පහර එල්ල කිරීමේ ගෞරවය නායක් කුසල් පෙරේරා සතු වුවත්, මන්ප්‍රීට් ගෝනි යවන ලද දෙවැනි පන්දුවාරයේ සිට සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ ඇෆ්ගනිස්තානු ජාතික දකුණත් පිතිකරුවා මුහුණ දුන් 21 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

    මැතිව්ස්, ගෝනි, චමීර සහ උදානගේ පන්දු යැවීම තඹයකටවත් මායිම් නොකළ ගුර්බාස් කයිස් අහමඩ්ට එරෙහිව පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් ලකුණු 50 සීමාව ඉක්මවා ගියද අනතුරුව යවන ලද පන්දුවේදී උඩ පන්දුවක් දැවී ගියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සරසා ගනිමිනි.

    දැවී යන විටත් නායක කුසල් සමඟ ලකුණු 75 ක සම්බන්ධතාවයක් එක් කිරීමට ගුර්බාස් සමත්වීම නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 79 ක් රැස් කර ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිලට හැකියාව ලැබිණ. ගුර්බාස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් තරමක් තැන්පත් වුණු කුසල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේ.

    පිටිය සිසාරා පහර එල්ල කළ වමත් කසකරුවා අර්ධ ශතකය පන්දු 35 කදී සම්පූර්ණ කරගනිද්දී ඉතිරි ලකුණු 37 ලබා ගැනීම සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. දැවී යන විටත් හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම සරසාගෙන සිටි කුසල් පෙරේරා පන්දු 52 කදී කුසල් ලකුණු 87 ක් ලබා සිටියේය.

    නුහුරු ලෙස ඇදී ගිය උඩ පන්දුව හඹා ගිය අශාන් ප්‍රියන්ජනගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ කුසල්ගේ ඉනිම හමාර වූ නමුත් කලම්බු කිංග්ස් පන්දු යවන්නන් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාර 5 දී ලකුණු 70 ක් උදුරා ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ සමත්වූහ. ඒ අතර තුරදී කුසල් මෙන්ඩිස් (පන්දු 24 කදී ලකුණු 30 ක්) සමඟ ලකුණු පන්දු 42 කදී ලකුණු 59 ක්ද අසේල ගුණරත්න සමඟ පන්දු 39 කදී ලකුණු 73 ක්ද රැස් කරමින් තම ඉනිම ලකුණු 200 ඔබ්බට රැගෙන යෑමට වැඩි දායකත්වයක් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි