"ඇගේ වෛරය" මාව නැති කළා

Spread the love

පසුගිය සතියේ ‘රිද්ම’ සමග සංවාදයකට එක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් සිංහල සිනමාවේ එක්තරා යුගයක සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් කළා. ඇගේ වෛරය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි. බොරු නම් එහි ප්‍රධාන නිළිය වූ චන්දි රසිකාගෙන් අහලා බලන්න ඔහු එහෙමත් කිව්වා. මේ ගැන චන්දි රසිකාගේ ප්‍රතිචාරය මොනවාගේදැයි දැනගන්නත් එක්ක ඇය සමග සංවාදයට එක්වූ විට ඇයටත් තමන් ගැන කියන්න වෙනස්ම විදිහේ කතාවක් තිබුණා.

චන්දි රසිකා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රගපෑමෙන් පසුවයි කියලා කීවොත් හරිද?

ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ චිත්‍රපටය නිසා මගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වුණා.

නමුත් කැමැත්තෙන් නේද ඔබ ඒ චිත්‍රපටයේ රඟපෑවේ?

ඔව්. මොකද, ඒක සමාජයට පණිවුඩයක් ලබාදෙන විදිහේ චිත්‍රපටයක්. නමුත් නිෂ්පාදකවරයා මටත් හොරෙන් චිත්‍රපටයට නිරුවත් දර්ශන එකතුකරලා තිබුණු නිසා හැමෝම හිතුවා මමයි ඒ දර්ශනවලටත් පෙනී සිටියේ කියලා.

‘ඇගේ වෛරය’ අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් පසුගිය සතියේ ‘රිද්ම’ට හෙළි කළා, එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විදිහට රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි කියලා. ඇත්තද ඒ කතාව?

ඒක ඇත්ත. මගේ ජීවිතයේ හැමදෙයක්ම කඩාවැටෙන්න පටන්ගත්තෙත් විජයගේ අභාවයෙන් පස්සේ තමයි.

‘ඇගේ වෛරය’ ලබපු ජනප්‍රියත්වයෙන් ඔබට සෙතක් වුණේ නැහැ කියලද ඔබ ඔය කියන්නේ?

ඔව්. මට කරපු රැවටීම නිසා අතේ තිබුණු හැම සතයක්ම වියදම් කරලා චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට එරෙහිව මට නඩු මගට යන්න සිද්ධ වුණා. ඒ සිදුවීම නිසා කාලයක් මම කලාවෙන් ඈත්වෙලා හිටියා. මානසිකවත් ඇදවැටිලා මම අසනීප වුණා. විජය ජීවත්ව සිටියා නම් මේ ගැටලුවේදී මා වෙනුුවෙන් පෙනී ඉන්නවා. ඇගේ වෛරය’ නිසා මට පාඩුවක් මිස ලාභයක් නම් වුණේ නැහැ.

චිත්‍රපටය සාර්ථකවෙද්දි ඔබට විතරක් පාඩුවුණේ කොහොමද?

‘ඇගේ වෛරය’ මුලින්ම නිෂ්පාදනය කරන්න හිටියේ මමයි. වැඩේ කරගෙන යද්දි මුදල් ටිකක් මදිවුණු නිසා තමයි මටයි ලුවිටයි වෙනත් නිෂ්පාදකවරයෙක් සොයාගන්න සිදුවුණේ. 1980 ගණන්වල වැඩ ආරම්භ කරපු ‘ඇගේ වෛරය’ අනූපහ වසරෙදියි ප්‍රදර්ශනය කළේ.
නිෂ්පාදනය සඳහා එතෙක් මට වැයවුණු මුදල්වලින් සතයක්වත් මට දුන්නේ නැහැ. චිත්‍රපට දෙකේ රඟපෑම වෙනුවෙන් දෙන්න ‍පොරොන්දු වූ රුපියල් ලක්ෂ දෙක විතරයි ලැබුණේ.

මේ ගැටලුවේදී කලාකරුවන්ගෙන් ඔබට හයියක් ලැබුණේ නැද්ද?

නැහැ. ජීවන් කුමාරණතුංගත් එක්ක මම රඟපාලත් තියෙනවා. එදා ඇමැතිවරයෙක් විදිහට හිටපු ඔහුවත් මගේ උදවුවට ආවේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා අද චිත්‍රපට හෝල් 17ක පමණ හිමිකරුවෙක්. නමුත් මම මේ වෙනකොට ආර්ථික වශයෙන් පහළටම ඇදවැටිලා.

කලාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් ඔබට තිබුණේ නැද්ද?

බයිට් පැකට් හදන ව්‍යාපාරයක් මම සුළුවෙන් ආරම්භ කළා. ඒකත් කරගෙන යන්න බැරි තත්ත්වයකයි මම දැන් ඉන්නේ.

කලාකාරිනියක් විදිහට රජයෙන්වත් පිහිටක් ඉල්ලුවේ නැද්ද?

දේශපාලනය කරන්න ගිහින් 1998 වසරෙදි මට ගුටිකන්නත් සිද්ධ වුණා. කලාකාරිනියක් විදිහට අවුරුදු විසි ගණනක් තිස්සේ බලයට ගේන්න දරදිය ඇදලත් වත්මන් ආණ්ඩුවෙන් මට ලැබුණු දෙයක් නැහැ. 2002 ආණ්ඩුව කා‍ලේ මත්තෙගොඩ ප්‍රදේශයෙන් මුදලට දීපු ඉඩමේ අයිතියවත් භුක්තිවිඳින්න රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩමේ අයිතියවත් නිරවුල් කරලා දෙන්න කියලයි මම අද ඉල්ලන්නේ.

ඔබ අවසන්වරට රඟපෑ චිත්‍රපටය වුණේ?

අන්තිමට රඟපෑවේ ‘ආත්ම වරුෂා’ කියන චිත්‍රපටයේ. මම එහි රඟපෑවේ ප්‍රධාන චරිතයක්. නමුත් මගේ චරිතයත්, චිත්‍රපටයත් යන දෙකම අවසානයේ අසාධාරණයට ලක්වුණා.

ඒ කොහොමද?

අනෙක් නළු නිළියන්ට මතුවීමට තිබෙන ඕනෑකමට අන්තිමේදී මුළු චිත්‍රපටයේම මගේ චරිතය දර්ශන හතර පහකට සීමාකරලා තිබුණා. මාත් එක්ක වෛරයෙන් සිටින නිෂ්පාදකවරයා චිත්‍රපටයට සිනමාහල් ලබාදෙන බවට බොරු ‍පොරොන්දු දීලා චිත්‍රපටය වැට්ටුවා.

අතීතය ගැන කනගාටුවෙන්ද ඔබ කතාකරන්නේ?

ඔව්. මම චිත්‍රපට 40ක පමණත් ටෙලිනාට්‍ය 25ක පමණත් රඟපාලා තියෙනවා. කලාවටයි, දේශපාලනයටයි කඹුරලයි මගේ ජීවිත කාලය ගෙවිලා ගියේ. නමුත් අන්තිමේදී ඒ කිසිමදේකින් පිහිටක් නැතිව මම අද අසරණවෙලා ඉන්නවා.

අවසාන වශයෙන් කියන්න, ඔය කියන හැලහැප්පිලි නිසා ඔබ දැන් කලාවෙන් සමු අරගෙනද ඉන්නේ?

කොහෙත්ම නෑ. ඉදිරි කාලයේදිත් මම රඟපානවා. නමුත් ඒ සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහේ ප්‍රබල චරිතයක් රඟපාන්න ආරාධනා ලැබුණොත් විතරයි.

-කිෂාන් කනංකෙ-
-රිද්ම-