Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA

Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA
Spread the love

වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව ද මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව ද නවීන් සොයිසා මහතා වැඩි දුරටත් කීවේය.

කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය හෙළිකරමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘‘ රටේ ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බවත් එය ඉන්දියාවට වඩා එක හමාරන් බවත් අපි අමතක නොකළ යුතුයි.

ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනයකට 1.91ක් බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49යි. කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වෙනවා.

රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් අපිට දැකගත නොහැකියි. මේ වන විට දැඩිව සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මක දැයි අපට ගැටලුවක්. සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයි. ඒ වගේම තමයි වසංගතයේ භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීමයි‘‘

එන්නත්කරණයේදී වූ අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා ගැන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබියදීත් තීන්දුවක් නොගැනීම අපට පුදුමයක්. ජනාධිපතිවරයාගේ තීන්දු ක්‍රියාත්මක නොකරන අයෙක් ඉන්නවාදැයි අපට සැකයක් තිබෙනවා‘‘ යැයි ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.