Covid-19 එන්නත්කරණය ගැන ‘ඔබ මේ සියලුම විද්‍යාත්මක කරුණු‘ දැන සිටියාද ?

Covid-19 එන්නත්කරණය ගැන ‘ඔබ මේ සියලුම විද්‍යාත්මක කරුණු‘ දැන සිටියාද ?
Spread the love
  • කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිශ්‍ර කළ හැකි ද?
  • සිනොෆාර්ම්, ස්පුට්නික් වී, ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන දැනගත යුතු තොරතුරු මොනවා ද?
  • ආසාත්මිකතා ඇති අයට එන්නත් සුදුසුද?

පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ.

එන්නත වර්ග දෙකක් ලබා දීමෙන් වෛරසයට හා එහි නව ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් පුළුල්, දිගුකල් පවතින ප්‍රතිශක්තියක් ලබා දිය හැකි ද යන්න සහ එන්නත් කිරීමේ ක්‍රියාදාමයට වඩාත් නම්‍යශීලී බවක් ලබා දීමේ පරමාර්ථයෙන් එක්සත් රාජධානිය තුළ මෙම පරීක්ෂණ පැවැත්වේ.

පළමු වරට ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ලබා ඇති වයස අවුරුදු පණහට වැඩි වැඩිහිටියන් 830කට වැඩි දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගී කරගෙන තිබේ.

මෙහි පළමු අදියරේ වාර්තාව මාර්තු 13 වෙනි දින නිකුත් කර තිබේ.

එයට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ.

විවිධ එන්නත් මාත්‍රාවන් මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත.

“එය ඇත්තෙන්ම කුතුහලය දනවන සොයා ගැනීමක් මිස අප බලාපොරොත්තු වූ දෙයක් නොවේ,” පරීක්ෂණ සිදු කරන කණ්ඩායමේ ප්‍රධානී ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය.

මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකෙහිම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කර ලබා දීමට අදහස් කරන බව පවසා තිබේ.

මහාචාර්ය මැතිව් ස්නේප් පැවසුවේ පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කළ හැකි බවය. කෙසේනමුත්, මෙම අධ්‍යයනය වසරක් පුරා ක්‍රියාත්මක වේ.

ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟ වන්නේ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම ආරක්ෂිත බවය.

ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සති හතරක කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙක ලබා දුන් අතර, ඔවුන් තුළ උණ ගතියක් නිරීක්ෂණය වී තිබේ. නමුත් ඕනෑම අනුපිළිවෙලකට ඔවුන්ට පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා එන්නතත් දෙවෙනියට ෆයිසර් එන්නතත් ලැබුණේ නම්, උණ ගතියක් පෙන්වීමේ අනුපාතය 34% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

“සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, ව්‍යාධිය සහ මාංශ පේශි කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණවල ද අදාළ වෙනස්කම් ඇති වී තිබෙනවා” යැයි මහාචාර්ය මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය.

“මෙයින් අපට පැවසෙන එක් දෙයක් නම්, පිරුණු වාට්ටුවක හෙද හෙදියන්ට වෙනස් එන්නත් මාත්‍රා ලබා දීම ඔබ සිදු නොකළ යුතු දෙයක් යන්නයි. මොකද ඊළඟ දවසේ වැඩි දෙනෙක් වැඩට නොඑන්න ඉඩ තියෙනවා.”

Covid vaccines in Sri Lanka

ලොව තවත් රටවල් මිශ්‍ර මාත්‍රාවන් භාවිත කිරීම ගැන සලකා බලති. එන්නත්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා චීනය ද මිශ්‍ර මාත්‍රා ලබා දීම සලකා බැලිය යුතු බව චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාවෝ මෑතකදී පැවසීය.

පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා රුසියාවේ ස්පුට්නික් වී එන්නත තරමක් වෙනස් මාත්‍රාවන් දෙකකින් භාවිත කෙරෙයි.

එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය.

“එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි. මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්,” ඔහු බීබීසී සේවයට පැවසීය.

කෙසේනමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත.

ශ්‍රී ලංකාව තුළ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දෙන්නේ ද?

කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ?

පසුගිය සතියේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බවය.

මැයි 11 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකෙනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකෙනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි.”

මේ අතර, රට තුළ කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ඊළඟ පියවර ලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකි ද යන කරුණ සලකා බැලීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.

Covid vaccines in Sri Lanka
එන්නත ලබා ගන්න පෝලිමේ සිටින කඩුවෙල ප්‍රදේශවාසීන්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට ෆයිසර් හෝ ස්පුට්නික් වී එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබා ගත හැකිද යන්න සලකා බලනු ඇත.

නමුත් මේ ගැන තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති අතර ලොව පුරා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, අදාළ පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබා දිය හැකි බවය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙසත්, දෙවෙනුව වෙනත් වර්ගයේ එන්නතක් ලබා දිය හැකි ද යන්න පිළිබඳ එක්සත් රාජධානියේ සහ රුසියාවේ පරීක්ෂණ පැවැත්වෙන බවය. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේ දී තීරණ ගන්නා අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉක්මනින් නැවත ගෙන්වීමට රජය ක්‍රියා කරනු ඇති බවට වෛද්‍යවරිය බලාපොරොත්තු පළ කළාය.

චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් (Sinopharm) එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවා ද?

  • මෙය ලබා දීම නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණි. ශ්‍රී ලංකාව තුළ දැනට සයිනොෆාර්ම් එන්නත ලබා දෙන්නේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ටය.
  • සිනොෆාර්ම් එන්නතෙහි මාත්‍රාව වෙනත් කොවිඩ්-19 එන්නත් සමඟ මිශ්‍ර කර ගැනීමේ හැකියාව පිළිබඳ දත්ත නොමැත. ඒ හේතුවෙන් මාත්‍රා දෙකටම එකම නිෂ්පාදනයක් භාවිතා කිරීම නිර්දේශ කරයි. කෙසේනමුත්, ලොව පුරා සිදුවන පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම නිර්දේශ පසුව වෙනස් විය හැකිය.
  • මෙම එන්නතේ අක්‍රීය SARS-CoV-2 ප්‍රතිදේහජනක සහ පොස්පේට්-බෆර්ඩ් සේලයින් (PBS) හා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගුය.
  • නිර්දේශිත මාත්‍රාව – මාංශ පේශි (ඉහළ හස්තය) තුළින් ශරීර අභ්‍යන්තරව ලබා දෙන මාත්‍රා දෙකකි (මිලි ලීටර් 0.5). මාත්‍රා දෙක අතර සති 3-4 ක කාල පරතරයක් නිර්දේශ කරයි.
Covid vaccines in Sri Lanka
  • එන්නත සම්බන්ධයෙන් පවතින සැපයුම් ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් සහ වෙනත් රෝග ඇති පුද්ගලයන්, වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.
  • උග්‍ර උණ රෝගයකින් පෙළෙන ඕනෑම අයෙකු (ශරීර උෂ්ණත්වය 38.5 C ට වඩා වැඩි) එන්නත් කිරීම පසුවට කල් දැමිය යුතුය.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සහ වෙනත් දරුණු රෝග ඇති පුද්ගලයන් සඳහා ද නිර්දේශ කර ඇත.
  • එන්නත ලබා ගැනීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
  • ගර්භනී කාන්තාවන් සඳහා ද මෙම එන්නත ලබා දීමේ ගැටලුවක් නොමැති නමුත්, මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිර්දේශ කරයි.
  • අනෙකුත් වැඩිහිටියන්ට සමානවම මව්කිරි දෙන කාන්තාවන් සඳහාද එන්නත භාවිත කිරීම සුදුසුය. එමෙන්ම එන්නත ලබා දීම නිසා මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.
  • ඔබට මින් පෙර කොවිඩ්-19 වැළඳී තිබුණත් ආසාදන ඉතිහාසය නොසලකා එන්නත ලබා ගැනීමට හැකිය.
  • කොවිඩ් 19 වැළඳී සුවය ලැබීමෙන් පසුව සහ හුදකලා වීම අත්හිටුවීමේ නිර්ණායක සපුරා ගෙන PCR පරීක්ෂණයකින් තහවුරු කරන තෙක් අදාළ පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතුය.
  • එන්නත ලබා දීමෙන් පසු කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය තක්සේරු කිරීමට ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම දැනට නිර්දේශ නොකරයි.

(මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය)

ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ලේ කැටි ගැසීමක් සිදු වේද?

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.

Covid vaccines in Sri Lanka

එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න නිශ්චිතවම තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව “තහවුරුවෙමින් පවතින බව” විශේෂඥයෝ පවසති.

එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි.

මේ අනුව එක්සත් රාජධානිය ඇතුළු රටවල් කීපයක් වයස අවුරුදු 40ට අඩු සියලුදෙනාට ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා වෙනුවට වෙනත් වර්ගයක එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

කෙසේනමුත්, මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් වාර්තා වී ඇත්තේ ඉතා සුළු පිරිසකගේ පමණක් වන අතර, එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී.

ස්පුට්නික් වී (Sputnik V) එන්නත

රුසියාවේ ස්පුට්නික් වී කොරෝනාවෛරස් මර්දන එන්නත මගින් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබා දෙන බව ‘ද ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ වූ අවසාන අදියර අත්හදා බැලීම් ප්‍රතිඵලවලින් හෙළි විය.

එය ආරක්ෂිත යැයි සලකනු ලැබ ඇති අතර, වෛරසය නිසා පුද්ගලයන් රෝහල් ගතවීම සහ මරණයට පත් වීමට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් ලබා දේ.

අවසාන අත්හදා බැලීමේ දත්ත නිකුත් කිරීමට පෙර එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙම එන්නත මුලින් යම් මතභේදයකට ලක්විය.

නමුත් විද්‍යාඥයින් පවසන පරිදි මෙම එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත.

Covid vaccines in Sri Lanka
රුසියාවේ ස්පුට්නික් වී එන්නත

එය ෆයිසර්, ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා සමානව සහතික කරන ලද එන්නතකි.

නමුත් වෙනත් සමාන එන්නත් මෙන් නොව, ස්පුට්නික් එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාවන් සඳහා තරමක් වෙනස් පිටපත් දෙකක් භාවිතා කරයි.

එකම පිටපත දෙවරක් භාවිතා කරනවාට වඩා වෙනස් සූත්‍ර දෙකක් භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දීම මෙයින් අපේක්ෂා කරයි.

පරීක්ෂණවල දී එන්නත හා සම්බන්ධ කිසිදු බරපතල ප්‍රතික්‍රියාවක් වාර්තා නොවිණි.

මඳ උණ ගතිය, විඩාව, අත් ඉදිමීම වැනි සුළු අතුරු ආබාධ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකිය.

කෙසේනමුත්, ස්පුට්නික් වී එන්නත යුරෝපා රටවලට ලබාදීමට යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශයේ අවසරය තවමත් ලැබී නොමැත. නමුත් ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, ඊශ්‍රායලය සහ පිලිපීනය යන රටවල මෙම එන්නත දැනටමත් භාවිත කරති.

අසාත්මිකතා ඇති පුද්ගලයන්ට කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකිද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැහැදිලි කරන පරිදි:

  • ඔබට ලබා දෙන එන්නතෙහි අඩංගු ඕනෑම සංඝටකයකට ඔබට මින් පෙර දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇතිවී ඇත්නම් එන්නත ලබා ගැනීම සුදුසු නොවේ.
  • එන්නතෙහි පළමු මාත්‍රාවෙන් පසුව දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇති වුණි නම් එම පුද්ගලයින් එම එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා නොගත යුතුය.
  • එන්නත් හෝ එන්නත්වලට සම්බන්ධ නොවන අසාත්මිකතා උදා: ආහාර වර්ග,සුරතල් සතුන්, සර්ප විෂ, පාරිසරික සංඝටක හෝ රබර් නිෂ්පාදන වැනිදේ සඳහා මින් පෙර දරුණු අසාත්මිකතා (anaphylaxis) පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින් සඳහා ද කොවිඩ් 19 එන්නත ලබා ගත හැකිය (ඇමෙරිකා එක්සත් ජනපදයේ CDC ආයතනයේ නිර්දේශ).
  • ඖෂධ වර්ගවලට (උදා : Aspirin, Paracetamol, Ibuprofen, Amoxicillin වැනි ) අසාත්මිකතා ඇති අය හෝ පවුලේ දරුණු අසාත්මිකතා ඉතිහාසයක් (family history of anaphylaxis) ඇති පුද්ගලයින්ට ද එන්නත ලබා ගත හැකිය.
  • එන්නතක් ප්‍රතිකාරයකදී මින් පෙර ඔබට ක්ෂණික ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් ඇති වී තිබේ නම් (දරුණු හෝ දරුණු නොවන ) ඔබට COVID-19 එන්නතක් ලබා ගැනීම සුදුසු දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. ඔබට එන්නත ලබා ගැනීම ආරක්ෂිත දැයි තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයා ඔබට උදව් කරනු ඇත.
  • එන්නත ලබා ගැනීමෙන් පසුවද විනාඩි 15ක නිරීක්ෂණ කාලයක් තුළ ඔබ හට අසාත්මිකතා හටගැනීම පිළිබඳ නිරීක්ශණය කෙරෙනු ඇත (ඉතාමත්ම කලාතුරකින් ඇතිවිය හැකිය). එබැවින් එන්නත ලබා ගැනීමට බිය නොවන්න.

අප වෙබ් අඩවිය සෞඛ්‍ය සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී හුදු උණුසුම් පුවත් වෙනුවට ජනතාව අතර ‘සෞඛ්‍ය සාක්ෂරතාව‘ වර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ අනුව දැනුම, අධ්‍යාපනය, ආකල්පමය වෙනසක් ඇති කිරීම වගේම විද්‍යාත්මක සෞඛ්‍ය පුවත්, සෞඛ්‍ය පර්යේෂණ ගැන ද උපරිම අවධානයක් යොමුකරනවා. අපට අවශ්‍ය වන්නේ අපේ පාඨකයින්ට නිවැරදි, සමබර හා නිරවුල් සෞඛ්‍ය අධ්‍යාපනයක් හා පුවත් ලබාදීමයි. එමගින් තමයි ‘විශ්වාසනීයත්වය‘ බිහි වන්නේ. මෙහිදී අපි සංස්කරණ ප්‍රතිපත්තියක් ලෙස ලොව පිළිගත් ප්‍රමුඛ වෙබ්අඩවි වලින් ලිපි උපුටා ගැනීම කරනවා. ඒ අතර බී.බී.සී සහ ෆෙමිනා ඉදිරියෙන්ම සිටිනවා. මෙහිදී අප අපගේ කාර්ය මණ්ඩලය ගැටලු හමුවේ ලෝ ප්‍රකට ප්‍රබලම මාධ්‍ය ආයතනය වන මහා බ්‍රිතාන්‍යයේ බී.බී.සී මාධ්‍ය ජාලයේ සිංහල වෙබ් අඩවිය වන බී.බී.සී සන්දේශය වෙතින් වාර්තා උපුටා ගැනීමට ප්‍රමුඛතාවක් දෙනවා. ඒ එම වාර්තා පරිපූර්ණ ඒවා වන නිසයි. ජනතාවට වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිසයි – ප්‍රධාන සංස්කාරක