ඉදිරි කන්නයේ වගා ඉලක්ක ගැන කෘෂිකර්ම ලේකම් කළ හෙළිදරව්ව

ඉදිරි කන්නයේ වගා ඉලක්ක ගැන කෘෂිකර්ම ලේකම් කළ හෙළිදරව්ව
Spread the love
  • කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා.
  • තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා
  • ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති.
  • බඩඉරිඟු නිෂ්පාදනය නගා සිටුවීම සඳහා පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දී තිබෙනවා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
  • සත්ව ගොවිපළ හිමියන් ව්‍යවසායකින් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
  • වෙළෙඳපොල තුළ පොහොර සුලභ කර තිබෙනවා – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා).
  • කෘෂිකර්ම ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා – අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ).

මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසීය.

මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානක ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය,

සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතු වගකීමක් වනවා. එය මේ වන විට සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව කිව යුතුයි. විශේෂයෙන් මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හය තුළ සපුරා ගැනීමට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා කෘෂි නවීකරණ වැඩසටහන යටතේ අප විසින් තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. තවද පුරන් කුඹුරු ඇතුලු සියලු කුඹුරු වී වගාවට යොදා ගැනීමටත් සෙසු

වගා බිම් වෙනත් වගාවන්ට යෙදවීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට වී වගාවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක අස්වැන්නක් ලබා ගෙන තිබෙන බවද කිව යුතුයි.

වී මිළ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට හැකියාවක් නැහැ. නමුත් විවෘත ආර්ථිකයේදී මිල පවත්වා ‍ගැනීම සාධාරණව සිදු වනු ඇති බව රජය බලාපොරොත්තු වෙනවා. මිල ඉහළ යාම වරක් දෙවරක් සිදු වුනාට රජයට මැදිහත් විය නොහැකි වුනත් එය දිගින් දිගටම සිදු වෙනවා නම් ඊට මැදිහත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වා ගෙන ගියත් ඉදිරියේදී සියලුම සහල් වර්ගවල ආරක්ෂිත තොග පවත්වා ගනිමින් වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම වියලි කලාපය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පුරන් කුඹුරු වෙනත් වගාවන්ට වෙන් කර දෙනවා. එය ආහාර නිෂ්පාදනයේ සාධනීය ඉදිරි පියවරක් වනු ඇතියි.

සම්ප්‍රදායික වගා රටාවෙන් බැහැරව ආහාර අවශ්‍යතාව සැපිරීමේ පියවර වශයෙන් කෘෂි නවීකරණ වැඩසටහන සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් තුළ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා පොලී රහිත ණය ලබා දී තිබෙනවා. ඊට සමගාමීව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙනවා. එමඟින් කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, සත්ව හා ධීවර කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වී ඇති අතර නව තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට දරණ උත්සාහය සාර්ථක වී තිබෙනවා.

මේ වන විට කෘෂි කර්මාන්තය දේශීය සීමාවෙන් ඔබ්බට ගොස් විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි වැනි පළතුරු බෝග අපනයනය සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා.

මීට අමතරව අස්වැන්නේ උච්ඡාවචනය සහ අස්වනු හානි පිළිබඳ අවධානය යොමු කරමින් දඹුල්ලේ ශීතාගාරයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි. යෝග්‍ය වගාවන් පිළිබඳ ගොවියා දැනුවත් කළත් ඔවුන් ඒ ගැන නොතැකීම නොවන්නට මෙරට අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් සිදු කරනවා. අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරීත්වය හේතුවෙන් අස්වනු හානි 50%කින් පමණ අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ගොවියාගේ සහායද ඇතුව අස්වනු ක්‍රමානුකූලව වෙළෙඳපොලට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අප තව දුරටත් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීම පිළිබඳ මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ වන විටත් බෙලිඅත්තේ සිට ධාවනය වන දුම්රිය අනෙක් පළාත් සඳහාද යෙදවීමට අවධානය යොමු වී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග මහත්මිය,

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය වී සහ එළවළු පලතුරු නිෂ්පාදනයන් වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ තාක්ෂණ පැකේජයක් ගොවි ජනතාවට හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි මහ කන්නයේ සිට වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා හෙක්ටයාර 60,000ක තෝරාගත් බිම් කොටස්වලට තාක්ෂණ පැකේජය හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘති ආරම්භ කරනවා. පැරශූට් ක්‍රමය භාවිතා කරමින් වී වගාව සිදුකිරීමටත් හෙක්ටයාරයකට වී මෙක්ට්‍රික්ටොන් 07 ක් ලබා ගැනීමේ ඉලක්කය වෙත යාමටත් මෙමඟින් අපේක්ෂා කරනවා.

අඩුවී තිබෙන බඩඉරිඟු නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා නියමිත පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා . එළවළු වගාව ගත්විට සමහර කාලවලට අතිරික්ත නිෂ්පාදනයක් සහ සමහර කාලවලට බෝග නිෂ්පාදන හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිරික්ත නිෂ්පාදන කාලයේදී ගබඩාකරණ පහසුකම් ඇති කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව ශීතාගාර පහසුකම් ලබා දීමටත් අවධානය යොමු කර තිබෙනවා. මේ සියලු කෘෂිකාර්මික වැඩපිළිවෙළ මඟින් ගොවියා ව්‍යවසායකයෙක් බවට පත්කිරීම රජයේ අරමුණයි.

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්ත්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය,

පශු වෛද්‍ය කාර්යාල 337ක් ඔස්සේ පශු පර්යේෂණ ආයතන 16 මඟින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය ප්‍රගමනය කිරීම සඳහා ක්‍රියාකාරීව කැපවී තිබෙනවා. ප්‍රධාන වශයෙන් කුකුල් සහ කිරිගව ක්ෂේත්‍ර දියුණු කිරීම කෘෂි නවීකරණ වැඩපිළිවෙල යටතේ පහසුකම් සපයා තිබෙනවා. කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා තෝරාගත් පළාත් හයක ගොවිපළවල් 150ක පශු සම්පත් නියමු ව්‍යාපෘතියක් සිදු කරමින් පවතිනවා. ඒ වගේම තෘණ භූමි සංවර්ධනය කිරීමටත් , ශ්‍රමිකයන් පුහුණු කිරීමටත් අප දෙපාර්තමේන්තුවක් ලෙස මැදිහත්වී තිබෙනවා.නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් NVQ 3-4 වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එම පුහුණුවෙන් පසුව අවශ්‍ය නම් කිරි ගොවීන්ට විදේශ රටවල රැකියා අවස්ථාවට වුවද යා හැකියි . දැනට ශ්‍රී ලංකාවේ පාරිභෝජන අවශ්‍යතාවයෙන් 40% නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය 2028 වන විට 60%ක් දක්වා වර්ධනය කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.සත්ව ගොවිපළ හිමියන් ව්‍යවසායකින් බවට පත්කරමින් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් සැපයීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා) සුමිත් චන්දන මහතා,

මීට වසර දෙකකට පෙර තිබුණු පොහොර අර්බුදය නිමාකර රටේ අවශ්‍යතාවයට අවශ්‍ය පොහොර ගෙන ඒමට ගොවි ජන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. යුරියා ඇතුළු රසායනික පොහොර අවශ්‍ය තරම් ගොවීන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා. අවශ්‍ය නම් පෞද්ගලික අලෙවි නියෝජිතයන්ගෙන් පවා පොහොර මිලදී ගැනීම සඳහා වෙළඳපොළ තුළ පොහොර සුලභ කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ මූල්‍ය සහනාධාර සහ පොහොර නොමිලේ ලබාදීමේ ක්‍රියාදාමය නිසා අස්වනුවල දැකිය හැකි වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වුණා. පසුගිය මහ කන්නය සඳහා රුපියල් බිලියන 11ක මුදලක්සහනාධාර ලෙස ගොවි ජනතාව වෙත ලබා දී තිබෙනවා. මෙවර කන්නය සඳහා මේ වන විට රුපියල් බිලියන 5.6ක මුදලක්ද ගොවීජනතාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

නවීන තාක්ෂණික ගොවියා ශක්තිමත් කිරීම ” GeoGoviya” යෙදුම භාවිතා කරමින් ගොවීන්ගේ සියලු දත්ත ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. එමඟින් ගොවියන්ට තිබෙන අවශ්‍යතා සොයා බලා කඩිනමින් සේවා සැපයීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ගොවි ජන දෙපාර්තමේන්තුව මගින් හරිතාගාර 19ක් ඉදිකර අවසන්. කෘෂිකර්මයට අවශ්‍ය කරන පහසුකම් සැපයීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය, ගබඩාකරණ පහසුකම් ඇතුළු ව්‍යාපෘතිය 1120ක් සඳහා රුපියල් මිලියන 1499ක් පසුගිය වසර කාලය ඇතුළත රජය විසින් ලබාදී තිබෙනවා. “තිරසර ගෙවත්ත” වැඩසටහන යටතේ ගෙවතු ලක්ෂ10ක් ඇති කිරීමට මේ වන විට කටයුතු කරමින් තිබෙනවා.

ඒ සඳහා මේ වනවිටත් ඉඩම් සොයාගෙන අවසන්. එම එක් ගෙවත්තක එක් බෝගයක් පමණක් වගා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙමඟින් වාණිජ වශයෙන් ආදායම් ලබා ගැනීමට ද හැකි වෙනවා.

අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝ මණී එදිරිමාන්න මහත්මිය,

අප විසින් කෙටුම්පත් කරන ලද කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අංග 10ක් යටතේ කෘෂි නිශ්පාදන සිදු කිරීම සඳහා ඉදිර දස වසර තුළ වැඩසටහන් පෙළ ගැස්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රේඛීය ආයතනවල දත්ත පද්ධති ඒකාබද්ධ කර එක් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ කටයුතු මේ වසර අවසානය වන විට නිම කිරීමට නියමිතයි. එමඟින් කාර්යක්ෂමතාව මෙන්ම තීන්දු තීරණ ගැනීම පහසු කිරීම අපේක්ෂා කරනවා. තවද බීජ පනත, සත්ව පනත, ශාක සංරක්ෂණ පනත ඇතුලු පනත් රැසක් යාවත් කාලීන කරමින් පවතිනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Comment