LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්
Spread the love

පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි තරගාවලියේදීද තරග නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ඇත.

මඩුගල්ලේ මහතාට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභා විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතාද තරග විනිසුරුවරයෙක් ලෙස මෙම තරගාවලියේදී කටයුතු කරනු ඇත. මඩුගල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම නිලධාරී මඩුල්ලට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේම තරග තීරකවරුන් දෙපළක් ලෙසින් කටයුතු කරන වෙන්ඩල් ලැබ්‍රෝයි සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි යන මහත්වරුද එල්.පී.එල්. තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇත. එම තරග තීරක මඩුල්ලට ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග වල තීරකවරයෙකු ලෙසින් කටයුතු කරනු ලබන මනෝජ් මෙන්ඩිස් සහ ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් යන මහත්වරුද ඇතුළත්ව සිටියි.

ඒ හැරුණු කොට විනිසුරුවන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන්ද ඇතුළත් එම කමිටුවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරමින් අයර්ලන්ත ජාතික රොනල්ඩ් බ්ලැක් සහ පාකිස්තානු ජාතික ෆයිසාල් ඛාන් යන විනිසුරුවරුන්ද එකතුව සිටිති. ඒ හැරුණු කොට පළමු පෙළ තරග විනිශ්චයේ නියැළෙන විනිසුරුවන් කීප දෙනෙකුටද අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. චාමිර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, සංජීව ප්‍රනාන්දු, රවීන්ද්‍ර විමලසිරි, අසංක නානායක්කාර, ආර්. එල්. දුල්සිරි එල්.පී.එල්. තරගාවලියේ කටයුතු කරනු ලබන දේශීය විනිසුරුවෝ වෙති.

ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පල්ලේකැලේ, දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.