‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි

‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි
Spread the love

ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනු ඇත.

එම තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උත්සවය ප.ව. 6.15 ට පැවැත්වීමට තරගාවලි සංවිධායකයෝ පියවර ගෙන තිබේ. මෙම තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු විසින් සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාවට LPL – 5 හි සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන හිටපු ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ද සහභාගිවනු ඇත.

ඔවුන් දෙපළට අමතරව තරගාවලිය නියෝජනය කරනු ලබන සියලුම කණ්ඩායම්වල නායකයින් ඇතුළු කණ්ඩායම් පහේ ක්‍රීඩකයින්ද මෙම විචිත්‍රවත් සමාරම්භයට සහභාගිවනු ඇත. මෙහිදී වත්මන් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග විසින් තරගාවලියේ සන්නාම තානාපතිවරයා වෙත කුසලාන පිරිනැමීම සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද සහභාගිවීමට නියමිතවේ.

මෙහි ඇති එක් විශේෂත්වයක් වන්නේ මෙවර තරගාවලියේ නිල ගීතයද එළි දැක්වීමට කටයුතු කිරීමයි. එය යොහානි, ඩීජේ.මාස්, අප්සි සහ රොමේයින් විල්ස් වැනි නව පරපුරේ කලාකරුවන් විසින් ඉදිරිපත් කරනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ල ක්‍රීඩාංගණය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකොට පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි පිල ශූරයන් බවට පත්වූ හෙයින් තරගාවලිය මහනුවරින් ආරම්භ වේ.

මේ 21 වැනිදා දක්වා සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන තරගාවලියට, ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් සමග දේශීය ක්‍රීඩකයන් එක්වන අතර, බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් 32 ක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරති. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් ඩොලර් ලක්ෂයක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි තුනකට ආසන්මුන මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට ඩොලර් 50,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

එල්පීඑල් තරගාවලිය නරඹන සෑම ප්‍රේක්ෂකයෙකුම ටිකට් පතක් මිළදී ගෙන තරගයෙන් ලබන ආශ්වාදය සේම දැවැන්ත සමාජ සත්කාරකයක කොටස්කරුවෙකු වීම තවත් විශේෂත්වයකි. පසසුගිය වසරේදී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් එල්පීඑල් තරගාවලියෙන් රුපියල් මිලියන 100 ක් ලබාදීමට කටයුතු කළේය.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කළ සෑම හයේ පහරකින්ම රුපියල් 6000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා ලකුණු නොදුන් පන්දුවකට (Dot ball) රුපියල් 2000ක් බැගින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් පිරිනැමීය.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සංවිධානය තුලින් විදෙස් ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාවේ නැගීඑන ක්‍රීඩකයන් උරෙන් උර ගැටී ලැබෙන අත්දැකීම් සම්භාරය අති විශාල එකකි. ශ්‍රී ලාංකේය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය කදිම අත්දැකීමක් වන අතර, ඔවුන්ට තව දුරටත් ඔපවත්වීමේ අවස්ථාවක් මෙම තියුණු සටන් තුලින් ඇති වේ.

කලම්බු ස්ට්‍රයිකර්ස් – තිසර පෙරේරා, චාමික කරුණාරත්න, නිපුන් ධනංජංය, සදීර සමරවික්‍රම, ශාදාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස්, චාමික ගුණසේකර, දුනිත් වෙල්ලාලගේ, රාමනුල්ලා ගුර්බාස්, ටස්කින් අහමඩ්, ඇන්ජලෝ පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකෙත්, මතීෂ පතිර, ෂෙහාන් ප්‍රනාන්දු, කවීන් බණ්ඩාර, ඉසිත විජේසුන්දර, මුහමද් වසීම්, අලා ගසන්ෆර්.

දඹුල්ල සික්සර්ස් – දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මදුශංක, නුවන් තුෂාර, මුස්තෆිසුර් රෙහ්මාන්, ඊබ්‍රහිම් සද්‍රාන්, ළහිරු උදාර, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රනේෂ් සිල්වා, ළහිරු මදුශංක, සොනාල් දිනූෂ, කුසල් ජනිත් පෙරේරා, රීසා හෙන්රික්ස්, මාක් චැප්මන්, සචිත ජයතිලක, ටව්හිද් රිඩෝයි, නිමේෂ් විමුක්ති, මොහොමඩ් නබී, අසංක මනෝජ්, චමිඳු වික්‍රමසිංහ.

ගෝල් මාවල්ස් – භානුක රාජපක්ෂ, ලසිත් කෘෘස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, ටිම් සීෆර්ට්, ඇලෙක්ස් හේල්ස්, ජනිත් ලියනගේ, ඩ්වයින් ප්‍රි‍ටෝරියස්, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, ෂෝන් විලියම්ස්, සහූර් ඛාන්, මල්ෂ තරුපති, සදීෂ රාජපක්ෂ, මොහොමඩ් ශිරාස්, ඉසුරු උදාන, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර, කවිඳු නදීෂාන්, චමිදු විජේසිංහ, ජෙෆ්රි වැන්ඩර්සි.

ජැෆ්නා කිංග්ස් – චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, අස්මාටුල්ලා ඔමර්සායි, රිලී රුසෝව්, ෆේබියන් ඇලන්, ධනංජය ද සිල්වා, ප්‍ර මෝද් මදුෂාන්, ජේසන් බෙරන්ඩොෆ්, අසිත  ප්‍රනාන්දු, විෂාද් රන්දික, ළහිරු සමරකෝන්, ඒෂාන් මාලිංග, ඇලෙක්ස් රොස්, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, මුර්වින් අබිනාෂ්, අරුන් ප්‍රගාසම්, පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, තීෂන් විතූෂාන්, නිසල තාරක, ටබ්‍රේස් ශම්සි.

කැන්ඩි මාර්වල් – දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, මොහොමඩ් හාරිස්, අෂේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, මොහොමඩ් හස්නේන්, පවන් රත්නායක, චමත් ගෝමස්, චතුරංග ද සිල්වා, කවිදු පතිරත්න, ලක්ෂාන් සඳකැන්, සම්මු අශාන්, සලමන් අලි අඝා, කසුන් රජිත.