Blog

  • විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට PCR ප්‍රතිඵල කඩිනමින් දෙන්න තීරණයක්

    විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට PCR ප්‍රතිඵල කඩිනමින් දෙන්න තීරණයක්

    විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16 ) පැවති සාකච්ඡාවකදී තීරණය විය.

    ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විය. සංචාරක හා ගුවන්සේවා  අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ගුවන් තොටුපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණි.

    ඉදිරි සති දෙක තුළදී අදාළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමටද පියවර ගැනේ.

    එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.

    මේ අතර පැය තුනක පමණ කාලයක් තුළ එවැනි පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි බවත්, ඒ අනුව එම කාලය තුළ පුද්ගලයින් 600 ක් පමණ පරීක්ෂණයනට ලක් කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.

    රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් විශ්ලේෂණය කරමින් සංචාරක ව්‍යාපාරය ඇතුළු රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන් සඳහා යම් යම් ලිහිල් වීම් සිදුවිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ලෝක ප්‍රවණතාවය මෙන්ම මෙරට ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති වලට අනුගත වෙමින් ක්‍රියාත්මක කළ හැකි උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රටේ ආසාදිතයින් සංඛ්‍යාව,මරණ සංඛ්‍යාව,ඔක්සිජන් භාවිතය යන කරුණු වලට සාපේක්ෂව යම් යම් ලිහිල් කිරීම් සිදු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ජනතාවට අපහසුකම් අවම වන පරිදි එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින්ම ක්‍රියාත්මක වන ලෙසින් කොවිඩ්ඩ් පාලනය සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කීය.

    එහිදී අදහස් දැක්වූ සංචාරක හා ගුවන්සේවා  අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා මෙසේ කීය. කොවිඩ් පාලනය කරමින් ලොව බොහෝ රටවල් මේ වන විට සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීමට තරඟකාරීව මුහුණ දී සිටිනවා. එම තරඟකාරීත්වයට එක් වීමට නම් රටක් ලෙස සංචාරක ක්ෂෙත්‍රයට අවශ්‍ය තවත් පහසුකම් එක් කළ යුතුය. මාලදිවයින , තුර්කිය වැනි රටවල් මේ වන විටත් සංචාරක ආකර්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති අතර , අප එම ක්‍රමවේද හඳුනාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම සඳහා කටයුතු කළ යුතුය.

    සංචාරක කර්මාන්තයට අදාළව දැනට ත්‍රියාත්මක කරන බොහෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ එන්නත්කරණ වැඩපිළිවෙල මෙරටට හඳුන්වා දීමට පෙර ක්‍රියාත්මක කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ අනුව එම මාර්ගෝපදේශ පිළිබඳව යළි සලකා බලන්නැයි ඉල්ලා සිටියේය.

    ගුවන්තොටුපළෙහි මේ වන විට පවතින ගැටලු හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මෙහිදී කීය.

    ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු කටයුතු සඳහා උපරිම පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අවහිරතාවයකින් , අපහසුතාවයකින් තොරව නිවෙස් කරා යාමට අවශ්‍ය වැඩපිළිවෙල එමගින් උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව  අමාත්‍යවරයා කීය.

    මේ අතර සංචාරක , ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රයන්හි ඇතිවන ගැටලු පිළිබඳව හා ඇතිවන තත්ත්වයනට සාපේක්ෂව සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව සෞඛ්‍ය අංශ හා එක්ව සති දෙකකට වරක් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.

  • සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් ලෙස ගැසට් කිරීමට යයි

    සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් ලෙස ගැසට් කිරීමට යයි

    සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

    සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

    මේ අතර දියර කිරි නිෂ්පානය ප්‍රවර්ධනය සදහා කිරි ගවයින්ට ප්‍රමාණවත්  තණකොළ නොලැබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වී ඇති බැවින් තණකොළ වගා කරන්නට කැමති අයට රජයේ ඉඩම් ලබා දී තණකොළ වගාව ප්‍රවර්ධනය කිරිමටත් එසේ වගා කරන තණකොළ කිරි ගොවින්ට හා ගෙවිපලවලට අලෙවි කිරිමටත් අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරිමටද අද (16) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු විය.

    එමෙන්ම කිරි ගවයින්ට අමතරව එළුවන් ඌරන් වැනි සත්ත්ව ගොවිපල ප්‍රවර්ධනය කීරිමටත් අද පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් එම අමාත්‍යාංශයේ ලේකම් හා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

  • රටේ අභ්‍යන්තර ගැටලු විසැඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ – ශ්‍රී ලංකාව අවධාරණය කරයි

    රටේ අභ්‍යන්තර ගැටලු විසැඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ – ශ්‍රී ලංකාව අවධාරණය කරයි

    රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

    එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට  විසඳුම් ඇති බව කියා සිටියේය.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද (16) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට එක්වෙමින් විදේශ  ලේකම්වරයා මෙම අදහස් දැක්වීය. “ජීනිවා චෝදනා,  එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය” අද එහි තේමාව විය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිල මෙවර සැසිවාරයේ දී  මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම  සුබවාදී ලකුණක් බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

    මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටී. මානව හිමිකම් සුරැකීම, සංහිඳියාව පවත්වාගෙන යාම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන කරුණු පිළිබඳ රජයේ වගවීම ඔවුන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

    කලාපයේ අනෙකුත් රටවල් සමග සංසන්දය කිරීමේ දී ශ්‍රී ලංකාව සාමකාමී රටකි. ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය සේම රටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පසුගිය වසර දෙක තුළ සක්‍රීයවම ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර ඇති බව  ද ඒ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බව ද පෙන්වා දෙන විදේශ ලේකම්වරයා එම පිළිවෙතට අනුව යමින්  බල අරගලයන්ට මැදි නොවී ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවත්, එහිදී මෙරට භූගෝලීය පිහිටීම පිළිබද දැඩි අවධානයෙන් යුතුව රජය කටයුතු කරන බවත් කියා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිළි බවත් ඒ පිළිබඳව ලෝකයේ  රටවල් පසුගිය මාස කිහිපය පුරා විවිධ වාර්තා මගින් දැනුවත් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එහිදී මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ බව විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය “කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්” බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

    සිය රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ එකඟතාවන්ට එළැඹෙමින් පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇති බව ද ඒ මහතා  පෙන්වා දුන්නේය.

    එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරදි කිරීමට මෙවර රාජ්‍ය නායක සමුළු අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ඉවහල් කර ගනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

  • දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයකට ඇමෙරිකාව සහ ඉන්දියාව මුලපුරයි

    දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයකට ඇමෙරිකාව සහ ඉන්දියාව මුලපුරයි

    දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රය 2030 – ඉන්දු ඇමරිකා  ද්විපාර්ශික හවුල්කාරිත්වය යටතේ මෙය සංවාදයට ගැණින.

    ඉන්දීය පරිසර, වනාන්තර හා දේශගුණික කටයුතු අමාත්‍ය භූපේන්දර් යාදව් සහ දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී නවදිල්ලි නුවරදී මේ පිළිබඳ සාකච්ඡාවට ගැණින.

    දේශගුණික විපර්යාස හා  මූල්‍ය  සවිබලකරණ සංවාදය යනු දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති 2030 න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාර්ග දෙකෙන් එකකි. අනෙක් ප්‍රධාන මාර්ගය නම් උපායමාර්ගික පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වය යි. 2021 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපදයේ පැවති දේශගුණය පිළිබඳ නායකයින්ගේ සමුළුවේදී මෙම උපායමාර්ගික පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වය පිළිබඳව  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් නිවේදනය කරන ලදී.

    ආර්ථික සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්තියට සමගාමීව ඉදිරියට යා හැකි බවත් මෙම කාර්යයේදී ඉන්දියාවේ නායකත්ව භූමිකාව එක්සත් ජනපද දේශගුණික නියෝජිතයා පැසසීමට  ලක්කළ අතර හදිසි ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් බව .India News Network වාර්තා කරයි.

    උත්සව සභාව අවසන් වීමෙන් පසු නිකුත් කළ නිල පුවත්පත් නිවේදනය අනුව ඉන්දියාව සහ ඇමරිකාව පුනර්ජනනීය බලශක්තිය වේගයෙන් යෙදවීම සඳහා ක්‍රියා කරන බව දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී  වැඩිදුරටත් අවධාරණය කළේය.

    2030 වන විට ගිගාවොට් 450ක පුනර්ජනනීය බලශක්තිය සාක්‍ෂාත් කර ගැනීමේ ඉලක්කයක් තැබීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රශංසා කළ ඇමරිකානු විශේෂ නියෝජිතයා, දැනටමත් ගිගාවොට් 100 ක ඉලක්කයක් සපුරා තිබීම පිළිබඳව ඉන්දියාවට සුබ පැතුවේය.

    මෙම සංවාදය දේශගුණය සහ පරිසරය පිළිබඳ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනවා පමණක් නොව, ජාතික සහ තිරසාර සංවර්ධන ප්‍රමුඛතාවයන් සැලකිල්ලට ගනිමින් ලෝකයට වේගවත් දේශගුණික ක්‍රියාදාමයන් හා ප්‍රත්‍යක්‍ෂම ආර්ථික සංවර්‍ධනයකින් පෙළගස්වන්නේ කෙසේද යන්න නිරූපණය කිරීමට ද උපකාරී වනු ඇතැයි අමාත්‍ය යාදව් පැවසීය.

    “ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වටිනාකම් හර පද්ධතීන් සමඟ ස්වාභාවික හවුල්කරුවන් වන අතර අපගේ න්‍යාය පත්‍රය තුළ රැකවරණය, ආරක්‍ෂාව, බලශක්ති, තාක්‍ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළු අපගේ මූලෝපායික ප්‍රමුඛතාවන්හි ප්‍රධාන කුළුණු ඇතුළත් වේ,”ඉන්දීය පරිසර අමාත්‍යාංශය..

    කෝප්26, දේශගුණ අභිලාෂය, දේශගුණික මුදල්, ජාත්‍යන්තර සූර්යබල සන්ධානය ඇතුළු ගෝලීය දේශගුණික මූලාරම්භයන්, දේශගුණය සඳහා කෘෂිකාර්මික නවෝත්පාදන මෙහෙයුම් සම්බන්ධ පුළුල් දේශගුණික ගැටලු පිළිබඳව ද්විපාර්ශවික හමුවකින් අනතුරුව දෙපාර්ශවයම දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

    දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී මෙම තනතුරට පත්වීමෙන් පසු නවදිල්ලියේ සිදු කෙරෙනු දෙවන සංචාරය මෙය වේ.

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය පැවැත්වෙන 26 වන පාර්ශවයන්ගේ සමුළුව (COP26) ට පෙර දේශගුණික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපද අඩිතාලම යෙදීමේ පියවරක් ලෙස මෙම සංචාරය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විස්තර කර ඇත

  • NMRA දත්ත ගිල්ලේ කවුද ?

    NMRA දත්ත ගිල්ලේ කවුද ?

    වසංගත තත්ත්වය පමණක් නොව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති සිද්ධියක් බවට පත්ව ඇත. පසුගිය සමයේදී මේ සම්බන්ධව මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුවිය.

    ජුලි මස මුල දිනකදී මේ දත්ත මැකී ගිය බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.  මෙම සිද්ධිය පිටුපස සැබෑවටම ක්‍රියාත්මක වී ඇත්තේ අදිසි හස්තයක් බවට වූ කතාබහක් මේ වනවිට නැවතත් ඉස්මතු වෙයි.

    ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම පිටුපස සිටින ප්‍රබල චරිතය වන්නේ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරනු ලබන දේශපාලන බලවතෙකු යැයි පැවසේ.

    ඔහු පෞද්ගලික සමාගමක් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදු වී ඇත. මෙමගින් සුවිශාල මූල්‍ය ලාභයක් ලබා ගැනීම මෙන්ම රටේ පවතින අර්බුද තවත් තීව්‍රර කරගැනීම මේ කුප්‍රකට දේශපාලකයාගේ අභිලාෂය වී තිබු බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීහූ සැක පහළ කරති.

    රට තුළ ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක කොරෝනා රෝගීන්ට අවශ්‍ය අතවශ්‍ය ඖෂධ මෙරට තුළ නැති බව පැවසීම මෙන්ම ආණ්ඩුව එමගින් අපහසුතාවට පත් කිරීමද එහි යටි අරමුණක් වී ඇති බව මොවුන්ගේ මතය වී තිබේ.

  • කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

    කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

    සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු විය.

    ඒ අනුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ වල ඉහළ නිලධාරීන් පිරිසක්ද,වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.

    මෙරට පාසල් පද්ධතියේ ළමුන් 200 ට අඩු  පාසල් 5000 ක් පමණ වන අතර එම පාසල් මේ අනුව කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව පෙර පාසල්ද 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ද මූලිකව ආරම්භ කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

    එලෙස පාසල් ආරම්භ කිරීමේ දින වකවානු තීරණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන අතර ඒ අනුව ඉදිරි සති දෙක තුන තුළදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මේ අතර මේ වන විට පාසල් ගුරුවරුන් , අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත්, එයට අමතරව මේ වන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්හි නිරත වන්නන් සියල්ලන්ම ඉතා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

  • 2021 අංක 18 දරන මුදල් පනත අද සිට බලාත්මකයි

    2021 අංක 18 දරන මුදල් පනත අද සිට බලාත්මකයි

    2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

    ඉකුත් 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව  44 කි.

    මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‍ ඡන්ද විමසීමක් ඉල්ලා සිටිම හේතුවෙන් මෙම ජන්ද විමසීම පැවැත්විණ. ඒ අනුව මෙම පනත අද (15) සිට බලාත්මක වේ.

  • ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

    ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

    දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙහි පළමු එන්නත ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත අතර ඒ අනුව මෙරට  ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇත.

    මහනුවර දිස්ත්‍රික්කයේ 150000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් අතර එම දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30000 ක ස්පුට්නික් එන්නත් අවස්ථා 02 කදී ලබා දුණි.

    ඖෂධ ආනායනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීය.

    එලෙස මෙරටට ලැබීමට නියමිත ස්පුට්නික් මාත්‍රා තොගය දින 03 ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ පිරිස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන බවත්, ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු බවත්අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකට පූර්ණ එන්නත්කරණය සිදු කර අවසන් බවත්, ස්පුට්නික් එන්නත් තොගය මහනුවර ජනතාවට ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ 99 % ට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් වන බවත් අමාත්‍යවරයා කීය.

    අත්‍යවශ්‍ය ඖෂධ වල කිසිදු හිඟයක් තැබීමට කටයුතු නොකරන බවත් දිනෙන් දින වෙනස් වන තාක්ෂණය මුසු කර ගනිමින් සැබෑ අවශ්‍යතාව හඳුනාගනිමින් ඒ අනුව කටයුතු කරන බවත් අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් නිකරුණේ ඖෂධ තොග තබා ගැනීමේ අවශ්‍යතාවයක් එනිසා  නොමැති බවත් ඒ මහතා කීය. අත්‍යවශ්‍ය ඖෂධයන්හි පාවිච්චිය විශ්ලේෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් අනවශ්‍ය ලෙස ඖෂධ තොග ගබඩාකර ගැනීමේ අවශ්‍යතාවක් එමගින් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    “සෞභාග්‍යයේ දැක්ම” අනුව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම යටතේ ඉදිරි වසර 04 අවසන් වන විට මෙරටට අවශ්‍ය සියලු ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයීමට පියවර ගන්නා බවත් අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

    ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා බෙදාහැරීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක,  යන මහත්වරු සහභාගි වූ අතර මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

  • ලොහාන් රත්වත්තේ තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

    ලොහාන් රත්වත්තේ තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

    වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වුවත් ඔහු තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව වාර්තා වේ.

    මේ අතර ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස් වුණා ද ? නැතහොත් ඔහුට ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා දැනුම් දුන්නාද ? යන්න පිළිබද මාධ්‍ය ක්ෂේත්‍රයේ අවධානය යොමුව පවතී.

    මේ සම්බන්ධයෙන් බී.බී.සී සන්දේශය විසින් නිකුත් කළ වාර්තාවක සදහන් වුණේ … මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී සිංහල වෙත පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට දුරකතයෙන් අමතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බවය‘‘

    කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ “ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය,” යනුවෙන් ජනතිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය‘‘ යනුවෙනි.

    මේ අතර සිවිල් සමාජ සංවිධාන සහ තවත් බොහෝ පිරිසක් දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි අපකීර්තිමත් හා නීති විරෝධී කටයුත්තක නිරත වූ ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ද නෙරපා හැර ඔහුට විරුද්ධව නෛතික පියවර ගත යුතු බවයි.

  • ලෝකයේ උණුසුම්ම දින ගණන දෙගුණ වෙලා – මානව සංහතියම අනතුරේ !

    ලෝකයේ උණුසුම්ම දින ගණන දෙගුණ වෙලා – මානව සංහතියම අනතුරේ !

    1980 සිට 2009 දක්වා වූ දීර්ඝ කාලීන සාමාන්‍යයට සාපේක්ෂව මෑත දශකය තුළ උපරිම උෂ්ණත්වය 0.5C කින් ඉහළ ගොස් ඇති බව බීබීසී විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත. නමුත් මෙම වැඩි වීම් ලොව පුරා එක හා සමානව දැනී නැත: නැගෙනහිර යුරෝපය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ට වඩා වැඩි වූ අතර ආක්ටික් සහ මැදපෙරදිග ප්‍රදේශ වල සෙල්සියස් අංශක 2 ට වඩා වැඩි වීමක් වාර්තා විය.

    1980 ගණන් වල සිට සෑම වසරකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ යන විට උණුසුම් දින ගණන දෙගුණයක් වී ඇති බව බීබීසී විශ්ලේෂණයකින් සොයාගෙන ඇත.

    මිනිස් සෞඛ්‍යයට සහ අප ජීවත් වන ආකාරය සඳහා පෙර නොවූ විරූ අභියෝග ඉදිරිපත් කරමින් ඒවා දැන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල සිදු වී ඇත.

    1980 සිට සෑම දශකයකදීම සෙල්සියස් අංශක 50 ට වැඩි මුළු දින ගණන වැඩි වී ඇත. සාමාන්‍යයෙන් 1980 සහ 2009 අතර කාලය වසරකට දින 14 ක් පමණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවීය.

    2010 සහ 2019 අතර කාලය අවුරුද්දේ දින 26 දක්වා වැඩි විය. එම කාලය තුළම සාමාන්‍යයෙන් වසරකට සති දෙකක පමණ කාලයක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 හෝ ඊට වැඩි විය.

    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පාරිසරික වෙනස්වීම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ පවසන්නේ “පොසිල ඉන්ධන දහනය කිරීම මෙම වැඩිවීමට 100% ක් හේතු විය හැකි” බවයි.

    ඉහත සිතියමේ පෙන්වන ස්ථාන නම් එම වසරේ යම් දිනයක ග්‍රිඩ් ප්‍රදේශයක උපරිම උෂ්ණත්වය 50C ට වඩා වැඩි වීමයි.

    මුළු ලෝකයම උණුසුම් වන විට, අධික උෂ්ණත්වය බොහෝ දුරට වැඩි වේ. අධික තාපය මිනිසුන්ට සහ සොබාදහමට මාරාන්තික විය හැකි අතර ගොඩනැගිලි, මාර්ග සහ බලශක්ති පද්ධති සඳහා විශාල ගැටලු ඇති කළ හැකිය.

    මැද පෙරදිග සහ ගල්ෆ් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් පමණ වේ.

    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව හා දේශගුණික පර්යේෂකයෙකු වන ආචාර්ය සිහාන් ලී පවසන්නේ “අපි ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. අපි අපේ හරිතාගාර වායු විමෝචනය අඩු කරන තරමට අපි සියල්ලන්ටම වඩා යහපත් වනු ඇත” යනුවෙනි.

    පසුගිය දශකය සහ 1980-2009 යොමු කාලය අතර සාමාන්‍ය උපරිම උෂ්ණත්ව වෙනස්වීම් පෙන්නුම් කරන ලෝක සිතියම

    “අඛණ්ඩ විමෝචන සහ ක්‍රියා විරහිත වීමත් සමඟ මෙම අධික තාප සිදුවීම් වඩාත් දැඩි හා නිතර සිදු වනවා පමණක් නොව, හදිසි ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රකෘතිමත් වීම වඩාත් අභියෝගාත්මක වනු ඇත,” ආචාර්ය ලී අනතුරු අඟවයි.

    1980 සිට 2009 දක්වා වූ දීර්ඝ කාලීන සාමාන්‍යයට සාපේක්ෂව මෑත දශකය තුළ උපරිම උෂ්ණත්වය 0.5C කින් ඉහළ ගොස් ඇති බව බීබීසී විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත. නමුත් මෙම වැඩි වීම් ලොව පුරා එක හා සමානව දැනී නැත: නැගෙනහිර යුරෝපය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ට වඩා වැඩි වූ අතර ආක්ටික් සහ මැදපෙරදිග ප්‍රදේශ වල සෙල්සියස් අංශක 2 ට වඩා වැඩි වීමක් වාර්තා විය.

    අධික උෂ්ණත්වයේ බලපෑම්

    මෙම බීබීසී විශ්ලේෂණය මඟින් අධික තාපය ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවලට කෙසේ බලපායිද යන්න පිළිබඳව සොයා බලමින් Life at 50C නම් වාර්තා චිත්‍රපට මාලාවක් දියත් කරයි.

    සෙල්සියස් අංශක 50 ට අඩු වුවද අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය දැඩි සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකිය.

    පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපදයේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, වර්තමාන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අඛණ්ඩව පැවතුනහොත් 2100 වන විට ලොව පුරා බිලියන 1.2 ක පමණ ජනතාවක් අධික පීඩනයට මුහුණ පෑමට සිදු වනු ඇත. එය අද පීඩාවට පත් වූවන්ට වඩා අවම වශයෙන් හතර ගුණයකින් වැඩිය.

    අධික තාපය නියඟය සහ ලැව් ගිනි ඇති වීමට වැඩි ඉඩක් ඇති හෙයින් අවට භූ දර්ශනය වෙනස් වන විට ජනතාව ද දුෂ්කර තේරීම් වලට මුහුණ දෙති. වෙනත් සාධක දායක විය හැකි අතර දේශගුණික විපර්යාස ද කාන්තාරකරණය වීම පිටුපස ඇති වැදගත් සාධකයකි.

    මධ්‍යම ඉරාකයේ නිවසේ ෂෙයික් කසෙම් අල් කාබිගේ ඡායාරූපය

    ෂෙයික් කසෙම් අල් කාබි යනු මධ්‍යම ඉරාකයේ ගමක තිරිඟු ගොවියෙකි. ඔහු සහ ඔහුගේ අසල්වැසියන් නඩත්තු කිරීමට තරම් ඔහු සතුව තිබූ ඉඩම වරක් සාරවත් වූ නමුත් එය ක්‍රමයෙන් වියලි හා නිසරු බවට පත් වී ඇත.

    “ඉස්සර මේ මුළු ඉඩමම කොළ පාටයි, නමුත් ඒ සියල්ල නැති වී ගිහින්. දැන් එය කාන්තාරයක් බවට පත්වෙලා. ඒකට හේතුව නියඟ”

    ඔහුගේ ගමේ සියලු දෙනාම පාහේ වෙනත් පළාත්වල රැකියාවක් සොයා ඈතට ගොස් ඇත.

    “මට මගේ සහෝදරයා, ආදරණීය මිතුරන් සහ විශ්වාසවන්ත අසල්වැසියන් අහිමි වුණා. ඔවුන් මා සමඟ මගේ සිනහව පවා බෙදා ගත්තා. දැන් කිසිවෙකු මා සමඟ කිසිවක් බෙදා ගන්නේ නැහැ. මම මේ හිස් ඉඩම සමඟ මුහුණට මුහුණ බලා සිටිනවා” ෂෙයික් පැවසුවේය.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිනි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රටත් – පරපුරත් නින්දාවට පත් කළ ලොහාන් රත්වත්තේ ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

    රටත් – පරපුරත් නින්දාවට පත් කළ ලොහාන් රත්වත්තේ ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

     

    වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි. ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය

  • උදේ මුදල් රාජ්‍ය ඇමති, හවස මහබැංකු අධිපති විදිහට පත්කරනවා

    උදේ මුදල් රාජ්‍ය ඇමති, හවස මහබැංකු අධිපති විදිහට පත්කරනවා

    මූල්‍ය අපරාධ පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාවලින් අධිකරණමය නිදොස්වීමක් නොලැබූ පුද්ගලයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමතිවරයා දිනක් ඇතුලත මහ බැංකු අධිපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කර තිබේ.

    එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙන්ති අද උදේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ කරුණු ගෙනහැර දැක්වීය. එම මාධ්‍ය හමුවේදී පළකළ සම්පූර්ණ අදහස් පහත පළ වේ.

    “ශ්‍රී ලංකා මහබැංකුව අපේ රටේ තිබෙන ස්වාධීන ආයතනයක්. රටේ ආර්ථිකයට අදාළ මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම සහ විනිමය අනුපාත, පොලී අනුපාත ගැන ස්වාධීනව තින්දු ගන්නවා. මහ බැංකුව භාරව ඇමතිවරයෙක් හිටියත් එහි කටයුතු සිද්ධ වෙන්නේ මහ බැංකුවේ පාලකවරයා හැටියට කටයුතු කරන මුදල් මණ්ඩලයෙන්. මුදල් මණ්ඩලය තුළ මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම්, වෘත්තීයමයභාවයකින් දායක වෙනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ එයට මුදල් රාජ්‍ය ඇමතිවරයා පත් කිරීමයි. උදේ මුදල් රාජ්‍ය ඇමති හවස මහ බැංකු අධිපති හැටියට පත්කරනවා. ලබැඳියාවන්ගේ ගැටුමක් බරපතළ විදිහට හැදෙනවා. මුදල් ඇමතිවරයා විදිහට තීන්දු ගන්න සම්බන්ධ වුණු අයම මහ බැංකු අධිපති ලෙස පත්වීම කොතරම් දුරට සදාචාරමය, ආර්ථිකමය සහ ජාත්‍යන්තරයේ කොතරම් හෑල්ලු වෙනවාද කියලා බරපත, විදිහට සලකා බලන්න වෙනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුව ගැන වැඩිපුරම සාකච්ඡාවට ලක්වුණේ මහබැංකු බැඳුම්කර වංචාවක් සමග කළු චිත්‍රයක් ඇතිවීමෙනුයි. ගෝඨාභය රාජපක්‍ෂ බලයට එන්නේම මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවාය කියන පදනමෙන්. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන පාලනය තුළ මහ බැංකු වංචාව සිදුවුණේ ලබැඳියාවන්ගේ ගැටුමකින්.

    අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන් ඇලෝසියස් ඥාති සම්බන්ධතාවය නිසා මහ බැංකු බැඳුම්කර පිළිබඳව තොරතුරු වෙන්දේසියේදී සැපයූවාය කියන පදනම තියෙනවා. ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමතිවරයා එකම දිනයකදී මහ බැංකු අධිපතිවරයා හැටියට පත්කිරීම මොනතරම් ලබැඳියාවන් අතර ගැටුමක් ඇති කරනවාද? මහ බැංකු අධිපතිවරයෙකු ලෙස පත් කිරීමට නුසුදුසු අය මුදල් පනතේ දක්වා තිබෙනවා. එහි 11වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පුද්ගලයෙක් එයට නුසුදුසු වෙනවා වගේම මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරියෙක් හා සමාන පුද්ගලයෙක් ලෙස කටයුතු කරන අයත් නුසුදුසුයි. බැංකු ආයතනයක අධ්‍යක්‍ෂවරුන් සහ අඩුම තරමේ සේවකයෙක් හෝ නුසුදුසු බව දක්වා තිබෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් උදේ ඉල්ලා අස්වී සවස අධිපති ධූරයට පත්වුණා කියලා. නමුත් මහ බැංකුවේම චර්යාධර්මවල අධිපති ධුරය දරපු කෙනෙක් ඉවත් වී අවුරුද්දක් යන තුරු ඒ හා සමාන මූල්‍ය ආයතනයක තනතුරක් දරන්න නුසුදුසු බව කියා තිබෙනවා.

    මේකට හේතුව ලබැඳියාවන්ගේ ගැටුම නිසා මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා වීමේ හැකියාවයි. ඉතා පැහැදිලිවම නීතිය ඉදිරියේ මොන ආකාරයකට තර්ක කළත් උදේ මුදල් රාජ්‍ය ඇමතිවරයා සවස මහ බැංකු අධිපති කිරීමෙන් ස්වාධීනත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙනවා. කබ්රාල් පත්කරන්නේ එයාගේ තිබෙන අත්දැකීම්, දැනුම හා පලපුරුද්ද උපයෝගී කරගෙන ආර්ථිකය කඩා වැටීම නවත්වන්න බව කියනවා. විදේශ විනිමය අර්බුදය විසඳන්න කියල තියෙනවා. රාජ්‍ය මුදල් ඇමති විදිහට දක්වපු කුශලතාවය, හැකියාව සහ පලපුරුද්ද මොකක්ද? (කඩා වැටෙන ආර්ථිකය ගොඩනගන්න.) මෙයට කලින් අජිත් නිවාඞ් කබ්රාල් 2006 ජූනි මාසයේ ඉඳලා 2015 ජනවාරි දක්වා මහ බැංකු අධිපති හැටියට කටයුතු කළා. මේ කාලය තුළ ඔහුගේ දක්‍ෂතාවය බැඳුම්කර ක්‍රියාවලිය සම්බන්ධ වෝහාරික වාර්තාවෙන් හෙළි වෙනවා. ජනාධිපති කොමිසමකින් නිර්දේශ කළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විගණන සමාගමකින් සකස් කළ වාර්තාවක්. 2020 පෙබරවාරි 18-19 දවස් දෙකේදී මේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් කළා. එය කල්දාන්න හෝ විවාදයට නොගෙන ඉන්න මේ ආණ්ඩුවේ අද ඉන්න ඇමතිවරු විශාල උත්සාහයක් දැරුවා. අජිත් නිවාඞ් කබ්රාල් බැඳුම්කර වංචාවන්ට තිබුණු සම්බන්ධතාවය වහන්න ඒ උත්සාහය ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකළා. අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝෂියස් කණ්ඩායමත් ආරක්‍ෂා කරගත්තේ බැඳුම්කර වංචාවට මේ දෙගොල්ලම සම්බන්ධ නිසා.

    අධිපතිවරයා හැටියට පත්වීම් ලබන අජිත් නිවාඞ් කබ්රාල් වංචනික කුප්‍රකට ඉතිහාසයක් තිබෙන කෙනෙක් මිස ආර්ථිකය ගොඩදාන්න හැකි කෙනෙක් ලෙස අපි දකින්නේ නැහැ. වෝහාරික වාර්තාවෙන් හෙළිකර තිබෙනවා, අර්ථසාධක අරමුදලට පමණක් බැඳුම්කර වංචාව නිසා මිලියන 9074ක් පාඩුකර තිබෙන බව. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා. 2013.06.05 ඔහු ආයෝජන කමිටුවට නියෝග කර තිබෙන්නේ අර්ථසාධක අරමුදලෙන් සෘජුව මහබැංකුවට මුදල් සපයනවා වෙනුවට ද්විතියික වෙළඳපොළෙන් තරගකරුවෙක් ලෙස බැඳුම්කර ගන්න කියලා. මේ නිසා සාමාන්‍ය ජනාවට හිමි අර්ථසාධක අරමුදලේ කෝටි ගාණක පාඩු සිද්ධ කිරීමට වගකිව යුත්තේ මේ අධිපතිවරයායි. නැවතත් මේ අධිපතිවරයාගේ පළමු කටයුත්ත හැටියට අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළට දාලා මංකොල්ලකෑම ආරම්භ කරයි කියලා අපි අනුමාන කරනවා. මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදලට සිදුකර තිබෙන පාඩුව මොන තරම්ද කියලා මේ වාර්තාවේ දැක්වෙනවා. අනෙක් පැත්තෙන් රජයට මේ වංචාවලින් බිලියන 10.74ක් පාඩු කර තිබෙනවා. අජිත් නිවාඞ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා හැටියට කෝටි 2,000ක පාඩු සිද්ධ කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, අජිත් නිවාඞ් කබ්රාල් වැනි සියලු දෙනා අධිකරණයට කැඳවන්න කියලා අපි විශාල උද්ඝෝෂණයක් ගෙනගියා.

    නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දෙනවා වෙනුවට කබ්රාල් මහත්තයා නැවත මහ බැංකු අධිපති පුටුවේ වාඩි කරවා තිබෙනවා. ඔහුගේ ඥාති සහෝදරිය, ශිරෝමි වික්‍රමසිංහ, අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගමේ අධ්‍යක්‍ෂවරිය හැටියට කටුයුතු කළා. මේ ආදී වශයෙන් ලැයිස්තුවක්ම වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වෙනවා.  ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ජනතාවට වුණූ පොරොන්දුව මේකද? ඥාති මිත්‍ර සංග්‍රහ නැතිව විද්‍යාත්මක පදනමක් මත තනතුරු ලබාදෙන බව කියූ අය ක්‍රියා කරන හොඳම උදාහරණය ලෙස අජිත් නිවාඞ් කබ්රාල්ගේ පත්වීම එකතු වී තිබෙනවා. නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ කටයුතු කරලා මහ බැංකු අධිපති පුටුවේ වාඩිවීම මහ බැංකුව දේශපාලන අණ්ඩක් බවට පත්කර ගැනීමක්. මේක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අර්ජුන් මහේන්ද්‍රන්ව දාලා මහබැංකුව මංකොල්ලකෑවට වඩා අමුතු දෙයක් නෙවෙයි. 2006-2015 දක්වා සිදුවුනු ආකාරයට වඩා වැඩි ආකාරයකට 2015 ඉඳල අර්ජුන් මහේන්ද්‍රන්ලා සිදුකළා. එයම නැවත වටයකින් ආරම්භ කෙරෙනවා. මෙය සිදු කෙරෙන්නේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක්, ඩොලර් හිඟයක් සහ බරපතල ආර්ථික කඩාවැටීමක් තිබෙන පසුබිමකයි.

    රට බංකොලොත් වෙමින් යන වෙලාවක ආණ්ඩුව මූල්‍ය ක්‍ෂේත්‍රයත් සමග සෙල්ලම් කරන්න පටන් ගෙන තිබෙනවා. මෙය රටට සිදුකරන ඉතා බරපතළ අපරාධයක්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව, හෙජිං ගනුදෙනුව වගේ අදටත් රට වන්දි ගෙවන ඉතිහාසයකට වගකිව යුතු පුද්ගලයින් අධිකරණයට ගෙනයනවා වෙනුවට නැවත මහ බැංකුවට පත්කෙරෙනවා. වෝහාරික විගණනයේදී සාක්‍ෂි දුන් නිලධාරීන් අදත් මහ බැංකුවේ කටයුතු කරනවා. අධිපති ධුරයට මේ පුද්ගලයා පත්වුණාට පස්සේ ඒ නිලධාරීන්ට ඇතිවන තත්වය මොකක්ද? ඒ වගේම රටේ මූල්‍ය ක්‍ෂේත්‍රයට ඇතිවන ප්‍රශ්න මොනවාද? මේ නිසා මහ බැංකු අධිපති හැටියට අජිත් නිවාඞ් කබ්රාල් පත්කිරීම රටේ ආර්ථීකය තව දුරටත් බංකොලොත් කරන ක්‍රියාමාර්ගයක්. ඩබ්.ඩී ලක්‍ෂ්මන් මහාචාර්යවරයා අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයයේදී තමාට සිත් රිදවීමක් ඇති බව කීවා. අජිත් නිවාඞ් කබ්රාල් කියන්නේ සිත් රිදවීම් සාමාන්‍ය දෙයක් බවයි. එහෙම නම් ඉදිරියේදී හිත් වේදනාවට පත්වුණු නිලධාරීන් ඉල්ලා අසවීම සාමාන්‍ය දෙයක් බව කියාවි. ආරථිකය කඩා වැටීමත් සාමාන්‍ය දෙයක් බව කියාවි. බැඳුම්කර වංචාව වුණත් සාමාන්‍ය දෙයක් බව කියයි. මේ වගේ හැම දෙයක්ම සාමාන්‍ය දේවල් හැටියට හඳුන්වා දේවි. අපේ රටේ ඇතිවී තිබෙන අර්බුද පැලැස්තර දාලා විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. පෝට් සිටි පනත සම්මත කර ගැනීම කළු සල්ලි සුදුකර ගැනීම, වගේ දේවල් සාධාරණීකරණය කරන්න ආණ්ඩුව බොහෝ දේවල් කීවා. නමුත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

    අපි ජනතාවට අවධාරණය කරන්නේ ආර්ථිකයේ වගේම දේශපාලනයෙත් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකළ යුතු බවයි. එසේ නොකර ආර්ථිකය හදන්න බැහැ. පුටු මාරු කලා ඔළුගෙඩි මාරු කරලා පැලැස්තරවලින් අර්බුද විසඳන්න බැහැ. මේ වගේ අමනෝඥ තීන්දුවලින් රට හදන්න බැහැ. ඒ නිසා ආර්ථික සහ දේශපාලන වෙනසක් සිදුකිරීම වෙුනවෙන් ජනතාව සංවිධානය වෙලා එකතු වෙන්න ඕනෑ. මේ යන්නෙ අපේ රට විනාශ කිරීමේ ක්‍රියාවලියයි. ඒ සඳහා තමන්ගේ ගජ මිත්‍රයන් අදාළ තැන්වල වාඩි කරගැනීමයි. ඒ නිසා ආර්ථික වගේම දේශපාලන වෙනසක් සඳහා ජනතාව වෙනස් වෙමු කියලා අපි ආරාධනා කරනවා.”

  • කබ්රාල්ගේ පත්වීමට එරෙහිව රජිත කීර්ති අභියාචනාධිකරණයට යයි

    කබ්රාල්ගේ පත්වීමට එරෙහිව රජිත කීර්ති අභියාචනාධිකරණයට යයි

     

    දූෂණ චෝදනා එල්ලවී තිබෙන අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීම වළක්වාලමින් මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

    හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මෙම පෙත්සම අද දහවල් අභියාචනාධිකරණය වෙත විද්යුත් තැපෑල මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත.

    ඒ සමඟම මෝසමක් ඉදිරිපත් කරමින් මෙම අභියාචනය සැප්තැම්බර් 15වෙනි දින විභාගයට ගන්නා ලෙස ද ඉල්ලා ඇත.

    බැඳුම්කර, සේවක අර්ථසාධක අරමුදල් වංචාකල ලබැඳියාවන් අතර ගැටුම් සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩමූස් ආඥාවක් (Writ of Mandamus) ලබා ගැනීම සඳහා අභියාචානාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම

    උක්ත කරුණ සම්බන්ධයෙන් වන මෝසම සහ පෙත්සම අද දහවල් අධියාචනාධිකරණයේ කාර්යාලය වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කරනු ලැබීය. මෝසම මගින් හෙට (සැප්. 15) දින මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙස ඉල්ලා ඇත.

    ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තා ගණනාවකට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉතිරිපත් කර ඇත.  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවේ.  මහ බැංකුවේ සිදුව ඇති මහ පරිමාන දුෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර එයට සම්බන්ධ පාර්ශවයන්ට නඩු පැවරීම සිදු කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලයි.

    දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ අභියාචනාධිකරණයේ නඩු පැවරීම සිදු කටයුතු කර ඇත.  

    ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට මැන්ඩමූස් ආඥාවක් (Writ of Mandamus) නිකුත් කරන ලෙස ද, හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම මගින් ඉල්ලා ඇත.

    වොහාරික විගණන වාර්තාවේ අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද,

    මුදල් පනතේ 12 වගන්තිය අනුව, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීම වලක්වන ලෙස ද,

    අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි වෙනස් කිරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බැවින් අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධූරය සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, පෙත්සම මගින් ඉල්ලා ඇත.

    දකුණ, මධ්‍ය හා ඌව පළාත් හි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමින් දැක්වෙන්නේ 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුල මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බවයි. 

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කල බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇත.

    වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක විය යුතු බවත්,  ඔහු නැවත මහ බැංකු අධිපති ධූරයට පත් වන්නේ නම් මෙම සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වලක්වාල ලෙස ද, පෙත්සමින් ඉල්ලා ඇත.

    නීතිඥ සමාගමේ උපදෙස් පරිදි  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න,  ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇත. 

  • ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි – තීරණාත්මක නඩු තීන්දුවක්

    ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි – තීරණාත්මක නඩු තීන්දුවක්

    ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය.

    ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

    ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී.

    මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇත. යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ   මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇත.

    එමෙන්ම මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙනි.

  • Covid- 19 සමයේ ‘කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට‘ කිහිළිකරු ප‍්‍රමාණවත් නැත

    Covid- 19 සමයේ ‘කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට‘ කිහිළිකරු ප‍්‍රමාණවත් නැත

    හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය.

    නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී ඇති අතර ඉන් සමහරකට කම්හල්වල සාමාජිකත්වයක් හෝ ඇත්තේ නැත. වසංගතය හමුවේ බොහෝ කලාපීය සේවක සේවිකාවන්ද මෙවැනි අසීරුකම් වලට හා ජීවිත තර්ජන වලට මුහුණ දෙන හෙයින් මේ කතා කලාපීය විරෝධතා වලටද ඇතුළුව ඇත.

    තමන් වෙත ආකර්ශනයක් ලබා ගැනුමට ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සංගම්වලට පරිබාහිර වූ මේ මෑත කාලීන ‘‘අයිතිවාසිකම් සඳහාවූ ක‍්‍රියාකාරිකයින්’’ ගැටළු විශාල කර පුම්බා දැක්වීමට පෙළඹී තිබේ. වරක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් කොවිඞ්-19 ආසාදනය වූ පිරිස 5,000 ක් යැයි දක්වන ලදී. මේ අතර හාම්පුතුන් පවසන්නේ පළමු එන්නත් මාත‍්‍රාව සේවකයින්ගෙන් සියයට 90 ට හා මාත‍්‍රා දෙකම සේවකයින්ගෙන් සියයට 74 ට ලබා දී ඇති බවය. නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත‍්‍රය පිළිබඳව උපුටා දක්වන දත්ත හා සංඛ්‍යා සැම විටම නිශ්චිත නොවන දත්ත හා සංඛ්‍යා ය. ඒවා තීන්දු වන්නේ කියන තැනැත්තා කවරෙක්ද හා කවර අරමුණක් සඳහා පවසන්නේද යන්න අනුවය.

    ඇඟළුම් අංශයේ රැුකියා නියුක්තිය ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායෙන් සියයට 15 ක් බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන අතර කිසිදු නිශ්චිත සංඛ්‍යාවක් නොදක්වයි. ‘‘ශ‍්‍රම බලකාය’’ ලෙස ඇති සඳහනට කිසිදු පැහැදිලි කිරීමක් නැත. 2019 වර්ෂයේදී ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු සමීක්ෂණයෙහි දක්වා ඇති නාගරික මෙන්ම ග‍්‍රාමීය ක්ෂේත‍්‍ර තුළ වයස අවුරුදු 15 ට වැඩි රැකියා නියුක්ත සංඛ්‍යාව ශ‍්‍රම බලකාය ලෙස ගතහොත්, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ රැකියා නියුක්තිය මිලියන 1.23 ක් වනු ඇත. එහෙත් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF පවසන්නේ ඇගළුම් ක්ෂේත‍්‍රයෙහි ඍජු රැකියා 300,000 ක් හා වක‍්‍ර රැුකියා 600,000 ක් ඇති බවය. එලෙස මෙම සංඛ්‍යා සැමවිටම පරස්පර වන අතර කිසිදු විටක පරිපූර්ණ හා නිරවද්‍ය නොවේ.

    කටුනායකින් එපිට වසංගතය

    කෝවිඞ්-19 වසංගතයේ තර්ජනය සංඛ්‍යා හා දත්තවලට එපිටින් කටුනායක හා ඇඟලූම්වලින් ඔබ්බටද ගිය කතාවකි. කෝවිඞ්-19 වසංගතය සෑම දිස්ත‍්‍රික්කයක්ම වෙලාගෙන සිටින තත්ත්වයක් තුළ, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙන්ම ඉන් පරිබාහිරව ඇති කම්හල්වල සියලූ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාවටද තර්ජනයක්ව පවතී. මෙම තුන්වන රැුල්ල තුළ 2021 සැප්තැම්බර් 05 වන දින වන විට මන්නාරම (1,357, කිලිනොච්චිය (4,636, මුලතිවු (1,284, කල්මුනේ(2,782 හා මඩකලපුව (6,155* වැනි දුරබැහැර දිස්ත‍්‍රික්ක වලින් පවා සැලකිය යුතු ආසාදනයන් වාර්තා වී ඇත.

    කෝවිඞ්-19 වයිරසයේ පළමු බරපතල ව්‍යාප්තිය ආරම්භ වූයේ කටුනායක කම්හල් සේවකයින් අතරින් නොවේ. එය 2020 ඔක්තෝම්බර මුල මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් වාර්තා වූ අතර, එතැන් සිට කටුනායකින් ඔබ්බෙහි බොහෝ දුර පළාත් වෙත ගමන් කර තිබේ. පානදුර, සීතාවක, බිංගිරිය, කොග්ගල, තුල්හිරිය හා හසලක කම්හල් ගණනාවක තුන්වන රැුල්ලෙහි ආසාදන වාර්තා වී තිබේ.

    මෙම වර්ෂයේ මැයි මාසයේදී, හොංකොං හි සුප‍්‍රකට ඇඟලූම් හා රෙදිපිළි සමාගමකට අයත් කම්හලක් වන, 1,500 ක් සේවයේ යොදවා ඇති එස්කුවෙල් කොග්ගල කම්හලේ කම්හල් කළමනාකාරවරයා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් 2021 මැයි 31 වන දින දක්වා දින 10 කට රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් විසින් නියෝග කරන ලදී. එම කළමනාකාරවරයා ආසාදිත සේවකයින්ගේ සමීපතම ආශ‍්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා නොදුන් බවත්, ලබා දී ඇති උපදෙස්වලට පටහැනිව සේවාමුර මත කම්හල පවත්වා ගෙන ගිය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු (PHIs අධිකරණයට පැවසූහ.

    මේ දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්හල් කළමනාකාරවරයකුට අධිචෝදනා පැවරූ ප‍්‍රථම හා එකම අවස්ථාව මෙය වුවද, එබඳු උල්ලංඝණ දුර්ලභ නොවේ. සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින්ගේ අවධානයට හසු නොවන නමුත් ජන ජීවිතයට බලපෑම් කෙරෙන ආසාදිතයින් ඉන්නා තවත් කම්හල් තිබිය යුතුය.

    අමතකව ගිය උතුරු-නැගෙනහිර කම්කරුවන්ගේ ඛේදනීය තත්ත්වය

    කෝවිඞ්-19 වසංගතය පිළිබඳව දකුණේ සිංහල ප‍්‍රදේශ තුළ පවා ජනමාධ්‍යයන්ට විමර්ශනාත්මක ආවරණයක් නොමැති අතර, කොළඹ සමාජ ක‍්‍රියාධරයින් වන්නිය හා නැගෙනහිර කම්හල්වල කොවිඞ්-19 ආශ‍්‍රිත ගැටළු සොයා බලන්නට වෙහෙසෙන බවක් නොපෙනේ. එනමුත් විශේෂයෙන්ම වන්නියේ හා නැගෙනහිර කම්හල්වල ශ‍්‍රම බලකාය තම කම්හලේ පවා කිසිදු ‘‘අන්තර්-සේවක සබඳතාවක්’’ ගොඩනගා ගැනීමට නොහැකිව, පරමාණුගතව ඉන්නා බව සටහන් කරනු කැමැත්තෙමි. අවුරුදු 25 ක දිග් ගැසුණු යුද්ධයෙන් බිඳ වැටුණු සංවිධිත සමාජයක ආරක්ෂක හමුදා සමග දෛනිකව පැවතීමට සිදුව ඇති රාජ්‍ය යාන්ත‍්‍රයට කම්කරු ගැටළු ගැන උනන්දුවක් ඇත්තේ නැත.

    ආයෝජකයින් යුද්ධයෙන් බිඳ වැටුණු සහ විනාශ වූ උතුරු නැගෙනහිර හුදකලා ප‍්‍රදේශයන්හි කර්මාන්ත ශාලා විවෘත කිරීමට උනන්දු වූ ප‍්‍රධාන හේතුවක් වන්නේ ඒ සමාජයෙන් අසංවිධානාත්මක ශ‍්‍රමිකයන් එකතුකර ගැනීමට ඇති හැකියාව විය. සිවිල් පරිපාලනය අඩාලව අකර්මන්‍යව ඇති සන්දර්භයක් තුළ යුද්ධයෙන් අසරණ වූවන්ට රැුකියා ලබා දීමට යැයි ආධාර ලබා දෙන ආයතන, මේ ප‍්‍රදේශවල ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම යටපත් කෙරෙන බව නොසළකා රැුකියා ගැන අවධාරණය කරති. මෙම මූලික අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සහතික කෙරෙන බව හෝ ඔවුන් සළකන්නේ නැත.

    සමස්ත වසංගත තත්ත්වය කෙටියෙන්

    සේවා ස්ථානයන්හි සමස්ත වසංගත චිත‍්‍රය පැහැදිලිකර ගැනීමට හා පහසුවෙන් තේරුම් ගැනීමට මෙහිදී කාරණා කිහිපයක් අවධාරණය කළ යුතුය. අවුරුද්දකුත් මාස 06 ක් මුළුල්ලේ හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් වැදගත් අවධානයක් යොමුකර නැත. ඔවුන්ගේ ප‍්‍රධාන අවශ්‍යතාව වූයේ කම්හල් ක‍්‍රියාත්මකව තබා ගැනීම පමණි. ඔවුහු කම්කරු අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද ‘‘කෝවිඞ්-19 ආශ‍්‍රිත කම්කරු ගැටළු පිළිබඳ ත්‍රෛපාර්ශවීය කාර්ය-සාධක බලකාය’’ විසින් 2020 මැයි හා දෙසැම්බර් මාසවලදී ගනු ලැබූ තීරණ දෙකක් නොසලකා හැරියහ. රැකියාවට කැඳවනු නොලබන සේවකයින් සඳහා සේවය නොකරන කාලයට අවම රුපියල් 14,500 ක මාසික වැටුපක් ලබා දීම ඉන් එකක් වූ අතර දෙවැන්න වූයේ සියලූ කම්හල්වල සේවක නියෝජනයක් සහිත ද්වීපාර්ශ්වික ‘‘කම්හල් සෞඛ්‍ය කමිටු’’ ( FHC සංවිධානය කිරීම හා ක‍්‍රියාත්මක කිරීමය.

    තමන්ට නව ඇණවුම් ලැබී නොමැති බවත්, මාස ගණනකට නව ඇණවුම් නොලැබීමට ඉඩ ඇති බවත්, එම නිසා සියලූම සේවකයින් සේවයේ යෙදවීමට තමන්ට නොහැකි බවත් 2020 මැයි මාසයේදී කම්හල් හිමියෝ පැවසූහ. ඒ සමග කෝවිඞ්-19 වසංගතය ආශ‍්‍රිත ගැටළු මත කිසිදු සේවකයකු ඉවත් නොකළ යුතුය යන මූලික ප‍්‍රතිපත්තිමය තීරණය ත්‍රෛපාර්ශවිය කාර්ය-සාධක බලකාය විසින් ගනු ලැබූ අතර, එය ආණ්ඩුව විසින් අනුමත කරන ලදී. ඒ අනුව, රැුකියාවට කැඳවනු නොලබන සේවකයින් සඳහා රුපියල් 14,500 ක අවම වැටුපක් ගෙවීමේ පොදු එකඟත්වයට සියල්ලන් එක`ගවූ අතර මාරුවෙන් මාරුවට සේවක කණ්ඩායම් යෙදවිය යුතුයැයි තීන්දු විය. මෙම තීන්දුවට අනුව සේවයේ යෙදවීම හා වැටුප් ගෙවීම පැහැර හැරි අවස්ථා තිබූ අතර, හාම්පුතාගේ වාසිය පිණිස හිතාමතා වැරදි අර්ථ-නිරූපන දීමද සිදුවිය.

    කම්හල් සෞඛ්‍ය කමිටු සම්බන්ධයෙන් ගත් කළ, කම්හල් හිමියෝ සේවක නියෝජනය සහිත කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවීමේ තීරණය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියහ. කම්කරු බලධාරීන්ද එම තීරණය නොපිළිපැදීම වසන් කිරීමට උත්සාහ කළහ. සියලූම කම්හල්වල ‘‘සේවා සෞඛ්‍ය හා ආරක්ෂක කමිටු’’ ඇති බවට ඔවුහු තර්ක කළහ. එම කමිටු බොහෝ සෙයින් අකර්මන්‍යව ඇති අතර, ඒවාට පැවරී තිබුණේ සේවා ස්ථානයන්හි හදිසි අනතුරු වැනි අවස්ථා වලට මැදිහත්වීම පමණි. කෝවිඞ්-19 වසංගතය සේවා සෞඛ්‍ය අන්තරායක් නොවන අතර, එය හදිසි ආපදාවක්ද නොවේ. කෝවිඞ්-19 වසංගතය සමග කම්හල් සෞඛ්‍ය කමිටු තිබීමේ අවශ්‍යතාව ඇති වන්නේ එනිසාය.

    අදාල අනෙක් කාරණා නම්, කිසිදු කම්හලක ‘‘සාමාජීය දුරස්ථකරනය’’ ප‍්‍රායෝගිකව පවත්වා ගත නොහැකි වීමය. කිසිදු කම්හලක් එවැනි වසංගත බලාපොරොත්තුවකින් සැලසුම් කරන ලද හා ඉදිකරන ලද කම්හල් ගොඩනැගිලි නොවේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව වායුසමනය ක‍්‍රියාවිරහිත කිරීමට නියමිත වූවත් රෙදි පිළි ගබඩාකර තිබියදී වායුසමනය කිරීම ක‍්‍රියාවිරහිත කිරීමට කිසිදු කම්හලකට නොහැකිය. අනෙකුත් බාධකය නම්, ඉතාමත් ප‍්‍රායෝගික වූ හේතුන් මත කිසිදු කම්හල් හිමියෙකුට සිය සමස්ත ශ‍්‍රම බලකායෙහි සේවකයනට වෙන වෙනම නවාතැන් පහසුකම් ලබා දීමේ හැකියාවක් නොමැත.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ‘‘අයිතිවාසිකම්’’ පාදක පිළිතුරු සඳහා ඇති අවශ්‍යතාව

    සංක්ෂිප්තව ගත් කල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO සියලූ මාර්ගෝපදේශ නාගරික මධ්‍යම පංතික නිවැසියන් සඳහා තීන්දු කරන ලද පියවර විනා, කම්හල් සේවකයින් සඳහා තීන්දු කළ පියවර නොවේ. කම්හල් සඳහා වන මාර්ගෝපදේශ සේවක සහභාගිත්වය ඇතිව යළි ප‍්‍රදේශගතව අදාලවන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සංශෝධනය කර ප‍්‍රකාශයට පත් කළ යුතු පියවර වන අතර, එය ද්වීපාර්ශවික කම්හල් සෞඛ්‍ය කමිටු සමගින් කළ හැකිව තිබුණි. එහෙත් හාම්පුතුන් බිය වන හා කම්කරු බලධාරීන් උකටලී වන ප‍්‍රධාන කාරණයක් ඇත. පළමු වරට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිහිටවූ දා සිට ගෙවුනු අවුරුදු 43 මුළුල්ලේ රට පුරා සේවක සේවිකාවනට වෘත්තීය සමිති ලෙස සංවිධානය වන්නට ඇති මූලික අයිතිය මර්දනය කරනු ලැබිණ. එය ‘කම්හල් සෞඛ්‍ය කමිටු’ මගින් අභියෝගයට ලක් විය හැකිය යන කාරණාවට හාම්පුතුන් බිය වන්නේය. ඔවුන් නොකියන කතාව වන්නේ ලාභ වැඩි කර ගැනීමට සංවිධානය නොවූනු ශ‍්‍රමිකයින් සූරාකන අයුරු සංවිධානයවූ ශ‍්‍රමිකයින් සූරා කෑමට නොහැකි බවය.

    සිංහල දකුණේ සහ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු-නැගෙනහිර දමිළ-මුස්ලිම් සේවක සේවිකාවන් සම්බන්ධ පොදු ගුණාකාරය වන්නේ වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමේ හා සාමූහිකව කේවෙල් කිරීමේ මූලික අයිතීන් සම්පූර්ණයෙන්ම යටපත් කර අහෝසිකර තිබීමය. එහි එකම වෙනස ඇත්තේ උතුරු-නැගෙනහිරට සාපේක්ෂව සිංහල දකුණ දැනට හමුදාකරණයට පිටතින් තිබීමය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ,,, වන පරිච්ෙඡ්දයෙහි 14(1(ඈ ව්‍යවස්ථාව මගින් මෙම අයිතිවාසිකම් සහතික කර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා 98 සම්මුති ශ‍්‍රී ලංකාණ්ඩුව විසින් 1972 හා 1995 වර්ෂයන්හිදී අත්සන් තබා අපරානුමත කර තිබියදී ඒවා සාම්ප‍්‍රදායික වතුකරයේ හැර, පෞද්ගලික අංශයේ සමස්ථ ශ‍්‍රම බලකායට නිර්දය ලෙස අහිමි කර ඇත. මෙම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු වෘත්තීය සමිතියක් හෝ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් පෙනී සිට ඒවා මර්දනය කිරීමට විරෝධය දක්වා නැත. නාගරික සිවිල් සමාජ කි‍්‍රයාකාරීහුද ‘‘කම්කරු අයිතිවාසිකම්’’තමන් පෙනී සිටිය යුතු මූලික අයිතිවාසිකම් යැයි නොපිළිගත්හ.

    සංවිධානය වීමට හා සාමූහිකව කේවෙල් කිරීමට ඇති අයිතිය කිසි විට හෑල්ලූ කළ නොහැකි මූලික අයිතිවාසිකමක් ලෙස නොපිළිගන්නේ නම් උතුරු-නැගෙනහිර, බටහිර හා දකුණ සියලූ සේවකයින්ගේ සේවා ස්ථානයේ ආරක්ෂාව, පරිසරය හා සෞඛ්‍ය හාම්පුතුන් විසින් කිසිදු හේතුවක් නිසා සුරක්ෂිත නොකරන බව යථාර්ථයකි. එවැනි විට කිසිදු කම්හල් සෞඛ්‍ය කමිටුවකට අවසර නොලැබෙනු ඇති අතර, කෝවිඞ්-19 ගැටළු පැවතීම හෝ වඩාත් අයහපත් වීම බලාපොරොත්තු විය යුත්තකි. එනිසා සේවා ස්ථානයන්හි සෞඛ්‍ය, ආරක්ෂාව සහ කොවිඞ්- 19 නිවාරණය සඳහා වූ ඉල්ලීම් වෘත්තීය සමිති හා සාමූහික කේවෙල් කිරීම් සඳහා වූ ඉල්ලීම සමග එකට මතු කළ යුතුව ඇත. එය සේවා ජීවිතය ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීම පිළිබඳ මෙතෙක් ආමන්ත‍්‍රණය නොකළ කතාවය.

    කුසල් පෙරේරා

  • කැබිනට් තීරණ ගැන කියන ‘විශේෂ මාධ්‍ය හමුව

    කැබිනට් තීරණ ගැන කියන ‘විශේෂ මාධ්‍ය හමුව

    රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද සහභාගී විය.

    ජනගහණයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවනි මාත්‍රාව එන්නත්කරණය කළ රාජ්‍යයක් ලෙස ලෝක සිතියමෙහි රාජ්‍යයන් ඉතාම අතලොස්ස අතරට එක්වීමට අප රටට හැකිවීම භාග්‍යයක් බවද, මෙම රාජ්‍ය පද්ධතිය තුළ කුඩා දූපත් රාජ්‍ය හැරුණු කොට ඉහළින් සිටිනුයේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල් බවත් මින් බහුතරය ජී7 (G7) කලාපයට අයත් රටවල් වන අතර එයින් රටවල් 4ක්ම එන්නත් නිපදවන රටවල් බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදුකරන්නේ නැහැ

    මේ අතර කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදු කර නැතැයි ද ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණයෙන් පැවසුවේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    රටේ මේ වනවිට පවතින තත්ත්වයක් යටතේ හදිසි නීතියෙහි වගන්ති දෙකක් පමණක් සංශෝධනය කරමින් ආහාර බෙදාදීමට අදාළව හමුදා පාර්ශ්වය සම්බන්ධ කරගෙන ඇති බවද, පුරවැසියන් විසින් මෙය තේරුම්ගත යුතු අතරම එන්නත්කරණ ක්‍රියාවලියේදී හමුදාවේ මැදිහත්වීම ධනාත්මකද, සෘණාත්මකද, ඔවුන්ගේ සේවය බැහැර කළ හැකිද යන්න සිතා බැලිය යුතු බවද, ආහාර බෙදාහැරීම සම්බන්ධයෙන්ද තත්ත්වය එලෙසම බවද අමාත්‍යවරයා කීවේය.

    හාල් සහ වී සම්බන්ධයෙන් ගැටලු මතුවූ අවස්ථාවේද හමුදාව සක්‍රීයව සම්බන්ධ වුණු බවද අප රට එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් එම සාමාජිකත්වය ලැබීම ගෞරවයක් ලෙස සළකන රාජ්‍යයක් බවද, එමෙන්ම එහි සමාරම්භක සාමාජිකයන් වන අප රට එයට ගෞරව කරන අතරම ඔවුන්ගේ නිරීක්ෂණ ප්‍රතික්ෂේප නොකර පිළිගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

    වසර 2030 දී විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන්

    වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට යෝජනා කරමින් විදුලිබල ඇමතිවරයා විසින් ඊයේ (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් ප්‍රතිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    කැබිනට් මණ්ඩලය ඉතාම ගෞරවයෙන් මෙම යෝජනාවන් අනුමත කළ බවද, ඒ අනූව වසර 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරණ තත්ත්වයට පත්කිරීම මෙරට සිදුවෙන ඉතාම වැදගත් සංසිද්ධියක් බවද අමාත්‍යවරයා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා විදේශ කටයුතු ඇමති විශේෂ ප්‍රකාශයක්

    එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව මෙම අවස්ථාවට එක්ව සිටි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සිය වාචික ප්‍රකාශනයේදී චෝදනාත්මකව අදහස් පළකළ බවට මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමේ දී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරායා මේ බව පැවසුවේය.