Blog

  • ගෑස් මිල ඉහළ දමන ලෙස තවත් ඉල්ලීමක්

    ගෑස් මිල ඉහළ දමන ලෙස තවත් ඉල්ලීමක්

    ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් රජයෙන් නව ඉල්ලීම් කර ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම ගැන කරුණු දක්වමින් ගෑස් සමාගම් විසින් ඉල්ලීම ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    “දේශීය වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බව අමාත්‍යාංශය පිළිගන්නා නමුත් එය පෙර තරම් ප්‍රබල එකක් නොවෙයි. කෙසේ වෙතත්, අමාත්‍යාංශය මේ වන විට ගෑස් සමාගම් සමඟ මිල ගණන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා‘ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    ආණ්ඩුව සහ ඇමතිවරුන් ‘ගෑස් සමාගම්‘ යැයි කියමින් මෙරට ප්‍රමුඛතම හා ගෑස් වෙළෙදපොළේ ඉහළම කොටසකට හිමිකම් කියන ලිට්රෝ සමාගම ගැන සදහන් කළ ද එය රජය සතු සමාගමක් වන අතර ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙදපොළ තුළ සිටින අනෙක් ‘එකම‘ ගෑස් සමාගම වේ.

  • කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකිණීම වහාම නැවැත්විය යුතුයි  – අනුර කුමාර

    කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකිණීම වහාම නැවැත්විය යුතුයි – අනුර කුමාර

    පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

    “රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. මේ පාලනය ගොඩනැගීමේ ප්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුව ජාතික දේපළ විකිණීමට විරුද්ධව විශාල මතයක් ගොඩනැගී තිබුණා. ඒ මතය කොල්ලකමින් වර්තමාන පාලනය පිහිටවූවා. හම්බන්තොට වරාය විකිණීමේදී අදාළ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඊට විරුද්ධව මේ කිසි කෙනෙක් ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ සිට රාජපක්‍ෂවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටියත් වරාය චීනයට ලබාදීම හෝ බදු සහන ලබාදීමේ ගැසට් නිවේදනයට විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. එදත් එම විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කළේ අපේ මන්ත්‍රී කණ්ඩායම විතරයි. එදත් අපි පෙන්වා දුන්නේ මොවුන් ව්‍යාජ දේශප්‍රේමය තවරා ගත් අය බවයි. ඔවුන් ගෙන ගියේ බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් තියෙන ක්‍රියාකලාපයක්. වර්තමාන බලය පිහිටුවාගෙන අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකිණීමට සූදානම් වෙනවා. ඒ වගේම විකුණා තිබෙනවා.

    කොවිඞ් වසංගතය හමුවේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයන් ගැන සංවාදයක් කිරීමේ හැකියාව රට තුළ නැති තත්වයක් තුළ පවා ආණ්ඩුව කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. පසුගියදා කැබිනට් මණ්ඩලය සූම් තාක්‍ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා. විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා. ආර්ථික ගැටලු, කොවිඞ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්‍ෂා කරද්දී ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරය පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා. ඇමතිවරුන්ට කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.

    මීට පෙර 2021.07.31 දින වරාය ඇමතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී.අයි.සී.ටී. සමාගමට පවරා දෙන්නකැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා. අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ  නාවික සේවා සැපයුම් ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා. පසුගිය වසර දෙකේ යම් ප්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒවෙනුවෙන් අක්කරයක් බදුදී තිබෙන්නේ මාසයකට රු. ලක්‍ෂ 8.5ක් වැනි මුදලකට. අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්‍ෂ 22කට. නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්‍ෂ අට හමාරක කුලියකට. තවත් ඉඩමක් අක්කර 1.25ක් පමණ දී තිබෙන්නේ ලක්‍ෂ 135ක් වූ මාසික කුලියකට. ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා.

    ඩොලර් මිලියන 400ක් උපයා ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය සහ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය විකුණා දැමීම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව අප්‍රේල් 31වැනිදා පත්‍රිකාවක් සම්මත කරගත්තා. කොම්පඤ්ඤ වීදියේගුවන් හමුදාවට අයත් ඉඩමක්, අක්කර 42ක් වූ වැලිකඩ බන්ධනාගාර ඉඩම විකුණා දැමීමට සැලසුම්කර තිබෙනවා. දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියෙකුගේ භූමිකාව අද මේ පාලකයන් ප්‍රවේශ වී තිබෙනවා. හැබැයි ආණ්ඩුව බලයට ආවේ විකිණූ සම්පත් ආපහු ගන්නවා කියලා. බහුතර ජනතාවක් ජාතික සම්පත් ආරක්‍ෂා කරගන්න පරමාර්ථයෙන් ඉන්නවා. මේ පාලකයෝ බලයට ආවේඅන්න ඒ ජනතාවගේ ලෙංගතුභාවය අඩු මිලට කොල්ලකමිනුයි. කොවිඞ් වසංගත තත්වය හමුවේ කවුරුත් තිගැස්මට පත්වෙලා ඉන්න වෙලාවක යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා. රාජපක්‍ෂ පවුලට අයිති දේපළ විකුණනවා නම් අපි කවුරුත් බාධා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට හෝ ඔහුගේ පාලනයට රටේ සම්පත් පවරා දී නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි. මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තියෙන්නේ, දරු මුණුබුරන් ඉන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල. එවැනි පාලකයෝ මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශ සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා. මේ අයට අපේ රට හෝ රටේ පුරවැසියන් පිළිබඳව ආදරයක් තිබෙනවා නම් වෙන රටක පදිංචි වෙන්නේ නැහැ. මේ අය ඇවිත් ඉන්නේ බිස්නස් එකකට බවපසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනතාවට අවධාරණය කළා. මොවුන් විවිධ විදේශ සමාගම්වලට අපේ රටේ දේපළ පවරා දෙන්න බලයට පත්වුණු කොන්ත්‍රාත්කරුවන්. රටේ පාලකයන් නෙවෙයි.

    අපේ රටේ මුල් පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් වාඩිවෙලා ඉන්නේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියක ඉන්න අය. මේ තත්වය පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා. කොවිඞ් තත්වය හමුවේ මේ සම්බන්ධයෙන් ජනතාව සමග කරුණු පැහැදිලි කරන්න බාධා වී තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ තත්වය තුළ රටට විනාශකාරී ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මේ ක්‍රියාදාමයට එරෙහිව පොදු ජනතාව කරළියට පැමිණිය යුතුයි. පසුගිය 06වැනිදා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධ අඩංගුව සූම් තාක්‍ෂණය මගින් වාචිකව ඉදිරිපත් කර කෙරවලපිටිය බලාගාරයේ අයිතිය ඇමරිකානු සමාගමකට ලබාදීමට ගත් තීන්දුව වහාම හකුළා ගත යුතුයි. මෙවැනි කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව ලංකාවේ පළවැනි වතාවට තීන්දු අරන් තිබෙනවා. රටට, ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා. රටට ඉදිරිපත් කරන්න බැරිනම්, ජනතාවට ඉදිරිපත් කරන්න බැරිනම්, විවෘතව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න බැරිනම් ඒ හැම දේකින්ම කියවෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ තිබෙන හොරකමයි. කෙරවලපිටිය බලාගාරය, වරාය ඉඩම්, අපේ  රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්‍ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්‍රයත්නය පරාජය කළ යුතුයි. සියලු දෙනාට එය වෙනුවෙන් පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

    “රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මෑත කාලයේ ඉවත් වුණා. වෘක්‍ෂලතා හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ ඉවත් වුණා. යම් පුද්ගලයින් අලි ලබාගැනීමට දරන ප්‍රයත්නය දරා ගැනීමට නොහැකි නිසා ඉවත් වන බවට ඇය සටහනක් තබා තිබෙනවා. අගෝස්තු 19වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව අලි හිමියන් අලුතින් ලියාපදිංචි කරන්න කටයුතු කර තිබෙනවා. ඒ අතර අධිකරණයේ විභාග වෙමින් තිබුණු නඩුවක අලින් නැවත චූදිතයන්ට භාර දෙන්න තීරණය කරනවා. ඒ අතර මිරිහානේ පදිංචි එන්.ජී. රාජපක්‍ෂ ඒ කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ අලියත් ඉන්නවා. සන්නසකින් ඔහුට ලබාදී තිබුණු මේ අලියා නඩත්තු කරගන්න බැහැ කියලා 2015දී සත්වෝද්‍යානයට බාර දුන්නා. දැන් මේ කරන්නේ තමන්ගෙ අලියා ලබාගැනීමට නීති හැදීමයි. ඔය පවුලම එහෙමයි. එක රටක්-එක නීතියක් හදන්න ආවේ. කොවිඞ් මර්දන කමිටුවල හිටි හසල අත්දැකීමක් තිබුණු විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් ගිය සතියේ ඉවත් වුණා. මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් වීමේදී කරුණු ගණනාවක් කියනවා. ඔහු කියූ කරුණුවලට වඩා නොකියූ කරුණු වැඩි බව අපි හිතනවා. අද තනතුරු දැරිය හැකි වෙන්නේ, ආණ්ඩුවේ පාලකයන් ගන්නා වැරදි තීන්දුවලට පවන් සලන පුද්ගයන්ට විතරයි. මහබැංකුව ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. නමුත් තමුන්ගේ තක්කඩි වුවමනාවන් ඉටුකරගන්න බැරි වෙනකොට එහි ප්‍රධානීන්ට රැඳී ඉන්න නොහැකි තත්වයක් ඇති කරන බවයි මෙයින් පෙනෙන්නේ.

    අපේ රටේ ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු වශයෙන් ධූරාවලියක් තිබෙනවා. එයින් පිට කැබිනට් බලතල දෙන්න කිසි සේත්ම බැහැ. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත් කර යවන විටත් කැබිනට් බලතල සහිතව කියලා ප්‍රචාරයක් යැවුවා. මහබැංකු අධිපති වශයෙන් අජිත් නිවාඞ් කබ්රාල් පත්වන විටත් එවැනිම ප්‍රචාරයක් යවනවා. ඔවුන්ට තිබෙන මානසික ආබාධයක් පිළිබඳවයි මේ මගින් පෙන්වන්නේ. මහබැංකු අධිපති හැටියට ව්‍යවස්ථාපිතව පැවරුණු කාර්යභාරයක් තිබෙනවා. එයින් පිට දේවල් කතා කරන්නේ මානසික දුප්පපත්භාවය නිසා. 2008-2012 කාලයේදී කබ්රාල් මහ බැංකු අධිපතිවරයා යටතේ බිලියන 15කට වඩා බැඳුම්කර වංචාවන් සිදුවී ඇති බව වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙනවා. හෙජින් ගිවිසුම, ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම, අද අපේ රටේ ආර්ථීකය හිරවීමට ලක්කළ විශාලම උත්තේජනය ඇතිකළේ මේ කණ්ඩායමයි. මෙතෙක් නාමිකව හෝ මහබැංකුව ස්වාධීන ආයතනයක් හැටියට පැවතුණා. නමුත් පළවැනි වතාවට දේශපාලකයෙක් මහ බැංකුවේ මුල් පුටුවට පත්වෙනවා. ලෝකය අපේ රට ගැන කොහොම හිතයිද? විදේශ වාණිජ වෙළඳපොළවලින් 2007 සිට ලබාගත් ණයවල අද අපේ රට හිරවී තිබෙනවා.

    ජනතා විමුක්ති පෙරමුණ කරුණු සහිතව පෙන්වා දුන් අනාගත පුරෝකතන ගැන ඇහුම් කන් දුන්නා නම් අපේ රට මේ තත්වයට අද පත්වෙන්නේ නැහැ. රට විශාල ණය කන්දක ගොඩගැහෙනකොට පාලකයන්ගේ ගිණුම් ඒ වගේම තර වුණා. රටේ කොන්ක්‍රිට් වනාන්තර ගොඩනැගෙනකොට රටේ පාලකයන්ගේ දේපළත් ගොඩනැගුණා. අද අපේ රට රු. ටි්‍රලියන 16.3ක ණය කන්දක ඉන්නේ. නමුත් ඊට අදාල වත්කම් රට තුළ නිර්මාණය වුණේ නැහැ. රටේ පාලකයන් සහ ඔවුන් වටේ ඉන්න නිලධාරී කණ්ඩයමක් අත වත්කම් සහ දේපළ තිබෙනවා. මේවා කළු දේපළ. බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමති වෙලා සම්මත කළ පළමු පනත කළු දේපළ සුදු කරන්නයි. ආර්ථිකය විනාශකිරීමේ දොරටු විවෘත කරනකොට එදා ජවිපෙ අපි කී දේ ඇහුවා නම්, ජනතාව එයට සවස් දුන්නා නම් අපේ රටත් අනාගත පරම්පරාවත් මෙවැනි ව්‍යසනයකට ගොදුරු වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන කෙනාගේ මොළය පරීක්‍ෂා කරගන්න ඕනෑ. ඔය කණ්ඩායම් දෙකම හැමවෙලාවෙම කළේ පවතින පාලනය යම් අසාර්ථකත්වයකට පත්වීමේදී මෝහනයට පත්වීමයි. උද්දාමයට පත්වීමයි. රට හෝ ආර්ථිකය හෝ  ජනතාව ගැන හැඟීමකින් කරන ප්‍රකාශ නෙවෙයි ඔය. පසුගිය මහා මැතිවරණය පැවත්වීම කල් දැම්මේ දවසකට සීයක් විතර ආසාදිතයින් වාර්තා වෙද්දීයි. දවසකට දෙතුන් දෙනෙක් මිය යාම් වාර්තා වෙද්දී. අද දහස් ගණනක් ආසාදිතයින් වාර්තා වෙන, සිය ගණනක් මිය යන තත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලන අයගේ මොළය පරීක්‍ෂා කරන්න ඕනෑ නැද්ද? මේ වෙලාවේ අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ විනාශය අවම කර ගන්න. ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කරන්න ඕනෑ. එහෙම නොකර ලාභ ලෙස බලය ලබාගන්න හිතන අයගේ අදහස් ගැන අපිට වෙන කියන්න දෙයක් නැහැ.”

  • ඉන්දියාව ගුවන් යානා කර්මාන්තයට පිවිසීමට සැරසෙයි !

    ඉන්දියාව ගුවන් යානා කර්මාන්තයට පිවිසීමට සැරසෙයි !

    ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට ඉදිරි මාස 4 තුළදී හැකිවන බව වන බව India News Network වාර්තා කරයි.

    බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය  (National Aerospace Laboratories) යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (Council of Scientific and Industrial Researches) මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිශ්පාදනය කොට එහි සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත. එම ගුවන් යානය බැංගලෝරයේ පිහිටි හල් (HAL) ගුවන් තොටුපලේ සිට සැප්තැම්බර් මස 03 වන දින (සිකුරාදා) පස්වරු 2.09 ට ගුවන් ගත වී අඩි 4,000 ක උන්නතාංශයක පියාසර කළ අතර විනාඩි 20 කට පමණ පසු ගොඩබෑමට පෙර නොට් Knot 80 ක වේගයක් ලබා ගත් බව එහි සඳහන් වේ.

    එම ගුවන් යානයේ විශේෂාංග ලෙස ඉන්දියාවේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ එහි ඉතා කාර්යක්‍ෂම ඩිජිටල් පාලිත එන්ජිමක්, කැබින් පහසුකම සහිත වීදුරු නියමු කුටියක්, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ෆ්ලැප් (Flap), දිගු විඳදරාගැනීම (Long Endurance), අඩු අත්පත් කර ගැනීම (Low acquisition) සහ අඩු මෙහෙයුම් පිරිවැය (Low operating cost) යන පහසුකම් ඇති බවයි.

    තවද, එම ගුවන් යානයේ ඉහත සදහන් සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් කවුන්සිලය් වෙත විවිධ පියාඹන සමාජ (Flying Clubs) වලින් අරාධනා ලිපි 72 ක් ලැබී ඇති බවද, එම ගුවන් යානය සේවයට ඇතුළත් කිරීම සදහා ඉදිරි මාස 4 තුළ අදාල සහතිකය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව  කරන බව අමාත්‍යාංශය පවසයි.

    මෙම ගුවන් යානයේ පර්යේෂණ ගමන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DG-CA), මිලිටරි ගුවන් යෝග්‍යතාවය සහ සහතික කිරීමේ මධ්‍යස්ථානය (CEMILAC), කවුන්සිලයේ හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් විසින් දුරස්ථ පාලනයෙන් අධීක්ෂණය කරන ලදී.එහිදී ගුවන් යානය පියාසර කළ කපිතාන් අමිත් දහියා (Capt. Amith Dahiya) සිය සතුට පළ කර ඇති අතර ගුවන් ගමනේ ප්‍රමිතීන් සියල්ල සාමාන්‍ය පරිදි පැවති සදහන් කර ඇත.

    මෙම ගුවන් යානයේ සාර්තක පියාසැරිය වෙනුවෙන් විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ දෙපාර්තමේන්තුව (Department of Scientific and Industrial Research)  හි ලේකම් සහ  විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සභාවේ(Council of Scientific and Industrial Research) හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙඛර් සී මැන්ඩේ (Dr. Shekhar C Mande) ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරයෙ හි කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ එම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලයත්, ගුවන් පරීක්‍ෂණ කාර්ය මණ්ඩලයත්, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ජනරාල්(Directorate General of Civil Aviation) සහ ගුවන් යානා සහ පද්ධති පරීක්‍ෂා කිරීමේ ස්ථාපිත කිරීම අංශයේත්(Aircraft and Systems Testing Establishment) උත්සාහය නිසා බවයි.

     

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගුවන් යානයේ සේවා සැපයීම වෙනුවෙන් විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය දැනටමත් පෞද්ගලික හවුල්කරුවෙකු හඳුනාගෙන ඇති අතර නිෂ්පාදන වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ආරම්භ කරන බවයි.

     

    India News Network ඇසුරිනි.

  • ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021

    ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021

    අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission- AIM ) (ඒඅයිඑම්) (AIM), නීතී ආයෝගය(NITI Aayog) යනු ඉන්දියාවේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ ඉන්දීය රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන අතර එය 2016 දී පිහිටුවන ලදී. මේ අරමුණින් AIM මගින් පාසල් තුළ ගැටලු විසඳන නව්‍ය මානසිකත්වයක් ඇති කිරීම සහ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, පෞද්ගලික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර  යන අංශයන්හි ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ඇති කිරීම සහතික කිරීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ගෙන ඇත. AIM හි සියලුම මුලපිරීම් දැනට තත්‍ය කාලීන(Real time) කළමනාකරණ තොරතුරු පද්ධති(MIS) සහ ගතික උපකරණ පුවරු භාවිතයෙන් ක්‍රමානුකූලව අධීක්ෂණය කෙරේ.

    ඉන්දීය පාසල් සිසුන් අතර අභ්‍යවකාශ අංශය සඳහා නවෝත්පාදන අදහස් ප්‍රවර්‍ධනය කිරීමේ අරමුණින් “ඒටීඑල්(ATL) අභ්‍යවකාශ අභියෝගය 2021” දියත් කළේය. මෙය සංවිධානය කරනුයේ අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission) මගිනි.

    එහි අරමුණ වන්නේ 6 සිට 12 වසර දක්වා පන්ති වල සිසුන්ට නවෝත්පාදනයන් සඳහා විවෘත වේදිකාවක් ලබා දීම සහතික කිරීමයි.එමගින් ඩිජිටල් යුගයේ අභ්‍යවකාශ තාක්‍ෂණ ගැටලු විසඳීමට ඔවුන්ට හැකි වේ. මෙම අභියෝගය සැලසුම් කර ඇත්තේ ඉන්දියාව පුරා සිටින සියලුම පාසල් සිසුන්, උපදේශකයින් සහ ගුරුවරුන් වෙනුවෙනි.

    මෙම වැඩසටහන දියත් කරන ලද්දේ අතල් නවෝත්පාදන මෙහෙවර(AIM) සමඟ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය-Indian Space Research Organisation (ISRO) සහ මධ්‍යම ද්විතීයික අධ්‍යාපන මණ්ඩලය-Central Board of Secondary Education (CBSE) සහයෝගීතාවයෙනි

    ඒටීඑල්(ATL) අභ්‍යවකාශ අභියෝගය-2021 අභ්‍යාවකාශ විද්‍යාවේ හා තාක්‍ෂණයේ දායකත්‍වය සැමරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් 4 සිට 10 දක්වා ගෝලීය මට්ටමින් පැවැත්වෙන ලෝක අභ්‍යවකාශ සතිය හා සමගාමීව පැවැත්විණ.

    තරග කොන්දේසි වුයේ සිසුන්ට ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සාදා ඒ හා සමාන තාක්‍ෂණයක් ද අනුගමනය කළ හැකිය යන්නයි. සාමාජිකයින් තිදෙනෙකු දක්වා කණ්ඩායමක් තුළ විසඳුමක් හෝ නවෝත්පාදනයක් සිසුන්ට තම නවෝත්පාදනයන ලෙස ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබිණි. තරග අංශය වූයේ අභ්‍යවකාශ ගවේශන විසදුම්ය මෙය අංශ හතරකට එනම්, අභ්‍යවකාශය ගවේෂණය, අභ්‍යවකාශයට ප්‍රවේශවීම, අවකාශයේ රඳවා තැබීම, අභ්‍යවකාශය ප්‍රයෝජනයට ගැනීම වශයෙන් වෙන් කොට තිබිණ

    අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission)හි අධ්‍යක්‍ෂක චින්තාන් වෛශ්ණව් (Chintan Vaishnav)ගේ   මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් India News Network වාර්තාකොට තිබුනේ, අභ්‍යවකාශ ගවේෂණයට උපකරණ නිර්මාණය කිරීමට තරුණ පාසල් සිසුන් පෙළඹවීමෙන් සිසුන් අතර නවෝත්පාදන කුසලතා වර්ධනය කිරීම මෙම අභියෝගයේ අරමුණ බවයි. අභ්‍යාවකාශ ගවේෂණයට උපකරණ නිර්මාණය කිරීම හා අභ්‍යවකාශ විෂය පිළිබද උනන්දුවක් දක්වන පාර්ශවයන් ගේ  දැනුම වර්ධනයට  මෙම වැඩසටහන මහත් පිටිවහලක් වන බව   එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    India News Network ඇසුරිනි.

  • මහ කන්නයට කෘෂි රසායන නැත්තම් රටම විනාශයි

    මහ කන්නයට කෘෂි රසායන නැත්තම් රටම විනාශයි

    මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙන් විමසමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත.

    මහ කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති 3 ක් තිබිය දී, වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතැයි ලිපිය මගින් පවසන කවිරත්න මන්ත්‍රීවරිය රජයේ කෘෂි රසායන ප්‍රතිපත්තිය ගොවියාට පැහැදිලි කළ යුතුව ඇතැයි පවසයි.

    එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ,

    ‘මහ කන්නයේ කුඹුරු සහ හේන් ගොවිතැන සඳහා බිම සකස් කිරීමට වල් නාශක අත්‍යවශ්‍ය වේ.  වල් නාශක යොදා පඳුරු විනාශ කර හේන් ගිණි තැබීම වගා බිම් සැකසීමේ මුල්ම පියවරයි.  ලංකාවේ සෑම ප්‍රදේශයකම ඇති වල් නාශක නැගෙනහිරට ප්‍රවාහනය කරති.  බහුදින ධීවර යාත්‍රා මගින් ඉන්දියාවේ සිට රැගෙන එන නීති විරෝධී වල් නාශක මන්නාර, දකුණ හා නැගෙනහිර මුහුදු කලාපයෙන් රටට ඇතුළුවන බවයි.

    තවද, බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වී වගාව පිදුරු බවට පත්ව ගොවීන් කුඹුරු ගිණි තබන්නේ කෘමි හානි නිසා බව පවසන ලිපිය, දිලීර නාශක නොමැතිවීම නිසා නිරිතදිග මෝසම් සමයේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල තේ දළු අස්වැන්න පහත වැටී ඇත. වැසි සමයේ දින 4-5 ක අඛණ්ඩ වැස්සකට, මීදුම හා තෙතමනය අධික කාලගුණයක දිලීර මර්ධනයට ‘දිලීර නාශක‘ අතශ්‍යවශ්‍ය වන බව අවධාරණය කරන කවිරත්න මහත්මිය, කෙටි කාලීන වී වර්ග සිටවීම හෝ වැපිරීමෙන් පළමු දින 3 සිට සති 4 දක්වා වල් මර්ධනය අනිවාර්ය වේ.  රජරට ගොයම් ගස් බොල් වී – පිදුරු බවට පත්වන බව පවසයි.

    කෘෂි රසායන නොමැතිව වානිජ්‍ය කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බව කෘෂි විද්‍යා පිඨයක මහාචාර්යවරයෙකුවන ද ආමාත්‍යාංශ ලේකම්වරයා, කෘෂි රසායන නොමැතිවීම දින දෙක තුනකින් සම්පූර්ණ වගාබිමක් විනාශ කිරීමට හේතුවන බව නොතකා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි.

    කෘෂි රසායන අලෙවිය තනි සමාගම් ඒකාධිකාරය

    පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාව අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂි රසායන ආනයනයේ ඒකාධිකාරය තනි සමාගමකට පැවරීමට උත්සහ දරන බව පැහැදිලිය. සීනී ආනයනයේ යෙදුණු සමාගම් 67 ක් වෙනුවට සමාගම් 12 කට ආනයනය සීමා කිරීම මගින් ඇති වී ඇති තත්වය රටම දනී.  කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සකස් කළ කැබිනට් පත්‍රිකාව මගින් කෘෂිරසායන ආනයනයේ 87% ක ඒකාධිකාරයක් සති සමාගමක් වෙත ලබාදීමට යෝජනා කර තිබු බව ලිපිය මගින් විවේචනය කර ඇත.

    1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව, ලංකාවේ පළමු වරට කෘෂි රසායන ආනයන ඒකාධිකාරය තනි සමාගමකට ලබාදීමටත්, ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ වස වෙළෙඳාම‘ ප්‍රවර්ධනයට කෘෂිකර්ම අමාත්‍යාංංශය කටයුතු කරන බව ලිපිය දක්වයි.

    අධික විෂ සහිත කෘෂි රසායන හොර පාරේ ආනයනයට ඩොලර් වෙනුවට මේ රටේ රත්තරං ටික හොර පාරේ ඉන්දියාවට පටවනු ලබයි.  කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික කෘෂිකර්මය කියා ලේබල් ගසමින් අධි විෂ කෘෂි රසායන රටට ගෙන්වීමට අවශ්‍ය පදනම සකස් කර ඇත.

    කවිරත්න මහත්මිය ලේකම්වරයා වෙත අවධාරණය කර ඇත්තේ,

    කෘෂි රසායන කිසිවක් ආයනයන නොකරන්නේය යන ස්ථාවර තීරණයේ රජය සිටින්නේ නම්, ඒ බව රටට ප්‍රකාශ කිරීම අමාත්‍යාංශයේ වගකීමකි.  එවිට ලංකාවේ ජනගහනයෙන් 30% ක් වන කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නන්ට වෙනත් විකල්පයක් සොයා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

    1. මෙරට කෘෂි රසායන ආයනයනයෙන් 60% වල් නාශක වේ.  වල් නාශක ආයනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම්, සත්ව ආහාර (බඩ ඉරිඟු) ඇතුළු සියලු දේ ආනයනය කිරීමට සිදුවේ.  එපමනක් නොව, තේ, රබර්, කටුපොල් වගාබිම් සඳහා චීන හෝ වෙනත් කම්කරුන් ආනයන කිරීමට සිදුවනු ඇත්තේය.
    2. දිලීර හා කෘමි නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට යෝජනා කර ඇත.  මි.ලි. 50 ක වස බෝතලයක් හෝ ග්රූම් 400 ක දිලීර නාශක පැකට්ටුවක් ගන්නට දින දෙක  තුනක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගානේ රස්තියාදු වන විට දිලීර, පනු වර්ග වගාව විනාශ කර අවසන්ය.  පසුගිය වසරේ පොළොන්නරුව, මාතලේ ඇතුළු කලාපයේ සේනා දළඹු වසංගතය පැතිරුණි.  එක් දිනක් තුල සම්පූර්ණ වගාව විනාශ කිරීමට මේ කෘමීන්ට හැකියාව ඇත.  කුඩිත්තන්ගේ ආක්‍රමණයෙන් දින දෙකකින් සම්පූර්ණ වගාව විනාශවන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට, අමාත්‍යාංශයට අවබෝධ නොවීම ජාතියේ අවසනාවකි.  අමාත්‍යාංශයේ මෙම මෙම ප්‍රතිපත්තිය කෘෂිකර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූවන්නට පමණක් නොව පරිපාලනයේ මුලිකාංග පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයින්ගේ දැනුමට කරන නිගරුවකි. ජීවිත කාලයට ගොවිතැනින් යැපෙන අහිංසක ගොවියෙකුට ඇති සාමාන්‍ය දැනුම නොමැතිවීමකි.
    1. අද වන විට කාබනික කෘෂිකර්මාන්ත යැයි කියමින් පොහොර ලේකම් කාර්යාලය, තේ මණ්ඩලය, හරහා පස්සා දොරින් රසායන ද්‍රව්‍ය ඇති හැකි අයට බෙදීම සිදුවේ.  කෘෂි රසායන තහනම ද එලෙසම තනි සමාගමකට වෙළෙඳ ඒකාධිකාරය ලබාදීම සඳහා සිදු කරන කූට ජාවාරමක් පමණක් බව බවයි.

    මහ කන්නයට තවත් සති තුනකට වඩා කාලයක් නොමැති බැවින්,

    1. කෘෂි රසායන (දිලීර, වල්, කෘමි නාශක) ආයනයනය කරන්නේ ද? නැති ද? යන ප්‍රතිපත්ති තීරණය නිරවුල් ලෙස රටට හෙළි කරන ලෙස ද,
    2. කුමන ආකාරයකින් හෝ වෙළෙඳපොල ඒකාධිකාරියක් ඇති කර මිල ඉහළ නැංවීමට ඇති සැලසුම අකුලා ගන්නා ලෙස ද,
    3. විවෘත හා තරඟකාරී පදනමකින් ප්‍රමිතියකින් යුතු දිලීර, වල් හා කෘමි නාශක ආනයනය, බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව සලසන ලෙස ද, මේ රටේ ජනගහනයෙන් 30% ක් වන කෘෂිකර්මාන්තයේ නිරත පිරිස වෙනුවෙන් ඉල්ලන බව ද, කවිරත්න මහත්මිය ගේ ලිපියේ දැක්වේ.

  • අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති කිරීම – දේශපාලන බංකොලොත් භාවය ඉක්මවූ උද්දච්චකමකි

    අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති කිරීම – දේශපාලන බංකොලොත් භාවය ඉක්මවූ උද්දච්චකමකි

    බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන බංකොලොත් භාවය ඉක්මවා ගිය උද්දච්චකමක් බවත් එය වැලැක්විය නොහැකි රටක් ලැජ්ජා විය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
    රටට කතා කළ ජනතාවගේ විරෝධයට හා කෝපයට බඳුන් වූ බැඳුම්කර කොමිසමකින්, වෝහාරික විගණන වාර්තාවකින් ලබැදියාවන් අතර ගැටුමක් ඇතැයි පැහැදිලි ලෙසම දක්වා ඇති හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාට නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල් පුටුව ලබා දිය යුතුයැයි සිතන ආණ්ඩුවක් අපට ඇත.  රටක් බංකොලොත් කළ මිනිසුන් සිරගෙවල්වල සිටිය යුතු යුගයක නැවත ඔවුන් කැඳවා තනතුරු ලබාදීමට උත්සහ දරන රටක් බිහිව තිබේ.

    බැඳුම්කර වංචාව විමර්ශන කිරීම සඳහා පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව (Presidential Commission of Inquiry to Investigate, Inquire and Report the Issuance of Treasury Bonds) හි නම සඳහන් වු පුද්ගලයෙකු නැවත එම තනතුරට පත්වීම රටක අසමත්බව පෙන්වන්නකි.

    අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට යෝජනා වූ විට, ජනතාවට එයට විරුද්ධ වූවේ ඔහුගේ 2001 – 2004 සමයේ පැටිකිරිය නිසාය. අවසානයේ යහපාලන ආණ්ඩුව කුඩේ කුඩු කර මහේන්ද්‍රන් රටෙන් පැන නම ද ස්ත්‍රී-පුරුෂ භාවය හැර අන් සියල්ල වෙනස් කර ගත්තේය.  වෝහාරික වාර්තාවේ අජිත් නිවාඩ් කබ්රාල්ට ද එක හා සමාන චෝදනා ඇත.  ඒ වෝහාරික වාර්තාව දැන් නීතිපති ලඟ ගල් කර ඇත.

    මුදල් පනතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකු අධිපති විය නොහැකි බව පැහැදිලිවම දක්වා ඇත. මන්ත්‍රීවරයෙකු පමණක් නොව, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ද වු පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී දින දෙක තුනකින් මහ බැංකුවේ අධිපති ධූරය ලබා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.  එවැන්නක් සිදුවිය හැක්කේ බංකොලොත් ‘බනානා රිපබ්ලික්’ එකක පමණී.

     

    එස්ටර් වාර්තාවේ කියූ ‘සුපිළිපන් සහ වගකීම් සහිත’ භාවය කොතැනකද?  

    පළමුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පාදක වූ 1949  නොවැම්බර් ප්‍රකාශයට පත්  ‘Report on the Establishment of a Central Bank for Ceylon’ වාර්තා ප්‍රතිඑලයක් ලෙසිනි.  එම වාර්තාවේ 16 වන පිටුවේ මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් වන පුද්ගලයා ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ විය යුතු යැයී සඳහන් ය. 

    බැඳුම්කර කොමිසන් වාර්තා වේ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමන් එස්ටර් වාර්තාව උපුටා දක්වා ඇත්තේ ‘ලබැඳියාවන් අතර ගැටුම’ හෙළි කරමිනි.  එවැන්නකු නැවත මහ බැංකු අධිපති ලෙස පත් කර ගත යුතුද?

    දෙවනුව, 2014 ජූනි 30 දින සංශෝධිත 422 වගන්තිය මුදල් පනතේ (422 වගන්තිය) 11 වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකුවේ අධිපතිවිය නොහැකිය. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මුදල් රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා එම තනතුරින් ඉල්ලා අස්වී දින දෙක – තුනකින් ස්වාධීන තනතුරක් වන ‘මහ බැංකු අධිපති ධූරයට’ පත්වීම කිසි ලෙසකින් හෝ සදාචාර සම්පන්න වන්නේ නැත.  දේශපාලන පක්ෂය නියෝජිතයෙකු අගවිනිසුරු ධූරයට පත් වූවා හා සමාන තත්වයක් – මහ බැංකුව තුල නිර්මාණය නොවිය යුතුය.

    රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබන පුද්ගලයෙකු, ප්‍රාදේශීය සභාවක, පළාත් සභාවක මහජන නියෝජිතයෙකුට මෙම තනතුරට පත් විය නොහැකි නම්, දවස් දෙකකට කලින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී  එම තනතුරට පත්වීමේ සදාචාරය කුමක් ද?

    තෙවනුව, 2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව ‘අචාර ධර්ම පද්ධතියක්’ පැනවීය.  බැඳුම්කර වංචාව, බැඳුම්කර කොමිසම හා සිවිල් සමාජයෙන් හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන මහේන්ද්‍රන්ට එල්ල වු විවේචන එයට හේතු විය. එහි 3.6 හි දැක්වෙන්නේ දැනට මහ බැංකුවේ සමාජිකයෙකු (බැංකුවේ) තනතුරින් ඉවත්වීමෙන් වසරක් යන තුරු බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනයක තනතුරක් දැරීය නොහැකි බව ය. ලබැඳියාවන් අතර ගැටුමක් ඇති නොවන සේ මහ බැංකුවේ නිලධාරීන් තනතුරින් පසුව ද, කටයුතු කළ යුතු යැයි එයින් හඟවයි. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මන්ත්‍රී ධූරයක් දරා, පසු දින මහ බැංකුවේ අධිපතිවන්නට හැකි නම් මේ ආචාර ධර්ම පද්ධතිය හෝ යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව ඇති වූ සංවාදයේ කිසිදු තාර්කික ඵලයක් නැත.

    පුදුමය නම්, මේ ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමට හේතු වූ පුද්ගයින් දෙදෙනාගෙන් අයෙකුම නැවත මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීමට රජය උත්සහ දැරීමය.  මහ බැංකුවේ පහළ තනතුරක් දරන අයෙකුට පැවරෙන ආචාර ධර්මීය සාධකය මහ බැංකු අධිපති ධූරයට අදාල නොවන්නේ ඇයි දැයි අර්ජුන මහේන්ද්‍රන් හෝ අජිත් නිවාඩ් කබ්රාල් හෝ මහ බැංකු අධිපති පුටුවට පත් කරන පත්වීම් බලධාරී ජනාධිපතිවරයා රටට හෙළි කළ යුතුය.

    මහ බැංකු ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාවන්ට ලැබැඳියාවන් අතර ගැටුම් චෝදනා එල්ලවන පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකුට ආපසු මහ බැංකුව බාරදීම රටක ගමන් කරන මාවත පෙන්වයි.    

    එදා අර්ජුන මහේන්ද්‍රන් නැවත පත් කිරීමට විරුද්ධ මම ද ඇතුළු පිරිසක් අධිකරණයට ගියේය.  පෙලපාලි ගියේය.  පිකටිං කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම විරෝධය සලකා මහේන්ද්‍රන් නැවත පත් කළේ නැත.  අද, වසර 15 කට පසුවත්, 2006 මහ බැංකු අධිපති වූ කබ්රාල්ට වඩා එම තනතුරට අලුත් මුහුණක් රජයට හමුවී නැත.

    යහපාලන ආණ්ඩුව හා එහි පාර්ශවරුවන් වූ පිරිස් මහ බැංකු දුෂිතයන්ට එරෙහිව කටයුතු කළේ නැත.  ජනතා විමුක්ති පෙරමුණ හැර,  මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කිසිවෙකුත් මුදල් රාජ්‍ය ඇමති සහ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවේ දී හෝ ඉන් පිටත දී කටක් ඇරියේ නැත. තමන්ට දේශපාලන වාසියක් ලැබෙන බැවින් හෝ අද හෝ ප්‍රමාද වී හෝ විපක්ෂය අවදිවීම මේ දුෂිත දේශපාලනයේ ලැජ්ජා නැති රංගනයේම කොටසකි.

    මහ බැංකු බැඳුම්කර කොමිසම සහ වෝහාරික විගණනයේ චෝදනා එල්ල වී ඇති අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල් දෙදෙනා කිසි ලෙසකින් හෝ නැවත මහ බැංකු අධිපති ධූරයට පත් නොකළ යුතුය.  එය වැලැක්වීම සඳහා සියළු පාර්ශවයන් එක් විය යුතුය.

  • මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙමින් කළ සුපිරි  විශේෂ ප්‍රකාශය

    මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙමින් කළ සුපිරි විශේෂ ප්‍රකාශය

    මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එළැඹෙන 14 වෙනිදා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සිකුරාදා (සැප්තැම්බර් 10) පැවසීය.

    විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයට යෙදෙන සිය 80 වෙනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණ ද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත්රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව, කලින් සැලසුම් කළ විශ්‍රාම යාමේ දිනට සති හයකට පෙර එනම් ලබන අඟහරුවාදා සිය ධුරයේ අවසන් දිනය බව මහාචාර්ය ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් පැවසීය.

    තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ නමුත් මතවාදී හා පෞද්ගලික ගැටුම් හේතුවෙන් එය මුළුමණින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහ බැංකු අධිපතිවරයා කීය.

    “පසුගිය සතිය හෝ දින 10 ක කාලය තුළ මාධ්‍ය තුළ අප්‍රසන්න වාර්තා තිබුණා.” ඔහු මාධ්‍ය වෙත පැවසීය.

    “සමහර දේශපාලන ගැටලුත් තිබෙනවා, පෞද්ගලික ගැටලුත් කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මගේ සැලැස්මට අනුව දේවල් ලබා ගැනීම පහසු වුණේ නැහැ.”

    මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පැවසීය.

    ඔහු තවදුරටත් කියා සිටියේ, “මහ බැංකු අධිපති පදවිය දරමින් කිහිප අවස්ථාවකම මා ප්‍රකාශ කළ කරුණක් මෙහි ලා සඳහන් කිරීමට සිතේ. එනම්, අප ඉගෙනගත් කාලයේත්, අදත්, අපි අපේ රට ඌණ සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටක් සේ හඳුන්වමින් කටයුතු කරමු. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප්‍රදාය බව මම දනිමි. එහෙත් තවමත් මෙසේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ලංකාව හඳුන්වා ගැනීමට සිදුවීම ගැන සැබවින්ම අප කණගාටු විය යුතුයි. මෙම තත්ත්වයෙන් මිදීමට ගන්නා ප්‍රයත්නයේ හවුල්කරුවකු වීමටයි මට අවශය වූයේ. එහෙත් ඒ සඳහා අප සමාජයේ හෝ අප පක්ෂ දේශපාලනයේ කැපවීමක් නැති බව, එසේම ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් එකහෙළා දීර්ඝ කාලීනව අනුගමනය නොකිරීමේ ප්‍රශ්නය, දෙවසරකට ආසන්න පසුගිය කාලය තුළ වඩාත් මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මට හැකි විය. මේ නිසා අපට පසුපසින් සිටි බොහෝ රටවල් එකක් පසුපස එකක් වශයෙන් “සංවර්ධන” ගමනේදී අප පසු කර යන්නේ. මෙම අවස්ථාවේ මා කෙටියෙන් සඳහන් කළ කරුණු ගැන කිව යුතු තවත් බොහෝ දේ ඇතත් මම මෙපමණකින් නවතිමි.”

    ශ්‍රී ලංකාව “භයානක විදේශ විනිමය අර්බුදයකට” මුහුණ පා සිටින බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් දින තුනකට පසු සිය ඉල්ලා අස්වීම සිකුරාදා ප්‍රකාශයට පත්කරමින් මහ බැංකු අධිපතිවරයාගේ මෙම විශේෂ නිවේදනය නිකුත් විය.

    ශ්‍රී ලංකාව මේ දිනවල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින බව නොරහසකි.

    ආනයන තහනම් කිරීම හරහා රටෙන් බැහැරට විදේශ විනිමය ගලායාම නැවැත්වීම හා විවිධ මාර්ගවලින් ණය ලබාගැනීම ද ඊට අයත් වේ. එහෙත් පවතින ගෝලීය අර්බුදය හමුවේ විදේශ ණය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීම අවාසි සහගත බැවින් චීනය හා බංගලාදේශය වැනි විවිධ රටවල් සමග විදේශ මුදල් හුවමාරු සදහා එළැඹීමට පියවර ගෙන තිබේ.

    මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වී නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බව ඔහු මාධ්‍යවෙත පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

    අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් යෙදවීම සඳහා බොහෝ පෞද්ගලික බැංකුවල විදේශ මුදල් නොමැති වීම හේතුවෙන් රුපියල ඉතාමත් සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇති අතර පසුගිය සතියේ එය ඇමරිකා එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230ක් දක්වා පහත වැටිණි.

    සීනි සහ සහල් සඳහා බොහෝ දිනවල සතොස ඇතුළු බොහෝ වෙළෙදසල්ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකි අතර බොහෝ පාරිභෝගිකයින් පැවසුවේ වෙළෙඳපොළේ මේ වන විට ආනයනික ආහාර ද්‍රව්‍ය මෙන්ම කිරි පිටි හිඟයක් ඇති බවකි.

    මේවන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හා විදේශ මුදල් හිඟකමට පිළියම් යෙදීමට ජනාධිපතිවරයා පසුගිය සතියේ හදිසි නීතිය ප්‍රකාශ කළේය.

    විදේශ මුදල් රට තුළ ඉතිරි කිරීම සඳහා රජය මේ වන විටත් වාහන හා වෙනත් භාණ්ඩ සහ ආහාර පිසින තෙල් සහ කුළුබඩු ආනයනය කිරීම තහනම් කර තිබුණි.

    එහෙත් පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මහ බැංකුව පසුගිය බදාදා (සැප්තැම්බර 8) ජංගම දුරකථන, පාරිභෝගික භාණ්ඩ, ටයර් සහ ඇඳුම් ඇතුළු භාණ්ඩ 623ක් ආනයනය සඳහා ණය ලබා නොදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීම තුළින් මහ බැංකුව බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 9) සීමා තවදුරටත් දැඩි කළේය.

    මහා බැංකුව ප්‍රකාශ කළේ ඒ තුළින් අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැකගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට මෙම පියවර සහය වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවය.

    පවතින කොරෝනා වයිරසයට ගොදුරු වීමත් සමග පසුගිය වසරේ සිට රට විටින් විට අගුලු දැමීමත් සමග රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන ආදායම් මාර්ගයක් වන සංචාරක අංශය වසා දැමීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.6 කින් වාර්තාගත ලෙස හැකිලී ගියේය.

    නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ ජූලි මස අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 2.8 දක්වා පහත වැටී ඇති බවය. වසරේ ඉතිරි කාලය තුළ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 2.0 ක් පමණ ගෙවීමට සිදු වේ.

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය පහත හෙලනු ලැබ ඇති අතර ණය ගෙවීම ඉක්මණින් පැහැර හැරිය හැකි බවට බිය පළ කර තිබේ.

    බී.බී.සී සන්දේශ ඇසුරිනි

  • රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍යවල  තොග මිල ප්‍රවණතා සහ විශ්ලේෂණය

    රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ප්‍රවණතා සහ විශ්ලේෂණය

    සැප්තැම්බර් 03-09 සතියේ පිටකොටුව, නාරාහේන්පිට, දඹුල්ල, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු දිවයින පුරා ප්‍රධාන තොග වෙළෙදපොළ රැසක සහල්, එළවළු සහ මාළු වර්ග රැසක තොග මිල ගණන්වල පහළ යාමක් වාර්තා වූ අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් සහ අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළයාමක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිරීක්ෂණය කළ හැකි විය.

    වෙළෙදපොළ මිල ගණන් ස්ථාවර පවත්වා ගැනීමේ අරමුණින් රජය විසින් ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයන්හි සහ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පවතින වී, සහල් සහ සීනි තොග සොයා විමර්ශන ආරම්භ කිරීමත් සමග  සහ රජය විසින් සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම හේතුවෙන් සියලුම දේශීය සහල් වර්ගවල මිල ගණන් පහළ යාමක් වාර්තා විය.

    එමෙන්ම වැලිමඩ ප්‍රදේශයෙන් දේශීය සැපයුම ඉහළ යාම හේතුවෙන් දේශීය හා ආනයනික අර්තාපල් මිල ගණන් පහළ යාමක් වාර්තා වූ අතර යල කන්නයේ අස්වනු නෙළීම වඩාත් තීව්‍රර වීම  නිසා සහ නිරෝධාන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන දිනවලදී  ආර්ථික මධ්‍යස්ථාන වෙත තොග සැපයුම ඉහළ යාම හේතුවෙන් එළවළු මිල ගණන් ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි.

    තොග සැපයුම ඉහළයාම හේතුවෙන් බොහොමයක් මාළු වර්ගයන්හි තොග මිල ගණන් පහළ ගොස් ඇති අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් ඉහළ ගොස් ඇත.

    අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළගොස් තිබුණි. කෙසේ වෙතත් උපරිම මිල පහළයාම 10%ක් ලෙස දිවුල් සඳහා වාර්තා වූ අතර විරකැටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලින් ඉහළ සැපයුමක් පැවතීම එයට හේතු විය.

    සහල්, එළවළු, පලතුරු, මාළු සහ කරවල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක තොග වෙළෙදපොළ මිල විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

    සහල්

    ශ්‍රී ලංකා රජය විසින් සහල් සඳහා අළුතින් පනවන ලද උපරිම සිල්ලර මිල සීමාවන් හේතුවෙන් සියලුම දේශීය සහල් වර්ගවල තොග මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි. දෙවන ශ්‍රේණියේ නාඩු සහ දෙවන ශ්‍රේණියේ සම්බා මිල ගණන් පිළිවෙළින් 10%කින් සහ 8%කින් පහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙළින් කිලෝවකට රු.95.00-105.00ක් සහ රු.102.00-120.00ක් විය. සුදු කැකුළු සහ රතු කැකුළු මිල ගණන් ද පිළිවෙළින් 7%කින් සහ 1%කින් පහළ ගොස් තිබුණු අතර එම දෙවර්ගයේම මිල පරාසය කිලෝවකට රු.90.00-95.00ක් ලෙස සටහන් විය.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියලුම දේශීය සහල් වර්ගවල වර්තමාන තොග මිල ගණන් 3%-7% දක්වා පරාසයක ඉහළ ගොස් තිබුණු අතර උපරිම මිල ඉහළයාම දෙවන ශ්‍රේණියේ නාඩු සඳහා වාර්තා විය.

    එළවළු

    යල කන්නයේ එළවළු  අස්වනු නෙළන සමයේ පවතින ඉහළ සැපයුම හේතුවෙන් එළවළු වර්ග බොහොමයක මිල ගණන් පහළ ගොස් ඇත.

    උඩරට එළවළු වර්ග පිළිබඳව සලකා බැලීමේදී, වැලිමඩ නිෂ්පාදන ප්‍රදේශවලින් ලැබෙන ඉහළ සැපයුම හේතුවෙන් එළවළු වර්ග සියල්ලේම මිල ගණන් පහළ ගොස් පැවතුණි. බෝංචි සහ ලීක්ස් දෙවර්ගයේම මිල ගණන් 23%කින් පහළ ගොස් තිබුණු අතර නෝකෝල් හැර අනෙකුත් සියලුම උඩරට එළවළු වර්ගවල මිල ගණන් 8%-11% අතර පරාසයකින් පහළ ගොස් තිබුණි. තවදුරටත් නෝකෝල් මිල 1%කින් පහළ ගොස් ඇත.

    කෙසේ නමුත් තත්ත්වයෙන් ඉහළ තොග සූරියවැව ප්‍රදේශයෙන් ලැබීම හේතුවෙන් තක්කාලි මිල 11%කින් ඉහළ ගොස් තිබුණි. තවදුරටත් නුවරඑළිය සහ තලවාකැලේ ප්‍රදේශවලින් තත්ත්වයෙන් ඉහළ තොග ලැබීම හේතුවෙන් මාළු මිරිස් මිරිස් මිල 8%කින් ඉහළ ගොස් ඇත.

    පහතරට එළවළු පිළිබඳව සලකා බලනවිට දී ඇඹිලිපිටිය තඹුත්තේගම, නොච්චියාගම, දඹුල්ල සහ සුරියවැව ප්‍රදේශවලින් ලැබුණු ඉහළ සැපයුම හේතුවෙන් වැටකොළු සහ මෑකරල් හැර අනෙකුත් සියලුම එළවළු වර්ගවල මිල ගණන් පහළ ගොස් තිබුණි. ඇඹිලිපිටිය සහ තඹුත්තේගම ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් පතෝල ද මොණරාගල සහ දඹුල්ල ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම නිසා වට්ටක්කා  ද යන දෙවර්ගයේම මිල ගණන් 30%කින් පහළ ගොස් තිබුණි. මීට අමතරව ඇඹිලිපිටිය, තඹුත්තේගම සහ බොහොමයක් ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් පිපිඤ්ඤා මිල 27%කින් පහළ ගොස් ඇත. බණ්ඩක්කා, අළු කෙසෙල් සහ කරවිල මිල ගණන් පිළිවෙළින් 17%, 8% සහ 5%කින් පහළ ගොස් තිබුණු අතර ඇඹිලිපිටිය සහ තඹුත්තේගම ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම ඊට හේතු විය. තවදුරටත් මන්නාරම, ත්‍රිකුණාමලය සහ දඹුල්ල ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් මුරුංගා මිල 6%කින් පහළ ගොස් ඇති අතරම වම්බටු මිල 2%කින් පහළ ගොස් තිබුණි. කෙසේ නමුත් පුත්තලම් ප්‍රදේශවලින් ලැබුණු සැපයුම පහළයාම නිසා මෑකරල් මිල ද තත්ත්වයෙන් ඉහළ තොග බේරුවල, හොරණ සහ හංවැල්ල ප්‍රදේශවලින් ලැබීම හේතුවෙන් වැටකොළු මිල ද පිළිවෙළින් 4% සහ 3%කින් ඉහළ ගොස් තිබුණි.

    මේ අතර නොච්චියාගම ප්‍රදේශයෙන් තත්තවයෙන් ඉහළ තොග ලැබීම හේතුවෙන් අමු මිරිස් මිල 22%කින් ඉහළ ගොස් තිබුණි.  කෙසේ නමුත් අම්පාර සහ මොණරාගල ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් දෙහි මිල 24%කින් පහළ ගොස් ඇත.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී එළවළු වර්ග බොහොමයක තොග මිල ගණන් පහළ ගොස් ඇති අතර උපරිම මිල පහළයාම අළු කෙසෙල් සඳහා 63%ක් ලෙස සටහන් විය.

    පොල්

    ලොකු සහ කුඩා පොල් දෙවර්ගයේම මිල ගණන් පිළිවෙළින් 1%කින් සහ 6%කින් පහළ ගොස් ඇති අතර ඒවායේ මිල පරාසයන් ලොකු පොල් ගෙඩියක් සඳහා ගෙඩියකට රු.70.00-71.00ලෙස ද, කුඩා පොල් ගෙඩියක් රු.60.00-62.00ක් ලෙස වාර්තා විය.  පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ලොකු පොල් ගෙඩියක මිල 1%කින් ඉහළ ගොස් ඇති අතර  කුඩා පොල් ගෙඩියක මිල  4%කින් පහළ ගොස් ඇත.

    පලතුරු

    අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළගොස් තිබුණි. උපරිම මිල ඉහළයාම 9%ක් ලෙස විශාල ප්‍රමාණයේ අන්නාසි සඳහා වාර්තා වූ අතර කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ අන්නාසි මිල ගණන් 5%කින් ඉහළ ගොස් තිබූ අතර ගුණත්වයෙන් ඉහළ තොග වෙළඳපොළෙහි පැවතීම එයට හේතු විය. අස්වනු නෙලන ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් පැණි දොඩම් මිල ගණන් 8%කින් ඉහළ ගොස් තිබුණි. ඇඹිලිපිටිය සහ දෙනියාය යන ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් ඇඹුල්, සීනි සහ කෝලිකුට්ටු යන සියලුම වර්ගයන්ගේ කෙසෙල් මිල ගණන් 3%-4% දක්වා පරාසයක ඉහළ ගොස් ඇති අතර ආනමාලු සහ ඇම්බුන් මිලෙහි සැලකිය යුතු වෙනසක් වාර්තා නොවීය. අලිගැටපේර මිල 2%කින් ඉහළ ගොස් ඇති අතර ගුණත්වයෙන් ඉහළ තොග වෙළඳපොළෙහි පැවතීම එයට හේතු විය.

    මෙයට අමතරව අස්වනු නෙලන ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් පැපොල් සහ තැඹිලි මිල ගණන් පිළිවෙළින් 2%කින් සහ 1%කින් ඉහළ ගොස් තිබුණි.

    කෙසේ වෙතත් උපරිම මිල පහළයාම 10%ක් ලෙස දිවුල් සඳහා වාර්තා වූ අතර විරකැටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලින් ඉහළ සැපයුමක් පැවතීම එයට හේතු විය. වැල්දොඩම් මිල 6%කින් පහළ ගොස් ඇති අතර අස්වනු නෙලන ප්‍රදේශවලින් පැවති ඉහළ සැපයුම එයට හේතු විය. ගුණත්වයෙන් පහළ තොග වෙළඳපොළෙහි පැවතිම හේතුවෙන් ආනයනික මිදි මිල 1%ක් ලෙස පහළ ගොස් පැවතුණි.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබූ අතර උපරිම මිල ඉහළයාම 85%ක් ලෙස දිවුල් සඳහා වාර්තා විය.

    මාළු

    තොග සැපයුම ඉහළයාම හේතුවෙන් බොහොමයක් මාළු වර්ගයන්හි තොග මිල ගණන් පහළ ගොස් ඇත. උතුරු ප්‍රදේශයෙන් තොග සැපයුම ඉහළයාමත් සමඟ උපරිම මිල පහළයාම 17%ක් ලෙස තෝරා සඳහා වාර්තා විය. එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1280.00-1600.00ක් අතර පැවතුණි. බේරුවල සහ මාතර යන ප්‍රදේශවලින් තොග සැපයුම ඉහළයාමත් සමඟ බලයා මිල 15%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.300.00-400.00 අතර පැවතුණි.

    කල්පිටිය හා මුලතිව් ප්‍රදේශවලින් තොග සැපයුම ඉහළයාමත් සමඟ හුරුල්ලා මිල 13%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් රු.350.00-420.00 අතර පැවතුණි. උතුරු ප්‍රදේශයෙන් තොග සැපයුම ඉහළයාමත් සමඟ පරව් මිල 10%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.650.00-850.00 අතර පැවතුණි. එසේම යාපනය ප්‍රදේශයෙන් තොග සැපයුම ඉහළයාමත් සමඟ මෝරා මිල 7%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.600.00-720.00 අතර පැවතුණි. මීට අමතරව පිළිවෙළින් සාලයා මිල 6%කින් ද, ඉස්සා මිල 5%කින් ද  කෙලවල්ලා මිල 3%කින් ද පහළ ගොස් ඇත.

    කෙසේ නමුත් මීගමුව හා වාලච්වේන යන ප්‍රදේශවලින් තොග සැපයුම පහළයාම හේතුවෙන් තලපත් මිල 8%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1,100.00-1,300.00 අතර පැවතුණි.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී බොහොමයක් මාළු වර්ගයන්හි තොග මිල ගණන් 1%-33% අතර ඉහළ ගොස් ඇති අතර උපරිම මිල ඉහළයාම තලපත් සඳහා වාර්තා විය.

    කරවල

    දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් ඉහළ ගොස් ඇත. මීගමුව ප්‍රදේශයෙන් තොග සැපයුම පහළයාමත් සමග දේශීය මෝරා මිල 6%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1,100.00-1,300.00 අතර පැවතුණි. යාපනය ප්‍රදේශයෙන් තොග සැපයුම පහළයාමත් සමග දේශීය අඟුළුවා මිල 5%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1,200.00-1,300.00 අතර පැවතුණි. එසේම මීගමුව ප්‍රදේශයෙන් තොග සැපයුම පහළයාමත් සමග දේශීය මඩුවා මිල 3%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.790.00-850.00 අතර පැවතුණි. මිට අමතරව දේශීය සාලයා සහ දේශීය කට්ටාවාහි මිල 2%කින් ඉහළ ගොස් ඇත.

    කෙසේ නමුත් බේරුවල හා මාතර ප්‍රදේශවලින් තොග සැපයුම ඉහළයාම හේතුවෙන් දේශීය බලයා මිල 4%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.680.00-820.00 අතර පැවතුණි.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් 17%-61% අතර ඉහළ ගොස් තිබෙන අතර උපරිම මිල ඉහළයාම දේශීය බලයා සඳහා වාර්තා විය.

    බිත්තර

    දුඹුරු බිත්තරයක මිල 3%කින් ද සුදු බිත්තරයක මිල 2%කින් ද පහළ ගොස් ඇති අතර  ඒවායෙහි මිල පරාසයන් පිළිවෙළින් රු.18.00-18.50 අතර සහ රු.16.00-17.00 අතර වාර්තා විය.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සුදු බිත්තර සහ දුඹුරු බිත්තර මිල පිළිවෙළින් 19%කින් සහ 13%කින් පහළ ගොස් ඇත.

    වියළි මිරිස් 

    තොග සැපයුම ඉහළයාම හේතුවෙන් ආනයනික වියළි මිරිස් තොග මිල 1%කින් පහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.510.00-525.00ක් විය.   පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ආනයනික වියළි මිරිස් තොග මිල 28%කින් ඉහළ ගොස් තිබුණි.

    ළූණු

    තත්වයෙන් ඉහළ තොග වෙළඳපොළ තුළ පැවතීම හේතුවෙන් සහ ඉල්ලුම ඉහළයාම හේතුවෙන් සිනන් සහ වේදාලන් තොග මිල ගණන් පිළිවෙළින් 29%කින් සහ 16%කින් ඉහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙළින් කිලෝවකට රු.180.00-230.00ක් සහ කිලෝවකට රු.240.00-260.00ක් ලෙස සටහන් විය.  ආනයනික ලොකුළූණු සඳහා පනවා ඇති විශේෂ ආනයනික බද්ද ඉහළ දැමීම හේතුවෙන් දේශීය ලොකුළූණු සහ ආනයනික ලොකුළූණු මිල ගණන් පිළිවෙළින් 18%කින් සහ 14%කින් ඉහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙළින් කිලෝවකට රු.105.00-135.00ක් සහ රු.70.00-140.00ක් ලෙස සටහන් විය.

    දේශීය ලොකුළූණු තොග මිල කිලෝවකට රු.90.00-110.00ක් ලෙස තඹුත්තේගම වෙළඳපොළෙන් වාර්තා විය. පළමු ශ්‍රේණිය සහ දෙවන ශ්‍රේණිය දේශීය ලොකුළූණු මිල පිළිවෙළින් කිලෝවකට රු.80.00-110.00 සහ රු.65.00-75.00 දක්වා දඹුල්ල වෙළඳපොළින් වාර්තා විය. දඹුල්ල වෙළඳපොළේ දේශීය ලොකුළූණු සැපයුමන්  වැඩි ප්‍රමාණයක්  පළමු ශ්‍රේණියෙ ලොකුළූණු විය. මාතලේ ප්‍රදේශයේ ඉහළ ලොකුළූණු අස්වැන්නක් මෙම මාසය අගදී  අපේක්ෂා කළ හැක.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී වේදාලන් සහ සිනන් තොග මිල ගණන් පිළිවෙළින් 68%කින් සහ 56%කින්  ඉහළ ගොස් තිබුණු අතර ආනයනික ලොකුළූණු සහ දේශීය ලොකුළූණු මිල ගණන් පිළිවෙළින් 20%කින් සහ 6%කින් පහළ ගොස් තිබුණි.

    අර්තාපල්

    දේශීය තොග සැපයුම ඉහළයාම හේතුවෙන් සියලුම අර්තාපල් වර්ගවල තොග මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි. ආනයනික අර්තාපල් මිල 22%කින් පහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.110.00-160.00ක් විය.  (පාකිස්ථාන් අර්තාපල් සඳහා මිල පරාසය කිලෝවකට රු.110.00-130.00ක් ද ඉන්දියානු අර්තාපල් සඳහා මිල පරාසය කිලෝවකට රු.155.00-160.00ක් ද ලෙස විය). වැලිමඩ අර්තාපල් සහ නුවරඑළිය අර්තාපල් මිල ගණන් පිළිවෙළින් 15%කින් සහ 12%කින් පහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙන් කිලෝවකට රු.160.00-175.00ක් සහ කිලෝවකට රු.180.00-195.00ක් ලෙස සටහන් විය.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසදීමේදී සියලුම අර්තාපල් වර්ගවල තොග මිල ගණන් 8%-44% දක්වා පරාසයක ඉහළ ගොස් තිබුණි.

    මාෂ භෝග

    ආනයනික වියදම් ඉහළයාම හේතුවෙන් රතු පරිප්පු මිල 1%කින් ඉහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.245.00-252.00 දක්වා විය. තොග සැපයුම පහළයාම හේතුවෙන් මුං ඇට මිල 1%කින් ඉහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.750.00-800.00 ක් විය. මේ අතර තොග සැපයුම ඉහළයාම හේතුවෙන් රතු කව්පි  මිල 2%කින්  පහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.350.00-400.00 ක් විය. සුදු කව්පි මිල සැලකිය යුතු ලෙස වෙනස් වී නොතිබුණු අතර එහි කිලෝවක සාමාන්‍ය මිල රු.539.00ක් ලෙස සටහන් විය.

    පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී මුං ඇට තොග මිල 180%කින් ඉහළ ගොස් තිබුණු අතර රතු පරිප්පු සහ රතු කව්පි මිල ගණන් ද පිළිවෙළින් 81%කින් සහ 31%කින් ඉහළ ගොස් තිබුණි.

    වී – ගොවියාට ලැබුණු මිල

    කෙටි වී සාමාන්‍ය මිල කිලෝවකට රු.4.00ක පහළයාමක් පොළොන්නරුව සහ කලාවැව ප්‍රදේශවලින් වාර්තා වූ අතර මෙම ප්‍රදේශයන්හි දිග සුදු වී මිල ද කිලෝවකට රු.2.00-4.00 දක්වා පරාසයක පහළයාමක් වාර්තා විය. මේ අතරතුර, දිග සුදු වී මිල කිලෝවකට රු.4.00ක ඉහළයාමක් අනුරාධපුර ප්‍රදේශයෙන් ද කෙටි වී මිල කිලෝවකට රු.2.00ක පහළයාමක් අම්පාර ප්‍රදේශයෙන් ද වාර්තා විය. කෙටි වී සහ සුදු දිග වී දෙවර්ගයෙහි සාමාන්‍ය මිල පරාසය පිළිවෙළින් කිලෝවකට රු.52.00-59.00 සහ රු.50.00-56.00 දක්වා විය. හම්බන්තොට හැර සෙසු දකුණු පළාත් ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයන්හි රතු දිග වී මිලෙහි සැලකිය යුතු වෙනසක් වාර්තා නොවූ අතර සාමාන්‍ය මිල පරාසය කිලෝවකට රු.51.00-55.00 දක්වා විය.

  • සහල් හිඟය පිළිබඳව ජනපති මධ්‍ය ප්‍රකාශක කිංස්ලි කියන සුපිරි කතාව

    සහල් හිඟය පිළිබඳව ජනපති මධ්‍ය ප්‍රකාශක කිංස්ලි කියන සුපිරි කතාව

    වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සංස්කරණයකින් තොරව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා

    රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් අදහස පිළිබඳව රට දැනුම්වත් කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

    හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය බලතල ප්‍රකාරව “මහජන ආරක්ෂණ පනත” යටතේ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 30 නිකුත් කළ බව ඔබ දන්නවා. ජනතාවාදී ආණ්ඩුවක වගකීම දරමින් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතුවයි මෙම තීරණයට එළැඹියේ. ජන ජීවිතය යථාවත් කිරීමට අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම, ඒ පිළිබඳව සම්බන්ධීකරණය සේම පුළුල් අධීක්ෂණය වෙනුවෙන් ඊට සමගාමීව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණා.

    ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත්  කළ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහිදී එය වැඩි ඡන්ද 81කින් මහජන නියෝජිතයන් අතින් සම්මත වූ බවත් රටටම දකින්න ලැබුණා. පවතින කොවිඩ් වතාවරණය පාලනය කිරීම වෙනුවෙන් රජය දැඩි අභියෝගයක් භාරගෙන සිටිනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500කට වැඩි වැය බරක් අද වන විටත් දරා තිබෙනවා.

    මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන ආකාරයට පවතින තත්ත්වයට මුහුණ දෙමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාව වෙනුවෙන් කැප වී සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණවලදී කිසිඳු පාර්ශ්වයක් අගතියට පත් කරමින් කටයුතු කරන්න ජනාධිපතිතුමා කිසි විටෙකත් සූදානම් නැහැ.

    සහල් පිළිබඳ ගැටලුව සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළැඹ, විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා, ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන සාධාරණ ක්‍රමවේදයක් රජය අපේක්ෂා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් සමගත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එකඟතාවන්ට එළැඹුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සේම විෂයභාර අමාත්‍යවරු ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කළා.

    රජය ගොවියා ශක්තිමත් කිරීම සඳහා රුපියල් 30ට, 32ට තිබුණ වී කිලෝව වෙනුවෙන් සහතික මිලක් නියම කළා. ඒ අනුව නාඩු සහ කැකුළු වී කිලෝවක් සඳහා රුපියල් 50ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52ක්, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55ක් වශයෙන් මිල ගණන් නියම කෙරුණා.

    නමුත් එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැළපෙන  පරිදි නාඩු සහල් කිලෝව රුපියල් 125ක්, සම්බා සහල් කිලෝව රුපියල් 150ක්, කීරි සම්බා සහල් කිලෝව රුපියල් 225ක් දක්වා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණභාවයට පත් වුණා.

    පීඩාවට පත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම උදෙසා “මහජන ආරක්ෂණ පනත” යටතේ පූර්ණ බලතල සහිතව පත් කෙරුණු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා  ක්‍රියාත්මක වුණේ ඉන් අනතුරුවයි.  ඒ අනුව, සම්බා සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 103ක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක්, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් එම පාලන මිල ගණන් ගැසට් කරනු ලැබුවා.

    ඉන් අනතුරුව රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගත් ව්‍යාපාරික ප්‍රජාව, රජය අපහසුතාවයට පත් කරන්නේ නැති බවටත් එකඟව කටයුතු කරන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ බව ඔබට මතක ඇති. නමුත් අවාසනාවකට රජය සමග වූ එකඟතා ඔවුන් වෙතින් පැහැර හැරුණා. ඒ අතරම පසුගිය දින කිහිපය වන විට මහාපරිමාණ වී මෝල් හිමියන් විසින්  ඔවුන්ගේ දෛනික සහල්  නිෂ්පාදන සහ  බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රතිශතයකින්  පහත හෙලනු ලැබුවා.

    කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් පීඩාවට පත් පාරිභෝගිකයාට මෙම තත්ත්වය දැරිය නොහැකි තරමේ අසාධාරණයක් බව සියලු දෙනා පිළිගන්නා කාරණයක්. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ වැටලීම්වලින් 2021 සැප්තැම්බර් 08 දින පමණක් ප්‍රධාන වී මෝල් හිමියන් සතු සහල් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ ග්‍රෑම් 807,375ක් ලබාගෙන  සතොසට භාරදී තිබෙනවා.

    මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස්, වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත් වීම තුළින්ම, මේ සියලු ක්‍රියා පසුපස ඇති දේශපාලනය ඔබට පහසුවෙන් වටහා ගත හැකිවනු ඇති.

    කෙසේ නමුත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් ජනවරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

  • ෆයිසර් එන්නත: හම්බන්තොටට විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ ඇයි?

    ෆයිසර් එන්නත: හම්බන්තොටට විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ ඇයි?

    සැප්තැම්බර් 2 වන දා සිට, ශ්‍රී ලංකාවේ වයස අවු. 20 – 30 කාණ්ඩයේ පුද්ගලයින්ට ද දිස්ත්‍රික් මට්ටමෙන් කොවිඩ් එන්නත ලබාදීම ඇරඹුණි. මෙහිදී යුද හමුදාවේ මූලිකත්වයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදුවිය.

    කෙසේ නමුත් ඒ පිළිබඳ විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් සේම වෛද්‍ය වෘත්තිකයින් අතරින් ද මතුවනු දක්නට ලැබුණි.

    මෙම තීරණයට විරෝධය දක්වමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ වෛද්‍ය විශේෂඥන්ගේ සංගමය, සයිනොෆාම් එන්නත හරහා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන වයස අවු. 20 – 30 ජනගහණයට ෆයිසර් එන්නත ලබාදීම විද්‍යාත්මක දත්ත අභිබවා යෑමක් බව සඳහන් කළේ ය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රකාශකර සිටියේ, වයස අවු. 20 – 30 පුද්ගලයින් එන්නත්කරණය ආරම්භකර ඇත්තේ ප්‍රමුඛතා දිස්ත්‍රික්කයකින් නොවන අතර, එම තීරණ කාගේ උපදෙස් මත ගන්නා ඒවාදැ යි තමන් නොදන්නා බව යි.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන් තොරතුරු විමසීම සඳහා දුරකථනය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සහ සාර්ථක නොවිය.

    අප කළ විමසීමක දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ, හම්බන්තොට පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබාදෙන්නේ “සම්පූර්ණයෙන්ම කාර්ය සම්පාදන ගැටලුවක් නිසා” බව යි.

    හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම ගැන සමාජ මාධ්‍ය ජාලාවන්හි උපහාසාත්මක පෝස්ටු සහ කමෙන්ටු පළවී තිබුණි

    හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම ගැන සමාජ මාධ්‍ය ජාලාවන්හි උපහාසාත්මක පෝස්ටු සහ කමෙන්ටු පළවී තිබුණි

    අද මුහුණදෙන ව්‍යසනයට ලක් වී සිටින්නේ ඇයි?

    හම්බන්තොට ප්‍රදේශයේ වෙසෙන වයස අවුරුදු විස්සත් තිහත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදීමට විරෝධය පළකරමින් වෛද්‍ය විශේෂඥන්ගේ සංගමය පසුගිය දා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළේ ය. ඔවුන් පවසන්නේ වයස අවු. 60ට වැඩි පිරිසට සහ බෝ නොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට එන්නත්කරණයේ දී ප්‍රමුඛත්වය ලබාදෙන්නැ යි තම සංගමය විසින් සිදුකෙරුණු යෝජනාව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ලංකාව දැනට මුහුණ පා ඇති ව්‍යසන තත්ත්වයට ලක් වී සිටින බව යි.

    “එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මඟින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර, මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මඟින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීම යි,” එම සංගමය විසින් නිකුත් කෙරුණු ප්‍රකාශයේ දැක්වේ.

    එන්නත්කරණය විද්‍යාත්මකව සිදු කිරීම ඉතා වැදගත් බව එම සංගමය අවධාරනය කරයි. එහිදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගය නම්, එන්නත් නොලැබූ නමුත් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක පසුවන අය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමත්, ඉන්පසුව දැනට එන්නත්කර ඇති නමුත් වෙනත් රෝගාබාධ හේතුවෙන් කොවිඩ් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

    එසේම, වකුගඩු බද්ධ කිරීම සහ පිළිකා වැනි වෙනත් ආබාධවලින් පෙලෙන රෝගීන්ට ද, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයට ද අවශ්‍ය නිසි ප්‍රතිශක්තිය සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙක මඟින් සම්පූර්ණයෙන් නොලැබෙන බව පෙනී යන බැවින් එම කණ්ඩායම් සඳහා ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, හෝ මොඩර්නා එන්නත් වලින් තුන්වන මාත්‍රාව ලෙස ලබාදීම අත්‍යවශ්‍ය බව එම සංගමය යෝජනාකර සිටියි.

    “අපට ලැබී ඇති AstraZeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිත යි. මෙම තත්ත්වය ‍යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මඟින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක,” යනුවෙන් එම සංගමය ප්‍රකාශ කරයි.

    ෆයිසර් පාසැල් දරුවන්ට?

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කරන්නේ ෆයිසර් එන්නත පාසැල් යන වයසේ දරුවන්ට ලබාදිය යුතු බව යි.

    “දරුවන්ව පාසැල්වලට ගේන්නත්, රට සාමාන්‍ය තත්ත්වයට ගේනකොටත්, අපි වැක්සීන් කරද්දී එන්නත් ප්‍රමාණය නිවැරදි වයස් කැටගරිවලට ලබාදෙන්න ඕනේ. හිටපු ගමන්ම, ඒ තීරණය ගත්ත තැනක් දන්නෙත් නෑ, ඒ තාක්ෂණික තීරණය කාගෙ ද දන්නෙත් නෑ, විවිධ වයස් කාණ්ඩ අඳුරගෙන ෆයිසර් එන්නත විදිනවා. එතකොට සයිනොෆාම් විදින්න පුළුවන් පිරිසකට ෆයිසර් එක විදින්න තියෙන හේතුව තාක්ෂණිකව පැහැදිලි විය යුතු යි,” එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් සොයිසා ප්‍රකාශ කළේ ය.

    දරුවන්ට ලබා දීමට නිර්දේශ වී ඇති එකම එන්නත හම්බන්තොටට ලබාදුන්නේයැ යි විරෝධයක් නැගී ඇත
    දරුවන්ට ලබා දීමට නිර්දේශ වී ඇති එකම එන්නත හම්බන්තොටට ලබාදුන්නේයැ යි විරෝධයක් නැගී ඇත

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට ලබාදීමට නිර්දේශකර ඇත්තේ ෆයිසර් එන්නත පමණක් බව එම සංගමය කියයි.

    “ලංකාව පුරා දරුවන් 180ක් පමණ ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඒ අතරින් 25ක් පමණ මරණයට පත්වෙලා තියෙනවා. මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හතරදෙනෙක් පමණ සිටිනවා. දැන් දැන්, දරුවන්ට මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා,” සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය.

    ඔක්තෝබර් මාසයේ දී ෆයිසර් එන්නත් මිලියන 4ක් මෙරටට ලැබෙන බව පැවසූ ඔහු, වයස අවු. 12 – 18 අතර පාසැල් දරුවන් එන්නත්කරණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණය එමඟින් පහසුවෙන් ලබාගත හැකි බව ද කියා සිටියේ ය.

    “ඉතාමත් සංවේදී කාරණයක් වන දරුවන්ගේ මරණ වලක්වා ගැනීමට මේ මොහොතේ ඇති හොඳම විසඳුම වනුයේ Pfizer එන්නත, වයස අවුරුදු 20-30 කාණ්ඩයට නාස්ති නොකර, වයස අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයට ලබාදීමට කටයුතු කිරීමයැ”යි එම සංගමය ප්‍රකාශ කරයි.

    “අපි ගත් තීරණයක් නෙවෙයි” – කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී
    හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳව අප ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසූකල ඇය පවසා සිටියේ එය තමාගේ අමාත්‍යංශයෙන් ගත් තීරණයක් නොවන බව යි. ඒ සම්බන්ධයෙන් ලිඛිත උපදෙසක් දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බැවින්, ඒ පිළිබඳව ඔහුගෙන් විමසන ලෙස අමාත්‍යවරිය අප වෙත දැනුම් දුන්නා ය.

    අප එම ප්‍රශ්නයම සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත යොමු කළ විට ඔහු ප්‍රකාශ කළේ “ඒක සම්පූර්ණයෙන් ලොජිස්ටික් ඉෂූ එකක්” නිසා සිදුකෙරුණු බව යි.

    “දැන් මේ වෙනකොට මිලියන 18ක් විතර හම්බවෙලා තියෙනවා සයිනොෆාම් එන්නත. එතකොට තව මිලියන දෙකකට හෝ ඊට කිට්ටු ප්‍රමාණයකට ලැබිලා තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා. නමුත් ෆයිසර් වැක්සීන් එක තාම අපට ලැබිලා තියෙන්නේ, යන්තම් අපි ගහලා තියෙන්නේ ලක්ෂ තුනකට පොඩ්ඩක් වැඩියෙන්. එතකොට ඒවා පොඩි ප්‍රමාණවලින් හම්බවෙන්නේ. එතකොට ඒ ඒ තැන්වල ඉලක්කගත ජනගහණය අඩු ප්‍රදේශවලින් තමයි මේක පටන්ගන්න වෙලා තියෙන්නේ. ඒක යි අපි පළවෙනිම තොගය ආපු වෙලාවේ මන්නාරමට දුන්නේ,” ඔහු පැහැදිලි කළේ ය.

    සැප්තැම්බර් 9 වන දා තෙක් ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව

    සැප්තැම්බර් 9 වන දා තෙක් ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව
    ඡායාරූප මූලාශ්‍රය,HEALTH MINISTRY, SRI LANKA

    එපමණක් ද නොව, ෆයිසර් පුත්තලමට ද ලබා දී ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

    “අපි කරන්නේ, අපට එන්නත් හම්බවෙන්නේ 200 නම් ටාගට් පොපියුලේෂන් එකක් හඳුනාගෙන සියදෙනෙක් විතර ඉන්න, අපි ඒක ඒ ප්‍රදේශයට දෙනවා. මොකද අපට එන්නත් දෙක දෙක දීලා ඒක කවර් කරන්න පුළුවන්. දැන් අපට මේ ෆයිසර් එන්නත් ලක්ෂයක් ආපුවාම කොළඹ දිස්ත්‍රික්කය වාගෙ එකකට දුන්නොත් මොකද වෙන්නේ? රණ්ඩුකරගන්නවනේ මිනිස්සු ඊළඟට. අපට එන්නත් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ පාලනයෙන් තොර ක්‍රියාවලියන් හරහා. ඉතින් ඒ නිසා යම් යම් ප්‍රදේශවලට එන්නත් වෙන් කරනකොට අපට ප්‍රයෝගිකව, ගැටලුවලින් තොරව මේ එන්නත් ලබාගැනීමට සහ දීමට අවශ්‍ය කරන ගොඩක් සාධක සලකලා බලලා තමයි මේවා මේ විදියට වෙන් කරන්නේ,” ඔහු තව දුරටත් විස්තර කළේ ය.

    ෆයිසර් දෙන්න ඕනේ කාට ද?
    ෆයිසර් එන්නත හම්බන්තොටට ලබාදීමට එරෙහිව විශාල විරෝධයක් මතුවීමට හේතු කාරණා වූයේ, ෆයිසර් එන්නත සයිනොෆාම් එන්නත මෙන් නොව යම් යම් විශේෂ අවස්ථාවන්හි දී ලබාදීමට නිර්දේශ කරන එන්නතක් වීම සහ එයින් මෙරටට ලැබෙන තොග ද සීමිත වීම යි.

    මෑතක දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂඥ වර්තාවක සඳහන් වන පරිදී,

    1. සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් වයස අවු. 60ට වැඩි පුද්ගලයින්ට

    2. වයස අවුරුදු 12ට වැඩි, ප්‍රතිශක්ති දුර්වලතාවයෙන් පෙලෙන සහ ඕනෑම එන්නතක මාත්‍රා දෙකක් ලබා ඇති පිරිස්වලට

    ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, හෝ මොඩර්නා යන එන්නත් වර්ගවලින් තෙවැනි මාත්‍රාවක් ලබාදිය යුතුයැ යි නිර්දේශ වී තිබේ.

    එසේම, අවුරුදු 12ත් 18ත් අතර වයසේ සහ ප්‍රතිශක්ති ඌණතා සහිත රෝගී තත්ත්වයන්ගෙන් (නිධන්ගත වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, නිධන්ගත පෙනහැලි රෝග, මස්තිෂ්ක අංශභාගය,නිධන්ගත අක්මා රෝග, නිවැරදි නොකළ හෘද රෝග, තැලසීමියා) පෙලෙන, එන්නත් නොකළ ළමුන් සඳහා ෆයිසර් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බවත් එම කමිටුවේ නිර්දේශය වේ.

    මෙවැනි රෝගීන් සඳහා ෆයිසර් එන්නත් ඉතිරිකර ගැනීම සිදුකළ යුතු නොවේදැ යි අප විමසූ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ මෙවැන්නකි: “මේකේ දී ප්‍රශ්නේ තියෙන්නේ, එකක් තමයි, ඕක ගබඩා කරලා තියාගන්න ලොකූ වියදමක් යනවා, -70°Cවල යනකොට. අපට මිනිස්සුන්ට මේක දීලා ඉවර කරන්න ඕනේ. මොකද අපේ එන්නත්කරණය ඉවර කරන්නත් ඕනෙනෙ.”

    ශ්‍රී ලංකාවට ලැබුණු පළමු ෆයිසර් එන්නත් තොගය ගබඩා කිරීමට යොදා ගන්නා අධිශීතකරණ

    ශ්‍රී ලංකාවට ලැබුණු පළමු ෆයිසර් එන්නත් තොගය ගබඩා කිරීමට යොදා ගන්නා අධිශීතකරණ

    විදේශගත වීමේ දී යම් යම් රටවල් යම් යම් එන්නත් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බැව් ද, ලංකාවේ දී ලබාදෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කෙරුණු එන්නත් ද නිසා මෙම අසාධාරණය පිළිබඳව එම සංවිධානය සමග ද සාකච්ඡාකර තිබේයැ යි ඔහු පවසයි. “ඒ අතරතුර යම් පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක (ෆයිසර් එන්නත) දෙන එක කරගෙන යනවා කොහොමත්,” ඔහු සඳහන් කරයි.

    “සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැහැදිලි ලිපියක් ලියලා තිබ්බා කොවිඩ් ටාස්ක් ෆෝස් එකේ දී ගත්ත තීරණයක් අනුව තමා හම්බන්තොටට මේක දෙන්න තීරණය කළේ කියලා… එතකොට ඒක (කෝවිඩ් මර්දන කාර්ය සාධන බලකාය) මේ හැමෝම සහභාගී වෙන එකක් මිස දේශපාලන අය සහභාගී වෙන එකක් නෙවෙයිනේ. මේක හොඳට පැහැදිලි කරලා දෙන්න ඕනේ, මොකද සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා එල්ල වෙනවා දේශපාලන බලයකට යටත්වෙලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා,” ඔහු ප්‍රකාශ කළේ ය.

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ පැවසුවා ද, ඊයේ (සැප්තැම්බර් 9) මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ හම්බන්තොටට ෆයිසර් එන්නත දීමට තීරණය කළේ “රජය විසින්” බව යි.

    “කොයි එන්නත ද කොයි ප්‍රදේශයට ද යවන්නේ කියන එක අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛව තියෙන එම බලකායෙන් තමයි තීරණය කරනු ලබන්නේ. නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ, එම ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගමට අනුව නෙවෙයි අපි ඒ තීරණය ගන්නේ,” ඔහු පැවසුවේ ය.

    ශ්‍රී ලංකාවේ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉතාමත් සීඝ්‍රයෙන් සිදුකෙරෙමින් පවතින්නේ ය. සැප්තැම්බර් 9 වන දා වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක වයස අවු. 30ට වැඩි ජනගහණයෙන් 100%කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැ යි ජනාධිපති කාර්යාලයය ප්‍රකාශ කරයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් ලක්ෂ 3කට කෝවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ තවමත් ලැබී නැති බව යි.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි

  • රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් මෙන්න !

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් මෙන්න !

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 හි සම්මානිත ග්‍රන්ථ ලේඛනය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2020 වසරේ ප්‍රකාශිත කෘතීන් අතරින් හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය සම්මානනීය ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන මහත්මිය විසින් රචිත ‘ඉවුරු ගඟ සිඳී ගියදා’ නව කතාවට හිමිව ඇති අතර පසුගිය වසරේ හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය ලෙස සුමුදු නිරාගි සෙනෙවිරත්න මහත්මිය රචනා කළ ‘සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්’ කෘතියත්, හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය ලෙස එරික් ඉලයප් ආරච්චි මහතා රචනා කළ ‘හම්බාවා’ කෘතියත් නම්කර තිබේ.

    සම්මානිත කෘතීන් පිළිබඳව මෙරට සාහිත්‍යධරයින් මෙන්ම පාඨකයින්ද නිරන්තරයෙන් මේ පිළිබඳ විමසීම් කළ නිසා එම ග්‍රන්ථ ලේඛනය ජනගත කිරීමට රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංවිධායක ආයතන එක්ව තීරණය කළ බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය පැවසුවාය.

    කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවත 2020 රාජ්‍ය සාහිත්‍ය ප්‍රදානෝත්සවය පැවැත්වීමට සිවු වරක්ම කටයුතු සංවිධානය කළත් එය පැවැත්වීමට නොහැකිවීම නිසා සම්මාන උළෙලට පෙර සම්මානිත කෘතීන් ප්‍රකාශයට පත්කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

    මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ජීවිතයේ එක් වරක් පමණ පිරිනැමෙන සාහිත්‍යරත්න සම්මානය ද මෙවරත් ප්‍රවීණ සාහිත්‍යධරයන් තිදෙනකු උදෙසා පිරිනැමේ. සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඩබ්ලිව් .ඒ අබේසිංහ, ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් නාමෙල් වීරමුණි, දෙමළ සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් කේ.එස් සිව කුමාරන් යන සාහිත්‍යවේදීන් මෙවර සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

    කොවිඩ් වසංගත තත්වය පහව් ගිය සැණින් මෙම සම්මාන උත්සවය පැවැත්වීමට පියවර ගන්නා බවත්, 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන වෙනුවෙන් කෘතීන් තේරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය පැවසුවාය.

    ග්‍රන්ථ ප්‍රකාශකයන්ට හා කර්තෘවරුන්ට සාහිත්‍ය තම කෘතීන් අලෙවි කරගැනීමේ අවස්ථා පවතින බැවින් ඊට සහයෝගයක් ලෙස මෙම ලේඛනය එළිදැක්වීමට සංවිධායකයන් තීරණය කර ඇත.

    එම ලේඛනයට අනුව පසුගිය වසරේ ප්‍රකාශිත හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය බුවනෙක වන්නිආරච්චි මහතා විසින් රචිත ‘හත F’ ය.

    හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය ලෙස කුසුම් පීරිස් මහත්මියගේ ‘සිහිනයකි ඔබ’ කෘතියත්, ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙස චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ කෘතියත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීමට නියමිතය.

    වසරේ හොඳම විද්‍යා සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සම්මානය මනෝජ් ප්‍රසන්න රත්නායකගේ ‘මගේ රොබෝ ප්‍රේමිය, කෘතියටත්, ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය කෘති I කාණ්ඩය යටතේ හොඳම කෘතිය ලෙස මහේෂ් පතිරත්නගේ ‘ලස්සන ගමේ හපන්නු’ කෘතියත්, ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය කෘති II කාණ්ඩය යටතේ හොඳම කෘතිය ලෙස මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ ‘කලන්දාගේ ලෝකය’ කෘතියත් නම් කර ඇත.

    මීට අමතරව හොඳම ශාස්ත්‍රීය හා පර්‍යේෂණ කෘතිය ලෙස ආචාර්‍ය නිශ්ශංක අබේරත්නගේ ‘මහනුවර යුගයේ කවිකාර මඩුව ආශ්‍රිත සංගීතය’, හිඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය ලෙස ගාමිණී වේරගම මහතා රචනා කළ ‘දේශීය සිනමා වංශය’ කෘතියත්, හොඳම පරිවර්තන නවකතාව ලෙස ඩබ්ලිව්.ඒ අබේසිංහ මහතාගේ ‘මුල් කවය 11/1 කෘතියත්, හොඳම පරිවර්තිත කෙටිකතා කෘතිය ලෙස සංජය රංගලාල් නිශ්ශංකගේ ‘වෙරළ’ කෘතියත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කරගෙන ඇත.

    පසුගිය වසරේ ප්‍රකාශිත හොඳම පරිවර්තිත පද්‍ය කෘතිය ලක්ෂාන්ත අතුකෝරළගේ ‘සිපුම් සීරුම් කෙනිත්තුම්’ වන අතර හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය ලියනගේ අමරකීර්ති මහතාගේ රළ නගන මිනිස්සු කෘතියයි.

    විජිත ගුණරත්න මහතා විසින් රචිත චූටි මල්ලී සහ වහල උඩ කාල්සොන් කෘතිය හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය වන අතර ඒ.ජී නාලිනී මහත්මියගේ ‘කෞටිල්‍ය (චානක්‍ය) අර්ථ ශාස්ත්‍රය කෘතිය හොඳම පරිවර්තිත ශාස්ත්‍රීය හා පර්‍යෙෂණ කෘතියයි.

    විවිධ විෂයක ග්‍රන්ථ – සමාජ ශාස්ත්‍ර අංශය යටතේ හොඳම කෘතිය ලෙස මිල්ටන් ප්‍රනාන්දු මහතාගේ ‘ආහාරපාන පුරාණේ’ කෘතියත්, විවිධ විෂයක ග්‍රන්ථ – මානව ශාස්ත්‍ර අංශය යටතේ හොඳම කෘතිය ලෙස එරික් ඉලයප් ආරච්චි මහතාගේ ‘මන්ටො’ කෘතියත්, විවිධ විෂයක ග්‍රන්ථ – පරිවර්තන අංශය යටතේ හොඳම කෘතිය ලෙස කුඩගම්මන සීලරතන හිමියන් විසින් රචිත ‘ප්‍රමුදිත ජීවිතයක්’ කෘතියත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා තේරී තිබේ.

    හොඳම පිටකවරය සහිත කෘතිය ලෙස ගංගා ෂයිනි ගමගේ මහත්මිය රචනා කළ මෞ.ල සෙනෙවිරත්න මහතා කවර නිර්මාණය කළ ‘තාත්තා- දුවකගේ චමත්කාර ලෝකය’ කෘතියත්, හොඳම නිමාවෙන් සහ පිටු සැකසුමෙන් යුත් කෘතිය ලෙස එරිච් ජෝසප් රචනා කළ, කසුන් බෙනරගම පිටු සැකසුම් කළ ‘සිම්පනි ඔෆ් සෙරන්ඩිබ්’ (Symphony of Serandib) කෘතියත් මෙවර සම්මාන හිමි කරගෙන ඇත.

    1957 වසරේ දී ආරම්භ කෙරුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, සස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව වාර්ෂිකව පවත්වනු ලබයි.

    අදාළ වර්ෂය තුළ ප්‍රකාශිත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය කෘතීන් අතුරින් හොඳම කෘතීන් සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරේ.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරිනි

  • අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක මුදල් තැන්පතුවක්

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක මුදල් තැන්පතුවක්

    කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) රැස් වූ අතර එහි දි මෙම තීරණය ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ අදාළ භාණ්ඩ ලැයිස්තුව පහත පළ වේ.

    බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්විමේදී තිරණය කළේය.

    ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත.[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/09/press_20210909_margin_deposit_requirement_of_importation_under_LC_s.pdf” ]

  • වරක් භාවිතා කර ඉවත ලන ‘ප්ලාස්ටික් නිෂ්පාදන තහනම’ අද හෙටම

    වරක් භාවිතා කර ඉවත ලන ‘ප්ලාස්ටික් නිෂ්පාදන තහනම’ අද හෙටම

    වරක් භාවිතා කර ඉවත ලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන හතක් ශ්‍රී ලංකාව තුළ  නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම  තහනම් කිරීමේ ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

    පසුගිය සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද එම තහනම සඳහා ලැබුණු බවද ඇමැතිවරයා කීය.

    පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සතිපතා මාධ්‍ය හමුවේදීය.

    නව තීරණය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පරිසර අමාත්‍යවරයා  ‘ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන භාවිතය පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ගෙන යන ලද වැඩ පිළිවෙළෙ යටතේ එක්වරක් පමණක් භාවිතා වන තවත් නිෂ්පාදන වර්ග හතක් තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය සතියේ ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලද පසු ඊට අදාළ ගැසට් නිවේදනය වහාම නිකුත් කරන්න අපි කටයුතු කරනවා.

    ඒ අනුව පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන්, ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු,  ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, ප්ලාස්ටික් කෘත්‍රිම තණ ඇතිරිළි,  පොලිතීන් මල්මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, සහ 12X 05X 10  ප්‍රමාණයේ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් හා සිලි සිලි බෑග්  තහනම් කිරිම සිදු වනවා.

    අපේ රටේ අවිධීමත් ලෙස පරිහරණය කරන එක් වරක් පමණක් භාවිතා කරන මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවනවා.  විශේෂයෙන් මේවායින් සියයට සියයක්ම නැවත එකතු කරන්නේ නැහැ. සිදු කරන්නේ ගිනි තැබීම හෝ පරිසරයට බැහැර කිරීම පමණයි. එනිසා අවසානයේ පානීය ජල මූලාශ්‍රවලට හා සාගරයට මේවා එක්වනවා.

    අද අපේ සාගරය හරියට මින් පෙර තිබු බේරේ වැව වගේ වෙලා. 2050 වනවිට සාගරයේ මසුන්ට වඩා පොලිතීන් හා ප්ලාස්ටික් වැඩි වෙයි කියළයි අන්තර් ජාතික සංවිධාන කියන්නේ.  එමනිසා අප රටේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගන්නා ලද  මෙම පියවර සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි.

    අපි මෙම තීරණ ගත්තේ අදාල සමාගම් සමග සාකච්ඡා කර ඉන් අනතුරුවයි. බොහෝ ආයතන දැනටමත් ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගෙන විකල්ප නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා. මේ නිසා අභාවයට ගිය අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා නැවතත් අවස්ථාවන්  සැළසෙමින් තිබෙනවා .

    එක්වරක් පමණක් භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05ක් ‘පසුගිය මාර්තු 31 දා සිට අප තහනම් කළා. පරිසරයට විශාල විනාශයක් කළ  සැෂේ පැකට් අපි එම ලැයිස්තුව යටතේ තහනම් කළා. දැන් වෙළෙඳපොළේ ග්‍රෑම් 20ට අඩු ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් අලෙවි කරන්නේ නැහැ. අදාළ සමාගම් ඒවා නිෂ්පාදනය හා බෙදාහැරීම  අත්හිටවනු ලැබ තිබෙනවා. ඒ වගේම අගෝස්තු 01 සිට අපි පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් තහනම් කළා.දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ දිරාපත්වන ලන්ච්ෂීට් පමණයි’‘ යැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

  • ලෝකය පුරා පැතිර යන අලුත්ම වංචාව: Essay mill ගැන සුපිරි හෙළිදරව්ව

    ලෝකය පුරා පැතිර යන අලුත්ම වංචාව: Essay mill ගැන සුපිරි හෙළිදරව්ව

    විභාග වංචා ගැන අපි බොහෝ දේ දන්නවා. ඇතැම් විට කරලත් තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් විභාග වංචා කිරීමට උපකාර කිරීම කියන්නේ මේ වන විට ගෝලීය කර්මාන්තයක් බවට පත් වූ දෙයක්. ඒත් අපි මේ කතා කරන්නේ විභාග වංචාවල අලුත්ම ප්‍රවණතාව ගැන. එහි විශේෂත්වය වන්නේ මෙය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණ ජාවාරමක් වීම.

    මේ ලිපිය ඇතැම් විට ඔබට මග පෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඒත් මේ ලිපිය දිගටම කියවන්න. ඊට පසුව කළ යුතු දේ තීරණය කරන්න. මේ විභාග වංචාවල වත්මන් ගෝලීය කේන්ද්‍රස්ථානය වන කෙන්යාව ගැන අපූරු හෙළිදරව්වක්.

    ලන්ඩනයේ හෝ නිව් යෝර්ක්හි සිටින ශිෂ්‍යයෙක් තම රචනාව ලියවා ගැනීම සඳහා යමෙකුට ගෙවීමට අන්තර්ජාලයට ගියහොත්, එම කාර්යය ඇත්ත වශයෙන්ම කෙන්යාවේ කෙනෙකු විසින් සිදු කරනු ඇත. විදේශිකයින්ට විභාග වංචා කිරීමට උදව් කරන අවතාර ලේඛකයින් ghost writers පිළිබඳ නයිරෝබි වෙතින් සුලභව වාර්තා වේ.

    කෙනඩි ගුරුවරයෙකු ලෙස සේවය කළ නමුත් පසුගිය අවුරුදු පහ තුළ ඔහු ජීවත් වූයේ බෙහෙවින් වෙනස් ආකාරයකට ය. “මම ශාස්ත්‍රීය ලිවීම කරනවා,” ඔහු පවසයි.

    ඔහු කෙන්යාවේ වේගයෙන් වර්ධනය වන සැබවින්ම ගෝලීය මාර්ගගත කර්මාන්තයක කොටසකි. නමුත් කෙනඩි සහ වෙනත් බොහෝ කෙන්යානුවන් “ශාස්ත්‍රීය ලිවීම” ලෙස හඳුන්වන දේ ලෝකයේ අනෙක් අය වංචාව ලෙස හඳුන්වති.

    ඔබ පැවරුමක් සමඟ පොරබදමින් සිටින සරසවි ශිෂ්‍යයෙක් හෝ පාසල් ශිෂ්‍යයෙක් නම්, ඔබට ඒ ගැන කරදර විය නොහැකි නම්, කෙනඩි සහ ඔහුගේ ලේඛකයින්ගේ කණ්ඩායම එය ඔබ වෙනුවෙන් කරනු ඇත. කළ යුත්තේ නියමිත ගාස්තුව ගෙවීම පමණකි.

    ‘‘ඔබ එය අපට භාර දෙන්න, එය ඔබේම වැඩක් යැයි සිතෙන ලෙස අපි එය කර දෙන්නම්. බිය වෙන්න එපා ! ඔබව පවාදීමට කිසිවෙකු නැත‘‘

    මෛම අලුත්ම කර්මාන්තයේ නියුතු වූවන් “රචනා මෝල් – essay mill වෙබ් අඩවි පවත්වාගෙන යන අතර එමඟින් සිසුන්ට තමන්ට අවශ්‍ය සේවය ලබා ගත හැකිය.

    මෙම වෙබ් අඩවි බොහොමයක් එක්සත් ජනපදය හා නැගෙනහිර යුරෝපය පදනම් කරගත් ඒවා වන අතර ඒවායේ අය කිරීම අදාළ සේවා ගාස්තුවෙන් භාගයක් පමණ විය හැකිය. පැවරුම සරල රචනයක් ද නැත්නම් පීඑච්ඩී නිබන්ධනයක් ද යන්න මත පදනම්ව පාරිභෝගිකයා කොපමණ මුදලක් ගෙවනවාද යන්න තීරණය වේ.

    උපාධිධාරී සිවුරු ඇඳගත් උපාධිධාරීන්ගේ නිර්නාමික පසුපස වෙඩිල්ල
    සමහර සිසුන් උපාධියක් ලබා ගැනීමට වංචා කිරීම සඳහා රචනා මෝල් අඩවි භාවිතා කරති

    කෙනඩි සහ ඔහු සේවයේ නියුතු ලේඛකයින්ට මසකට රචනා 200 ක් හෝ මාර්ගගත විභාග 200 ක් දක්වා සම්පූර්ණ කළ හැකිය.

    “ඔබ ශිෂ්‍යයෙකු සඳහා ප්‍රවේශ වී ඔවුන් වෙනුවෙන් විභාග කරන්න,” ඔහු තවදුරටත් පවසයි.

    “කොන්ත්‍රාත් වංචාව – contract cheating” ලෙස හැඳින්වෙන ව්‍යාපාර ගැන අධ්‍යයනය කරන පර්යේෂකයින් පවසන්නේ කෙන්යාව මෙහි ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවයි.

    හේතු සරලයි: කෙන්යාව හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති ඉංග්‍රීසි කතා කරන රටක් වන අතර උගත් තරුණයින්ට රැකියා හා ආර්ථික අවස්ථා විරලය.

    කිසි දිනෙක හමු නොවන විදේශිකයින් සඳහා දැනුම පුනර්ජීවනය කිරීම ඔවුන්ගේ එක් සරල සහ වාසිදායක ආදායම් මාර්ගයක් වී තිබේ.

    රචනා අඩවි වල කුලියට ගැනීම සඳහා සිටින ලේඛකයින්ගේ පින්තූර මගින් හැඟීම ලබා දෙන්නේ ඔවුන් සියලු දෙනාම සුදු ජාතිකයින් බවයි. නමුත් මෙම ව්‍යාපාරයේ බොහෝ දේ මෙන් එම ඡායාරූප ද ව්‍යාජ ය. ඇත්ත වශයෙන්ම ඔබ මාර්ගගතව රචනයක් ඇණවුම් කරන්නේ නම් එය බොහෝ විට කෙන්යානු ජාතිකයෙකු විසින් සිදු කරනු ඇත.

    කෙනඩිට මෙම කර්මාන්තයට සම්බන්ධ වීම අනවශ්‍ය දෙයකි. 30 හැවිරිදි ඔහු මසකට කෙන්යානු ශිලිං 150,000ක් (පවුම් 1000 ක් පමණ) උපයයි. (සාමාන්‍ය වැටුපට වඩා ටිකක් වැඩියෙන්) එය ඔහු ගුරුවරයෙකු ලෙස ලැබූ වැටුප මෙන් හතර ගුණයකටත් වඩා වැඩිය.

    නමුත් ලොව පුරා අධ්‍යාපනයේ අඛණ්ඩතාව බිඳ දැමීමට තමා උදව් කරන බව ඔහුට දැනෙන්නේ කෙසේද?

    හිටපු ගුරුවරයෙකු වශයෙන් ඔහු “සදාචාරමය වශයෙන් අතපසු වීමක්” ඇති බව පිළිගන්නා නමුත් ඔහු මුදල් සඳහා වැඩ කරන බව පවසයි.

    “මම සැලකිලිමත්, නමුත් මගේ ජීවිතයට වඩා මම සැලකිලිමත් වන්නේ කුමක්ද ? සමහර විට සදාචාරය ගැන සිතීමට පෙර ඔබට මුලින්ම දිවි ගලවා ගැනීමට සිදු වේ,” ඔහු පවසයි.

    තම සේවය මගින් අදාළ පරිභෝගිකයා ඉහළ වැටුපක් ලබන රැකියාවක් ලබාගත හැකි බව කෙනෙඩි දනී. ” එය ඔබට එරෙහි තරඟයක් නොවන බව ඔබට වැටහේවි. සමහර විට එය දුප්පත්කමට එරෙහි තරඟයක්.” කෙනෙඩි කියයි.

    ලැප්ටොප් එකක වැඩ කරන වෙස් මුහුණක් ඇති කෙන්යානු ශාස්ත්‍රීය ලේඛකයෙකු වන ඩේවිඩ්.
    ඩේවිඩ් විදේශිකයන් සඳහා රචනා ලිවීමෙන් ඔහුගේම අධ්‍යයන කටයුතු සඳහා මුදල් උපයා ගනී

    වෙනත් රටවල කුලියට දීම සඳහා රචනා රචකයින් සිටින අතර කෙන්යාවේ සිටින අය තමන්ගේම උප සංස්කෘතියක් වර්ධනය කරගෙන ඇත.

    ෆේස්බුක් සහ ටෙලිග්‍රාම් වල රැකියා සහ මෘදුකාංග වෙළඳාම් කෙරෙන “ශාස්ත්‍රීය ලිවීමේ” කණ්ඩායම් ඇත. සමහරුන්ට දස දහස් ගණන් සාමාජිකයින් සිටී. ඔවුන් මධ්‍යම පාන්තික වෘත්තිකයින්ගේ සිට යම් අමතර මුදලක් සඳහා වෙහෙසෙන, තවමත් අධ්‍යාපනය ලබන සිසුන් දක්වා පරාසයක සිටිති.

    තම අධ්‍යයන කටයුතු සඳහා මේ ආකාරයට මුදල් උපයන බව කියන ඩේවිඩ් අවසන් වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි.

    “මගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දැරීමට මගේ දෙමාපියන්ට නොහැකියි” යනුවෙන් ඔහු පවසයි. “ඉතිං මම කුලියට රචනා ලිවීම ආරම්භ කළා. එය මට අදායමක් ලබා දෙනවා වගේම මගේ පවුලටත් උපකාර කිරීමට තරම් අදායමක් ලබා දෙනවා” ඩේවිඩ් පවසයි.

    පසුගිය වසර දෙක තුළ ඩේවිඩ් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගනුදෙනුකරුවන් සඳහා රචනා 360ක් පමණ ලියා ඇති අතර තම උපාධිය සදහා හැදෑරීම් ද කළේය.

    ඔහුට දිනකට පවුම් 1. 65ක් පමණ උපයා ගත හැකිය. “මට සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී කාලයේ සහ දිවා කාලයේ වැඩ කළ හැකි නමුත් සති අන්තයේ මම එය මගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කළා” ඔහු පවසයි.

    විශාල විදේශීය රචනා මෝල් වෙබ් අඩවියක ලේඛකයෙකුගේ ගිණුමක් ඇති කර්මාන්තයේ සිටින සමහර ජ්‍යේෂ්ඨයින් විසින් ඩේවිඩ්ට උප කොන්ත්‍රාත් ලබාදී ඇත. එවැනි ජනප්‍රිය වෙබ් අඩවියක ගිණුමක් ලබා ගැනීම පහසු නැත. සමහර සමාගම් අයදුම්කරුවන් අධ්‍යයන පරීක්ෂණ සමත් විය යුතු යැයි අවධාරනය කරති.

    සුදු පැතිකඩ පින්තූරයක් සහිත රචනා මෝල් ගිණුමක් විකුණන කෙන්යානු ලේඛකයෙකු විසින් තැබූ ෆේස්බුක් කණ්ඩායමෙන්.
    කෙන්යානු ජාතික කළු ජාතික ලේඛකයෙකු විසින් ෆේස්බුක් කණ්ඩායමක අලෙවි කරන ගිණුමක් සඳහා වූ දැන්වීමක්

    තරු පහේ පාරිභෝගික සමාලෝචන රාශියක් ඇති ගිණුම් වටිනා භාණ්ඩ වන අතර ඒවා අධ්‍යයන ලියන කණ්ඩායම් වලින් මිලදී ගෙන විකුණනු ලැබේ.

    වංචා කරන සිසුන්ට ඇත්ත වශයෙන්ම තමන්ම රවටා ගත හැක්කේ මේ ආකාරයට ය. දක්ෂ ලේඛකයින් විසින් තම රචනා ලබා දෙන බව ඔවුන් සිතනවා විය හැකිය. නමුත් ඇත්ත වශයෙන්ම එය හොඳ නමක් ඇති ගිණුමක් මිලදී ගත් එකක් විය හැකිය.

    “මම ගිණුම් 10කට වඩා මිලදී ගෙන තිබෙනවා” කෙනඩි පවසයි. “සමහර ඒවා සඳහා කෙන්යාවේ සිලිං 500,000 ක් පමණ වැය වේ (පවුම් 3,300). සේවාලාභීන් ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් නැහැ.”

    මෙවැනි ආකර්ෂණීය ගිණුමක් තිබීම ඩේවිඩ් උපාධිය ලැබීමෙන් පසු බලාපොරොත්තු වන දෙයකි. වයස අවුරුදු 23ක් වන ඔහු දැනටමත් ඊළඟ පරම්පරාව නිර්මාණය කර ඇත. ඔහු නවක ලේඛකයින් පුහුණු කර ඔවුන්ගේ ආරම්භය ලබා දීම සඳහා පහසු රැකියා ලබා දෙයි.

    “එයින් අපි මිත්‍රකම් ඇති කරගෙන එකිනෙකාට උදව් කර ගන්නවා. මෙය වර්ධනය වන කර්මාන්තයක්”

    නමුත් අනෙක් අය වෘත්තිය ගැන එතරම් සුබවාදී නැත. ජෝන් ශාස්ත්‍රීය ලිවීමට පිවිසියේ උපාධිය ලැබීමෙන් පසුව ය. ඔහු බලාපොරොත්තු වන්නේ ඔහුගේ සිහින රැකියාව වන ජනමාධ්‍යවේදියෙකු වීමෙන් පසු එය අතහැර දැමීමයි.

    “හෙද සේවයේ පැවරුම් කරන අය ද සිටිනවා. වෙනත් අයෙකුට මුදල් ගෙවා හෙද උපාධිය සමත් වී රැකියාව ලබාගත් අයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට යාමට මට අවශ්‍ය නැහැ. එය ඇත්තෙන්ම භයානකයි‘‘ ඇය පවසයි.

    “එය අහෝසි කළ යුතුයි.”

    නයිරෝබි හි බහු මාධ්‍ය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා කථිකාචාර්ය ආචාර්ය ග්ලැඩිස් නියාචියෝ විශ්වාස කරන්නේ විභාග වංචාවලට මුහුණ දීමේ ලොකුම වගකීම ඇත්තේ පොහොසත් රටවල් වෙත බවයි. ඉල්ලුම ඇති වන්නේ පොහොසත් රටවල ශිෂ්‍යයින් ගෙන් බව පැහැදිලියි. ඉල්ලුමක් නොමැතිව සැපයුමක් නැහැ. එනිසා මෙම වංචාවට වැට බැදීම ධනවත් රටවල වගකීමක්. අපිට කළ හැකි දේ අල්පයි‘‘

    ආචාර්ය ග්ලැඩිස් නියාචියෝ බහු මාධ්‍ය විශ්ව විද්‍යාල උත්සවයක දේශනයක සිටගෙන සිටී.
    ධනවත් ජාතීන් රචනා මෝල් වලට එරෙහිව පියවර ගත යුතු බව ආචාර්ය ග්ලැඩිස් නියාචියෝ පවසයි

    “ඔවුන්ට ඒ ගැන යමක් කළ හැකි නම්, අනෙක් පැත්තෙන් එය නීති විරෝධී බවට පත් කිරීම කළ හැකියි” ඇය පවසයි.

    සමහර රටවල් මේ වෙනුවෙන් පියවර ගනිමින් සිටී. පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාව රචනා විකිණීමේ සේවා තහනම් කළේය. එංගලන්තයේ ද එවැනිම නීතියක් සලකා බලමින් සිටී. නමුත් ජාත්‍යන්තර දේශසීමා හරහා යන වෙළඳාමක් නැවැත්වීමේදී මෙය කෙතරම් දුරට සාර්ථක ද යන්න පැහැදිලි නැත.

    මේ අතර ආචාර්ය නියාචියෝ ඇයට හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කරයි.

    “මම මගේ සිසුන්ට කියන්නේ එය සදාචාරාත්මක නොවන බවයි. එය නිවැරදි නොවේ,” ඇය පවසයි.

    “නමුත් මට කළ හැක්කේ එපමණයි. සමහර මිනිසුන්ට එය පැවැත්ම පිළිබද ප්‍රශ්නයක්. එබැවින් එය එක්තරා ආකාරයක උභතෝකෝටිකයකි.”

    මේ කතාවේ සමහර නම් වෙනස් කර ඇත.

    බී.බී.සී වාර්තාවකි

  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන අලුත්ම දුක්ගැනවිල්ල

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන අලුත්ම දුක්ගැනවිල්ල

    දින  දෙකකට පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (09) දින අලුයම හතරට එළවළු වෙළඳාම සඳහා විවෘත කෙරුණ ද එළවළු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයින්ට මෙන්ම එළවළු රැගෙන ආ ගොවීන්ට පැය ගණනාවක් ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල ලත වීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇතුළත මෙන්ම දඹුල්ල නගරයේ සෑම වර්ගයකම එළවළු පැටවූ ලොරි රථ වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර 08 දින දහවල් සිට දඹුල්ල නගරයේ මෙයාකාරයෙන් දැඩි රථවාහන  වාහන තදබදයක් පවතින බව ගොවීහූ පෙන්වා දෙති.

    පෙර දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ එළවළු ගොවීන් තම එළවළු තොග සහිත වාහනය ආර්ථික මධ්‍යස්ථානය ඇතුළට ඇතුල් කරගැනීමට පැය 24කට වඩා වැඩි කාලයක් කුසගින්නේ මාර්ගවල පෝලිමේ සිටීමට තමන්ට සිදු වූ බව ඔවුහු කියති.

    ගොවීන් සහ ව්‍යාපාරිකයින් මෙන්ම මාර්ගවල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද 8 දින පෙරවරුවේ සිට එක් දිගටම  රාජකාරි කටයුතුවල නිරතව දැඩි  අසීරුතාවයකට පත්ව සිටි බවට දඹුල්ලේ සංචාරය කළ අපට නිරීක්ෂණය විය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල සිට පෙළවල් තුනකට කිලෝමීටර්  දෙකක පමණ එක් මංතීරුවක වාහන නවතා ඇති අතර  කිලෝමීටර් තුනකට වැඩි ප්‍රමාණයක් මහනුවර දඹුල්ල ප්‍රධාන මාර්ගය මෙන්ම වෑවල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ද දැක ගැනීමට හැකි විය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ බොහෝ ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම් සඳහා පැමිණි ව්‍යාපාරිකයන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් ද කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය දිනපතා උදෑසන හතරේ සිට පස්වරු 2ට පමණ වන තුරු විවෘත කර තබන්නේ නම් මෙවැනි තදබදයක් ඇති නොවන බවයි.

    මෙම  තද බදය හේතුවෙන් බොහෝ දෙනාගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති වන බවත් ඇතැම් එළවළු සඳහා නිසි මිලක් නොමැතිව එළවළු අපතේ යෑම පවා සිදු වන බව ඔවුහු පෙන්වා දෙති.

    එළවළු මිල ගණන් විමසුම

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙදින එළවළු මිල ද මධ්‍යස්ථ මට්ටමක පැවතිනි. කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට්, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 100 – 190 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වන අතර පහත රට ප්‍රදේශ වලින් ලැබී තිබුණු වට්ටක්කා, මෑ කරල්, වම්බටු, දඹල, පතෝල, නෝකෝල්, වට්ටක්කා ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 60-119 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ අතර කැකිරි සහ පිපිඤ්ඤා, බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් දහයේ සිට 35 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

    ඇතැම් ගොවීන්ට තම වාහන ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීමට නොහැකිව පැය ගණනාවක් ගත වන අතර ගොවීන් ගොවීන් අතරද උණුසුම්කාරී තත්ත්වයක් මහ පාරේ දැකගැනීමට හැකි විය. ඇතැම් ගොවීන් එළවළු ලොරිය මතම නිදා සිටින ආකාරයත් ඇතැම් රියදුරන් රියදුරු අසුනේ ම නිදාගෙන සිටින දසුන් ද  දර්ශනය වීම විශේෂත්වයකි.

    බොහෝ ගොවීන් පොලීසිය සමග ද  උණුසුම් වචන හුවමාරුවලට පැටලෙනු දඹුල්ල නගරයේ දී දැක ගැනීමට හැකිවිය. කෙසේ වෙතත් පොලිසිය ස්ථාන ගණනාවක සිටම රථවාහන පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වී සිටිය ද ඇතැම්  ගොවීන් පොලිස් අණ නොතකා ආර්ථික මධ්‍යස්ථානය ප්‍රදේශයට ගමන් කිරීමට දරන උත්සාහයක් ද ඕනෑ තරම් දැක ගැනීමට හැකි වී තිබේ

    මේ අතර ගොවීන් මහ පාර මැදට බැස කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයාගේ පොලිසිය භාර අමාත්‍ය අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම භාර අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු නොකළහොත් දඹුල්ල දින දෙකෙන් දෙකට මේ ආකාරයෙන් විවෘත කිරීමට යාම රටේම බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කරන බවය.

    කාංචන කුමාර ආරියදාස  – දඹුල්ල

  • හැකිනම් ගැබ් ගැනීමක් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

    හැකිනම් ගැබ් ගැනීමක් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

    ‘‘හැකිනම් ගර්භණී වීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අඹුසැමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළ අතපත්තු මහතා ඊට හේතු වශයෙන් පවසා සිටියේ දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් මෙය යහපත් පියවරක් වනු ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා “කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා.”