Blog

  • ලොකු – පොඩි බිත්තර ගැන සුපිරි හෙළිදරව්වක්

    ලොකු – පොඩි බිත්තර ගැන සුපිරි හෙළිදරව්වක්

    අපෙන් බොහෝ දෙනෙක් විශාල හෝ අති විශාල බිත්තර මිලදී ගැනීම ගැන දෙවරක් නොසිතන අතර ඒවා සූපවේදීන් අතර ජනප්‍රියයි. නමුත් කුඩා බිත්තර ! කුඩා දේවල්වලට බොහෝ විට සිදුවන අයුරින් ඒවා අවප්‍රමාණය වේ.

    විශාල බිත්තරවලට ලොකු සැලකිල්ලකුත්, කුඩා බිත්තරවලට අඩු සැලකිල්ලකුත් ලැබුණ මේ ආකල්පය ගැන කුකුළු ගොවිපොළකරුවන් වගේම පෝෂණවේදීන්, සූපවේදීන් බොහෝ කාලයක් කණස්සල්ලට පත්ව සිටිනවා.

    කුඩා බිත්තර අවප්‍රමාණය වීම වළක්වන බැවින් මිශ්‍ර බර සහිත බිත්තර පෙට්ටි ගොවීන්ට හොඳ වනු ඇතැයි කුකුළු කර්මාන්ත විශේෂඥයෝ කියනවා. තවත් සමහරුන් තර්ක කරන්නේ එය කුකුළන්ටද ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

    කුකුළන් ස්වභාවිකවම විවිධ ප්‍රමාණවලින් බිත්තර දමනවා. ඒක කිසිසේත්ම ඔවුන්ගේ වරදක් නොවෙයි. බොහෝ විට කිකිළියන්ගේ මුල් කාලයේදී බිත්තර කුඩා වන අතර කිකිළියන් වයස්ගත වන විට ඒවා ප්‍රමාණයෙන් විශාල වෙනවා. 

    බිත්තර බර අනුව කාණ්ඩ හතරකට වර්ග කරනවා.

    •  කුඩා,
    • මධ්‍යම,
    •  විශාල
    • ඉතා විශාල

    විශාල සහ අති විශාල බිත්තර ලෝකය පුරා ජනප්‍රියයි.

    බ්‍රිතාන්‍යයේ කුකුල් සුභසාධක භාරයේ නිර්මාතෘ ජෝර්ජ් හොවෝර්ත් සදහන් කරන්නේ “ එක්සත් රාජධානියේ විශාල හා අති විශාල බිත්තර සමඟ සම්බන්ධ වී ඇතැයි විශ්වාස කරන ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තම සංවිධානය සැලසුම්කර ඇති බවයි. එය බ්‍රිතාන්‍යයේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ආරම්භ කිරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

    මේ අතර බ්‍රිතාන්‍ය බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී රොබට් ගූච් පවසන්නේ ඔවුන්ගේ සාමාජිකයින් විසින් නිෂ්පාදනය කරන බිත්තරවලින් අඩක් විශාල හෝ අති විශාල ඒවා බවයි.

    කුකුළු පශු වෛද්‍ය ඉයන් ජෝන්ස් පැහැදිලි කරන්නේ වාණිජමය වාතාවරණයක් තුළ බොහෝ කිකිළියන් තෝරාගත් අභිජනනය, ආහාර සැපයීම සහ ඔවුන් ආලෝකය ලැබෙන පැය ගණන හරහා  විශාල බිත්තර දැමීමට දිරිමත් කරන බවයි. 

    සමහර විට විශාල බිත්තර කිකිළියන් තුළ මානසික ආතතිය පවා ඇති කරන අතර තවත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරයි.

    ‘මේ තත්ත්වය මත ඔවුන් මිය යාමට පවා පුළුවන්‘ ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

    ජෝන්ස් පවසන්නේ තම ජීවිත කාලය පුරාම නිරන්තරයෙන් මධ්‍යම ප්‍රමාණයේ බිත්තර දැමූ කිකිළියන් ග්‍රෑම් දෙකක් හෝ තුනක් වැඩියෙන් බර බිත්තර දමන කිකිළියන්ට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවයි.

    කිකිළියන් දමන විශාල බිත්තර හා ඔවුන්ගේ සෞඛ්‍යය අතර සම්බන්ධය පිළිබඳව නිශ්චිත පර්යේෂණයක් සිදු කර නොමැති බැවින් නිගමනවලට එළඹීම දුෂ්කර ය. 

    ජෝන්ස් පවසන්නේ සියලුම කුකුළු මස් ගොවීන් මේ පිළිබඳව දැනුවත් බවයි. “ විශාල ප්‍රමාණයේ බිත්තර දමන කිකිළියන්ගේ සෞඛ්‍ය ගැටළු පිළිබදව අපට නිතර චෝදනා ලැබෙනවා‘‘ යනුවෙන් ඔහු පැහැදිලි කරයි. 

    ඔහු කිකිළියන්ගේ මරණ හා බිත්තරවල ප්‍රමාණය අතර සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

    නමුත් එක්සත් රාජධානියේ බිත්තර කර්මාන්තයේ අවශ්‍යතා නියෝජනය කරන බ්‍රිතාන්‍ය බිත්තර කර්මාන්ත කවුන්සිලයේ සභාපති ඇන්ඩෘෘ ජෝරෙට් පවසන්නේ “බිත්තරවල ප්‍රමාණය කිකිළියන්ගේ සෞඛ්‍යයට හා සුභසාධනයට බලපානු ඇතැයි අපි විශ්වාස කරන්නේ නැහැ. වර්තමානයේ කිකිළියන්ගේ හොඳ ශරීර බරක් ඇති අතර ඔවුන් ශක්තිමත්. එයින් අදහස් කරන්නේ කිසිදු ගැටලුවකින් තොරව සෑම තරාතිරමකම බිත්තර දැමීමට ඔවුන්ට හැකි බවයි‘‘

    එසේ වුවද, මිශ්‍ර ප්‍රමාණයේ බිත්තර පෙට්ටි “ගොවීන්ට වඩාත් ප්‍රයෝජනවත් වන බැවින් ඉල්ලුම කළමනාකරණය කර වඩාත් පහසුවෙන් සැපයිය හැකි” බවට ජොරෙට් එකඟ වන අතර ඒවා බොහෝ විට සුපිරි වෙළඳසැලේ හොඳම වටිනාකම් විකල්පය බව සටහන් කරයි.

    ගොවීන්ට සහ සූපවේදීන් සඳහා කුඩා බිත්තරවල ප්‍රතිලාභ

    සමහර සූපවේදීන් සහ ආහාර ලේඛකයින් ඔවුන්ගේ වට්ටෝරු වලින් විශාල බිත්තර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ආහාර ලේඛක සහ ආහාර ලේඛකයින්ගේ සංසදයේ සභාපති ඕර්ලන්ඩෝ මුරින් සිය නව සූපවේදී පොතෙන් ඒවා ඉවත් කර ඇති අතර, “කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බිත්තරවලින් බිත්තර නිෂ්පාදකයාට වාසි රාශියක් තිබෙනවා. මිශ්‍ර බිත්තර පෙට්ටි වට්ටම් මිලකට විකිණිය හැකියි.  කෝකියාටද වාසි තිබෙනවා. පෙම්වතුන් කුඩා බිත්තරයකට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි බිත්තරයේ ප්‍රමාණය කුමක් වුවත් කහ මදයෙහි ප්‍රමාණය එක හා සමානයි‘‘ මුරින් කියනවා.

    ඉවුම් පිහුම් සඳහා බිත්තර කිරන ආකාරය

    එක් එක් බිත්තර ප්‍රමාණ කාණ්ඩය අතර බර වෙනස ග්‍රෑම් 10ක් පමණ වේ. මධ්‍යම බිත්තරයක් (එහි කවචයේ) බර ග්‍රෑම් 53-63 අතර වේ, විශාල බිත්තරයක් 63-73gකි. 

    “විශාල බිත්තර වෙනුවට මධ්‍යම ප්‍රමාණයේ බිත්තර ආදේශ කිරීම පිඟානට එතරම් වෙනසක් නොකරනු බවයි ඒ අනුව පැහැදිලි වන්නේ. නමුත් විශාල බිත්තර කිහිපයක් (හතරකට වඩා වැඩි) අවශ්‍ය වන වට්ටෝරු සඳහා අතිරේක මධ්‍යම බිත්තරයක් එක් කරන්න” යනුවෙන් ජොරෙට් උපදෙස් දෙයි. 

    ඔබ බොහෝ විට වෙනස නොදකින බවට මුරින් කියයි.

    බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • නාමල් – සමන්ත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

    නාමල් – සමන්ත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

    කොවිඩ් මර්දන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ජවිපෙ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    ඔහු සදහන් කළේ පසුගිය දා පොහොර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට නාමල් කරුණාරත්න මහතා සහ සමන්ත විද්‍යා රත්න ඇතුළු පස් දෙනකුට චෝදනා එල්ල කර ඇති බවයි.

    ‘‘මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් 5 දෙනෙකු අද (03) වැලිමඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා. එහිදී ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පොලීසිය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය සංවිධානය කිරීමට අදාළව සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත් ඊට අදාළව නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා‘‘

    මේ අතර අප වාර්තාකරු පැවසුවේ බෝගහකුඹුර පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන් බවයි.

    ‘‘අදාළ සැකකරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබෙන බව ‘අප වාර්තාකරු පැවසුවා.

    ‘මේක පැහැදිලිවම විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමක්. ගොවීන් උද්ඝෝෂණය කළේ පැහැදිලිවම ඔවුන් මත බලහත්කාරයෙන් පටවපු ගැටලුවකට. ඔවුන්ට ඊට විසදුම් අවශ්‍යයි. මේක අද ජාතික ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් හරහා පොහොර හිගයට එරෙහිව රට පුරා සිදුවන ගොවි උද්ඝෝෂණ මර්දනය කිරීමේ වුවමනාව ආණ්ඩුවට පැහැදිලිව තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සංවේදී වන ලෙසයි‘ ජවිපෙ ප්‍රකාශකයෙක් අප සමග පැවසුවා.

  • යුක්‍රේනය හමුදා සෙබළියන්ට බූට් වෙනුවට ‘අඩි උස පාවහන්‘

    යුක්‍රේනය හමුදා සෙබළියන්ට බූට් වෙනුවට ‘අඩි උස පාවහන්‘

    ඉහළ ඡායාරූපය – යුක්‍රේන හමුදා සෙබළියන් පෙළපාලියක් සඳහා පුහුණුවීම්වල යෙදෙන අයුරු

    නිතර නිතර උණුසුම් දේශපාලන පුවත් මවන යුක්‍රේනයෙන් අද (03) උණුසුම් සුන්දර පුවතක් වාර්තා වුණා. ලෝකය කුල්මත් කළත් මේ පුවතින් යුක්‍රේනය නම් ගිනි ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියන්නේ.

    විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන මාසයේ යුක්‍රේනයේ පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියක් වෙනුවෙන් හමුදා සෙබළියන් හමුදා බූට් සපත්තු වෙනුවට අඩි උස පාවහන් පැළදීමට සූදානම් වෙමින් සිටිනවා. එය ආරක්ෂක අමාත්‍යාංශයේ සැලසුමක් බවයි වාර්තා වෙන්නේ.

    මේ පුවත ශ්‍රවණය වුණ විගස යුක්‍රේනයේ මහා අවුලක් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

    යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අයිරිනා ජෙරාෂ්චෙන්කෝ මෙම තීරණය දැඩිව හෙළා දකමින් කියා සිටියේ ‘එය සමානාත්මතාවය නොව ලිංගිකත්වය‘ බවයි.

    සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු නිදහස ලබා වසර 30 ක් සපිරීම නිමිත්තෙන් යුක්‍රේනය ලබන අගෝස්තු 24 වන දින හමුදා පෙළපාළියක් පැවැත්වීමට සූදානම් වෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෙහිදී පැළදීමට නියමිත අඩි උස සපත්තු හමුදා නිල ඇඳුමේ කොටසක් බවයි.

    යුක්රේනයේ බොහෝ දෙනෙක් මෙම සැලසුම ගැන කම්පනය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ආරක්ෂක ඇමති ඇන්ඩ්‍රි ටාරන්ව දැඩිව විවේචනය කළා. ඔවුන් කියන්නේ මේ තීන්දුව ගැන ආරක්ෂක අමාත්‍යවරයා ‘ජාතියෙන් සමාව ගත යුතු බවයි‘.

    “හමුදා පෙළපාලියකදී මෙවැනි දෙයක් දැකීමට සිදුවීම ඇත්තටම නින්දාවක්” යැයි දේශපාලන විචාරක විටාලි පෝට්නිකොව් සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සඳහන් කළා. ඔහු කියා සිටියේ සමහර නිලධාරීන්ට “මධ්‍යකාලීන” මානසිකත්වයක් ඇති බවයි.

    ජෙරාෂ්චෙන්කෝ මහත්මිය පැවසූයේ, ‘මෙම පින්තූර ප්‍රෝඩාවක්‘ බවයි. 

    එය ලිංගිකත්වය මිස සමානාත්මතාවය නොවන බව පැවසූ ඇය ‘කාන්තාවන්ට සරිලන පරිදි ශරීර හමුදා නිල ඇදුමක් නිර්මාණය කිරීමට වඩා විලුඹ වැදගත් යැයි ආරක්ෂක අමාත්‍යාංශය සිතුවේ මන්දැයි‘ සිය විමතිය පළ කළාය.

    හමුදා ප්‍රවීණයෙකු වන මාරියා බර්ලින්ස්කා කියා සිටියේ පෙළපාළියක මිලිටරි දක්ෂතාවය පෙන්නුම් කළ යුතු නමුත් මෙය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මිත්‍රත්වයන් සඳහා නම් කිරීම බවයි.

    රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන්ට එරෙහිව යුක්රේන හමුදාව සිදුකරන මෙහෙයුම්වලදී සෙබළියන් 13,500 කට වැඩි පිරිසක් සටන් කර ඇති බව නියෝජ්‍ය පාර්ලිමේන්තු කථානායක ඔලේනා කොන්ඩ්‍රැටියුක් පෙන්වා දුන්නාය.

    මේ වන විට කාන්තාවන් 31,000 කට වැඩි පිරිසක් යුක්ක්‍රේන ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අතර නිලධාරීන් 4,000 කට වැඩි පිරිසක් ද වෙති.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඩොලර් අර්බුදයට ‘බංග්ලාදේශය ඇතුළු රටවල් තුනකට අතපා‘ මිලියන 2150ක් සොයා ගනී

    ඩොලර් අර්බුදයට ‘බංග්ලාදේශය ඇතුළු රටවල් තුනකට අතපා‘ මිලියන 2150ක් සොයා ගනී

    විදේශ සංචිත පහළ බැසීමට කෙටි කාලීන පියවරක් ලෙස චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2150ක් ලබා ගැනීමට රජය සැලසුම් කර ඇතැයි මහ බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්, බංගලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් සහ චීනයෙන් ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීමට නියමිතය.

    ඉන්දියාවෙන් හා  බංගලාදේශයෙන් ලබා ගැනෙන ඩොලර් මිලියන 650ක ණය ‘මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට නියමිතය.

    ඉන්දිය ණය මුදල මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ද, බංගලාදේශයෙන් ලබා ගන්නා ණය මුදල අදියර තුනකින් ද ලබාගැනීමට නියමිත අතර චීනයෙන් ලබා ගන්නා ණය ‘දිගු කාලීන‘ ණය පදනමින් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ආර්ථික හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සදහා පමණක් බව පසුගිය දා රජය විසින් ප්‍රකාශ කළ බවයි.

    ‘‘ මහ බැංකුව සතුව තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණයි. මේ මාසයේදීත් ඩොලර් මිලියන 1000ක කල් පිරුණු විදේශ ණය මුදලක් ගෙවීමට නියමිතව තිබෙනවා. මේ තත්ත්වය තුළ රට බරපතළ විදේශ විනිමය අර්බුදයකට යාම වළක්වා ගන්න බැහැ. ඊට කෙටි කාලීන පියවරක් ලෙස පසුගිය දා මෙරට සේවය කරන විදේශිකයින්ට තම ආදායම් මවුරටට යැවීමට සීමා පැනවීමට මහ බැංකුව පියවර ගත්තා. ඒත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බව පැහැදිලියි. මේ සමග විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්  ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බව පැහැදිලියි. ඊට මුහුණ දීමට රජයට පහසු වෙන එකක් නැති බවයි මගේ විශ්වාසය වන්නේ‘‘ යැයි ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළේය.

  • Delta ආසාදිතයින්ගේ වාර්තාවට දිස්ත්‍රික්ක 4කින් තවත් 14ක් !

    Delta ආසාදිතයින්ගේ වාර්තාවට දිස්ත්‍රික්ක 4කින් තවත් 14ක් !

    කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාවල සදහන් වේ.

    මෙම ආසාදිතයන් 14 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය 142ක් පරික්ෂා කිරීමේදීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී .

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය, කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

  • චම්පික සටන අරඹයි – සජිත්ට රතුඑළියක් !

    චම්පික සටන අරඹයි – සජිත්ට රතුඑළියක් !

    පාලක පක්ෂයට එරෙහි පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය ලබා දීමට තමා නායකත්වය දෙන 43 වන සේනාංකය සූදානම් බව පඨලී චම්පික රණවක මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

    43 වන සේනාංකය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව දැනටමත් පැහැදිලි කර ඇති බව රණවක මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

    “සජිත් ප්‍රේමදාස මහතා 43 වන සේනාංකයට සම්බන්ධ නැති නමුත් 43 වන සේනාංකය විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අපි දැනටමත් ඔහුට දන්වා තිබෙනවා. මම තනි ක්‍රීඩාවක් විශ්වාස කරන්නේ නැහැ. එබැවින් වත්මන් රජයට එරෙහිව පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය ලබා දීමට 43 වන සේනාංකය සූදානම් බව කියන්න කැමතියි.  වත්මන් රජයට විකල්පයක් බවට පත්වන නව නායකයින් බිහි කිරීම සඳහා 43 වන සේනාංකය සූදානමින් සිටිනවා.

    වර්තමාන පාලන තන්ත්‍රයට එරෙහිව පොදු වේදිකාවක් හා සම්බන්ධ වීමට අමාත්‍ය උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය වැනි දේශපාලන ව්‍යාපාරවලට ආරාධනා කර තිබෙනවා. පොදු වේදිකාවට එක්වන ලෙස අපි පුද්ගලයන්ට ආරාධනා කරන්නේ නැහැ‘‘ රණවක මහතා වැඩි දුරටත් පැවසීය

  • Delta variant ‘තර්ජිත‘ පුද්ගලයින් ගැන ආචාර්ය ජීවන්දරගෙන් හෙළිදරව්වක්

    Delta variant ‘තර්ජිත‘ පුද්ගලයින් ගැන ආචාර්ය ජීවන්දරගෙන් හෙළිදරව්වක්

    වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඩෙල්ටා ප්‍රභේදය‘ (Delta variant) එන්නත් ලබා ගෙන නැති හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට විශාල තර්ජනයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

    ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජීවන්දර මහතා අවධාරණය කළේ ‘‘සැලකිය යුතු ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගන්නා තෙක් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අතිෂයින් වැදගත්‘‘ බවයි.

    “ශ්‍රී ලංකාව තවමත් කැලෑවෙන් පිටත නැත. මේ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ හා පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීම වැදගත් ය. තර්ජනය තවම අවසන් නැත, ”ඔහු පැවසීය.

  • අජිත් රෝහණ ඇතුළු ‘පොලිසියේ ලොකු පුටු 08ක්‘ හොල්ලයි

    අජිත් රෝහණ ඇතුළු ‘පොලිසියේ ලොකු පුටු 08ක්‘ හොල්ලයි

    සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාරු කර යවා තිබේ.

    1. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මූණසිංහ මහතා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසද,
    2. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසද, (අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ ද කටයුතු කරයි)
    3. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍ර‍ජා පොලිස් හා පාරිසරික ලෙස ද,
    4. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී. එස්. එම්. ධර්මරත්න මහතා උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත හා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත ලෙසද,
    5. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද,
    6. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා බැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඌව පළාත ලෙස ද,
    7. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද පත්කර තිබේ.
    8. නියෝජ්‍ය පොලිස්පති ජී. ඒ. එන්. එල්. විජේසේන මහතා මකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර ඇත
  • ඇමැති ‘මහින්ද අමරවීරත්‘ කුඩම්මාගේ සැලකිලි ගැන කියයි

    ඇමැති ‘මහින්ද අමරවීරත්‘ කුඩම්මාගේ සැලකිලි ගැන කියයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන්  හා  ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම්  සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ද යම් යම් මදිපුංචිකම් සිදුවෙනවා. අපි පක්ෂයක් ලෙස මුහුණ දෙමින් සිටින මේ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්  පක්ෂයේ නායකයන් සමග  සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී ජනාධිපති වරයා හා හා අගමැතිවරයා  මුණගැසී  රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ  යෝජනාවලියෙ භාර දීමට සැලසුම්කර තිබෙනවා. කොහොම වුණත් මේ අවස්ථාවේදී  පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ ගැනීමක් සිදු වන්නේ නැහැ‘‘

    මේ අතර පසුගිය දා රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ද කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ‘රබර් සීල්‘ බවට පත්ව ඇති බවයි.

  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ මහජන සේවාවන්  නැවතත් අංක හා දින වෙන් කර ගත් සීමිත පිරිසක් සඳහා පමණක් ජූලි 05 වැනිදා සිට විවෘත කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකරන ලද ඉල්ලුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් රටෙහි පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

    ඒ අනුව මෙතෙක් හැඳුනුම්පත නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දිනයක් හා අංකයක් වෙන්කර දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ. 

    හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්  ඔවුන්ට අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් මඟින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත භාර දී ඉහත ක්‍රමයවේදයම අනුගමන කරමින් හැඳුනුම්පත ලබාගැනීමට හැකිය. 

    එසේ හැඳුනුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අය බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර සතියේ වැඩකරන දිනයන්හි දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු වී හෝ පහත සඳහන් දුරකථන අංක මඟින් දිනයක් හා අංකයක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ. 

    • බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය – 0115 226 126 / 0115 226 100 
    • දකුණු පළාත් කාර්යාලය – 0912 228 348 
    • වයඹ පළාත් කාර්යාලය – 0372 224 337 
    • උතුරු පළාත් කාර්යාලය – 0242 227 201 
    • නැගෙනහිර පළාත් කාර්යාලය – 0652 229 449
  • වයස 30ට වැඩි ‘බස්නාහිර සියලු දෙනාට’ ජූලි 31ට පෙර එන්නත

    වයස 30ට වැඩි ‘බස්නාහිර සියලු දෙනාට’ ජූලි 31ට පෙර එන්නත

    වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

    ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

    දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය “ඇස්ට්‍රාසෙනිකා” එන්නත්  ප්‍රමාණය ඉක්මණින් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබාදීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකුට සති 45ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි, කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය, ප්‍රසන්න ගුණසේන මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරැඹීමත් සමඟ ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට හැකිවී තිබේ. දිවයින පුරා එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.

  • ‘ඩෙල්ටා ප්‍රභේදය’ ගැන නියෝජ්‍ය සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කළ හෙළිදරව්ව

    ‘ඩෙල්ටා ප්‍රභේදය’ ගැන නියෝජ්‍ය සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කළ හෙළිදරව්ව

    ඩෙල්ටා ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වී ඇති නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශ කරන පරිදි ඩෙල්ටා ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

    “මාරාන්තික ප්‍රභේදය ප්‍රජාව අතර ව්‍යාප්ත වී ඇත්දැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ පවත්වයි. අපි මේ තත්වය සැහැල්ලුවට ගන්නේ නැහැ‍. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මේ පිළිබඳව ජානමය අනුපිළිවෙලක් සිදු කරමින් සිටින අතර ප්‍රතිඵල ළඟදීම නිකුත් වනු ඇත”

    මේ අතර, මේ වන විට රට තුළ COVID-19 රෝගීන්ගේ පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව වෛද්‍ය හේරත් මහතා පැවසීය.

    “ක්‍රියාකාරී අවස්ථා වලදී මෙම පහත වැටීමේ ප්‍රවණතාව පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි බව අපගේ අදහසයි. කෙසේ වෙතත්, එය රඳා පවතින්නේ මිනිසුන් හැසිරෙන ආකාරය සහ නැගී එන COVID පොකුරු ඇතිවීමේ හැකියාව මත’ බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.

  • ශ්‍රී ලංකාව සුපිරිම සුපිරි ‘එක්දින තරඟ’ වාර්තාවක් තබයි

    ශ්‍රී ලංකාව සුපිරිම සුපිරි ‘එක්දින තරඟ’ වාර්තාවක් තබයි

    එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර තරඟ ගණනින් පරාජයට පත්වී නව වාර්තාවක් තැබීය. ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 428ක් පරාජය වී ඇති අතර ඉන්දියාව 427ක් සහ පාකිස්තානය 414ක් පරාජය වී තිබේ.

    1975 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 860 කට ක්‍රීඩා කර ඇති අතර 390ක් ජයග්‍රහණය කර 428ක් පරාජයට පත්ව ඇත.

    2015 සිට මේ දක්වා එක්දින තරගවලින් 62% ක් ශ්‍රී ලංකාවට පරාජය විය.

    ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී / පරාජිත අනුපාතය 0.911 ක් වන අතර එය ඉහළම ක්‍රිකට් රටවල් අතර බංග්ලාදේශයට හා සිම්බාබ්වේට වඩා ඉහළ අගයක් ගනී. 1.770 අනුපාතයකින් දකුණු අප්‍රිකාව පහළින්ම සිටී.

  • හෙද ඉල්ලීම් 7/5 කට එසැණ විසඳුම්

    හෙද ඉල්ලීම් 7/5 කට එසැණ විසඳුම්

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළැඹිණ.

    01. හෙද සරසවිය ආරම්භ කිරීම.

    02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.

    03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.

    04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.

    05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

    යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

    රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපති විසින් එකඟතාව පළ කෙරිණ.

    ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිගේ විසඳුම් ලැබිණ.

    රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • දශක දෙකක් පැරණි ‘ඇෆ්ගන් සිවිල් යුද්ධය’ තීරණාත්මක කඩඉමක

    දශක දෙකක් පැරණි ‘ඇෆ්ගන් සිවිල් යුද්ධය’ තීරණාත්මක කඩඉමක

    දශක දෙකක් පැරණි ඇෆ්ගන් සිවිල් යුද්ධයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් කරමින් එක්සත් ජනපදය හා නේටෝ හමුදා තලේබාන් සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ කේන්ද්‍රස්ථානය ලෙස භාවිත කළ ඇෆ්ගනිස්ථානයේ බග්‍රාම් (Bagram) ගුවන් හමුදා කඳවුරෙන් ඉවත්ව ගියේය.

    ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීම අත ළඟ බවට මෙය පැහැදිලි සංඥාවක් වශයෙන් සැලකිය හැකිය. නමුත් විදේශ හමුදා ඉවත් වීම සමග තලේබාන් සටන්කාමීන් තව දුරටත් ශක්තිමත් විය හැකි බව නිරීක්ෂකයින්ගේ අදහසයි.

    මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් පවසා ඇත්තේ ලබන සැප්තැම්බර් 11 වන විට එක්සත් ජනපද හමුදා සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා බවයි. සැප්තැම්බර් 11 අවසාන දිනය යනු 2001/09/11 වන දින ඇමරිකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ 20 වැනි සංවත්සරය වන අතර 9/11 ප්‍රහාරයෙන් 3,000 කට ආසන්න පිරිසක් මිය ගියහ.

    1990 දශකයේ සිට රට පාලනය කළ තලේබාන් සංවිධානයේ සහය ඇතිව එවකට ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ජාත්‍යන්තර ජිහාඩ් කණ්ඩායමක් වන අල්කයිඩා විසින් මෙම ප්‍රහාර සිදු කරන ලදී. කණ්ඩායම් දෙකම පරාජය කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයක් එම වසර අගදී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේය.

    එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් 2021 ජූලි 1 වන දින බග්‍රම් හි බග්‍රාම් ගුවන් තොටුපළට ගොඩ බැස්සේය
    එක්සත් ජනපද ගුවන් හමුදාව මේ සතිය මුලදී බග්‍රෑම් භාවිතා කරමින් සිටියේය

    ඇමරිකාවට දැන් අවශ්‍ය වී ඇත්තේ මිනිස් ජීවිතවල විශාල පිරිවැය සහ විශාල වියදම සමඟ සිය දීර්ඝම යුද්ධය අවසන් කිරීමට ය.

    මෑතක් වන තුරුම එක්සත් ජනපද භටයන් 2,500-3,500 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටිනු ඇතැයි සිතූ අතර ඔවුන් පිටත්ව යන විට ඇමරිකානු සොල්දාදුවන් 1,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් රැඳී සිටිනු ඇත. මැයි මාසය වන විට ඇෆ්ගනිස්ථානයේ තවත් සභාග හමුදා 7,000ක් පමණ සිටි නමුත් බොහෝ දෙනා දැන් පිටව ගොස් ඇති බව විශ්වාස කෙරේ. ජර්මනිය සහ ඉතාලිය බදාදා සිය මෙහෙයුම් ප්‍රකාශයට පත් කළහ.

    මේ අතර, විදේශීය බලවේගයන්ගෙන් ඉවත්වීමෙන් පසු නව සිවිල් යුද්ධයක් පුපුරා යා හැකිය යන බිය වර්ධනය වී තිබේ.

    තලේබාන් සංවිධානයේ ඉහළ ඉලක්කයක

    බග්රාම් යනු ඉදිරියේදී සිදුවිය යුතු දේ පිළිබඳ සීනුවකි. ඇමරිකානු මිලිටරි ශක්තියේ මෙම සංකේතය කලක් සෝවියට් හමුදාවන්ගේ බලකොටුවක් විය. දැන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ඉතා ඉක්මනින් මෙම නගරය නගරය තුළ සුරක්ෂිත වීමේ අභියෝගයට මුහුණ දෙනු ඇත.

    බග්රාම් ඉතා වැදගත් – සංකේතාත්මක හා උපායමාර්ගික කලාපයකි. රට පුරා බලය තහවුරු කර ගනිමින් සිටින තලේබාන් සටන්කරුවන්ට මෙම ත්‍යාගය හිමි වේ. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පවා බග්රාම් පදිංචිකරුවන් කියා සිටියේ තලේබාන් සංවිධානය දැනටමත් ඔවුන් අතර සිටින බවයි.

    බග්රාම් එතරම් වැදගත් වන්නේ ඇයි?

    ගුවන් තොටුපළ කාබුල් නගරයට කිලෝමීටර 40 ක් උතුරින් පිහිටා ඇති අතර එය නම් කර ඇත්තේ අසල ගමක නමකිනි. 1980 ගණන්වල සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානය අත්පත් කරගත් විට මෙම ගුවන්තොටුපොළ ගොඩනංවන ලදී. එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදා 2001 දෙසැම්බරයේ දී ඉදිරියට ගිය අතර එය හමුදා 10,000 ක් පමණ රඳවා තබා ගත හැකි විශාල කඳවුරක් දක්වා වර්ධනය විය.

    10 වන කඳුකර සේනාංකයේ සෙබළුන් 2001 දෙසැම්බර් 21 වන දින කාබුල් නගරයට උතුරින් පිහිටි බග්‍රාම් එයාර් ෆීල්ඩ් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් සුන්බුන් කැබැල්ලක් භූමදාන කිරීමට සූදානම් වෙති.
    ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුන්බුන් කැබැල්ලක් 2001 දෙසැම්බරයේ කඳවුරේ භූමියේ තැන්පත් කරන ලදී

    එය ධාවන පථ දෙකකින් යුක්ත වන අතර එක් ධාවන පථයක් කිලෝමීටර් 3.6 ක් දිගය. විශාල භාණ්ඩ හා බෝම්බ ගුවන් යානා එහි ගොඩ බැස්සවිය හැකිය.

    ගුවන් යානා 110ක් එකවර නැවැත්විය හැකි ස්ථාන එහි ඇති අතර ඒවා පිපිරුම්වලට ඔරෙත්තු දෙන බිත්ති වලින් ආරක්ෂා කර ඇත. ඇඳන් 50 කින් යුත් රෝහලක්, මෙහෙයුම් ශාලා තුනක් සහ නවීන දන්ත සායනයක් ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.

    කියුබාවේ කුප්‍රකට එක්සත් ජනපද හමුදා බන්ධනාගාරයෙන් පසුව ‘ඇෆ්ගනිස්ථානයේ ග්වාන්ටනාමෝ‘ ලෙස හැදින්වූ ප්‍රධාන බන්ධනාගාරය ද මෙම ගොඩනැගිලි අතර විය.

    ඊළඟට කුමක් සිදුවේද?

    ඇෆ්ගනිස්ථානයේ ඉහළම එක්සත් ජනපද අණදෙන නිලධාරී ජෙනරාල් ස්කොට් මිලර් ඇෆ්ගන් ජනාධිපතිවරයා හමුවී “අඛණ්ඩව එක්සත් ජනපද ආධාර සහ සහයෝගීතාව” පිළිබඳව සාකච්ඡා කළ බව එක්සත් ජනපද ජනාධිපති කාර්යාලය සිකුරාදා ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

    එක්සත් ජනපද භටයින් 650 ක් පමණ තව දුරටත් ඇෆ්ගනිස්ථානය තුළ රැඳී සිටීමට අපේක්ෂා කරන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි. රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ආරක්ෂාව සැපයීම සහ කාබුල්හි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සහාය වනු ඇත. ඔවුන් තුර්කියේ භටයන් සමඟ ගුවන්තොටුපල මුර කරන අතර එහි ආරක්ෂාව සඳහා නව ගිවිසුමක් ගැන ඇෆ්ගනිස්ථාන රජය සමඟ සාකච්ඡා කරමින් සිටී.

    බීබීසී සිතියම

    අනෙකුත් ඇමරිකානු හමුදා කාබුල්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ආරක්ෂා කරනු ඇති බව වාර්තා වේ.

    හමුදා විශ්ලේෂකයින් පවසන්නේ කාබුල් ආරක්ෂා කිරීමට සහ තලේබාන් සංවිධානය පසුපසට තල්ලු කිරීමට ඇෆ්ගනිස්ථාන රජයට බග්‍රාම් පාලනය පවත්වා ගැනීමට ඇති හැකියාව ඉතා වැදගත් වනු ඇති බවයි.

    “මෙතැන් සිට ඇෆ්ගනිස්ථාන හමුදා එය ආරක්ෂා කර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට යොදා ගනු ඇත” යැයි ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක ෆවාඩ් අමන් සිකුරාදා ට්වීට් කළේය.

    පසුගිය වසරේ පෙබරවාරියේ දී එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු තලේබාන් සන්ධාන හමුදාවන්ට එරෙහි ප්‍රහාර නතර කළ අතර ජාත්‍යන්තර ජිහාඩ් කණ්ඩායම් සමඟ සහයෝගීතාව අවසන් කරන බවට ද පොරොන්දු විය.

    එහෙත් සටන්කාමීන් දිගින් දිගටම රජයේ හමුදාවන්ට එරෙහිව සටන් කරති. සෑම උදෑසනකම රාත්‍රි සටන් පිළිබඳ නැවුම් වාර්තා ගෙන එන බව බීබීසීයේ දකුණු ආසියාවේ කර්තෘ ජිල් මැක්ගීවරිං පවසයි. 

    සමහර වාර්තා වලට අනුව, සමගි සන්ධානයකට පැමිණීමෙන් පසු දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියා ජූනි මාසයේ සිදු වූ අතර සිය ගණනක් ජීවිත අහිමි විය. බොහෝ පාසල්, රජයේ ගොඩනැගිලි සහ විදුලි කුළුණු දැන් අලාභහානි හෝ විනාශ වී ඇති හෙයින් ද අසීරු සංවර්ධනය තර්ජනයට ලක්ව ඇත.

    තුවාල ලැබූ ඇෆ්ගනිස්ථාන සොල්දාදුවන් මැයි 6 වන දින ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයට උතුරින් හෙලිකොප්ටරයක නැගී සිටියහ

    තලේබාන් ප්‍රකාශකයෙකු වන සබිහුල්ලා මුජාහිඩ්, එක්සත් ජනපදය බග්‍රාම් වෙතින් ඉවත්වීම සාදරයෙන් පිලිගනිමින් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානුවන් අතර ඔවුන්ගේ අනාගතය පිළිබඳව තීරණය කිරීමට එය මග පෑදෙන බවයි.

    මෙම යුද්ධය ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් 47,000 කට වැඩි පිරිසකගේ සහ ඇෆ්ගනිස්ථාන හමුදා 70,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත මෙන්ම එක්සත් ජනපද සොල්දාදුවන් 2442 දෙදෙනකුගේ සහ එක්සත් ජනපද පුද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් 3800කට වැඩි පිරිසකගේ සහ අනෙකුත් රටවල සොල්දාදුවන් 1,144 දෙනකුගේ ජීවිත බිළිගත් බව විශ්වාස කෙරේ.

    ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 2.62ක් වැය කර ඇති බව ඇස්තමේන්තු කර ඇත.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රසායනික පොහොර තහනමෙන් ‘ලංකාවේ තේ කර්මාන්තයේ‘ මළගම අතළග !

    රසායනික පොහොර තහනමෙන් ‘ලංකාවේ තේ කර්මාන්තයේ‘ මළගම අතළග !

    තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි.

    මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින් අඩු වනු ඇති අතර ඒ හේතුවෙන් රටේ නිෂ්පාදනය කරන සමස්ත තේ ප‍්‍රමාණය හා රැකියාවලින් වැඩි ප‍්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙන කුඩා තේ වතුහිමියන් ඇතුළුව සියලූම තේ වතු හිමියන්ගේ ඉපැයීම් ධාරිතාව ද විශාල ලෙස පහත වැටෙනු ඇත. තවද සතිපතා සිදු කරනු ලබන තේ වෙන්දේසිවලදී අඩු තේ ප‍්‍රමාණයක් පැවතීම නිසා ශ්‍රී ලංකාව සතුව මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික තේ වෙළෙඳපොළවල ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට අනෙකුත් තරගකාරීන්ට මෙමගින් ප‍්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

    තේ වගාව සඳහා පොහොර භාවිතය පිළිබඳ ඉතිහාසය

    1867 දී තේ කර්මාන්තය ආරම්භ වූ දා සිට සම්පූර්ණයෙන්ම චීන හා කාම්බෝජියානු ප‍්‍රභේදවල බීජ තේ පැළ වගා කිරීමට යොමු වීමක් දක්නට ලැබේ. කෙසේවෙතත් බීජ තේ පැළවල ජානමය ලක්ෂණ එක් තේ පඳුරක සිට තවත් තේ පඳුරකට වෙනස් වන බැවින් බීජ පැළ සමඟින් ඵලදායිතාවය වර්ධනය වීම සීමිත වේ.

    1958 දී vegetatively propagated (VP) තේ හඳුන්වා දීමත් සමඟ තේ පර්යේෂණ ආයතනය (TRI) නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ අනුව පළමු (TRI 2000 series) හෙක්ටයාර් එකකින් තේ කිලෝග‍්‍රෑම් 3000කට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම කැපී පෙනේ.
    තේ පෝෂණය පිළිබඳව තේ පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පුළුල් පර්යේෂණයකට අනුව සකසන ලද සෑම තේ කිලෝග‍්‍රෑම් 100ක් සඳහාම හෙක්ටයාර් එකකට නයිට‍්‍රජන් කිලෝග‍්‍රෑම් 10ක් සමඟ පස පුරවා ගත යුතු බවට විද්‍යාඥයින් ‘ආදේශන අනුපාතය’ (replacement ratio) පිළිබඳව මතවාදයකට එළැඹිණි.

    තේ වතුවල ඵලදායීතාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම නයිට‍්‍රජන් ප‍්‍රමාණය මෙය වේ. කිසියම් අවස්ථාවකදී නෙලාගන්නා ලද තේ අස්වැන්නේ නයිට‍්‍රජන් අනුපාතය අඩු වුවහොත් තේ පඳුරු තුළින් නයිට‍්‍රජන් ඌණතාවය පිළිබඳව පෙන්නුම් කෙරෙන අතර එහිදී නෙලා ගනු ලබන තේ දළුවල මතුපිට කහ පැහැයක් ගනී. (TRI 2025 ක්ලෝනය).

    නයිට‍්‍රජන් සමඟින් පොස්පේට් හා පොටෑෂ් (P&K) යන අනෙකුත් පෝෂ්‍ය කොටස් ද පසට යොදනු ලැබේ. පසුකාලයකදී තේ පර්යේෂණ ආයතනය සමඟ සිදු කළ සාකච්ඡාවකදී vegetatively propagated (VP) තේ ක්ෂේත‍්‍රයක අස්වැන්න ලබා ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා හුදෙක් පෝෂ්‍ය කොටස් අදේශ කිරීමෙන් සෑහිමකට පත් විය නොහැකි බව සොයා ගන්නා ලදී. නෙලා ගන්නා ලද තේ කිලෝග‍්‍රෑම් 100කට නයිට‍්‍රජන් කිලෝග‍්‍රෑම් 12ක අනුපාතයක් දක්වා වැඩි කිරීම සඳහා අධ්‍යයනයන් සිදු කරන ලදී. තේ සඳහා හෙක්ටයාර් එකකට නයිට‍්‍රජන් 360ක් දක්වා NPK පොහොර මිශ‍්‍රන යොදා ගැනීමේදී එයට හොඳ ප‍්‍රතිචාරයක් තිබුණු අතර ක්ලෝන තේ අස්වැන්න හෙක්ටයාරයකට තේ කිලෝග‍්‍රෑම් 3000කට වඩා වැඩි විය.

    රසායනික පොහොර භාවිතා කිරීමෙන් වසර කිහිපයක් තුළ හෙක්ටයාර එකකින් තේ කිලෝග‍්‍රෑම් 2,200 ක ජාතික ඵලදායිතා මට්ටමක් ළඟා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව තිබෙන බව සඳහන් කිරීමට මා පසුබට වන්නේ නැත.

    තේ පර්යේෂණ ආයතනය මේ වන විට TRI 5000 නමින් නවතම තේ ශ්‍රේණියක් හඳුන්වා දී අතර එයද රසායනික පොහොර මත රඳා පවතින බව සඳහන් කළ යුතුය. එමෙන්ම සියලූම වගාවන් රසායනික පොහොරවලට පමණක් ප‍්‍රතිචාර දක්වන බවද කවුරුත් දන්නා කරුණකි. අනෙක් අතට නයිට‍්‍රජන් 2%ක් පමණක් අන්තර්ගත කාබනික පොහොරවලින් පොහොර අවශ්‍යතාවය සපුරාලීම කිසිසේත් කළ නොහැක්කකි.

    දැනට පවතින තේ වගාවන් සඳහා අවම පෝෂණයක් සහිත කාබනික පොහොර යෙදීමෙන් ඇතිවන බලපෑම

    තේ පඳුරක ඇති ශක්තියෙන් 90%ක්ම යොදා ගනු ලබන්නේ එහි පැවැත්ම හා වර්ධනය වෙනුවෙනි. බෝග නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ ඉතිරි 10%ක ප‍්‍රමාණයයි. ඒ නිසාම තේ වගාවන් නියමාකාරයේ කෘෂිකර්ම භාවිතයන් තුළින් පෝෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. වගාවේ ඵලදාවේ ප‍්‍රමාණයට අනුව එහි වැඞීම හා ගසෙහි වර්ධනය වෙනුවෙන් ප‍්‍රමාණවත් පරිදි NPK පොහොර යෙදීම අනිවාර්ය වේ.

    මෙම අවස්ථාවේදී කාබනික පොහොර යෙදීම තුළින් තේ වගාවට අවශ්‍ය NPK පොහොරවලින් ලැබෙන පෝෂණය නොලැබෙන අතර ඒ හේතුවෙන් අධි තනි පත‍්‍රයක් හෝ බන්ජි පත‍්‍ර පමණක් නිපදවීමට තේ ගසට සිදු වේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ අංකුර හෝ කොළ 2,3ක් සහිත රිකිලි අවම වීමයි. තමන්ගේ ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හැකි තරම් දළු රැස් කිරීමට උනන්දු වන තේ දළු නෙලන්නන් බර අඩුවීම මත බන්ජි පත‍්‍ර හෝ තනි පත‍්‍ර අස්වැන්නද නෙලා ගැනීමට උත්සුක වෙති. එහි ප‍්‍රතිඵලය වන්නේ මෙම තනි හා බන්ජි පත‍්‍ර මෝරා පසුව අස්වනු නෙලීමේදී කර්මාන්තශාලාවට පැමිණීමයි. මේවා තේ නිෂ්පාදනය සඳහා කිසිසේත් සුදුසු නොවන අතර ඒ නිසාම අවසන් නිෂ්පාදනය දුඹුරු පැහැයකින් තොරව අළු හෝ සුදු මැලි ලෙස දක්නට ලැබේ. තේ නිෂ්පාදනයේදී අවසානයේ ප‍්‍රතික්ෂේපිත තේ බවට පත් වන්නේ මෙම නිෂ්පාදනයන්ය.

    මීට වසර 30 කට පමණ පෙර තේ නිෂ්පාදනයේදී ප‍්‍රතික්ෂේපිත තේ වල ප‍්‍රමාණය 6%ක් පමණ වුවද ශ‍්‍රම හිඟය හේතුවෙන් එහි අඛණ්ඩතාවයට බෙහෙවින් බලපෑම් ඇති වූ අතර නෙලන දළු ප‍්‍රමාණයෙන් 10%ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේපිත තේ බවට පත් විය. එවන් තත්වයක් තුළ අවම NPK අන්තර්ගතයක් සහිත කාබනික පොහොර හිටි හැටියේ භාවිතා කිරීම තුළින් නිෂ්පාදනයේ ප‍්‍රමිතිය අඩු වීම පමණක් නොව කසළ තේ ප‍්‍රමාණයද ඉහළ යනු නිසැකය.

    නිෂ්පාදනය කරනු ලබන තේ වල ඇති කළු වර්ණයේ ප‍්‍රමාණය ඊට වෙළෙඳපොලෙහි ඇති ඉල්ලූමද ඉහළ නංවන අතර එය නිෂ්පාදනයටද ඉහළ වටිනාකමක් එක් කරනු ලබයි. එහෙත් යෝජනා කර ඇති කාබනික පොහොර යෙදීම මගින් NPK විශාල ලෙස අඩුවීම හේතුවෙන් තේ වල ගුණාත්මකභාවය පිරිහීමට ලක්වන අතර එය ලොව පිළිගත් සිලෝන් ටී නාමයට ආපසු හැරවිය නොහැකි ලෙස දැවැන්ත පරිහානියකට ලක් වනු ඇත.

    NPK අවම කාබනික පොහොර තුළින් තේ පඳුරේ සැකැස්මට සිදු කරන බලපෑම

    තේ ඵලදාව තීරණය කරනු ලබන ප‍්‍රධාන සාධකය වන්නේ තේ පඳුරේ සැකැස්මයි. තේ පඳුරක ඇති ඵලදායිතාව බොහෝ සෙයින් තීරණය වන්නේ එහි අතු සංඛ්‍යාව මත වීම සාමාන්‍ය තත්වයකි. අතු ගණන වැඩි වීම, අස්වැන්න විශාල වීමට හේතුවක් වන අතර කප්පාදු කිරීමෙන් පසු තේ පඳුර අඟල් 6 ක් උසට ඇලවීමටද එය හේතු වේ. VP ක්ෂේත‍්‍රයක් සම්බන්ධයෙන් ගත් කල අවුරුදු 4ක කප්පාදු කිරීමේ චක‍්‍රීය කාල වකවානුවේදී පඳුරුවල උස ක‍්‍රමයෙන් ඉහළ යාමට සැලැස්විය යුත්තේ ඉන් නිපදවන අලූත් දළු නිෂ්පාදනය වෙනුවෙන් නෙලා ගැනීම තුළිනි.

    එසේම තේ පඳුර කප්පාදු කිරීමෙන් පසු 1 වන සහ 2 වන වර්ෂයන්හිදී පඳුරුවල උස අඟල් 8 -10 ත් දක්වා ප‍්‍රමාණයකට ඉහළ යා යුතු අතර 3 වන සහ 4 වන වර්ෂයන්හිදී අඟල් 6 සිට 8 දක්වා උස යා යුතුය. මේ තුළින් ඉදිරි කාලයේදී බෝග නිෂ්පාදනය සඳහා මූලික පදනම සැකසෙන අතර ඒ සඳහා වන සාරවත් අතු ඇති කිරීම සඳහා තේ පඳුරේ සැකැස්ම වර්ධනය කිරීම මේ තුළින් සාක්ෂාත් කරනු ඇත.

    දශක 4ක් තිස්සේ තේ වගාව තුළ ඇති අත්දැකීම් හා පළපුරුද්ද මත පදනම්ව අඩු NPK මට්ටමක් සහිත කාබනික පොහොර යෙදීමට කටයුතු කළහොත් දැනට ඇති තේ පඳුරුවල ප‍්‍රමාණය අඩු වී ගොස් විශාල භෝග ප‍්‍රමාණයක් අහිමි වනු ඇති බවට පැවසිය හැකිය. පසු කාලයකදී මෙම පොහොර භාවිතය NPK ඉහළ පොහොර භාවිතය දක්වා වෙනස් කළද දුර්වලව ගිය තේ පඳුරු යළි යථා තත්වයට පත් කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත.

    එහෙයින් මෙම කාබනික පොහොර භාවිතය ආරම්භ කිරීමට පෙර තේ පර්යේෂණ ආයතනයේ කළමනාකාරීත්වය යටතේ එම යෝජනාවන් වසර 2ක පමණ කාලයක් පරීක්ෂා කිරීමට කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා සාරවත් තේ වතු දෙකක්වත් අවම වශයෙන් තොරා ගනිමින් වසර දෙකකට පසු එහි කාර්යසාධනය තක්සේරු කිරීමට මේ මොහොතේ රජයේ අවධානය යොමු වනු ඇතැයි මගේ විශ්වාසයයි.

    අද වන විට තේ කර්මාන්තය තුළින් ඍජු හා වක‍්‍ර රැකියා මිලියන 2ක් පමණ ලබා දී ඇති අතර පොහොරවල කාර්යක්ෂමතාව පිළිබඳ ප‍්‍රමාණවත් පර්යේෂණයන් තුළින් ඇගයීමක් නොකොට නුසුදුසු පොහොර ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ලැබුවහොත් අනතුරේ වැටෙන්නේ මිලියන 2ක් පමණ වන ජනතාවගේ ජීවිත බවද මේ මොහොතේ මතක් කළ යුතුය.

    කාබනික පොහොර භාවිතය හඳුන්වා දීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැයද ඉහළ යන අතර ඒ නිසාම දුප්පතාගේ පානය වන තේ සමාජයේ සීමිත පොහොසත් කොටසකට පමණක් වන පානයක් බවටද පරිවර්තනය වනු ඇත. එහෙයින් රට සහ ජනතාව පිළිබඳව නැවත නැවතත් සිතා මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුතුව ඇත.

    තේ යනු සොබා දහම විසින් මිනිසාට ලබා දෙන ත්‍යාගයකි. කිරීටක හෘදයාබාධ, සම, ආමාශ, පෙනහළු, බඩවැල්, පියයුරු සහ පුරස්ථි ආශ‍්‍රිත පිළිකා සහ දත් දිරායාම වැළැක්වීමට හැකි සෞඛ්‍ය ගුණයෙන් පිරිපුන් ලොව මිල අඩුම පානය ලෙසද තේ හඳුන්වා දිය හැකිය.

    දුලිප් ගුණරත්න
    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශක