Blog

  • අමුඅමුද්‍රව්‍යවල දැඩි හිඟයක්: මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්

    අමුඅමුද්‍රව්‍යවල දැඩි හිඟයක්: මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්

    කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසී ය.

    ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කබලෙන් ළිපට වැටී සිටින බවයි.

    ‘‘මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන්නේ. ඒ නිසා කුකුල් කෑම ලෙස අපට යොදා ගැනීමට සිදුව තිබෙන්නේ දේශීය බඩ ඉරිගු. නමුත් දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන පිරිවැය ද අපට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දා ඉහළ දැමූ ඉන්ධන මිල ද අපේ නිෂ්පාදනවලට කෙළින්ම බලපානවා. ඒ ගැනත් අපට අවධානය යොමු කිරීමට සිදුවෙනවා. අපි කියන්නේ කුකුළු මස් සහ බිත්තර කර්මන්තය කියන්නේ මේ රටේ විශාලතම කර්මාන්තයක්. ඒක පැහැදිලිවම වී වගාවට වඩා, එළවළු වගාවට වඩා වැඩි වටිනාකමක් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙනවා. ඒ නිසා වහාම මැදිහත් වෙලා මේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න‘‘

  • 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම ගැන කෙහෙළියගෙන් ‘වැනෙන පිළිතුරක්‘

    21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම ගැන කෙහෙළියගෙන් ‘වැනෙන පිළිතුරක්‘

    දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

    ‘‘ලබන 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා. කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය වෙනසක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නවා. ඒත් කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් නිසා සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි‘ බව ද ඇමතිවරයා පැවසුවේය.

  • කොවිඩ්-19 මරණ අඩු වෙන්නේ කවදාද ? රාජ්‍ය ඇමැති සුදර්ශනී හෙළිකරයි

    කොවිඩ්-19 මරණ අඩු වෙන්නේ කවදාද ? රාජ්‍ය ඇමැති සුදර්ශනී හෙළිකරයි

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ සහ කොවිඩ් ආසාදිත මරණවල පැහැදිලි අඩුවීමක් දැක ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක් ගත විය හැකි බව කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය. “රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරන කොට ප්‍රශ්න ඇති වෙනවා. මුලින්ම රෝගීන් වැඩි වුණා. දැන් වෙන කොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි‘‘

  • පාසල් යළි විවෘත කිරීම ගැන අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    පාසල් යළි විවෘත කිරීම ගැන අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට Covid-19 මර්දන එන්නත් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියනවා.

    කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවද සදහන් කළා.

    ‘‘කෙසේ වෙතත් පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුවයි. ඒ අනුව පාසල් යළි විවෘත කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල අපි අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටිනවා ‘‘ යැයි ද ඔහු සදහන් කළා.

  • ‘Online ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව‘ මුදල් අමාත්‍යාංශයට

    ‘Online ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව‘ මුදල් අමාත්‍යාංශයට

    සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝ කාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලූ බවත් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය.

    සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ අනුව ඊට අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා කොන්දේසි සහිත අවසරයක් ලැබෙනු ඇතැයිද කුමාරසිංහ මහතා සඳහන් කළේය.

    සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට මේ වන විට සමාජමාධ්‍ය තුළ දැඩි විරෝධයක් මෙන්ම හාස්‍ය ජනක ප්‍රතිචාර පළ වෙමින් තිබෙන අතර බොහෝ දෙනෙක් සදහන් කරන්නේ වත්මන් ආණ්ඩුව තමන් බලයට පත් කළ සිංහල බෞද්ධ බලවේගවලට පිටුපා විනාශකාරී ගමනක් යන බවයි.

  • Covid-19 Local Hot: ආසාදිත මරණ 57ක් සමග නව ආසාදිතයින් 2259ක්

    Covid-19 Local Hot: ආසාදිත මරණ 57ක් සමග නව ආසාදිතයින් 2259ක්

    ජූනි 13 වැනි දින සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) තහවුරු කළ කොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ ගණන 57ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    මියගිය අය අතර කාන්තාවන් 25ක් සහ පිරිමින් 32ක් සිටින අතර වසය අවුරුදු 30ට අඩු එක් පුරුෂයෙක්, අවුරුදු 31-59 අතර කාන්තාවන් 5ක් සහ පුරුෂයින් 6ක්, වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් 20ක් සහ පිරිමින් 25 දෙනෙක් මිය ගිය අතර සිටිනවා.

    මරණකරුවන් වාර්තා වූ ප්‍ර දේශය සහ මරණවලට හේතු මෙම මාධ්‍ය නිවේදනයේ දක්වා නොතිබීම විශේෂත්වයක්.

    මේ අතර අද (14) දින අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. ඒ අනුව අද දින අලුතින් ආසාදිතයින් 2259 දෙනක් වාර්තා වී තිබෙනවා.

  • X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ? අධිකරණයේදී හෙළි වූ ‘සුපිරි රහස‘

    X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ? අධිකරණයේදී හෙළි වූ ‘සුපිරි රහස‘

    කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (ජුනි 14) නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (ජූනි 14) අත්අඩංගුවට ගනු ලැබූ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පරීක්ෂා කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අදාළ සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පුද්ගලික බැඳුම්කරයක් මත මුදාහැරීමට නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.

    එම නියෝගය දිවයිනේ සියලුම ගුවන්තොටුපළ හා වරාය මෙන්ම ආගමන විගමන පාලකවරයා වෙත ද දැනුම් දිය යුතු යැයි නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා කපිතාන්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කළේය.

    යම් හෙයකින් පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද සැකකරුට අවවාද කෙරිණි.

    මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තිබෙන බව දනිමින් එය වසන් කොට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙරට ජල තීරය තුළට පිවිස ඇතැයි චෝදනා කළේය.

    ගින්න නිසා මෙරටට ගණනය කළ නොහැකි පාරිසරික මෙන්ම ආර්ථික පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ගින්න හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා සමුද්‍රීය දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලද බවද පැවසීය.

    එම විශේෂඥයින් නිකුත් කළ අතුරු වාර්තාවකට අනුව අදාළ ගින්න හේතුවෙන් ඇතිවූ පාරිසරික හානිය නිසා සමුද්‍ර ජීවීන්ට දිගු කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් ඇතිවිය හැකි බව කරුණු දක්වා ඇතැයි පැවසීය.

    මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞකාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙරටට බොරතෙල් රැගෙන එන නෞකාවන්ට මුහුදේ සිට ගොඩබිමට එම තෙල් පොම්ප කිරීමට තිබෙන අවකාශය ඇහිරී ගොස් ඇතැයි ද පෙන්වා දුන්නේය.

    සැකකාර නැව් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මුලින්ම නැවේ දුමාරය පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ මන්දැයි ප‍්‍රශ්න කළේය.

    තම සේවාදායකයා පැදවූ නැව කොළඹ වරායට ඒමට නියමිතව තිබූ දිනට වඩා දින දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වූ බවත් මුහුදේ ඇතිවී තිබූ කුණාටු තත්වය ඊට හේතු වූ බවත් දැනුම් දුන් සරත් ජයමාන්න මහතා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු නිරීක්‍ෂණය කළ තම සේවාදායකයා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරීන් ඒ බව වරාය ආධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම්දී ඇතැයි කීය.

    ඒ අනුව එදින සවස 4.30 ට පමණ නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් නැවට පැමිණියේය යැයි කීය. එලෙස පැමිණි ඔවුන් පැය එකහමාරක පමණ කාලයක් නැවේ ගතකළ බවත් දුමාරය පිළිබඳ පරීක්‍ෂා කළ ඔවුන් ඒ බව ‘හාබමාස්ටර්වරයාට’ ඒ බව දැනුම් දෙන්නම් කියා පිටව ගිය බවත් කී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එදින රාත‍්‍රීයේ නැවේ දුමාරය වැඩිවීමට පටන්ගත් විට මේ පිළිබ`දව තව සේවාදායකයා හා ඔහු යටතේ සිටි නිලධාරීන් ‘හාබමාස්ටර්වරයාට’ ඇතුළු සියලූ පිරිසට පණිවුඩ ලබාදී ඇති බවත් ඒ අනුව ‘හාබමාස්ටර්වරයා’ විසින් නැවේ ගින්න නිවාදැමීම ස`දහා ටග් යාත‍්‍රි කීපයක් එවනු ලැබූවත් ඒවා නැවේ ගින්න නිවා දැමීමට තරම් ප‍්‍රමාණවත් නොවූ බව ද දැනුම් දුන්නේය.

    ඉන් අනතුරුව නැවේ ගින්න දරුණු ලෙස පැතිරී ගොස් දින ගණනක් තිස්සසේ ගිනිගෙන මුහුදු බත්වූ බවත් මුල්ම අවස්ථාවේදී නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් මතුවන්නේ යැයි කී සරත් ජයමාන්න මහතා තම සේවාදායකයාට චෝදනා කරන ආකාරයෙන් ඔහු කිසි`දු අවස්ථාවක නැවෙන් කිසි`දු අපද්‍රව්‍යයක් මුහුදට නොදැමුවේ යැයි ද නැවේ හටගත් ගින්න නිවාදැමීමට උත්සහ කිරීමේදී නැවේ තිබූ යම් යම් අපද්‍රව්‍ය මුහුදට එක්වීමට හැකියා තිබුණේ යැයි ද කීය.

    සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබාදීමට හැකියාවක් නැතැයි ද ඔහුට දඩයක් පමණක් නියම කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වන්දි ලබාගැනීම ස`දහා තම සේවාදායකයා ප‍්‍රාණඇපකරුවකු ලෙස ර`දවානොගතයුතු බවද පෙන්වා දුන්නේය.

    සම්පූර්ණ වාර්තාව උපුටා ගැනීම – ජූනි 14 වැනි දින බී.බී.සී සන්දේශය හා ලංකාදීප ඊ පුවත්පත වෙතිනි – ශිර්ෂපාඨය හා ඡායාරූපය සංශෝධනය කර ඇත.

  • සාගර Vs ගම්මන්පිල: ආණ්ඩුවේ පක්ෂ 08ක් ‘ගම්මන්පිල වෙනුවෙන්’ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

    සාගර Vs ගම්මන්පිල: ආණ්ඩුවේ පක්ෂ 08ක් ‘ගම්මන්පිල වෙනුවෙන්’ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

    පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    මෙම නිවේදනය මගින් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන බවයි.

    මෙම නිවේදනයට,

    1. අතුරලියේ රතන හිමි – අපේ ජනබල පක්ෂය
    2. විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ
    3. වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
    4. තිස්ස විතාරණ – ලංකා සමසමාජ පක්ෂය
    5. ඒ.එල්.එම් ආතාවුල්ලා -ජාතික කොන්ග්‍රසය
    6. ජී. වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
    7. ටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂය
    8. අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය

    යන පක්ෂවල නායකයින් අත්සන් ලබා තිබෙනවා.

    එම නිවේදනය පහත දැක්වෙනවා,

  • ගාල්ල එන්නත් වංචාව – එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි

    ගාල්ල එන්නත් වංචාව – එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි

    පසුගිය 07 වැනිදා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී  පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලබා දෙන ලෙස අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට නියෝග කළේය.

    ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය. 

    ඒ අනුව පසුගිය 5 වැනිදා සහ 7 වැනිදා අදාළ කාර්යාලයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක්, එන්නත් ලබාදුන් කාර්යාලයේ සී.සී.ටී.වී. දර්ශන සහ විමර්ශනයට අදාළව දුරකථන දත්ත ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබාදිය යුතුය.

    මේ අතර එන්නත්කරණ සිද්ධියට අදාළ දින දෙක තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුවේ සී.සී.ටී.වී දර්ශන හෙට (15) ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබීමට නියමිතව ඇති බව ද වාර්තාවේ. මෙම දර්ශන නිරීක්ෂණය මගින් සංචරණ සීමා පවතින කාලය තුළ බස්නාහිර පළාතේ සිට ගාල්ලට පැමිණි මෝටර් රථ පිළිබඳ සොයා බැලීම අපේක්ෂිතය.

    රටම කැළඹීමට පත් කළ මෙම සිදුවීමට අදාළ ගවේෂණාත්මක වාර්තාකරණය සිදුකරනු ලැබුවේ ‘අද දෙරණ උකුස්සා” වැඩසටහන මගින් බව විශේෂයෙන් සදහන් කළ යුතුය.

  • කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය – ‘විශේෂඥයින් තිදෙනෙක්‘ කළ විශේෂ ප්‍රකාශ තුනක්

    කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය – ‘විශේෂඥයින් තිදෙනෙක්‘ කළ විශේෂ ප්‍රකාශ තුනක්

    ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කර ඇති සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා, ‘‘මේ දිනවල ක්‍රියාත්මක වන සංචරණ සීමාවල ප්‍රතිඵල බලා ගැනීමට හැකිවන්නේ තව සතියක් හෝ දෙකක් ගතවූ පසුවයි. ඒ අනුව සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබදව අපට තීන්දුවක් ගත හැකියි.

    පී.සී.ආර් පරීක්ෂණ කරන ක්‍රමවේදය වෙනස් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. නිරෝධායනය වී සිටින අය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු මුදා හැරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම නිසා පී.සී.ආර් පරීක්ෂණ සමාජයේ අවදානම් කණ්ඩායම්වලට යොමු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව කොවිඩ්ව-19 වෛරසය සමාජයේ පැතිර ඇද්දයි එම පරීක්ෂණවල ප්‍රතිඵල මඟින් අදහසක් ලබාගත හැකියි‘‘

    මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ‘‘මේ දක්වා ලැබී ඇති දත්ත අනුව කොරෝනා රෝගීන්ගේ යම් ආකාරයක අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉදිරි දින කිහිපයේදී සුළු වැඩිවීමක් මිස දිගටම පහළට යෑමට තිබෙන ඉඩකඩ අඩුයි. ඒ අනුව ඉහළ පහළ යෑම් සමග ක්‍රමානුකූලව ආසාදිතයින්ගේ අඩු වීමක් බලාපොරොත්තු වෙනවා. අපිට මේ සංචාරණ සීමා තවත් කාලයක් හැකි පමණ පවත්වාගෙන යෑමෙන් තමයි පැහැදිලි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවේදී සංචරණ සීමා දැඩි කිරීම ඉතාම වැදගත්.” යැයි ද පැවසුවේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පවසද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ කොවිඩ් ව්‍යාප්තියේ යම් පාලනයක් දැකගත හැකි බවයි.

    ‘‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා දෙස බැලීමේදී කොවිඩ්-19 ව්‍යාප්තියේ යම් පාලනයක් දැකගත හැකියි. මෙය සිදුවන්නේ සංචරණ සීමා පනවා ඇති තත්ත්වයක් තුළයි. රජය රට තවදුරටත් අගුළු දැමීමට තීරණය කර ඇති මේ අවස්ථාවේදී ජනතාව එහි උපරිම ඵල නෙළා ගත යුතුයි. ඔවුන් නිවැරදි ලෙස සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කළ යුතුයි. ජනතාව එසේ කටයුතු නොකළහොත් තත්ත්වය බරපතළ විය හැකියි‘‘

    ‘‘

  • රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක්

    රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක්

    ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී අද දින (14) උදෑසන උත්සවයක් පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා – “කොවිඩ් වසංගතය හමුවේ විටින් විට සංචරණ සීමා දැමීමත් සමග රුධිර සංචිත පවත්වාගෙන යාමට මෙරට රුධිර පරිත්‍යාගශීලීන් විශාල සහයෝගය දැක්වූවා.  ඉදිරියටත් එම සහයෝගය අපි අපෙක්ෂා කරනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාල වකවානු තුල රුධිර සංචිත පවත්වාගෙන යාමේ දී  අභියෝගාත්මක අවස්ථා කිහිපයකට මුහුණ දීමට අපට සිදු වුණා.

    පසුගිය මැයි මාසයේ මුල් වකවානුවේ අපේ රුධිර සංචිතවල මට්ටම තරමක් අර්බුධකාරි තත්ත්වයකට පත් වූ විට අපි මෙරට රුධිර පරිත්‍යාගශීලීන්ගෙන්, ලේ දන්දීමේ කඳවුරු සංවිධායකයින්ගෙන් සහ ජන මාධ්‍ය හරහා ඉල්ලීමක් කළා අපට දායකත්වය ලබාදෙන්න කියලා. එම කෙටි ඉල්ලීමේ දී ඔවුන් සියළු දෙනා අපට මහත් දායකත්වයක් ලබාදුන්නා. පසුගිය වෙසක් සතිය වන විට අපගේ රුධිර  සංචිත ප්‍රමාණය ඉතාම ආරක්ෂාකාරී තත්ත්වයකට ගෙන එන්නට අපට පුළුවන් වුනා. ඒ සදහා දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහ අපගේ ස්තූතිය පුද කරනු ලබනවා.”

    මෙහිදී ජාතික  රුධිර පාරවිලයන සේවය, Colombo Civil Society Center හා  NDH Software Solutions Pvt. Ltd එක්ව නිර්මාණය කරන ලද ”රක්ත” නම් වූ ජංගම දුරකථන සදහා වන රුධිර දායක මෘදුකාංගය හදුන්වා දුන් අතර,  එම මෘදුකාංගය රුධිර දායකයින් තම දුරකථන වෙත භාගත කර ලියාපදිංචි වීමෙන් පසු තමන්ට රුධිරය පරිත්‍යාග කිරීම සදහා දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කරවා ගත හැක. එමගින්  අනවශ්‍ය තදබදය අවම කර ගත හැකි වන අතර, රුධිරය ලබාදුන් පසු නැවැත වරක් රුධිරය ලබාදීය හැකි දිනය කෙටි පණිවිඩක් ඔස්සේ ලබාගැනීමේ හැකියාව ද පවතී.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය ඇතුළුව පර්ෂ ද  රුධිර මධ්‍යස්ථාන 24 ක්, ලේ බැංකු 105 ක් සහිතව දිවයිනේ රුධිර අවශ්‍යතාවයන් සපයන එකම සේවාව ලෙස ක්‍රියාත්මක වේ.

  • ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

    ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

    අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

    අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.

  • ‘කෘතිම පළිබෝධනාශක තහනම් කිරීමේ යෝජනාව‘ ස්විට්සර්ලන්ත ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරති

    ‘කෘතිම පළිබෝධනාශක තහනම් කිරීමේ යෝජනාව‘ ස්විට්සර්ලන්ත ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරති

    කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාවට සමත් වී ඇත. ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය.

    කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.

    ජනප්‍රිය මූලාරම්භයන් සඳහා ඡන්ද දායකයින් සහ කැන්ටන් යන දෙඅංශයෙන්ම බහුතරයක් අවශ්‍ය වන නමුත් ඡන්ද දායකයින්ගෙන් සියයට 61%ක් සහ කැන්ටන් 26 න් එකක් හැර අන් සියල්ලම මෙම මුල පිරීම් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම යෝජනා දෙකම දෙයාකාරයෙන්ම අසාර්ථක විය.

    කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක් මගින් ආහාර මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ස්විට්සර්ලන්ත රජය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනාගත් මෙම පුවතට ලංකාවේ කිසිම මාධ්‍යයක ඉඩක් නොලැබුණ අතර කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය හා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටියදී ම සිදු වූ මෙම සිදුවීම ගැන ලංකාවේ කිසිම අවධානයක් යොමු නොවීම පුදුම සහගතය.

    ස්විට්සර්ලන්තයේ කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම, ගොවිපලවල් සහ උද්‍යානවල භාවිතය වැළැක්වීම සහ ඒවා භාවිතයෙන් නිපදවන නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය ස්විස් ජනතාවගේ මනාපය විමසා බැලීමට ජනමත විචාරණය කැදවනු ලැබ තිබිණි.

    මෑත මාසවලදී සැලකිය යුතු සහායක් ලැබූ මෙම පියවර ප්‍රතික්ෂේප කිරීම ස්විට්සර්ලන්ත ගොවි ක්ෂේත්‍රයේ සහ රජයේ දැඩි විරෝධය පිළිබිඹු කරයි.

    මෙම යෝජනා අනුමත කිරීම මඟින් ගොවිපල නිෂ්පාදනය අඩු කිරීම සහ ආහාර මිල ඉහළ යනු ඇතැයි ගොවි ප්‍රජාව කියා සිටියේය. වසර හයක් තුළ පළිබෝධනාශක භාවිතය හා සම්බන්ධ අවදානම අඩකින් අඩු කරන ප්‍රති-ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජයට පෙලඹුණි.

    ‘‘පළිබෝධ නාශක රහිත ස්විට්සර්ලන්තය සඳහා පුරවැසි කණ්ඩායමක් වන ෆියුචර් 3 – (Future 3, a citizens group that is pushing for a pesticide-free Switzerland) විසින් මෙම පියවර යෝජනා කර තිබුණි. සමූහයේ ප්‍රකාශක ඩොමිනික් වාසර් පැවසුවේ මිනිසුන්ගේ සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අභිප්‍රාය බවයි.

    “පළිබෝධනාශක අපගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන අතර එයට මේ ආකාරයට ඉදිරියට යා නොහැකිය. රසායනික ද්‍රව්‍යවල දිගුකාලීන බලපෑම තවමත් සම්පූර්ණයෙන් අනාවරණය වී නොමැති අතර, අධ්‍යයනයන් මගින් කෘතිම පළිබෝධනාශක පාකින්සන් හා වදභාවය ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් අතර සම්බන්ධතා යෝජනා කර ඇත‘‘

    කෘතිම පළිබෝධනාශක ඉසීම හා සම්බන්ධ විය හැකි පාරිසරික ගැටළු ද වාසර් මහතා සඳහන් කළේය.

    කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000 ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.

    ස්විට්සර්ලන්ත ගොවි සංගමයේ අධ්‍යක්ෂ මාටින් රූෆර් පැවසුවේ කෘතිම පළිබෝධනාශක සම්පූර්ණයෙන් තහනම් කිරීම “යථාර්ථවාදී නොවන” බවත් එය කෘෂිකාර්මික අංශයට සහ රටට විශාල ප්‍රතිවිපාක ගෙන දෙන බවත්ය. ගොවීන්ට අඩු පළිබෝධනාශක භාවිතා කිරීමට අවශ්‍ය නමුත් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ප්‍රමාණවත් විකල්ප නොමැති බව ඔහු පැවසීය.

    මෙම පියවර සම්මත වූයේ නම් ගොවිපල නිෂ්පාදනය 20% සිට 30% දක්වා පහත වැටෙනු ඇතැයි රූෆර් මහතා අනාවැකි පළ කළේය. එම වෙනස පියවීම සඳහා ස්විට්සර්ලන්තයට වැඩි වැඩියෙන් ආහාර ආනයනය කිරීමට සිදුවිය හැකිය. “නිෂ්පාදනය අඩු වුවත් ආහාර පරිභෝජනය එලෙසම පවතිනු ඇත,” ඔහු පැවසීය.

    ඩේවිඩ් ජේකොබ්සන් යනු පළිබෝධ නාශක තහනමක් ඉල්ලා සිටින ස්විට්සර්ලන්ත ගොවියෙකි.

    “අපිට අපේ ප්‍රශ්න ඉවත දැමීමට අවශ්‍ය නැහැ,”  ජේකෝබ් මහතා පැවසීය.

    ඔහු සම-හිමිකාරීත්වය දරන හෙක්ටයාර් 150ක් පමණ වන ඔහුගේ ගොවිපල වසර 20 කට වැඩි කාලයක් කෘතිම පළිබෝධනාශක භාවිතා නොකර කාබනික ධාන්‍ය, එළවළු සහ පලතුරු නිෂ්පාදනය කරයි. රසායනික ද්‍රව්‍ය භාවිතය ගැන ඔහු පැවසුවේ “කෘත්‍රිම පළිබෝධනාශක මගින් අපේ ජෛව විවිධත්වය විනාශ කරනවා. ඊට පසුව අපට ඒ මතම යැපීමට සිදුවෙනවා. ඔබ වරක් කෘතිම පළිබෝධනාශක භාවිතා කරන්නේ නම්, ඔබ ඒවා දිගටම භාවිතා කළ යුතුයි”

    ඒ වෙනුවට, ජේකොබ්සන් මහතා සහ ඔහුගේ සගයන් කෘමීන් හා දිලීර වලට වඩා ප්‍රතිරෝධී බෝග වර්ග භාවිතා කරන අතර ස්වාභාවිකවම ඔවුන්ගේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වර්ධනය වන ක්‍රම දියුණු කර ඇත.

    කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක් ආහාර මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ස්විට්සර්ලන්ත රජය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය. 

    ස්විට්සර්ලන්තයේ ජනාධිපති (හිටපු ධාන්‍ය ගොවියෙකු හා වයින් වගා කරන්නෙකු වන) ගයි පර්මලින් (Guy Parmelin) මහතා පැවසුවේ ස්විට්සර්ලන්තයේ පළිබෝධනාශක භාවිතා කරන ආකාරය මෑත වසරවල විශාල වශයෙන් වෙනස් වී ඇති බවයි. “ සාම්ප්‍රදායික ගොවීන් වැඩි වැඩියෙන් භාවිතා කරන්නේ කාබනික ගොවිතැන සඳහා බලයලත් නිෂ්පාදන” යැයි ඔහු පැවසීය.

    යාන්ත්‍රික වල් නෙලීම හෝ වඩාත් තිරසාර භෝග (implementation of more sustainable crops) ක්‍රියාත්මක කිරීම වැනි විකල්ප හේතුවෙන් ස්විට්සර්ලන්තයේ කෘතිම පළිබෝධනාශක අලෙවිය අඩු වෙමින් පවතින බව පර්මලින් මහතා පැවසීය .

    කොකෝවා වැනි ආනයනික අමුද්‍රව්‍ය මත දැඩි ලෙස රඳා පවතින චොකලට් කර්මාන්තය ද මෙම වැඩසටහනට විරුද්ධ විය. “පළිබෝධනාශක භාවිතය අවම කිරීමේ මූලික අරමුණ සමඟ අපි එකඟ වෙමු” යැයි ස්විට්සර්ලන්තයේ චොකලට් නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ චොකොසුයිස් පැවසීය.

    2027 වන විට කෘතිම පළිබෝධනාශක භාවිතය හා සම්බන්ධ අවදානම් අඩකින් අඩු කිරීම වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් බව සංගමයේ හැඟීම ෆුරර් මහතා පැවසීය.

    ජනමත විචාරණය අනුමත වූයේ නම්, ස්විස් චොකලට් (කාබනික) මිල ඉහළ යනු ඇති බවත්, ගෝලීය චොකලට් වෙළඳපොලේ ස්විට්සර්ලන්තයේ කොටස හැකිලෙනු ඇති බවත් ෆුරර් මහතා පැවසීය.

    “කාබනික චොකලට් සඳහා වෙළඳපොළ ඉතා කුඩායි,” ඔහු පැවසීය.

    නිව් යෝර්ක් ටයිම් වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • පොහොට්ටුවේ මහ ලේකම්ට බැටේ දෙන්න ‘පොහොට්ටුවේ සුළු පක්ෂ‘ අවි මුවහත් කරයි

    පොහොට්ටුවේ මහ ලේකම්ට බැටේ දෙන්න ‘පොහොට්ටුවේ සුළු පක්ෂ‘ අවි මුවහත් කරයි

    ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකීමභාර ගෙන විෂයභාර ඇමැති උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ප.ම සාගර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ පොහොට්ටුව තුළ සිටින සුළු පක්ෂවලට එල්ල වී ඇති අභියෝග ගැන සාකච්ඡා කිරීමට අද (13 පෙරවරුවේදී) පොහොට්ටුවට සහාය දෙන සුළුපක්ෂ නායකයින් ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස් වුණා.

    ආණ්ඩුවට සහාය දෙන සුළු පක්ෂ නායකයින් වන අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ , උදය ගම්මන්පිල , ටිරාන් අලස් , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු සුළු පක්ෂ නායකයින් පිරිසක් සහ ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

    මේ රැස්වීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සුළු පක්ෂ නායකයෙක් එහිදී සාකච්ඡා වූ කරුණු ගැන මෙසේ පැහැදිලි කළා.

    ‘‘ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවෙයි. ඒක ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිසක් විසින් ජීවන වියදම් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ගත් තීරණයක් නිසා අපි අඛණ්ඩව ගම්මන්පිල ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළා.

    ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටද අපි තීරණය කළා. ඒ ගැන අපි කැබිනට් මණ්ඩලයේදී ද ප්‍රශ්න කිරීමට තීරණය කළා. මොකද ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ජීවන වියදම් කමිටුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ගත් තීන්දුවක් බව සාගර කාරියවසම් මහතා නොදැන සිටීමට කිසිදු හේතුවක් නැහැ‘‘

    ‘‘ඒ වගේම තමයි සාගර කාරියවසම් මහතා ආණ්ඩුවට සහාය දෙන, පොහොට්ටුවේ සුළු පක්ෂවලට කෙනෙහිළිකම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු මීට පෙර ඇමැති විමල් වීරවංශ මහතාට ද චෝදනා කළා. මේ ගැන වාසුදේව නානායක්කාර මහතා යළිත් සිහිපත් කළා. අපි කියන්නේ මේ අවලාද මෙතැනින් අවසන් විය යුතුයි. ආණ්ඩුව බලයට පත්වෙලා තාම ඉතාම කෙටි කාලයයි ගත වුණේ. ආණ්ඩුවේ පක්ෂ අතර අර්බුද ඇති වුණාම ඒකේ වාසිය යන්නේ විපක්ෂයටයි. අපි අපිට ඡන්දය දුන්න ජනතාවට වගකියන්න ඕනෑ‘

    සුළුජන පක්ෂ නායකයින් මෙවැනි කතා ප්‍රකාශ කළ ද අද සුළු පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සමග සමාජමාධ්‍යවල ජනතාව ඒ සම්බන්ධයෙන් හාස්‍ය මුසු ප්‍රතිචාර දක්වා තිබුණි. ඔවුන් පවසා සිටියේ මෙවැනි නාඩගම් වහාම නතර කළ යුතු බවයි.

  • ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුව අවුල් වෙයි – ගම්මන්පිලගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක්

    පසුගිය 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවත් තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගත් තීන්දුවකට අභියෝග කරමින් නිවේදනයක් පළ කිරීමට තරම් සාගර කාරියවසම් මහතාට ශක්තියක් ආවේ කෙලෙසදැයි සොයා බැලීමට ‘ජනාධිපති කොමිසමක්’ පත් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමට ක්‍රියාකළ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා අදාළ වගකීමභාර දෙන වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ඇමැතිවරයාගේ ප්‍රතිචාර දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේය.

    මෙහිදී ඉන්ධන මිල ඉහළ දැමීම හා සිදුවීම් පෙළ පැහැදිලි කළ ඇමැතිවරයා ‘‘ මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුවයි. එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාව ලැබී තිබුණා. මෙම මිල ඉහළ දැමීම ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සහභාගී වුණා. ඉතිහාසය පුරා තෙල් මිල වැඩි කළේ මුදල් අමාත්‍යාංශයයි. විෂයභාර ඇමැතිවරයා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පමණයි. නමුත් මෙවර එම තීන්දුවට ප්‍රකාශයට පත්කිරීමේ අවදානම් කාර්යය මම ස්වේච්ඡාවෙන් භාරගත්තේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය නිසයි‘‘

    මෙහිදී ඊයේ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන ද කරුණු දැක්වූ අමාත්‍යවරයා, ‘‘සාගර කාරියවසම් මහතා ඊයේ නිකුත් කළ නිවේදනයෙන් පහර දී ඇත්තේ මට නොවෙයි. එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා එහි සදාදරණීය නායක මහින්ද රාජපක්‍ෂ මහතාටයි. බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ විෂයභාර ඇමැතිවරයා වන මා බව ඔප්පු කළ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි තමා සාගර කාරියවසම් මහතාට ආරාධනා කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පහර ගැසීමට තරම් බලයක් ඔහුට දුන්නේ කවුරුන්ද යන්න සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කළ යුතු‘‘ යැයි ද ඇමති ගම්මන්පිල මහතා සඳහන් කළේය.

    මේ අතර අප සමග අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් සදහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට අදාළ තීන්දුව ගත් ජීවන වියදම් කමිටු රැස්වීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්ආර් ආටිගල සහභාගී වූ බවයි. මෙම තීන්දුව කිසිසේත් විෂයභාර ඇමැතිවරයාගේ වුවමනාවට ගත් තීන්දුවක් නොවන බවත් ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ සමග පොහොට්ටු ප්‍රධානීන්ට ඇති ගැටලු වෙනත් ආකාරයකින් විසදාගත යුතු බවත් ඔවුහු සදහන් කළේය.

  • ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇයි ? ‘ජනපති මාධ්‍ය ඒකකයෙන් සුපිරි කතාවක්‘

    ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇයි ? ‘ජනපති මාධ්‍ය ඒකකයෙන් සුපිරි කතාවක්‘

    ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් අද (13) ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් කළා. අදාළ කරුණු පැහැදිලි කිරීම ඇතුළත් සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

    ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

    ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි.

    ශ්‍රී ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරණ රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා, විදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.එ.ජ ඩො.මිලියන 3,677කි. වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී ඇ.එ.ජ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.එ.ජ.ඩො. මිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන 4,000ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.

    බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

    විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

    පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.

    ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකිය.

    දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.

    එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්, එය වලක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී. මේ නිසා සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබා දීම මගින් ජනතාව  පිට පැටවෙන අධික මිල ගණන් වල පීඩනය අඩු කිරීම පමණක් නොව, එම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.

    එබැවින්, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි.