Blog

  • කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

    කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

    සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය

    කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට  සාන්ද්‍ර ආහාර ලබාදීම  මගින් පමණක්  ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව විශ්වාස කරයි.  

    කෙසේ වෙතත් තත්වයෙන් උසස් තන්තුමය ආහාර ලබාදීම මගින් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී  වී නොමැත. එබැවින් තත්වයෙන් උසස්    තෘණ ආහාර   සැපයීම ගැන අවධානය යොමු කළ යුතු වේ.

    කිරි ගව පාලනයේදීදී දැරීමට සිදුවන ප්‍රධාන පිරිවැයක් ලෙස ආහාර සැපයීමේ පිරිවැය හදුනාගෙන ඇත. ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර සැපයීම සත්ත්ව නිෂ්පාදනයේ තිරසාරභාවයටමනා පිටුවහලක් වේ. තත්ත්වයෙන් උසස් ආහාර නිපදවීම හා ඒවාසත්ත්ව පරිභෝජනය සදහා ලබාදීම මගින් පොදුවේ රටක ආහාර සුරක්ෂිතභාවය ඉහළ නැංවීමට ලබාදෙන්නේ ඉමහත් දායකත්වයකි.

    ගව පාලනයේදී පෝෂණ ගුණයෙන් ඉහළ තෘණ හා සාන්ද්‍ර ආහාර සැපයීම මගින් නිෂ්පාදන ගුණාත්මකභාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.සතුන් නිරෝගිමත්ව හා ශක්තිමත්ව තබාගැනීම සදහා පෝෂක සමතුලිත ආහාර වේලක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.එමගින් සතුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගත හැකි අතර නිරෝගි බවින් යුතු ඉහළ නිෂ්පාදන විභවයක් ඇති සතුන් බිහිකිරීමේ හැකියාවද ඉහළ නැංවේ. ශ්‍රී ලංකාවේ ගව පාලනය සිදුකිරීමේදී බෙහෙවින් ස්වභාවික තෘණ මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා අතර සාන්ද්‍ර ආහාර සදහා වානිජ වශයෙන් නිපදවන ආහාර යොදා ගනී.

    සාන්ද්‍ර ආහාර ලෙස පොල් පුනක්කු, සහල් නිවුඩු, බියර් මන්ඩි, පරිප්පු පොතු යනාදිය භාවිතා කෙරේ. වානිජ මට්ටමින් නිපදවන සත්ත්ව ආහාර හා අනෙකුත් සාන්ද්‍ර ආහාර ද්‍රව්‍යයන්හිද මිල අධිකය. භුමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව කුඩා රටක් වන බැවින් ගව පාලනය සදහා තෘණ භූමි සකස් කිරීම තරමක් අපහසු කාර්යයකි. එසේම ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකකටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක් වියළි කලාපයට අයත් වන බැවින්, වියළි කාලවලදී නැවුම් තෘණ ලබාගැනීම බෙහෙවින් අසීරු කාර්යයකි.

    බොහෝ කිරි ගොවීන්ගේ අදහස වන්නේ සාන්ද්‍ර ආහාර නොමැතිව කිරි නිෂ්පාදනය ඉහළ නංවාලිය නොහැකි බවයි. කෙසේ වෙතත් ක්‍ෂේත්‍රයේවිශේෂඥයින්පවසන්නේ තත්ත්වයෙන් උසස් තෘණ හා නියමිත පරිදි  ලබාදීම මගින් හොද නිෂ්පාදන ධාරිතාවයක් ඇති සතෙකුගෙන් කිරි ලීටර 8ක් පමණ දිනකට ලබාගැනීමේ හැකියාව පවතිනබවයි.

    මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ගව පාලනයේදී පෝෂක ආහාර ලබාදීමේ වැදගත්කම සොයා බැලීම සහ තත්ත්වයෙන්උසස් ආහාර සංරක්ෂණය කර සතුන්ට ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි. මෙහි දී විශේෂයෙන්ම නැවුම් තෘණ සැපයීම, පිදුරු සැපයීම, ඒවායේ පෝෂණ ගුණත්වය ඉහළ නැංවීම මෙන්ම ආහාර සංරක්ෂණ ක්‍රමවේද පිළිබදවද සොයා බැලේ. මෙම ලිපිය සැකසීම සදහාඅවශ්‍ය තොරතුරු සාහිත්‍ය විමර්ශනයන් තුළින් හා කිරි ගව පාලනය සම්බන්ධව සිදුකළ අධ්‍යනයන්ද ගොවීන් හා අනෙකුත් ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරින්  සමග සිදුකළසාකච්ඡාද උපයෝගි කර ගන්නා ලදි.

    ගව පාලනයේ ප්‍රධාන ආහාර

    ගව පාලනයේදී සත්ත්ව පෝෂණය සදහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩ තුනක් යොදා ගැනේ.

    1. හරිත හෝ නැවුම් තෘණ ආහාර
    2. වියළි තෘණ ආහාර
    3. සාන්ද්‍ර ආහාර

    නැවුම් තෘණ හා වියළි තෘණ යන ආහාර වර්ග දෙක රළු ආහාර ලෙස හැදින්වේ. ඒවා තුළඅධික තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේවායේ ඒකකයක අඩංගු පෝෂණ පාදාර්ථ ප්‍රමාණය අඩුය. විද්‍යාත්මක ලෙස සතුන්ට ආහාර ලබාදීමේදී විවිධ ආහාරවල අඩංගු පෝෂණ සංඝටක ප්‍රමාණයන් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ඉතා වැදගත්ය. සතුන්ගේ පෝෂණ අවශ්‍යතා ඔවුන්ගේ ‘ශාරිරික අවස්ථාව‘ අනුව වෙනස්වේ.උදාහරණ ලෙස කිරි ගව පාලනයේදී පැටවුන් සදහා වෙනම ආහාර සලාකයක්ද, කිරි දෙනුන්, පැටවුන් බිහිකිරීමට සිටින සතුන්, පිරිමි සතුන් ආදි සත්ත්ව කොට්ඨාසය අනුව හා සතුන්ගේ ශාරිරික තත්වයන් මත ආහාර සලාක වෙනස්වේ. කිරි ගව පාලනය සාර්ථකව පවත්වාගෙන යාම සදහා සතුන්ට නියමිත පරිදි ආහාර ලබාදීම ඉතා වැදගත්ය.

    ආහාර සංරක්ෂණය

    වර්තමානයේ සුළු පරිමාණ කිරිගොවීන් බොහෝ විට සත්ත්ව ආහාර සපයා ගනු ලබන්නේ ස්වභාවික තෘණ භූමි උපයෝගි කරගෙනය. එබැවින් කිරි නිෂ්පාදනය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර ස්වභාවික තෘණ යොදාගෙන ලබාගැනීමවියළිකාලවලදී තරමක් අපහසු කාර්යයකි. එනිසා වියළි කාලවලදී ප්‍රමාණවත් තරම් ගුණාත්මක ආහාර සැපයීම සදහා ආහාර සංරක්ෂණය ඉතා වැදගත්වේ.

    ප්‍රධාන වශයෙන් ගව ආහාර සංරක්ෂණය කළ හැක්කේ පිදුරු හෝ සයිලේජ නිෂ්පාදනය කිරීම මගිනි. තෘණ අතිරික්ත ලෙස පවතින කාලවලදී පෝෂණ තත්ත්වය ප්‍රශස්ථ ලෙස පවතින 10% ක පමණ මල්පිපී ඇති තෘණ කපා වියළා ගැනීම මගින් පිදුරු හා සයිලේජ් සාදා ගත හැකිය.

    කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ගොවීන් තම සතුන්ට සයිලේජ් හෝ පිදුරු ආහාර ලෙස ලබාදීම ඉතා අල්ප වශයෙන් සිදුවේ. මේ හේතුව නිසා සංරක්ෂණය කළ ආහාර අනුභවයට සතුන් මැලිකමක් දක්වයි. කෙසේ වුවද මෙම ආහාර ක්‍රමාන්‍රකූලව සතුන්ට ලබාදී ඔවුන් එම ආහාර සදහා හුරු කරලීම ඉතා වැදගත් වේ. එසේම වියළි කාලවලදී ආහාර රුචිය වැඩිකරන ආහාරයක් ලෙස සයිලේජ් ලබාදීමද සිදුකළ හැකිය. වියළි කාලවලදී පෝෂණ ගුණත්වයෙන් ඉහළ ආහාර ලබාදීම මගින් වර්ෂය පුරා අඛණ්ඩව ඉහළ කිරි ආදායමක් ලබාගැනීම සදහා ආහාර සංරක්ෂණය කිරීම ඉතා වැදගත්ය.කාලගුණික තත්ත්වයන් හා පවතින සම්පත් මත පදනම්ව තණකොළ හා වෙනත් ආහාර පිදුරු හෝ සයිලේජ් ලෙස සංරක්ෂණය කළ හැකිය.

    පිදුරු සෑදීම

    සකස් කළ පිදුරු

    තෘණ සහ රනිල ශාඛ පිදුරු  සැදීම සදහා භාවිතා කළ හැකිය. සත්ත්ව ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථ එලෙසම පවත්වා ගනිමින් තත්ත්වයෙන් උසස් ආහාර ලබාදීමේ අරමුණින් පිදුරු නිපදවීම සිදුවේ. පිදුරු සෑදීමේ දී තෘණ හා  අනෙකුත් ආහාරවල අඩංගු ජලය ප්‍රමාණය අඩුකරන බැවින් ප්‍රවාහනය හැසිරීම හා ගබඩා කිරීම පහසුය.එමෙන්ම ඒවා සකස් කිරීමේදී තෘණ හා අනෙකුත් ආහාර අඩු කාලවලදී පාවිච්චි කිරීමට හැකිවන පරිදි තෙතමනය අඩුකිරීම සිදුවන අතර ඒ අනුව පිදුරුවල තෙතමන සාමාන්‍ය 15% දක්වා අඩු කිරීම කළ යුතුය.

    පිදුරු සැදීමේ දී වැදගත් වන කරුණු

    1. පිදුරු සෑදීම සදහා අස්වනු නෙළීමේදී පුර්ව සපුෂ්පක හෝ අපුෂ්පක අවධියේ තෘණ හා රනිල ශාඛවල අස්වනු නෙළිය යුතුය.

    2.  වැසි රහිත දිනවලදී අස්වැන්න නෙළීම වඩා උචිතය.

    3. නැවුම් තෘණ වියළීමේදී තද අව්වට නිරාවරණය වීම සුදුසු නොවන අතර නැවුම් තෘණ වියළීමේදී සෙවන සහිත ස්ථානවල වියළීම වඩා සුදුසුය.

    4. හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි කිහිප විටක් සුළං වැදීමට සැලැස්වී කළ යුතුය

    5. වියළීමෙන් අනතුරුව ආවරණයක් සහිත ස්ථානයක හැකි ඉක්මණින් ගබඩා කිරීම සුදුසුය

    6. වියළාගත් පිදුරු වල තෙතමනය 15% දක්වා අඩුකර ගබඩා කළ යුතුය

    රනිල පැලෑටි උපයෝගී කර ගනිමින් පිදුරු  සකස් කර පිදුරු මිටි සකස් කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය රනිල අස්වැන්න නෙළාගත යුතු වන්නේ25% -50% අතර මල් හට ගන්නා  අවස්ථාවේදීය.

    අස්වැන්න ලෙස නෙළු රනිල ශාඛ හෝ තෘණ වියළීම සදහා කෙතෙහි තුනී කිරීම සිදුකරන අතර වියළීම ඉක්මන් කිරීම සදහා කිහිප වතාවක් ඒවා පෙරළීමට ලක්කරමින් වේලාගැනීම සිදුකළයුතුය. මෙහිදී තද අව්වේ වියළීම මගින් තෘණ හා රනිල ශාඛවල ඇති පෝෂණ පදාර්ථ විනාශ විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන්  විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.

    මෙහිදී දැඩි හිරුඑළිය උපයෝගි කර ගැනීමට වඩා කෘත්‍රීමව වියළීම මගින් තත්ත්වයෙන් උසස් පිදුරු නිපදවීමේ හැකියාව පවතී.කෘත්‍රීම වියළීමේදී කපා අතුරා ගත් තෘණ හෝ රනිල ශාඛ මතතරමක් උෂ්ණත්වය වැඩි සුළං ධාරා කිහිප විටක් ගමන් කරවීම මගින් වියළාගැනීම සිදුකෙරේ. මෙම ක්‍රමය මගින් තත්වයෙන් ඉහළ පිදුරු සකසා ගතහැකි වුවත් ඒ සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කුඩා පරිමාණයේ ගොවීන්ට භාවිතා කළ නොහැකිය. කෙසේ වෙතත් පරිසරයේ ජලවාෂ්ප අඩු අවස්ථාවල හිරු එළිය උපයෝගි කරගනිමින් අනාගත ප්‍රයෝජනය සදහා වියළි තෘණ (පිදුරු) සාදාගැනීමේ හැකියාව පවතී.

    පිදුරු ගබඩා කිරීමේදී තෙතමනය 15% දක්වා අඩුකරගැනීම තුළින් ඒවා පෝෂණ ගුණයෙන් පවත්වා ගැනීම හා විනාශ වීමකින් තොරව ගබඩා කර තබාගැනීමට හැකියාව ඇත.කෙසේ වෙතත් පිදුරු ගබඩා කරන ස්ථානවලට හොඳින්වාතාශ්‍රය ලැබිය යුතුය.

    පිදුරු ගබඩා කිරීමේදී ජලය ප්‍රමාණය 15% වඩා වැඩිවු විට එම පිදුරු ස්වභාවිකව වියෝජනය වීමට පටන් ගනී. එසේම ඒවා ආශ්‍රිතව දිලීර හා බැක්ටීරියා වර්ධනය වීමක්ද දැකගත හැකිය. මෙලෙස වියෝජනයවු පිදුරු සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. එබැවින් තත්වයෙන් උසස් පිදුරු නිෂ්පාදනය සදහා පිදුරු නිෂ්පාදනයේදී ඉහතින් සදහන් කළ කරුණු ගැන අවධානය යොමුකළ යුතුය.

    කපාගත් තෘණ ඔක්සිජන් නොරැඳෙන සේ ගබඩා කිරීම්

    සයිලේජ් නිෂ්පාදනය

    ‘‘සයිලේජ්‘‘ යනු කෘතිමව හෝ ස්වභාවිකව ඇසිඩ් යොදාගෙන ගව ආහාර වන තෘණ බෝග අවශේෂ සහ අනෙකුත් සතුන්ට ආහාරයට ගත හැකි කාර්මික අවශේෂ සංරක්ෂණය කිරීමයි.සයිලේජ් සාදා ගැනීම සදහා යොදාගත හැකිමුලික ද්‍රව්‍ය ලෙස නැවුම් තෘණ, රනිල ශාක, අනෙකුත් බෝග වන බඩ ඉරිගු, කුරක්කන්, ඕට්ස්, තිරිගු සහ සෝගම් වැනි භෝග අවශේෂ යොදා ගත හැකිය.

    මෙහිදී නිර්වායු ස්වසනය යටතේ ආහාර සංරක්ෂණය කෙරේ. සයිලේජ් නිෂ්පාදනයේ දී තෘණ හා භෝග අවශේෂ ලැක්ටික් ඇසිඩ් යොදා සංරක්ෂණය කිරීම බහුලව සිදුකෙරේ. මෙහිදී නිර්වායු තත්ත්ව යටතේදී මෙම තෘණ පැසීමට ඉඩ හැරීම සිදුවේ. මෙම ක්‍රියාවලියේදී ශාක කොටස්වල ඇති ජලයේ දියවන කාබෝහයිඩේඩ් පැසවීම, ලැක්ටික් ඇසිඩ් වියෝජනය කරන බැක්ටීරියා මගින් සිදුකරයි. එය සිදුකිරීමේදී ලැක්ටික් ඇසිඩ් හා සුළු වශයෙන් ඇසිටික් ඇසිඩ් නිෂ්පාදනය වේ. මෙමගින් තෘණ සංරක්ෂණය සිදුකර අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුකරන වියෝජනය අඩුකර සත්ත්ව ආහාර හිග කාලවලදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි ගබඩා කර තබා ගත හැකිය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ඉතා පරිස්සමින් සිදුකර ගතයුතුය. එසේ නොමැති වුවහොත් අනෙකුත් බැක්ටීරියා මේ මත ක්‍රියාත්මක වී තත්ත්වයෙන් අඩු සයිලේජ් සකස් විය හැකිය. මෙහිදී ‘බියුට්‍රික් ඇසිඩ්‘ (ButyricAcid)  නිෂ්පාදනය වුවහොත් සතුන්ගේ ආහාර රුචිය අඩුවීම සිදුවේ.

    සයිලේජ් නිෂ්පාදන ක්‍රියාවලිය

    1. තත්ත්වයෙන් උසස් තෘණ භෝග අවශේෂ නියමිත කාලවකවානුවලදී අස්වැන්න ලෙස නෙළා ගැනීම
    2. මේවායේ ඇති ජල ප්‍රමාණය 30% දක්වා අඩුකිරීම
    3. මැලවී ඇති තෘණ සෙන්ටිමීටර් 1-3 දක්වා අතර කුඩා කැබලිවලට කපා ගැනීම
    4. පැසවීම සදහා අවශ්‍ය බැක්ටීරියා වර්ග හදුන්වා දීම
    5. කපා වේලාගත් තෘණ එකිනෙකට ආසන්නව වාතය නොරැදෙන ලෙස ගබඩා කිරීම, තෘණ ස්ථර ලෙස සකස් කර ඒ මත පැසවීමට අවශ්‍ය බැක්ටීරියා යොදා නැවත ඒ මත තෘණ ස්ථරයක් දැමීමෙන් පසු හැකි ඉක්මනින් මෙම ක්‍රියාවලිය අවසන් කළ යුතුවේ. ඉන්පසු මෙම ගොඩගැසු තෘණ වෙත වාතය ඇතුළු නොවන සේ හැකි ඉක්මනින් සීල් කිරීම  කර  සතුන්ට ආහාර ලබාදෙන අවස්ථාව තෙක්ම නිර්වායු තත්වයේතබාගත යුතුය. එසේ නොමැති වුවහොත් ආහාරවල තත්ත්වය හීන විය හැකිය.

    සයිලේජ නිෂ්පාදන ක්‍රියාදාමය ප්‍රධාන අවස්ථා හතරක් යටතේ විස්තර කළ හැකිය. එය ‘‘එයරෝබික් අවධිය‘‘ ලෙස නම් කෙරේ. මෙහිදී‘සයිලේජ් පිට්‘ එක සාදාගැනීමෙන් අනතුරුව එය හැකි ඉක්මනින් වාතාශ්‍රයනොලැබෙන සේ මුද්‍රා තැබීමෙන්පසුවද තවදුරටත් වාතය ඉතිරි වුවහොත්,එම ඔක්සිජන් ක්ෂුද්‍ර ජීවින් මගින් සහ ශාඛ කොටස් ස්වසනයට යොදාගනිමින් අඩුකරයි. මෙම ක්‍රියාවලිය පැය කිහිපයක් පවතී. මෙම සයිලේජ් පිට්එක තුළ අඩංගු ඔක්සිජන් ඉවත්වු පසුනිර්වායු තත්ත්ව යටතේ දෙවැනි අවස්ථාව ලෙස ‘පැසවීම‘ආරම්භ වේ. මෙම අවස්ථාව දින කිහිපයක් හෝ සති කිහිපයක් පැවතිය හැකිය. මෙම ක්‍රියාවලියේදී ලැක්ටික් ඇසිඩ් නිෂ්පාදනය කරන බැක්ටීරියා ගහනය වැඩිවී සයිලේජ් පිට් එක තුළPH අගය3.5  සිට 4.5 දක්වා අඩුවේ. PH අගයඅඩුවීම සාර්ථකව සිදුකර ගැනීම සදහා 30% දක්වා වියළා ගත්තෘණ යෙදීම අත්‍යාවශ්‍ය වේ.

    තුන්වෙනි අවධිය ස්ථාවර වීමේ අවධියයි. එම අවධියේදී සයිලේජ් පිට් එක තුළට වාතාශ්‍රය ඇතුළු නොවන සේ නිර්වායු තත්ත්ව පවත්වාගෙන යාම වැදගත් වේ. මෙම අවස්ථාවේ PH අගය අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී ඇසිඩ්වලට ඔරොත්තු දෙන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් මේ මත සිටිය හැකිය.

    හතරවන අවස්ථාව ලෙස සයිලේජ් ආහාරයක් ලෙස සතුන්ට ලබාදීමේ අවධිය නම්කළ හැකිය. මෙහිදී මීයන් වැනි සතුන් සිදුරු තුළට රිංගීම මගින්සකස්කරගත් සයිලේජ් පිට් එක තුළ නිර්වායු තත්ත්වය වෙනස් විය හැකි බැවින් ඒ ගැන නිතර අවධානය යොමුකළයුතුය. එසේම මෙම අවස්ථාවන්වලදී සයිලේජ් පිට් එක තුළඋෂ්ණත්වය ඉහළ යාම මගින් ආහාර දිරා යාමට පුළුවන. එබැවින් එම තත්ත්ව නිරන්තරයෙන් පරික්ෂා කර බැලිය යුතුය.

    කෙසේ වෙතත් නිවර්තන කලාපීය තෘණවලට වඩා සෞම්‍ය කලාපවල තෘණ සයිලේජ් නිපදවීම සදහා වඩා උචිත වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ නිවර්තන කලාපීය තෘණවල අඩංගු ජලයේ දියවන ‘කාබෝහයිඩ්‍රෙඩ්ප්‍රමාණය අඩුවීමයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය මග හරවා ගැනීමට ඉක්මනින් ශාක කොටස් මැලවීම සිදුකළ යුතුවේ. මෙලෙස වියළා ගත් ශාක කොටස්වලට මොලැසස් යෙදීම මගින් හොද තත්ත්වයේ සයිලේජ් සාදා ගත හැකිය.

    සකස් කරගත් සයිලේජ්

    සයිලේජ් නිෂ්පාදනයේ ඇති වාසි

    1. සත්ත්ව ආහාරවල පෝෂණ ගුණාංග විනාශ නොවී වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාව.
    2. අහිතකර කාලගුණ තත්වවලදී තත්ත්වයෙන් උසස් ආහාර ලබාදීම
    3. සත්ත්ව ආහාර පරිපූර්ණ ආහාරයක් බවට පත්කිරීම සඳහා මොලැසස් වැනි දෑ එකතු කර ගුණාත්මක භාවය ඉහළ නැංවීම
    4. අහිතකර කාලගුණික තත්ත්ව යටතේ වුවද සයිලේජ් නිපදවා ගත හැකිවීම
    5. සතුන්ගේ ආහාර රුචිය හා ආහාර දිරවීමේ පහසුව ඇති කිරීම
    6. ගබඩා කිරීම සදහා අඩු ඉඩකඩක් අවශ්‍ය වීම
    7. වෙනත් බෝගයක් වගාකර ගත හැකි ලෙස භුමිය ඉක්මනින් පිරිසිදු කරගත හැකිවීම

    සතුන්ට අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය තීරණය කිරීමේදී එය කරුණු කිහිපයක් මත රදා පවතී. මෙහිදී ගව පට්ටියේ සිටින සතුන් ගණන, සතුන්ට කෑම ලබාදිය යුතු දින ගණන, මුළු ආහාර ප්‍රමාණයෙන් සයිලේජ්ලබාදිය යුතු ප්‍රතිශතය, සයිලේජ්වල අඩංගු ජල ප්‍රමාණය, අපතේ යන සයිලේජ් ප්‍රමාණය යන කරුණු මත අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය වෙනස් වේ.

    එක් ගවයෙක් සදහා දින 90කට අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය ගණනය කිරීමේදී පහත උපකල්පන මත පදනම්ව එය ගණනය කිරීම සිදුකළ හැකිය.

    1. සතුන්ට ලබාදෙන මුළු ආහාර ප්‍රමාණය කිලෝ 40ක් වන අතර ඉන් 50% ක් සයිලේජ් ලෙස ලබාදේ
    2. මෙහි ඇති ජල ප්‍රතිශතය 75%කි.
    3. සයිලේජ්වලින් 15%ක් නරක්වීම නිසා විනාශ වේ
    4. සයිලේජ් පිට් එකක ඝනත්වය මෙට්ට්‍රික් ටොන් 0.8කි

    එබැවින් අවශ්‍ය සයිලේජ් හා සයිලේජ් සැදීම සඳහා අවශ්‍ය පිට් එකෙහි දිග පළල පහත සඳහන් ගණනය කිරීම ආශ්‍රිතව සොයාගත හැකිය.

    අවශ්‍ය සයිලේජ් කිලෝග්‍රෑම් ප්‍රමාණය

    • එක් ගවයෙකුටදින 90 ක් සදහා          =    (50% x 40kg) 20 x 90 = 1800kg
    • විනාශ වන සයිලේජ් ප්‍රමාණය             =     15%
    • අවශ්‍ය සයිලේජ් කිලෝග්‍රෑම් ප්‍රමාණය  =     115% x 1800 = 2070 kg

    ඝනත්වය 400kg සදහා අවශ්‍ය ඝන මීටර්  ගණන එකකි. එබැවින් කිලෝග්‍රෑම් 2070 ක් සදහා 2070/400 මගින් ඝන මීටර් 5.3 ක සයිලෝවක් අවශ්‍ය වේ.ඒ අනුව ගව පට්ටියේ සිටින සතුන් ගණන අනුව එම සතුන්ට ලබාදෙන සයිලේජ් ප්‍රමාණය තීරණය කර අවශ්‍ය සයිලේජ් නිපදවා ගත හැකිය.

    සයිලේජ් නිපදවීම සඳහා(Silo)සකස් කර ගැනීම – කුඩා ප්‍රමාණයේ කිරි ගොවීන් සදහා සයිලෝ බෑග් ලෙසත්කුඩා බංකරලෙසත් මෙන්ම බැරල් ආදියද උපයෝගි කරගෙන ඒවා තනා ගත හැකිය.

    කිරි දෙනුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපයීම

    රෝමාන්තික සතුන්ගේ ආහාර පිරමීඩයට අනුව ගුණත්වයෙන් ඉහළතෘණ හා ධාන්‍යමය ආහාර සැපයීම මගින්හොඳකිරි නිෂ්පාදනයක් ලබාගත හැකිය. ඊට අමතරව මෙම සතුන්ට අවශ්‍ය මේද, රූමනයේදී වියෝජනය නොවන ප්‍රෝටීන හා අනෙකුත් ආහාර උත්තේජකසහිත පරිපූර්ණ ආහාර වේලක් මගින් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාගැනීමේ හැකියාව පවතී.

    සාමාන්‍ය ගව පාලනයේදී තත්ත්වයෙන් උසස් කෙදි සහිත නැවුම් තෘණ හෝ සංරක්ෂණය කළ තෘණ ලබාදිය යුතුය.මෙහිදී 18% ක් Acid Detergent Fiber (ADF)ලෙසද 28%  Neutral Detergent Fiber(NDF) ලෙසද යොදා ගනී
    Neutral Detergent Fiber (උදාසීන ඩිටර්ජන්ට් ෆයිබර් ):. සතෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් ගත හැකිද යන්න ගණනයකිරීමසඳහා භාවිතා කරයි. වරකට සතෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් ලබා ගනීද යන්නට සීමාවක් තිබේ. නිදසුනක් වශයෙන්, රූමනය ලෙස හැඳින්වෙන ආමාශයේ පළමු කුටිය පිරීයනතුරු එළදෙනක් අනුභව කරනු ඇත. එම කුටිය පිරීගිය පසු, ආහාර බඩවැලට මාරුවනතුරු හෝ ජීර්ණය වනතුරු එළදෙන තවදුරටත් ආහාරයට නොගනී. එබැවින්  ලබා ගන්නා මුළු තන්තුමය ආහාර ප්‍රමාණය තීරණය කිරීම සඳහා උදාසීන ඩිටර්ජන්ට් ෆයිබර් ප්‍රමාණය  ගණනය කෙරේ. සෑම වර්ගයකම තන්තුමය ආහාර හෝ තන්තු මගින් රූමනය පිරි  යයි. තන්තු වල අඩංගු පෝෂක පදාර්ථ ඒවායේ ස්වභාවය අනුව  ජීරණය සිදු සිදුකරයි. එබැවින් NDF මගින් ආහාරයේ ගුනාත්මක භාවය තීරණය කරයි.
    අම්ල ඩිටර්ජන්ට් ෆයිබර් (ADF) යම් තෘණ ආහාරයක් ජීරණය වූවාට පසු එහි අඩංගු සෙලියුලෝස්, ලිග්නීන්, කියුටීන් සහ අනෙකුත් දිය නොවන  මිනරල් ප්‍රමාණය ආම්ලිකව  මැන බැලීමයි
    සාපේක්ෂ ආහාර අගය (Relative Feed Value යනු ඇස්තමේන්තු ගත ආහාර පරිභෝජනය (NDF) සහ ඇස්තමේන්තුගත ජීර්ණය (ADF) ඒකාබද්ධ කරන පෝෂණ අගය පිළිබඳ පුරෝකථනයකි. 

     මීට අමතරව අනෙකුත් පෝෂණ අවශ්‍යතා, සතුන්ගේ විවිධ නිෂ්පාදන අවධි අනුවද ලබාදිය යුතුය.කිරිදෙනුන් හට ආහාර ලබාදීමේදී මේද ප්‍රමාණය 7% කට වඩා වැඩි නොවිය යුතුය.මීට අමතරව විටමින් හා මිනරල් අවශ්‍ය පරිදි ලබාදිය යුතුය.

    සාර්ථක ලෙස කිරිගව පාලනයේ නිරතවීම  සඳහාතත්ත්වයෙන් උසස් තන්තුමය ආහාර අවුරුද්ද පුරා ලබාදීම ඉතා වැදගත් සාධකයකි. කෙසේ වෙතත් වියළි කාළගුණික තත්ත්වවලදී තත්ත්වයෙන් උසස් තෘණ ආහාර ලබාදීම විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන් සදහා ප්‍රබල අභියෝගයකි. එබැවින් තෘණ බහුලව ඇති අවස්ථාවලදී ඒවා පිදුරු හෝ සයිලේජ් ලෙස සංරක්ෂණය කර සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීමෙන් අඛණ්ඩ ඉහළ කිරී නිෂ්පාදනයක් අපේක්ෂා කළ හැකිය.

    සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය

  • ‘පාසල් නැවත ආරම්භ කිරීම ගැන’ අගමැතිගේ අලුත්ම උපදේශය

    ‘පාසල් නැවත ආරම්භ කිරීම ගැන’ අගමැතිගේ අලුත්ම උපදේශය

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා  රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ඉටු කර ගත හැකි බව පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ පාසල් නැවත ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා දීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළහ.

    ඒ අනුව රට පුරා විසිරී තිබෙන අධ්‍යාපන කලාප 99 උදෙසා තම සංගමයේ නියෝජිතයන් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

    පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණීය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

    මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබාදීමේ වැදගත්කම ද මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදි.

    රටේ අනාගත දරු පරපුර මෙන්ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ආරක්ෂා කර ගැනීමට රජය සෑම විටම කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

    පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂීත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැදවා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් සකස් විය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී  අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි ඉල්ලා සිටියේය.

    ගැබිනි මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබා දුන් සහයෝගය පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙහිදී සිය ප්‍රණාමය පුද කළේය. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ කමණි ගුණරත්න, වෛද්‍යවරුන් වන ටී.එල්.පී සෝමතුංග, මහේන්ද්‍ර ආර්නල්ඩ්, ශාමන් රජීන්ද්‍රජිත්, සුරන්ත පෙරේරා, මහචාර්ය සනත් ළමාබදුසූරිය මහත්ම මහත්මීන් ඇතුළු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් ද සහභාගී වී සිටියහ

  • වෙළඳ කලාප සඳහා පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව ‘ජූලි මස මුල් සතියේ‘

    වෙළඳ කලාප සඳහා පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව ‘ජූලි මස මුල් සතියේ‘

    සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය.

    තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙම හමුවට සමගාමීව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

    ආයෝජකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී නිෂ්පාදන හා අපනයන කර්මාන්තයේ දී  ඔවුන්   මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි. කොග්ගල ආයෝජන කලාපයේ හඳුනාගත් පොදු ගැටලු  සහ එවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

    ආයෝජන කලාපයට ලැබෙන ජල පරිමාණය වැඩි කරදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

    පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවක දී  වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ට එන්නත ලබාදීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමෙන් අනතුරුව ලංකාවේ සියලුම වෙළඳ කලාප වෙත එන්නත් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව කොග්ගල නිදහස් වෙළද  කලාපය ඇතුලුව සෑම ආයෝජන කලාපයකටම ජූලි මස පළමු සතියේ සිට කොවිඩ් – 19 සඳහා වූ පළමු ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ වනවා.

    එය නිෂ්පාදන හා අපනයන කර්මාන්තය වෙත හිමි වූ සුවිශේෂ වරප්‍රසාදයක් යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කොග්ගල නිදහස් වෙළඳ කලාපය තුළ ඇගලුම්, ඉලෙක්ට්‍රොනික් උපාංග, රබර් නිෂ්පාදන ඇතුලු විව්ධ ක්ෂේත්‍රයන්ට අදාළ  කර්මාන්ත ශාලා 21ක් දැනට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කොග්ගල කලාප අධ්‍යක්ෂ සිසිල් ප්‍රනාන්දු මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    මෙම වෙළඳ කලාපය හරහා 12840කට සෘජු රැකියා අවස්ථා හිමිව ඇති බව හෙතම කියා සිටියේය.

  • තෙල් මිල වැඩිකිරීමේ වගකීම භාර ගෙන ඉල්ලා අස්වනු: ‘පොහොට්ටුව’ තෙල් ඇමැති ගම්මන්පිලට කියයි

    තෙල් මිල වැඩිකිරීමේ වගකීම භාර ගෙන ඉල්ලා අස්වනු: ‘පොහොට්ටුව’ තෙල් ඇමැති ගම්මන්පිලට කියයි

    තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

  • බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල ‘මිල ඉහළ දැමීමට සූදානමක්’

    බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල ‘මිල ඉහළ දැමීමට සූදානමක්’

    ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි.

    අද (12) දින පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රියන්ජිත් මහතා මේ බව සදහන් කළේය.

    ‘ ඊයේ රාත්‍රියේ සිදු වුණ ඩීසල් මිල ඉහළ දැමීම අනුව බස් ගාස්තු 15%කින් සංශෝධනය විය යුතුයි. ‘නිරෝධායන නීතිය යටතේ ආසන ගත මගීන් පමණක් රැගෙන යන්නේ නම් බස් ගාස්තුව 25%කින් සංශෝධනය විය යුතුයි‘‘

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මගීන් පෙන්වා දෙන්නේ පසුගිය කොවිඩ් සමයේ ද නිරෝධාන නීති යටතේ මගීන් ගෙන යන බව පවසමින් බස් ගාස්තු විශාල වශයෙන් ඉහළ දැමූ නමුත් පොල් පටවන ආකාරයෙන් මගීන් ගෙන යාම නතර නොවූ බවයි.

    ‘‘අපේ පඩි හෝ ආදායම් එක ශතයකින් වැඩි වෙලා නැහැ. තිබුණ එකත් අඩු වුණ එක තමයි සිද්ධ වුණේ. එහෙම තියෙද්දී බස් ගාස්තුත් වැඩි වුණොත් අපිට හුළං බොන්න තමයි වෙන්නේ‘‘ යැයි මගීන් අප සමග පැවසූහ.

    මේ අතර ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් බේකර නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

    ජයවර්ධන මහතා පැවසුවේ මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවයි.

    ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

  • කොවිඩ් පාලනයට GMOA වෙතින් නව යෝජනාවලියක්

    කොවිඩ් පාලනයට GMOA වෙතින් නව යෝජනාවලියක්

    කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11) ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත යොමු කළ ලිපියක් මගින් මේ ඉල්ලීම කර ඇත.

    එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් ඇති බවත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බවයි.

    එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    1. නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතුය.
    2. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතුය.
    3. කොවිඩ් බහුල ව්‍යාප්තියක් සහිත රටවල හා මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා නොදිය යුතුය.
    4. සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතුය.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්

    අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්

    වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු ගබඩා කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු දින හතක කාලයක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඊයේ (11) අංක 2231/23, 2231/24 හා 2231/25 යන අති විශේෂ ගැසට් පත්‍ර මගින් නියෝග කර තිබේ.

    එම අති විශේෂ ගැසට් පත්‍රයේ මෙසේ ද සදහන් වේ.

    සහල් නිෂ්පාදකයකු, වී හෝ සහල් රැස්කරන්නකු, ගබඩාකරුවකු, බෙදාහරින්නකු හෝ වී හෝ සහල් තොග වෙළෙන්දකු විසින් ඔවුන් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති සහල් ගුදම්, සයිලෝ, ගබඩා, බහලුම් හෝ වෙනත් සථාන පාරිභෝගික අධිකාරියේ දින 7ක් ඇතුලත ලියාපදිංචි කළ යුතු අතර ඒවාහි ඇති වී හෝ සහල් තොග පිළිබඳ විස්තරද ලබාදිය යුතුය.

    සීනි හා කිරිපිටි ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන්, බෙදාහරින්නන් හා තොග වෙළෙන්දන් ලියාපදිංචි වීම සහ සීනි හා කිරිපිටි පිළිබඳ තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදිය යුතුය.

    බඩ ඉරිගු රැස්කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් හා තොග වෙළෙන්දන්ද ඉහත සඳහන් සිය තොරතුරු සමඟ පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි විය යුතු නමුත් වී වගාකරුවකු හෝ බඩඉරිගු වගාකරුවකු සිය අස්වැන්න ගබඩා කර තබා ගැනීම ඊට අයත් වන්නේ නැත.

  • e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

    e-තක්සලාව හරහා Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online)  පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

    විවිධ යෙදුම් හරහා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම් සේවා ගාස්තු මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහැරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී අවධානය යොමු විය.

    රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණි.

    ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත් තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

    අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එවැනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහි දී හෙළිවිය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

    සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා, ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන් වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

    ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e – තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත් මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල  විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

    අදාළ කටයුත්තේ දී ඉගෙනුම්  අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

  • කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

    කාබනික ගොවිතැන ගැන පොරොන්දුව පමණක් නොව ‘69 ලක්ෂයට දුන් සෙසු පොරොන්දුත්‘ වහාම ඉටු කරන්න – සිංහල රාවය

    ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති

    මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති ද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී බලවේග වල කසකරුවන් යළිත් දේශපාලන අඩව්වකට සූදානම් වීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවයි.

    උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11) සිංහල රාවය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මේ මාධ්‍ය හමුව සදහා සිංහල රාවය පක්ෂයේ මහා ලේකම් ශාලික පෙරේරා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණව සිටින ජනතාවට සහනයක් දීමට රජය අපොහොසත් වීම සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අක්මීමණ දයාරතන හිමියෝ මෙසේද සදහන් කළහ,

    ‘‘මීට අවුරුද්දකට දෙකකට පමණ පෙර අපි මෙවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී කතා කළ කාරණාවලට හාත්පසින්ම වෙනසක් කාරණා දැන් අපිට කතා කිරීමට සිදුවෙලා තිබෙනවා. එදා අපි රනිල් – මෛත්‍රී – මංගල හවුල රටට කරමින් සිටි විනාශය ගැන ජනතාව දැනුවත් කළා. ඔවුන්ව අවධි කළ. රාජ්‍ය බලයට, මර්දනයට අභියෝග කරමින් අපි, සිංහල ජාතික ව්‍යාපාරය ලෙස අපේ අභීත භික්ෂූන් වහන්සේලා, තරුණ පිරිස සිංහල බෞද්ධයින් දැනුවත් කළා. අවධි කළා.

    එහිදී අපි පටු පුද්ගලික ලාභ බලාපොරොත්තු වුණේ නැහැ. තනතුරු – වරදාන බලාපොරොත්තු වුණේ නැහැ. ගජමිතුරන් පිනවන්න කොන්ත්‍රාත් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ එකම අපේක්ෂාව, අරමුණ වුණේ යහපාලන ආණ්ඩුව සහ ඒකට ආවඩන සුළුජන පක්ෂ රටට, සිංහල බෞද්ධයින්ට, සිංහල බෞද්ධ උරුමයට කරමින් තිබූ විනාශයට එරෙහිව ජනතාව අවධි කරවීම, ඔවුන්ව සංවිධානය කරවීම. අවසානයේ රටට, ජනතාවට, එහි සම්පත්වලට ආදරය කරන, ඒවා රැකගත හැකි නායකත්වයක් බලයට ගෙන ඒම.

    මේ ව්‍යායාමය පාවඩ මතින් ගිය ගමන් වුණේ නැහැ. මර්දනය, පොලිස් කූඩුව, නිමක් නැති අවලාද හා අපවාද මතයි අපේ භික්ෂූන් වහන්සේලා, ගිහි ක්‍රියාකාරීන් ඒ ගමන ගියේ. එහි ප්‍රතිඵල තමයි අවසානයේ ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී නෙළා ගත්තේ. ඒ සතුටට තමයි එදා අපේ තරුණයෝ රටේ තාප්ප පුරා චිත්‍ර ඇන්දේ. රට පුරා පැළ හිටෙව්වේ.

    ඒත් කනගාටුවට වඩා වේදනාවට, පශ්චාත්තාපයට කරුණ වන්නේ අපිට ඒ සතුටට බුක්ති විදින්න ලැබුණේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු කාලයක්. පරණ දේශපාලන ක්‍රමය යළිත් පණ ගහලා ආවා. කුමන්ත්‍රණකරුවෝ, අවස්ථාවාදියෝ, ජාති ආගම් භ්‍රෂ්ඨයෝ මුල්පුටු අල්ල ගත්තා. අවසානයේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් දෙවපු කිරි කළයට මේ කොල්ලකාර කල්ලිය ගොම තලියක් ම දැම්මා. දැන් අපි දැක්ක සිහින, අපේ තරුණයෝ දැක්ක සිහින විනාශ වෙලා ඉවරයි. ඒවාට ආයේත් පණ දෙන එක පහසු නැහැ.

    අපි තාමත් කියන්නේ ජනාධිපතිවරයාට, අගමැතිවරයා සහ මේ රටට – ජාතියට ආදරය කරන දේශපාලනඥයින්ට, නිලධාරීන්ට අවස්ථාව තිබෙනවා නිවැරදි වෙන්න. තමන්ට වැරදුණ තැන විමසා බලන්න. අපි බෞද්ධයෝ විදිහට දන්නවා වැපුරුව දේම තමයි කපා ගන්න වෙන්න. හේතුව තමයි ඵලයට මූලික වෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි, අගමැති තුමනි, වැරදුණේ කොතැනද ? කොහොමද කියලා යහපත් සිහියෙන් විමසා බලන්න. අපිට තේරෙනවා මේ ආණ්ඩුවට වැරදුණේ කොහොමද ? කොතැනද ? කියලා. ඒ නිසාම තමයි අපි මේ තාමත් කෑ ගහන්නේ. වද විදින්නේ. මොකද ළමයත් එක්ක කොරහේ වතුර විසි කරන්න අපිට වුවමනාවක් නැහැ. අපි එහෙම කළොත් මොකද වෙන්නේ කියලා අපි හොදාකාරවම දන්නවා.

    දේශපාලන අවස්ථාවාදීන්, ජාති භ්‍රෂ්ඨයෝ, දේශද්‍රෝහීන්, නරි ආයොත් බැල්ලම හෙළනවා. ඒ කල්ලියේ නායකයා, කසකරුවා දැන් පාර්ලිමේන්තුවට එන්න ඇගිලි ගණනිවා. අපිට පේනවා අලුත් රෙදි ඇදගෙන, කසකාරයෝ, ගිනි බෝලකාරයෝ සූදානම් කරගෙන ඇතැමුන් ආයෙත් අඩව්වක් අල්ලන්න කල්යල් බලනවා. මේක කිසිසේත්ම යහපත් දෙයක් හෝ රටට, ආගමට වැඩදායි දෙයක් නෙමෙයි. එදා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අතුගාලා දැම්ම පක්ෂ, නායකයින් ආයෙත් දේශපාලන කරළියට, දියවන්නාවට ඒම කිසිසෙත් යහපත් තත්ත්වයක් නොවෙයි. මැරණ බලවේග වලට පණ දෙන්න බැරි වුණත් මේ ආගමන හරහා භූතයින්, කුම්භාණ්ඩයින් සතුටු වෙන්න පුළුවන්. උන් යළිත් හොල්මන් කරන්න පුළුවන්.

    ඒ නිසයි අපි කියන්නේ කොවිඩ් බොරදියේ මාළු බාන්න මේ අවස්ථාවාදීන්ට, දේශ ද්‍රෝහීන්ඨ. බෞද්ධ විරෝධීන්ට අබමල් රේණුවකවත් අවස්ථාවක් දෙන්න එපා. ඒ නිසා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාවට දුන්න ඒ පොරොන්දු ඉටු කරන්න. ඔවුන් හමුවේ තැබූ න්‍යාය පත්‍රය පෙරට ගන්න. වසවිස නැති ගොවිතැන විතරක් නෙමෙයි තවත් ආකර්ෂණීය, ජාතික වශයෙන් අති සංවේදී පොරොන්දු ක්‍රියාත්මක කරන්න.

    මහ බැංකු හොරුන්ට වගේම පාක්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සිය ගණනක් ඝාතනය කළ, මුළු රටක් විනාශ කළ අපරාධකාරයෝ තාමත් යහතින් ජීවත් වෙනවා. රාජ්‍ය සම්පත් විනාශ කළ ද්‍රෝහීන් තාමත් යහතින් ඉන්නවා. වසවිස නැති ගොවිතැන කොන්දේසි විරහිතව ඉදිරියට ගෙනාවා වාගේ ඒ පොරොන්දුත් කොන්දේසි විරහිතව ඉටු කරන්න. එහෙම වුණොත් විතරයි අපිට ජාතික ව්‍යාපාරය විදිහට සතුටු වෙන්න පුළුවන්.එදා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ 69 ලක්ෂයට, මහ මැතිවරණයේදී 3/2ක් දුන්න ජනතාවට සතුටු වෙන්න පුළුවන්.

    ඒ නිසා අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියන්නේ 69 ලක්ෂය තෘප්තිමත් කරන්න, ඔවුන් තුළ බලාපොරොත්තු දල්වන්න මහ ලොකු දෙයක් කළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ දේශපාලන අවංකම සහ ධෛර්යය පමණයි.

    සතොසෙන් රටටම කන්න දෙන්න පුළුවන් යැයි කියන වෙළෙද ඇමතිවරයෙක් සිටීම ජනතාවගේ අවාසනාවක් – ශාලික පෙරේරා, මහ ලේකම් සිංහල රාවය.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම්, ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය නම් ගහෙන් වැටී කොන්ද කඩාගෙන සිටින ජනතාවට ව්‍යාපාරික මාෆියාව නම් ගොනාගෙන් ද ඇනුම් කෑමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

    කොවිඩ් වසංගතය හමුවේ අකර්මන්‍යව පවතින පාසල් අධ්‍යාපනය රැක ගැනීමට ආණ්ඩුවට කිසිම විධිමත් සැලසුමක් ඇති බවක් නොපෙනෙන බව කී ශාලික පෙරේරා මහතා සතොස මගින් රටකට කන්න දිය හැකි යැයි සිතන වෙළෙද ඇමැතිවරයෙක් සිටීම ජාතියේම අවාසනාවක් යැයි ද කීවේය.

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල අහස උසට යද්දී ගෑස් සමාගම් විසින් සිදුකරන සූරාකෑම නවතා දමනු වෙනුවට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැසීම විකාරයකට වඩා වේදනාවට කරුණක් බව ද ඔහු කීවේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ශාලික පෙරේරා මහතා, ‘මේ වෙන කොට මේ රටේ සමස්ත ජනතාව ගැටළු ගණනාවකින් පීඩා විදිනවා. එකක් කුස්සියේ ගින්න. ලිපේ ගින්දර නිවා ගන්නේ නැතිව මොනවා හරි උයා පිහාගෙන කන්නේ කොහොමද කියලා තමයි අද මේ රටේ බහුතරයක් ජනතාව හිතන්නේ.

    අනික තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන දෙමාපියන්ගේ හිතේ අවිලෙන ගින්න. පහුගිය අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඇනහිටලා තිබෙනවා. මුළු අධ්‍යාපනයේම බර ටියුෂන් ගුරුවරුන්ට භාර දීලා අධ්‍යාපන අමාත්‍යාංශය අත පිසදාගෙන තිබෙනවා. අපි උපකාරක පන්ති ගුරුවරුන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. ඔවුන්ගේ සේවය සහ කැපවීම අපි කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ.

    අපි චෝදනා කරන්නේ උපකාරක පන්ති වගේම, සූම් තාක්ෂණය වැනි අන්තර්ජාල පහසුකම් පදනම් කරගත් ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අසීමිත කැප කිරීමක් කරන ගුරුවරුන් සූරාකන අන්තර්ජාල, නැති නම් ඩේටා මාෆියාව ගැනයි.

    අපි හොදාකාරවම දන්නවා එදා වේල කන්න කුලියක් කරන පුද්ගලයාගේ දරුවාගේ සිට ඉහළම ධනපතියා දක්වා මේ ඩේටා මිලදී ගන්නේ පසුගිය කාලේ තිබුණ මිලටමයි. ඒ කියන්නේ ඔවුන් මේ ඩේටා මිලදී ගන්නේ කිසිසේත් සැබෑ මිලකට නොවෙයි. අදාළ සමාගම් විසින් දැවැන්ත ලාභයක් මත විකුණන ඩේටා තමයි මේ මිලදී ගන්නේ. ඔවුන් මේ ඩේටාවලින් අති දැවැන්ත ආදායමක්, ලාභයක් උපනවා. ඇතැම් ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් 100%ක්ම විජාතික ඒවා. ඔවුන් මේ ලාභය තමන්ගේ රටට ගෙන යනවා.

    පොල් ගෙඩිය කඩදන දුප්පතාගේ සිට රාජ්‍ය සේවකයා, සුළු නිෂ්පාදකයා දක්වා ලක්ෂ 45ක දරුවෝ, රාජ්‍ය ගුරුවරු හා ටියුෂන් ගුරුවරු දස දහස් ගණනක් මේ අන්තර්ජාල ඩේටා මාෆියාවේ පහසු ගොදුරු බවට පත්වෙලා ඉන්නවා.

    අපි රජයට අවධාරණය කරන්නේ දැන් මාස 15ක් තිස්සේ මේ ඩේටා මාෆියාව ජයටම ක්‍රියාත්මක වෙනවා. අද සෑම පවුලකම වාගේ සහල් ගන්න වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් මේ ඩේටාවලට වැය කරනවා. මේක සැබවින්ම සුරාකෑමක්. මේ සූරාකෑමට ආණ්ඩුව වහාම වැට බැදිය යුතුයි. අපි සහන දෙන්න කියලා කියන්නේ නැහැ. අපි පැහැදිලිවම කියන්නේ කොමිෂමක් මගින් බැරි නම් විශේෂඥ මණ්ඩලයක් මගින් හෝ සොයා බලා මේ ඩේටා මාෆියාවට තිත තියලා මේ අසීමිත සූරාකෑම නතර කරන්න. අපේ ජාතික ධනය ට්‍රිලියන ගණනින් විදේශ සමාගම්වලට පුදකරන මේ මාෆියාවට තිත තියන්න.

    අනෙක් කාරණය ලිපේ ගින්දර ගැනයි. කල දුටු කල වළ ඉහගන්න ව්‍යාපාරික මාෆියාවක් මේ මොහොත් ජනතාවගේ සමස්ත ආදායමම සූරා ගෙන කනවා. ජංගම වෙළෙදුන් මේ අවස්ථාවේ සේවයක් ලබා දෙන බව ඇත්ත. එහෙත් ඔවුන් අසීමිත සූරාකෑමට නිරත වෙනවා. ඔවුන් විකුණන ගස්ලබු කිලෝවක් රුපියල් 100යි ! එළවළු මිල 300%කින් වැඩියි. මේක පැහැදිලිවම සූරාකෑමක්.

    අපි රජයෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම මේ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ වගේම විපතට පත්ව සිටින ජනතාවක් මේ ආකාරයෙන් සූරාගෙන කන්න එපා කියලා. මොකද අපි හැමෝම මේ අසීරු කාලේ ජීවත් වෙන්නේ හරිම අසීරුවෙන්. රාජ්‍ය සේවකයාගේ පවා අතිකාල දීමනා අහිමි වෙලා. ඔවුන් ගන්න පුළුවන් සියලුම ණය අරගෙන තියෙන්නේ. ඔවුන් බහුතරයක් ජීවත් වුණේ අතිකාල වලින්. නැතිනම් වෙනත් ස්වයං රැකියා ආදියෙන්. ඒ නිසා අපි හැමෝම අද ජාතියක් ලෙස, රටක් ලෙස අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මේ අසීරු අවස්ථාවේ තව කෙනෙකු සූරාගෙන කෑම කිසිසේත් යහපත් දෙයක්, බෞද්ධයින් ලෙස ආගමානුකූල දෙයක් නොවෙයි.

    ඒ වගේම අපි රජයට යමක් මතක් කළ යුතුයි. ඒ තමයි ජනතාවගේ ජීවන වියදම අද අහස උසට නැගලා. වගාකරුන්ට එළවළු විකුණ ගන්න බැරිව ලතවෙන කොට පාරිභෝගිකයා ඒකට අහස උසට මිලක් ගෙවනවා. මොන තරම් පම්පෝරි ගැහුවත් සහල් මිල අඩු වෙලා නැහැ. පොල් මිල එලොව පොල් පේනවා. පසුගිය සුනාමි පළමු රැල්ලේදී ජනාධිපතිවරයා පරිස්සු ගැන බොහොම දුක් වුණ. දැන් පරිප්පු කිලෝවක් රුපියල් 250යි, සීනි කිලෝවක් 117ක්යි. අල කිලෝවක් රුපියල් 250යි ! හැම භාණ්ඩයකම මිල 35%කින් පමණ ඉහළ ගිහින් තියෙනවා. ඊට සාපේක්ෂව ජනතාවගේ ආදායම විශාල වශයෙන් පහළ ගිහින් තිබෙනවා. ඇතැමුන්ට කිසිම ආදායමක් නැහැ.

    මේ තත්ත්වයට ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතුයි. රුපියල් 5000ක් බෙදාදීම මේකට පිළියමක් නෙමෙයි. ඒක හරියට අතීසාරයට අමුඩ ගහනවා වාගේ වැඩක්. මේ 5000 කඩේට අරන් ගියම හකුරු වාගේ දියවෙනවා.

    මේ අවස්ථාවේ වෙළෙද ඇමතිවරයා ගැනත් යමක් කිව යුතුයි. ඔහු ගැන දවසක් කිව්වත්, පොතක් ලිව්වත් පාඩුවක් නැහැ. ඒ තරම් නල්ලමලේ වෙළෙද ඇමැතිවරයෙක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ලිදේ ඉන්න මැඩියාගේ ලොකේ ලිද වාගේ වෙළෙද ඇමැතිවරයාගේ ලෝකේ, කොකටත් තෛලය බවට සතොස පත්වෙලා තිබෙනවා. මේ හාස්‍යජනක තත්ත්වයක් වුණත් ඇස් රතුවෙන විහිළුවක්. ඇමැතිවරයාගේ හැම බඩුවක්ම අඩුවට තියෙන්නේ සතොසේ ! ඒත් සතොසට රටකට කන්න බොන්න දෙන්න පුළුවන්ද ? බැහැ. අඩුගානේ සතොසට ගමකට කන්න දෙන්න බැහැ. ඇත්ත ඒකයි. ලංකාවේ සිල්ලර වෙළෙදාමෙන් 01%ක් වත් සතොස හරහා සිදුවෙන්නේ නැහැ. ඒ නිසා බඩුමිල අහස උසට නැගීමට සතොස කිසිසේත්ම විකල්පයක් හෝ උත්තරයක් නොවෙයි. ඒක බන්දුල ගුණවර්ධන මහත්තයාගේ සහ එහි සේවකයින්ගේ රස්සාව පමණයි.

    ඒ නිසා අපි වෙළෙද ඇමැතිවරයාට කියනවා කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයට මහදැන මුත්තාගේ පන්නයේ ගැසට් ගැහුවා වාගේ වැඩ දැන්වත් නතර කරන්න. ඔබ නිසා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදු වුණ හානිය ගැන අපට අමතක නැහැ. ඔබ ආණ්ඩු අපකීර්තියට, ජනතාවගේ පිළිකුළට පත් කිරීමට උපන් හපන් සුදුසුකමක් ඇති ඇමැතිවරයෙක්.

    69 ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාව මහත් විස්වාසයෙන් බිහිකළ ආණ්ඩුවක් ජනතාව අතර අපකීර්තියට පත්කරන වැඩ නොකරන්න කියලා අපි බන්දුල ගුණවර්ධන මහත්තයාට කියනවා. මොකද මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ජාතික ව්‍යාපාරය සුවිශාල වැඩ කොටසක් කළා. කිසිම වරදානයක්, වරප්‍රසාදයක් නැතිව අති විශාල පිරිසක් දැවැන්ත කැප කිරීමක් කළා. හිරේ විලංගුවේ වැටුණා. රස්සා – ආදායම් මාර්ග නැති කර ගත්තා. ඒ නිසා ලබාගත් ජයග්‍රහණය රැක ගැනීම, ඒක වැරදි පාරේ යන කොට නිසිමගට ගැනීමේ වගකීමක් වගේම වගවීමකුත් ජාතික ව්‍යාපාරය ලෙස අපට තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව පිස්සු නටන සියලුම දේශපාලනඥයින්ට කියනවා රනිල් – මංගල හවුලට ලැබුණ උරුමය ගැන යළි යළි සිහිපත් කරන්න කියලා‘

  • ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ‘ලංකා ආර්ථිකයේ’ අවසන් හුස්ම පොදත් ඉවරයි !

    ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ‘ලංකා ආර්ථිකයේ’ අවසන් හුස්ම පොදත් ඉවරයි !

    Inbox

    ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

    මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය ඉවත් කිරීම සලකා බැලීමේ යෝජනාව පත්විය. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම නිර්දේශ කරන්නේ නම් ශ්‍රී ලංකා ආර්ථිකයට එය මරු පහරක් වනු ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ සිවිල් නිදහස සීමාවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ රට තුල ක්‍රියාත්මක සිවිල් හා බලපෑම් කණ්ඩායම් මේ වන විටත දක්වමින් ඇත්තේ අඩු උනන්දුවයි.  සුළු ජාතික කණ්ඩායම් වෙත මෙන්ම තමන්හා කටයුතු කළ දේශපාලනඥයින්, වෘත්තිකයින්ට, ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳ ද පාර්ලිමේන්තු විපක්ෂය හඬක් නගවන්නේ නැත. 

    එසේ තිබිය දී යුරෝපා සංගමය පහත සිය අවධානය යොමු කර ඇති කරුණු වන්නේ,  

    1.      මානව හිමිකම් සම්බන්ධයේ ලංකා රජය පොරොන්දු ඉටු නොකිරීම

    2.      ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහීම

    3.      ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු අණ පනත් දේශපාලන/සිවිල් ක්‍රියාකාරීන්ට විරුද්ධව පාවිච්චි කිරීම  යන කරුණු ය.

    යුරෝපා සංගමයේ ජීඑස්පී සහනයෙන් වැඩිම වාසියක් ලබන රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව වේ.  2020 වසරේ ලංකාවේ අපනයනයන්ගෙන් 22.4% සිදු කර ඇත්තේ යුරෝපා සංගමයට ය.  (පසුගිය වර ලංකාවට ජීඑස්පී සහනය අහිමි කිරීමට පෙර එය 35% ක් විය) චීනයට පසු ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා යුරෝපා සංගමය වන නමුත් යුරෝපා සංගමයේ 69 වන වෙළෙඳ සහකරුවා ලංකාවයි.  යුරෝපය ලංකාවේන් භාණ්ඩ 27 ක් ආනයනය කරන අතර ඇඟළුම් ඒ අතර ප්‍රධානය.  යුරෝ මිලියන 2083 ක් යුරෝපා වෙළදාමෙන් පසුගිය වසරේ ලැබුණි.

    යුරෝපය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය අප රටට වාසිදායක ලෙස පවතින අතර, දැන් ක්‍රියාත්මක ආනයන සීමා කිරීම් පිළිබඳ යුරෝපා සංගමයේ නියෝජිතයින් අවස්ථා ගණනාවක දී රජයට අනතුරු හඟවා තිබුණි. 

    යුරෝපය වෙත ලංකා අපනයන අඛණ්ඩව වැඩිවන අතර නමුත් 2008 දී යුරෝපය ජීඑස්පී සහනය නවතා දැමීමත් සමඟම ලංකාවට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු විය. ලංකාවට යුරෝපයේ වූ ඇඟළුම් වෙළෙඳපොල බංගලිදේශය විසින් ආක්‍රමණය කළ අතර හයිඩ්‍රාමනි ඇතුළු ලංකාවේ සමාගම් බංගලිදේශය වෙත සිය කර්මාන්ත රැගෙන ගියේය. එය බංගලිදේශයේ ඇඟළුම් ආදායම ඉහළ නැංවීමට හේතු වූ අතර, ලංකාවට එරටින් ණය ආධාර ලබාගැනීමට සිදුව තිබේ.  

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික පසුබෑම සිදු වෙමින් පවත්නා මොහොතක ‘‘යුරෝපා කොමිසම විසින් ජීඑස්පී ප්ලස් සහන ලංකාවට ලබාදීම පිළිබඳ ඇගයීමක්‘‘ සිදු කරනු ඇත.  එහි දී ලංකාවේ මානව හිමිකම්, කම්කරු නීති ආරක්ෂා කිරීම, කම්කරුවන් සදහා ලබාදෙන පහසුකම් පිළිබඳ දැඩි විමර්ශනයක් සිදු කරනු ඇත.

    මෙයට පෙර ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා සහ ජීඑස්පී සහන ඇතුළු බලපෑම් එල්ලවන විට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයට එවකට පැවති රජයන් දැඩි චෝදනා එල්ල කිරීම විශේෂත්වයකි.  සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ බලපෑම් කණ්ඩායම් වෙත වෛර සහගත චෝදනා එල්ල විය. එසේ නමුත්, වත්මන් විපක්ෂය මානව හිමිකම් සම්බන්ධයෙන් ද, සමාජ ක්‍රියාකාරීන් මර්ධනය සම්බන්ධයෙන් ද දැඩි නිහඬතාවයක් අනුගමනය කරමින් සිටී. ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිඳව විපක්ෂයට වඩා උනන්දුවක් දක්වන බව මෙම යෝජනාව අනුව පැහැදිලි ය. ජීඑස්පී සහන ඉවත් නොකිරීම සඳහා ‘යුරෝපා කොමිසම‘ එකඟ කරවා ගැනීමට ශ්‍රී ලංකා රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. 

    හුදු දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා දේශීය ආදායම් අහිමිකර ගැනීම, විදේශ ණය හා පොලී ගෙවීම,   පොහොර ආනයනය නතර කිරීම වැනි ජයප්‍රිය සටන්පාඨවලට මුවා වී  දේශීය කෘෂි නිෂ්පාදන අහිමිකර ගැනීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇති ලංකා ආර්ථිකයට ජීඑස්පී අහිමිවීම මාරාන්තික ප්‍රහාරයක් වනු ඇත්තේය.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

  • නව මරණ 62ක් – කොවිඩ් ආසාදිත මරණ 2073 දක්වා ඉහළට

    නව මරණ 62ක් – කොවිඩ් ආසාදිත මරණ 2073 දක්වා ඉහළට

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 62ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ සමග කොවිඩ් ආසාදනයෙන්ම මෙරට මියගිය සමස්ත පිරිස 2073ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම නිල මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    covid-death-jun-11

  • පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර හදන අය සොයා යයි…

    ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත.

    ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී ඇති අතර දැනට දිස්ත්‍රික් මට්ටමෙන් මධ්‍යම හා කුඩා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් ව නිසි පරිදි නගා සිටුවා ඔවුන්ගේ නිෂ්පාදනයන් ජාතික අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා භාවිත කිරීමට වැඩපිළිවලක් සකසා ඇත. එකී වැඩපිළිවෙල යටතේ ඔවුන් හට අවශ්‍ය තාක්ෂණය ලබා දීම ,වෙනත් පහසුකම් සැපයීම හා නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම සිදු කරනු ලැබේ.

    ඒ අනුව 2021.06.11 දින සිට 2021.06.30 දින දක්වා දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල  වෙත ගොස් කාබනික පොහොර නිෂ්පාදකයින් හමුවීමට කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා සූදානමින් සිටින අතර එම අවස්ථාවන් සඳහා අමාත්‍යංශ නිලධාරීන්ද සහභාගී වනු ඇත.

    එකී වැඩපිළිවෙලෙහි පළමු අදියර ලෙසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික් කාබනික පොහොර නිෂ්පාදයින් සමග සැසිය අද උදෑසන පැවැත්විණි. මේ සඳහා කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොශාන් ගුණතිලක, බස්නාහිර පළාත් කමිටු සභාපති ප්‍රියන්ත උදුගොඩ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ ඇතුලු පිරිසක් සහභාගී විය.

  • ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

    ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.

    මාධ්_ය-නිවේදනය-බලශක්ති-අමාත්_යංශය

    ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවේදීය.

    මිල සංශෝධනය සිදුකරන දිනය දැන්ම ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බව කී ඇමැතිවරයා මිල සංශෝධනය නුදුරේදීම සිදුවන බව කීවේය.

    ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සාධාරණීකරණය කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසයි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නැහැ. නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ.

    වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි 300ක් වැය වෙනවා. පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවට පත්ව තිබෙනවා‘‘

    ඉන්ධන මිල සංශෝධනය රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයින් කිහිප දෙනකුම පැවසුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ඉන්ධන ආනයනයේදී විශාල මිලක් ගෙවීමට සිදුව ඇති බවයි. වත්මන් රජය බලයට පත්වන අවස්ථාව වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස පහළම අගයක තිබූ බව සදහන් කළ ඔවුන් කියා සිටියේ ඒ අවස්ථාවේ එකී මිල වාසිය ජනතාවට ලබාදීමට රජය පියවර නොගත් බවයි.

    ‘ඒ අවස්ථාවේ රජය කිව්වේ අදාළ මිල වාසිය ගිනුමකට බැර කර මිල ඉහළ යන අවස්ථාවක එම සහනය ජනතාවට ලබා දෙන බවයි. ඒත් අපි හොදාකාරවම දන්නවා ආණ්ඩුවට එවැනි ගිනුමක් තිබුණේ නැහැ. ඒ වාසිය ජනතාවට දුන්නෙත් නැහැ.‘

    මේ සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණයෙන් කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථව අඛණ්ඩව පාඩු ලබන්නේ ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දුන් නිසා නොවන බවයි.

    ‘‘ජනතාව ණයට ඉන්ධන ගත්තේ නැහැ. මේ පාඩුව ලබන්නේ ආණ්ඩුවේම ආයතන, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආදියට ඉන්ධන විකුණලා. ඒ අලාභය ජනතාව පිටින් දාන එක වැරදියි. කළමනාකරණ නොහැකියාව, නාස්තිය හා දූෂණය නිසයි තෙල් සංස්ථාව පාඩු ලබන්නේ‘ යැයි ඔහු සදහන් කළේය.

  • ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

    ශ්‍රී ලංකාවට හිමිවන ‘දකුණු කොරියානු රැකියා‘ අනතුරේ !

    දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවී තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසක් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියානු රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

    රට පමණක් නොව තමන් ද අනතුරේ දමමින් සිටින මෙම ශ්‍රමිකයන් වහාම මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් සභාපතිවරයා අදාළ ශ්‍රමිකයින්ගේ පවුල් වල සාමාජිකයින්ගෙන් ද ඉල්ලා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා, ‘‘දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවි තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය විසින් මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට දන්වා සිටියා.

    මේ වන විටත් 2000කට අධික ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසක් අනවසරයෙන් සිය රටේ රැදි සිටිමින් රැකියාවල නිරත වෙන බවයි දකුණු කොරියානු රජය කියන්නේ. මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, ගිවිසුම් ගත කාලය තුල රැකියාවල නිරත වී, තම සේවා ගිවිසුම් කාලය ඉක්මවු පසු නීති විරෝධි අන්දමින් රැදි සිටින අයයි. ඔවුන් නීති විරෝධි අන්දමින් රැඳී සිටින කාලය තුළ, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව දකුණු කොරියානු රජය විසින් දන්වා තිබෙනවා. දකුණු කොරියානු රජයේ මෙම තීරණය දැනට දකුණු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටද බලපානවා. මේ නිසා රටට ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විමේ අවදානමක් පැන නැගී තිබෙනවා.

    නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රමිකයන් ගෙන්වා නොගත හොත් ඔවුන් වෙනුවෙන් ඇපකර ගිවිසුම් අත්සන් කළ අයට සහ අදාළ ශ්‍රමිකයාට ද එරෙහිව වහාම නඩු පැවරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනනේ තමන් පමණක් නොව රටත් අනතුරේ නොදා වහාම ලංකාවට පැමිණෙන්න.

    ඒ වගේම මම ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් පවුල්වලින් ද ඉල්ලන්නේ මේ අනීතික කටයුත්ත කරන ඔබේ පවුලේ සාමාජිකයාව වහාම මවුබිමට ගෙන්න ගන්න. එසේ නොවුණහොත් ඔබ රටට මහත් විනාශයක් කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් දහස් ගණනකගේ ජීවිත අදුරු කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා‘‘

  • ‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

    ‘මෛත්‍රීට’ චීනෙන් දුන් වකුගඩු රෝහල ජනපති ‘ගෝඨාභය අතින්‘ ජනතා අයිතියට

    පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්අෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.  

    චීන සහශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

    වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.

    රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය.

    ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

    ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

    ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන්  වගබලා ගත යුතුයැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ සේවා අවශ්‍යතාව අනුව මැදිහත්වී කඩිනමින් අදාළ මගපෙන්වීම් සිදු කිරීමටත්, කාර්යක්ෂමව අදාළ සේවාව ලබා දීමටත් කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මගපෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුකමක් බව සිහිපත් කළේය.

    ආයතන ප්‍රධානීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් සහයෝගීතාවයෙන් යුතුව තම ආයතනවල පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.