Blog

  • ICC ලෝක කුසලාන සුපර් ලීග්: ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය දක්වා පල්ලම් බහී

    ICC ලෝක කුසලාන සුපර් ලීග්: ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය දක්වා පල්ලම් බහී

    අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් නෙදර්ලන්තය එක් ලකුණකින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීග් (ICC Men’s Cricket World Cup Super League)-ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය වන 13 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

    ඊයේ (02) නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව එක්දින තරග 6කට සහභාගී වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. තරග 05ක් පරාජයට පත්ව ඇති අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව -0.245ක් වෙනවා.

    බංග්ලාදේශය සමග පැවැති එක්දින තරග දෙකක් පරාජයට පත්වී තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද කොදෙව් එක්දින තරගාවලියේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 2ක් අඩු කිරීමට පියවර ගත්තා.

    ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය බංග්ලාදේශය විසින් ද දෙවැනි ස්ථානය එංගලනත්ය විසින් ද තෙවැනි ස්ථානය පාකිස්ථානය විසින් ද හිමිකර ගෙන තිබෙනවා.

    12 වැනි ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන අතර ඉන්දියාව 06 වැනි ස්ථානයේත් ඔස්ට්‍රේලියාව 04 වැනි ස්ථානයේත් පසුවෙනවා.

  • කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනයට සහ මෙරටදී නිපදවීමට පියවර

    කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනයට සහ මෙරටදී නිපදවීමට පියවර

    • නිකුත් කෙරෙන කාබනික පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීම
      පස පරීක්ෂාවෙන් අනතුරුව…
    • දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ උපකරණ…
    • ගොවීන් දැනුවත් කිරීමට උපදෙස් මාලාවක්…
    • මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කෙරේ.

    පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

    ඊයේ (02) පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.

    පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ආයතනවලට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමට හැකිය. එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වය ද රැකෙන අතර සමෘද්ධිලාභීන් ඊට දායක කරගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගා ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අභියෝග පැමිණිය හැකිය. එහෙත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කළ යුතුය. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ලෝකයේ බොහෝ දෙනෙක් එය කළ නොහැක්කක් බව පැවසූහ. කාබනික පොහොර වැඩසටහන කෙරෙහි ඇත්තේ ද එවැනිම මතයකි. එය ජයගැනීම යුගයේ අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම උදෙසා  ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්යය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්, යම් අඩුවක් සිදු වුව හොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස පරීක්ෂණයට අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

    කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට මුද්‍රිත උපදෙස් මාලාවක් ගොවීන්ට ලබාදීමට ද තීරණය කෙරිණ.

    පස පරීක්ෂා කරන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිල වශයෙන් භාරදීම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු, කෘෂිකර්ම අමාත්‍යාංශය හා රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • නාමල්ගේ ගොඩ තවත් ලොකුවෙයි !

    නාමල්ගේ ගොඩ තවත් ලොකුවෙයි !

    ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.

  • X-PRESS PEARL පරිසර ව්‍යසනය ගැන සංවේදී කතා

    X-PRESS PEARL පරිසර ව්‍යසනය ගැන සංවේදී කතා

    රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බවත් මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

    නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ වන්දි ලබා ගැනීම නොව සිදුවිය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව ද ඇමැතිවරයා කීවේය

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ පරිසර ඇමැතිවරයා මෙසේද කීවේය, X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධ තීරණ ගණනාවක් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී එළැඹුනා. ගිනිබත් වු නෞකාවට අදාළව කෙතරම් වන්දියක් ලැබුණත් සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිළව් කළ නොහැකියි. ඒ වගේම නෞකාව ගිලී ගියහොත් සිදුවිය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    තෙල් කාන්දුවක් සිදුවුවහොත් අපට දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට සිදුවෙනවා. ඒනිසා විනාශ වූ මෙම නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේ දී විද්‍යාඥයින්ගේ මතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් නැව ගැඹුරු මුහුදට ඇද ගෙනයාම ආදී පියවර ගත යුත්තේ ඒ අනුව බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නැවතත් නැවක් ගිනි ගැනීමට ලක් වුවහොත් සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ලබා ගැනීම සම්බන්ධව රජය අවධානය යොමු කරලා තිබෙනවා‘‘යැයි ද පරිසර ඇමතිවරයා පැවසුවේය.

    මේක ලංකාවට පමණක් නොව ඉන්දියානු සාගර කලාපයටහ තර්ජනයක් – පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා

    මේ අතර පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ නෞකාව විනාශ වීම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ඉන්දියානු සාගර කලාපයටම බලපාන කරුණක් බවට පත්වනු ඇති බවයි.

    ‘‘මේ නෞකාව ගිලීමත් සමග දැන් ඉතාමත් ම ප්‍රබල පරිසර ගැටලුවලට ලංකාවට මුහුණ දෙන්න වෙනවා මොකද ඒකට හේතුව අන්තරාදායි අපද්‍රව්‍ය හෝ අන්තරාදායි ද්‍රව්‍ය මෙතන තියෙනවා. ඒවගේම අපි දන්නවා නයිට්‍රික් අම්ලය තියෙන කන්ටේනර් රාශියක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් පෙලට්ස් රාශියක් මුහුදේ යටට යනවා. මේක ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් මොකද ඒකට හේතුව අපිට අපේ රටේ මුහුදේ විශාල වශයෙන් පරිසරයට හානිකරන්න පුළුවන් ද්‍රව්‍ය රාශියක් ම තියෙනවා. මේ ද්‍රව්‍ය කාලයත් එක්ක මේ කන්ටෙනර්ස් දිරන නිසා ඒවා ජලයට එකතු වෙනවා මේ එකතුවෙනවා කියන්නේ අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා. අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන්නේ අපේ ධීවර කර්මාන්ත විනාශ වෙනවා විතරක් නෙමෙයි මේ අපේ ඒ ප්‍රදේශයේ මුහුද විතරක් නෙමෙයි මේ තුළින් අපේ මේ කලාපයටම හානියක් වෙනවා.”

    ඇය තවදුරත් පැවසුවේ ප්ලාස්ටික් කැට (plastic pellets) මෙන්ම රසායනික ද්‍රව්‍ය කලපු ප්‍රදේශයට ගලායාමෙන් කුඩා මත්ස්‍යයින් මෙන්ම ඉස්සන් හා ඉතා සංවේදී පරිසර පද්ධතියම අනතුරට ලක්වන බවය.

    “ඒ වගේම භයානකම දේ තමයි මේ අන්තරාකාරී ද්‍රව්‍ය කුමක්ද කියන එක තවම පැහැදිලි කරලා නෑ. ඒ නිසා දැන් රජය වගකීමක් ගන්න ඕන ජනතාවට කියන්න කුමන ද්‍රව්‍ය ද මේ කන්ටිනේර්ස් වල තියෙන්නේ? කවුද මේ රෙස්කිව් එකට අපේ රටට සහභාගී වෙන්නේ ? ඒ වගේම මේ නැව අයිති සමාගම කුමක්ද කරන්න යන්නේ කියලා.”

    “මෙකත් ලොකු වන්දියක් කියලා හිතන්න යන්න එපා මොකද ඒකට හේතුව මේක අපේ පරිසරයටත් රටටත් කරන විශාලම හානියක්. මොකද මේකේ කවදා හෝ විපාක දකින්න වෙනවා අපේ දරුවන්ගේත් දරුවන්ට. මම දකිනවා මේක අපේ ලංකාවට කරපු, අපේ මුහුදට කරපු, අපේ ධීවර කර්මාන්තයට කරපු ලොකුම ප්‍රබලම වැරැද්ද කියන එක. ඒ නිසා බලධාරීන් දැන් හිතන්න වෙනවා තමන්ගේ තනතුරු ගැනත්.” ඇය පැවසුවාය.

    ඊයේ (02) කොළඹ කොළඹ අගරදගුරු නිවසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ නැව් අනතුරින් සිදුවන හානිය ඉතාමත් බරපතල බැවින් වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන්න යැයි ඉල්ලා සිටි බවයි. එසේ ඉවතට ගෙන යා නොහැකිනම් නැවේ තෙල් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත්, මතුවී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවට එල්ල වී ඇති බලපෑම වෙනුවෙන් ඉදිරිපත් වී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසුවේය.

    a dead fish from ship fire

    මෙම අනතුර සහ එහි පරිසර අවදානම ගැන සිය අදහස් දක්වමින් ආචාර්ය චරිත පතිආරච්චි මහතා පැවසුවේ නැවේ ප්‍රවාහනය කළ බොහෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය අතර ප්ලාස්ටික් බෑග් සෑදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වන නර්ඩල්ස් නමින් හැඳින්වෙන ප්ලාස්ටික් පෙති මෙට්‍රික් ටොන් 78 ක් තිබී ඇති බවත් අනතුරේදී සාගරයට මුසු වූ එම ප්ලාස්ටික් පෙති කොළඹට දකුණින් පිහිටි වෙරළ තීරවලට දැනටමත් ගොඩගසා ඇති බවත්ය.

    “මෙම ප්ලාස්ටි පෙති කැලණිය හා මීගමුව වැනි කලපු හා ගංගා පද්ධතිවලට සහ වරාය නගරයට ද පිවිසෙන්නට ඉඩ තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරනු ලබන්නේ සුළඟින් සහ ධාරා වලින් – මුහුදු වෙරළ මතුපිට රැඳී සිටින අතර ඒවා ජෛව හායනයට ලක් නොවන බැවින් සාගර පරිසරයේ සදහටම පවතිනවා”

    එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව වෙතින් ප්ලාස්ටික් පෙති බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් මුහුදට එක්වී ඇති බැවින් ඒවායෙහි මාර්ගය පුරෝකථනය කළ විට ඒවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට ඉදිරි දිනවලදී බටහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කරනු ඇති බව පැහැදිලියි. ඒ වගේමෙ දූෂණ කාරක කාබනික සහ රසායනික ද්‍රව්‍ය සමුද්‍රයට එක් රැස් වීම නිසා යම් මුහුදු ප්‍රදේශවල ජීව පද්ධතියේ අසමතුලිතතා ඇති වන අතර ඇල්ගී වර්ග ආදිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් මුහුදු පත්ලේ සහ ගල්පරවල සිටින ජීවීන් මිය යෑමට ඉඩ තිබෙනවා‘‘ යැයි ආචාර්ය චරිත පතිආරච්චි මහතා පැවසුවේය..

  • අගමැති මහින්දගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

    අගමැති මහින්දගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

  • කොවිඩ් මරණ සගවන්න ආණ්ඩුව යළිත් අලුත් ගේමක් ගහයි – ඊයේ මරණ වාර්තා වී නෑ

    කොවිඩ් මරණ සගවන්න ආණ්ඩුව යළිත් අලුත් ගේමක් ගහයි – ඊයේ මරණ වාර්තා වී නෑ

    ජූනි මස 02 වැනි දිනට අදාළව කොවිඩ්-19 මරණ පිළිබද නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) රාත්‍රී 22.30ට නිකුත් කළා. එම නිවේදනය අනුව මැයි 17 වැනි දින සිට ජූනි 01 දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වී ඇති අතර ජූනි 02 වැනිදා එක් මරණයක් හෝ වාර්තා වී නැහැ.

    මෙදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ විශේෂත්වයක් දැකගත හැකියි. ඒ ගැන පහත නිල නිවේදනය මගින් ඔබට ම අදහසක් ලබා ගත හැකියි.

    covid-death-jun-2

    මේ අතර පත්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී, හිටපු ඇමැති මහචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (02) පැවසුවේ ‘කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තා කරන ප්‍රමාණයට වඩා වැඩි බවයි.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව පැවසූයේ මාධ්‍යවේදී චතුර දිසානායක සමඟ සිදුකළ Q5 with CHATHURA වැඩසටහනට එක්වෙමිනුයි. එහිදී මාධ්‍යවේදී චතුර දිසානායක මහාචාර්යවරයාගෙන් “පසුගිය දවස්වල අහන්න ලැබිච්ච දෙයක් තමයි මේ වාර්තාවන මරණවලට වඩා මරණ සිදුවෙනවා කියලා… මේ මරණ වාර්තා නිවැරදි නැහැ කියලා… ඒක ඇත්තක්ද?” යැයි විමසුවා.

    චතුරගේ එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ සදහන් කළා, “ඒකේ ඇත්තක් තියෙනවා. හේතු කිහිපයක් උඩ. එකක් රෝගීන් සංඛ්‍යාව ඉදිරිපත්කරන ඒ ගාන නියම මැනීමක් නෙමෙයි. PCR පරීක්ෂණ පැවැත්වීමේ මදි කම එක පැත්තකින් තියෙනවා. අනික් පැත්තෙන් රෝගීන් සෑහෙන්න පිරිසක් රෝහල්ගතවෙන්නෙත් නැහැ. මරණ සම්බන්ධවත් සමහර අය ගෙවල්වල රැඳී ඉඳලා ඉස්පිරිතාලවලට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් විවිධ හේතූන් නිසා මැරෙන්න පුළුවන් කොවිඩ් වෛරසය බෝවෙලා තියෙන්නත් පුළුවන්. මැරුණේ කොවිඩ් 19න් වුනාට ඒවා සඳහන් කරන්නේ කොවිඩ් මරණ හැටියට නෙවෙයි.

    කනගාටුයි කියන්න, හරියට මදිකමක් වාගේ කලින් තිබුන තත්වයෙන් වෙනස් වෙලා මේක වැඩිවේගන යාම දකින්නේ. අපිට කරන්න තියෙන්නේ ඇත්ත තත්වෙ මොකද්ද කියලා දැනගෙන ඒකට උපරිම ලෙස ක්‍රියාකාරීමයි.” යනුවෙනි.

  • ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

    ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

    අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා වුණා.

    මේ අතර දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියනවා.

    එම මධ්‍යස්ථානය විසින් පවත්වා ගෙන යන වාර්තාවලට අනුව පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149 දෙනකු වූ අතර මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්, මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්, මැයි 30 වනදා වනවිට 310 දක්වාත් මැයි 31 වනදා වනවිට 330 දක්වාත් වර්ධනය වී තිබෙනවා.

  • ‘වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘  මහාචාර්ය අර්ජුන ද සිල්වා

    ‘වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ මහාචාර්ය අර්ජුන ද සිල්වා

    ”වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ සංචාරක ඇමැතිවරයාගෙන් මේ ආයාචනය කළේ මෙරට ප්‍රමුඛ මහාචාර්යවරයෙක් වන අර්ජුන ද සිල්වා මහතායි.

    අද (02) දහවල් දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙම බැගෑපත් ඉල්ලීම කළා.

    වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

  • ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි – ජනපතිගෙන් විශේෂ නියෝග

    ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි – ජනපතිගෙන් විශේෂ නියෝග

    කර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව
    පවත්වාගෙන යාමට සහාය වන්න  
     – ජනපති ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියයි …

    ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

    පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාධිතයෙකු හඳුනාගත් විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසරය විමසීමේ වැදගත්කම  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුණ ද ප්‍රාදේශීයව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවීමේ දී අඩු පාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

    ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ එළවළු සහ පළතුරු අතිරික්ත මිලට ගෙන බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා  ගොවි ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොතැබීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව කියා සිටියේය.

    දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අදාළ ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතුය. රජය විසින් ක්‍රියාත්මක කොට ඇති වැව් දස දහසේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස, නිවාස, ප්‍රාදේශීය රෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ එම ලේකම්වරු සමග සෘජු සබඳතා පවත්වා ගනිමින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට සහ දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

    එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතී. විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී ජනතාව අසීරුතාවයට පත් නොවන අන්දමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා අපේක්ෂා කරන බව ද පැවසීය.

    ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව  සඳහන් කළ ජනාධිපතිතුමා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ආණ්ඩුකාරවරුන්ට කීය. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා  කුඩා ව්‍යාපාරිකයන්ට සහ ගොවි සමිති වලට අවශ්‍ය ආධාර හා රාජ්‍ය බැංකු හරහා සහන පොළියට ණය ලබාදීමට  රජය සැලසුම් කර ඇති බව ද  සඳහන් කෙරිණ.

    පවතින වසංගතය පාලනය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සහ අභියෝග හමුවේ වුවද රටේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කැපවීම ආණ්ඩුකාරවරුන්ගේ පැසසුමට ලක් විය.

    වරාය, දුම්රිය, රේගු, ඉන්ධන සැපයුම්, පොදු ප්‍රවාහන සේවා, බැංකු, පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම තම කටයුතු පවත්වාගෙන යාමට විශාල සහනයක් වූ බව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ.

    පළාත් ආණ්ඩුකාරවරු,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි

    සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි

    දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ජූනි 14 වැනිදා අළුයම 04.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

  • පාරිසරික ව්‍යසනය පිළිබඳ භීතිය මධ්‍යයේ X-Press Pearl ගිලී යයි

    පාරිසරික ව්‍යසනය පිළිබඳ භීතිය මධ්‍යයේ X-Press Pearl ගිලී යයි

    විශාල පාරිසරික ව්‍යසනයක භීතිය මධ්‍යයේ රසායනික ද්‍රව්‍ය පටවන ලද X-Press Pearl නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ගිලී යමින් තිබෙන බව ලෝ ප්‍රකට බී.බී.සී ජාත්‍යන්තර වෙබ් අඩවිය අද (02) වාර්තා කළේය.

    සිංගප්පූරුවේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන X-Press Pearl සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගිනිගනිමින් තිබෙන බවයි එම වාර්තාව සදහන් කරයි.

    නැව ගිලුණහොත් සමුද්‍ර ජීවීන්ට සහ කොරල්පරවලට දැවැන්ත හානියක් සිදුවිය හැකි අතර එන්ජින් තෙල් ටොන් සිය ගණනක් මුහුදට කාන්දු වීම මගින් සිදුවන පරිසර විනාශය තව දුරටත් තීව්‍රර විය හැකිය. ශ්‍රී ලංකාව සහ ඉන්දීය නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළ ඒකාබද්ධව කටයුතු කර ඇත්තේ ගින්න නිවා දැමීමට සහ නැව කැඩී ගිලී යාම වැළැක්වීමට ය. නමුත් රළු මුහුද සහ මෝසම් සුළං මෙම මෙහෙයුමට බාධා ඇති කළේය.

    සාගර දූෂණය අවම කිරීම සඳහා නැව ගිලෙන්නට පෙර ගැඹුරු මුහුදට ඇද දැමීමට උත්සාහ කරන නමුත් නෞකාවේ පසුපස ප්‍රදේශය ගිලී ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසීයට පැවසීය.

    එක්ස්-ප්‍රෙස් පර්ල්
    එක්ස්-ප්‍රෙස් පර්ල්

    රටේ වඩාත් සුන්දර වෙරළ තීරයන්හි නිවහන වන මීගමුව නගරය අසල වෙරළබඩ ප්‍රදේශය දැනටමත් දින ගණනාවක් තිස්සේ තෙල් හා සුන්බුන්වලින් දූෂණය වී තිබේ.

    මේ අතර, ධීවර රාජ්‍ය අමාත්‍යවරයා විසින් මීගමුව කලපුවේ සහ පානදුර සිට මීගමුව දක්වා මසුන් ඇල්ලීම වහාම අත්හිටුවා තිබේ. කලපුව සහ අවට ප්‍රදේශ සුන්බුන් වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා හෝ තෙල් කාන්දුවක් සිදුවුවහොත් ඒවා වළක්වා ගැනීම සඳහා හදිසි වැළැක්වීමේ පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

    X-Press Pearl නෞකාවේ හිමිකාරීත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් රසායනික ද්‍රව්‍ය කාන්දුව පිළිබඳව නෞකාවේ කාර්ය මණ්ඩලය දැන සිටි බව සනාථ කළ නමුත් ගින්න හට ගැනීමට පෙර නෞකාවට කටාර් හෝ ඉන්දියාවට ොයාමට අවසර නොලැබුණු බව පැවසීය.

    වෙනත් රටවල් දෙකක් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව විසින් මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ හැරීම මහජන කෝපයට හේතු වී තිබේ. පසුගිය සතියේ බේරාගත් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නිලධාරීන් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් පැය 14 කට වැඩි කාලයක් ප්‍රශ්න කළ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. කපිතාන්, ප්‍රධාන ඉංජිනේරු සහ අතිරේක ඉංජිනේරුවරයා රට හැර යාම වළක්වන ලෙස අධිකරණය නියෝගයක් ද නිකුත් කළේය.

    කොළඹ වරායට ඇතුළු වීම සදහා ඔබ ඔබ්වෙන් නැංගුරම් සිටි සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවේ එහි එක් බහාලුමක රසායනික කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගත් බව මුලින්ම වාර්තා විය.

    ලොව විශාලතම නාවික මෙහෙයුම් සමාගමක් විසින් මෙහෙයවන ලද මීටර් 186 ක් දිග මෙම බහාලුම් නෞකාව 2021 මැයි 15 වන දින ඉන්දියාවේ හසිරා වරායෙන් නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තවත් රසායනික ද්‍රව්‍ය හා ආලේපන කිහිපයක් සහිත බහාලුම් 1486 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී මෙම විනාශයට මුහුණ පෑවේය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • X-PRESS PEARL නෞකාව ගිලී යයි !

    X-PRESS PEARL නෞකාව ගිලී යයි !

    X-PRESS PEARL නෞකාව ඈත මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද (02) දින පෙරවරුවේදී ආරම්භ වුවත් එය අසාර්ථක බව වාර්තා වෙනවා. ඒ නෞකාව මුහුදුබත් වීමට පටන් ගෙන ඇති නිසයි. අදාළ කටයුතුවලට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කළ පහත ඡායාරූපවලින් ඒ බව පැහැදිලිව දැකගත හැකියි.

  • එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝග

    එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝග

    කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරිණ.

    මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනාවරණය කළේය.

    ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.

    ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නාලක ගොඩහේවා, නීතිපති සංජය රාජරත්නම්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු, නාවුක හා ගුවන් හමුදාපතිවරු, වරාය, සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය, නාරා ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ. 

  • සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරනු – රජය කියයි

    සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරනු – රජය කියයි

    රජය විසින් රසායනික පොහොර ආයනයනය තහනම් කිරීමෙන් පසු ඇතැම් වෙළෙදුන් තමන් සතුව තිබූ රසායන පොහොර තොග සගවා ගෙන සිටින බවත් වහාම එම පොහොර තොග වෙළෙද පොළට නිකුත් කරන ලෙසත් රජය වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. අදාළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    රසායනික-පොහොර

  • චීන CoronaVac එන්නත ‘සුපිරි ප්‍රතිඵල පෙන්වයි’

    චීන CoronaVac එන්නත ‘සුපිරි ප්‍රතිඵල පෙන්වයි’

    අත්හදා බැලීමේ කොටසක් ලෙස වැඩිහිටියන් සියල්ලටම පාහේ කොවිඩ්-19 එන්නත් ලබා දීමෙන් පසු බ්‍රසීලියානු නගරයක කොවිඩ් -19 මරණ 95% කින් අඩුවී ඇතැයි පර්යේෂකයෝ පවසති.

    45,000 ක ජනගහනයක් සිටින ගිනිකොනදිග සාඕ පවුලෝ ප්‍රාන්තයේ සෙරානා (Serrana) නගරයේ වැඩිහිටියන් සියලු දෙනාටම චීනයේ නිෂ්පාදිත කොරෝනාවැක් CoronaVac එන්නත ලබාදී ඇති අතර එම එන්නත් ලබාදීමෙන් පසුව රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.

    වෛරසය සංසරණය අඩු වීමෙන් එන්නත ලබා නොගත් අයද ආරක්ෂා වී ඇති බව කණ්ඩායම පවසයි.

    සොයාගැනීම්වලින් පෙනී යන්නේ මිනිසුන්ගෙන් 75% ක් මුළුමනින්ම එන්නත් කිරීමෙන් පසුව වසංගතය පාලනය කළ හැකි බවයි.

    කොරෝනා වසංගතයෙන් බ්‍රසීලයට දැඩි ලෙස පහර වැදී ඇති අතර 463,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

    ප්‍රමාණවත් තරම් එන්නත් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රසීලය මන්දගාමී එන්නත් කිරීමේ ව්‍යාපාරයක් සමඟ පොරබදමින් සිටින අතර ආසාදන මැඩපැවැත්වීම සඳහා සම්බන්ධීකරණ පියවරයන් නොමැතිකම මධ්‍යයේ දෛනික මරණ හා රෝගීන්ගේ සාමාන්‍යය ඉහළ මට්ටමක පවතිනවා.

    මෙම අත්හදා බැලීම පසුගිය පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ කොරෝනාවැක් එන්නත නිපදවන China’s Sinovac Biotech සමාගම විසින් සංවිධානය කර තිබෙන්නේ.

    වෛරසය අඩංගු වීමේ සීමාව තීරණය කිරීම සඳහා නගරය ප්‍රදේශ හතරකට බෙදා තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම පැවසුවේ නගරයේ සියලුම වැඩිහිටියන් එන්නත් කළ විට ඔවුන් අතර මරණ සංඛ්‍යාව 95%කින් පහත වැටුණ බවයි.

    • මරණ 95% කින් පහත වැටුණි
    • රෝහල් ගතවීම් 86% කින් පහත වැටුණි
    • රෝග ලක්ෂණ 80% කින් පහත වැටුණි

    “අපි මෙහිදී හදුනා ගත් වැදගත්ම ප්‍රතිඵලය වන්නේ මුළු ජනතාවටම එන්නත ලබා නොගෙන වසංගතය පාලනය කළ හැකි වීමයි.”

    එන්නත් ලබා නොගත් ළමුන් හා නව යෞවනයින් අතර රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බවත් පාසල් නැවත විවෘත කිරීම සඳහා ළමයින්ට එන්නත් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව මෙයින් ඇඟවිය හැකි බව ඔවුන් පැවසුවා.

    සෙරානා හි COVID-19 ට එරෙහිව කොරොනාවැක් එන්නත ලබා ගැනීමට නිවැසියන් පෙළ ගැසී සිටිති
    වැඩිහිටි ජනගහනයෙන් 75% ක් එන්නත් කිරීමෙන් පසුව වෛරසය පැතිරීම පාලනය කළ බව පර්යේෂකයෝ පවසති

    පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී පලසියෝස් මහතා පවසන පරිදි මෙම එන්නත මුලින් පී 1 ලෙස හැඳින්වූ ප්‍රභේදයට එරෙහිවද ඵලදායී වී ඇත. (දැන් එය ගැමා ලෙසද හැඳින්වේ)

    අත්හදා බැලීමේ ප්‍රතිඵල සංවර්ධනය වෙමින් පවතින රටවල් දුසිම් ගණනක් භාවිතා කරන කොරෝනාවැක් එන්නත්කරණයට උත්තේජනයක් විය හැකිය. බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ තුර්කිය යන රටවල සායනික අත්හදා බැලීම්වලින් 50% සිට 90% දක්වා පරාසයක ප්‍රතිඵල පෙන්වා ඇත.

    කොරෝනාවැක් යනු අක්‍රිය කළ එන්නතකි – inactivated vaccine, බරපතල රෝග ප්‍රතිචාරයක් නොමැතිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට නිරාවරණය කිරීම සඳහා අක්‍රිය කරන ලද (killed viral) වෛරස් අංශු භාවිතා කරයි.

    සෙරානා හි අත්හදා බැලීම ලොව මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව බව පර්යේෂකයෝ පැවසූහ. දෙවන එන්නත්කරණයෙන් දින 14 කට පසුව එන්නත ලබාගත් අය අතර එන්නතෙන් දරුණු අතුරු ආබාධ ඇති බවට වාර්තා නොවූ අතර කෝවිඩ් ආශ්‍රිත මරණ කිසිවක් වාර්තා වී නොමැත.

    148,000 ක ජනගහනයක් සිටින තවත් බ්‍රසීල නගරයක් වන Botucatu ද මෙවැනිම අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතී. පර්යේෂකයෝ ෆියෝක්‍රස් ආයතනය විසින් දේශීයව නිපදවන ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කරති.

    එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවන ඉහළම කෝවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රසීලයට හිමිවන අතර තුන්වන වැඩිම රෝගීන් සංඛ්‍යාව මිලියන 16.5 ඉක්මවයි. වසංගතය පාලනය කිරීම සහ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී වීම පිළිබඳව බ්‍රසීල සෙනෙට් සභාව ජනාධිපතිවරයාට චෝදනා කර ඇත.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුවසැරිය ගිලන්රථ නොමිලේ ලැබුණේ නැතැයි කියන කුහකයින්ට ‘හර්ෂ ද සිල්වාගෙන්’ සුපිරි පිළිතුරක්

    සුවසැරිය ගිලන්රථ නොමිලේ ලැබුණේ නැතැයි කියන කුහකයින්ට ‘හර්ෂ ද සිල්වාගෙන්’ සුපිරි පිළිතුරක්

    1990 සුවසැරිය ආරම්භ කළදා පටන් අභියෝග පිට අභියෝග පැමිණි බව නොරහසකි. එම අභියෝගයන්ට මා සියළු අවස්ථාවන්හිදී නොබියව මුහුණ දුන්නේ මෙය හුදෙක්ම මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් පමණක්මැයි මාගේ හෘද සාක්ෂිය දන්නා බැවිනි. 

    මෙම වැඩසටහන ජනතාව විසින් බදා වැළඳගැනීම නිසා මෙයට එරෙහි වූවන්ගෙන් ඇතමුන් මෙහි ගුණ ගායනා කළේ කපන්න බැරි අත සිඹිනවා යන න්‍යායෙනි. යළිත් සුවසැරියට පහරදීමට ඔවුන්ට පොටක් පෑදී තිබේ. “මේ ගිලන් රථ ලැබී තිබෙන්නේ නොමිලේ නොවේ.“ “සල්ලි වලට තමයි අරන් තියෙන්නේ. අපේ සල්ලි වියදම් කරලා තමයි ගෙනත් තියෙන්නේ.“ යනුවෙන් මහා අවලාද රැල්ලක් මොවුන් විසින් මේ වනවිට සමාජ මාධ්‍ය භාවිතා කරමින් පතුරුවමින් තිබේ. මා මේ අදහස් දැක්වීම සිදුකරන්නේ එම කුහකයින්ට නොවන අතර මේ තුළින් වැරදි අදහසක් ලබාගැනීමට හැකියාව තිබෙන මෙම සේවාවෙන් අනුපමේය සේවාවක් ලබාගන්නා ජනතාවටයි. 

    මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේයි.  ඒ සඳහා මෙරට බදු ගෙවන ජනතාවගෙන් කිසිදු මුදලක් වියදම් කළේ නැත. ඒ වෙනුවෙන් වැයවූ සියළු මුදල් ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.7 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලෙසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. එය ණයක් නොවේ. යළි ගෙවිය යුතු නැත. එසේ නම් කුහකයින් සුළු පිරිසක් මෙම ගිලන් රථ මුදල් වලට අරගෙන තිබෙනවා යැයි එක පාරටම කියන්නට පටන්ගෙන තිබෙන්නේ ඇයි? 

    වර්තමාන රජය විසින් ගිලන් රථ 10 ක් මිලට ගන්නා විට එහි මිල වැඩියැයි මා සඳහන් කළා. වර්තමාන රජය විසින් එක් ගිලන් රථයක් රුපියල් ලක්ෂ 194 කට මිලදීගැනීමට කටයුතු කරන විටයි මා මේ අදහස් දැක්වීම කළේ. එහිදී, මා පැවසුවේ සියළු උපකරණ සහිතව 2018 මාර්තු මාසයේදී සුවසැරිය ගිලන් රථයක් මිලට ගත්තේ රුපියල් ලක්ෂ 54 ක පමණ මිලකට බවයි. ඉන්දීය රජය විසින් සුවසැරිය ගිලන් රථ සියල්ල සහ එයට අවශ්‍ය සියළු උපකරණ මිලදී ගැනීමට, ප්‍රධාන ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවීමට, සියළු කාර්ය මණ්ඩලය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුහුණු කිරීමට, 2018 මැද භාගය දක්වා සියළු සේවකයින්ගේ වේතන ගෙවීමට සහ සියළු ගිලන්රථ නඩත්තු කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 22.7 ක ආපහු ගෙවන්න ඕන නැති පරිත්‍යාගයක් අදියර දෙකකින් කළා. ඒ මුදල් වලින් තමයි, ටාටා සමාගමෙන් ගිලන් රථ ඇතුළු උපකරණ මිලදී අරගෙන තිබෙන්නේ. මෙම ගිලන් රථ වලට අවශ්‍ය සමහර උපකරණ ඇමරිකාවෙන් පවා මිලදීගෙන තිබෙනවා. නමුත්, මේ සඳහා ගියපු සියළුම මුදල් ගෙවලා තිබෙන්නේ ඉන්දීය රජය ලබාදුන්නු ප්‍රදානයෙන්. ඒ වෙනුවෙන් ලංකාවේ ජනතාවගෙන් සත පහක මුදලක් වියදම් කරලා නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ තමයි. ඒකේ කතා දෙකක් නෑ. 

    ඉතිං තාමත් මේ ව්‍යාපෘතියට මේ වගේ මඩ ප්‍රහාර එල්ල කරන පිරිස් සිටීම පිළිබඳව මා ඇත්තටම කණගාටු වෙනවා. 

    ජනතාවගේ දැනගැනීම සඳහා 2018 මාර්තු මාසයේ මිලදීගෙන තිබෙන මෙම ගිලන්රථ සහ උපකරණවල මිල ගණන් මා ඉදිරිපත් කරනවා. 

    මෙහිදී, Winger ගිලන් රථයක් මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 19,130 කට. මෙයට TATA winger රථයක් ගිලන් රථයක් බවට හැරවීමට ගිය පිරිවැයද ඇතුළත් වෙනවා. එයට අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගැනීමට මෙන්ම මෙම ගිලන් රථ මෙරටට ගෙන්වීම සඳහා නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට ඇමරිකානු ඩොලර් 15,798 ක් වැයකර තිබෙනවා. 

    ඒ කාලේ ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 156 ක් පමණ වෙනවා. මේ අනුව, මේ ගිලන් රථයක් මිලදීගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ 30 ක් වගේ මුදලකට. ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගැනීමට මෙන්ම නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට රුපියල් ලක්ෂ 24 ක පමණ මුදලක් වියදම් කර තිබෙනවා. ඒ කියන්නේ ගිලන් රථයක් සහ එයට අවශ්‍ය සියළුම උපකරණ සහ ඖෂධ මිලදීගැනීම ඇතුළු සියළු වියදම් සඳහා වැයකර තිබෙන්නේ රුපියල් ලක්ෂ 54 ක් වගේ මුදලක්. අද තිබෙන විනිමය අනුපාතයට අනුව බැලුවත් මේ සඳහා වැයවෙන්නේ රුපියල් ලක්ෂ 70 ක් වගේ මුදලක්. 

    මෙම ගිලන් රථවල Automatic External Defibrillator, Pulse oxymeter, oxygen cylinders, patient monitoring equipment, mobile phone ඇතුළු උපකරණ රැසක් තිබෙනවා. මෙම ගිලන් රථයක තිබෙන උපකරණ පිළිබඳව සම්පූර්ණ ලයිස්තුවක සේයාරුවක්ද මා මෙහි පළකරනවා.  

    මේ වියදම් සඳහා මුදල් සියල්ල ලබාදුන්නේ ඉන්දීය රජය විසින්. ඒ සඳහා ලංකාවේ ජනතාවට කිසිදු මුදලක් ගෙවන්න වුණේ නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ. කුහකයින්ට දැන්වත් තේරුණාද දන්නෙ නෑ?   

    හර්ෂ ද සිල්වා  – 01.06.2021