Blog

  • නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

    නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

    ශ්‍රී ලංකාවේ මීලඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදීය.

    මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයටද පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බවද මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එයට අමතරව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා නිර්දේශව පැවති එච්. ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු සභාව විසින් යෝජනා කර තිබේ.

    එමෙන්ම හානිපූරණය සඳහා වන කාර්යාලයේ සාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතා පත් කිරීමටද  පාර්ලිමේන්තු සභාව යෝජනා කළ බව මහ ලේකම්වරයා කීය.

  • ඉන්ධන මිල ඉහළට ?

    ඉන්ධන මිල ඉහළට ?

    2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 08 හි රැස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමු විය.

    භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත් කළ අමාත්‍ය අනුකමිටුවේ තෙවැනි සාකච්ඡාව මෙලෙස පැවැත්විණි.

    ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල 2019-2020 වර්ෂ වලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යෑම  අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරු මෙහි දී අදහස් පළ කළහ.

    විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විටත් පියවමින් ඇත්තේ 2019  වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහි දී හෙළිවිය.

    පසුගිය වසරේ මුදල් අමාත්‍යංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 50ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිතව ඇති බව මෙහි දී අනාවරණය විය. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

    ජනතා සහන ලබාදෙමින් විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බව ද නිලධාරීන් පෙන්වා දුන්නේය.

  • ‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් ගැන අනතුරු ඇගයීමක් !

    ‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් ගැන අනතුරු ඇගයීමක් !

    කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අනතුරු අගවයි.

    අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මේ අනතුරු ඇගයීම කළේය.

    “ කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය හා විශේෂයෙන් ම ශ්වසන උපකරණවල අවශ්‍යතාවය ඉතා වැඩිවෙන්න පුළුවන්. ඉදිරියේ දී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියහොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්.“

    මේ අතර ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හෙළිකළේ කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බව විජේවික්‍රම මහතා මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත් හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බව ද සඳහන් කළේය.

    ‘‘කොවිඩ් නියුමෝනියාව ඇතිවන අයගෙන් මියයන්නේ ඉතා අඩු සංඛ්‍යාවක්. රෝහල්ගත වන විට නිව්මෝනියාව උත්සන්න වී තිබීම, වයස අවුරුදු 60ට වැඩිවීම හා වෙනත් රෝගාබාධ තිබීම වැනි අවස්ථාවලදී රෝගියා මියයාමට අවස්ථාවක් තිබෙනවා. මේ වයිරසය පහසුවෙන් මැරෙන වයිරසයක් බව අප මතක තබා ගත යුතුයි. නිතර දෑත් පිරිසිඳු කිරීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගැනීම, ජනතාව ගැවසෙන තැන් මගහැරීම මගින් ඉන් ආරක්ෂා විය හැකියි‘‘

  • ඇත්ත පොල් කට්ටෙන් වහලා කොරෝනා පාලනය කරන්න බැහැ

    ඇත්ත පොල් කට්ටෙන් වහලා කොරෝනා පාලනය කරන්න බැහැ

    ඇත්ත පොල් කට්ටෙන් වහලා, කොරෝනා පාලනය කළ නොහැකි යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එම සංගම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කළ ලිපියකට පිළිතරු වශයෙනි.

    සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ.

    ‘‘ සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පනවලා. කොරෝනා වසංගතයේ සැබෑව සහ වසංගත පාලනයේ අඩුපාඩු සැඟවීමට උත්සාහ දරමින් සිටිනවා. අනේකවිධ ගැටළු සහ අවශ්‍යතා රැසක් තිබියදී බිම් මට්ටමේ සිට අතිශය කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ වුවමණාවන් පිළිබඳ සොයා බැලීම සහ එකී උවමනාවන් සලසා දීම වෙනුවට, අඩුම තරමින් ඒවාට ඇහුම්කන් දීම සඳහා සාකච්චාවක් පවා  සිදු නොකර, මෙවන් තහංචි පැනවීම මඟින් සේවාවේ බරපතල අතෘප්තිකර තත්වයක් ගොඩනැඟීම නොවැළැක්විය හැකිය.

    මෙතෙක් කිනම් අඩුපාඩු මධ්‍යයේ වුවද සිය වගකීම නොපිරිහෙලා ඉටු කරමින් සිටින සෞඛ්‍ය කාර්යමණඩලය, පරිපාලනය සමග කෙතරම් ගැටළු පැවතියද, වර්ජන තර්ජනයක් පවා සිදු නොකොට සේවය සැපයීම  “දරමිටිවලට බැඳීමට”  හේතුවක් කරගතහොත්, ඉදිරියේදී සියල්ල පසෙකලා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදු වන බවද අවධාරණය කරමු.

    අතිශය විශාල වරප්‍රසාද රැසක් ලබමින් මහජන බදු මුදලින් යැපෙන සෞඛ්‍ය පරිපාලනයේ වැරදි පෙන්වා දීම මහජනතාවගේ අයිතියක් බවත්, ඊට නිලධාරීන් වගවියයුතු බවත් අප අවධාරණය කරන අතර, නිවැරදිව වැඩ කරන නිලධාරීන් කිසිසේත්ම ඊට බිය නොවන බවත් පෙන්වා දෙමු.

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

  • මේක වසංගතයක් ! ඒක වසං කළොත් අපිත් වසංවෙලාම යයි‘‘

    මේක වසංගතයක් ! ඒක වසං කළොත් අපිත් වසංවෙලාම යයි‘‘

    කොවිඩ් -19 වසංගතයේ සැබෑ තත්ත්වය ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් විශේෂ ආයාචනයක් කරනවා.

    “මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වර්ධනයක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශල තදබදයක් තියෙනවා. ඔකිසිජන් අවශ්‍යතාව දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනනවා.

    ඊයෙත් 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් පමණ සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවමත් රෝගය සමාජය තුළ පැතිරීමක් සිදුවෙනවා. අලුත් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙනවා. මරණ වැඩි වෙලා තිබෙනවා.

    රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුත= කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා. මේක වසංගතයක් ඒක වසන් කළොත් අපිත් වසන් වෙලා යයි. රටේ ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් අපට මේක පාලනය කර ගන්න පුළුවන්. මේක වසංගතයක්. ඒක වසං කළොත් අපිත් වසංවෙලාම යයි‘‘

  • වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි

    වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි

    කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතහි දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුව දී වැඩි ඡන්ද 89 කින් සම්මත වුණා. මෙහිදී පක්ෂව ඡන්ද 148 ක් ද විපක්ෂව ඡන්ද 59 ක් ද  හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම කෙටුම්පත සම්බන්ධ සංශෝධන ද පනත් කෙටුම්පතට අන්තර්ගත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

  • පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ‘ශම්මි සිල්වාට’

    පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ‘ශම්මි සිල්වාට’

    2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය මෙහෙයවන ලද කමිටුව විසින් සනාථ කරනු ලැබීය.

    ඒ අනුව ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනට තේරී පත්වූයේ පිට පිටම දෙවැනි වතාවටය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව තෝරා ගැනීම පිළිබඳව මම අපේ සාමාජිකයින්ට ස්තූතිවන්ත වෙනවා” යැයි සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශම්මි සිල්වා මහතා සිය පාලන කාලය ඇතුළතදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිදුකරන ලද සේවය අපගේ පාර්ශ්වකරුවන් හොඳින් තේරුම් ගෙන තිබෙන බව මෙම ජයග්‍රහණයෙන් සනාථ වන බවද අවධාරණය කළේය.

    ශම්මි සිල්වා මහතාට අමතරව ඔහුගේ පාර්ශ්වයෙන් නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් සියළු දෙනාද නිතරගයෙන් තේරී පත්වීම කැපී පෙනෙයි. එහිදී උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද ප්‍රධාන ලේකම් ලෙස මොහාන් ද සිල්වා මහතාද, භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාද උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතාද සහ උප ලේකම් ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරුද අද දිනයේදී නිතරගයෙන් තේරී පත්වූහ.

  • දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’

    දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’

    වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    ඉදිරි වසරක කාලයක් සඳහා අත්සන් තැබීමට නියමිත මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව අද (19 දා) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබූ අතර එහිදී මෙරට ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින් 24 දෙනෙකු සඳහා මූලික වශයෙන් කොන්ත්‍රාත් ලබා දීමට  පියවර ගෙන තිබුණි.

    අදාළ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් 24 දෙනාගෙන් 18 දෙනෙකුම මේ වන විට එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාලදේශයට පිටත්ව ගොස් සිටින අතර අදාළ කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම සඳහා ලබන ජුනි මස 03 වැනිදා දක්වා කාලය ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ සංචාරය සඳහා එක්දින කණ්ඩායම පිටව ගොස් තිබෙන්නේ සංචාරක කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමෙන් පසුව බව මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    “අපි මේ ගිවිසුම ක්‍රීඩකයන් අතට ලබා දීලා තියෙන්නේ. ඔවුන් මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරනවාද නැද්ද කියන එක ගැන අපිට තවම මුකුත් කියලා නෑ. ඒත් දැනට අපි බංග්ලාදේශ තරග සංචාරයට පමණක් අත්සන් තැබුණු තාවකාලිකව කොන්ත්‍රාත්තුවක් ඔවුනට ලබා දීළා තියෙනවා. ඒත් ඔවුන්ට මේ පිළිබඳව හොඳන් අධ්‍යයනය කරන්න ජුනි 03 වැනිදා වන තෙක් කල් දීලා තියෙනවා” යැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර සිටියේය.

    සකස් කරන ලද නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය, ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් පත්ව සිටින ටොම් මූඩි මහතා සහ අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශන මණ්ඩලය විසින් සකසන ලද්දකි. එයට අනුව ක්‍රීඩකයින්ගේ දස්කම් 50% ක ප්‍රමාණයක්, ශාරීරික යෝග්‍යතාව 20% ක්, ක්‍රීඩකයින්ගේ ස්වාධීන සූදානම 10%, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම 10% ක් සහ අනාගත වැඩදායී බව වෙනුවෙන් 10% ක් වශයෙන් ප්‍රසාද ලකුණු ක්‍රමයක් භාවිතා කර තිබේ. ඒ සියල්ල ඇතුළත් කොන්‍රාත්තුවට අදාළ ක්‍රීඩකයින් ඒ, බී, සී. සහ ඩී යනුවෙන් කාණ්ඩ 4 ක් ඔස්සේ ශ්‍රේණිගත කර තිබෙන අතර එම එක් එක් කාණ්ඩ තවත් අනු කාණ්ඩ 3 ක් යටතේ වර්ග කිරීමට පියවර ගෙන තිබේ.

    “ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී ලොව පුරා භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුවයි මෙම ක්‍රමවේදය සකස් කිරීමට පියවර ගත්තේ” යැයි ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට පත්ව සිටින ටොම් මූඩි මහතා අවධාරණය කර සිටියේය. අද පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “මගේ අත්දැකීමට අනුව රටවල් බොහොමයක් තවමත් නිවැරදිම ක්‍රියාවලිය මොකද්ද කියන එක හොයා ගන්න උත්සාහ කරනවා. ඒ රටවල ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තු සමඟ හැසිරෙන ආකාරය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් පසුව තමයි අපි මේ ක්‍රමවේදය සකස් කළේ. ඇත්තටම අපි මේ හදපු කොන්ත්‍රාත්තුව වඩාත්ම ඵලදායී මෙන්ම වඩාත් සාධාරණම ක්‍රමය යැයි අපි විශ්වාස කරනවා”යි යනුවෙනි.

    යෝජිත කොන්ත්‍රාත් ක්‍රමවේදයට අනුව වඩාත් වැඩිම මුදල් උපයන ක්‍රීඩකයින් දෙදෙනා බවට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පත්ව සිටිති. ඔවුන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කිරීම, ඉහළ කාණ්ඩයට ඇතුළත්වීමට හේතු සාධක වී තිබේ.

    එය ඉකුත්වසර වලට කොන්ත්‍රාත් සමඟ සංසන්දනය කිරීමේදී පැහැදිළි අඩුවීමක් පෙන්නුම් කරනු ලබන නමුත්, තරග ජයග්‍රහණයන්වලදී එම පරතරය පියවා ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයින් වෙනුවෙන් උදා කර දීමට මෙම ක්‍රමවේදයේදී අවස්ථාව සකසා දී තිබේ. උදාහරණයක් ලෙසින් පෙර පැවැති ගිවිසුමට ප්‍රාකාරව ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරි ස්ථාන 7 හි පසුවන කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමේදී ක්‍රීඩකයක්‍රට ඩොලර් 25,000 ක මුදලක් ලබා දුන් නමුත් නව ක්‍රමවේදයට අනුව ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම පරාජය කිරීමට සමත් වුවහොත් ඩොලර් එක් ලක්ෂ පනස් දහසක් (150,000), දෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායමක් පරාජය කළහොත් ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද තෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායම පරාජයට පත් කළළහොත් ඩොලර් ලක්ෂයක (100,000) මුදලක්ද වශයෙන්ද සහ සිව්වැනි, පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානය සඳහා පිළිවෙළින් ඩොලර් අසූදහසක් (80,000), හැඩ දහස (60,000), හතළිස් පන්දහස (45,000) සහ තිස් දහසක්ද (30,000) පිරිනැමෙනු ඇත. මෙය එක්දින තරග අංශය යටතේද පැහැදිළි වැඩිවීමක් දක්නට ලැබේ. එමෙන්ම තරගයකට සහභාගිවීමේදී 2019 වසරේදී ලබා දුන් මුදලට වඩා 2021 වසරේදී ලබා දෙන මුදල වැඩි කිරීමට පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙසින් 2019 වසරේදී ටෙස්ට් තරගයකට සහභාගිවීමේදී ඩොලර් 7000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂ තුන්දහස් හත්සිය පහළොවක් (1,303,715) ලබා දුන් අතර නව කොන්ත්‍රාත්තුවට අනුව එය ඩොලර් 7500 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක (1,500,000) මුදලකි.

    Text by – sl cricket
  • කොවිඩ්-19 ආසාදිත මරණවල ඉහළ සංඛ්‍යාව වාර්තාවෙයි

    කොවිඩ්-19 ආසාදිත මරණවල ඉහළ සංඛ්‍යාව වාර්තාවෙයි

    2021 මැයි මස 06 සිට මැයි 19 වැනිදා දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1051ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මරණකරුවන්ගේ සියලු විස්තර පහත දැක්වෙනවා.

    covid-death-may-19

  • අද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3591ක් !

    අද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3591ක් !

    කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින ප.ව 21.00 ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනක සදහන් වුණේ අද දින කොවිඩ් ආසාදිතයින් 3591 දෙනකු වාර්තා වූ බවයි.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට

    රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ හෙට (20 වැනිදා) දිනට යෙදී තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙමින් මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් නිලධාරීන් පත් කර ගනු ලබන පළමු නිලවරණය වශයෙන්ද හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය ඉතිහාස ගත වනු ඇත.

    අදාළ නිලවරණය සඳහා නාම යෝජනා භාර දීම ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා ප.ව. 3.30 ට අවසන් වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම යෝජනා භාර දුන්හ. ඒ අතරින් ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් නාම යෝජනා භාර දේදදී එම පාර්ශ්වයේම ලේකම් තනතුරට නාම යෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාත් උප සභාපති තනතුර සදහා ඉදිරිපතව සිටි ජයන්ත ධර්මදාස මහතාත් ඊට සහායක් ලෙසින් තවත් පාර්ශ්වයකින් නාම යෝජනා භාර දී තිබුණ.

    ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත් වුණු හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා සභාපති තනතුරටත්, හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුරටත් සහ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා උප සභාපති තනතුරකටත් නාම යෝජනා භාර දී තිබුණද ඔවුන් අවසන් මොහොතේදී සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගත්හ.

    ඒ අනුව ඒක පාර්ශවීය නිලවරණයක් බවට පත්ව තිබෙන මෙවර නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටින ශම්මි සිල්වා මහතාට අමතරව රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් උප සභාපති තනතුරු වලටත්, මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් තනතුරටත්, ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත්, භාණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහ මහතාත් සහ උප භාණ්ඩාගාරික තනතුර සඳහා සුජීව ගොඩලියැද්ද මහතාත් නාම යෝජනා භාර දි තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඡන්ද 147 කින් සමන්විත වුවත්, මෙවර නිලවරණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාව 139 ක් ලෙසින් සටහන්වේ. එහිදී පාලන ක්‍රීඩා සමාජය 28 ක්, අනුබද්ධ ක්‍රීඩා සමාජ 21 ක්, දිස්ත්‍රික් සංගම් 22 ක්, වෙනත් ක්‍රීඩා සංගම් 5 ක් සහ පළාත් සංගම් 4 ක් හෙට පැවැත්වෙන නිලවරණයේදී සිය මතය ප්‍රකාශ කිරීමට නියමිතය.

    තාක්ෂණය භාවිතයෙන් නිලවරණය පැවැත්වීම සෑම දෙනාටම අලුත් අත්දැකීමක් වන බැවින් ඊට පෙර අද (19 දා) දිනයේදී තෝරා ගනු ලැබූ ක්‍රීඩා සමාජ කීපයක් යොදා ගනිමින් පෙර පුහුණුවක් සිදු කිරීමට පියවර ගෙන තිබුණි. නිලවරණ කටයුතු හෙට පෙ.ව. 9 ට ආරම්භ වන අතර එහිදී ප්‍රථමයෙන්ම ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් පරීක්ෂණයකට මුහුණ දීමෙන් අනතුරුව ප්‍රධාන රැස්වීම සඳහා වූ ක්‍රියාවලියට යොමු කෙරෙනු ඇත. නිලවරණය පෙ.ව. 10 ට ආරම්භ වනු ඇත.

    විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ ප්‍රධාන ලේකම්වරයකු ලෙසින් කටයුතු කරන ලද ආචාර්ය ඩී. එම් ආර්. දිසානායක මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම නිලවරණය පවත්වනු ලබති.

  • ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !

    ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !

    කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය.

    ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන ආරම්භ කළේය.

    ඒ අනුව එම ලේ හිඟය කඩිනමින් පියවා ගැනීම අරමුණු කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්විමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගනිමින් සිටියි.

    ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත  දැනුම් දුන්නා.

    ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය  කර්මයට ඔබට දායක විය හැකියි.

     ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස  ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙසට.

    රට තුළ සංචරණ සීමා පවතින හෙයින් වෙනදා මෙන් ග්‍රාමීය මට්ටමෙන් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි නිසා ලේ වල හිඟයක් අපේ රටේ ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

    කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින්  මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද  ලේ පරිත්‍යාගය සඳහා එක්ව තමන්ට හැකි අයුරින් යුතුකම් ඉටු කරන ලෙසට සියලුදෙනාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා  ප්‍රකාශ කර සිටියේය.

    මේ අනුව සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික රුධිර මධ්‍යස්ථානය ,ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනු ඇත.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.

    ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන

    ප්‍රධාන මධ්‍යස්ථානය –     කොළඹ – ජාතික යොවුන් සේනාංක මූලස්ථානය

    නො.20, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

    ටෙලි. 0710 377 377 / 0112 688 885

    මධ්‍යම පළාත
    ස්ථානයදුරකථන අංකය
    ගම්පොල081-2078177
    නාඋල066-2246204
    නුවරඑළිය052-3536332
    හඟුරන්කෙත081-2365849
    සෙංකඩගල081-2389134
    යටිනුවර081-2410026
    වලපනේ052-2050010
    ඌව පළාත
    ස්ථානයදුරකථන අංකය
    බණෟඩාරවෙල057-2222214
    මහියංගනය055-2257118
    තණමල්විල047-3220529
    මොණරාගල055-2055741
    වැල්ලවාය070-5923971
    සියඹලාණ්ඩුව071-3662328
    නැගෙනහිර පළාත
    ස්ථානයදුරකථන අංකය
    කන්තලේ026-2244088
    කච්චවේලි026-2228709
    ගෝමරන්කඩවල026-4549428
    අම්පාර063-2224810
    සේරුවාවිල026-4549439
    ත්‍රිකුණාමලය026-4549432
    දෙහිඅත්තකණ්ඩිය027-2056723
    වාලච්චෙව්න071-2518825
    බස්නාහිර පළාත
    ස්ථානයදුරකථන අංකය
    කටුනායක011-2260020
    අත්තනගල්ල033-2282232
    දිවුලපිටිය033-2272875
    බුලත්සිංහල034-2282322
    යක්කල033-2233534
    උතුරු මැද පළාත
    ස්ථානයදුරකථන අංකය
    කැකිරාව025-2263297
    කලාවැව025-2269946
    අනුරාධපුරය025-3852809
    මැදිරිගිරිය071-8289004
    ගලෙන්බිඳුනුවැව071-8289004
    සබරගමුව පළාත
    ස්ථානයදුරකථන අංකය
    කෑගල්ල035-2223260
    නිවිතිගල045-2279970
    ගලිගමුව035-2282993
    ඇඹිලිපිටිය047-2262399
    බලන්ගොඩ071-6300364
    දෙහිඕවිට071-8396013
    දකුණු පළාත
    ස්ථානයදුරකථන අංකය
    සුරියවැව047-2288169
    ගාල්ල091-2233182
    අකුරැස්ස041-3131216
    වීරකැටිය047-2257143
    දික්වැල්ල041-2255055
    නෙළුව091-3098911
    අක්මීමන091-3121736
    ලුණුගම්වෙහෙර070-4340716
    වීරවිල070-4340714
    වයඹ පළාත
    ස්ථානයදුරකථන අංකය
    කුලියාපිටිය037-3879228
    වාරියපොළ037-2268375
    මාවතගම037-2298668
    පඩුවස්නුවර037-2291803
    දොඩම්ගස්ලන්ද037-2252655
    නාත්තණ්ඩිය032-2050815
    වෙන්නප්පුව031-2277199
    අලව්ව071-8457013
    උතුරු පළාත
    ස්ථානයදුරකථන අංකය
    මන්නරාම023-2251917
    වව්නියාව024-2054558

  • ‘කොවිඩ් එන්නත’ ගැබිණි මවුවරුන්ට සුදුසුයි – කිරිදෙන මවුවරුන්ටත් ප්‍රශ්නයක් නෑ

    ‘කොවිඩ් එන්නත’ ගැබිණි මවුවරුන්ට සුදුසුයි – කිරිදෙන මවුවරුන්ටත් ප්‍රශ්නයක් නෑ

    ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කළ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (19) සංවිධානය කළ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවාය.

    “ගර්භණී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ගැන පසුගිය කාලයේ බොහෝ දෙනෙක් කතා කළා. ඒ අනුව ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු ද යන්න සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණික මණ්ඩලයක් පත් කළා. ඔවුන් සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ගර්භණී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර මොන මොන එන්නත් ද ගර්භණී මව්වරුන්ට බයක් නොමැතිව දෙන්න පුළුවන් හා මොන කණ්ඩායමට ද දෙන්න පුළුවන් කියන එක තීරණය කරනවා. මේ අවස්ථාවේ දී එන්නත් බහුලව නෑ. ඒ නිසා එන්නත් ලැබීම එක්ක බලලා, වඩාත්ම සුදුසු එන්නත මොකද්ද කියන එක බලලා එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතයි. මෙය ආරම්භ කරන්නේ එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කරපු ප්‍රදේශවලින්. රෝග අවදානම වැඩිම ප්‍රදේශ ටික සලකා බලලා.“

    මෙහිදී තවත් අවදානම් කාණ්ඩයක් ලෙස සැලකෙන කිරිදෙන මවුවරු ගැන අදහස් පළකළ සිල්වා මහත්මිය කියා සිටියේ, ‘‘ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් එන්නත් ලබාගත හැකියි. ඉන් අනතුරුව මව්කිරි දීම සිදුකළ හැකියි. මව්කිරි ලබා දීම කොයි අවස්ථාවක දී හෝ නතර කිරීම සුදුසු නැහැ. කොවිඩ් රෝගය වැළඳුන මවක් දරු ප්‍රසූතියක් සිදුකරන්නේ නම් ඒ සෑම මවක් ම මව්කිරි ලබාදිය යුතුයි. එය දරු උපත සිදු වූ අවස්ථාවේ සිට කළ හැකියි. නිතර අත්සේදීමෙන් හා මුව ආවරණ භාවිත කිරීමෙන් එම කටයුත්ත සිදුකළ හැකියි‘‘ යැයි ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

  • ප්‍රතිශක්තිකරණය ගැන වැරදි සහ කොවිඩ් ආසාදනය අතර සම්බන්ධය ගැන සුපිරි හෙළිදරව්වක්

    ප්‍රතිශක්තිකරණය ගැන වැරදි සහ කොවිඩ් ආසාදනය අතර සම්බන්ධය ගැන සුපිරි හෙළිදරව්වක්

    කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වීම බරපතළ තත්ත්වයක් බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

    ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය‘ නම් මාධ්‍ය හමුව පැවැත් විණි.

    මෙම විශේෂ මාධ්‍ය හමුවේදී විශේෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවයි.

    ‘කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් තිබෙනවා. මෙය බරපතළ තත්ත්වයක්. මොකද ව්‍යාජ, වැරදි මත නිසා මේ වසංගතය ව්‍යාප්තවීමට ලොකු උත්තේජනයක් ලැබෙනවා. කිරිදෙන හා ගර්භණී මවුවරු ගැනත් අපේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම එවැනිම අවදානමක් වයස්ගත ජනතාවට ද තිබෙන බව අපි අමතක නොකළ යුතුයි‘‘

    “විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් ඩී ගන්න විටමින් සී ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැලඳෙන ප්‍රමාණය හා මියයන ප්‍රමාණය ඉහළ බව අපි වගේම ජාත්‍යන්තර වශයෙන් ද නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා මෙවැනි පුරුදු ඇති අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි‘‘

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ කාර්යාල තුළ එකට එක්ව ආහාර ගැනීම තුළින් කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් තිබෙන බවයි.

    ‘‘අපි දන්නේ නැහැ කාටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ කියලා. මොකද විශාල පිරිසක් කිසිම ආකාරයක රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් ඔවුන් රෝග වාහකයින් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙය අපි දැඩිව අවදානයට ගත යුතු තත්ත්වයක්. ඒ නිසා හැකිතාක් දුරස්ථභාවය සහ මුව ආවරණ පැළදීම කරන්න. නිසි සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්න. මිත්‍ය විශ්වාසවලට යොමු වෙන්න එපා‘‘

  • දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි !

    දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි !

    කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ඔහු පවසන්නේ අද සවස වන විට ආසාදිතයින් 3051 දෙනෙක් වාර්තා වූ බවයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

  • මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණයට යෝජනා ඉල්ලයි

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණයට යෝජනා ඉල්ලයි

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය, මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ හා ඊට ආනුෂාංගික වෙනත් කාරණා සම්බන්ධයෙන් වන යෝජනා ජුනි මස 19 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව දන්වා එවන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීති වල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 17 වැනි දා රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට තීරණය විය.

    ඒ අනුව, එම කාරක සභාවට නියෝජනයන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මහජනතාවට සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සංවිධාන වලට එකී නියෝජන ලිඛිතව හෝ sec.pscelectionreforms2021@parliament.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන ලෙස, එම කාරක සභාව වෙනුවෙන් එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර සිටී.

    ලිඛිත යෝජනා හා අදහස් ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට එවිය යුතුය.

    යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට කැඳවන බව ද කුෂානි රෝහණදීර මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති දැනුම්දීමෙහි තවදුරටත් දැක්වේ.